සහාබාවරුන්ගේ යුතුකම් හා මහිමයන් සම්බන්ධයෙන් වූ කරුණු අල්ලාහ් ඔවුන්ව පිළිගනිත්වා

1.සහාබාවරුන් පිළිබඳ හැඳින්වීම. 2. සහාබාවරු මෙනෙහි කිරීම හා ඔවුන්ගේ මහිමයන් කතා කිරීම හා අහ්ලුස් සුන්නා වල් ජාමා ආ වරුන්ගේ ප්‍රතිපත්තිය.3. මුස්ලිම් සමාජය තුළ සහාබාවරුන්ගේ තත්ත්වය 4. සහාබාවරුන්ගේ මහිමය හා ඔවුන්ගේ විශේෂාංග.

සහාබාවරුන්ගේ යුතුකම් හා
මහිමයන් සම්බන්ධයෙන් වූ කරුණු
අල්ලාහ් ඔවුන්ව පිළිගනිත්වා
< සිංහල >


        
සංස්කරණ කළේ
අබ්දුල්ලාහ් බින් සාලිහ් අල් කසීර්



මව්ලවි මාහිර් ටී.ඩී. රම්ඩීන්
පරිවර්තක
මුහම්මද් අසාද්
විචාරක

 
الإصابة في فضائل وحقوق الصحابة
< اللغة السنهالية >
        
اسم المؤلف
 الشيخ عبد الله بن صالح بن محمد بن أحمد القصير


ترجمة:
ماهر رمدين
مراجعة:
محمد آساد


සහාබාවරුන්ගේ යුතුකම් හා
මහිමයන් සම්බන්ධයෙන් වූ කරුණු
අල්ලාහ් ඔවුන්ව පිළිගනිත්වා

කර්තෘ
සර්ව බලධාරී පරමාධිපතියාණන්ගෙන් සමාව අයැද සිටින
අබ්දුල්ලාහ් බින් සාලිහ් අල් කසීර්


සිංහලෙන්
මව්ලවි මාහිර් ටී.ඩී. රම්ඩීන්

 

 

 

 

පෙරවදන
සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති අල්ලාහ් සතුය. අවසානය සතු වනුයේ බිය බැතිමතුන්හටය. අපරාධකරුවන් කෙරෙහි හැර වෙනත් කිසිවෙක් කෙරෙහි  කිසිදු සතුරුකමක් නොමැත. නැමදුමට සුදුස්සා ඒකීය අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති බව මම සාක්ෂි දරමි. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. සැබෑ පැහැදිලි පරමාධිපත්‍යය ඔහු සතුය. තවද මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ ගැත්තෙකු බවත් ඔහුගේ ධර්ම දූතයෙකු බවත් මම සාක්ෂි දරමි. ඔහු සත්‍යවන්තය. විශ්වාසනීයය. ප්‍රකට උපදේශකයෙකුය. ලෝ වැසියනට ශුභාරංචි පවසන්නෙකු ලෙසත් අවවාද කරන්නෙකු ලෙසත් දේව විශ්වාසවන්තයින්ට දයාවක් ලෙසත් සියලු මැවීම් වලට සාධකයක් ලෙසත් සත්‍ය සමඟ ඔහු එවනු ලැබීය.  අල්ලාහ් එතුමාණන් කෙරෙහි ද එතුමාණන්ගේ ඥාතීන් කෙරෙහි ද එතුමාණන් අනුගමනය කළ එතුමාණන්ගේ මිතුරන් කෙරෙහි ද ශාන්තිය හා සමාදානය අත් වේවා ! ඔවුහු එතුමාණන්ව විශ්වාස කළහ. ගරු කළහ, උපකාර කළහ. එතුමාණන් සමඟ පහළ වූ ආලෝකය පිළිපැද්දහ. ජයග්‍රාහකයෝ වූයේ ඔවුහුමය.
මේ සියල්ලට පසු:
සහාබාවරුන් සුවිශේෂීන් බවට අල්ලාහ් පත් කළේ ඔවුන් වෙත නබිවරුන්ගේ අවසානයා වූ ද රසූල්වරුන්ගේ නායකයා වූ ද මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුන් අතරට පත් කිරීමෙනි. ශ්‍රේෂ්ඨතම කාල වකවානුවට උසස්ම පිළිවෙතකට දහම් ගත කිරීමෙහි මුල් දායකත්වයට දැනුමෙන් හා ක්‍රියාවෙන් පෝෂණය වූ ශ්‍රේෂ්ඨ ජන සමාජයකට අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූවන් අතුරින් උදාර කැපවීමකට හිමිකම් ලබනුයේ මෙම උතුම් සහාබාවරුන්ය. ඔවුන්ගේ මහිමය හා ඔවුන්ගේ තත්ත්වය ඉහළ යෑමට හේතු වූ සාධක අතුරින් කිහිපක් මෙසේ දැක්විය හැකිය.
අ - උත්තරීතර අල්ලාහ් ඔවුන් ගැන අල් කුර්ආනයේ අගය කොට පවසයි. ඔවුන්ගේ යටහත් වීම ඔවුන් අල්ලාහ් මත තැබූ විශ්වාසය හා අල්ලාහ් පිළිබඳ ඔවුන් තුළ පැවති භක්තිය පිළිබඳ අල්ලාහ්ම සාක්ෂි පවසයි. එමෙන්ම ඔවුනට හිමි පාප ක්ෂමාව හා ඔවුන් ගැන වූ තෘප්තිය පිළිබඳ ව අල්ලාහ් ඔවුනට ශුභාරංචි දන්වා සිටියි. තමන්ට අවනත වූ අය වෙනුවෙන් ස්වර්ග වින්දනයන්ගෙන් සූදානම් කරන ලැබූ සැපතට හිමිකම් ලබන උදාර පිරිස ඔවුන් බවත් තවදුරටත් දන්වා සිටියි.
ආ - ඔවුනට ස්වර්ගය සතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සාක්ෂි දරා ඇත. සෙසු පරම්පරාවන්ට වඩා මොවුන් උසස්  බවත් උසස්තම  ජන සමූහයා මොවුන් බවත් පැහැදිලි කොට ඇත. මේ හැර කුර්ආනයේ හා සුන්නාවෙහි වචනයෙන් හා අර්ථයෙන් ඔවුන්ගේ මහිමයන් ගැන පැහැදිලි ව පැවසූ දෑ අපමණය.
ඇ - සමාජය අතර ඔවුනට හිමි මහිමය ඔවුන්ගේ උසස් භාවය හා ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ ඉස්ලාමිකයන් තුළ ඇති ඒකමතික තීරණය.  
ප්‍රජාව තුළ පවතින ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය හා ඔවුන්ගේ තත්ත්වයන් හා නිලතල වල උසස් භාවය මධ්‍යස්ථ ව කටයුතු කරන කිසිදු බුද්ධියක් විසින් සැක කළ නොහැක්කකි. නමුත් වර්තමානයේ 'ඔව්' සම්බන්ධයෙන් තර්ක කිරීමට සිදු වී ඇත. ඇතැමුන් ඔවුන් අතර සිටි ඉහළ පෙළේ උදවියට දොස් නගමින් ඔවුනට අඩුපාඩු පවසමින් ඔවුන් පිළිබඳ ව අවලාද පවසති. එහි විෂයය වී ඇත්තේ උත්තරීතර අල්ලාහ් ව ප්‍රතික්ෂේප කිරීම හා ස්ව කැමැත්තෙන් කිසිවක් කතා නොකළ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ වක්තෘත්තවය පිළිබඳ ව දොස් නැගීමය. ෂරීආවෙහි පිළිවෙත් සම්බන්ධ ව අඩුපාඩු පැවසීමත් විශ්වාසනීය කරුණු පිළිබඳ සැක කිරීමත් තරුණ පරපුර නොමඟ යන ආකාරයෙන් කටයුතු කිරීමත් අදේව වාදිත්වයේ සීමාව ඉක්මවා කටයුතු කිරීමත් ඉස්ලාමයේ සතුරන් පිළිබඳ සතුටු වීමත් යන මේ සියල්ල කිසිවක් නොදැන අතිශෝක්තියෙන් පවසන අඥානයින් ගෙන් බිහි වූ දෑ හැර වෙන කිසිවක් නොවේ. එසේ නොමැති නම් එය කුහකත්වයේ සලකුණකි. සත්‍යය සෙවීමෙන් හා පරීක්ෂාවෙන් බලන විට එහි ඇතුළාන්තය අදේව වාදීත්වය හා කුහකත්වය වැසී ඇති කරුණු නිරාවරණය වනු ඇත. සියලු දෙනා උපයනුයේ ඔවුනොවුන් වෙනුවෙනි. එබැවින් වළ දමනු ලබන්නට පෙර අල්ලාහ් වෙත යොමු වී පශ්චාත්තාප කළ යුතුය. මෙම ව්‍යාජ කලහකාරී තත්ත්වය පිළිබඳ ව සඳහන් කරමින් එහි ඇති අභාග්‍යය තත්ත්වය ගැන දන්වා සිටියි.
وَاللهُ يَعْلَمُ الْمُفْسِدَ مِنَ الْمُصْلِحِ
යහ අයුරින් කටයුතු කරන්නන්ගෙන් කලහකරුවා කවරෙකු දැ යි අල්ලාහ් දන්නේය. (අල් කුර්ආන් 2:220)
තවදුරටත් අල්ලාහ්
لَا يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَ
කලහකාරීන්ගේ ක්‍රියාවන් විධිමත් නොවේ. (අල් කුර්ආන් 10: 81) ප්‍රකාශ කරයි.
උත්තරීතර අල්ලාහ් තවත් ස්ථානයක
إِنَّ الَّذِينَ يُلْحِدُونَ فِي آَيَاتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَا أَفَمَنْ يُلْقَى فِي النَّارِ خَيْرٌ أَمْ مَنْ يَأْتِي آَمِنًا يَوْمَ الْقِيَامَةِ اعْمَلُوا مَا شِئْتُمْ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
සැබැවින්ම අපගේ වදන් විකෘති කරන්නවුන් අපගෙන් (අපගේ දඬුවමින්) නොහැඟවෙති. ශ්‍රේෂ්ඨ වන්නේ නිරයට හෙළනු ලබන්නාද එසේ නොමැතිනම් මළවුන් කෙරෙන්  නැගිටුවනු ලබන දින නිර්භය ව පැමිණෙන්නා ද? නුඹලා කැමති දෑ කරනු. සැබැවින්ම ඔහු නුඹලා කරන දෑ පිළිබඳ ව නිරීක්ෂා කරන්නාය.     (අල්-කුර්ආන් 41:40)
මෙවැනි අධම ජනයා පිළිබඳවත් සෙසු අය පිළිබඳවත් අල්ලාහ් මැනවින් දන්නා බව මෙයින් අවධාරණය කෙරේ. ඇත්තෙන්ම සහාබාවරු අහසේ තරු මෙන්ය. එමගින් බුද්ධිමතුන් යහමඟ ලබති. සුනඛයන් බුරන හඬ එයට කිසිදු හානියක් සිදු කළ නොකරනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඔවුන් පිළිබඳ ව පවසන විට ඔවුන් සමාජයේ පරිපූර්ණ ප්‍රජාව ලෙස හඳුන්වා දෙයි.
إِنَّ اللَّهَ يُدَافِعُ عَنِ الَّذِينَ آَمَنُوا إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ
සැබැවින්ම අල්ලාහ් විශ්වාස කළවුන් (ප්‍රතික්ෂේපකයින්ගේ හිංසාවෙන්) වැළැක් විය. සැබැවින්ම අල්ලාහ් සියලු ද්‍රෝහී ප්‍රතික්ෂේපකයින් ප්‍රිය නොකරයි. (අල් කුර්ආන් 22:38)
අල් කුර්ආනයේ තවත් ස්ථානයක
لِيَغِيظَ بِهِمُ الْكُفَّارَ
ඔවුන් මගින් දේව ප්‍රතික්ෂේපකයින් ප්‍රකෝපයට පත් කරනු පිණිස.     (අල් කුර්ආන් 48:29)
ඔවුන් ඔවුන්ගේ මිනීවල තුළ  සැපත ලබමින් සිටිය දී ඔවුන් ගැන කෝප වනුයේත් ඔවුන් ගැන ක්‍රෝධ වනුයේත් ඔවුන්ගේ ගෞරවයට ඉහළින් සීමාව ඉක්මවා කටයුතු කරනුයේත් දේව ප්‍රතික්ෂේපිත කුහකයෙකු හෝ අදේව වාදී පාපියෙකු හැර වෙනත් කිසිවකු නොවේ.
මේ හේතුව මුල් කරගෙන ඔවුන්ගේ සැබෑ තත්ත්වය ස්ථාපිත කරනු පිණිස ද ඔවුන්ගේ කටයුතු මුළු සමාජයටම ආදර්ශයක් වනු පිණිස ද ඔවුන්ගේ මහිමය තුළ පවතින ප්‍රශංසාව, ඔවුන් හඳුනා ගැනීම තුළින් ලැබෙන යහමඟ ඔවුන්ගේ උසස් තත්ත්වයේ මහිමයේ විශේෂාංග, ඔවුන්ගේ ක්‍රියාදාමයන් හා ඔවුන් කෙරෙහි මුස්ලිම් ප්‍රජාව වෙත පැවරී ඇති යුතුකම් අහ්ලුස් සුන්නා වල් ජමාආවරුන්ගේ ප්‍රතිපත්තීන් පැහැදිලි කරමින් මෙම පොත් පිංචය මම ලියමි. මාගේ අරමුණ වනුයේ භාග්‍යමත් උදවිය අබියස සහාබාවරුන් ප්‍රශංසාවට ලක් වීමත් ඔවුන් ගැන නොසැලකිල්ලෙන් සිටින අය වෙත ඔවුන් ගැන මතක් කර දීමත් ක්‍රෝධයෙන් හා මුළා වී  සිටින්නන් අතර අතිශෝක්ති කර පෙන්වීමත් වේ. මෙම අරමුණ පිටුපස සිටින්නා අල්ලාහ්ය. ඔහු නිවැරුදි මඟ පෙන්වා දෙනු ඇත.
අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින යටහත් පහත් ගැත්තා
අබ්දුල්ලාහ් ඉබ්නු සාලිහ් අල් කසීර්.   
පටුන
    පෙරවදන    02
(1)    සහාබාවරුන් පිළිබඳ හැඳින්වීම    08
(2)    සහාබාවරු මෙනෙහි කිරීමේ හා ඔවුන්ගේ මහිමයන් ගැන කතා කිරීමේ අරමුණ හා අහ්ලුස් සුන්නා වල් ජාමාආ වරුන්ගේ ප්‍රතිපත්තිය අනුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය හා එහි අනිවාර්යය භාවය.    10
(3)    මුස්ලිම් සමාජය තුළ සහාබාවරුන්ගේ තත්ත්වය    12
(4)    සහාබාවරුන්ගේ මහිමය හා ඔවුන්ගේ විශේෂාංග    15
(5)    සහාබාවරුන්ගේ මහිමයන් අතර පවතින ප්‍රභේද හා ඔවුන්ගේ තරාතිරම්    20
(6)    සහාබාවරුන් සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයට පැවරී ඇති යුතුකම් හා වගකීම්    31
(7)    සහාබාවරුන් සාධාරණීකරණය කිරීම    35
(8)    සහාබාවරුන් සම්බන්ධයෙන් අහ්ලුස් සුන්නා වල් ජමාආත්වරුන්ගේ ආකල්පයේ සංෂිප්තිය    41
(9)    ස්වර්ගය හෝ නිරය කෙනෙකුට හිමි යැයි සාක්ෂි දැරීම    48

 

1. සහාබාවරුන් පිළිබඳ හැඳින්වීම
සහාබා යනු සාහිබ්, සහාබී යන පදයේ බහු වචනයයි. සහාබී යනු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ව හමු වී එතුමාණන් විශ්වාස කොට ඒ විශ්වාසය මතම මිය ගිය අය වෙති. ඉමාම් බුහාරි තුමා පවසන අයුරින් මුස්ලිම්වරුන් අතුරින් කවරෙකු හෝ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමඟ ඍජු ව මිතුදම් පෑ වේද නැතිනම් එතුමාණන් ව ඍජුව දැක තිබේ ද ඔහු එතුමාණන්ගේ සගයින් එනම් සහාබාවරුන් අතුරින් වෙති.
මෙහි අදහස් කරනු ලබනුයේ සැබැවින්ම මෙහි විශේෂ හා පොදු සහාබාවරු වෙති. පොදු සහාබාවරු යනු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව දුටු එතුමාණන් ව විශ්වාස කළ සියලු දෙනා මෙයට ඇතුළත් වෙති. වසරක මිත්‍රත්වය, මසක මිත්‍රත්වය, හෝරාවක මිත්‍රත්වය යනුවෙන් ඔවුනට පවසනු ලබනුයේ එබැවිනි.
සහාබාවරු අතුරින් විශේෂත්වයට පත් වූවන් යනු සෙසු සහාබාවරුන්ගෙන් වෙන් වූ අයයි. මෙම මිත්‍රත්වය එතුමාණන් ව මුණ ගැසුණු එකම හේතුව මත පමණක් පදනම් නොවූවකි.   
විද්වතුන් බොහෝ දෙනෙකු පවසා සිටිනුයේ පොදුවේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමඟ මිත්‍රත්වය පෑ සියලු දෙනා එතුමාණන් සමඟ මිත්‍රත්වය නොපෑ අයට වඩා උතුම් හා ශ්‍රේෂ්ඨ බවය. දැනුමෙන් හා ක්‍රියාවෙන් වෙනත් කිසිවකු ලබා නොගත් එයට සම කළ නොහැකි සුවිශේෂී විෂයයක් ඔවුන්ගේ මිතුදම හා නිලයන් තුළින් ඔවුනට ලැබී ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමඟ මිතුරුකම් පෑමෙන් ඔවුන් ළඟා කර ගත් තත්ත්වය හා උසස් භාවය මෙන් කිසිවකුට ළඟා කර ගත නොහැක.  
සටහන : සහාබාවරුන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ විසි හතර දහසක් දෙනා වෙති. ඔවුන් අතර අවසාන වශයෙන් මියැදුණේ අබූ අත් තුෆෙයිල් ආමිර් බින් වාඉලා අල් ලෙයිසී නම් සහාබිවරයා බව සඳහන් වේ. ඉමාම් මුස්ලිම් තුමා සිතන පරිදි එතුමා මිය ගොස් ඇත්තේ හිජ්රි සියවැනි වසරේදීය. තවත් ප්‍රකාශයක එතුමා හිජ්රි 120 දී මිය ගිය බව සඳහන් වී ඇත.
***
 
2. සහාබාවරු මෙනෙහි කිරීමේ හා ඔවුන්ගේ මහිමයන් ගැන කතා කිරීමේ අරමුණ හා අහ්ලුස් සුන්නා වල්ජාමාආ වරුන්ගේ ප්‍රතිපත්තිය අනුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය හා එහි අනිවාර්යය භාවය.
නීති ක්‍රියාත්මක කිරීමේ දී අලී, මුආවියා, අම්ර් ඉබ්නු ආස් හා වෙනත් සහාබාවරුන් (රළියල්ලාහු අන්හුම්) ප්‍රතික්ෂේප කළ කවාරිජ්වරුන්ගේ නව ක්‍රියාදාමයන් බිහි විය. විශේෂයෙන් අලී (රළියල්ලාහු අන්හු) තුමා හා එතුමාගේ පවුලේ අය පිළිබඳවත් නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඇතැම් පවුලේ අය පිළිබඳවත් ඇතැම් සහාබාවරු වෙන් කොට ඔවුන් අතුරින් සුළු සංඛ්‍යාවක් දෙනා පිළිබඳවත් සීමාව ඉක්මවා කටයුතු කිරීමේ දී රාෆිලාවරුන්ගේ නව ක්‍රියාදාමයන් ද බිහි විය. සමස්තයක් වශයෙන් ගත් කල කවාරිජ්වරු රාෆිලාවරුන් හා ඔවුන් හැර වෙනත් සීමාව ඉක්මවා ගිය ඇතැම් කණ්ඩායම් බිහි වී සහාබාවරුන්ට දොස් පැවසීමටත් ඔවුනට බැණ වැඳීමටත් ඔවුන්ගේ ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් අඩුපාඩු පැවසීමටත් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දමා ගිය දෑ හි ඔවුන් කටයුතු කළ ආකාරය ගැන සැක කිරීමටත් පටන් ගත්හ. ඒ අනුව ඔවුන්ගේ මහිමයන් ප්‍රතික්ෂේප කිරීමටත් ඔවුන් ඉස්ලාමය බිඳ දමන නිෂ්ඵල කරුණු ගෙන ආ බව පවසමින් ඔවුන් ගැන වාද කිරීමටත් අවසානයේ එම උතුම් සහාබාවරුන් ප්‍රතික්ෂේප කොට ඔවුන් සමඟ යුද වැඳ ඔවුන්ගේ ප්‍රාණ හා ඔවුන්ගේ වස්තු අපයෝජනයට ගන්නා තෙක් මෙම නව ක්‍රියාදාමයන් බිහි කළ උදවිය පත් වූහ. අහ්ලුස් සුන්නා වල් ජමාආ නම් සමූහයා මේ සම්බන්ධයෙන් අල්ලාහ්ගේ දහම ආරක්ෂා කරනු කරනු වස් කරුණු දෙකක් යටතේ ඍජු ව ක්‍රියා කළහ.
පළමුවැන්න : අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හිත මිතුරන් වූ සහාබාවරුන්ගේ මහිමයන් ඔවුන්ගේ උසස් භාවය, දහම කෙරෙහි වූ ඔවුන්ගේ ස්ථාවරත්වය, ඔවුන් පිළිබඳ ව මුස්ලිම් සමාජය තුළ පවතින ගරුත්වය හා නිලය, එමෙන්ම කවාරිජ්වරු රාෆිලාවරු හා නව ක්‍රියාදාමයන් බිහි කරමින් පටු ආශාවන්ට වහල් වූ මේ හැර වෙනත් උදවිය උතුම් සහාබාවරුන් පිළිබඳ නැගූ චෝදනා වලින් ඔවුන් නිර්දෝෂීන් බව ඔප්පු කරමින් පැහැදිලි කිරීම.
දෙවැන්න :  නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ හිත මිතුරන් වූ සහාබාවරු කෙරෙහි කළ යුතු වගකීම් හා ඔවුන් අතර ඇති වූ මත ගැටුම් හා ඒ සම්බන්ධයෙන් නව ක්‍රියාදාමයන් බිහි කළ අයගේ ගොඩ නැගූ මතයන්ට පිළිතුරු දෙමින් විස්තර කිරීම.
***
 
3. මුස්ලිම් සමාජය තුළ සහාබාවරුන්ගේ තත්ත්වය
නබිවරුන්ගේ අවසානයා වූ එමෙන්ම සියලුම ධර්ම දූතවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමඟ මිතුදම් පෑමටත් ඔහුගේ දහමට උදව් උපකාර කිරීමටත් අල්ලාහ් විසින් තෝරා ගත් ශ්‍රේෂ්ඨ සහාබාවරුන්ට හිමි ස්ථානය මෙන් වෙනත් ගෞරවනීය ස්ථානයක් නොමැත.  
එබැවින් පොදුවේ නබිවරුන් රසූල්වරුන්ගේ අනුගාමිකයින්ට වඩා අති විශිෂ්ඨ අනුගාමිකයන් ලෙස මුහම්මද් තුමාණන්ගේ මිතුරන් අල්ලාහ් තෝරා ගෙන ඇත. ඔවුන් අල්ලාහ් පිළිගෙන ඇත.
මිනිසුන් අතුරින් ශ්‍රේෂ්ඨතම ජන සමාජය වනුයේ මාගේ යුගයේ විසූවන් යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළහ.
එබැවින්ම මුළු සමාජයේම ඒකමතික තීන්දුව වනුයේ ඇත්තෙන්ම සහාබාවරුන් (අල්ලාහ් ඔවුන් ව පිළිගනිත්වා!) අල්ලාහ්ගේ දූතයාණන් සමඟ මිතුදම් පෑමෙන් ද සත්‍ය පැවසීමෙන් ද දැනුමෙන් හා ක්‍රියාවෙන් ද සෑම කටයුත්තකම මුල් තැන හෙබවීමෙන් ද පසු පැමිණි ජන සමූහයන්ට වඩා මොවුහු උතුම් බවය. ප්‍රමුඛත්වය මොවුහු හිමි කර ගත්තෝය. එය අවසානය දක්වාම ඔවුන් දරනු ඇත. මහිමයෙන්ද දැනමුතුකමින් ද ඥානයෙන් ද සියලු යහපත් කටයුතු වලින් ද  කිසිවකු ලබා නොගත් දෑ ඔවුහු ලබා ගත්තෝය.
    එමෙන්ම අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයාණන් විශ්වාස කිරීමෙන් ද හිජ්රත් යාමෙන් ද උදව් උපකාර කිරීමෙන් ද අල්ලාහ්ගේ දහම වෙත ජනයා ඇරයුම් කිරීමෙන් ද අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීමෙන් ද නියත වශයෙන්ම මොවුහු ප්‍රමුඛයෝ වූහ. ඒ සමඟම මහපොළොවේ වෙසෙන්නන් සමඟ ඇසුරු කිරීමෙන් ද අල්ලාහ්ගේ දූතයාණන් සමඟ එක් වී කටයුතු කිරීමෙන් ද එතුමාණන් ව සත්‍යය කිරීමෙන් ද එතුමාණන්ට නබිත්වයේ සාධක පැතිරීමටත් එතුමාණන්ගේ ඇරයුම ප්‍රසිද්ධියේ පැවසීමටත් දේව ග්‍රන්ථ ලැබූවන් හා අදේශකයින් අතුරින් බොරුකාරයින් බහුතරයක් හා දේව විශ්වාසවන්තයින් සුළුතරයක් සිටියදී එතුමාණන්ට සෙස්සන් උදව් උපකාර කිරීමටත් පෙර සිටම එතුමාණන්ට අවනත වීමෙන් ද ඔවුන්ගේ ධනය වියදම් කිරීමෙන් ද ඔවුන්ගේ ජීවිත අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් කැප කිරීමෙන් ද ප්‍රමුඛයෝ වූහ. මෙවන් උදාහරණ රාශියක් තිබිය දී සමාජයේ කිසිවකු එවැනි ප්‍රමාණයක් ලබා ගත නොහැකි කරුණක් වෙයි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව සහීහ් හදීසයක මෙසේ සඳහන් වෙයි.
මාගේ මිතුරන්ට නුඹලා බැණ නොවදිනු. මාගේ ආත්මය කවුරුන් සතු වන්නේ ද ඔහු මත දිවුරා පවසමි. ඔබ අතුරින් කිසිවකු හෝ උහද් කන්ද තරම් රන් වියදම් කළ ද ඔවුන් කිසිවකුගේ ප්‍රමාණයට හෝ ඉන් කොටසකට හෝ ළං විය නොහැක.
සතුට සොම්නස ඇත්තේ ඔවුන්ගේ මාර්ගය පිළිපදින ඔවුන්ගේ පියවර අනුගමනය කරන්නන් හටය. අල්ලාහ් මත දිවුරා පවසමි.  ඔවුන් දහමට උදව් කළෝය. දහම් පිළිවෙත් ඔවුන්ගේ මාර්ගයෙන් අල්ලාහ් ස්ථාපිත කළේය. ඔවුහු හදවත් හා දේශ සීමාවන් ජය ගත්හ. නියම අයුරින් අල්ලාහ්ගේ මාර්ගයේ කැප වී කටයුතු කළහ. ඒ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ව පිළිගත්තේය. ඔවුන් ව පිළිගැන්වීමට සැලැස්වීය.
***
 
4. සහාබාවරුන්ගේ මහිමය හා ඔවුන්ගේ විශේෂාංග
ඉස්ලාම් ව්‍යාප්ත වූ ආරම්භ කාලයේම ඒ වෙත ප්‍රමුඛත්වය ලබා දීම එය ව්‍යාප්ත කිරීමේදී හා එය සමාජ ගත කිරීමේදී ඔවුන් තුළ පැවති දැඩි කැපවීම හා උනන්දු ව වැනි කරුණු හේතුවෙන් සෙසු සමූහයන්ට වඩා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අනුගාමිකයෝ සුවිශේෂි පුද්ගලයන් වූහ. අල්ලාහ් ව හා ඔහුගේ ධර්ම දූතයාණන් ව විශ්වාස කළ මුල් අය වූයේ මොවුහුය. ඉතා අඩු සංක්‍යාවකින් සිටින විට දී පවා ඔවුහු විශ්වාස කළහ. දුෂ්කර අවස්ථාවන්හි අරගල කළහ. ඔවුහු ඥානාන්විත ව අල්ලාහ් වෙත ජනයා ඇරයුම් කළහ. ඔවුන්ගේ ජීවිත හා වටිනා දෑ කැප කළහ. දුරින් හා සමීපයෙන් සිටින සතුරන්ගේ සතුරුකම් වලට ඉවසීමෙන් මුහුණ දුන්හ. ඒ අනුව ඔවුනට විශාල මහිමයන් හා විශේෂ ගුණාංගයන් සතුය. ඒ මෙසේය.
1.    ඉස්ලාමයේ ප්‍රමුඛයන් වීම.
2.    දුෂ්කර අවස්ථාවන් හි ඉවසීම.
3.    නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමඟ මිතුරුකම් පෑම.
4.    හිජ්රත් කිරීම හා පදිංචි වීම.
5.    උදව් උපකාර කිරීම හා කැපවීම.
6.    දැනුම හා කටයුතු මෙහෙය වීම.
7.    දහම ප්‍රචාරය කිරීම.
සහාබාවරුන්ගේ මහිමය හා ඔවුන්ගේ විශේෂාංග ඉදිරිපත් කෙරෙන සාධක බොහෝමයක් ඇත.  
(අ) ඔවුන්ගේ විශිෂ්ට ක්‍රියාවන් හා ඔවුන්ගේ අලංකාර කාල පරිච්ඡේදය ගැන පැසසුමට ලක් කරමින් හා ඔවුනට අතිමහත් ජයග්‍රහණය ද ගෞරවනීය පරමාධිපතියාණන්ගේ තෘප්තිය ද ඔවුනට ඇති බව ප්‍රතිඥා දෙමින් සඳහන් වන අල් කුර්ආන් වැකි.  උදාහරණ වශයෙන්
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
مُحَمَّدٌ رَسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا سِيمَاهُمْ فِي وُجُوهِهِمْ مِنْ أَثَرِ السُّجُودِ ذَلِكَ مَثَلُهُمْ فِي التَّوْرَاةِ وَمَثَلُهُمْ فِي الْإِنْجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوَى عَلَى سُوقِهِ يُعْجِبُ الزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ الْكُفَّارَ وَعَدَ اللَّهُ الَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا
මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අල්ලාහ්ගේ රසූල් වරයාය. ඔහු සමග සිටින්නවුන් ප‍්‍රතික්ෂේපකයින් කෙරෙහි ඉතා දැඩි අය ලෙස ද ඔවුන් අතර කරුණාවන්තයින් ලෙසද සිටිති. රුකුඋ කරමින් ද සුජූද් කරමින් ද අල්ලාහ්ගෙන් වූ භාග්‍යය ද තෘප්තියද සොයන්නන් ලෙස නුඹ ඔවුන් ව දකින්නේය. ඔවුන්ගේ ලක්ෂණය සුජූද් කිරීමේ සලකුණෙන් ඔවුන්ගේ මුහුණු මත ඇත්තේය. මෙය තව්රාතයෙහි වූ ඔවුන්ගේ උපමාව වේ. ඉන්ජීලයෙහි වූ ඔවුනගේ උපමාව ගොයම් බීජයක් මෙනි. එය එහි පැළය පිට කරයි. පසුව එය ශක්තිමත් කරයි. ඉන් පසුව එය ගොවීන් ව මවිතයට පත් කරමින් මහත් වී එහි කඳ මත සිට ගනීයි. මෙමගින් ප‍්‍රතික්ෂේපකයින්ව කෝපයට පත් කරවීම පිණිස(ඔහු උපමා දක්වන්නේ)ය. ඔවුන් අතුරින් විශ්වාස කර දැහැමි කි‍්‍රයාවන් කළවුන්ට අල්ලාහ් පාප ක්ෂමාව හා ඉමහත් වේතනයක් ප‍්‍රතිඥා කරන්නේය.    (අල් කුර්ආන් 48 : 29)
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
وَالَّذِينَ تَبَوَّءُوا الدَّارَ وَالْإِيمَانَ مِنْ قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَى أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ
ඔවුන්(මුහාජිරීන් වරුන්)ට පෙර (මදීනා නගරය තම) වාසස්ථානය කර ගත්තන් හා විශ්වාසය ලැබූවන් තමන් වෙත දේශාන්තරණය කර පැමිණියවුන් ව ප‍්‍රිය කරති. ඔවුන්(මුහාජිරීන් වරුන්)ට දෙනු ලැබූ දැයින් තම හදවත් හි කිසිදු ඊර්ෂ්‍යාවක් ඔවුහු නොදකිති. තමන්ට (දැඩි) අවශ්‍යතාවක් තිබියදී තමන්ට වඩා (මුහාජිරීන් වරුන් හට) ප‍්‍රමුඛත්වය ලබා දෙති. තවද කවරෙකු තමන්ගේ හදවතෙ හි ඇති වන මසුරුකමින් වළක්වනු ලබන්නේ ද ඔවුහුමය ජය ලද්දෝ.    (අල් කුර්ආන් 59 : 09)
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ
දේශ තරණය කළවුන්ගෙන් ද උදව් උපකාර කළවුන්ගෙන් ද ප‍්‍රථම වරට ප‍්‍රමුඛත්වය ලබා ගත්තවුන් හා ඔවුන් ව යහ අයුරින් පිළිපැද්දවුන් පිළිබඳ ව අල්ලාහ් තෘප්තියට පත් විය. ඔහු පිළිබඳ ව ද ඔවුහු තෘප්තියට පත් වූවෝය. පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් ඔවුන් වෙනුවෙන් ඔහු සූදානම් කළේය. ඔවුහු එහි සදාතනිකයින් වෙති. මහත් වූ ජයග‍්‍රහණය එයයි.        (අල් කුර්ආන් 9: 100)
මෙම ප්‍රතිඥාවට සතු මෙම උත්තමයන් කිසිවිටෙක දහම වෙන් නොකළ බව සැබැවින්ම අල්ලාහ් දනී. ඊට පටහැණි ව ඔවුන් ඔවුන්ගේ ජීවිත පුද කළහ. යම් පාපයක් සිදු කළද ඒ මත රැඳී සිටියේ නැත. ඒ වෙනුවෙන් පශ්චාත්තාපයේ නිරත වූහ. ඔවුන්ගේ සැබෑ පශ්චාත්තාපය හේතුවෙන් ද යහපත් සාරධර්ම හා උසස් තත්ත්වයන් ඔවුනට හිමි බැවින් ද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය.
(ආ) ඔවුන්ගේ මහිමයන් පිළිබඳ විස්තර කරමින් සඳහන් වන නබි තුමාණන්ගේ මුතු වැකි.
උදාහරණයක් වශයෙන් නබි තුමාණෝ වරක් මෙසේ පවසා සිටියහ.
" لَا تَسُبُّوا أَصْحَابِي فَلَوْ أَنَّ أَحَدَكُمْ أَنْفَقَ مِثْلَ أُحُدٍ ذَهَبًا مَا بَلَغَ مُدَّ أَحَدِهِمْ وَلَا نَصِيفَهُ "
මාගේ මිතුරන්ට නුඹලා බැණ නොවදිනු. මාගේ ආත්මය කවුරුන් සතු වන්නේ ද ඔහු මත දිවුරා පවසමි. ඔබ අතුරින් කිසිවකු උහද් කන්ද තරම් රන් වියදම් කළ ද ඔවුන් කිසිවකුගේ ප්‍රමාණයට හෝ ඉන් කොටසකට හෝ ළං විය නොහැක.  (මූලාශ්‍රය : බුහාරි)
තවත් අවස්ථාවක එතුමාණෝ
"خير القرون قرني الذين بعثت فيهم" ...
කාල වකවානු අතුරින් ශ්‍රේෂ්ඨතම කාල වකවානුව වනුයේ මා කවුරුන් අතර එවනු ලැබුවේ ද එම කාල වකවානුවයි.
(ඇ) මුත්කීන් හෙවත් දේව බිය බැතිමතුන් පිළිබඳවත් මුඃමිනීන් හෙවත් දේව විශ්වාසවන්තයින් පිළිබඳවත් මුහ්සිනීන් හෙවත් දැහැමියන් පිළිබඳවත් ඔවුන්ගේ ගුණාංග ඔවුනට සතු ප්‍රශංසාවන් මෙලොව හා මතු ලොවෙහි ඔවුනට පොරොන්දු වූ මහිමයන් පිළිබදවත් පොදුවේ මෙනෙහි කරමින් පවසන කරුණු. සමාජයේ ඉහත කරුණු සියල්ලට භාජනය වන මුල් උදවිය හා ශ්‍රේෂ්ඨ උදවිය වන්නේ අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිතුරන්ය. ඉහත කී කරුණු වල පූර්ණ කොටසකට හා පූර්ණ භාග්‍යයන්ට හිමිකම් පාන්නේ මෙම උදාර පුද්ගලයෝ වෙති.
(ඈ) ඔවුන්ගේ මහිමයන් හා ඔවුන්ගේ විශේෂාංගයන් සඳහන් කරමින් කුර්ආනයේ හා සුන්නාවේ සඳහන් ව ඇති කරුණු. ඔවුන්ගේ උසස් තත්ත්වය හා පූර්ණ ගුණාංගයන් පිළිබඳ ව පවතින සාක්ෂි යන මේ සියල්ල දහම දැන ගැනීමේදී අවශ්‍ය කරුණු වේ.  එසේ නොවූ විටක රාෆිලාවරු කවාරිජ්වරු මුඃතසිලාවරු හා ඔවුනට සමාන වූ ඔවුන්ගේ නොමඟ යෑම් හා ඔවුන් පවසන අසත්‍ය දෑ උරුම කරගත් බොරු ගොතා මුළා වී  ගිය අය පවසන දෑ ට විරුද්ධත්වය පළ කළ නොහැකි වනු ඇත.   
***
 
5. සහාබාවරුන්ගේ මහිමයන් අතර පවතින ප්‍රභේද හා ඔවුන්ගේ තරාතිරම්
දැනුම හා දේව විශ්වාසය ඇති වියතුන්ගේ තීරණය අනුව සියලු සහාබාවරු ඔවුන් සතු මහිමයන් සම්බන්ධයෙන් එක හා සමාන නොවන බවයි. නමුත් එක් අයකුට පමණක් සීමා වූ විශේෂ මහිමයන් හා තරාතිරම් ද පිරිසකට සීමා වූ විශේෂ මහිමයන් හා තරාතිරම් ද ඇත. ඉස්ලාමය වෙත පිවිසීම හිජ්රත් ගමන මදීනාවේ පදිංචි වීම ඉස්ලාමයට උදව් උපකාර කිරීම අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම වැනි කරුණු මුල් කර ගනිමින් හා ඔවුන්ගේ දහමට ඔවුන්ගේ නබිවරයාට ඉටු කළ යුතුකම් හා ක්‍රියාකාරකම් මුල් කර ගනිමින් ඔවුන්ගේ තරාතිරම් වෙනස් වනු ඇත.
(අ) ඔවුන් අතුරින් වඩාත් විශිෂ්ටයින් වන්නේ හුදෙයිබිය්යා ගිවිසුමට පෙර විය පැහැදැම් කළ අය හා අරගල කළ උදවිය වෙති. හුදෙයිබිය්යා ගිවිසුමට අල් කුර්ආනයේ ජයග්‍රහණය යනුවෙන් අල්ලාහ් නම් කොට ඇත. සැබැවින්ම මොවුහු ඊට පසුව විය පැහැදැම් කළ අය හා අරගල කළ අයට වඩා උතුම්ය. මෙම විශිෂ්ටත්වය පෙන්වන සාධකයක් වශයෙන් අල් කුර්ආනයේ 57 : 10 වැකියෙහි අල්ලාහ් මෙසේ අවධාරණය කරයි.
لَا يَسْتَوِي مِنْكُمْ مَنْ أَنْفَقَ مِنْ قَبْلِ الْفَتْحِ وَقَاتَلَ أُولَئِكَ أَعْظَمُ دَرَجَةً مِنَ الَّذِينَ أَنْفَقُوا مِنْ بَعْدُ وَقَاتَلُوا وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَى
ජයග‍්‍රහණයට පෙර විය පැහැදම් කොට සටන් කළවුන්ට නුඹලාගෙන් කිසිවෙකු සම නොවන්නේය. ඉන් පසුව වියදම් කර සටන් කළවුන්ට වඩා ඔවුන් තරාතිරමින් අති උතුම්ය. තවද සියල්ලන්ටම අල්ලාහ් යහපත ප‍්‍රතිඥා දී ඇත.
මොවුහු හිජ්රත් කළ මුල් මුහාජිර්වරුන් හා ඔවුනට උපකාර කළ මුල් අන්සාර්වරුන් වෙති.
(ආ) හිජ්රත් ගිය මුහාජිර්වරු පිළිබඳ ව ඔවුනට උදව් උපකාර කළ අන්සාර්වරුන්ට කලින් සඳහන් කරමින් පද භාවිත කොට සාධක ඉදිරිපත් කෙරේ. එම සාධක අතුරින් අල් කුර්ආන් 9 : 117 වැනි පාඨය එකකි. එනම්
لَقَدْ تَابَ اللَّهُ عَلَى النَّبِيِّ وَالْمُهَاجِرِينَ وَالْأَنْصَارِ
මෙම නබිවරයා කෙරෙහි ද දේශ තරණය කළවුන් (වන මුහාජිර්වරුන්) කෙරෙහි ද උදව් උපකාර කළවුන් (වන අන්සාර්වරුන්) කෙරෙහි ද සැබැවින්ම අල්ලාහ් පාප ක්ෂමාව පිරිනැමුවේය.
ෆය් හෙවත් යුද්ධයෙන් අත්පත් කර ගන්නා භාණ්ඩ සම්බන්ධයෙන්වූ නීතිය පවසන වැකියක අල්ලාහ් මෙසේ අවධාරණය කරයි.
وَالَّذِينَ تَبَوَّءُوا الدَّارَ وَالْإِيمَانَ مِنْ قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَى أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ
ඔවුන්(මුහාජිරීන් වරුන්)ට පෙර (මදීනා නගරය තම) වාසස්ථානය කර ගත්තවුන් හා විශ්වාසය ලැබූවන් තමන් වෙත දේශාන්තරණය කර පැමිණියවුන් ව ප‍්‍රිය කරති. ඔවුන්(මුහාජිරීන් වරුන්)ට දෙනු ලැබූ දැයින් තම හදවත්හි කිසිදු ඊර්ෂ්‍යාවක් ඔවුහු නොදකිති. තමන්ට (දැඩි) අවශ්‍යතාවක් තිබියදී තමන්ට වඩා (මුහාජිරීන් වරුන්හට) ප‍්‍රමුඛත්වය ලබා දෙති. තවද කවරෙකු තමන්ගේ හදවතෙහි ඇති වන මසුරුකමින් වළක්වනු ලබන්නේ ද ඔවුහුමය ජය ලද්දෝ.        (අල් කුර්ආන් 59 : 09)
අල්ලාහ් මෙහිදී සියල්ලන් ප්‍රශංසාවට ලක් කොට ඇති අතර මුහාජිර්වරුන් ආමන්ත්‍රණය කොට ඇත්තේ අන්සාර්වරුන්ට පෙරය. මේ අනුව මුහාජිර් වරුන් ප්‍රමුඛ කොට පැවසීමෙන් පෙන්වා දෙන්නේ ඔවුහු තරාතිරමින් හා තත්ත්වයෙන් සෙසු අයට වඩා උසස් බවය. හේතුව ඔවුහු ඔවුන්ගේ ගම්බිම් සැප සම්පත් පවුල් දරුවන් හා ඥාතීන් සියල්ල හැර දමා හිජ්රත් කළ බැවින් විශේෂිත වූහ. අල්ලාහ් වෙනුවෙන් හා ඔහුගේ රසූල් වෙනුවෙන් හිජ්රත් කිරීම යනු දහම වෙනුවෙන් ගත් උදාර පියවරකි. අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්ට කළ උපකාරයකි. අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමකි. එමෙන්ම අල්ලාහ්ගේ වදන උසස් කොට එය ස්ථාපිත කිරීමකි.  
•    බද්ර් සහාබාවරුන්ට හිමි විශේෂ මහිමය
මුහාජිර්වරුන් හා අන්සාර්වරුන් අතුරින් බද්ර් සහාබාවරුන් පමණක් මහිමයෙන් සුවිශේෂී වනුයේ ඔවුන් වෙත ‘නුඹලා කැමති දෑ කරනු. සැබැවින්ම නුඹලාට සමාව දෙනු ලැබීය’ යැයි අල්ලාහ් විශේෂ කොට කළ ප්‍රකශයයි. බුහාරි මුස්ලිම් හා වෙනත් හදීස් වාර්තාවන් අනුව ඔවුහු තුන්සිය දහයක් දෙනා පමණ වෙති. ෂෙයිකුල් ඉස්ලාම් තුමා (අල්ලාහ් එතුමා කෙරෙහි කරුණා කරත්වා!) පවසා සිටිනුයේ ‘මේ පිළිබඳ ව මැනවින් දන්නේ අල්ලාහ්ය. සැබැවින්ම ඔවුහු ඔවුන්ගේ දහම වෙන් නොකළ බව අල්ලාහ් දනී. ඔවුන් පවක් උපයා ගත්තද එය වෙනත් අයට මෙන් නොපවතී. හේතුව සැබැවින් අල්ලාහ් ඔවුන්ට නියම පශ්චාත්තාපයත් සැබෑ පාප ක්ෂමාවත් පිරිනමා ඇති බැවිනි. එමෙන්ම අල්ලාහ් ඔවුනට සමාව නියම කොට පාපය මකා දැමූ යහපතත් පිරිනමා ඇති බැවිනි.
(ඇ) උහද් හා අහ්සාබ් ඇතුළු ව තමන් පිරික්සුමට ලක් වූ දිවි හිමියෙන් කැප වූ ඉවසිලිවන්ත ව යුද්ධ වලට සහභාගී වූ සහාබාවරුන්. මෙම දර්ශනය නුදුටු අය මොවුන්ගෙන් පසුව මිස ඉහළට නොගියේය. අල්ලාහ්ගේ අතිමහත් භාග්‍යය ඔවුනට හිමිය.
•    බය්අත් අර් රිල්වානයට සහභාගී වූ අයගේ මහිමය
මුහාජිර්වරුන් හා අන්සාර්වරුන් අතර හුදෙයිබිය්යා ගිවිසුම් අවස්ථාවේ ක්‍රියාත්මක වූ බයිඅත් අර්-රිල්වානයට සහභාගී වූ සහාබාවරුන් මේ හේතුවෙන් අල්ලාහ් විශේෂ කොට දැක්වීය. සැබැවින්ම අල්ලාහ් ගස යට සිට ප්‍රතිඥා දුන් කිසිවකු නිරයට ඇතුළු නොවන බව පවසා ඔවුන් ව පිළිගත්තේය. ඔවුන් එක්දාස් හාරසිය දෙනෙකු පමණ විය. මේ පිළිබඳ අල් කුර්ආනයේ ඍජු ප්‍රකාශයක් ද පැමිණ ඇත. එනම්
لَقَدْ رَضِيَ اللَّهُ عَنِ الْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ
ගස යට සිට ඔවුන් නුඹට ප්‍රතිඥා දුන් අවස්ථාවේ එම විශ්වාසවන්තයින් ව සැබැවින්ම අල්ලාහ් පිළිගත්තේය. (අල් කුර්ආන් : 18)
ගස යට සිට ප්‍රතිඥා දුන් කිසිවකු නිරයට ඇතුළු නොවෙයි යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ) තුමා ප්‍රකාශ කළ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා වර්තා කළ හදීසයක් මුස්ලිම්හි සඳහන් ව ඇත.
අහ්ලුස් සුන්නා වල් ජමාඅත් වරුන්ගේ සංකල්පයට අනුව සැබැවින්ම බද්ර් සහාබාවරුන්ට ද බය්අත් අර් රිල්වානය සහභාගි වූ සහාබාවරුන්ට ද ස්වර්ගය හා නිරයෙන් ගැලවුම ද ඇති බව ඔවුනට අල්ලාහ් සාක්ෂි දරයි. මේ අනුව සියලු සහාබාවරු මෙයට ඇතුළත් වෙති. අල්ලාහ් මෙසේ පවසයි.
وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَى
තවද සියල්ලන්ටම අල්ලාහ් යහපත ප්‍රතිඥා කොට ඇත. (අල් කුර්ආන් 4 : 95)
•    ස්වර්ගය සතු යැයි ශුභාරංචි දන්වනු ලැබූ දස දෙනාගේ මහිමය
ස්වර්ගය සතු යැයි ශුභාරංචි දැන් වූ දස දෙනාට සුවිශේෂිත වූ ද අති මහත් වූ ද මහිමයන් ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමා ඔවුනට ස්වර්ගය සතු යැයි සාක්ෂි දරා ඔවුන් නිශ්චිත කොට දැක්වූහ. එම දස දෙනා වනුයේ
1-    අබූ බක්ර් (රළියල්ලාහු අන්හු)
2-    උමර් (රළියල්ලාහු අන්හු)
3-    උස්මාන් (රළියල්ලාහු අන්හු)
4-    අලී (රළියල්ලාහු අන්හු)
5-    තල්හා ඉබ්නු උබෙයිදුල්ලාහ් (රළියල්ලාහු අන්හු)
6-    සුබෙයිර් ඉබ්නු අල් අවාම් (රළියල්ලාහු අන්හු)
7-    සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු)
8-    සඊද් ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හු)
9-    අබ්දුර් රහ්මාන් ඉබ්නු අවුෆ් (රළියල්ලාහු අන්හු)
10- අබූ උබයිදා ආමිර් ඉබ්නු අල් ජර්රාහ් (රළියල්ලාහු අන්හු)
•    මේ දස දෙනා හැර සාක්ෂි දරනු ලැබූ වෙනත් සහාබාවරුන්ගේ මහිමය
මෙම සහාබාරුන් දස දෙනා හැර ස්වර්ගය සතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සාක්ෂි දැරූ තවත් සහාබාවරුන් වෙති. උදාහරණ වශයෙන් 1- සාබිත් ඉබ්නු කය්ස් ඉබ්නු ෂම්මාස් 2- උක්කාෂා ඉබ්නු මුහ්සින් 3- අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් 4- අල් හසන් 5- අල් හුසෙයින් 6- උම්මහාතුල් මුඃමිනීන් (දේව විශ්වාසවන්තයින්ගේ මව්වරු) හෙවත් නබිතුමාණන්ගේ බිරින්දෑවරුන් හා නම් සඳහන් නොකළ තවත් ඇතැම් සහාබාවරුන් ද මීට ඇතුළත් වෙති. අල්ලාහ් මොවුන් සියලු දෙනා පිළිගනිත්වා ! නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙනත් අය ගැන නොපැවසූ ස්වර්ගය හිමි යැයි විශේෂ කොට පැවසූ අය මොවුන්ය. මෙයම ඔවුන් සතු අතිමහත් මහිමයන් වේ.
නම් කරනු ලැබූ මේ සියලු දෙනා පිළිබඳ සාක්ෂි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දූත පණිවිඩයේ සාධක වශයෙන් පිහිටා ඇත. තමන්ට ස්වර්ගය ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සාක්ෂි දරමින් නියම කළ සියලු සහාබාවරු තමන් ප්‍රතිඥා දෙනු ලැබූ දෑ වෙත ළඟා වන තෙක් දේව විශ්වාසයේ ඍජූ ව හා ස්ථාවර ව සිටියහ. ඔවුනට ස්වර්ගය ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විශේෂ කොට නම් කරමින් සාක්ෂි දරා ඇති බැවින් අහ්ලුස් සුන්නා වල් ජමාආතයට අයත් අපද එසේම සාක්ෂි දරන්නෙමු. කෙනෙකුට ස්වර්ගය සතුය නැතහොත් නිරය සතුය යැයි සාක්ෂි දරනු ලැබී ඇත්නම් එහි මිනිස් බුද්ධිය භාවිත කිරීමට නොහැකිය. එය ෂරීආ පිළිවෙත මත රැඳී පවතින්නකි.
මොවුන් ගැන සාක්ෂි දරමින් ෂරීආ ව පැමිණ ඇත. කවර දෙයක් ඔවුනට සතු යැයි ෂරීආ ව පවසන්නේ ද ඒ අනුව ඔවුනට සාක්ෂි දරනු ලැබේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ස්වර්ගය සතු යැයි සාක්ෂි නොදැරූ පුද්ගලයිනට එසේ ස්වර්ගය සතු යැයි සාක්ෂි දරනු නොලැබේ. හේතුව මෙහි අල්ලාහ්ගේ ප්‍රකාශය ද ඇතුළත් ව ඇති බැවිනි. නමුත් මුස්ලිම්වරුන් අතුරින් දැහැමියන් සඳහා මෙවන් තිළිණ අපේක්ෂා කරනු ලබන අතර ඔවුන් අතුරින් පාපතරයින් දඬුවමට බිය විය යුතු වේ.
•    කුලෆාඋර් රාෂිදීන් වරුන්ගේ මහිමය හා එම මහිමය තුළ ඔවුන්ගේ පිළිවෙළ
සැබැවින්ම කුලෆාඋර් රාෂිදීන් හෙවත් යහමඟ ලැබූ සිව් මහා පාලකයින් මුහාජිර්වරුන්ට වඩා අති උතුම් බව අහ්ලුස් සුන්නා වල් ජමාආත් වරුන්ගේ ඒකමතික තීරණය වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් පසුව සමාජයේ ශ්‍රේෂ්ඨයෝ වූයේ මොවුහුය. මොවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ඇමතිවරුන්ය. විවාහ බන්ධනයෙන් එතුමාගේ බෑණනුවන්ය. මේ සෑම කෙනෙකු පිළිබඳවම නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අන් අයට වඩා ඔවුනට මහිමයන් ඇති බව විශේෂ කොට පවසා ඇත. ඔවුන්ගේ තත්ත්වයට වෙනත් කිසිවකුට ළඟා විය නොහැක. ඔවුන් සියලු දෙනාවම අල්ලාහ් පිළිගනිත්වා !
අලී (රළියල්ලාහු අන්හු) තුමා හා සෙසු සහාබාවරුන් පිළිබඳ ව සඳහන් ව ඇති වාර්තාවන් මුල් කර ගනිමින් අහ්ලුස් සුන්නා වල් ජමාආත් අය විසින් ඒකමතික තීරණයක් ගෙන ඇත. එනම් මෙම සමාජයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පසු ශ්‍රේෂ්ඨ වනුයේ අබූ බක්කර් තුමාය. එතුමාණන්ට පසු උමර් තුමාය. නමුත් උස්මාන් හා අලී තුමා යන දෙදෙනාගෙන් කවරෙකු වඩාත් ශ්‍රේෂ්ඨදැයි යන්නෙහි මතභේද පවතී. පිරිසක් ඔවුන් දෙදෙනා අතුරින් උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා ප්‍රමුඛයා වේ යැයි පවසති. අලී තුමා පිළිබඳ ඔවුහු නිහඩ වෙති. තවත් පිරිසක් අලී (රළියල්ලාහු අන්හු) තුමා ප්‍රමුඛයා වේ යැයි පවසති. තවත් පිරිසක් ඒ ගැන කිසිවක් නොපවසාම නතර වෙති. ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමිය්යා තුමා මින් පළමුවැනි අදහස වඩාත් සුදුසු යැයි පෙන්වා දෙයි. එනම් ඇතැම් විශේෂිත කරුණු වලදී අලී (රළියල්ලාහු අන්හු) තුමාට වඩා උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමාට ප්‍රමුඛත්වය හිමි වන බවය.  එම කරුණු පහත සඳහන් පරිදි පෙන්වා දෙයි.
1.    උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමාගේ විශේෂාංගයන් පිළිබඳ ඉදිරිපත් කෙරෙන බලවත් සාධක පිහිටා තිබීම.
2.    කිලාෆත් පදවියට එනම් රාජ්‍ය පාලනයට සහාබාවරු උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා ව ඉදිරිපත් කිරීම. එම සහාබාවරුන්ගේ දැක්මෙහි එතුමාණන් කෙරෙහි වඩාත් ශ්‍රේෂ්ඨත්වයක් ඇති බව දුටු නිසාවෙන් මිස මෙසේ සිදු විය නොහැක. කිලාෆත් පදවියට ඔවුන් අනුපිළිවෙළින් තෝරා ගත් අයුරින්ම ශ්‍රෙෂ්ඨත්වය හා මහිමය සම්බන්ධයෙන්ද එතුමාණන් පිළිවෙළට තබන ලදී.  ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා සිටි හදීසයක් ඉමාම් බුහාරි තුමා මෙසේ වාර්තා කරන ලදී.
عَنْ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ " كُنَّا نُخَيِّرُ بَيْنَ النَّاسِ فِي زَمَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَنُخَيِّرُ أَبَا بَكْرٍ ثُمَّ عُمَرَ بْنَ الْخَطَّابِ ثُمَّ عُثْمَانَ بْنَ عَفَّانَ رَضِيَ اللَّهُ عَنْهُمْ

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ අපි ජනයා අතර ශ්‍රේෂ්ඨයින් තෝරන්නන් ලෙස සිටියෙමු.  ඒ අනුව අපි අබූ බක්ර් තුමා ද පසුව උමර් ඉබ්නු කත්තාබ් තුමා ද පසුව උස්මාන් ඉබ්නු අෆ්ෆාන් තුමා ද (රළියල්ලාහු අන්හුම්) තෝරා ගතිමු.

අබූ දාවූද්හි සඳහන් වන පරිදි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ජීවතුන් අතර සිටියදීම අපි මෙසේ පවසා සිටියෙමු. නබි තුමාගේ ප්‍රජාවේ ශ්‍රේෂ්ඨතමයා වන්නේ අබූ බක්ර් තුමාය. පසුව උමර් ඉබ්නු කත්තාබ් තුමාය පසුව උස්මාන් තුමාය.

3.    අහ්ලුස් සුන්නාවරුන්ගේ ස්ථාවරය සහාබාවරු බයිඅත් අවස්ථාවේ උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමාට මුල් තැන දුන් පරිදි එතුමාට මුල් තැන දී පසු ව අලී (රළියල්ලාහු අන්හු) තුමාට මුල් තැන දීමයි. අබ්දුර් රහ්මාන් ඉබ්නු අව්ෆ් තුමා මෙසේ පවසා සිටියි.
ජනයින් අතර සිදු වන කටයුතු සම්බන්ධයෙන් සැබැවින්ම මම දැක ඇත්තෙමි. එවිට උස්මාන්ට වඩා සාධාරණ අයුරින් කටයුතු කරන අය මා දැක නැත. සලෆ් වරුන්ගෙන් අනේක දෙනා පවසා සිටිනුයේ කවරෙකු අලී (රළියල්ලාහු අන්හු) තුමාට වඩා උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමාට ප්‍රමුඛත්වය ලබා නොදුන්නේ ද සැබැවින්ම ඔහු මුහාජිර්වරුන් හා අන්සාර්වරුන්(ගේ අදහස) පහත් කොට සලකා ඇත. එහෙයින් අලී තුමාට වඩා උස්මාන් තුමාට ප්‍රමුඛත්වය ලබා දීමේ සාධකයක් බවට මෙය පිහිටා තිබේ. සැබැවින්ම එතුමා වඩා ශ්‍රේෂ්ඨය. හේතුව අලී (රළියල්ලාහු අන්හු) තුමාට ඇතැම් පිරිස් බයිඅත් කර තිබියදීත් එතුමා ඒ වන විටත් ආගමික නීති ක්‍රියාත්මක කරමින් සිටියදීත් සහාබාවරුන් සාකච්ඡා කිරීමෙන් පසුව එතුමාණන් ව ඔවුන් තෝරා ඉදිරිපත් කිරීමට පෙලඹුණු බැවිනි.  
අලී (රළියල්ලාහු අන්හු) තුමාට වඩා උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමාට ප්‍රමුඛත්වය පිරිනැමීම සම්බන්ධයෙන් ඔවුන් එකඟතාවට එළැඹීම ම එතුමාට පසු ව අලී (රළීයල්ලාහු අන්හු) ශ්‍රේෂ්ඨ බවත් එතුමාට පසුව පාලනයට සුදුසු අය බවත් පෙන්වන සාධකයකි. එතුමාගේ කාලයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වූයේ ද අලී (රළීයල්ලාහු අන්හු) තුමාය. අලී (රළීයල්ලාහු අන්හු) තුමා සිටියේ ද එලෙසමය.  

සියලු සහාබාවරුන් සතු මහිමයන් පිළි ගත් පසු ඔවුන්ගේ මහිමයන් අතර පවතින ප්‍රභේදයන් සම්බන්ධයෙන් වූ අහ්ලුස් සුන්නා වල් ජමාඅත්වරුන්ගේ ආකල්පයේ සංෂිප්තිය වනුයේ සහාබරුන්ගෙන් ශ්‍රේෂ්ඨතමයා වනුයේ අබූ බක්කර් අස් සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමාය. පසු ව උමර් අල් ෆාරූක් (රළියල්ලාහු අන්හු) තුමාය. පසුව උස්මාන් දුන් නූරෙයින් (රළියල්ලාහු අන්හු) තුමාය. පසුව අලී අල් මුර්තලා (රළියල්ලාහු අන්හු) තුමාය. පසුව ස්වර්ගය නියැතැයි සාක්ෂි දරනු ලැබූ සෙසු දස දෙනාය. පසු ව බද්ර් සහාබාවරුන් ය. පසු ව බයිආ අර් රිළ්වානයට සහභාගී වූ සහාබාවරුන් ය. පසු ව මක්කා ජයග්‍රහණයට පෙර ඉස්ලාමය වැළද ගත් සහාබාවරුය. පසුව ජයග්‍රහණයෙන් පසුව ඉස්ලාමය වැලඳ ගත් අරගල කළ සහාබාවරුන් ය.
***
 
6. සහාබාවරුන් සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයට පැවරී ඇති යුතුකම් හා වගකීම්
සහාබාවරුන් සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය වෙත පැවරී ඇති වඩා වැදගත් හා අනිවාර්යයෙන් ම ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් ඇත. ඉන් සමහරක් මෙසේය.
පළමුවැන්න :  ඔවුන්ගේ මහිමයන් හා විශේෂාංගයන් පිළිබඳ ව සඳහන් ව ඇති දෑ ස්ථීර ලෙස පිළිගැනීම හා ඔවුන් ගැන වූ ක්‍රෝද හා වංචා සහගත හැඟීම් හා ඔවුනට වෛර කිරීමෙන් තම සිත පිරිසිදු කර ගැනීම.
දෙවැන්න : හදවතින් ඔවුන් ව ඇලුම් කොට ඔවුන් පෙරමුණේ සිට කටයුතු කිරීම ගැනත් ඔවුනට සතු මහිමයන් ගැනත් ඔවුන් කළ යහපත් උපකාර හා සත් ක්‍රියාවන් ගැනත් මුවින් පැසසුමට ලක් කිරීම හා එතුළින් ඔවුන් ගැන මෙම සමාජයට ආදරයක් ඇති කිරීම.
තුන්වැන්න : දැනුම සත් ක්‍රියාව දහම් ප්‍රචාරය යහපත විධානය කිරීම අයහපතින් වැළැක්වීම සමාජ ඇසුර දහමට එරෙහි ව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දැඩි ව කටයුතු කිරීම වැනි දෑ ඔවුන්ගෙන් ඉගෙන ඔවුනට අනුයුක්ත ව කටයුතු කිරීම. හේතුව අල්ලාහ් ඔවුන් ව පිළිගෙන ඇත. අල්ලාහ්ගේ ප්‍රකාශයන්හි අරමුණ හා අල්ලාහ්ගේ දූතයාණන්ගේ සුන්නාහ්වෙහි අරමුණ මැනවින් දන්නා අය වූහ. එමෙන්ම කුර්ආනය හා සුන්නා ව පිළිපැදීමෙහිලා වඩාත් සුදුස්සන් වූහ. සමාජයට උපදෙස් දීමෙන් පරිපුන් වූහ. මනෝ ආශාවන් හා අලුතින් බිහි කරන දැයින් සමාජය දුරස් කරන්නන් වූහ.  
සිව්වැන්න : අල්ලාහ් පවසන අයුරින් ඔවුන් වෙත ආදරය දැක්වීමත් ඔවුන් වෙනුවෙන් පාප ක්ෂමාවේ නිරත වීමත් යුතුකමක් වේ.
وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ

තවද අපගේ පරමාධිපතියාණනි, අපට ද අපට වඩා විශ්වාසයෙහි පෙරමුණ ගත්තවුන් වූ අපගේ සහෝදරයින්ට ද ක්ෂමා ව දෙනු මැනව ! තවද විශ්වාස කළවුන් කෙරෙහි අපගේ හදවත් හි කිසිදු ද්වේෂයක් ඇති නොකරනු මැනව ! අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ සානුකම්පිතය. පරම කරුණාභරිතය. යනුවෙන් පවසමින් කවුරුන් ඔවුනට පසු ව පැමිණියේ ද ඔවුනට ද (කොටසක් ඇත.)             (අල් කුර්ආන් 59 : 10)
පස්වැන්න : ඔවුන් අතර මතු වූ ගැටලු සම්බන්ධයෙන් තර්ක විතර්ක කොට ගිලී සිටීමෙන් වැළකී සිටිය යුතුය. සැබැවින්ම ඔවුන් මුජ්තහිදූන් හෙවත් කාර්යක්ෂම ලෙසින් කරුණු සොයා එමගින් තිළිණ ලබා ගත් උදවිය වෙති. යමෙකු එසේ සෙවීමෙන් නිවරදි දේ ලැබුවේ නම් ඔහුට තිළිණ දෙකක් හිමි වේ. එය වැරදුණු විට එක් තිළිණයක් හිමි වේ. ඔහුට සිදු වූ වරදට ඔහු එම කරුණ කාර්යක්ෂම ව සෙවීම හේතුවෙන් සමාව දෙනු ලැබේ.
හයවැන්න : ඔවුන්ගෙන් කෙනෙකු වෙත යම් පාපකාරී කටයුත්තක් සම්බන්ධ කොට ඒ හේතුව මත ඔහු මුළුමණින්ම බොරු කාරයකි. ආශාවන්ට වහල් වූ සීමාව ඉක්මවා ගිය පාපකම් කළ අයකි යැයි මවා පෙන්වා කට කතා පතුරුවාලීමෙන් වැළකී සිටිය යුතුය. බාහිර ව පෙනෙන දේ එහි අභ්‍යන්තරය කුමක් දැ යි දැන ගත නොහැකිය. එබැවින් මෙලෙස කට කතා  පතුරුවාලීම ඔවුන් කෙරෙහි ක්‍රෝධී හැඟීම් හා ඔවුන් පිළිබඳ තරඟකාරිත්වයක් ඇති කොට  තම හදවත් කෙලෙසී යාමට තුඩු දීමක් වනු ඇත. ඔවුන් පිළිබඳ ක්‍රෝධ හැඟීම් හා ඔවුනට අවලාද නගන අයුරින් කරුණු කාරණා සෙවීම මහා පාපයන්ගෙන් එකකි. ඊටත් වඩා භයානක කරුණ වනුයේ සියලු ගුප්ත දෑ පිළිබඳ දැනුම ඇති අල්ලාහ්ගේ කෝපයයි.
සත්වැන්න : ඔවුනට හෝ ඔවුන්ගෙන් එක් අයකුට හෝ බැණ වැදීම ‍තහනම් බව විශ්වාස කිරීමය. ඔවුනට ශාප කිරීම ඊටත් වඩා දරුණුය. එය ඔවුන් පිළිබඳ ව අල්ලාහ් පවසා සිටි ඔවුන්ගේ පිවිතුරුකම ගැනත් ඔවුන් පිළිබඳ ව ඔහු කළ ප්‍රශංසා ව ගැනත් ඔවුනට යහපත් දෑ ඇති බවට ඔහු කළ ප්‍රතිඥා ව ගැනත් ප්‍රතික්ෂේප කිරීමකි. එමෙන්ම ඔවුනට බැණ නොවදින්නැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පෙන්වා දුන් විනයට පටහැණි ක්‍රියාවකි. ඔවුනට කරන අපරාධයක් මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් සීමා ව ඉක්මවා කටයුතු කිරීමකි. ඔවුහු නබිවරුන් රසූල්වරුන්ට පසු ව අල්ලාහ්ට ඉතා සමීපතයෝ වෙති. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَالَّذِينَ يُؤْذُونَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ بِغَيْرِ مَا اكْتَسَبُوا فَقَدِ احْتَمَلُوا بُهْتَانًا وَإِثْمًا مُبِينًا

විශ්වාස වන්තයින් හා විශ්වාස වන්තනියන් ඔවුන් නොකළ දෙයක් පිළිබඳ ව (පවසා) පීඩාවට පත් කරන අය සැබැවින්ම පැහැදිලි පාපයක් හා අවලාදයක් උසුලා ගත්තෝය.                      (අල් කුර්ආන් 33 : 57)
හදීස් අල් කුද්සියක සඳහන් වන පරිදි අල්ලාහ් මෙසේ පවසා සිටියි.
කවරෙකු මා හා සමීප කෙනෙකුට එරෙහි වන්නේ ද මම ඔහුට (එරෙහි ව) යුද ප්‍රකාශ කරමි .....
***
 
7. සහාබාවරුන් සාධාරණීකරණය කිරීම
සහාබාවරුන් අල්ලාහ්ගේ වදනින් ආමන්ත්‍රණය කරනු ලැබුවෝ වෙති. එනම්
كُنْتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ
මිනිසා වෙත හෙළි කරනු ලැබූ ශ්‍රේෂ්ඨතම ජන සමාජය නුඹලා වූහ. (අල් කුර්ආන් 3 : 110)
وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ
එමෙන්ම නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිස නුඹලා ව අපි මධ්‍යස්ථ සමාජයක් බවට පත් කළෙමු. (අල් කුර්ආන් 2 : 143)
මෙම වදනට ඇතුළත් වීමට වඩාත් සුදුසු හා වඩාත් ශ්‍රේෂ්ඨ හා මුල් අය වන්නෝ මොවුහුය.
මෙය තහවුරු කරමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.
සැබැවින්ම ඔවුන් මෙම සමාජයේ ශ්‍රේෂ්ඨ කාල පරිච්ඡේදයක වෙසෙන්නන් වෙති. සැබැවින්ම ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ද මොවුන්ය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී සමූහ හැත්තෑවක් බවට පත් කරනු ලැබේ. අල්ලාහ් වෙත ඉතා ගෞරවනීය හා ඉතා උතුම් වනුයේ මොවුන්ය.
සහාබාවරුන්ගේ මහිමයන් ඔවුන්ගේ විශේෂාංගයන් ඔවුනට සතු ප්‍රශංසාවන් හා ඔවුනට ප්‍රතිඥා කරන ලද අති මහත් ප්‍රතිඵල හා  උදාර තිළිණයන් පිළිබඳ ව පැහැදිලි කරමින් කුර්ආනය හා සුන්නා ව තුළ අපමණ සාධක බොහෝමයක් පැමිණ ඇත.  
ඔවුන්ගේ චරිත දෙස බලන විටත් ඔවුන්ගේ තත්ත්වයන් ගැන සිතා බලන විටත් ඔවුන් සම්බන්ධයෙන් සඳහන් කරුණු අනුව එනම් අල්ලාහ්ගේ මාර්ගය වෙත ජනයා ඇරයුම් කිරීම ඔහුගේ මාර්ගය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීම ඔහු පිළිබඳ දැඩි විශ්වාසයෙන් යුතු ව සිටිය දී ඔහුගේ උත්තරීතර වදන ලොව උසස් කරනු පිණිසත් ඔහුගේ දූතයාණන්ට උපකාර කරනු පිණිසත් ඔහුගේ දහම හෙළි කරනු පිණිසත් තම ජීවිත හා වටිනා වස්තු අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම යහපත් කරුණු ප්‍රයෝජනවත් දැනුම හා යහකම් කිරීම සඳහා  ඔවුන් තුළ තිබූ යුහුසුළුකම හා  මේ හැර ඔවුන් තුළ තිබූ වෙනත් විශේෂාංගයන් හා මනා දැනුම දෙස බලන විට ඇත්තෙන්ම ඔවුහු නබිවරුන් හා රසූල්වරුන්ට පසු සිටින ශ්‍රේෂ්ඨතම මැවීම වෙති. මෙම සමාජයේ දැනුමෙන් බුද්ධියෙන් හා දහමින් විශිෂ්ටතම උදවිය වන්නේ ද මොවුන්මය. ඔවුන් ඍජු මාර්ගය මත ගමන් කළහ. තවද සැබැවින්ම ඔවුන් මෙන් කිසිවකු නොවීය. දැනුදු එසේ කිසිවකු නොමැත. ඔවුන්ගේ විශේෂාංගයන් හා ඔවුන්ගේ ගුණාංගයන් හි ඔවුනට සමාන ව කිසිවකු නොමැත්තේමය. අල්ලාහ් ඔවුන් ව පිළිගනිත්වා !
මේ හේතූන් නිසා සැබැවින්ම සහාබාවරුන් සියලු දෙනා විශ්වාසනීය හා යුක්තිගරුක උත්තමයන් බවත් ඔවුන් අතුරින් කිසිවකුගේ විශ්වාසය හා යුක්තිය පිළිබඳ දොසක් පැවසිය නොහැකි බවත් අහ්ලුස් සුන්නා වල් ජමාආත්වරුන්  ඒකමතික ව පවසා සිටිති. එපමණක් නොව කුර්ආනයේ හා සුන්නාහ්වේ ඔවුන්ගේ පිවිතුරුකම ඔවුන් සතු ප්‍රශංසාවන් ඔවුන්ගේ ගුණවත් බව මධ්‍යස්ථ බව හා සත්‍යවන්ත බව වැනි මේ හැර වෙනත් ගුණාංග හා මහිමයන් ද සඳහන් ව ඇත. ස්ථාවර වූ ද සැබෑ වූ ද විශ්වාසනීය වූ ද මෙම දැනුම ඔවුන් ගැන සැක ඇති කරවන කරුණක් බවට අප ව අතහැර නොදමන අතර ඊට පටහැණි ව මනෝ ආශාවන් වහල් වූවන් ඔවුනට සමාන වූවන් අධමයින් හා ඉස්ලාමීය විරෝධීන් ඒ ගැන අවලාද නගමින් ගොතා පවසන බොරුව විනාශ කර දමන්නකි.    
ඔවුන් පිළිබඳ ව නැගිය හැකි චෝදනා වනුයේ
1.    ඔවුන් මහා බොරුකාරයින් බව හෝ
2.    එසේ නොමැති නම් විනාශකාරීන් බවයි. එනම් අවමානයට හා දෝෂාරෝපනයට පත් වන තරමට ඔවුන් යමක් අඩුවෙන් හෝ වැඩියෙන් යමක් ඇතුළත් කර ඇති බවය.
3.    මේ සම්බන්ධයෙන් වූ නිවැරදි විෂය වනුයේ ඔවුන් ඉජ්තිහාද් හෙවත් කාර්යක්ෂම අයුරින් යමක් සෙවීමය. එය නිවැරදි නම් එම කාර්යක්ෂම අයුරින් සොයා බලන්නාට කුසල් දෙකක් හිමිය. ඔහුට එය වැරදුණු විට එක් කුසලක් හිමිය. වැරදුණු විට සමාව දෙනු ලැබේ.
ඔවුන් පිළිබඳ ව ස්ථීර ව චෝදනා නගන්නට යම් කරුණක් තිබෙන්නේ නම් එය ඔවුන්ගේ ඉජ්තිහාදය පිළිබඳවය. ඔවුන් සමාව දෙනු ලැබූවන්ය. මේ තත්ත්වයන් දෙකෙන් කුමන තත්ත්වයක වුව ද ඔවුන් ප්‍රතිඵල දෙනු ලැබූවන් ය.
මේ නිසා ඔවුන් පිළිබඳ වූ සාක්ෂි ඔවුන් ගැන වාර්තා හා ඔවුන්ගේ යුක්තිය පිළිබඳ සටහන් පිළිගැනීමටත් ඔවුන් සියලු දෙනා වැරදි වලින් නිදොස් බව හා ඔවුනට අවලාද පැවසීම තහනම් බව පිළිගැනීමටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පසු ව සිටින ශ්‍රේෂ්ඨතම ප්‍රජාව ඔවුන් බවට තරයේ විශ්වාස කිරීම අනිවාර්‍ය බවටත් සම්මුතියට එළැඹ ඇති සත්‍යවාදීහු ඊට එකඟතා ව පළ කර සිටිති. අබූ සර්ආ තුමා මෙසේ පවසා සිටී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සහගාමීන් අතුරින් එක් අයකු පිළිබඳ ව හෝ අඩුපාඩු පවසන පුද්ගලයක් ඔබ දුටුවහොත් සැබැවින්ම ඔහු දේව අවිශ්වාසවන්තයකු බව දැන ගන්න.  හේතුව අල් කුර්ආනය සැබෑය. රසූල්වරයා ද සැබෑය. ඔහු ගෙන ආ දෑ ද සැබෑය. ඒවා ආමන්ත්‍රණය කරන ලද්දේ   සහාබාවරුන්ට මිස නැත. එබැවින් කවරෙකු හෝ ඔවුන් ගැන අඩුපාඩු පවසන්නේ නම් එයින් අදහස් වනුයේ ඔහු කුර්ආනය හා සුන්නාව නිෂ්ඵල දෙයක් ලෙස සැලකූ බවය.
•    සහාබාවරුන්ට බැණ වැදීමේ වර්ග සහ ඒ සියලු වර්ග සඳහා වූ නීතිය.
සහාබාවරුන්ට (අල්ලාහ් ඔවුන් පිළිගනිත්වා !) බැණ වැදීමේ අවස්ථාවන් කොටස් වශයෙන් බෙදා දැක්විය හැක.
පළමුවැන්න : කුර්ආනයේ ඔවුන්ගේ පිවිතුරුභාවය ගැන දන්වමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමඟ එක් වී කටයුතු කිරීමේ දී ඔවුනට හිමි වූ විශේෂත්වයන් හා මහිමයන් සඳහන් කරනු ලැබූ සහාබාවරුන්ට (අල්ලාහ් ඔවුන් පිළිගනිත්වා !) නම් කොට බැණ වැදීම උදාහරණ වශයෙන් අබූ බක්ර් තුමා උමර් තුමා ආඉෂා තුමිය උම්මහාතුල් මුඃමිනීන් යනුවෙන් විරුදා නාමය හිමි වූ නබි (සලල්ලලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ අනෙකුත් බිරින්දෑවරු (සියලු දෙනා ව අල්ලාහ් පිළිගනිත්වා !) පෙන්වා දිය හැක. මෙලෙස බැණ වැදීම දේව ප්‍රතික්ෂේපයකි. අසත්‍යයකි. එසේ බැණ වදින්නා ඉස්ලාමයෙන් බැහැර වූ අයෙකු ලෙසත් ඔහු ආගම අත් හළ කෙනෙකු ලෙසත් තීන්දු දෙනු ලැබේ. එය පැහැදිලි වූයේ නම් එමෙන්ම තහවුරු වූයේ නම් ඔහුට මරණ දඬුවම නියම වනු ඇත.
දෙවැන්න : රාෆිළාවරුන්ගෙන් බහුතරයක් පවසන පරිදි සහාබාවරුන්ගෙන් බහුතරය දේව ප්‍රතික්ෂේපකයෝය නැතහොත් පොදුවේ ඔවුන් පාපකම් කළවුන් යැයි පවසා බැණ වැදීම. මෙයද දේව ප්‍රතික්ෂේපයකි. හේතුව ඔවුන් ගැන අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා ප්‍රශංසා කොට තිබිය දී එමෙන්ම අල්ලාහ් ඔවුන් ව පිළිගෙන තිබිය දී එසේ ඔවුන් ප්‍රතික්ෂේප කිරීම අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා ව ප්‍රතික්ෂේප කළාක් මෙන් වනු ඇත. නමුත් මෙලෙස කෙනෙකු ඔවුන් දේව ප්‍රතික්ෂේපයේ සිටි බවට සැක කරන්නේ නම් එසේ ප්‍රතික්ෂේප කිරීම ද ඔවුන් නම් කොට පැවසුවාක් මෙනි.  හේතුව මේ ගැන අල් කුර්ආනයේ හා සුන්නාහ්වේ සඳහන් ව ඇත්තේ දේව ප්‍රතික්ෂේප කිරීමක් හෝ පාපකමක් ලෙසය.
තුන්වැන්න : ශාප කරමින් අවලාද පවසමින් ඔවුනට බැණ වැදීම. මෙතුළින් දේව ප්‍රතික්ෂේපකයකු ලෙස වීම ගැන  බුද්ධිමතුන් අතර ප්‍රකාශ දෙකක් ඇත. එම ප්‍රකාශය අනුව ඔහු දේව ප්‍රතික්ෂේපකයකු නොවෙයි. ඔහු ව පුනරුත්ථාපනය කිරීම අනිවාර්යය. එසේ නොමැති නම් ඔහු මරණයට පත් වන තුරු සිර අඩස්සියේ තැබිය යුතුය. එසේත් නොමැති නම් තමන් බොරු පැවසූ බවටත් වරදක් කළ බවටත් පිළි ගෙන ඔහු පැවසූ දැයින් නැවත හැරිය යුතුය.
සිව්වැන්න : ඔවුහු අධෛර්යවන්තයෝ වෙති. ඔවුහු ලෝබයෝ වෙති යනුවෙන් ඔවුන්ගේ දහම සම්බන්ධයෙන් ඔවුනට අවලාද නොපවසන යමක් පවසමින් ඔවුනට බැණ වැදීම. මෙහි අදහස පිළිබඳව ෂයිකුල් ඉස්ලාම් තුමා ඉමාම් අහ්මද් තුමා කළ සඳහනක් මෙසේ මතක් කර දෙයි. එනම්, ඔවුන්ගේ පාපකම් සම්බන්ධයෙන් කිසිවක් කීමට හෝ ඔවුන්ගෙන් කෙනෙකු ගැන යම් අඩු පාඩු පෙන්වා අවලාද කීමට හෝ කිසිවකුට සුදුසුකම් නොමැත. කවරෙකු එසේ කරන්නේ ද ඔහු අවවාද කරනු ලැබිය යුත්තේය. ඔහු පශ්චාත්තාප වන්නේ නම් එය මැනවි ! එසේ නොමැති නම් ඔහු නැවත නිවැරදි දේ වෙත යොමු වන තුරු අඩස්සියේ දැමිය යුතු වේ.
***
 
8. සහාබාවරුන් සම්බන්ධයෙන් අහ්ලුස් සුන්නා වල් ජමාආත්වරුන්ගේ ආකල්පයේ සංෂිප්තය
(අ) අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අනුගාමිකයින්ට ආදරය කිරීම. හේතුව ඔවුනට ආදරය කිරීම දේව විශ්වාසය වේ. ඔවුන් කෙරෙහි ක්‍රෝධ හැඟීම් ඇති කර ගැනීම කුහකකමකි. සහීහ් හදීසයක සඳහන් පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් : ‘අන්සාර්වරුන්ට ආදරය කිරීම ඊමානයේ සලකුණකි. එම අන්සාර් වරුන් කෙරෙහි ක්‍රෝධ හැඟීම් ඇති කර ගැනීම කුහකත්වයේ සලකුණකි.’ යැයි පවසා සිටියහ. එතුමා අන්සාරි සහාබාවරුන් ගැන පැවසූ තවත් වාර්තාවක් මෙසේය. ‘දේව විශ්වාසවන්තයකු හැර වෙනත් කිසිවකු ඔවුනට ආදරය නොකරයි. එමෙන්ම කුහකයකු හැර වෙන කිසිවකු ඔවුන් කෙරෙහි ක්‍රෝධ හැඟීම් ඇති කර නොගනී. අන්සාර්වරුන් පිළිබඳ මෙසේ තිබිය දී මුහාජිර්වරුන් මොවුනට වඩා සුදුස්සෝ වෙති. හේතුව මුහාජිර්වරුන් සියලු දෙනා ඉස්ලාමය වැලඳ ගැනීමේ දී පෙර ගමන්කරුවන් වූහ. උදව් උපකාර සමඟ හිජ්රත් කළ අය වූහ. එපමණක් නොව සියලු සහාබාවරුන්ගේ මහිමයන් හා ඔවුනට අල්ලාහ් ප්‍රතිඥා කළ මහත් තිළිණ හා ආනිසංසා පිළිබඳ පොදුවේ පවසන විට එම ප්‍රකාශයන්හි මුහාජිර්වරුන් ප්‍රථමයෙන් පවසා තිබීම ද ඔවුන්ගේ උසස් භාවය පෙන්වන්නකි.
(ආ) නබි (සල්ලල්ලාහු අලයිහ් වසල්ලම්) තුමාගේ සහගාමීන් අතුරින් කෙනෙකු පිළිබඳ ව ද්වේෂ සහගත හැඟීම් තම සිතෙහි ඇති කර ගැනීමෙන් දුරස් වී සිත පිරිසිදු ව තබා ගැනීම. මෙය අල්ලාහ්ගේ පහත සඳහන් ප්‍රකාශය තහවුරු කරන්නක් වශයෙනි.  
وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ
තවද අපගේ පරමාධිපතියාණනි, අපට ද අපට වඩා විශ්වාසයෙහි පෙරමුණ ගත්තවුන් වූ අපගේ සහෝදරයින්ට ද ක්ෂමා ව දෙනු මැනව ! තවද විශ්වාස කළවුන් කෙරෙහි අපගේ හදවත්හි කිසිදු ද්වේෂයක් ඇති නොකරනු මැනව ! අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ සානුකම්පිතය. පරම කරුණාභරිතය. යනුවෙන් පවසමින් කවුරුන් ඔවුනට පසුව පැමිණියේ ද ඔවුනට ද (කොටසක් ඇත.)       (අල් කුර්ආන් 59 : 10)
(ඇ) ඔවුන් ගැන අඩුපාඩු කීමෙන් තම දිව ආරක්ෂා කර ගැනීම. ඒ අනුව අල්ලාහ්ගේ දූතයාණන්ගේ අනුගාමිකයින් වූ සහාබාවරුන් කිසිවකුගේ යහපත මිස වෙන කිසිවක් මෙනෙහි නොකළ යුතුය. එය ඔවුන් පැසසුමට ලක් වන ආකාරයෙන් හා  ඔවුන්ගේ මහිමයට සාක්ෂියක් වන ආකාරයෙන් පිහිටිය යුතුය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුන්ගේ ගෞරවය පිළිබඳ උණුසුම් ලෙසින් පවසා ඇති බැවිණි. එතුමාණෝ මෙසේ පවසා සිටියහ.
නුඹලා මාගේ මිතුරන්ට බැණ නොවදින්න. මාගේ ආත්මය කවුරුන් සතු ව ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලාගෙන් කිසිවකු උහද් කන්ද තරම් රන් වියදම් කළ ද ඔවුන් කිසිවකුගේ ප්‍රමාණයට හෝ ඉන් අඩකට හෝ ළඟා විය නොහැක. ඔවුන්ට බැණ වැදීම තහනම් කටයුත්තක් බව මෙම හදීසය ඉතා පැහැදිලි ව ප්‍රකාශ කරයි. අවලාද පැවසීම ඊටත් වඩා දරුණය. එයින් වැළකී සිටීම අනිවාර්යය. මේ දෙකම මහා පාපයන් අතුරින් වූ ඒවාය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව පූර්ව සාධක සහිත හදීසයක මෙසේ සඳහන් වී ඇත. දේව විශ්වාසවන්තයකුට දොස් නැගීම ඔහු ව ඝාතනය කළා හා සමානය. එතුමා පැවසූ තවත් හදීසයක. ‘අහෝ අල්ලාහ් අහෝ අල්ලාහ් මාගේ මිතුරන් ! නුඹලා ඔවුන් ව හේතුවක් කර නොගන්න. කවරෙකු ඔවුනට හිංසා කරන්නේ ද ඔහු මට හිංසා කළේය. කවරෙකු මට හිංසා කළේද ඔහු අල්ලාහ්ට හිංසා කළේය. කවරෙකු අල්ලාහ්ට හිංසා කළේද එවිට ඔහුගේ ග්‍රහණයට භාජනය විය.’ සහාබාවරුන් සම්බන්ධයෙන් මෙම සමාජයට පැවරෙන වගකීම අති මහත්ය. සැබැවින්ම ඔවුන් මෙම සමාජයේ ශ්‍රේෂ්ඨයින්ය. එපමණක් නොව නබිවරුන් හා රසූල්වරුන්ගෙන් පසු ශ්‍රේෂ්ඨතම මිනිස් සමාජය වන්නේ මොවුන්ය. අල්ලාහ් මොවුන් සියල්ලන් ව පිළිගනිත්වා!
(ඇ) අහ්ලුස් සුන්නා වල් ජමාආත්වරු සහාබාවරුන් කිසිවකුගේ හෝ අල්ලාහ්ගේ සමීපතයින්ගේ හෝ පෙර ගමන් කරුවන්ගේ හෝ මොවුන් හැර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මුණ ගැසුණු වෙනත් අයගේ හෝ සුරක්ෂිත භාවය විශ්වාස නොකරති. ඔවුන් අතර කුඩා හෝ මහා පාපයන් සිදුවන්නට හැකියාව ඇති බව අහ්ලුස් සුන්නා වරුන්ගේ මතයයි. නමුත් අල්ලාහ් ඔවුන් ගැන සඳහන් කර ඇති පෙර නිමිති හේතු කොට ගෙන ඔවුනට ඔහු සමාව දී ඇත. ඉන් සමහරක් මෙසේය.
1) ඔවුන්ගේ පශ්චාත්තාපය පිළි ගත් බවත් එමගින් ඔවුන්ගේ තරාතිරම් උසස් කොට ඇති බවත් ප්‍රකාශ කිරීමෙන්...
2) පාපයන් මකා දමන යහපත් ආනිසංසා තුළින් ඔවුනට සමාව දී ඇති බව ප්‍රකාශ කිරීමෙන්... එනම් අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَالَّذِي جَاءَ بِالصِّدْقِ وَصَدَّقَ بِهِ أُولَئِكَ هُمُ الْمُتَّقُونَ ، لَهُمْ مَا يَشَاءُونَ عِنْدَ رَبِّهِمْ ذَلِكَ جَزَاءُ الْمُحْسِنِينَ
සත්‍යය ගෙන ආ හා එය සනාථ කළ අය වන ඔවුහුමය (නිරයේ දඬුවමින්) ආරක්ෂාව ලැබූවෝ. ඔවුන් සිතන පතන දෑ ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට ඇත. මෙය දැහිමියන්ගේ ප්‍රතිඵල වේ.     (අල් කුර්ආන් 39 : 33, 34)
දේව විශ්වාසය තහවුරු කිරීමේදී ද අල්ලාහ්ගේ දූතයාණන් ව සත්‍යය කිරීමේදී ද ඔවුන් මහත් කැපවීමක් මෙම සමාජය තුළ සිදු කර ඇත. එය ඔවුන්ගෙන් අල්ලාහ් පිළිගත්තේය. ප්‍රමුඛත්වය හිමි වනුයේ ඔවුනටය. එමෙන්ම ඔවුන් යම් වරදක් කළ ද ඔවුන්ගෙන් ඇති වන එම වැරදි වලට සමාව දානය කිරීම තුළින් ඔවුනට ඉමහත් මහිමය ද හිමිය.
(3) තවදුරටත් ඔවුන් ගැන පවසන්නේ නම් ඔවුනට පසු වෙනත් කිසිවෙකුට සමාව නොදුන් අයුරින් අල්ලාහ් ඔවුනට සමාව දී ඇත.  සැබැවින්ම ශ්‍රේෂ්ඨතම යුගය වනුයේ ඔවුන්ගේ යුගයයි. සැබැවින්ම ඔවුන්ගෙන් කිසිවකු කරන උපකාරය වූ කලී එමගින් ඔහු සදකාවක් කළ විට ඔවුනට පසු ව පැමිණෙන කෙනෙකු කරන සදකාවෙන් ලැබෙන මහිමයට වඩා උහද් කන්දක ප්‍රමාණයට වඩා උතුම් යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශය එය තහවුරු කරනු ඇත.
(5) ඉස්ලාමයේ ප්‍රමුඛයින් වීමේ මහිමයත් පාපයන් මකාලන මහත් ආනිසංසාත් ඔවුනට හිමිය. එපමණක් නොව ඔවුන් නානාකාරයේ  වද වේදනාවන් හා දුෂ්කරතාවන්ට ලක් වීමත් සමඟ අල්ලාහ් ඔවුන් විශේෂ කොට දක්වා ඇත.
(6) සමාව හිමි වීමේ කරුණු පමණක් නොව විශේෂයෙන් ජනයා අතුරින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ෂෆාඅතයට වඩාත් සුදුස්සන් වන්නෝද මොවුහුය.  
මෙසේ ඔවුන්ගේ සැබෑ පාපයන් සඳහා වූ නීතිය තිබිය දී කුසල් හිමි කර දෙන්නා වූ කාර්යක්ෂම ලෙසින් පර්යේෂණ කොට හිමි කරගත් ඔවුන්ගේ කරුණු වල තත්තවය කෙසේ නම් පිහිටිය හැකි ද? ඔවුන් අතුරින් කෙනෙකු එසේ පර්යේෂණ කොට එය නිවැරදි වූයේ නම් ඔහුට කුසල් දෙකක් හිමි වනු ඇත. එක් කුසලක් ඔහු කාර්යක්ෂම ලෙසින් පර්යේෂණ කිරීම සඳහාය. අනෙක එය නිවැරදිව සොයා ගැනීම සඳහාය. එසේ වැරදි වූයේ නම් කාර්යක්ෂම ලෙසින් පර්යේෂණ කිරීම සඳහා ඔහුට කුසලක් හිමි වන අතර ඔහු විසින් සිදු වූ වරදට සමාව දෙනු ලැබීය.  
(ඈ) මේ නිසා අහ්ලුස් සුන්නා වල් ජමාඅත්වරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මරණයෙන් පසු ව සහබාවරුන් අතර සිදු වූ ප්‍රශ්න ගැන ගිලී වාද විවාද කිරීමෙන් නිහඬ විය යුතු බව ඒකමතික ව තීරණය කොට ඇත. ඔවුන් එසේ සිදු කළේ යහපත බලාපොරොත්තුවෙනි. දෙපිරිසෙන් මිය ගියවුනට පාප ක්ෂමාව හිමිය. ඔවුන් කෙරෙහි කරුණාව පෙන්වනු ලැබීය. සහාබාවරුන් අතර සිදු වූ යුද ගැටුම් සම්බන්ධයෙන් විමසනු ලැබූ විට සලෆ්වරුන් අතුරින් කෙනෙකු මෙසේ පවසා සිටීය. මෙය රුධිර හැළීමකි. ඉකුත් වී ගිය සුළු කරුණකි. එයින් අල්ලාහ් අපගේ අත් පිරිසිදු කොට ඇත. ඒ සම්බන්ධයෙන් අපි කතා නොකළ යුතුය. පසු ව ඔහු කුර්ආනයේ පාඨයක් මෙසේ පාරායනා කර පෙන්වීය.
تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ
මෙය ඉකුත් වී ගිය සමූහයකි. ඔවුන් ඉපැයූ දෑ ඔවුනට හිමිය. ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව නුඹලා විමසනු නොලබන්නෙහුය.     (අල් කුර්ආන් 2 : 141)
අපගේ යුතුකම වන්නේ සහාබාවරුන්ගේ මහිමයන් සුරක්ෂා කිරීමය. ඔවුන් පෙර ගමන්කරුවන් ලෙස පිළිගැනීමය. ඔවුන්ගේ විශේෂාංගයන් ගැන ජනයා අතර පතුරුවාලීමය. ඔවුන් සියලු දෙනා මුජ්තහිද් හෙවත් කාර්යක්ෂම ව සොයා බලා කටයුතු කළ අය බව හා වැරදි දෑ ඔවුන් උවමනාවෙන්ම නොකළ බව විශ්වාස කිරීමය. එසේ කාර්යක්ෂම ව සොයා බැලීමේ දී කවරෙකු යමක් නිවැරදි ව දුටුවේ ද ඔහුට කුසල් දෙකක් සතුය. කවරෙකුට එය වැරදුණේ ද ඔහුට කුසලක් හිමි වන අතර ඔහුට වැරදුණු දෑ සඳහා සමාව දෙනු ලැබේ. ඔවුන්ගේ පාපකම් පිළිබඳ ව සඳහන් වෙමින් හදීස් පළ වී ඇත. ඉන් බොහෝමයක් අසත්‍ය දෑ ය. එසේ වාර්තා වනුයේ එහි යමක් අඩුවෙන් හෝ වැඩියෙන් හෝ එහි නියම ස්වභාවය වෙනස් කිරීමෙනි. එම සහාබාවරුන් උවමනාවෙන් කිසිවක් කර නැති බැවින් නිවැරදි ම මතය වනුයේ ඔවුන් සියල්ලන් සමාව දෙනු ලැබූ අය බවය.
ඇතැම් සහාබාවරුන්ගේ ක්‍රියාවන් පිළිකුල් කරනුයේ අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාණන් කෙරෙහි සහාබාවරුන් තැබූ විශ්වාසය ඔවුන්ගේ හිජ්රතය ඔවුන්ගේ උදව් උපකාර අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන්ගේ කැපවීම ඔවුන් තුළ තිබූ ප්‍රයෝජනවත් දැනුම හා ඔවුන්ගේ යහකම් වැනි ඔවුන්ගේ මහිමයන් හා විශේෂාංගයන් පිළිබඳ ව ගැඹුරෙන් සොයා නොබලන අල්ප දෙනෙකි. සහාබාවරුන්ගේ චරිතය හා ඔවුනට අල්ලාහ් හිමි කර දුන් මහිමයන් දෙස ඥානාන්විත ව හා සාධක සහිත ව කෙනෙකු සොයා බැලුවේ නම් නබිවරුන් රසූල්වරුන්ට පසු ව ඇති ශ්‍රේෂ්ඨතම මැවීම ඔවුන් බවත් ඔවුනට පෙර කිසිවකු එලෙස නොසිටි බවත් මින් මතුවට එවන් ශ්‍රේෂ්ඨයින් දැක ගත නොහැකි බවත් සමූහයන්ගෙන් ශ්‍රේෂ්ඨතම ජන සමූහයා අතර මොවුන්ගේ කාල පරිච්ඡේදය අති උත්තරීතර බවත් අල්ලාහ් වෙත මොවුන් ඉතා ගෞරවනීය බවත් ස්ථීර ව දැන ගනු ඇත.
සැලකිය යුතුය:
නීතිමය වශයෙන් ගත් කළ සහාබාවරුන් විසින් සිදු වූ වරදක් පිළිබඳ ව සොයා බැලීමේ දී එය කිසිදු පාපකාරී කටයුත්තක් සඳහා නොවීය. නමුත් ඒ සියල්ල සිදු වූයේ අනිවාර්යය කටයුත්තක් අනිවාර්යය කරන විටය. එය සමාජයට උපදෙසක් විය. එබැවින් දේව විශ්වාසය ඇති බුද්ධිමත් ජනයා ඔවුන් වැරදි කිරීමෙන් සුරක්ෂිත ව සිටියවුන් බව හෝ ඔවුන් පාපකම් සිදු කළ බව හෝ නොපවසති. නමුත් නව ආකල්ප දරන්නන් හා නොමඟ ගියවුන් සැබැවින්ම සහාබාවරුන් වැරදි කර ඇත පාපකම් සිදු කර ඇතැයි ස්ථීර කොට පවසති. ඇතැමුන් සහාබාවරුන් විෂයයෙහි සීමාව ඉක්මවා කටයුතු කරති ඇතැමුන් ඔවුන් වැරදි වලින් මිදුණු සුරක්ෂිතයින් යැයි පවසති. ඇතැමුන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සැබැවින්ම ඔවුන් වැරදි කළ පාපිෂ්ඨයින් බව පවසති. මෙසේ තිබිය දී අහ්ලුස් සුන්නා වල් ජමාඅත්වරු ඔවුන් පිළිබඳ ව මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරති.
***
 
9.ස්වර්ගය හෝ නිරය කෙනෙකුට හිමි යැයි සාක්ෂි දැරීම
අල් කුර්ආනය හා සුන්නාවේ සඳහන් වී ඇති පරිදි සහාබාවරුන්ගේ නායකත්වය තුළ තිබූ පෞරුෂත්වයේ මහිමය පිළිබඳවත් ඔවුන් අතුරින් යම් කොටසකට පමණක් නියම වූ මහිමයන් පිළිබඳවත් පොදුවේ සියලු සහාබාවරුන්ට හිමි මහිමයන් පිළිබඳවත් අහ්ලුස් සුන්නා වරු සාක්ෂි දරනවාක් මෙන්ම අල්ලාහ් හා ඔහුගේ නබිවරයා නම් කළ අය හැර සියල්ලෝම ස්වර්ගයට නියතය. එසේ නැතිනම් නිරයට නියත යැයි ඔවුහු සාක්ෂි නොදරති. යමෙකුට ස්වර්ගය නියතය එසේ නැතිනම් නිරය නියත යැයි සාක්ෂි දැරීම බුද්ධියට ඇතුළත් වන කරුණක් නොවන්නේය. හේතුව එය ගුප්ත කරුණු අතුරින් වන බැවිණි. එය සුරක්ෂිත වූ දේව පණිවිඩය මත පිහිටයි. එබැවින් දේව පණිවිඩය යමෙකු පිළිබඳ සාක්ෂි දරා ඇත්නම් මුස්ලිම්වරුන් ද ඔහු පිළිබඳ ව සාක්ෂි දරති. දේව පණිවිඩය ඔහු පිළිබඳව සාක්ෂි දරා නොමැති නම් මුස්ලිම්වරු ද ඔහු පිළිබඳ ව සාක්ෂි නොදරති. එමෙන්ම කෙනෙකු වෙනුවෙන් හෝ කෙනෙකු හට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සාක්ෂි දරා ඇත්නම් එය ද අල්ලාහ්ගේ පණිවිඩයකි. උත්තරීතර අල්ලාහ් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පිළිබඳ ව මෙසේ පවසා සිටියි.
وَمَا يَنْطِقُ عَنِ الْهَوَى ،  إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى
ඔහු තම කැමැත්තට අනුව කතා නොකරයි. (ඔහු කතා කළේ නම්) එය දන්වා සිටි (දේව) පණිවිඩයක් මිස නැත. (අල් කුර්ආන් 53: 3,4)
නමුත් අහ්ලුස් සුන්නා වල් ජමාආතයට අයත් උදවිය ඉස්ලාමිකයින් අතුරින් දැහැමියාට කුසල් හිමි විය යුතු බව අපේක්ෂා කරන අතර පාපියාට දඬුවම හිමි වීම ගැන බිය වෙති.
ස්වර්ගය හා නිරය සම්බන්ධයෙන් සාක්ෂි දැරීම කොටස් දෙකකට බෙදා දැක්විය හැක.
1-    නම් කළ ලැබූ විශේෂ උදවිය: එනම් ස්වර්ගය හෝ නිරය හිමි බවට නම් කරනු ලැබූ පුද්ගලයන් හා බැඳුණු කරුණකි. එසේ නම් කළ හැක්කේ අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා නම් කළ උදවිය පමණය.
2-    පොදු උදවිය: ෂහාදා කලිමා ව පැවසීම වැනි ගුණාංගයන් හා බැඳුණු කරුණකි. දේව විශ්වාස වන්ත සෑම පුද්ගලයකුම ස්වර්ගයට පිවිසෙයි. දේව ප්‍රතික්ෂේපිත සෑම පුද්ගලයකුම නිරයට පිවිසෙයි. මෙලෙස ස්වර්ගයට පිවිසීමට හෝ නිරයට පිවිසීමට හෝ සාධකයන් බවට පත් වන අල්ලාහ් පෙන්වා දුන් ගුණාංග ද උදාහරණ ලෙස දැක්විය හැක.  
මෙය රාෆිලාවරුන් හා ඔවුනට දෙවැනි නොවූ මෙම කරුණට පටහැණි ව කටයුතු කරන අයගේ මෝඩකම පෙන්වා දෙන්නකි. අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා ස්වර්ගය නියත යැයි සාක්ෂි දැරූවනට නිරය සතු යැයි මොවුන් සාක්ෂි දරති. අල්ලාහ් හා රසූල්වරයා සාක්ෂි නොදැරූ නියමිත උදවියට ස්වර්ගය සතු යැයි වාද කරති. මෙය ඔවුන්ගේ වැරදි හා ඔවුන්ගේ මුළාවෙහි කුරීරුකම හේතුවෙනි. ඔවුන් කවුරුන් කෙරෙහි කෝප වන්නන්ගේ ඔවුන්ගේ අයිතිය සම්බන්ධයෙන් අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාට බොරුකරන්නන් වෙති. කවුරුන් කෙරෙහි ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කරන්නේ ද ඔවුන්ගේ උරුමය සම්බන්ධයෙන් අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාට එරෙහි ව කිසිදු දැනුමකින් තොර ව කතා කරති. මේ නිසා ඔවුන් උදාරතම ප්‍රජාවක් වූ උසස්තම අනුගාමිකයින්ට සමාජයේ නපුරන් බවට තීන්දු කර ඇත. ඔවුන්ගේ මුඛ වලින් පිට වන වදන බරපතළ විය. ඔවුහු බොරුව මිස (වෙන කිසිවක්) නොදොඩති.
   අපගේ නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි ද එතුමාණන්ගේ පවුලේ උදවිය හා එතුමාණන් සමඟ මිතුරුකම් පෑ එතුමාණන්ගේ අනුගාමිකයින් කෙරෙහි ද ශාන්තිය හා සමාදානය හිමි වේවා !
අල්ලාහ්ගේ සමාව අයැද සිටින
අබ්දුල්ලාහ් ඉබ්නු සාලිහ් අල් කසීර්
 
Contents

الصفحة    العنوان    م
5    පෙරවදන    
10    සහාබාවරුන් පිළිබඳ හැඳින්වීම    1

13    සහාබාවරු මෙනෙහි කිරීමේ හා ඔවුන්ගේ මහිමයන් ගැන කතා කිරීමේ අරමුණ හා අහ්ලුස් සුන්නා වල් ජාමාආ වරුන්ගේ ප්‍රතිපත්තිය අනුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය හා එහි අනිවාර්යය භාවය.    2
15    මුස්ලිම් සමාජය තුළ සහාබාවරුන්ගේ තත්ත්වය    3
18    සහාබාවරුන්ගේ මහිමය හා ඔවුන්ගේ විශේෂාංග    4
23    සහාබාවරුන්ගේ මහිමයන් අතර පවතින ප්‍රභේද හා ඔවුන්ගේ තරාතිරම්    5
34    සහාබාවරුන් සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයට පැවරී ඇති යුතුකම් හා වගකීම්    6
38    සහාබාවරුන් සාධාරණීකරණය කිරීම    7
44    සහාබාවරුන් සම්බන්ධයෙන් අහ්ලුස් සුන්නා වල් ජමාආත්වරුන්ගේ ආකල්පයේ සංෂිප්තිය    8
 51    ස්වර්ගය හෝ නිරය කෙනෙකුට හිමි යැයි සාක්ෂි දැරීම    9
        11
        12
        13
        14
        15