දෙවිඳුන්? මිනිසා? සත්‍යය?

1-ඉස්ලාමය පිළිබඳ ඉස්ලාම් නොවන්නන්ගේ ප්රලධානතම ප්රාශ්නය බවට පත් ව ඇත්තේ ‘ඒක දේව විශ්වාසයයි’. මෙම වැදගත් කරුණ කිසිවෙකුට ප්රලතික්ෂේප කළ නොහැකි අයුරින් පහදා දීමට කළ උත්සාහයක් ලෙස මෙම ලිපිය දක්වන්නට කැමැත්තෙමු. සියල්ල අල්ලාහ් නිර්මාණය කළේ නම් අල්ලාහ් ව නිර්මාණය කළේ කවුරුන් දැයි ප්රාශ්න කරන තත්ත්වයක් වර්තමානයේ මතු වී ඇත. මෙම ප්ර ශ්න සියල්ල සඳහා විද්යාේව, තර්කය හා බුද්ධිමය විචාරය පදනම් කර ගනිමින් කරුණු පැහැදිලි කරන්නට මෙම ලිපිය මගින් උත්සාහයක් දරා ඇත්තෙමු. කරුණාකර පාරම්පරික මතවාදයෙන් බැහැර කොට මධ්යැස්ථ මනසකින් මෙම ලිපිය කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.
2-ඉස්ලාමය පිළිබඳ ඉස්ලාම් නොවන්නන්ගේ ප්රඉධානතම ප්රමශ්නය බවට පත් ව ඇත්තේ ‘ඒක දේව විශ්වාසයයි’. මෙම වැදගත් කරුණ කිසිවෙකුට ප්රතතික්ෂේප කළ නොහැකි අයුරින් පහදා දීමට කළ උත්සාහයක් ලෙස මෙම ලිපිය දක්වන්නට කැමැත්තෙමු. සියල්ල අල්ලාහ් නිර්මාණය කළේ නම් අල්ලාහ් ව නිර්මාණය කළේ කවුරුන් දැයි ප්රසශ්න කරන තත්ත්වයක් වර්තමානයේ මතු වී ඇත. මෙම ප්රයශ්න සියල්ල සඳහා විද්යාවව, තර්කය හා බුද්ධිමය විචාරය පදනම් කර ගනිමින් කරුණු පැහැදිලි කරන්නට මෙම ලිපිය මගින් උත්සාහයක් දරා ඇත්තෙමු. මෙම දෙවන කොටසින් මිනිසාගේ නිර්මාතෘ අන් කිසිවෙකු නොව මහා කාරුණික අල්ලාහ් බව ඔප්පු කිරීමට ඇති සාක්ෂි ඉදිරිපත් කොට ඇත්තෙමු. එලෙසම එයට පටහැණි මතවාද අසත්යද බව ද පෙන්වා දී ඇත්තෙමු.කරුණාකර පාරම්පරික මතවාදයන් බැහැර කොට මධ්ය ස්ථ මනසකින් මෙම ලිපිය කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

اسم الكتاب: حقيقة وجود الأشياء تدل على الله الخالق الواحد


تأليف: أبو فاطمة


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


نبذة مختصرة: نرى تساؤلات عديدة لدى أهل النحل المختلفة حول وحدانية الخالق والإله وهذه محاولة يسيرة للجواب عليهم .
والعالم مليئ بالملحدين الذين يعتمدون على العلم والمادة في كل شيئ وينسون ما وراء الطبيعة وأحاول توضيح وجود الخالق البارئ الواحد واقفا من موقف الملحدين والمترددين حول وجود خالق واحد لهذا العالم.


දෙවිඳුන්? මිනිසා? සත්‍යය?


< සිංහල >
 سنهالية
        

අබු ෆාතිමා




 

මුහම්මද් අසාද්
 

حقيقة وجود الأشياء تدل على الله الخالق الواحد
        

اسم المؤلف
أبو فاطمة



ترجمة:
مراجعة: محمد آساد
 

දෙවිඳුන්? මිනිසා? සත්‍යය?
අබු ෆාතිමා
අපේක්ෂිත ගමනාන්තය කරා සාර්ථක ව හා මංමුළා නොවී ළඟාවීමට නම් නිවැරදි මඟ හා එහි මං සලකුණු හරිහැටි දැන සිටීම ඉතා වැදගත් වෙයි. බොහෝ විට මං සලකුණු හරිහැටි නොදන්නා අයෙක් වැරදි මඟක ගොස් අපේක්ෂා භංගත්වයට පත් වී විනාශය කරා ද ළඟා විය හැකි බව අප ඉතා හොඳින් දන්නා කරුණකි. තවත් උදාහරණයක් දක්වන්නේ නම් සැබෑ හා ව්‍යාජ රත්තරන් වෙන් කර හඳුනා ගැනීම සඳහා අපට උරගලක් අවශ්‍ය වන බව ප‍්‍රායෝගික ව දන්නා කරුණකි. උරගලක් මෙන්ම නිවැරදි මං සලකුණු ලෙස සත්‍ය දහමක් ව්‍යාජත්වයෙන් වෙන් කර හඳුනා ගැනීම සඳහා භාවිත කළ හැකි සාධක මොනවාද යන්න අප විසින් සොයා බැලීම වැදගත් වෙයි. අපට දෙමව්පියන්ගෙන් උරුම වූ දහම පිළිබඳ ව අප කිසි දිනක විචාරශීලී බුද්ධියෙන් විමසා බලා ඇත් ද? අද අප කරමින් සිටින්නේ දෙමව්පියන්ගෙන් කිසිදු වැරදි දෙයක් අපට ලැබිය නොහැකිය යන මතය මත පිහිටා ඇස් කන් වසා ගෙන කිසිදු විචාරයකින් තොරව බුද්ධියට දොරගුළු දා පාරම්පරික දහම අනුගමනය කිරීම නොවේ ද? යථාර්ථයෙන් හා විචාරයෙන් සිතා බලා දහමක් පිළිබඳ ව නිවැරදි නිගමනයකට නොපැමිණීමේ ඵල විපාක අන් සියලු කරුණු වලට වඩා භයානක විය හැකි බව, එනම් විශේෂයෙන්ම මරණින් මතු ජීවිතයේ ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්වයකට අප පත් විය හැකි බව සිතන විට මේ ගැන නිහඬ ව අන්ධ භක්තියෙන් කටයුතු නොකළ යුතුය යන මතය සමඟ ඔබ එකඟ වනු ඇතැයි දැඩි ව අපේක්ෂා කරන්නෙමු. ඒ නිසා සත්‍ය දහමක් තෝරා ගැනීමේදී දැන ගත යුතු මං සලකුණු මෙන්ම සත්‍යය හා අසත්‍යය වෙන් කර ගැනීමට භාවිත කළ හැකි උරගල මෙන් වූ සාධක ගැන ද පූර්ව නිගමනයන්ගෙන් හා බැඳීම් වලින් බැහැර වී විවෘත මනසකින් විචාරශීලී බුද්ධිය මෙහෙයවා කරන්නා වූ විමසුමකට අප හා එකතු වන ලෙස ඔබට ඉතා කාරුණික ව ආරාධනා කරන්නෙමු.
ලෝක ජනගහනයෙන් අති මහත් බහුතරයක් දේව විශ්වාසය අනුමත කරන අතර මෙම විශ්වාසයන් අතර ද වෙනස්කම් දැකිය හැක. බහුතරය අනුමත කළ පමණින් කිසිවක් සත්‍යය විය නොහැකි බව අපි දනිමු. එලෙසම සුළුතරයක් විසින් ප්‍රතික්ෂේප කළ පමණින් ද කිසිවක් අසත්‍ය යැයි නිගමනය කළ නොහැක. තවත් සුළු පිරිසක් තමන් ව අදේවවාදීන් යැයි හඳුන්වා ගනිමින් දේව විශ්වාසය ප්‍රතික්ෂේප කරති. තවත් පිරිසක් තමන් අනුගමනය කරන දහම අදේවවාදී එකක් යැයි පවසමින් දේව විශ්වාසය ප්‍රතික්ෂේප කරති. තවත් පිරිසක් අදේවවාදී දහමක සාමාජිකයින් යැ’යි තමන් ව හඳුන්වා ගන්නා අතර දෙවියන් වැඩ සිටිනවා යැ’යි විශ්වාස කරන ස්ථාන සාදා ගනිමින් දෙව් පිහිට පැතීමට ද කටයුතු කරති.  එනිසා  මිනිස් ජීවිතයේ වැදගත් ම ගැටලුව ලෙස සැලකෙන දේව විශ්වාසය පිළිබඳ ව කරන්නා වූ බුද්ධිමය සංවාදයකට අප හා සහභාගී වන ලෙස ඉතා කාරුණික ව ආරාධනා කරන්නෙමු.


දේව විශ්වාසය මිත්‍යා දෘෂ්ටියක් ද? සම්මා දෘෂ්ටියක් ද?
දේව විශ්වාසය පිළිබඳ ව මිනිසාට දිය හැකි පිළිතුරු ගැන විමසා බලමු. පහත සදහන් පිළිතුරු තුනට අමතර ව මතයක් ඉදිරිපත් කිරීමට ඉඩකඩ ඇති දැයි ඔබ ම නිගනමය කළ යුතු වෙයි.
i.    දෙවිඳුන් ඇත -     Theism
ii.    දෙවිඳුන් නොමැත. (Atheism)
iii.    දෙවිඳුන් ඇති ද නොමැති ද යන්න ගැන දැනුමකුදු නොමැත. (Agnosticism)
මෙම පිළිතුරු පිළිබඳ ව යථාර්ථවාදී ව විමසා බලමු. පළමු ව දෙවිඳුන් ඇත යන පිළිතුර නිශ්චිත දැනුමකින් හෝ පැහැදිලි විශ්වාසයකින් හෝ දෙනු ලැබූ එකක් ලෙස සැලකිය හැක. විශාල ගොඩනැගිල්ලක් තුළ යමක් සොයන අයෙකුට ගොඩනැගිල්ලට ඇතුළු වන තැනම එය හමු විය හැක. මෙහිදී ඔහුට එම ගොඩනැගිල්ල පිළිබඳ ව පරිපූර්ණ දැනුමක් අවශ්‍ය වන තත්වයක් පැන නොනගී. නමුත් එම සොයන දෑ මෙම ගොඩනැගිල්ල තුළ නැතැයි පවසන්නාට නිශ්චිත වශයෙන්ම එහි අස්සක් මුල්ලක් නෑර සෑම කොටසක් පිළිබඳ ව ම පැහැදිලි දැනුමක් තිබිය යුතු වෙයි. එවන් දැනුමක් නොමැති ව එම සොයන දෑ ගොඩනැගිල්ල තුළ නැතැයි පවසන්නට කිසිවෙකුට අයිතියක් හෝ හැකියාවක් ඇතැයි පිළිගන්නට ඔබ එකඟ වනු ඇතැයි අපි නොසිතන්නෙමු. විශ්වය පිළිබඳ ව පරිපූර්ණ දැනුමක් නූතන විද්‍යාව තවම ලබා ගෙන නොමැත. මෙවන් තත්ත්වයක් තුළ දෙවිඳුන් විශ්වය තුළ හෝ ඉන් බාහිර ව හෝ නැතැයි පවසන්නට කාට නම් හැකි වන්නේ ද? මෙම නොදැනුවත්කම තම දෘෂ්ටිය බවට පත් කර ගත් විට එය මිත්‍යා දෘෂ්ටියක් ද නැත්නම් සම්‍යක් දෘෂ්ටියක් ද යන්න කරුණාකර ඔබම ඔබගේ බුද්ධිමය විචාරය තුළින් නිගමනයකට පැමිණෙන්නේ නම් එය වඩාත් උචිත යැයි සිතන්නෙමු.
මෙම සාකච්ඡාවේදී නුතන විද්‍යාත්මක සාධක හා සිද්ධාන්ත කිහිපයක් උපයෝගී කරගැනීමට සිදුවන හෙයින් ඒ පිළිබඳ අදහසක් ඉදිරිපත් කිරීම වඩාත් උචිත යැයි සිතන්නෙමු.  නූතන විද්‍යාව මගින් මිනිසාගේ සියලු ප්‍රශ්නයන්ට පිළිතුරු හා විසඳුම් ලබා ගත හැකිය යන විශ්වාසයක්  ඇතැමුන්ගේ සිත් තුළ පවතී. නූතන විද්‍යාව අපි ප්‍රතික්ෂේප නොකරන්නෙමු. විශේෂයෙන්ම විද්‍යාත්මක සිද්ධාන්ත පිළිබඳ අපගේ පිළිගැනීමක් ඇති අතර විද්‍යාත්මක උපකල්පනයන් හා න්‍යායන් පිළිබඳ අපට සීමාවන් ඇති බව සඳහන් කළ යුතු වෙයි. නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් පරම සත්‍යය අවබෝධ කර ගැනීමට උපකාරී වන සීමිත සාධකයක් ලෙස පමණක් අපි සලකන්නෙමු. නූතන විද්‍යාවට පරම සත්‍යය ලෙස පෙනී සිටීමට හෝ එයට ආදේශකයක් බවට පත්වන්නට හෝ නොහැකි බව සඳහන් කළ යුතු ව ඇත.
දැනට විශ්වය පිළිබද ව ඇති සාධකයන්ගෙන් අල්පයක් විමසුමට ලක් කිරීමෙන් මෙය වඩාත් පැහැදිලි ව අවබෝධ කරගන්නට හැකි වේ යැයි සිතන්නෙමු. ආලෝක වර්ෂයක් යනු වසරක් තුළ දී අලෝකය ගමන් කරන්නා වූ දුර ප්‍රමාණය වේ. ආලෝකය තත්පරයට කිලෝමීටර 300,000 (සැතපුම්  186,000) වේගයෙන් ගමන් කරයි. මෙසේ තත්පරයට කි.මී. 300,000ක වේගයෙන් වසරක් පුරා ආලෝකය ගමන් කරන්නා වූ දුර ආලෝක වර්ෂයකි. මේ අනුව අලෝක වර්ෂයක් යනු සිතීමට ද අපහසු දුර ප්‍රමාණයක් බව ඔබට පෙනී යනු නිසැකය. විශ්වයේ ග්‍රහලෝක, තරු, මන්දාකිණි අතර ඇති අති විශාල දුර ප්‍රමාණය නිසා එම දුර ගණන් ගැනීමට අලෝක වර්ෂ භාවිත කෙරේ. සුර්යයා වැනි වූ අපට ආසන්නයේ ම ඇති තාරකාව වන්නේ “ඇල්ෆා සෙන්ටොරි” තාරකාවයි. මෙම තාරකාව පෘථිවියට අලෝක වර්ෂ හතරක දුරින් පිහිටා ඇත. දැනට මිනිසුන් සතු රොකට් තා‍ක්ෂණයේ උපරිම වේගය වන පැයට සැතපුම් විසිපන් දහසක වේගයෙන් ගමන් කළහොත් මෙම තාරකාවට ගොස් ඒමට මිනිසෙකුට වසර 240,000 ක් පමණ ගත වේ. ආලෝකයේ වේගයෙන් ද ගමන් කළහොත් එහි ගොස් ඒමට ගත වන කාලය වසර අටකි. පෘථිවියට අයත් සෞර ග්‍රහමණ්ඩලය පිහිටා තිබෙන ක්ෂීර පථ මන්දාකිණියේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට ගොස් ඒමට ගත වන කාලය ආලෝක වර්ෂ 150,000 කි. අපට ආසන්නයේම ඇති ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියට ගොස් ඒමට ගත වන කාලය ආලෝක වර්ෂ ලක්ෂ හතළිහකි.
අපට ආසන්නයේම ඇති විශ්වයේ තොරතුරු ඉදිරිපත් කළේ මෙහි ඇති සිතා ගැනීමට පවා අසීරු විශාලත්වය පැහැදිලි කිරීමටය. නවීනතම තාරකා විද්‍යා උපකරණ සහිත ව විද්‍යාව හා තාක්ෂණය අතිශයින් ම දියුණු වර්තමානයේ පවා විශ්වය පිළිබඳ ව පරිපුර්ණ දැනුමක් මිනිසාට නොමැත. මෙහි ආරම්භයේ දැක් වූ නිදසුන අනුව ගොඩනැගිල්ල තුළ යමක් නැත්තේ යැයි පැවසීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය වූ සාධකයක් වන ගොඩනැගිල්ල පිළිබඳ ව වු පරිපූර්ණ දැනුම අවශ්‍ය වන්නාක් මෙන් දෙවිඳුන් නැතැයි පැවසීමට මිනිසාට අඩුතරමින් විශ්වය පිලිබඳ ව වත් පරිපූර්ණ දැනුමක් අවශ්‍ය වෙනවා නොවේ ද? මෙවන් ඌණ දැනුමකින් යුක්ත වූ මිනිසා ඉතා සියුම් වූ හා බුද්ධිමය සැලසුමක් මත ක්‍රියාකරන්නා වූ විශ්වය අගක් මුලක් නොමැති අහඹු ලෙස ඇති වූ හෝ නැවත නැවත විනාශ වෙමින් නැවත නැවත ඇතිවන්නක් ලෙස හැඳින්වීම කෙතරම් බුද්ධියට සමීප ප්‍රකාශනයක් ද යන්න කරුණාකර ඔබම සිතා බලන්න. දෙවිඳුන් නැතැයි ප්‍රකාශ කරන්නා තමන් නොදන්නා දෙයක් පිළිබඳ වැරදි විශ්වාසයක කොටු වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත්තක් නොවේ ද? දෙවිඳුන් නැතැයි පැවසීම පදනම් විරහිත මතවාදයක් විනා තර්කානුකූල වූ ද, විද්‍යානුකූල වූ ද, යථාර්ථවාදී වූ ද නිගමනයක් නොවන බව මෙයින් ඔබට ඉතා හොඳින් පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. දෙවිඳුන් පිළිබඳ ව තමන්ට දැනුමක් නොමැත්තේ යැයි පැවසීම එක්තරා ආකාරයක සාධාරණ ප්‍රකාශනයකි. දැනුම නොමැත්තා කළ යුතු ව ඇත්තේ තමන් නොදන්නා වූ දෙයෙහි සත්‍යයක් නොමැති බව ප්‍රකාශ කරනවාට වඩා ඒ පිළිබඳ ව විචාරශීලී ගවේෂණයක යෙදීම නොවේ ද? මෙම ලිපිය මගින් එම විචාරශීලී ගවේෂණයේ යෙදෙන්නට අප සමග එක්වන්නැ’යි ඔබට ඉතා කාරුණික ව හා ඉතා ගෞරව පුර්වක ව ආරාධනා කරන්නට කැමැත්තෙමු.
මුල් හේතුව දැන ගත හැකි ද?
ආචාර්ය කිරින්දේ ධම්මානන්ද මහනාහිමිපාණන් විසින් රචිත ‘බෞද්ධ විශ්වාස සහ ප්‍රතිපදාව’ ග්‍රන්ථයෙන් ඉහතින් දක්වා ඇති අනු මාතෘකාව යටතේ සඳහන් කොටස පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“බුදුන් වහන්සේ වදාරා ඇත්තේ ජීවිතයේ හෝ වෙනත් කිසිදු දෙයක එක් මූල හේතුවක් දැක්විය නොහැකි බවය. හේතුව ඵලයත් ඵලය හේතුවත් වන චක්‍රාකාර ක්‍රියාවලියක මූල හේතුවක් සෙවීම උගහට බව අපේ එදිනෙදා අත්දැකීමෙන් ම අපට පැහැදිලි වේ. මේ සංසාරික පැවැත්මේ මූලාරම්භයක් නොපෙනෙන බව බුදුන් වහන්සේ ම සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තයේ දේශනා කොට ඇත. රාග දෝස මෝහ ආදී කිලිටි මඩ ජල ප්‍රවාහ ගලන තාක් කල් මේ මුලක් නොපෙනෙන සංසාර ඕඝයේ නොනැවතී ගලනු ඇත. එය යම් දිනෙක නවතින්නේ, නැවත ඉපදීමක් නැති වන්නේ මේ කිලිටි දිය පාරවල් ගැලීම සම්පූර්ණයෙන් ම නවතා ලැබුණු දිනෙක ය.
අභ්‍යවකාශය අනන්තය. එහි අන්තයක් දැකිය නොහැකිය. කාලයත් එසේ ම අනන්තය. මූල හේතුවකින් ලොව කෙසේ ආරම්භ වී දැයි සිතා ගැනීමත් එලෙසම දුෂ්කරය. එම මූල හේතුව කෙසේ ඇති වී  දැ යි අවබෝධ කොට ගැනීම ඊටත් වඩා දුෂ්කරය. නිර්මාණය නොවුණු මූල හේතුවක් පැවතිය හැකි නම් නිර්මාණය කිරීමකින් තොරව වෙනත් දේ පැවතිය නොහැකි වන්නේ කෙලෙස ද?
බුදු දහමට අනුව මූල හේතුවක් පිළිබඳ ප්‍රශ්නය හට ගෙන ඇත්තේ මිනිසාගේ සීමිත දැනුම කරන කොටගෙන ය. අපට කාලය හා සාපේක්ෂතාව වැනි කරුණු වැටහේ නම් කිසිවක මූලාරම්භයක් ගැන අපට ප්‍රශ්නයක් පැන නොනගියි. මූල හේතුව සෙවීමේ ප්‍රයත්නය විසඳීම පිණිස සාමාන්‍යයෙන් ඉදිරිපත් කෙරී ඇති සියලුම පිළිතුරු සාවද්‍යය. සියල්ල මැවුම්කාර දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලදැ යි පිළිගතහොත් දෙවියන් වහන්සේ නිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින් ද යන ප්‍රශ්නය නිතැනින්ම පැන නගී. මෙබඳු ප්‍රශ්නයන්ට කෙළවරක් නැත. මූල හේතුවක් නොමැති ව දෙවියන් වහන්සේට පැවතිය හැකි නම් සියල්ලට දෙවියන් වහන්සේ මූල හේතුව වශයෙන් පවතී යන තර්කය එයින් ම බිඳ වැටේ. සියලු දේ පවතින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට දෙවියන් වහන්සේ මූල හේතු වශයෙන් ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ ප්‍රශ්නය නිරාකරණය කිරීම නොව තව තවත් අවුල් කිරීමය”. (ආචාර්ය කිරින්දේ ධම්මානන්ද මහා නාහිමිපාණන් විසින් රචිත ‘බෞද්ධ විශ්වාස සහ ප්‍රතිපදාව’ 145 – 146 පිටු).
බෞද්ධ ඉගැන්වීම් පදනම් කරගෙන උගත් මහා නාහිමිපාණන් විසින් ඉදිරිපත් කොට ඇති තොරතුරු පහත සඳහන් අයුරින් සංක්ෂිප්ත ව දැක්විය හැක.
1.    බුදුන් වහන්ස්ගේ ඉගැන්වීම් අනුව ජීවිතයේ හෝ වෙනත් කිසිදු දෙයක එක් මූල හේතුවක් දැක්විය නොහැක. සංස්කාරික පැවැත්මේ මූලාරම්භයක් නොපෙනෙන බව සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තයේ දේශනා කොට ඇත.
2.    අභ්‍යවකාශය හා කාලය අනන්තය.මූල හේතුවකින් ලොව කෙසේ ආරම්භ වී දැයි සිතා ගැනීම දුෂ්කරය. කාලය හා සාපේක්ෂතාව වැනි කරුණු වැටහේ නම් කිසිවක මූලාරම්භයක් ගැන ප්‍රශ්න පැන නොනගිනු ඇත.
3.    නිර්මාණය නොවුණු මූල හේතුවක් පැවතිය හැකි නම් නිර්මාණය කිරීමකින් තොරව වෙනත් දේ පැවතිය නොහැකි වන්නේ කෙලෙස ද? බුදු දහමට අනුව මූල හේතුවක් පිළිබඳ ප්‍රශ්නය මතු වී ඇත්තේ මිනිසාගේ සීමිත දැනුම හේතුවෙනි. මූල හේතුව සෙවීම පිළිබඳ ඉදිරිපත් කොට ඇති සියලු කරුණු සාවද්‍යය.
4.    සියල්ල මැවුම්කාර දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලදැ යි පිළිගතහොත් දෙවියන් වහන්සේ නිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින් ද?
ඉහතින් සංක්ෂිප්තව උපුටා දැක්වූයේ බුදු දහමේ ඉගැන්වීම් පදනම් කරගනිමින් උගත් මහා නාහිමිපාණන් විසින් තම ග්‍රන්ථයේ සඳහන් කොට ඇති කරුණුය. ඉහත කරුණු අතර විවිධ පරස්පරතාවන් පැහැදිලි ලෙසම දකින්නට ඇත. ඒ පිළිබඳ විමසුමක නොයෙදී මතු කොට ඇති කරුණු පිළිබඳ බුද්ධිය, විචාරය හා විද්‍යාව පදනම් කර ගනිමින් ගවේෂණයක යෙදෙන්නට අපේක්ෂා කරන්නෙමු. පළමු ව විශ්වය හා අනෙකුත් සියලු භෞතික වස්තුන්ට ආරම්භයක් තිබේ ද යන්න විමසා බලමු.
විශ්වයට ආරම්භයක් තිබේ ද?   
1948 දී හෙර්මන් බොන්ඩි (Hermann Bondi), තෝමස් ගෝල්ඩ් (Thomas Gold) හා ෆ්‍රෙඩ් හොයිල් (Fred Hoyle) යන තාරකා ශාස්ත්‍රඥයින් විසින් විශ්ව ස්ථායී න්‍යාය (Steady State Theory) නමින් න්‍යායක් ඉදිරිපත් කරන ලදී. මෙම න්‍යායට අනුව විශ්වය සදාතනික බවත් එනිසාම මුල් හේතුවක් හෝ විශ්ව නිර්මාණය පිළිබඳ ප්‍රශ්නයක් හෝ පැන නොනගින බවත් ඒත්තු ගන්වන්නට විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරන ලදී. අදේවවාදය ලද ජයග්‍රහණයක් ලෙස මහත් උද්දාමයකින් යුතු ව මෙය ප්‍රචලිත කරන්නට අදේවවාදීන් මෙන්ම අදේවවාදී දහම් ද ක්‍රියා කළහ. මෙම න්‍යාය විද්‍යාත්මක ලෙස ප්‍රතික්ෂේප වී තිබියදීත් ඇතැමුන් තම වැරදි මතයන් සාධාරණීය කිරීම පිණිස මළවුන් අතරට පත් වූ මෙම න්‍යායයේ පිහිට පැතීමට කටයුතු කිරීම වර්තමානයේත් දක්නට ඇත.
අදේවවාදී විද්‍යාඥයින් තමන් පත් ව සිටින අර්බූදය තුළින් බුද්ධිමය ගවේෂණයක යෙදී සත්‍යය අවබෝධ කර ගැනීමට කටයුතු නොකොට දියේ ගිලෙන්නා පිදුරු ගහක හෝ එල්ලී දිවි ගලවා ගැනීමට උත්සාහ දරනවා සේ කටයුතු කරන ආකාරයක් දක්නට ඇත. නූතන විද්‍යාත්මක සිද්ධාන්තයන් මගින් විශ්වය, ශක්තිය, කාලය හා අවකාශයේ ආරම්භය පිළිබඳ ව ස්ථාපිත විද්‍යාත්මක ස්ථාවරයන් නොසලකා හැර කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර මතවාද ඉදිරිපත් කරනු දක්නට ඇත.   
භෞතික විද්‍යාඥයෙකු වූ වික්ටර් ස්ටෙන්ගර් (Victor Stenger) පවසා සිටින්නේ විශ්වයට ආරම්භයක් ඇතත් එය හේතුවකින් තොරව ඇති වුවක් ලෙසය (Victor Stenger, "Has Science Found God?" (Free Inquiry, Vol. 19. No. 1), 2004).  විසිවන සියවසේ ජීවත් වූ අදේවවාදී දාර්ශනිකයෙකු වූ බර්ට්‍රන්ඩ් රසල් පවසා සිටියේ “විශ්වය පවතින බව අපි දනිමු. ඒ පිළිබඳ ව එපමණයි” (Bertrand Russell and Frederick Copleston, "The Existence of God," in John Hick, ed., The Existence of God (New York: Macmillan, 1964), p 175). ‘විශ්වය සදාතනිකයි. එහෙයින් එයට හේතුවක් නොමැත යැ’යි පැවසීම අවිද්‍යාත්මක මතයක් වූවත් එය එක් ස්ථාවරයක් ලෙස දකින්නෙමු. නමුත් විද්‍යාත්මක සිද්ධාන්ත ඉතා පැහැදිලි අයුරින් සනාථ කොට ඇති පරිදි ‘විශ්වයට නිශ්චිත ආරම්භයක් ඇත නමුත් එයට හේතුවක් නොමැත යැ’යි පැවසීම කෙතරම් බුද්ධියෙන් බැහැර වූ ප්‍රකාශනයක් ද යන්න පිළිබඳ ව අමුතුවෙන් අටුවා ලිවීමේ අවශ්‍යතාවක් ඇතැයි අංශු මාත්‍රයකවත් බුද්ධියක් ඇත්තෙකු අපේක්ෂා කරන්නක් නොවේ. විශ්වය,ශක්තිය, කාලය හා අවකාශය යන සියල්ල සඳහා නිශ්චිත ආරම්භයක් ඇතැයි කිසිදු සැකයකින් තොරව ඔප්පු කරන විද්‍යාත්මක සිද්ධාන්ත පිළිබඳ විග්‍රහයක් ඔබගේ බුද්ධිමය විචාරය සඳහා පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.
ඇතැම් දහම් විශ්වයට ආරම්භයක් නොමැති බවත් එය මිනිස් චින්තනයට අවබෝධ කර ගත නොහැකි දෙයක් ලෙසත් දක්වා ඇති හෙයින් මෙම සංකල්පයේ විද්‍යාත්මක පසුබිම විචාරයට ලක් කිරීම ඉතා වැදගත් යැයි සිතන්නෙමු. විශ්වයේ ඇති සියලු භෞතික පදාර්ථ කෙසේ ඇති වූයේද යන්න පිළිබඳ ව නූතන විද්‍යාව කුමක් පවසන්නේ ද? මෙම සියලු භෞතික පදාර්ථ සදාතනික ලෙස පැවතියේයැ’යි විද්‍යාඥයින් අපට පවසන්නේ ද? නොමැතිනම් කාලයේ එක් මොහොතක විශ්වයේ සියලු භෞතික පදාර්ථ එක්වර බිහි වූයේ ද? නූතන විද්‍යාත්මක සිද්ධාන්ත අපට කිසිදු සැකයකින් තොරව ඔප්පු කර සිටින්නේ විශ්වයේ සියලු භෞතික පදාර්ථ එක් වර බිහි වූ බව ය. මෙම මතය සත්‍යය බව පිළිගැනීමට ඇති විද්‍යාත්මක සාක්ෂි කුමක් ද?    
මේ සඳහා අපට උපයෝගි කරගැන්මට පහසුම විද්‍යාත්මක සිද්ධාන්තය නම් තාපගති විද්‍යාවේ සිද්ධාන්තයන්ය (Laws of Thermodynamics). මෙහි සිද්ධාන්තයන් දෙකක් ඇති අතර එය පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.
පළමු සිද්ධාන්තය - විශ්වයේ ඇති සම්පුර්ණ භෞතික පදාර්ථ - ශක්තිය නියතයකි (The Total Amount Of Mass Energy in the universe is constant)
දෙවන සිද්ධාන්තය - ප්‍රයෝජනයට ගත හැකි  ශක්ති ප්‍රමාණය ඌණ වෙමින්  පවතී. කාර්යයන්ට උපයෝගි කර ගත නොහැකි ශක්ති ප්‍රමාණය ශීඝ්‍රයෙන් වර්ධනය  වෙමින් පවතී. The Amount of the Energy Available For Work is Running Out or Entropy is Increasing to a Maximum)
තාපගති විද්‍යාවේ පළමු සිද්ධාන්තය වෙත අපගේ අවධානය පළමු ව යොමු කරමු. මේ අනුව විශ්වයේ ඇති භෞතික පදාර්ථ හා ශක්ති ප්‍රමාණය නියතයක් වන අතර එය විනාශ කිරීමට හෝ අලුතින් නිර්මාණය කිරීමට හෝ නොහැකිය. මෙය විද්‍යාත්මක න්‍යායක් නොව සිද්ධාන්තයකි. මේ අනුව සියලු භෞතික පදාර්ථ හා ශක්තිය සදාතනික ව නොපැවති බවත් කාලයේ එක් මොහොතක මේ සියල්ල බිහි කරන ලද බවත් දැක් වේ. මෙය මෙලෙස එක්වර පිළිගැනීමට වඩා උදාහරණ කිහිපයක් මගින් සාකච්ඡා කිරීම සුදුසු යැයි අදහස් කරන්නෙමු.
පරමාණුක යුගය ආරම්භ වුයේ මැඩම් කියුරි විසින් 1898 දී රේඩියම් සොයා ගැනීමත් සමගය. සියලුම විකීරණශීලී පදාර්ථ නිරතුරුව විකීරණය පිට කරන බව මෙයත් සමග සොයා ගන්නා ලදී. උදාහරණයක් ලෙස යුරේනියම් දැක්විය හැක. යුරේනියම් මූල පදාර්ථයට 238 ක පරමාණුක ස්කන්ධයක් ඇත. යුරේනියම් මූල පදාර්ථය වියෝජනය වීමේ දී හීලියම් පරමාණු තුනක් මුදා හරී. හීලියම් මූල පදාර්ථයට 4 ක පරමාණු ස්කන්ධයක් ඇත. මෙලෙස යුරේනියම් වලින් හීලියම් පරමාණු තුනක් මුදාහැරිය විට නව පරමාණුක ස්කන්ධය (238 – 12 = 226) 226 ක් සහිත ව යුරේනියම් මූල පදාර්ථය රේඩියම් මූල පදාර්ථය බවට පත් වෙයි. නිෂ්ක්‍රිය බර ලෝහයක් වූ ඊයම් බවට පත් වන තුරු රේඩියම් මූල පදාර්ථය හීලියම් පරමාණු පිට කරමින් සිටියි. යුරේනියම් පරමාණුවක් රේඩියම් පරමාණුවක් බවට පත්වන්නට ඉතා දීර්ඝ කාලයක් ගත වන අතර රේඩියම් පරමාණුවක් නිෂ්ක්‍රිය ඊයම් බවට පත්වන්නට වර්ෂ 1590ක් ගත වන බව දැක් වේ.
ඉහත විග්‍රහයෙන් අප අවබෝධ කර ගන්නේ කුමක් ද? විකීරණශීලී මූල පදාර්ථ සදාතනික ලෙස පවතින්නට කිසිදු හැකියාවක් නොමැති බව නොවේ ද? තාපගති විද්‍යාවේ පළමු සිද්ධාන්තය අනුව විශ්වයේ ඇති භෞතික පදාර්ථ හා ශක්තිය නියතයක් වන හෙයින් අලුතින් යුරේනියම් මූල පදාර්ථය කිසිසේත්ම ඇති වීමට හැකියාවක් නොමැත. යුරේනියම් වැනි විකීරණශීලී මූල පදාර්ථයන්ට නිශ්චිත ආරම්භයක් ඇති බව මෙම තොරතුරු සහතික කරයි. යුරේනියම්, රේඩියම්, තෝරියම්, රඩොන්, පොලෝනියම්, ප්‍රොටෙක්ටිනියම් සහ අනෙකුත් විකීරණශීලී මූල පදාර්ථ නිරතුරුව විකීරණය මගින් ක්‍රමානුකුල අයුරින් තම පරමාණුක සංයුතිය බිඳෙමින් නිෂ්ක්‍රීය ඊයම් බවට පත්වෙමින් පවතියි. විශ්වයට ආරම්භයක් නොමැති නම් දැනටමත් සියලු විකීරණශීලී මූල පදාර්ථයන් හි එසේ තම පරමාණුක සංයුතිය බිඳී ගොස් නිෂ්ක්‍රීය ලෝහ බවට පත් වී තිබිය යුතුය. එනම් ලොව කිසිදු විකීරණශීලී මූල පදාර්ථයක් මේ වන විට ඉතිරි ව තිබිය නොහැක. විකීරණශීලී මූල පදාර්ථ හා අනෙකුත් සියලු මූල පදාර්ථයන් සඳහා නිශ්චිත ආරම්භයක් ඇති බව මෙම විද්‍යාත්මක සාධක ඉතා පැහැදිලි අයුරින් ඔප්පු කරන බව ප්‍රතික්ෂේප කළ හැක්කේ කා හට දැයි අසන්නට කැමැත්තෙමු.
තාපගති විද්‍යාවේ දෙවන සිද්ධාන්තය වෙත අපගේ අවධානය යොමු කරමු. මෙම සිද්ධාන්තය අනුව ප්‍රයෝජනයට ගත හැකි  ශක්ති ප්‍රමාණය ඌණ වෙමින්  පවතින අතර කාර්යයන්ට උපයෝගි කර ගත නොහැකි ශක්ති ප්‍රමාණය ශීඝ්‍රයෙන් වර්ධනය  වෙමින් පවතී. මේ අනුව බොහෝ විට  මිනිස් මැදිහත්වීමක් නොමැති අවස්ථාවන් හි සියල්ල අවිධිමත් තත්ත්වයක් කරා යොමු වෙමින් පවතී. මෙම සිද්ධාන්තය අනුව පරිණාමවාදීන්ගේ මූලික ස්ථාවරය වූ සියල්ල පරිණාමය වෙමින් උසස් හා සංකීර්ණ තත්ත්වයක් කරා ගමන් කරමින් සිටියි යන මතවාදය සම්පුර්ණයෙන් ම බිඳ වැටෙයි.
ජලය භාජනයක දමා උදුනක රත් කොට උදුන ක්‍රියා විරහිත කළ විට එම ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් පහළ බසී. එහි උෂ්ණත්වය ඉහළ නගින්නේ නැත. යම්කිසි කාර්යයක් ඉටු කිරීම පිණිස ශක්තිය උපයෝගී කර ගත් විට එම කාර්යය ඉටු කිරීමේ දී ප්‍රයෝජනයට ගත හැකි ශක්තිය ප්‍රයෝජනයට ගත නොහැකි ශක්තිය බවට පරිවර්තනය වෙයි. ශක්තිය විනාශ කළ නොහැක. ශක්තිය කාර්යයක් සඳහා ප්‍රයෝජනයට ගත් විට ශක්තිය විනාශ වෙනවා වෙනුවට එය ප්‍රයෝජනයට ගත නොහැකි ශක්තියක් බවට පරිවර්තනය වෙයි. මේ අනුව විශ්වයේ ශක්තිය නියතයක් වන අතර ප්‍රයෝජනයට ගත හැකි ශක්තිය අඩු වෙමින් හා ප්‍රයෝජනයට ගත නොහැකි ශක්තිය වැඩි වෙමින් පවතී.   
විශ්වයේ ඇති භෞතික පදාර්ථ - ශක්ති  (Mass Energy) ප්‍රමාණය නියතයක් නම් හා ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින්නේ නම් ඉතා විද්‍යානුකුල මතය විශ්වය සදාකාලික ව පවතින්නක් විය නොහැක යන්නය. එසේ සදාකාලික පවතින්නක් නම් දැනටමත් ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය  අහෝසි වි විශ්වය තාප අභාවයකට (Heat Death) පත් වී තිබිය යුතුය. විශ්වයේ බලශක්ති සැපයිමේ මුලික ඉන්ධනය වන්නේ හයිඩ්‍රජන්ය. අපගේ ග්‍රහ මණ්ඩලයේ ස්වයං දීප්තිමත්  තාරකාව වන්නේ සූර්යයාය. එහි විෂ්කම්භය සැතපුම් 865000 පමණ වන අතර එය පෘථිවිය මෙන්ම 330000 වාරයක් බර බව නුතන විද්‍යාව සොයා ගෙන ඇත. හිරුගේ ඉන්ධනය වන්නේ හයිඩ්‍රජන්ය. එය දවාලීමෙන් හීලියම් උත්පාදනය වෙයි. එහි තත්පරයකට කිලෝ ග්‍රෑම් බිලියන පහක පමණ ඉන්ධන දවාලන බව ද සොයා ගෙන ඇත. මෙම විශ්ව බලශක්ති සැපයිමේ හයිඩ්‍රජන් ප්‍රමාණය ක්‍රමයෙන් හීනවෙමින් පවතින අතර එය සහ මුලින්ම අහෝසි වි යෑමට තව බොහෝ කල් ඇති බව ද විද්‍යාව විසින් සොයා ගෙන ඇත. විශ්වය සදාතනික එකක් නම් මෙම හයිඩ්‍රජන් ප්‍රමාණය අහෝසි වි දැනටමත් විශ්වයේ තාප අභාවයකට මුහුණ දි තිබිය යුතුය. සදාතනික විශ්ව සංකල්පය කොහෙත්ම නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකුලතාවක් දක්වන්නක් නොවේ. මේ අනුව විද්‍යාත්මක ව ඔප්පු වන්නේ විශ්වයට නිශ්චිත ආරම්භයක් ඇති බවය. එම ආරම්භය සිදු වුයේ  මහා පිපිරුම් සිද්ධාන්තය පදනම් කර ගෙන  බව නූතන විද්‍යාත්මක මතයයි. මෙම සත්‍යතාවන් තුළින් අපට පහත සදහන් නිවැරදි හා නිශ්චිත නිගමනයන්ට එළඹිය හැකි වෙයි.
ජෝර්ජ් පොලිස්ටර් නම් ප්‍රංශ දර්ශනවාදියාගේ මතය නම් විශ්වය නිර්මාණය කළ එකක් නම් මෙම නිර්මාණයට පෙර විශ්වයෙන් තොර වු තත්ත්වයක් තිබිය යුතු බවය. එනම් නුතන විශ්වය නොමැති තත්ත්වයක් තිබිය යුතු බවය. මෙම තත්ත්වය තුළ තිබිය හැක්කේ විශ්වය හා අනෙකුත් නිර්මිත සියල්ල නිර්මාණය කළ නිර්මාතෘ බලය පමණකි. කිර්තිධර විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ මතය වන්නේ කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ බිහි විමත් සමගය. අවකාශය හා භෞතික පදාර්ථ බිහිවන්නේ විශ්ව නිර්මාණයෙන් පසුවය. බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් ඩී. බරොව් විසින් ප්‍රකාශිත “Origin of The Universe” යන ග්‍රන්ථයේ 3-6 පිටු වලින් ඉදිරිපත් කොට ඇත්තේ ද මෙම මතයයි. කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ බිහි විමෙන් පසුව නම් විශ්වයේ නිර්මාතෘ කාලයෙන් පරිබාහිර වු අයෙකු විය යුතුය. එනම් විශ්වයේ නිර්මාතෘට කාලය පදනම් කර ගත්  ආරම්භයක් තිබිය නොහැකි බව  මෙම තොරතුරු පිළිබඳ ව බුද්ධිය හා විචාරය පදනම් කර ගනිමින් තර්කානුකුල ව සිතන විට අපට පිළිගන්නට සිදු වේ. මෙය නුතන විද්‍යාත්මක  සිද්ධාන්තයන්ට අනුකුල වු සංකල්පයකි.
ඇමෙරිකානු එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියානු රාජ්‍ය විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් එම්. සින්බලා මහතා විශ්වයට ආරම්භයක් ඇති බවත් එසේ ආරම්භයක් ඇති බවට පිළිගැනීමට තාපගති විද්‍යාවේ දෙවැනි සිද්ධාන්තය පමණක් ප්‍රමාණවත් බව පවසයි. තවදුරටත් කරුණු දක්වන එම මහතා ආරම්භයක් ඇති විශ්වය නිර්මාණය කළ හැක්කේ මෙම දෙවැනි සිද්ධාන්තයෙන් බාහිර ව පවතින ශක්තියකට බවත් විද්‍යාත්මක හේතු දක්වමින් පැහැදිලි කරයි. එම බාහිර ශක්තිය අන් කිසිවක් නොව නිර්මාතෘ දෙවිඳුන් බවත් එම මහතා විග්‍රහ කරයි. මෙහි විස්තර පහත සඳහන් වෙබ් සම්බන්ධකයෙන් ලබා ගත හැක.
http://www.personal.psu.edu/faculty/j/m/jmc6/second_law.html
ඉහත තාප ගති විද්‍යාව අනුව ඉදිරිපත් කළ විද්‍යාත්මක සාධක පදනම් කර ගනිමින් එළඹිය හැකි නිගමනයන් සංක්ෂිප්ත ව පහතින් දක්වා ඇත්තෙමු.   
1. විශ්වයට (කාලය ඇතුළු ව) නියත වශයෙන් ම ආරම්භයක් ඇති බව විද්‍යාත්මක සිද්ධාන්තයන් පදනම් කර ගෙන සනාථ වන කරුණකි.
2. ආරම්භයක් ඇති සෑම දෙයකටම අනිවාර්යයෙන් ම හේතුවක් තිබිය යුතුය. ආරම්භයක් ඇති කිසිවක් හේතුවකින් තොරව පවතින්නේ යැයි පැවසීම විද්‍යාත්මක හා යථාර්ථවාදි  සංකල්පයක්  නොවේ.
3. එහෙයින් විශ්වයට ආරම්භයක් ඇති බව විද්‍යානුකුලව ඔප්පු වි  ඇති හෙයින්  නියත වශයෙන්ම  විශ්වයේ ආරම්භයට හේතුවක්  තිබිය යුතුය.
4. කාලය ආරම්භ වන්නේ  අවකාශය හා භෞතික පදාර්ථ ආරම්භ වීමත් සමගය.
5. විශ්වය ආරම්භ විමට පෙර අවකාශය  හා භෞතික  පදාර්ථ නොමැති තත්ත්වයක් තුළ තිබිය හැක්කේ  විශ්වය උත්පාදනය කළ හේතුව පමණි.
6. එහෙයින් විශ්වයේ උත්පාදන ශක්තිය (නිර්මාතෘ) කාලයෙන් පරිබාහිර එකක් වන හෙයින් විශ්වයේ උත්පාදන ශක්තිය (නිර්මාතෘ) ට ආරම්භයක් නොමැත. ආරම්භයක් නොමැති  දෙයකට අවසානයක් තිබිය නොහැක. එහෙයින් විශ්වයේ නිර්මාතෘ සදාතනික විය යුතුය.
7. ආරම්භයක් නොමැති ව සදාතනික  වූවක් සඳහා හේතුවක් තිබිය නොහැක. එහෙයින් විශ්ව‍යේ නිර්මාතෘට හේතුවක් නොමැත.
8. සියල්ල අනිත්‍යය යන ආගමික මතවාදය  තාපගති විද්‍යාවේ සිද්ධාන්තයන් අනුව බිඳ වටේ.  
විශ්වය අහඹු ලෙස ඇති වූවක් නම් එය අවිධිමත් හා කිසිදු නියාමයන් එනම් සිද්ධාන්තයන් අනුව ක්‍රියාත්මක නොවන පිළිවෙලකින් තොර එකක් විය යුතුය. විශ්වය දෙස අවධානය යොමු කරන ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි වැදගත් සත්‍යයක් නම් මුළු මහත් විශ්වයම නිශ්චිත නියාමයන් හා සිද්ධාන්තයන් අනුව ඉතා විධිමත් සැලසුමක් අනුව ක්‍රියාත්මක වන බවය. ඇතැම් අවස්ථාවන් හි විශ්වයේ ආරම්භය මෙන්ම එහි පැවැත්ම ස්වභාව ධර්මය විසින් සිදු කොට පාලනය කරන බව අපට අසන්නට ලැබේ. එහෙයින් ස්වභාව ධර්මය පිළිබඳ ව ද විමසුමක යෙදීම වැදගත් යැයි සිතන්නෙමු.
ස්වභාව ධර්මය
අප අවට පරිසරය නිරීක්ෂණය කිරීමේ දී අපට බොහෝ අලංකාර, කලාත්මක හා නිශ්චිත සැලසුමක් සහිත ව සියල්ල සැකසී ඇති බව දැක ගත හැකි වනු ඇත. ඇතැම් විට මිනිස් ක්‍රියාකාරකම් මගින් මෙම කලාත්මක සුන්දරත්වය හා සැලසුම් සහගතත්වය විකෘත කොට ඇති අවස්ථා ද ඇත. මේවා සියල්ල ස්වභාව ධර්මයේ නිර්මාණයන් ලෙස අර්ථ දැක්වීම සාමාන්‍ය ව්‍යවහාරයේ දැකිය හැක්කකි. මෙයින් අර්ථවත් වන්නේ කුමක් ද? ස්වභාව ධර්මය යනුවෙන් අප හඳුන්වන්නේ ඵලයට ද? එසේ නොමැති නම් හේතුවට ද? එය හේතුව නම් එහි අන්තර්ගත නිර්මාණ ශක්තිය කුමක් ද? යමෙකුට එහි සැඟවී සිටිනා නිර්මාණ ශක්තිය හඳුනා ගැනීමට හැකියාවක් තිබේ ද? කලාත්මක පරිසරය ඵලයක් මිස එහි නිර්මාණාත්මක කලාකරුවා විය හැක්කේ කෙලෙස ද? සුන්දර සැලසුම් සහගත ස්වභාවය ඵලයක් මිස එහි සැලසුම් කරුවා විය හැක්කේ කෙලෙස ද? කරුණාකර මොහොතක් මේ පිළිබඳ විචාරශීලී ව සිතා බලන්න. මේ අනුව අප ස්වභාව ධර්මය යනුවෙන් හඳුන්වන්නේ ඵලය මිස හේතුව නොවන බව පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. පංච නියාමයන් (මෙහි ඇතැම් නියාමයන් විවාදාත්මක ය) ඇතුළුව විශ්වයේ පාලනය අති සුක්ෂම සැලසුමක් අනුව සැකසී ඇත්තේ අහඹු හෝ නිශ්චිත අර්ථයක් ලබා දිය නොහැකි ස්වභාව ධර්මය අනුව නොව, එම නියාමයන් ලබාදුන් නිර්මාතෘ බලයකින් බව කිසිදු සැකයක් නොමැත. ගණිතමය වශයෙන් ඉතාම නිරවද්‍යතාවකින් යුක්තව ක්‍රියාත්මක විශ්ව නියාමයන් අහඹු සිදුවීම් ලෙස දැක්විය හැක්කේ කෙලෙස ද?         
එහෙයින් මෙම විශ්ව නියාමයන් පිළිබඳ විමසුම යෙදීමෙන් මෙම නියාමයන් ලබා දුන් නිර්මාතෘ බලයක් පිළිබඳ සත්‍යය අවබෝධ කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන්නෙමු..   
විද්‍යාඥයින් ව විස්මයට පත් කළ විශ්ව නියාමයන් (සිද්ධාන්තයන්)  
විශ්ව නියාමයන් පෘථිවියට පමණක් අදාළ නොවන අතර මුළු මහත් විශ්වයම මෙම නියාමයන් ඔස්සේ පාලනය වන බව විද්‍යාඥයින් විසින් පිළිගෙන ඇත. මේසය මත තබන ලද උණු තේ කෝප්පය ක්‍රමයෙන් සිසිල් බවට පත් වෙයි. මෙය කිසිදු වෙනස් වීමකින් තොරව නිරතුරු ව සිදු වේ. ගුරුත්වාකර්ෂණය ඒකාකාර ලෙස ක්‍රියාත්මක වෙයි. ආලෝකයේ වේගය සැම තැන එකාකාරී  ලෙස පවතී. සෞර ග්‍රහ මණ්ඩලය ඇතුළු මුළු මහත් විශ්වයේ සියලු ග්‍රහ තාරකා ඉතා සුක්ෂම ලෙස ගණනය කළ හැකි ක්‍රමවත් අයුරින් චලනයේ යෙදෙයි. මෙවන් විශ්වීය නියාමයේ නියතයන් හා සිද්ධාන්තයන් රාශියක් ඇත. මේ සියල්ල අපට හඬ නගා පවසා සිටින්නේ මුළු මහත් විශ්වයම නිශ්චිත නියාමයන් අනුව ක්‍රියාත්මක වෙමින් කිසිදු වැරැද්දක් හෝ දෝෂයකින් තොරව ඉතා ක්‍රමවත් අයුරින් සැකසී ඇති බව නොවේ ද? මෙය ඉබේ සිදු විය හැක්කක් ලෙස පැවසිය හැක්කේ කාහට ද? මිනිස් ආයාසයකින් හෝ බලපෑමකින් හෝ තොරව කිසියම් විශ්වසනීය අදෘශ්‍යමාන බලවේගයක් විසින් මෙහෙය වන උද්ධෘත සඳහන් විශ්වීය නියාමයන් ප්‍රතික්ෂේප කළ හැක්කේ කෙලෙස ද? පූර්ව නිගමනයන්, පාරම්පරික විශ්වාසයන්, විචාරයෙන් තොරවූ පක්ෂපාතිත්වය ආදියෙන් මිදී විවෘත මනසකින් යුක්ත ව මෙම සත්‍ය සාධක කෙරෙහි ඔබගේ චින්තනය යොමු කරන ලෙස ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.        
භෞතික විද්‍යාවේ සිද්ධාන්තයක් යනු ස්වභාවික පරිසරය කිසිදු බැහැරලීමකින් හෝ අතහැර දැමීමකින් තොරව අනුගමනය කරන්නා වූ සම්මතයක් ලෙස විශ්වවේදී (Cosmologist) සෝන් කැරොල් පවසයි (Sean Carroll, a cosmologist at the California Institute of Technology, quoted by the New York Times, nytimes.com; 2007). විශ්වීය නියාමයන් සංඛ්‍යාත්මක පදනමකින් යුක්ත ව සටහන් කර ගත හැකිය. තාර්කික පදනමකින් බලන විට නියාමයන්ට අනුකූල ව පැවතෙන විශ්වයක අවශ්‍යතාවක් නොමැත. එම නියාමයන් ගණිතමය සිද්ධාන්තයන්ට සම්පුර්ණ අනුකුලත්වයකින් යුතු ව පැවතීම සැමගේ විස්මයට හේතු වී ඇත. ආලෝකය පැමිණෙන්නේ විදුලි පන්දමකින් ද නැතහොත් අති දුරස්ථ තාරකා මණ්ඩලයකින් ද යන වෙනසකින් තොරව එහි වේගය තත්පරයකට සැතපුම් 186,000 ක් ලෙස නියතයක් ලෙස පවතී.
ස්වභාවික පරිසරය ගණිතමය නියතයන් අනුව ක්‍රියාත්මක වීම විස්මය ජනක අභිරහසක් ව ඇති බව භෞතික විද්‍යාඥ ඉයුජීන් විග්නර් පවසයි (Eugene Wigner, "The Unreasonable Effectiveness of Mathematics in the Natural Sciences," in Douglas Campbell and John Higgins, eds.,     Mathematics (Belmont, CA: Wadsworth, 1984), Vol. 3, 117.)  
ස්වභාවික පරිසරය ගණිතමය නියාමයන් අනුව ක්‍රියා කිරීම මහත් විස්මය ජනක අභිරහසක් ව පවතින බව ක්වොන්ටම් විද්‍යුත් ගති විද්‍යාව පිළිබඳ නෝබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ රිචඩ් ෆෙයින්මන් පවසයි  (Richard Feynman, The Meaning of It All: Thoughts of a Citizen-Scientist (New York: Basic Books, 1998), Page 43).
මෙම කිසිදු නියාමයක් කාලය හෝ ස්ථානය අනුව කිසිදු වෙනස්වීමකට භාජනය නොවී නියතයක් ලෙස පවතී. නුතන අධ්‍යයනයකට අනුව භෞතික විද්‍යාවේ ඉතා වැදගත් ගණිතමය සිද්ධාන්තයක් වූ ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන ස්කන්ධ අනුපාතය මිහිතලය මත ලෙසින්ම ආලෝක වර්ෂ බිලියන හයකට එපිට පිහිටා ඇති ක්‍ෂීරපථයේ තාරකාවක ද එය නියතයක් ව පවතී (Dr. Emily Baldwin; "Earth's Laws Still Apply in Distant Universe"; AstronomyNow.com; June, 2008).   
පොදු  එකම නියාමයන් අනුව මුළු මහත් විශ්වයම ක්‍රියාත්මක වීම තුළින් අප වැදගත් කරුණු කිහිපයක් දකින්නෙමු. විශ්වයේ නිර්මාතෘ එකීය බවත් බහු නිර්මාතෘවරුන් සිටියේ නම් මෙලෙස ඒකීය නියාමයන් අනුව විශ්වය ක්‍රියාත්මක වීම සිදු නොවනු ඇත. මෙමගින් මහත් වූ ව්‍යාකුලත්වයක් ඇති වීම වැළැක්විය නොහැක්කක් වනු ඇත. සරල නිදර්ශනයක් හෝ දෙකක් ගෙනහැර පෑම සුදුසු යැයි සිතන්නෙමු. කිසියම් රටක හෝ සමිති සමාගමක එක සමාන බලතල සහිත නායකයින් දෙදෙනෙකු සිටියදී එහි වැඩ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට බාධා ඇති වේ. එක සමාන බලතල ඇති විදුහල්පති දෙදෙනෙකු සිටියහොත් එම පාසලේ කටයුතු නියමාකාර ලෙසින් පවත්වා ගත නොහැකි වෙයි. එක් කුටුම්බයක එකම බලතල සහිත දෙදෙනෙකු සිටී නම් තත්ත්වය කෙබඳු වේද?
රටක් සමිති සමාගමක් පාසලක් හෝ ගෘහයක් සේ නොව අති මහත් විශ්වය හා එහි අන්තර්ගත ක්‍රියාකාරිත්වය බහු නිර්මාතෘන්ගේ නම් විශ්ව පාලනය හා ක්‍රියාකාරිත්වය මේසා අලංකෘතාකාරයට සිදු විය හැකි ද?
“අහස්හි සහ මිහිතලයෙහි කෙතරම් සංඥාවන් තිබේ ද? ඔවුහු ඒවා ගැන කිසිදු තැකීමකින් තොරව ඒවා පසු කර යති”. (අල් කුර්ආන් 12 : 105)
“(අහස් හා මිහිතලය යන) ඒ දෙකෙහි අල්ලාහ් හැර වෙනත් දෙවියන් වෙත් නම් ඒ දෙකම ව්‍යසනයට පත් වනු ඇත” (අල් කුර්ආන් 21 : 22).   
විශ්ව නියාමයන්හි අසමසම නිරවද්‍යතාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම පිණිස පහත උදාහරණය ඉදිරිපත් කරන්නෙමු.
අති නිරවද්‍ය ඔරලෝසුව
කාර්ය බහුල හා තරඟකාරී ලොවේ වේලාව අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් ඔරලෝසුවක් නොපලඳිනා අයෙකු සොයා ගැනීමට නොහැකි තරම්ය. නමුත් එක් ඔරලෝසුවක් බොහෝ අවස්ථාවන් හි තවෙකක් හා වේලාව සමාන ලෙස නොදක්වයි. මෙසේ වන විට අපි අපගේ ඔරලෝසුවේ වේලාව නිවැරදි ව සකසා ගැනීමට කටයුතු කරන්නෙමු. නිවැරදි වේලාව ලොවට දැක්වීම පිණිස ඇමෙරිකානු එක්සත් ජනපදයේ (නාවික හමුදාවේ ආකාශ වස්තු නිරීක්ෂණාගාරය - වොෂින්ටන් නගරය) ඇති ‘Master Clock’ නමින් හැඳින්වෙන ඔරලෝසුව අනුව කරනු ලැබේ. මෙම ඔරලෝසුව ද වරින් වර නිරවද්‍ය ලෙස සකස් කර ගැනීමේ අවශ්‍යතාව ඇත.
වේලාව නිවැරදි අයුරින් මැනීම සඳහා 1967 දක්වා වර්ෂ ගණනාවක් තිස්සේ ඇමෙරිකානු නාවික හමුදාවේ ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥයින් විසින් අනෙකුත් ග්‍රහ ලෝකයන්ට සාපේක්ෂ ව පෘථිවියේ චලනය නිරීක්ෂණය කිරීමේ කාර්යයේ නියැලුණහ. මේ අයුරින්  ඉහත  සඳහන් ‘Master Clock’ නම් වූ  මහා ඔරලෝසුවේ වේලාව වරින් වර නිවැරදි අයුරින් සකස් කර ගන්නා ලදී. එසේ නම් කිසිදු වැරැද්දකින් තොර අති නිරවද්‍ය ඔරලෝසුව මිනිසාට සකස් කොට දී ඇත්තේ ග්‍රහලෝක සියල්ල අති සියුම් අයුරින් හා කිසිදු වැරැද්දකින් තොර ව අති නිරවද්‍ය අයුරින්  චලනය වීමට සකස් කර දුන් විශ්වයේ නිර්මාතෘ නොවේ ද? මෙම අති නිරවද්‍යතාව අහඹුවෙන් සිදුවිය හැක්කක් ලෙස දැක්වීමට උත්සාහ කිරීම බුද්ධිමය ප්‍රකාශනයක් ලෙස දැකිය හැක්කේ කාහට ද?
“රාත්‍රිය ද දහවල ද හිරු ද සඳු ද මැව්වේ ඔහුමය. (ඒවා) සියල්ලක් ම (ඒවාට නියමිත) කක්ෂයෙහි පිහිනා යති”. (අල් කුර්ආන් 21 : 33)
‘Master Clock’ එකට වඩා නිරවද්‍යතාවකින් යුත් පරමාණුක ඔරලෝසුවක් විද්‍යාඥයින් විසින් සෙසියම් (Cesium 133) පරමාණුව යොදා ගනිමින් නිර්මාණය කරන ලදී. එයින් නොනැවතුණු විද්‍යාඥයින් පරමාණුක ඔරලෝසුවට වඩා නිරවද්‍යතාවකින් යුත් ‘Optical Clock’ නම් වූ ඔරලෝසුවක් ආලෝකය හා රසදිය අණු උපයෝගී කර ගනිමින් නිර්මාණය කළහ. මෙම ‘Optical Clock’ නම් වූ  ඔරලෝසුව අවුරුදු බිලියන තිහකට වරක් එක් තත්පරයකින් විශ්ව නිර්මාතෘගේ ඔරලෝසුවට වඩා වෙනස් වෙයි. කෙසේ නමුත් මෙය පරමාණුක ඔරලෝසුවට වඩා 1000 වාරයකින් නිරවද්‍ය බව විද්‍යාඥයින් විසින් ගණනය කොට ඇත.
මෙම ඔරලෝසු මිනිසාගේ උපරිම විද්‍යාත්මක හා තාක්ෂණ ඥානය යොදා ගනිමින් නිර්මාණය කළ ද ඒවා කිසිවක් විශ්ව නිර්මාතෘගේ නිර්මාණය මෙන් පරිපුර්ණ නිරවද්‍යතාවකින් යුක්ත නොවනවා නම් මුළු මහත් විශ්වයම නිශ්චිත සැලසුමකින් හා නිශ්චිත නියාමයන් අනුව නිර්මාණය කොට ඇති බව පැහැදිලි වෙයි. මේ සියල්ල අහඹු සිදුවීම් ලෙස කාහට නම් පැවසිය හැක්කේ දැයි අසන්නට කැමැත්තෙමු.   
“සෑම දෙයක්ම (පූර්ව නිශ්චිත) ප්‍රමාණයෙන් යුතුව අපි මවා ඇත්තෙමු”. (අල් කුර්ආන් 54 : 49)
“අහස් හි හා මිහිතලයේ ආධිපත්‍යය ඔහු සතුය. ඔහු පුතෙකු නොගත්තේමය. ආධිපත්‍යයෙහි ඔහුට හවුල්කරුවෙකු නොමැත. සෑම දෙයක්ම මවා පසුව එය සැලැස්මක් සහිත ව සැකසුවේය”. අල් කුර්ආන් 25 : 2)
“සැබවින්ම අහස් සහ මිහිතලය මැවීමෙහි ද දිවා රාත්‍රී මාරුවෙන් මාරුවට පැමිණීමෙහි ද අවබෝධ කරගන්නා ජනයාට සංඥාවක් ඇත” (අල් කුර්ආන් 3 : 190)
විශ්ව නිර්මාණය
විශ්ව නිර්මාණය මෙන්ම අනෙකුත් වැදගත් මාතෘකා සාකච්ඡා කිරීමේදී මිනිසාට (හා ජින් වර්ගයාට) පමණක් උරුම විචාර බුද්ධිය පිළිබඳ කරුණු විමසීමක යෙදීම වැදගත් යැ’යි සිතන්නෙමු.  
විචාර බුද්ධිය
සත්වයින් තම පසිඳුරන්ට ගෝචර වන සාධක කෙරෙහි සෘජු ප්‍රතිචාර දක්වන  අතර එම සාධකයන් තම චින්තනයට පාත්‍ර කොට එහි විවිධ පැති කඩයන්  පිළිබඳ ව විචාරාත්මක ව සලකා බැලීමේ හැකියාවක් ඔවුන්ට ඇති බව  සොයා ගෙන නොමැත. පසිඳුරන්ගෙන් ලබා ගන්නා වු තොරතුරු පිළිබඳ ව සෘජු ප්‍රතිචාර දැක්වීමට මෙන්ම එම තොරතුරු පිළිබඳ ව විචාරාත්මක ව විමසා බැලීමේ හැකියා ව ද මිනිසාට ඇත. ලබා ගන්නා තොරතුරු විචාරාත්මක ව සමාලෝචනයට ලක් කොට නව නිගමනයකට එළැඹිමට මිනිසාට හැකියාවක් ඇත. මෙය උදාහරණයක් මගින් විමසා බැලීම වඩාත් උචිත යැයි  සිතන්නෙමු. පසුගිය කාලවකවානුව තුළ මෙරට පැවැති අවාසනාවන්ත සිවිල් යුද්ධ සමයේ දී ත්‍රස්ත්‍රවාදීන් විසින් කොලොන්නාවේ තෙල් ගබඩා සංකීර්ණයට පහර දුන් සිද්ධිය අපගේ මතකයෙන් ඉවත් නොවන කරුණක්  බවට පත් වි ඇත. මෙය සිදු වූ අවස්ථාවේ කොලොන්නාවේ සිට  කි.මි. 20 පමණ ඈතින් සිටි අයට වුව ද අහස් ගැබ තුළට නැග ආ අති විශාල දුම් කන්දරාව දැක ගැන්මේ අවස්ථාව ලැබුණි. ත්‍රස්ත්‍ර පහර දීමක් ගැන නොදැන සිටි මෙම ජනයා පළමු වරට දෑසින් දුටුවේ මෙම ප්‍රහාරයෙන් නැගුණු අතිමහත් දුම් කන්දරාව පමණි. මෙම අසාමාන්‍ය සිදුවීම දුටු ජනයා වහාම මෙම සිදුවීම තම විචාරයට ලක් කරන්නට පටන් ගත්හ. මෙය අයෙකු තම ගෙවත්ත අතු ගා එකතු වු වියළි අතු කොළ ගිනි තැබිමෙන් මතු වු දුමක් නොවන බව ඔවුන් හොඳින් දැන සිටියහ. එමෙන්ම මෙය කර්මාන්ත ශාලාවක දුම් කවුළුවකින් මතු වු දුමක් නොවන බවද ඔවුන්ට පැහැදිලි වූ කරුණකි. මෙලෙස මෙතරම්  විශාල දුම් කන්දරාවක් අහස් ගැබ තුළට නැග එන්නට හේතු විය හැකි සාධක ගැන විචාරයක යෙදී නිසැක ව, සැවොම ඒකමතික ව එළඹුණු පැහැදිලි නිගමනය නම් නිශ්චිත වශයෙන්ම මෙය මහා ගින්නක් හේතු කොට ගෙන මතු වු දුමක් බවයි. මෙම අවසාන නිගමනය පිළිබඳ ව ඔවුන්ගේ සිත් තුළ සැකයක් නොතිබුණි. ඉන් පසු ඔවුන් විචාරන්නට වුයේ මෙම විශාල ගින්න ඇති වන්නට  හේතු වු කරුණු ගැන හා ගින්න ඇති වු ස්ථානය පිළිබඳවයි. මෙහි දී මතු කළ යුතු වැදගත් කාරණය නම්  කොලොන්නාවේ සිට කි.මි. 20 ක් හෝ 25 ක් ඈතින් සිටි ජනයා අහස් ගැබට නැගුණු දුම දෙස බලා මහා ගින්නක් ඇති බව නිගමනයකට පැමිණියේ එම ගින්න සෘජු ව දැකීමෙන් නොවේ. එනම් පසිඳුරන්‍ට ගෝචර වු කරුණු විචාරයට ලක් කිරීමෙන්  සෘජු ව දැකිය නොහැකි හෝ  නොදුටු දෙයක් සත්‍යය බව පිළිගැනීමට මිනිසාට හැකියාවක් ඇති බව මේ අනුව පහසුවෙන් අවබෝධ කර ගැන්මට හැකි වෙනවා නොවේ ද? මෙම සරල උදාහරණය මගින් එනම් එක් සංඥාවක් හෝ සංඥා මගින් අන් දෙයක සත්‍යතාව අවබෝධ කර ගැන්මට හා පිළිගැනීමට මිනිසාට හැකියාව තිබේ යන්න මොනවට පැහැදිලි වනු ඇතැයි සිතන්නෙමු.
ඉහත උදාහරණය අප සතුන්ට අදාළ කර බැලුවහොත් සතුන්ගේ හැසිරීම ඊට හාත්පසින්ම වෙනස් එකක් බව අපි හොඳින් දන්නෙමු. අප බොහෝ විට පක්ෂීන්ගෙන් දකින්නේ දුමෙන් වැසුණු අහසින් මතු වන අන්ධකාරය දුටු විට එය රෑ කාලයේ ආරම්භය ලෙස සලකා තමන්ගේ කැදැල්ල කරා පියාඹන්නට සුදානම් වීමයි. එයින් එහා සිතීමේ හැකියාව සතුන්ට ලැබී නොමැත. මිනිසාගේ ස්වභාවය මෙයට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. මෙලෙසම නොදුටු දෙවිඳුන් සත්‍යය බව විශ්වාස කිරීමට මිනිසාට හැකි වි තිබෙන එක ප්‍රධාන හේතුවක් නම් මිනිසාට ජන්මයෙන්ම ලැබී ඇති මෙම විචාර බුද්ධියයි. දෙවිඳුන්ගේ සංඥා දෙස අවධානය යොමු කරන මිනිසාට එම සංඥා පිටිපස නියත වශයෙන්ම පාලක පරම අධිපති බලයක් ඇති බව ඔහු ඉතා පහසුවෙන්ම හඳුනා ගනී. මෙම කරුණ පිළිබඳ ව ද උදාහරණයක් මගින් සාකච්ඡා කළහොත්  වඩාත් සුදුසු යැයි සිතන්නෙමු.
මෙයට පෙර කිසිවෙකු විසින් දැක නොමැති එමෙන්ම ඒ ගැන කිසිවෙකුට කිසිදු දැනුමක් නොමැති යන්ත්‍රයක් අප ඉදිරියේ ගෙනැවිත් තබා එහි ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය ගැන දන්නේ කවරෙක් දැයි කියා අපගෙන් විමසුවහොත් අප නිසැකවම ඉදිරිපත් කරන පිළිතුර කුමක් විය හැකි ද? දෙවැනි අදහසකට ඉඩක් නොමැති ව කවුරුත් දෙන පිළිතුර වන්නේ එම යන්ත්‍රය පිළිබඳ ව දන්නේ එහි නිර්මාතෘ බවයි. ඉස්ලාමය උගන්වන්නේ ද විශ්වය හා එහි ඇති සියලු දෑ සර්ව බලය ඇති නිර්මාතෘ කෙනෙකු විසින් නිර්මාණය කර ඇති බවයි. මෙම නිර්මාතෘ හා මෙයට පෙර සඳහන් කළ විශ්වයේ පාලක පරම අධිපති එක් බලයක් බවත් ඉස්ලාමය අපට උගන්වයි. මෙය එක් අතකින් ක්ෂණික ව ඇදහීමට  අපහසු දෙයක් ලෙස යමෙකුට  පෙනෙන්නට  ඉඩ ඇත. එමනිසා මෙයට අදාළ විද්‍යාත්මක කරුණු අනිවාර්යෙන් ම අපට සාකච්ඡා කිරීමට සිදු වේ.
එඩ්වින් හබල්ගේ නිරීක්ෂණ හා පරීක්ෂණ
1916 දී ඇල්බට් අයින්ස්ටයින් ‘සාපේක්ෂතාවාදය’ ඉදිරිපත් කරමින් විශ්වය ප්‍රසාරණය විය යුතුය, එසේ නොමැතිනම් නැතිනම් සංකෝචනය විය යුතු යැයි පවසා සිටියේය. 1929 දි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මවුන්ට් විල්සන් ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ දි ඇමරිකානු තාරකා විද්‍යාඥ එඩ්වින් හබල් විසින් ඓතිහාසික මෙන්ම අති වැදගත් සොයා ගැනීමක් තාරකා විද්‍යා කේෂත්‍රයට කරනු ලැබිණි. පළමු ව එඩ්වින් හබල් නිරීක්ෂණය කළේ සියලුම ග්‍රහ වස්තු පෘථිවියෙන් ඈතට දිව යන බවයි. වැඩිදුර නිරීක්ෂණයේ දි ඔහුට සනාථ වුයේ සියලු ග්‍රහ වස්තු පෘථිවියෙන් ඉවතට දිව යනවා පමණක් නොව, සියලුම ග්‍රහ වස්තු එකිනෙකින් ඈතට දිව යන බවයි.  එනම් විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බව මෙම නිරීක්ෂණයේ දි අවධාරණය විය.
විසිවන සියවසේ ජීවත් වු ‍ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වු ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ න්‍යායාත්මක භෞතික විද්‍යා ගණනය කිරීම් තුළින් නියත වශයෙන්ම විශ්වය ස්ථිතික (Static Universe) එකක් නොවන බව ඔහු විසින් සොයා ගෙන තිබුණි. මේ අනුව ඇල්බට් අයින්ස්ටයින් ද එඩ්වින් හබල් විසින් සොයා ගන්නා ලද ප්‍රසාරණය වන විශ්ව සිද්ධාන්තය අනුමත කරමින් එයට පදනම් වු න්‍යායාත්මක භෞතික විද්‍යා ගණනය කිරීම් ඉදිරිපත් කරන ලදී.
මහා පිපුරුම් න්‍යාය
“ඔහු (අල්ලාහ්) අහස්හි ද මිහිතලයේ ද (පූර්ව නිදසුනකින් තොර වූ) උත්පාදකයායය”. (අල් කුර්ආන් 6 : 101)
පහතින්  ඉදිරිපත් කොට ඇත්තේ විශ්ව නිර්මාණය පිළිබඳ ව ඇති මහා පිපුරුම් න්‍යායේ කරුණු ය. ශුන්‍ය පරිමාවකින් යුත් ලක්ෂ්‍යයක් මහත් වූ බලයකින් පුපුරුවා හැර විශ්වය නිර්මාණය කළ බව  මෙමගින් දක්වා ඇත.  
ප්‍රසාරණය වන විශ්ව සිද්ධාන්තය විසින් සනාථ කරුණු ලැබු තවත් එක් සත්‍යයක් නම් කාලයේ ආපස්සට ගමන් කළහොත් එකිනෙකින් ඈතට දිව යන සියලු ග්‍රහ ලෝක  හා අභ්‍යවකාශ වස්තු එක් ලක්ෂ්‍යකට ඒකරාශී වන බවයි.‍ මහා පිපිරුම් සිද්ධාන්තය ඉදිරිපත් කරන්නේ මෙම එක් ලක්ෂය පිපිරීම තුළින් මුළු මහත් විශ්වයම නිර්මාණය වු බවයි. මහා පිපිරුම් න්‍යායට පදනම් වු වැදගත් සාධක දෙක නම් මුළු මහත් විශ්වයම එක් ඒකකයක් වශයෙන් පළමු ව තිබීම හා ඉන් පසු එය පිපිරී යෑමෙන් ඇති වු ගතික බලය (Dynamic Force) හේතුවෙන් පිපිරීමෙන් බිහි වු ග්‍රහ ලෝක අදත් අපගේ පියවි ඇසට නොදැනුණාට එකිනෙකින් ඈත් වෙමින් විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බවය. මෙම කරුණු දෙක සොයා ගනු ලැබුවේ 1929 වර්ෂයට පසුවය. එයට ශත වර්ෂ ගණනකට පෙර විද්‍යාත්මක පර්යේෂණ වාර්තා කිසිවක් ඉදිරිපත් නොකොට තමන් විසින් විශ්වය නිර්මාණය කළ බවත්, නිර්මාණය කළ ආකාරය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අල්ප මාත්‍රයක පරස්පරතාවකින් තොරව සනාථ වන්නේ නම් එසේ පවසන්නා විශ්වයේ නිර්මාතෘ බව පිළිගැනුමට අපට අපහසුතාවක්  ඇති වේ යැයි නොසිතන්නෙමු.
නුතන විද්‍යාවේ අල්පයකුදු නොදැන සිටි යුගයක එනම් වසර 1400 කට පෙර අරාබි කාන්තාරයේ ජිවත් වු මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) නම් වූ ලියන්නට හා කියවන්නට නොදැන සිටි එඩේර  ජීවිතයක් ගත කළ පුද්ගලයාට විශ්වයේ පාලක පරම අධිපති විසින් අවුරුදු 23 ක් තිස්සේ පහළ කරනු ලැබුවේ යැයි පවසන පණිවිඩයන්ගේ එකතුවක් වු අල් කුර්ආනය විශ්වයේ නිර්මාණය පිළිබඳ ව නුතන විද්‍යාවට අල්ප මාත්‍රයක පරස්පරතාවකින් තොරව විස්තර ඉදිරිපත් කරන්නේ නම්  එය නියත වශයෙන්ම සුවිශේෂි වු ප්‍රාතිහාර්යයක් විය යුතුමය. මේ පිළිබඳ ව එහි අඩංගු වැකි ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
“විශ්වය අපි අපගේ (නිර්මාණාත්මක) බලයෙන් පිහිටෙව්වෙමු. එය පුළුල් කරමින් සිටින්නේ අපමය ”  (අල් කුර්ආන් 51 : 47)
මෙය පුළුල් වන විශ්ව (Expanding Universe) සිද්ධාන්තය සනාථ කරවන අල්කුර්ආන් වැකියයි. පහත අල් කුර්ආන් වැකිය කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු.
“විශ්වයේ (අන් ග්‍රහ ලෝක) හා පොළොව එක් ඒකකයක් වශයෙන් (නිර්මාණය කොට) තිබි අප පුපුරුවා හැර (විශ්වය නිර්මාණය කළ) බව විශ්වාස නොකරන්නන් නොදන්නෙහි ද? ජීව ඇති සියලු දෙය අප ජලයෙන් නිර්මාණය කළෙමු. එසේ නම් ඔවුන් විශ්වාස නොකරන්නේ ද? (අල් කුර්ආන් 21 : 30)
මෙම වැකියෙන් ඉදිරිපත්  කරන විද්‍යාත්මක සත්‍යය අවුරුදු 1400 කට පෙර අරාබි කාන්තාරයේ  ජීවත් වු අයෙකුට කිසිසේත්ම ඔහුගේ ස්වයං දැනුම පදනම් කර ගෙන  ඉදිරිපත් කළ හැකි අදහස් නොවේ. එම වැකියේම ජීවයේ පදනම ගැන සඳහන් කරුණු ගැන ද විමසා බලමු. නුතන විද්‍යාව අපට උගන්වන්නේ ප්‍රෝටෝප්ලාස්මය හෙවත් ජීවයේ භෞතික පදනමේ සංයුත්තියෙන්  80% කට වඩා වැඩියෙන් ඇත්තේ ජලය බවයි. ජල හිඟයෙන් දුක් විඳින කර්කශ කාන්තාරයේ ජීවත් වු අයෙකු ජීවයේ භෞතික පදනම ලෙස ඇති ජලය පිළිබඳ ව සඳහන් කිරීම කිසිසේත්ම බලාපොරොත්තු විය හැක්කක් නොවේ. එසේ සඳහන් වන්නේ නම් එය සැබැවින්ම සියල්ල දන්නා වු තැනකින් ලැබුණු පණිවිඩයක් බව පිළිගන්නට අපට සිදුවෙනවා නොවේ ද? අපි නැවතත් විශ්ව නිර්මාණයේ විද්‍යාත්මක පදනම වෙතට අවධානය යොමු කරමු. 1948 දි ජෝර්ජ් ගැමොව් නම් තාරකා විද්‍යාඥයා මහා පිපිරුම් න්‍යාය විද්‍යාත්මක සිද්ධාන්තයක් වන්නට නම් අනිවාර්යෙන්ම තිබිය යුතු සාධකයන්  පිළිබඳ ව අදහස්  ඉදිරිපත් කළේය. එනම් මහා පිපුරුම ක්ෂණික ව සිදු වුවාක් නම් එහි ප්‍රතිඵලයක් වශයෙන් නිශ්චිත ප්‍රමාණයක විකිරණයක් විශ්වයේ ශේෂ ව තිබිය යුතු  අතර එය මුළු විශ්වය පුරාම  ඒකාකාරි අයුරින් පැතිර තිබිය යුතු බවත් ය.
1965 දි විද්‍යා පර්යේෂකයින් දෙදෙනෙකු වු අර්නෝ පෙන්සියාස් හා රොබට් විල්සන් විසින් එතෙක් කිසිවෙකු විසින් දැන නොසිටි විකිරණයක් ඇති බව සොයා ගන්නා ලදී. මෙයට ඔවුන් විසින් Cosmic Background Radiation (විශ්විය පසුතල  විකිරණය)  යනුවෙන්  නම් කරන ලදී. මෙම විකිරණය සඳහා නිශ්චිත ප්‍රභවයක් (එයට මුල් වු ස්ථානයක්) නොතිබු අතර එය අභ්‍යාවකාශය පුරාවට ඒකාකාරි ව විහිදී ඇති බවද ඔවුන් විසින් සොයා ගන්නා ලදී. පෙන්සියාස් හා විල්සන් ට මෙම සොයා ගැනීම සදහා නොබෙල් ත්‍යාගයද  පිරිනමන ලදී. 1989 දි ඇමරිකානු අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය වු නාසා (NASA) ආයතනය මගින් COBE (Cosmic Background Explorer) නමින් මෙම විකිරණය පිරික්සීම සඳහා චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කරන ලදී. මෙම විශ්විය පසුතල විකිරණය හඳුනා ගැනීමට මෙම චන්ද්‍රිකාවේ තිබු ඉතා සියුම් හා සංවේදි උපකරණයන්ට අවශ්‍ය වුයේ විනාඩි අටක පමණ කාලයක් පමණි. ඉන් පසුව COBE 2 යනුවෙන් ද මේ සඳහා චන්ද්‍රකාවක් යවන ලද අතර එය විසින්ද මෙම විකිරණය සනාථ කරන ලදී. මෙම විද්‍යාත්මක පසුබිම ඉදිරිපත් කළේ දැනට විද්‍යාත්මක සිද්ධාන්තයක් ලෙස සනාථ වි ඇති මහා පිපිරුම් න්‍යායේ සත්‍යභාවය ඔබට පැහැදිලි කිරිම සඳහාය. අප ඔබට ආරාධනා කරන්නේ විචාර බුද්ධිය උපයෝගි කර ගෙන විශ්වයේ නිර්මාතෘ හඳුනා ගැනිම සදහා ඉහත සදහන් කරුණු වෙත නැවත නැවතත් ඔබගේ අවධානය යොමු කරන ලෙසය. අප ආරම්භ‍යේ සදහන් කළ පරිදි මෙයට පෙර කිසිවෙකු නොදැන සිටි හා මෙයට පෙර කිසිවෙකු නොදුටු යන්ත්‍රයක ක්‍රියාකාරිත්වය හා එහි ව්‍යුහය දන්නේ නියත වශයෙන් ම එහි නිෂ්පාදකයා හෝ නිර්මාතෘ බව පිළිගත් පදනම මත පිහිටා විශ්ව නිර්මාණයේ විස්තර  ඉතාමත්ම නිරවද්‍යතාවකින් හා විද්‍යාත්මක පදනමකින්  යුක්ත ව මෙයට අවුරුදු 1400 කට පෙර යමෙක් පවසන්නේ නම් ඔහු නිසැකවම එහි නිර්මාතෘ බවට පිළිගැනිමට අපට කිසිදු අපහසුවක් හෝ බාධාවක් තිබිය නොහැක.
විශ්වයේ නිර්මාණය පිළිබඳ ව ඇති විද්‍යාත්මක සිද්ධාන්තයන් විශ්වයේ නිර්මාතෘ හා පාලක පරමාධිපති විසින් පහළ කරන ලද පණිවිඩයේ (අල් කුර්ආනයේ) අඩංගු කරුණු සමග ඇති අදහාගත නොහැකි එකඟතාව සැබැවින්ම ප්‍රාතිහාර්යයක් බව අපට පිළිගන්නට සිදු වන අතර එය එම පහළ කරන ලද පණිවිඩයේ සත්‍යතාව හා එහි දිව්‍යමය මූලය සහතික කරන්නකි. අපි තවත් කෝණයකින් විශ්වයේ නිර්මාණය පිළිබඳ ව අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. පිපුරුමක්  සිදු වු තැන අපට දක්නට හැකි වන්නේ ව්‍යාකුලත්වයකි. එහි සැලැස්මක් සහිත ස්වභාවයක් උත්පාදනය විමට කිසිසේත්ම ඉඩක් නොමැත. නමුත් මිහිතලය හා විශ්වය දෙස විද්‍යාත්මක විමසුමක යෙදෙන්නෙකුට පැහැදිලි වන එක් භයානක අදහාගත නොහැකි සත්‍යක් ඇත. එනම් මුළු මහත් විශ්වයම අප විසින් මෙයට පෙර විග්‍රහ කළ පරිදි ඉතා සියුම් ලෙස සැකසුණු සැලැස්මක් අනුව ගොඩනැගී ඇති බවය. මහා පිපිරුම් සිද්ධාන්තය හුදෙක් අහම්බෙන් සිදු වු පිපුරුමක් නොවන බව මෙයින් පැහැදිලි නොවන්නේ ද? පිපුරුමෙන් පසු ඉතා සියුම් හා නිශ්චිත සැලැස්මක් දකින්ට තිබේ නම් පිපුරුම පිටුපස නිසැකවම සර්වඥානී සැලසුම් කරුවෙකු සිටිය යුතු බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේ ද? එම සර්වඥානී සැලසුම්කරු අන්කිසිවෙකු නොව විශ්වයේ නිර්මාතෘ හා පාලක පරමාධිපති බව අපට පැහැදිලි නොවන්නේ ද? මේ පිලිබදව අල් කුර්ආනය දක්වන අදහස් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
“එබැවින් අහස් හත තට්ටුවෙන් තට්ටුවට නිර්මාණය කර ඇත්තේය. (ජනයිනි) කරුණාභරිත දෙවිඳුන්ගේ නිර්මාණයන්හි  ඔබ කිසිදු අඩුපාඩුවක්  නොදකින්නෙහිය. නැවතත් (එය අවධානය කර)  බලනු. (එහි) යම්කිසි වැරැද්දක්  ඔබ දකින්නෙහි ද? (නැවත) නැවතත් දෙවරක් බලනු (මෙසේ ඔබ මෙය කොතරම් වතාවක් නැවත නැවතත් බැලුව ද කිසිදු අඩුපාඩුවක් නොදකින්නෙහිය) ඔබගේ බැල්ම ම දුබල ව  ව්‍යාකුල වී (ඔබ වෙත) ආපසු හැරෙන්නේය.” (අල් කුර්ආන් 67 :3 - 4)
ඉහත අල්කුර්ආන් වැකි වලින් හෙළිදරව් වන අලුත් තොරතුරු දෙසට ද අපගේ අවධානය යොමු කරන්නට අවශ්‍ය ව ඇත. අහස් යන වාක්‍යය උපයෝගි කර ගන්නා සන්දර්භය (Context) අනුව අල් කුර්ආනයේ අර්ථ කිහිපයක් ඇත. පෘථිවිය මතුපිට ඇති වායුගෝලය එක් අර්ථයක් වන අතර තවත් තැන් හි විශ්වය යන  අර්ථය ඇති ව ද මෙම වචනය උපයෝගි කොට ගෙන ඇත. ඉහත අල් කුර්ආන් වැකියේ  වායුගෝලය යන අර්ථය ඇතිව යොදා ඇති බව ඉතා පැහැදිලි ව පෙනේ. මුළු මහත් විශ්වයම  නිරුවත් ඇසින් දැකිය නොහැකි බව අප සැවොම දන්නා සත්‍යයකි. නුතන භාවිතයේ දි අහස යනුවෙන් අප අදහස් කරන්නේ පෘථිවිය වටා ඇති වායුගෝලයට බව අලුතින් විස්තර කළ යුතු කරුණක් නොවේ. නුතන විද්‍යාඥයින් විසින් වායු ගෝලය ස්තර (තට්ටු) හතකින් යුක්ත බව විස්තර කොට ඇත. මේ පිළිබඳ ව විස්තර General Science By Carolyn Sheats  Robert Gardner, And Samuel F. Howe (published in U.S.A-1985-Pages 319-322) නම් ග්‍රන්ථයේ පැහැදිලි ව ඉදිරිපත් කොට ඇත.
මෙයත් ඉතා නුතන විද්‍යාත්මක සොයා ගැනීමක් වන අතර  එම කරුණ ද  ඉතා නිරවද්‍යතාවකින් යුක්තව අල් කුර්ආනය ඉදිරිපත් කරන අලංකාරය ඔබ නොදකින්නෙහි ද? මෙයිනුත් සනාථ වන්නේ  කුමක් ද කියා ඔබට සිතා බලන්නට අපහසු තාවක් තිබේ ද? මෙම ස්තරයන් හි ඇති වායු පිඩනය හා වායු සංයුතිය එකිනෙකට වෙනස් වන්නේය.
1. පෘථිවිය සමග ඇති ස්තරයට ට්‍රොපෝස්තරය (Tropo sphere) ලෙස නම් කොට ඇත.
2. එයට ඉහළින් ඇති ස්තරයට ස්ට්‍රාටොස්තරය (Strato sphere)
3. එයත් සමග ඇති ස්තරයට ඕසොන් ස්තරය.(Ozone sphere)
4. එයට ඉහළින් ඇති ස්තරයට මෙසෝ ස්තරය (Meso Sphere)
5. එයට ඉහළින් ඇති ස්තරයට තර්මෝ ස්තරය (Thermo Sphere)
6. එයට ඉහළින් ඇති ස්තරයට අයනෝ ස්තරය (Iono Sphere)
7. එයටත් ඉහළින් ඇති ස්තරය එක්සෝ ස්තරය ලෙස විදඥයින් විසින් හඳුන්වා දී තිබේ. (Exo sphere)
විසිවන සියවසේ විද්‍යාත්මක දියුණු ව සමග සොයා ගත් මෙම විද්‍යාත්මක  සත්‍යයන් අවුරුදු 1400 කට පෙර අති නිරවද්‍යතාවකින් යුක්ත ව අල් කුර්ආන් මගින් මිනිසාගේ දැනුම වෙත යොමු කොට තිබීම සැබැවින්ම ආශ්චර්යජනකය.
ඉහත දැක් වු අල් කුර්ආන් වාක්‍යයන්ගෙන් අප සාකච්ඡා කරන්නට අදහස් කළේ ස්තර හතට වඩා වැදගත් කරුණකි. එනම් විශ්වයේ  බිහිවිම මහා  පිපුරුමේ ප්‍රතිඵලය බව නුතන විද්‍යාව හා අල් කුර්ආනය එකඟතාවට පැමිණිය ද, එය සැලසුම් සහගත අඩුපාඩු වලින් තොර වු සැකසුමකින් සමන්විත වු පිපිරිමක් බව අවුරුදු 1400 කට පෙර මනුෂ්‍ය වර්ගයාගේ අවධානයට යොමු කොට ඇත්තේ අල් කුර්ආනය පමණි. ඉහත අල් කුර්ආන් වැකි අභියෝගාත්මක ව මනුෂ්‍ය වර්ගයාට දන්වා සිටින්නේ මෙය  ඉබේ හේතුවකින් ‍තොරව සිදු වු පිපිරීමක් නොවන  බවත් එය සර්වඥානී සැලසුම්කරුගේ ක්‍රියාවක් බවත්ය. මුළු විශ්වයම ඉතා සියුම් සැලසුමක් මත ක්‍රියාත්මක වන බව විද්‍යාඥයින් අවබෝධ කර ගත්තේ ඉතාමත් මෑත කාලයේදීය. මෙය අවුරුදු 1400කට පෙර දී කිසිසේත්ම කිසිදු මිනිසෙකු දැන සිටි හෝ කිසිවෙකුට තම උත්සාහයෙන් දැන ගත හැකි සත්‍යයක් නොවේ. අල් කුර්ආනය පහළ කළ බලයම විශ්වයේ නිර්මාතෘ බව පිළිගන්නට මෙය තවත් බිඳිය නොහැකි ප්‍රබල සාක්ෂියක් නොවන්නේ දැයි  මනුෂ්‍යයාට පමණක් උරුම වු විචාර බුද්ධිය මෙහෙයවා විමසා බලන ලෙස අපි ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නෙමු. විචාර බුද්ධිය පදනම් කර ගෙන අප මෙතෙක් සාකච්ඡා කළේ මිනිසාගේ වාසභුමිය වු මිහිතලය ද අඩංගු විශ්වයේ නිර්මාණය පිළිබඳ ව ඇති විද්‍යාත්මක සිද්ධාන්තයන් සහ අල් කුර්ආනය මගින් විශ්වයේ නිර්මාතෘ විසින් දැනට අවුරුදු 1400 කට පෙර හෙළිදරව් කර ඇති අප සැම මවිතයට පත් කරවන ප්‍රාතිහාර්ය ජනක සත්‍යය  තොරතුරු පිළිබඳවය.
මිහිතලයේ හැඩය
විශ්ව නිර්මාණය පිළිබඳ දීර්ඝ වශයෙන් ඉහතින් සාකච්ඡා කළෙමු. නමුත් අප පය ගසා ජීවත් වන මිහිතලය පිළිබඳ ව නිවැරදි විද්‍යාත්මක මතයක් දහම් මුලාශ්‍රයන්හි අන්තර්ගත නොවන්නේ නම් අපට ඉතා බරපතළ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවීම වැළැක්විය හැක්කක් නොවේ. මිහිතලය වා පොලොව, ජල පොලොව හා ගල් පොලොව යානාදියෙන් සංයුක්ත ව ඇති බව හා  ඒවායේ නිශ්චිත දිග පළල පිළිබඳ සඳහනක් ඉස්ලාමය ඉදිරිපත් නොකරයි.  එහෙයින් ඉස්ලාමීය මුලාශ්‍ර  මිහිතලයේ හැඩය පිළිබඳ ව ඉදිරිපත් කරන කරුණු ගැන විමසා බලමු.
අල් කුර්ආනය පහළ කරන ලද හත් වන සියවසේ මිනිසාගේ විශ්වාසය වුයේ පොළොව අද්දර පිහිටි කුලුනු  දෙකක් බඳු වූ කඳු දෙකක් මත පෘථිවිය පිහිටා ඇති බවය. මේ අනුව පොළොව සමතලා එකක් බව ඔවුන්ගේ විශ්වාසය විය. එම යුගයේ මිනිසාගේ අවිද්‍යාත්මක පිළිගැනීම් ප්‍රතික්ෂේප කොට නිවැරදි මතයන් ස්ථාපිත කරන්නට අල් කුර්ආනයේ පණිවිඩය කටයුතු කොට ඇත.
“ඔහු ඔබ දකින කුලුනු කිසිවක් නොමැති ව අහස් නිර්මාණය කළේය.  පොළොව ඔබ හා නොසැලෙනු පිණිස ඔහු තිරසාර හෙල් ස්ථාපිත කළේය”. (අල්කුර්ආන් 31:10)
මිහිතලයේ හැඩය කුමන ආකාරයේ එකක් ද යන්න විද්‍යාඥයින් නිශ්චිත ව සනාථ කර ගන්නේ ඉතිහාසයේ ශත වර්ෂ පහකට අඩු කාලයක් ඇතුළතය. අල් කුර්ආනය හැරෙන්නට කිසිදු ආගමික හෝ ආගමික නොවන ග්‍රන්ථයක් හෝ දහමක් ඉදිරිපත් කළ අයෙකු ඉතාමත් විද්‍යානුකුල ආකාරයට මිහිතලයේ හැඩය විග්‍රහ කොට නොමැත. අල් කුර්ආනය විවිධ වැකි මගින් නිශ්චිත වශයෙන් ම පෘථිවිය පැතලි එකක් නොවන බව  පැහැදිලි වන ආකාරයට කරුණු ඉදිරිපත් කොට ඉන් පසුව එක් වැකියකින්  එහි නිශ්චිත හැඩය විග්‍රහ කොට ඇත. ලොව අවසන් වීමෙන් පසු දෙවිඳුන් විසින් පවත්වනු ලබන විනිශ්චය දිනයේ  දී පෘථිවිය කුමක් බවට  පත්වන්නේ ද යන්න පහත වැකියෙන් පැහැදිලි කොට ඇත.
“පොළොව සමතලා තත්ත්වයට පත් කළ කල්හි“  (අල් කුර්ආනය 84 : 3)
පොළොව දැනට සමතලා තත්ත්වයේ තිබේ නම් විනිශ්චය දිනයේ දී නැවත එම තත්ත්වයට පත් කිරිමේ අවශ්‍යතාවක් පැන ‍නොනගි. මෙම වැකියෙන් ඉතා පැහැදිලි ව දක්වා ඇත්තේ දැනට පෘථිවිය පැතලි එකක් නොවන බවය.
“ඔහු (අල්ලාහ්) අහස් ද පොළොව ද සත්‍ය ප්‍රමාණයෙන් නිර්මාණය කළේය. ඔහු දවාල රැයෙහි ඇතුළු කරන්නේය. රැය දවාලෙහි ඇතුළු කරන්නේය”. (අල් කුර්ආන් 39 :5)
දවාල රැයෙහිද රැය දවාලෙහිද ඇතුළු කරන්නේය යන්න පියවරෙන් පියවර සෙමින් සිදු වන ක්‍රියාවලියකි. පැතලි සමතලා පොළොවක එය එසේ සිදුවිය නොහැක. මෙයිනුත් අපට පැහැදිලි කර දී ඇත්තේ පොළොව සමතලා එකක් නොවන බවය. මේ සියල්ලටම වඩා වැදගත් ඉතා නිශ්චිත හා විද්‍යානුකුල ලෙස  පොළොවේ හැඩය පැහැදිලි කරන වැකිය දෙස අපගේ අවධානය යොමු  කරමු.
“ඉන්පසු ඔහු (අල්ලාහ්) භුමිය ව්‍යාප්ත කළේය”. (අල් කුර්ආන් 79 : 30)
ව්‍යාප්ත කළේය යන වචනය සදහා උපයෝගි කොට ඇති ආරාබි වචනය වන්නේ “දහාහා” ය. මහාචාර්ය මොහමඩ් මොහර් අලි තම ‘The Quran and the Orientalist’ යන ග්‍රන්ථයේ විග්‍රහයක් කරමින් ‘දහාහා’ යන අරාබි වචනයට ව්‍යාප්ත කළේය, දිග හැරියේය, පැතිරෙව්වේය, යනාදි අර්ථ ඇති අතර එහි වඩාත්ම නිවැරදි අර්ථය වන්නේ ‘බිත්තරයක හැඩය’ යන්නය. මෙම වචනයේ නාම පදය වු ‘දහියාහ්’ යන්නෙහි අර්ථය බිත්තරය වේ. මෙහි වඩාත් සුවිශේෂිතාව නම් ‘දහියාහ්’ යන්න යොදන්නේ ‘පැස්බරාගේ බිත්තරයට’ වීමය. පෘථිවිය කිකිළි බිත්තරයක හැඩයකින් නොමැත. විද්‍යානුකුල භුගෝලිය හැඩය වන්නේ නිරක්ෂය ප්‍රදේශයෙන් මදක් නෙරා ගොස් උත්තර හා දක්ෂිණ ධ්‍රැවයන්හි පැතලි ස්වභාවයක් තිබිමය. පැස්බරාගේ බිත්තරයේ නිශ්චිත ස්වභාවය මේ ආකාරයේ එකකි. මෙයින් පැහැදිලි වන්නේ නුතන විද්‍යාව මිහිතලයේ හැඩය නිවැරදි ව සොයා ගන්නට ශත වර්ෂ   ගණකට පෙරම එහි නිර්මාතෘ විසින් ඉතා නිවැරදි ආකාරයෙන් අපට අල් කුර්ආනය මගින් දන්වා තිබිම නොවේ ද? එසේ නම් අල් කුර්ආනයේ අඩංගු අනෙකුත් සත්‍යයන් අපි කෙසේ නම් ප්‍රතික්ෂේප කරන්නෙමු ද?  
මිහිතලය පිළිබඳ විද්‍යාත්මක තොරතුරු
අප ඉහතින් සඳහන් කළ පරිදි මෙයට පෙර කිසිවෙකු නොදැන සිටි හා මෙයට පෙර කිසිවෙකු නොදුටු යන්ත්‍රයක ක්‍රියාකාරිත්වය හා එහි ව්‍යුහය දන්නේ නියත වශයෙන් ම එහි නිෂ්පාදකයා හෝ නිර්මාතෘ බව පිළිගත් පදනම මත පිහිටා විශ්ව නිර්මාණයේ විස්තර  ඉතාමත්ම නිරවද්‍යතාවකින් හා විද්‍යාත්මක පදනමකින්  යුක්ත ව මෙයට අවුරුදු 1400 කට පෙර යමෙක් පවසන්නේ නම් ඔහු නිසැකවම එහි නිර්මාතෘ බවට පිළිගැනිමට අපට කිසිදු අපහසුවක් හෝ බාධාවක් තිබිය නොහැක යන මතය ඉදිරිපත් කළෙමු. එලෙසම විශ්වය පිළිබඳ ව පමණක් නොව අප පය ගසා ජීවත් වන මිහිතලය ගැන ද බොහෝ ආගමික මුලාශ්‍ර එම මුලාශ්‍ර බිහි වූ යුගයේ ප්‍රචලිත ව පැවති අවිද්‍යාත්මක තොරතුරු සත්‍යයන් ලෙස සලකා අන්තර්ගත කොට තිබීමෙන් එම මුලාශ්‍රයන්ගේ වලංගුභාවයට ඉමහත් හාණියක් සිදු කොට ඇත. මේ පිළිබඳ බොහෝ තොරතුරු අප වෙත ඇතත් ආගමික සංවේදීතාවන් සැලකිල්ලට ගෙන ඒවා මෙහි ඇතුළත් නොකරන්නට තීරණය කළෙමු.
අල් කුර්ආනය මේ පිළිබඳ ව ඉදිරිපත් කරන තොරතුරු වලින් බිඳක් ඔබගේ බුද්ධිමය විචාරයට ඉදිරිපත් කරන්නට අදහස් කළේ සත්‍යය හා අසත්‍යය හඳුනා ගැනීම පහසු කිරීමේ අවංක චේතනාවෙනි.  
“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් ය. සැබැවින් ම නුඹ (ඒ පිළිබඳ ව) සැක කරන්නන් අතුරින් අයෙකු නොවවූ”. (අල් කුර්ආන්  2 : 147)
“අල් කුර්ආනය ඔවුන් (විශ්වාස නොකරන්නන්) පරිශීලනය නොකරනුයේ මන්ද? එය අල්ලාහ්ගෙන් නොවී වෙන කෙනෙකුගෙන් වූයේ නම් එහි නුඹලා බොහෝ පරස්පරයන් (හා වැරදි) දකිනු ඇත”. (අල් කුර්ආන්  4 : 82)
අල් කුර්ආනය යනු දෙවිඳුන් විසින් මනුෂ්‍යය වර්ගයාට නිවැරදි මඟ පෙන්වීම උදෙසා පහළ කරන ලද අවසන් දිව්‍යමය මාර්ගොපදේශයයි. මිනිසා මිහිතලය මත තම ජීවිතය ආරම්භ කළ පළමු දිනයේ සිට වරින් වර මිනිසුන්ගෙන් තෝරා ගනු ලැබූ ශ්‍රේෂ්ඨ මිනිසෙකුට දෙවිඳුන් විසින් නිවැරදි මාර්ගෝපදේශයන් පහළ කොට මිනිස් වර්ගයා ව යහ මගට ආරාධනා කිරීම ඉතිහාසය තුළින් අප දක්නා සත්‍යයකි. අල් කුර්ආනය පහළ කරනු ලැබුවේ දැනට වර්ෂ 1450 කට පමණ පෙර මක්කාහ් නගරයේ ජීවත් වූ කිසිදු සම්මත අධ්‍යාපනයක් නොලැබූ අනාථ දරුවෙකු ලෙස මෙලොව එළිය දුටු මුහම්මද් තුමාණන්ගේ හතළිස් වන වියේ සිට එතුමාණන් මෙලොවින් සමු ගත් හැට තුන් විය දක්වා වූ අවුරුදු විසි තුනක කාල පරාසයක් තුළය.
“(නබිවරය) මෙය (අල් කුර්ආනය) ට පෙර නුඹ කිසිදු පුස්තකයක් කියවා නොමැත. තවද නුඹ නුඹගේ දකුණතින් එය ලියා (පුරුද්දක්) ඇති අයෙකුදු නොවන්නේය. එසේ වුයේ නම් මෙම අසත්‍යවන්තයින් (මෙය) ඔබ විසින් මනඃකල්පිත කරගත්තේ යැයි මිස අල්ලාහ් විසින් පහළ කළේ නැතැයි සැක සිතන්නට  ඉඩ තිබිණි”. (අල් කුර්ආන් 29 : 48)
අවසන් දිව්‍යමය මාර්ගෝපදේශනය මනුෂ්‍යය වර්ගයාට ලබා දීම පිණිස මුහම්මද් තුමාණන් ව (අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය එතුමා කෙරෙහි ඇති වේවා) දෙවිඳුන් විසින් තෝරා ගැනීම හේතුවෙන් එතුමාණන් අවසන් ධර්ම දුතයාණන් බවට පත් විය. “නබි” හා “රසුල්” යන අරාබි වචනයන්ගෙන් අවධාරණය කරනු ලබන්නේ ද “ධර්ම දූතයාණන්” යන අර්ථයයි. මෙය අල් කුර්ආනය පිළිබඳ ඉතාමත්ම සංක්ෂිප්ත හැඳින්වීමකි.    
මහ පොළොව හා කඳු
ලොව බොහෝ විශ්ව විද්‍යාල වල භූ විද්‍යාව හදාරණ සිසුන් භාවිත කරන පෙළපොතක් වන ‘පෘථිවිය’ (The Earth) ග්‍රන්ථයේ එක් කර්තෘවරයෙකු  වු මහාචාර්ය ෆ්‍රෑන්ක් ප්‍රෙස් (Frank Press) හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්ගේ විද්‍යා උපදේශකයා ව සිටි අතර ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ (National Science Academy of U.S.A.) සභාපති ලෙස අවුරුදු 12 ක් කටයුතු කළ අයෙකි. මෙම ‘පෘථිවීය’ නම් ග්‍රන්ථයේ 435 වන පිටුවේ  සඳහන් වන්නේ  විශාල කඳු වැටි  වලට පොළොව අභ්‍යන්තරයට  දිව යන මුල් ඇති බවය. මෙම මුල් ඉතා තදින් පොළොව හා බද්ධ වී ඇති අතර එය කුඤ්ඤයක් (peg) ලෙස කටයුතු කරමින් පොළොවෙහි ස්ථායිභාවයට උපකාරි වන බවයි. ටර්බක් (Tarbuck) හා ලුට්ජෙන්ස් (Lutgens) විසින් ලියන ලද ‘භූ විද්‍යාව’ (Earth Science) නැමැති ග්‍රන්ථයේද 157 පිටුවෙහි මෙවැනිම අදහසක් මහා කඳු සම්බන්ධ ව සදහන් කොට ඇත. පෘථිවි තැටි (Plate Tectonics) භු විද්‍යාඥයින් විසින් පෘථිවිය සම්බන්ධ ව සොයා ගත් ඉතා නුතනම සොයා ගැනීමයි. මෙම තැටි ස්ථායි තත්ත්වයේ තබා ගැනිමටත් කඳු උපකාරි වන බව විද්‍යාඥයින්ගේ මතය වේ.
“ඔබ හා පොළොව කම්පා නොවන පරිදි විශාල කඳු ද පිහිටෙව්වේය” (අල් කුර්ආනය 16 :15)
“අප පොළොව ඇතිරිල්ලක් ලෙස ද කඳු කුඤ්ඤයක් ලෙස ද (නොකළෙම් ද?) (අල්කුර්ආන් 78 : 6 -7)
විශ්වයේ කොටසක් වූ අප පය ගසා ජීවත් වන පෘථිවියේ සැකසුම පිළිබඳ ව ඇති ඉතාම නූතන විද්‍යාත්මක සොයා ගැනීම් වර්ෂ 1450 ක් පමණ පැරණි අල් කුර්ආනයේ අංශු මාත්‍රයක පරස්පරතාවකින් තොරව සඳහන් වී තිබේ නම් අල් කුර්ආනයේ කර්තෘවරයා හා විශ්වයේ නිර්මාතෘවරයා එක් අයෙකු බව පිළිගැනීමට කා හට නම් අපහසුතාවක් තිබිය හැකි ද?
නැවතත් සඳහන් කළ යුතුව ඇත්තේ මෙතරම් සූක්ෂම අයුරින් මහත් පරිශ්‍රමයක් හා නවීනතම විද්‍යාත්මක ක්‍රම උපයෝගී කර ගනිමින් සොයා ගනු ලබන නව්‍ය සොයාගැනීම් ශත වර්ෂ ගණනාවකට පෙර පාරිශුද්ධ අල් කුර්ආනය ඝට්ටනයකින් තොරව සුමට සරල ලෙස පවසා සිටීම තුළින් විශ්වයේ නිර්මාතෘ හා සත්‍යය එකම දෙවිඳුන් අල්ලාහ් බවත් සර්වඥානී අල්ලාහ් විසින් මිනිස් වර්ගයාට නිවැරදි දිවි පෙවෙත පෙන්වා දීම තකා තෝරා පත් කර ගනු ලැබූ මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් බවත් ලෝ වැසි සැමට සුරම්‍ය නිවැරදි සුමග පවසා සිටින හා පෙන්වා දෙන පාරිශුද්ධ අල් කුර්ආනය අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බවත් එය මිනිසෙකුගේ නිර්මාණයක් නොවන බවත් සක්සුදක් සේ මොනවට පැහැදිලි වෙයි.
මහා සාගරයේ අන්ධකාරය
සාගරය පිළිබඳ ව කුර්ආනය පවසන කරුණු කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු. මුහුදු පත්ලේ මීටර් 200 ක් පමණ ගැඹුරට ගිය විට අන්ධකාරය ආරම්භ වි මීටර් 1000 ක් ගිය විට එහි සම්පුර්ණයෙන්ම අඳුර පවතින තත්ත්වයක් දැකිය හැක. මේ බව Elder සහ  Pernetta විසින් ලියන ලද ‘The Oceans’ නම් ග්‍රන්ථයේ 27 වන පිටුවේ සඳහන් වේ. මිනිසාට කිමිදුම් උපකරණයන් හි ආධාරය නොමැති ව මීටර් 40 කට වඩා කිමිදිය නොහැකිය. විද්‍යාඥයින් ඉතා මෑතකදි සබ්මැරින් හා අධිතාක්ෂණ උපකරණයන්හි ආධාරයෙන් ගැඹුරු සාගරයේ මෙම අන්ධකාරය සොයා ගත් අතර එයට අමතර ව ගැඹුරු සයුරේ අභ්‍යන්තර ජල රළ ඇති බව ද සොයා ගන්නා ලදි. මේවා සියල්ල නුතන විද්‍යාත්මක සොයා ගැනිම්ය. මේ සම්බන්ධ ව අල් කුර්ආනය පවසන කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.
“(ප්‍රතික්ෂේප කරන්නන්ගේ තත්ත්වය) ගැඹුරු මුහුදේ අන්ධකාරය බඳුය. එය රළෙන් වැසි ඇත. ඒ මත රළකි. ඒ මත වලාකුළුය. එකක්  මත එකක් වන සේ අන්ධකාරයය. යමෙක් ඔහුගේ හස්තය දික් කරන්නේ ද ඔහු එය නොදකින්නේය. අල්ලාහ් යමෙකුට ආලෝකය නොදෙන්නේ ද ඔහුට ආලෝකයක්  නොමැත”. (අල්කුර්ආන් 20 : 40)
අල් කුර්ආනය මිනිසාගේ පියවි ඇසින් නිරීක්ෂණය කොට නිගමනය කර ගැනීමට නොහැකි ආකාරයේ ඉතා සුවිශේෂී තොරතුරු පෘථිවිය අභ්‍යන්තරය හා සාගර පත්ල පිළිබඳ ඉතාම නිවැරදි හා නුතන විද්‍යාත්මක තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් කරුණාකර ඔබට එළඹිය හැකි නිගමනය කුමක් ද යන්න කරුණාකර සිතා බලන්න.
මෙම වැකියේ විද්‍යාත්මක ප්‍රාතිහාර්යයට වඩා වැදගත් වන්නේ මිනිස් ජීවිතයේ ආලෝකය අත්පත් කර ගැනීම පිණිස අප විසින් කළ යුතුව ඇති කාර්යයන් පිළිබඳ සිතා බැලීම නොවේ ද?
‘සත්‍යය’
අල් කුර්ආනයට පසුව විශ්වයේ අධිපති මහා කාරුණික දෙවිඳුන්ගෙන් මනුෂ්‍ය වර්ගයාට මඟ පෙන්විම සදහා තවත් දහමක් හෝ පණිවිඩයක් පහළ නොවන බව අල් කුර්ආන් වැකි මගින්  දෙවිඳුන් ම සහතික වී ඇත. එසේ නම් අල් කුර්ආනය මිහිතලයේ හා විශ්වයේ අවසානය දක්වා මනුෂ්‍ය වර්ගයාට මඟ පෙන්වන ග්‍රන්ථයක් විය යුතු අතර එය මෙසේ විමට නම් අනිවාර්යයෙන්ම කරුණු දෙකක් සත්‍යය විය යුතුය. පළමුවැන්න නම් එහි අඩංගු උපදෙස් මඟ පෙන්වීම් හා ඉන් පෙන්වනු ලබන ජීවන රටාව කාලයාගේ ඇවෑමෙන්  යල්පැනගිය එකක් බවට පත් නොවිය යුතුය. දෙවැනි සාධකය නම් මෙම පණිවිඩය පහළ කළ භාෂාව සදා ජීවමාන භාෂාවක් ව පැවතිය යුතුය.
අප බෙහෙතක් මිල දී ගන්නා විට එය කුමන රෝගය සඳහා උචිත ද පාවිච්චි කළ යුතු ක්‍රමය, එහි මුලික ඖෂධ සුත්‍රය කුමක් ද, එහි අයහපත් ඵල කුමක් ද යනාදී විස්තර  අඩංගු පත්‍රිකාවක් එම ඖෂධයේ නිෂ්පාදකයා විසින් සපයන බව අපි දනිමු. එය අපට එම ඖෂධය පිළිබඳ ව මඟ පෙන්වීමක් ලබා දෙයි. භාණ්ඩයක් මිල දී ගන්නා විට  එය ප්‍රයෝජනයට ගත යුතු ආකාරය, ඒ සම්බන්ධ ව නොකළ යුතු දෑ ආදී විස්තර අඩංගු අත්පොතක් හෝ ‘කැටලොගයක්’ සපයනු ලැබේ. එහි අඩංගු විස්තර අපට එම භාණ්ඩය නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීමට මඟ පෙන්වයි. එහෙත් මිනිසා තමා කවුද, පැමිණියේ කුමක් සඳහා ද යනාදී ප්‍රශ්නයන්ට පැහැදිලි පිළිතුරු නොදැන මෙලොව පහළ වු මිනිසාට පිළිතුරු සපයන අත්පොතක් හෝ මඟ පෙන්විමක් ඔහු සමග පැමිණියේ නැත. මේ හේතුවෙන් ජීවිතයේ අත්‍යවශ්‍ය යථාර්ථය නොදන්නා මිනිසා තමා ගැන, මිහිතලය හා අහස ගැන විවිධ මත ඇති කර ගනියි. තමා ගැන බලන කළ මවිත කරවන බුද්ධියක් හා ශාරීරික ශක්තියක් ඔහු දකී. එහෙත් තම උපත ගැන කිසිදු තීරණයකට ඔහු සම්බන්ධ වුයේ නැත. බාහිර ලොව දෙස බල‍න මිනිසා විස්තර කළ නොහැකි තරම් විශාල විශ්වය සහ අසීමිත සම්පත් එහි දකී. මේවා මොනවාද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු කිසිවක් ඔහු නොදනී. ඔහුට දෑස් තිබෙන නමුත් සියලු දැයෙහි බාහිර පැත්ත පමණක් ඔහුට පෙනේ. ඔහුට බුද්ධිය තිබෙන නමුත් මිනිසාගේ බුද්ධිය ඔහු ගැන දන්නේ ඉතා අල්පයකි. එමෙන්ම මනසේ ස්වභාවය හෝ එය ක්‍රියා කරන්නේ කෙසේ දැ’යි මිනිසා නොදනී. මෙවන් නොසෑහෙන ඉන්ද්‍රීය  ශක්තිය ඇති මිනිසා තමා ගැන නිවැරදි නිගමනයකට  බසින්නට හෝ විශ්වය ගැන අවබෝධ කර ගන්නට තම ස්වයං බුද්ධිය පමණක් පදනම් කරමින් තීන්දු තීරණ ගත්ත ද එය සාර්ථක නොවේ. මන්ද මිනිසාට තාර්කික ලෙස සිතාමතා නිවැරදි තීරණයන්ට එළඹීම සඳහා කිසියම් දිව්‍යමය අනුග්‍රහයක් තිබිය යුතුමය.
මෙයට පෙර සාගරයේ ගැඹුර පිළිබඳ සඳහන් අල් කුර්ආන් වැකියේ ද සඳහන් වන්නේ මෙම අදහසමය. දෑස් තිබූ පමණින් ම අපට දැකීමේ අවස්ථාව උදා නොවේ. දැකීමට නම් ආලෝකයත් තිබිය යුතුය. එම අල් කුර්ආන් වැකියේ සඳහන් වන්නේ දිව්‍යමය ආලෝකය පිළිබඳව ය.
මිනිසා මුහුණ දෙන මෙම ප්‍රහේලිකා සියල්ල අල්ලාහ්ගේ ග්‍රන්ථය විද්‍යාත්මක පදනමකින් යථාර්ථයට එකඟ විය හැකි අයුරින් විචාර බුද්ධියට අනුකුලව හා තර්කයට ගෝචර වන අයුරින් පහදා දෙයි. ජීවිතයේ සියලු යථාර්ථයන් ගැන පැහැදිලි දැනුම සැපයිය හැකි එකම ග්‍රන්ථය අල් කුර්ආනය පමණක් බව සැකයෙන් තොරව පැවසිය හැක. අල් කුර්ආනයේ මඟ පෙන්වීමකින් තොරව මිනිසාගේ මුලික යථාර්ථය හා විශ්වය තේරුම් ගන්නට උත්සාහ කළ අය අලියාගේ සිරුරේ විවිධ අවයවයන් ස්පර්ශ කරමින් අලියාගේ ස්වභාවය ගැන විග්‍රහ කරන්නට උත්සාහ කළ අන්ධ පිරිස හා සමානය. විශ්වය හා එහි අඩංගු සියලු දෑ නිර්මාණය කොට පාලනය කරන්නා වු පරම අධිපතිගේ මඟ පෙන්වීමෙන් තොරව කටයුතු කරන චින්තකයින්ගේ  හා දර්ශනවාදින්ගේ ස්වභාවය ද මෙවැනි වේ.
‘සත්‍යය’ ස්ව උත්සාහයෙන් සොයන්නට තම  මුළු ජීවිත කාලයම කැප කළ අය කිහිපදෙනෙක්  සිටි අතර  ‍තම වෑයම අසාර්ථක වු බව දැක ඇතැමුන් තම ජිවිතය පවා අවසන් කරගන්නා තත්ත්වයකට පත් වුහ. තවත් පිරිසක් සත්‍යය සොයන්නට නොහැකි ව  අනුමානය හා කල්පිතයන්  මත පමණක් පදනම් වු චින්තන මිශ්‍රණයක් ලොවට ඉදිරිපත් කළහ. එක් පිරිසක් වැරදි අනුමානයන් මත පදනම් වී ලොවට තම නිගමනයන් ඉදිරිපත් කළ අතර තවත් පිරිසක් තම අසරණභාවය දරා ගත නොහැකි ව මෙම ගුප්ත ලෝකය හැර දමා ගියහ. මෙම දෙපිරිසට යථාර්ථය සොයා ගත නොහැකි වුයේ ජිවිතයේ සියලු රහසෙහි උල්පතේ හිමිකරුගේ මඟ පෙන්වීම හා සහය නොමැති ව එහි අප්‍රකාශිත  කොටස දැනගන්නට උත්සාහ කිරිම නිසාය. මිනිසාට සිතීමට හා අවබෝධ කර ගැනීමට හැකියාව තිබෙන බව සැබෑ වුවත් දෑස් තිබු නිසාම දැකීමේ හැකියාව නොමැති බව අප අවබෝධ කර ගත යුතු වෙයි. දැකීමේ හැකියාව ලැබෙන්නේ අන්ධකාරය දුරලන බාහිර අලෝකය ලැබුනහොත් පමණක් වන තත්ත්වය හා සමාන තත්ත්වයකි. ආලෝකය ඇති විට දැකීමේ හැකියාව ඇසට ලැබේ. විශ්වයේ නිර්මාතෘගේ  මග පෙන්වීමෙන් තොරව මිනිසාට තම බුද්ධිය පමණක් උපයෝගි කර ගෙන ජිවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට නොහැකි අතර එය පෙනීම ඇති දෑසට ආලෝකය නොමැති ව අන්ධකාරයේ සිට ගෙන සියල්ල දැක ගැනිමට දරන්නා වු ප්‍රයන්තයක් හා සමානය.
එහෙයින් මිනිසාට මිහිතලය මත වූ තම කෙටි ජිවිතය සාර්ථක ව හා අර්ථවත් ලෙසින් වත්මන් හා අනාගත යන කුමන යුගයක වුවත් සකස් කර ගන්නට අල් කුර්ආනයේ මඟ පෙන්වීම යල්පැන ගිය එකක් බවට පත්නොවී සදාජීවමාන සහ සදා අර්ථවත් එකක් බවට අනිවාර්යයෙන් ම සකස් වි ඇත. දැනට අවුරුදු 1400ට පෙර පහළ වු මෙම ඉගැන්වීම් හා මඟපෙන්වීම් වලින් එකකුදු නුතනයට නුසුදුසු හෝ  ඔබින්නේ නැති එකක් බවට පත් වි ඇත් දැ’යි අපි ඔබෙන් ඉතා කාරුණික ව විමසන්නට කැමැත්තෙමු. එහි අඩංගු ඇතැම් කරුණු ඔබගේ පාරම්පරික සම්මතයන්ට පටහැණි බව එහි පෘෂ්ඨය පමණක් දකින්නෙකුට හැඟෙන්නට ඉඩ තිබේ. ඉස්ලාමය එක් ප්‍රදේශයකට හෝ නිශ්චිත ජන කොට්ඨාසයකට පමණක් සිමා වු එකක් නොවේ. එය විශ්ව දහමකි. එහි නිතිරීති හා මඟ පෙන්වීම් මිහිතලය මත සියලු ජනයාට එකඟ විය හැකි හා සුදුසු එකක් ලෙසින් සකස් වි තිබිය යුතුය. එහෙයින් ඔබගේ සීමිත කෝණයෙන් නිරික්ෂණය කරන විට එහි ඔබගේ සම්මත චින්තනයට පටහැණි කරුණු තිබෙන බව හැඟෙන්නට ඉඩ තිබේ. නමුත් ඉස්ලාමීය ඉගැන්වීම් හි හරය නිවැරදි ව විද්‍යානුකුල ව හා ගැඹුරින්  විමසා බලන්නෙකුට එහි සියලු ඉගැන්වීම් හි නිශ්චිත සදා වලංගුභාවය මෙන්ම හරවත් භාවය අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත.
විශ්වය පිළිබඳවත් විශේෂයෙන්ම හිරු සඳු පෘථිවිය ආදිය ගැන අල් කුර්ආනයේ සඳහන් මිනිසා මවිතයෙනුත් මවිතයට පත් කරවන විද්‍යාත්මක තොරතුරු රාශියක් තවත් ඉදිරිපත් කළ හැක. මෙම ලිපිය එමගින් දීර්ඝ නොකොට ඉහතින් ඉදිරිපත් කොට ඇති සාධක අවංක ලෙසම සත්‍යය ගවේෂණයක යෙදෙන්නෙකුට පරම සත්‍යය කුමක් ද යන්න වටහා ගැනීමට හොඳටම ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.
අල් කුර්ආනයේ භාෂාව
අල් කුර්ආනය සදා වලංගු පණිවිඩයක් වීමට අත්‍යවශ්‍ය දෙවන කරුණ වන්නේ එය පහළ කරනු ලැබු භාෂාව සදා ජීවමාන එකක් විය යුතුය යන්නය. එය පහළ කරනු ලැබු භාෂාව ක්‍රමයෙන් ජනවහරින් ඉවත් වෙමින් හෝ ඉවත් වුවක් ලෙස හෝ ඇති නම් එම පණිවිඩය ජනයාට සදා ප්‍රයෝජනවත් ලෙසින් අවබෝධ කර ගෙන එමගින් තම ජිවිතය සකස් කර ගැනිමට හැකි එකක් බවට පත් නොවනු ඇත. අල් කුර්ආනය පහළ කරනු ලැබූ භාෂාව පමණක් විචාරාත්මක විමසුමක යෙදෙන්නෙකුට එහි ඇති ප්‍රාතිහාර්යජනක ස්වභාවය අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත. අල් කුර්ආනය හැර පැරණි දහම් බිහි වු භාෂා සියල්ලම පාහේ මිනිස් භාවිතයෙන් ඉවත් විමෙන් අනතුරුව ඓතිහාසික ලේඛනාගාරයන්ට පමණක් නුතනයේදී සිමා වි ඇත. හීබෲ, ඇරමයික්, ලතින්, කොයිනි ග්‍රීක්  (බයිබලයේ  නව ගිවිසුමේ මුල් පිටපත් ලියා ඇති භාෂාව) මෙන්ම මගධ, පාලි හා සංස්කෘත භාෂාවන් දැනට මිනිස් භාවිතයෙන් ඉවත් වි මිය ගිය භාෂාවන්ගේ ගණයට වැටී ඇත.
මේ සම්බන්ධ ව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සදහා එක් උදාහරණයක් පමණක් සලකා බැලීම ප්‍රමාණවත් යැයි සිතන්නෙමු. ජේසු තුමා (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ සාමය අත් වේවා) කථා කළ භාෂාව ඇරමයික් වුවත් බයිබලයේ නව ගිවිසුමේ මුල් පිටපත් තිබෙන්නේ එම භාෂාවෙන් නොව ග්‍රීක බසින්ය. එනම් අද තිබෙන කිතුනු මුලාශ්‍රයන්  ග්‍රීක බසින්  කළ සටහන් පමණක් වන අතර එම ග්‍රීක බස ද නුතන ග්‍රීක  බසට හාත් පසින්ම වෙනස් වු එකක් ද වෙයි. මෙම භාෂාව හැඳින්වුයේ කොයිනි ග්‍රීක භාෂාව වශයෙනි. මෙම භාෂාව මිනිස් භාවිතයෙන් ඉවත් වු එකක් ව තිබු හෙයින්  බයිබලයේ නව ගිවිසුමෙහි වචන 550 කට පමණ එනම් සම්පුර්ණ ග්‍රන්ථයේ 12% පමණ අර්ථය කිසි‍වෙක් දැන නොසිටියේය. ඇඩෝල්ෆ් ඩෙයිස්මන් නම් ජර්මන් ජාතික විශේෂඥයෙක් ඊජිප්තුවේ පැරණි සෙල්ලිපි කිහිපයක් සොයා ගත්තේය. බයිබලයේ මුලාශ්‍රයන් ලියා ඇති බස උසස් සාහිත්‍යමය ග්‍රීක භාෂාව නොව කථා ව්‍යවහාරයට භාවිත කරන එකක් පමණක් යැ’යි එම සෙල්ලිපි වලින් හෙළිදරව් වුණි. සැබැවින්ම මෙම බස පළමු වන සියවසේ පලස්තීනයේ  භාවිත කරන ලද බව ද  සොයා ගන්නා ලදී. තේරුම් නොදන්නා වචන රාශියකට අර්ථ යොදන්නට ඩෙයිස්මන්ට හැකි වු නමුත් අර්ථය නොදන්නා  වචන 50 ක් පමණ එහි තවමත් ඉතිරි ව ඇත. මෙම විස්තර උපුටා ගනු ලැබුවේ ‘The Gospels and the Jesus of history’ by Xavier Leon Dufour’ යන ග්‍රන්ථයෙනි.
බයිබලයේ නව ගිවිසුමේ වචන 50 ක පමණ අර්ථය එහි ග්‍රික මුලාශ්‍රයන්ගෙන් අවබෝධ කර ගැනිමට අදටත් නොහැකි ව තිබේ නම් බයිබලයේ පරිපුර්ණ පණිවිඩය ජනයාට ලබා ගැනිමට හැකි වී තිබේ ද යන්න ගැන ඔබටම නිගමනය කර ගැනීමට හැකි වනු ඇතැයි සිතන්නෙමු. තම මුලාශ්‍රයන් ලියු භාෂාව මිය ගිය භාෂාවක් බවට පත් වුවායින් පසුව විවිධ අනුමාන කිරීම් හා අර්ථ නිරුපණයන් පදනම් කර ගෙන නුතන භාෂාවන්ට පරිවර්ථනය කරන ලද්දක් බවට බයිබලය තිබේ නම් එය කෙරෙහි පරිපුර්ණ විශ්වාසයකින් යුක්ත ව කටයුතු  කිරීමට කෙසේ නම් හැකිවන්නේ ද යන්න අප විසින් සිතා බැලිය යුතු නොවන්නේ ද?
මැද පෙරදිග ප්‍රදේශයේ ජනයා භාවිත කරන භාෂා හදුන්වන්නේ  සෙමටික් භාෂාවන්  යනුවෙනි. මෙම භාෂාවන් පිළිබද ව දිර්ඝ පර්යේෂණයක  යෙදුණු අර්නස්ට් රෙනාන් (1823-1894) නම් ප්‍රංශ විද්වතා  තම සොයා ගැනීම් පිළිබද ව පළ කළ ග්‍රන්ථයේ අරාබි භාෂාව පිළිබඳ ව මෙසේ පවසයි. “අරාබි භාෂාව මානව ඉතිහාසයේ සිදු වු ඉතාමත් විස්මයජනක සිද්ධියකි. පෞරාණික යුගයේ එතරම් ප්‍රසිද්ධියක් නොතිබු මෙම භාෂාව ඉතා කෙටි කලක්  තුළ අංග  සම්පුර්ණ භාෂාවක් බවට පත් වුණි. ඉන් අනතුරුව දැනෙන ආකාරයේ වෙනස්වීම් කිසිවක් එයට සිදු නොවු අතර එම භාෂාවට ආරම්භක හා පසු අවධිය යැයි වෙන් කර දැක්විය හැකි ස්වභාවයක් නොමැත. ආරම්භක අවධියේ තිබු අයුරින් ම නුතනයේදිත් එම භාෂාව දැනෙන ආකාරයේ වෙනස් විමකට භාජනය නොවී ම  පවතී”.
ඉහත මතය අරාබි භාෂාවට පමණක් ම සුවිශේෂි වු තත්ත්වයකි. අරාබි භාෂාවෙන් පහළ වු අල් කුර්ආනය අවසන් දේව පණිවිඩය වන අතර ලොව අවසන් වන දිනය දක්වා එය ජනයාට කියවා තේරුම් ගැනිමට හැකි ආකාරයට සෑම අයුරකින්ම සකස් වී තිබිය යුතුය. එය ඕනෑම යුගයක කියවා තේරුම් ගැනිමේ ක්‍රියාවලි‍යේ  ප්‍රධානතම සාධකය වන්නේ භාෂාවයි. එහි භාෂාව ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින්නට හෝ ක්‍රමයෙන් මිනිස් භාවිතයෙන් ඉවත් වි මිය ගිය භාෂාවක් බවට පත් වෙමින් තිබෙන්නක් නම් අල් කුර්ආනයේ මුලික හා ප්‍රධානතම පරමාර්ථය පරාජයට පත් වෙයි. එය වෙනස් වීමට භාජනය විමේ  ස්වභාවයෙන් සුරක්ෂිත කිරිමේ දේව මුද්‍රාව එම භාෂාවට ලැබි ඇති බව ඉහත විස්තරයෙන් දැක්වෙන ප්‍රධාන සාධකයයි. භාෂා පිළිබද විද්වතුන්ගේ මතය වන්නේ  ලොව කිසිදු භාෂාවක් එලෙසම අවුරුදු 500 කට වඩා නොපවතින බවය. විලියම් ශේක්ෂිපියර් (1564 - 1616) ‍ශ්‍රේෂ්ඨ ඉංග්‍රිසි සාහිත්‍යධරයෙකි. නමුත් ඔහුගේ මුල් කෘතින් කියවා අවබෝධ කර ගැනිමට එම යුගයේ ඉංග්‍රීසි නුතනයේ භාවිත වන ඉංග්‍රිසි වලට අර්ථ සපයන ශබ්දකෝෂකින්  තොරව කළ හැක්කක් නොවේ. ඉංග්‍රීසි කාව්‍යකරණයේ පියා ලෙස හැදින්වෙන වික්ටර් චෝසර් (Victor Chaucer 1342 - 1400) සම්බන්ධයෙන් පවසන්නට ඇත්තේ ද එම අදහසමය. අරාබි ලෝකයේ විවිධ සමාජයිය  හා  දේශපාලන කැලඹිම් හා වෙනස් කම් සිදු වු නමුත් අල් කුර්ආනය පහළ කරන ලද කාලයේ  තිබු අයුරින් ම අරාබි භාෂාව අදටත් පවති. මුහම්මද් තුමාට (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා)  අල් කුර්ආනය පහළ වුයේ අසාමාන්‍ය උල්පතකින් බව මෙය අනිවාර්යෙන් ම තහවුරු කරයි. ගත වු වසර 1400 ක ඉතිහාසය දෙස බලන ඕනෑම අයෙකුට අල් කුර්ආනයේ ආශ්චර්යමත් ස්වභාවය හඳුනා ගත හැකි වේ. අරාබි භාෂාවේ උත්තරීතර වූ සාහිත්‍යයට හිමිකම් කීමට හා එහි අති අලංකාර භාෂා හැසිරවිමක් මෙම අද්විතිය හා අසමසම ග්‍රන්ථයට හිමි වි ඇත. මෙලෙස අල් කුර්ආනයේ භාෂාව සදා ජිවමාන එකක් වි තිබිම ම එහි අසාමාන්‍යකම හා ප්‍රතිහාර්ය ස්වභාවය විදහා දක්වන්නකි.
ඉහත තොරතුරු පිළිබඳ ව පූර්ව නිගමනයන්, පාරම්පරික විශ්වාසයන්, විචාරයෙන් තොරවූ පක්ෂපාතිත්වය ආදියෙන් මිදී විවෘත මනසකින් යුක්තව බුද්ධිමය විචාරයක යෙදෙන ලෙස නැවත වරක් ඉතා කාරුණික ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.
මීළඟ ලිපියෙන් නමුත් මිනිසාගේ සම්භවය පිළිබඳවත් බුද්ධිමය තොරතුරු කිහිපයක් ඔබගේ විචාරය සඳහා ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.
තව පැමිණේ
1. මිනිසාගේ සම්භවය
දේව නිර්මාණයට අනුව පළමු මිනිසා සහ ස්ත්‍රිය  නිර්මාණය කළ ආකාරය එක් වරක් පමණක් සිදු වු සිද්ධියකි. ඉන් පසුව මිනිසාගේ නිර්මාණය සිදු වුයේ හා සිදුවෙමින් පවතින්නේ ස්ත්‍රියකගේ හා පුරුෂයෙකුගේ ලිංගික සම්බන්ධතාව පදනම් කර ගෙනය. වර්තමානයෙහි අපට දක්නට ඇත්තේ මෙලෙසින් නිර්මාණය වෙමින් පවතින්නා වු මිනිස් පරපුරයි. විද්‍යාවට ගෝචර වන්නේ වත්මනෙහි සිදුවෙමින් පවතින්නා වු මෙම මිනිස් නිර්මාණයයි. මෙම මිනිස් නිර්මාණය පිළිබඳ ව ඇති නුතන විද්‍යාත්මක  සිද්ධාන්තයන් කොතෙක් දුරට විශ්වයේ පාලක පරම අධිපති විසින් පහළ කරන ලද තොරතුරු හා සැසඳේ ද  යන්න සොයා බැලීමෙන් අපට පළමු මිනිසාගේ හා ස්ත්‍රියගේ නිර්මාණය පිළිබඳ ව ඇති කරුණු පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරිමට හැකි පදනමක් ගොඩ නගා ගන්නට හැකි වේ යැයි සිතන්නෙමු.
මෙම තොරතුරු විමසීම නුතන කලල විද්‍යාත්මක කරුණු ගැන අවධානය යොමු කරමින් ආරම්භ කරන්නට අපේක්ෂා කරන්නෙමු. මෙහි කලල විද්‍යාවට අදාළ වැදගත් තොරතුරු අල් කුර්ආනයේ වැකි සමග සැසඳීමක් කරමින් කරුණු ඉදිරිපත් කරන්නට අපහසු වි ඇත්තේ මෙම ලිපියේ ප්‍රමාණය සිමා කරන්නට සිදු වි ඇති හෙයිනි. එහෙයින් ලොව පිළිගත් ප්‍රධාන පෙළේ කලල විද්‍යාඥයින් අල් කුර්ආනයේ ඉගැන්වීම් තුල ගැබ්වී ඇති කලල විද්‍යාත්මක තොරතුරු සසඳා දැක්වූ මත පළමු ව ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. දැනට ලොව ප්‍රධාන පෙළේ වෛද්‍ය විද්‍යාලයන්හි නාරිවේදය පශ්චාත් උපාධිය හදාරණ සිසුන් කලල විද්‍යාව හැදැරිම සඳහා උපයෝගි කර ගන්නේ  කැනඩාවේ ටොරොන්ටෝ විශ්වි විද්‍යාලයේ මහාචාර්ය කීත් මුවර් (Keith Moore) විසින් ලියන ලද “The Developing Human” යන ග්‍රන්ථයයි. භාෂා අටකට පරිවර්තනය කොට ඇති මෙම ග්‍රන්ථය ඇමරිකානු විද්වත් මණ්ඩලයක් විසින් එක් අයෙකු විසින් ලියන ලද ශ්‍රේෂ්ඨතම විද්‍යාත්මක ග්‍රන්ථය ලෙස තෝරා ගෙන ඇත. කැනේඩියානු ව්‍යුහ විද්‍යාඥයින්ගේ සංගමය මගින් මෙම ක්‍ෂේත්‍රයේ දෙනු ලබන සම්මානනීය තිළිණය වු J.C.B. Grant සම්මානය 1984 දි එතුමාට ප්‍රදානය කරන ලදී. එතුමාගේ එක් ප්‍රකාශනයක් “This is the truth” යන ග්‍රන්ථයෙන් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. එතුමාගේ මෙම ප්‍රකාශනයන් අඩංගු දේශනයට අන්තර් ජාලයේ  youtube.com වෙබ් අඩවිය මගින් ඔබට සවන් දිමට ද හැකිය. එහි සංක්ෂිප්ත විස්තරයක්  පහතින් දක්වා ඇත්තෙමු.
“අප විසින් කලල විද්‍යාව අනුව අල් කුර්ආනයේ හා නබිවරයාගේ වදන් වල සඳහන් කරුණු ගැන මහාචාර්ය මුවර්ගේ විශ්ලේෂණාත්මක අදහස් ඉදිරිපත් කරන ලෙස  ඉල්ලා සිටි විට මෙම තොරතුරු සොයා බැලූ එතුමා පුදුමයෙනුත් පුදුමයට පත් විය. පසුගිය දශක තුන ඇතුළත  විද්‍යාඥයින් විසින් කලලය හා කලලයේ වර්ධන අවධින් සම්බන්ධ ව සොයා ගත්  කරුණු මෙතරම් සවිස්තරාත්මක ව  හා පුර්ණ නිරවද්‍යතාවකින් යුක්ත ව ශත වර්ෂ 14 කට පෙර  මුහම්මද් තුමා විසින් හෙළිදරව් කර ඇත්තේ කෙසේ ද කියා සිතා ඔහු අතිශයින් මවිතයට පත් විය. 1981 දි සෞදි අරාබියේ දමාම් නගරයේ පවත්වන ලද හත් වන වෛද්‍ය සම්මන්ත්‍රණයේ දි මහාචාර්ය මුවර් මෙසේ පැවසිය. “මනුෂ්‍ය වර්ධනය සම්බන්ධයෙන් අල් කුර්ආනයේ අඩංගු කරුණු පිළිබඳ ව පැහැදිලි කිරීමක් කරන්නට  අවස්ථාවක් ලැබීම ගැන අතිශයින් සතුට ට පත් වෙමි. මෙම විස්තර මුහම්මද් තුමාට ලැබී ඇත්තේ දෙවිඳුන්ගෙන්ම බව මට ඉතාමත්ම හොඳින් පැහැදිලිය. මෙයට ප්‍රධාන හේතුව මෙම දැනුම මනුෂ්‍ය වර්ගයා තම පර්යේෂණ මගින් දැන ගන්නේ එතුමාට ශත වර්ෂ කිහිපයකට පසුවයි. මේ අනුව මුහම්මද් තුමා නිසැකවම හා නියත වශයෙන්ම දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨ නියෝජිතයෙක් බව ඉතා මනා සේ ඔප්පු වන්නේය”.
මිනිසාගේ නිර්මාණය පිළිබඳ ව එනම් ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංශ්ලේෂණය වීමෙන් හටගන්නා වු (යුක්තානුවේ) කලලයේ වර්ධනය පිළිබඳ ව අල් කුර්ආනය අවුරුදු 1400 කට පෙර විද්‍යාඥයින් විසින් දශක කිහිපයකට පමණක් පෙර සොයා ගත්තා වූ කරුණු ඉතා සවිස්තරාත්මක ව හා පුර්ණ නිරවද්‍යතාවයකින් යුක්ත ව ඉදිරිපත් කිරීමට හැකි නම් පළමු මිනිසාගේ හා ස්ත්‍රියගේ නිර්මාණය පිළිබඳ ව අල් කුර්ආනයේ සඳහන් කර ඇති කරුණු සත්‍යය බව අපට පිළිගන්නට සිදු වෙනවා නොවේ ද?
“මනුෂ්‍යයිනි, සැබැවින්ම අපි ඔබ ව එක් පුරුෂයෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. එකිනෙකා හඳුනා ගැනිම පිණිස ඔබ ව ජාතින් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු. (එබැවින් ඔබගෙන් කෙනෙකු තවත් කෙනෙකුට වඩා උසස් යැයි උඩඟු විමට කිසිවක් නැත. එහෙත්) ඔබ ගෙන් කවුරුන් ඉතාමත් බිය බැතියන් ව සිටින්නේද ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අබියසෙහි ඉතාමත් ගෞරවනීය තැනැත්තෙකි. ඇත්තෙන්ම අල්ලාහ් සර්වඥානි හා සියල්ල දැනුවත්ව ද සිටින්නේය”. (අල්කුර්ආනය 49 : 13)
“අහස් ද (විශ්වයද) මිහිතලය ද නිර්මාණය කිරීම මනුෂ්‍යයන් නිර්මාණය කිරීමට වඩා මහත්ය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් (මෙතරම් දෙයක්වත්) නොදකිත්”. (අල්කුර්ආනය 40 : 57)
මිනිසාගේ ආරම්භය එක් පුද්ගලයෙකුගෙන් හා එක් ස්ත්‍රියකගෙන් බව පිළිගැනුමට ඇති යථාර්ථවාදි සාධක කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු. අපගේ පුර්ව නිගමනයන් හා විශ්වාසයන් මොහොතකට පසෙක තබා පහත සදහන් කරුණු කෙරෙහි විචාරාත්මක ව සොයා බලමු.
ලෝක ජනගහන වර්ධනය
වර්ෂය    ජනගහණය (බිලියන)    මුලාශ්‍රය
2000    6.06    Wpp 98
1998    5.90    Wpp 98
1990    5.27    Wpp 98
1980    4.44    Wpp 98
1970    3.70    Wpp 98
1960    3.02    Wpp 98
1950    2.52    Wpp 98
1940    2.30    Wpp 63
1930    2.07    Wpp 63
1920    1.86    Wpp 63
1910    1.75    Wpp 63
1900    1.65    D and C
1850    1.26    D and C
1800    0.98    D and C
1750    0.79    D and C
1500    0.50    Durand
1250    0.40    Durand
1000    0.31    Durand
සටහන්
Wpp98-   United Nations –World Population-1998 Revision
Wpp63- United Nations-1966 World Population as Assessed In 1963
D And C- United Nations – The Determinants and Consequences of Population Trends –Vol. 01
Durand- J. D. Durand 1974- Historical Estimates of World Population – An Evaluation (University) of Pennsylvania Population Studies Center.
ඉහත වගුව අනුව ලෝක ජනගහනය පිළිබඳ ව කාලයේ ආපස්සට ගමන් කිරීමේ දි එය ඉතා ක්‍රමානුකුල අන්දමින් අඩුවෙමින් යන බව පැහැදිලි ව නිරික්ෂණය කළ හැකි වෙයි. 2000 වර්ෂයේදි බිලියන 6.06 ක් වු ලෝක ජනගණය 1000 වර්ෂයේ දි මිලියන 310 දක්වා වු අඩු මට්ටමක පැවැති බව ඉහත දත්ත පෙන්නුම් කරයි. මෙසේ අප කාලය ආපස්සට ගමන් කිරීමේ දි ලෝක ජනගහණය ක්‍රමානුකුල ව අඩුවෙමින් ගොස් නතර වන්නේ කොතැන ද යන ප්‍රශ්නයට ඇති සහේතුක හා තර්කානුකුල පිළිතුරු කුමක් ද යන්න අවබෝධ කර ගැනීමට කිසිවෙකුට අපහසුතාවක් ඇතැයි නොසිතන්නෙමු. නිසැකවම හා නිශ්චිත වශයෙන්ම අප අවසානයේ දී නතර වන්නේ එක් පුරුෂයෙක් හා එක් ස්ත්‍රියක් වෙත බව ඉතාමත්ම පැහැදිලිය. අපට අල් කුර්ආනය පැහැදිලි කරන්නේ මෙම සත්‍යය කරුණයි. එම එක් පුරුෂයෙකුගෙන් හා එක් ස්ත්‍රියකගෙන් බිලියන ගණනක් වු ලෝක ජනගහනය වර්තමාන තත්ත්වයට වර්ධනය විමට, අලුතින් මිනිස් දරුවෙකු බිහිවීම පිළිබඳ ව ඩිම්බයක් ශුක්‍රාණුවක් සංශ්ලේෂණය  වන තැන් හි පටන් වර්ධනය වන ආකාරය නුතන විද්‍යාඥයින් ව මවිතයට පත් කරමින්  සවිස්තරාත්මක ව හා පුර්ණ නිරවද්‍යතාවකින් යුක්ත ව කරුණු ඉදිරිපත් කිරිමට අල් කුර්ආනයට හැකි වී තිබෙන්නේ එහි පණිවුඩය නියත වශයෙන්ම මිනිසාගේ නිර්මාතෘගෙන් ලැබුණක් බව අපට කිසිම සැකයකින් තොරව  ඔප්පු කරමිනි. මෙය ඉතාමත් තර්කානුකුල යථාර්ථවාදි හා විද්‍යාත්මක සත්‍යයක් බව අප සැමට අනිවාර්යෙන්ම පිළිගැනීමට සිදු වි තිබෙනවා නොවේ ද?
මිනිසා මෙසේ නිර්මාණය නොවී තමන් කරන හොඳ නරක අනුව එක් එක් උත්පත්ති තලයන් හි එක් එක් ස්වරූපයෙන්  උපත් ලබන බවට ඇති මතයේ යථාර්ථය ද විචාරශීලී ව විමසා බලමු. මෙම මතයට අනුව තවත් ජිවියෙක් උපත ලැබිය හැක්කේ එක් ජීවියෙක් මිය ගිය පසුවය. අප මෙයට පෙර සාකච්ඡා කළ කරුණු අනුව නුතන විද්‍යාව අවිවාදයෙන්  පිළිගන්නා සත්‍යයක් නම් විශ්වයට ආරම්භයක් ඇති බවය. විශ්වය නොමැති ව ජීවයක් පැවතිය හැකි තත්ත්වයක් නොමැති බව ඉතා පැහැදිලි කරුණකි. එක් ජීවියෙකුගේ මරණින් පසුව පමණක් තවත් ජීවියෙක් බිහි වේ යන මතය ඉහත සංකල්පයේ සාධකයක් වන හෙයින් සියලු ජීව විශ්වය බිහිවීමත් සමග එක්වරම බිහි වී තිබිය යුතුය යන්න මෙම සංකල්පයෙන් ගම්‍ය වන කරුණකි. මෙය තර්කයට විචාරයට බුද්ධියට හෝ විද්‍යාවට එකඟ විය හැකි කරුණක් නොවේ. මෙහි දී අප සඳහන් කරන්නේ මිනිස් ජීව පිළිබඳ ව පමණක් නොවේ. සියලු ජීව ට්‍රිලියන සංඛ්‍යාවකින් මිහිතලය මත පමණක් අපට දක්නට හැකිය. තමන් කරන හොඳ නරක අනුව උපත් චක්‍රයක් ඇති බවත් උපත් චක්‍රයෙන් ගැළවෙන මතයක් ද මෙහි ඇති හෙයින් ජීව සංඛ්‍යාවේ අඩු වීමක් සිදු විය හැකි අතර වැඩි වීමක් නම් කිසිසේත්ම සිදු විය නොහැක. චක්‍රයක් තුළ නැවත නැවත ඉපදීමේ මෙම සංකල්පය තුළ අප දුටු තවත්  විමසුමට ලක් කළ යුතු කරුණු කිහිපයක් ගැන සඳහන් කරන්නට කැමැත්තෙමු. එක් උපතක දී තමන් කළ ලිංගික අපචාර හේතුවෙන් ඉදිරි උපතේ දී ස්ත්‍රියක් ව ඉපදීම හා එමෙන්ම තවත් පාප ක්‍රියාවකට විපාක ලෙස ඉදිරි උත්පත්තියේ දී දියණියන් පමණක් ලැබීම යන කරුණු දෙක විමසා බලමු.
මෙහිදී ක්‍ෂණික ව අවබෝධ වන කරුණක් නම් ස්ත්‍රියක ව ඉපදීම දඬුවමක් ලෙස මෙම සංකල්පය තුළ  සනාථ කොට ඇත යන්නය. මෙය ඉස්ලාමයට කිසිසේත්ම එකඟ විය හැකි කරුණක් නොවේ. අනිත් අතින් මෙම කරුණු දෙක සත්‍යය නම් මිනිස් සමාජයේ ස්ත්‍රී උත්පත්ති අනුපාතය ඉතා භයානක ලෙස ඉහළ ගොස් තිබිය යුතුය. සත්‍යය තත්ත්වය නම් ස්ත්‍රී පුරුෂ අනුපාතයේ සුළු වෙනස්කම් විටින් විට මිනිස් ඉතිහාසය තුළ ඇති වුව ද  මෙම සමතුලිතතාව  බිඳී ගොස් මිනිස් සමාජය අර්බුදයකට පත් වු ඉතිහාසයක් ගැන කිසිදු තැනක සඳහනක් නොමැත. මෙයට අමතරව තවත් අති ආන්දෝලනාත්මක හා මිනිස් චින්තනයට අභියෝගාත්මක ඉගැන්වීමක් ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
එනම් සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පිරිමි ස්ත්‍රීහු බවට ද පැමිණෙතියි යන මතය විමසා බැලිය යුතු ව ඇත. ලිංග පරිවර්තනය වන්නේ පෙර උත්පත්තියේ කුසල් අකුසල් පදනම් කර ගෙනය. බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහළ වේ යැයි පැවසේ. වර්තමාන ලෝක තත්ත්වය තුළ මෙවැනි දෑ සිදු වෙමින් පවතින්නේ ද? ඉතිහාසයේ ඇඟිලිවලින් ගණන් කළ හැකි ප්‍රමාණයේ මෙවන් සිදුවීම් සඳහන් ව ඇත. නමුත් එය පිළිබඳ විද්‍යාත්මක හේතු ඉතා පැහැදිලි ලෙසම දක්වා ඇත. මෙම කරුණු කිසිවෙකුට  සැහැල්ලුවෙන් නොසලකා හැරිය හැකි ප්‍රශ්නයක් නොවේ යැයි සිතන්නෙමු.  
 එසේ නම් මෙම සංකල්පය තුළ ඇති ඉහත සාධක අවිද්‍යාත්මක මෙන්ම සත්‍යයෙන් තොර වු එකක් බව බැහැර කරන්නට සිදු වෙනවා නොවේ ද? කරුණාකර ඔබ ම සිතා බලන්න. සංකල්පයේ සාධක බිඳ වැටේ නම් තවදුරටත් සංකල්පය කෙසේ නම් පවතින්නේ ද? අනිත් අතින් නැවත නැවත ඉපදිමේ චක්‍රය තුළ උත්පත්ති සිදු වන ආකාරයද  පැහැදිළි කොට ඇත. එක් ක්‍රමයක් නම් වැඩුණු ශරීරයක් ඇතිව අනපේක්ෂිත ලෙස (ඕපපාතික ව) මිහිතලය මතට බිහි වීමය. මෙය දෙමව්පිය සම්බන්ධතාවකින් සිදුවන්නක් නොවේ. මෙය ද අවිද්‍යාත්මක සංකල්පයක් බව විග්‍රහ කරන්නට අවශ්‍යතාවක් ඇතැයි නොසිතන්නෙමු.
තවත් උත්පත්ති ක්‍රමයක් පිළිබඳ ව ද අපගේ අවධානය යොමු කිරීම වැදගත් යැයි සිතන්නෙමු. තෙත් ගතිය ආශ්‍රය කොට ගෙන කුණු මස්, අශුචි, කුණුරොඩු ආදී තැන්වලින් ජීවයක් හටගන්නා බවට ඉගැන්වීමක් ඇත. මෙසේ හටගන්නා පණු, මදුරු ආදීහු බොහෝ විට මෙම ජීවී වර්ගයට අයත් වේ. ඈත අතීතයේ අන්වීක්ෂය නොමැති යුගයක මැසි මදුරුවන් දමන ඉතාම කුඩා බිත්තර පිළිබඳ දැනුමක් නොතිබෙන්නට ඇත. අලුත් ජීවයක් පැමිණිය හැක්කේ ජීවයකින් පමණක් බව  යන්න නුතන විද්‍යාත්මක සංකල්පයකි. අජීවී කුණුරොඩු වලින් කිසිසේත්ම නව ජීවයක් බිහිවිය නොහැක. මේ පිළිබඳ ව එනම් අජීවී ද්‍රව්‍යයන්ගෙන් ජීවයක් ඇතිවිය හැකි යැයි පරිණාමවාදී සංකල්පය විශ්වාස කළ ඇමෙරිකානු ජාතිකයෙකු වූ ස්ටැන්ලි මිලර් (Stanley Miller) 1953 දී පර්යේෂණයක්  කරමින් ඔප්පු කරන්නට අසාර්ථක ව්‍යායාමයක යෙදුනේය. මෙය ‘මිලර් පර්යේෂණය’ (Miller Experiment) නැතිනම් ‘යුරි මිලර් පර්යේෂණය’ (Urey-Miller Experiment) යනුවෙන් නම්කර තිබිණි. ආරම්භයේ පරිණාමවාදීන් අතර ඉතා ජනප්‍රිය පර්යේෂණයක් වූ මෙය වැඩි කල් නොගොස් ජීව විද්‍යාඥයින් විසින් මෙම සංකල්පය සහමුළින් ම ප්‍රතික්ෂේප කරන ලදී. එනිසා මෙම මතය සම්පුර්ණයෙන් ම අවිද්‍යාත්මක එකක් වන අතර ඇසට නොපෙනෙන මැසි මදුරු බිත්තර මෙයට හේතුව බව අන්වීක්ෂය සොයාගත් පසු අප දැනුවත් වී ඇත්තෙමු. මේ පිළිබඳ ව අප සිතා බැලිය යුතු නොවේ ද?
එලෙසම මෙම සංකල්පය තුළ ඉපදෙන ස්ථානයන් ද විග්‍රහ කොට ඇත. එක් ස්ථානයක් නම් අපායයි (නිරයයි). එය මෙතරම් ගැඹුරකින් මහපොළොව තුළ ඇත්තේ යයි පවසන විට නැවතත් අවිද්‍යාත්මක මතයක් මතු වෙයි.
මේ පිළිබඳ පහතින් උපුටා දක්වා ඇති තොරතුරු වෙත ද ඔබගේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමු.
“පුනරුත්පත්ති සංකල්පය තහවුරු කිරීම සඳහා ඉදරිපත් කෙරෙන විවිධ තර්ක ඇසුරෙන් වුව ද ඒ පිළිබඳ පැහැදිලි එකඟතාවයකට පත්වීම දූෂ්කර බව පෙනේ. මේ සම්බන්ධ විරුද්ධ අදහස් දරන්නවුන් ඈත අතීතයේ පටන්ම විසූහ. භෞතිකවාදි අදහස් දරණ චින්තකයින් මෙසේ පුනරුත්පත්තිය බැහැර කළ අය වෙති. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් බැහැර කිසිවක් පිළිගැනීමට මැලිවන භෞතිකවාදීන් උක්ත සංකල්පය ද පාරභෞතික එකක් සේ සලකා බැහැර කළහ. පුද්ගලයාගේ මේ ජීවිතයේ ඇතැම් දේවල් පැහැදිලි කර ගැනීම හෝ ඒ පිළිබඳ ව හේතූන් ඉදිරිපත් කිරීම අපහසු වුව ද ඒ සඳහා පෙර ආත්මයක් පිළිබඳ අදහසක් ඇති කර ගැනීම අනවශ්‍ය බව සමහරු පෙන්වා දෙති. එවැන්නක් අදාළ ගැටළුවට පිළිතුරක් සැපයීමට වඩා එය තවදූරටත් ව්‍යාකූල කිරීමක් හැටියට මොවුහු සලකති. කෙනෙකු තුළ පැවතිය හැකි දක්ෂතාවයන් ඔහු හැදෙන වැඩෙන පරිසරය ඇසුරෙන් ගොඩනැගිය හැකිය. එසේම කෙනෙකුගේ කායික ලක්ෂණ මත ද ඇතැම් දේ පිළිබඳ දකෂතාවයන් ගොඩ නැගීමට හැකි බව ද පිළිගැනේ. සහජ දක්ෂතාවයන් ඇතැම් අය තුළ පිහිටන බවට මනෝවිද්‍යාව සාක්ෂි දරයි. එබැවින් මේ නාමයන් පැහැදිලි කිරීම සඳහා පෙර ආත්මය පිළිබඳව අදහසක් සම්බන්ධ කර ගැනීමේ අවශ්‍ය තාවයක් නැති බව විරුද්ධ මතධාරීන් පෙන්වා දී ඇත. පෙර ආත්මය පිළිබඳ ව ඇතැම් පුද්ගලයන් ඉදිරිපත් කරන තොරතුරු වුව ද පරස්පර විරෝධතාවයන්ගෙන් යුතු වන අවස්ථා එමටයි. බොහෝ විට මෙවන් තොරතුරු ඉදිරිපත් කරන අයට ප්‍රකාශ කළ හැක්කේ ද තමා ඊට කලින් සිටි එක් ජීවිතයක් සම්බන්ධ තොරතුරු වීමත් ගැටලූ සහගත වේ. එසේම පෙර ජීවිතයේ පුද්ගලයා මළ අවස්ථාවේ සිට යළි උත්පත්තිය ලබන අවස්ථාව දක්වා ඇතැම් විට මාස ගණනක් හෝ අවුරුදූ ගණනක් පිළිබඳ කිසිදූ තොරතුරක් ඉදිරිපත් කරන්නට පෙර ජීවිතය පිළිබඳ තොරතුරු හෙළිකරන්නන් අසමත් වී ඇත. පුනරුත්පත්ති තොරතුරු පූර්ණ පැහැදිලි තාවයකින් තොර බව මෙවන් සිද්ධීන්ගෙන් තහවුරු වේ.
විවිධ අධිමානසික මාර්ගයන් ඇසුරෙන් පෙර ආත්මය පිළිබඳව ගෙනෙන තොරතුරු ද විශ්වාසයෙන් තොර බව සැලකේ. විශේෂයෙන් මෙවන් ඥානමාර්ග ආත්මීය ස්වරූපයක් ගන්නා බැවින් එමගින් ඉදිරිපත් කෙරෙන තොරතුරු පිළිගැනීමට නොහැකි බව විරුද්ධ මත ධාරීහූ පෙන්වා දෙති. බෞද්ධ චින්තනය තුළ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය මත පුනරුත්පත්තිය සම්බන්ධ ව ගෙනෙන තොරතුරු ද මෙහි දී පරීක්ෂාවට භාජනය කළ යුතු තත්ත්වයකට පත් වේ. කෙසේ වෙතත් අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය හෝ වෙනත් ගුප්ත ඥානමාර්ග ආත්මීය පදනමක් මත ගොඩ නැගෙන හෙයින් ඒ මත පුනරුත්පත්තිය සම්බන්ධ ව ගෙනෙන තොරතුරු පිළිගැනීම ද දූෂ්කර බව පෙනේ”. (මහාචාර්ය කුලසේන විදානගමගේ ‘දාර්ශනික ගැටලූ’- 159 වැනි පිටුව).
මුලික සංකල්පය රඳවා ඇති කුලුණු සියල්ල බිඳ වැටෙද්දී කෙසේ නම් එම සංකල්පය සත්‍යය යැ’යි පිළිගැනීමට හැකියාවක් ඇත්තේ දැ’යි කරුණාකර ඔබම සිතා බලන්න. මෙම සංකල්පයේ අවිද්‍යාත්මක පැතිකඩයන් විදහා දක්වන තොරතුරු බොහෝ ඇතත් ආගමික සංවේදීතාවන් පිළිබඳ අවධානය යොමු කොට එම තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වැළකෙන්නට තීරණය කළෙමු. ඉහතින් දක්වා ඇති කරුණු පිළිබඳ ව ද මුලාශ්‍ර හා අනෙකුත් විස්තර ඉදිරිපත් නොකොට ඉතා සංක්ෂිප්ත අයුරින් අදහස් ඉදිරපත් කොට ඇත්තේ ද ප්‍රධාන වශයෙන් ම මෙම හේතු නිසාවෙනි.  
පළමු මිනිසා හා ස්ත්‍රිය නිර්මාතෘ කෙනෙකු විසින්  නිර්මාණය කරන ලද්දක් නොව සත්ව පරිණාමයක් තුළින් සිදු වුවක් ලෙස දක්වන්නට යමෙක් තර්කයක් ඉදිරිපත් කරන්නට ඉඩ ඇත. එහෙයින් පරිණාමවාදය පිළිබඳ ව ද  කරුණු සාකච්ඡා කිරීම සුදුසු යි කියා අපි සිතන්නෙමු.
2. පරිණාමවාදය
පරිණාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්.එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත් ව ගිය ඩාවින් විසින් පුරා වසර පහක් තිස්සේ විවිධ සත්වයින්ගේ වෙනස්කම් හා පරිසරයේ අවශ්‍යතාවන් අනුව හැඩගැසීම් සිදු වී ඇති ආකාරය අධ්‍යයනය කරන ලදී. මෙම කරුණු සියල්ල කැටි කොට 1859 දී  ‘The Origin Of Species’ යන ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය. මෙම ග්‍රන්ථයේ ඔහු විසින් ම පිළිගත් ආකාරයට මෙම මතයන් ඉදිරිපත් කර ඇත්තේ තමා විසින් නිරීක්ෂණය කරන ලද කරුණු මත පදනම් වූ උපකල්පනයන් වශයෙනි.  මෙම ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක සිරස්තලය වන්නේ මෙම වාදයේ දුෂ්කරතාවන් (Difficulties of the theory) යනුවෙනි. ඩාවින් අපේක්ෂා කළේ ඉදිරි කාලයේ දි සිදු විය  හැකි විද්‍යාත්මක සොයා ගැනීම් මෙම දුෂ්කරතාවන්ට විසඳුම් සපයනු ඇතැයි යන්නයි. නමුත් සැබැවින්ම සිදුවුයේ නුතන විද්‍යාත්මක සොයා ගැනීම් මගින් ඔහු ඉදිරිපත් කළ මතයන් පිළිබඳ ව විසඳුම් ලබා දිය නොහැකි ආකාරයේ නව දුෂ්කරතාවන් රාශියක් මතු වීම පමණි. මෙම හේතු පදනම් කර ගෙන පරිණාමවාදය ඇමරිකානු පාසැල් පෙළපොත් වලින් ඉවත් කරන්නට එරට අධ්‍යාපන බලධාරින්  විසින් වර්ෂ කිහිපයකට පෙර තීරණය  කරන ලදී.  
ඩාවින්ගේ යුගයත් සමග ලොව ඉතා පුළුල් ව පැතිරි ගිය මාක්ස්වාදි චින්තනයට  පරිණාමවාදය නැතිවම බැරි කරුණක් විය. දෙවිඳුන් පිළිබඳ විශ්වාසයෙන්  බැහැර වු භෞතිකවාදි (Materialistic) සංකල්පයක් වු මාක්ස්වාදය මිනිසාගේ සම්භවය පිළිබඳ ව විග්‍රහයට උපයෝගි කර ගත්තේ පරිණාමවාදයයි. මේ හේතුවෙන් විද්‍යාත්මක පදනමක් නොතිබුණු පරිණාමවාදයට මාක්ස්වාදී රටවල් හා එම චින්තනය වැලඳ ගත් මාක්ස්වාදී නොවු රටවල උදවියත් ඉතා ඉහළින් මෙය විද්‍යාත්මක සංකල්පයක් බව ලොවට ඉදිරිපත් කිරීමට වෙර දැරූහ. මෙම වාදයේ අඩුපාඩු හා දුෂ්කරතාවන් සාකච්ඡා කිරීමට ඉතා විශාල පිටු ප්‍රමාණයක් අවශ්‍ය වන අතර මෙම ලිපියේ සිමාවන් සැලකිල්ලට ගෙන කරුණු කිහිපයක් පමණක් ඔබට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
පරිණාමවාදී න්‍යාය පිළිගත් පිරිස ශාක, සත්වයින් හා විශ්වයේ සම්භවය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම පිණිස විවිධ අනු න්‍යායන් කිහිපයක් ඉදිරිපත් කිරීමට වෙර දරා ඇත. වරින් වර මෙම න්‍යායාචාර්යවරුන් විසින් අජීවී භෞතික පදාර්ථ වඩාත් සංකීර්ණ ජීවී තත්ත්වයට පත් වූ ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට උත්සාහයන් කිහිපයක නියැළී ඇත. සරල ඒක ශෛලීය ජීවියා ජීව ලෝකයේ ක්‍රීටය ලෙස සැලකෙන මිනිසා දක්වා ආ ගමන විවිධ අනුමානයන්, උපකල්පනයන් හා අවිද්‍යාත්මක මතයන් ඉදිරිපත් කරමින් මෙම මතයන් විද්‍යාත්මක සිද්ධාන්ත ලෙස ලොවට අලෙවි කිරීමට ද අති විශාල වෙහෙසක් දරා ඇත.
මේ පිළිබඳ භූ විද්‍යාඥයෙකු ඉදිරිපත් කරන මතය වෙත අවධානය යොමු කරමු. “මා ශිෂ්‍යයෙකු ලෙස සිටි අවධියේ උගත් පරිණාමවාදය පිළිබඳ සියලු තොරතුරු වල අසත්‍යතාව දැන් හෙළදරව් වී ඇත”. (Dr. Derek V. Ager, Dept. of Geology, Imperial College, London. ‘The Nature of the Fossil Record, Proceedings of the Geological Assoc., Vol. 87, 1976, Pages 1132 – 1133).
මෙලෙස පරිණාමවාදීන්ගේ එක් අනු න්‍යායක් දෙපා මත සිටුවා තැබීමට නොහැකි ව කඩා වැටුණු ආකාරය විමසා බලමු.
“රසායනික ලෙස මිනිසා 99% ක් වානරයින් ට සමාන වන අතර රුධිර කැටි ගැසීමේ පරීක්ෂණ අනුව චිම්පන්සීන් මිනිසාගේ සමීපතම ඥාතියා ය යන්න පරිණාමවාදීන්ගේ විශේෂ තර්කයක් විය. නමුත් කිරි වල රසායනික සංයුතිය අනුව මිනිසාගේ සමීපතම ඥාතියා බූරුවාය. කොලොස්ටරෝල් ප්‍රමාණයන් පිළිබඳ පරීක්ෂණ අනුව මිනිසාගේ සමීපතම ඥාතියා ‘Garter Snake’ නම් සර්ප විශේෂයකි. කඳුළු වල ඇති එන්සයිමයේ රසායනික සංයුතිය අනුව කුකුළා මිනිසාගේ සමීපතම ඥාතියා ය”. (Henry M. Morris., ‘The Twilight of Evolution’ Baker Book House 1967).
ජීවයේ සංකීර්ණතාව
පිපුරුමක් සිදුවීම දැකීමේ අවස්ථාව අප සැමට ලැබී ඇතැයි විශ්වාස කරන්නෙමු. පිපුරමකින් පසු විද්‍යාඥයින්ව ම විස්මයට පත් කරවන ආකාරයේ භෞතික සිද්ධාන්තයන් සහිත අති සියුම් හා සුක්ෂම  සැලසුමක් ඇති වීම යමෙකුට සිහිනෙකින්වත් සිතා ගැනීමට හැක්කක් නොවේ. පිපුරුමක් ඇති වූ තැනක දැකිය හැකි වන්නේ  ව්‍යාකුලත්වය හා විනාශය පමණි. පිපුරුමක් මගින් මිහිතලය මත සියලු ජීවීන් ඇති වූ බව ඉදිරිපත් කරන තර්කය පිළිබඳ ඇති විද්වත් මත කිහිපයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවන්නට කැමැත්තෙමු.
“පිපුරමකින් පසු ජීවයේ ආරම්භය සිදු වීමට හැකි සම්භාවිතාව මුද්‍රණාලයක සිදු වූ පිපුරමකින් පසු අසංක්ෂිප්ත ශබ්දකෝෂයක් නිරායාසයෙන් බිහිවීම හා සමානය”. (Dr. B. G. Ranganathan – ‘Origins?’ Page 15).
මෙය ඕනෑම සරල ජීවයක් ඇති වීමට හැකි තත්ත්වය ගැන ඇති සඳහනකි. ඉතා සංකීර්ණ හා විවිධත්වයෙන් යුත් ජීවී ප්‍රභේද ගැන මේ අනුව පැවසිය හැක්කේ කුමක් ද යන්න පිළිබඳ ව කරුණාකර මොහොතක් සිතා බලන්න.           
තාරකා  විද්‍යාඥ හා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රෙඩ් හොයිල් මහාතාගේ අදහස් වලට අවධානය යොමු කරමු. “සංකීර්ණ හා උසස් ජීවීන් මෙලෙස අහඹුවෙන් ඇති වුවා යැයි පැවසීම මහා චණ්ඩ මාරුතයක් අබලි හා සුන්බුන් අංගනයක් හරහා හමා ගොස් එහි තිබු ද්‍රව්‍ය මගින් බෝයිං 747 ගුවන් යානයක් සෑදුණා යැයි පැවසීම හා සමානය”. (‘Nature’, Vol. 294, Nov. 12, 1981, ‘Hoyle on Evolution’ Page 105).  
3. විස්මයජනක ජීවී සෛලය හා අවම කළ නොහැකි සංකීර්ණත්වය
ඉතා සරල මී කතුරු අපි දැක ඇත්තෙමු. මී කතුරේ යම් කොටසක් ඉවත් කිරීමෙන් පසුත් එය නිසි අයුරින් ක්‍රියාත්මක වෙයි කියා ඔබ සිතන්නේ ද? ඉතා සරල මී කතුරම එහි අවශ්‍ය කොටස් වලින් තොරව නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව පැහැදිලි ව පෙනෙන්නට ඇත. මෙය ‘අවම කළ නොහැකි සංකීර්ණත්වය’ (Irreducible Complexity) යැයි හැඳින්වේ. මෙලෙස බොහෝ ජීවීන්ගේ සංකීර්ණත්වය අඩු කිරීමෙන් හෝ සරල කිරීමෙන් උන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් මෙන්ම පැවැත්ම ම අහෝසි වී යන්නට ඇති ඉඩකඩ බහුලය. අවම කළ නොහැකි සංකීර්ණත් ව පද්ධතීන්ට පරිණාමී ව ක්‍රම ක්‍රමයෙන් වැඩෙන්නට කිසිසේත්ම හැකියාවක් නොමැත. ඒවා පවත්නා අයුරින් පරිපුර්ණත්ව තත්ත්වයෙන් ම පැවතිය යුතුය. එසේ නොවූවහොත් ඒවාට කිසිදු පැවැත්මක් නොමැති වනු ඇත. මෙයින් මතු වන ප්‍රධාන අභියෝගය කුමක් ද යන්න විමසා බලමු.
පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන චාල්ස් ඩාවින්ගේ “The Origin of Species” ග්‍රන්ථයේ ඔහු හා සියලුම පරිණාමවාදීන් මුහුණ පාන්නා වූ බරපතය අභියෝගයක් පිළිබඳ  සඳහනක් ඇත. “If it could be demonstrated that any complex organ existed which could not possibly have been formed by numerous, successive, slight modifications, my theory would absolutely break down” (The Origin of Species). මෙහි සමීප සිංහල පරිවර්තනය අනුව ‘පවත්නා වූ කිසිදු සංකීර්ණ ඉන්ද්‍රියයක් බොහෝ අනුක්‍රමික ව සිදුවන්නා වූ වෙනස්වීම් මගින් ඇති විය නොහැකි බව පෙන්වා දෙනු ලබන්නේ නම් මගේ න්‍යාය පරිපුර්ණ ලෙසම බිඳ වැටේ’ ලෙස දැක්විය හැක. ඩාවින් හා ඔහුගේ අනුගාමිකයින් අති මහත් අපහසුතාවකට පත් කරවන බොහෝ ජීවරසායන පද්ධතීන් ඇත. ඒ පිළිබඳ ඇති වැදගත් ජීවවිද්‍යාත්මක තොරතුරු පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“බොහෝ ජීව විද්‍යාත්මක ව්‍යුහයන් හි විශාල අණුක පද්ධතීන් (Molecular Machines) හි කොටසක් ලෙස ප්‍රෝටීන් ක්‍රියා කරයි. මෙම ව්‍යුහයන් හි කොටසක් ලෙස බොහෝ ප්‍රෝටීන් ඇතත් මෙම ව්‍යුහයන් නිසි අයුරින් ක්‍රියාත්මක වන්නට නම් එහි සියලු අණු කොටස් නිසි ලෙස එකිනෙක හා බැඳී සමායෝජන (Co-ordination) වී තිබිය යුතුය”. (‘Molecular Machines’ by Michael J. Behe)
මෙම මතයත් අපට අවධාරණය කරනු ලබන්නේ මෙම ව්‍යුහයන් සියල්ල නිසි ලෙස ක්‍රියාත්මක වන්නට නම් ඒවා සියල්ල එකවර ම බිහි වී තිබිය යුතු මෙන්ම ඒවා අතර සම්බන්ධතාව ද සැකසී තිබිය යුතු බව ය. කෙසේ නම් මේවා අනුක්‍රමික ව කොටසින් කොටස වර්ධනය වී වර්තමාන තත්ත්වයට පත් විය හැක්කේ ද යන්න පරිණාමවාදීන් සිතා බැලිය යුතු නොවන්නේ ද? මේ පිළිබඳ තවත් වැදගත් විද්‍යාත්මක තොරතුරු කිහිපයකට අවධානය යොමු කරමු.   
ඇමයිනෝ අම්ල ප්‍රෝටීන් සහ ඩී.එන්.ඒ.
ජීවී සෛලයක් තුළට සංචාරයක යෙදෙන්නට අපි ඔබට ආරාධනා කරන්නෙමු. අපට වහාම දැක ගත හැකි වන්නේ අති විශිෂ්ට විස්තර සහිත අදහාගත නොහැකි ආකාරයේ නීර්මාණාත්මක සැලසුමකින් යුත් අති සංකීර්ණ විවිධ එමෙන්ම කොටස් නිශ්චිත කාර්යයන් ඉටු කරන ඉතා සුක්ෂම සමායෝජනයකින් යුත් ලෝකයකි.      
ඇමයිනෝ අම්ල නිශ්චිත දම්වැලකින් එකිනෙකට බැඳීමෙන් ප්‍රෝටීනයක් සෑදේ. මේ පිළිබඳ විද්වතෙකුගේ මතය විමසා බලමු.  
“නමුත් ඇමයිනෝ අම්ල ක්‍රියාකාරී ප්‍රෝටීන බවට පත් වන්නේ ඒවා නිශ්චිත අනුක්‍රමික සැකසුමක් අනුව පිළියෙළ වුවහොත් පමණි. මෙය වාක්‍යයක අක්ෂර නිසි සැකසුමකින් පිළියෙළ වී තිබීම හා සමානය. එනම් ඇමයිනෝ අම්ල පමණක් ප්‍රෝටීන බවට පත් නොවේ. එය හුදු අක්ෂර පමණක් කාව්‍යයක් බවට පත් නොවීම හා සමානය. ඇමයිනෝ අම්ලයන් හි නිශ්චිත අනුක්‍රමික සැකසුම අනුව එහි ක්‍රියාකාරිත්වය හෝ අක්‍රියත්වය තීන්දු වේ. ප්‍රෝටීනයන් හි හා ඩී. එන්. ඒ. අණුවේ අනුක්‍රමික සැකසුමේ මූලාරම්භය විග්‍රහ කිරීම වර්තමාන භෞතිකවාදී පරිණාමවාද චින්තනයේ බරපතළ අර්බුදයක් ඇති කොට ඇත”. (Stephen C. Meyer, ‘DNA and other Designs’ Page 9).      
ඩාවින්ගේ ග්‍රන්ථයේ  කොතැනක හෝ  ජීවයේ සම්භවය පිළිබඳ ව කිසිඳු සටහනක් නොමැත. ඔහුගේ යුගයේ මතය වුයේ ජීවීන්ගේ ව්‍යුහය ඉතා සරල එකක් බවයි. මෙයට එක් හේතුවක් වුයේ  නුතන විද්‍යාත්මක උපකරණ එම යුගයේ සොයා ගෙන නොතිබීම බව දැක්විය හැක. ජීවයේ නිර්මාතෘ දෙවිඳුන් බව පිළිනොගන්නා වූ පරිණාමවාදය ප්‍රකාශ කරන්නේ පළමු ජීව සෛලය ස්වභාවික තත්ත්වයක්  තුළ කිසිම සැලැස්මක් හා සැකසුමකින් තොරව අහඹුවකින් ඇති වු බවයි. ඩී.එන්.ඒ.(DNA) සහ ආර්.එන්.ඒ. (RNA) පිළිබඳ ව විද්‍යාත්මක සිද්ධාන්තයක් ඩාවින්ගේ යුගයේ සොයා ගෙන නොතිබුණු හෙයින් මේවායෙහි ඇති සංකීර්ණ ව්‍යුහාත්මක ස්වභාවය පිළිබඳ ව නියත වශයෙන්ම ඩාවින් දැන නොසිටි බව සත්‍යයකි. සෛලයක පුනර් නිර්මාණය සදහා ඩි.එන්.ඒ (සෛලයේ සැලසුම් ව්‍යුහය) හා ආර්.එන්.ඒ. (නව සෛලය නිර්මාණය කිරීමේ පිටපත් ක්‍රියාවලිය) අත්‍යවශ්‍ය වෙයි. මිනිසාට සිතා බලන්නටවත් නොහැකි ආකාරයේ ඉතා සංකීර්ණ ව්‍යුහයක් ඇති මෙම සාධක දෙක අහම්බෙන් කෙසේ බිහිවුයේ ද නැතිනම් බිහිවිය හැක්කේ ද යන්න ඩාවින් හෝ නුතන විද්‍යාඥයෙකුට වුවද පැහැදිලි  කිරීමක් ඉදිරිපත් කළ නොහැකි කරුණක් වී ඇත. මිනිස් ඩී.එන්.ඒ. එක් අණුවක් තුළ අඩංගු  වී ඇති තොරතුරු සම්භාරය මුද්‍රණය කළහොත් එය විශාල පුස්තකාලයක් පිරවිමට තරම් ප්‍රමාණවත්ය. එක් ජීව සෛලයක් පුනර්නිර්මාණය කිරීම සදහා අත්‍යවශ්‍ය ඩි.එන්.ඒ. සහ ආර්.එන්.ඒ.අණු කෙසේ නම් එක්වරම ඇති වුයේ ද යන්න ඩාවින්ට හෝ අන් අයෙකුට විග්‍රහ කළ හැකි දෙයක් නොවේ. මෙම නිර්මාණ ක්‍රියාවලිය පිටුපස අතිශය බුද්ධිමත් සැලැස්මක් ඇති බව කාටත් පෙනෙන කරුණකි. මෙය නිසැකව ම හා නිශ්චිත වශයෙන්ම සිදුවිය හැක්කේ සර්වඥානි නිර්මාතෘ කෙනෙකුගේ සැලසුම් සහගත නිර්මාණයක ප්‍රතිඵලයක් වශයෙන් පමණක් බව බොහෝ විද්‍යාඥයින්ට නුතනයේ දී පිළිගැනීමට සිදු වි ඇත.
පරිණාමවාදයේ අවිද්‍යාත්මකභාවය පෙන්වීම සදහා ඩි.ඇන්.ඒ. අණුවේ ව්‍යුහය පිළිබඳ අදහස් කිහිපයක් කෙටියෙන් සඳහන් කළෙමු. ඒ පිළිබඳ ව තවදුරටත් විස්තරාත්මක ව  සාකච්ඡා කළහොත් ජීවයේ සම්භවය පිළිබඳ ව අර්ථවත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ යැයි සිතන්නෙමු. ඩි.එන්.ඒ. අණුව තුළ රසායනික ද්‍රව්‍ය හතරක් ඇත. ඇඩිනින්, තයිමින්, ගුඅනින් හා සයිටොසින් ‍නම් වූ රසායනික ද්‍රව්‍ය හතරකි. මෙම රසායනික ද්‍රව්‍ය හතර සංක්ෂිප්ත ව A,T,G,C, යනුවෙන් හැදින්විය හැක. මෙම රසායනික ද්‍රව්‍ය හතර DNA අනුව තුළ සකස් වී ඇති ආකාරය අනුව මිනිස් ශරීරයේ සියලු විස්තර එහි අන්තර් ගත කොට ඇත. මෙම සංකේත භාෂාවේ අන්තර්ගත විස්තර ව්‍යවහාර බසට හැරවුවහොත් පිටු 500 ක පොත් 900 ක් පමණක අන්තර්ගත කළ හැකි තොරතුරු දැන ගත හැකි බව විද්‍යාඥයෝ පවසති. DNA අනුව තුළ මෙම ATGC රසායනික ද්‍රව්‍යය කටයුතු කරන්නේ භාෂාවක අක්ෂර ලෙසටය.  
ජාන විද්‍යාඥයින්  DNA අණුවේ ඇති සංකේත භාෂාවේ අන්තර්ගත තොරතුරු ව්‍යවහාර භාෂාවට පරිවර්තනය කොට එම සෛල හිමි ජිවියාගේ විශේෂයෙන්ම කායිකවේදී තොරතුරු ලබා ගනිති. මෙයින් පැහැදිලි වන්නේ DNA අනුව තුළ අති විශාල තොරතුරු සම්භාරයක් ගබඩා කර තැබීමේ භාෂාවක් ඇති බවය. සංකේත භාෂා ඇතුළු ව සියලු භාෂාවන්ට එය අර්ථවත් භාෂාවක් වීමට නම් එහි අඩංගු විය යුතු  අනිවාර්ය කොටස් හතරක් ඇත. ඒවා නම් අක්ෂර, ව්‍යාකරණ, පද සංයෝජනය (syntax), හා අර්ථය යන කරුණුය. මෙම කරුණු නොමැතිව භාෂාවක් මගින් අදහස් හුවමාරු කර ගැනීමට නොහැකිවනු ඇත. එලෙස කරුණු දැක්වීම අවබෝධකර ගැනීමට ද නොහැකි  වනු ඇත. සංකේත භාෂාවෙන් DNA අනුව තුළ ගබඩා කොට ඇති තොරතුරු කියවා තේරුම් ගැනීමට හැකි වී ඇත්තේ එය භාෂාවක් වන අතර  එහි භාෂාවක අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු ඉහත සඳහන් කරුණු හතරම ඇති නිසාත්ය. මෙතෙක් සාකච්ඡා කළ කරුණු වලින් මතු වන තර්කානුකුල හා යථාර්ථවාදී නිගමනයන් පහතින් සංක්ෂිප්ත ව දක්වා ඇත්තෙමු.
    යමක් ක්‍රියාත්මක කිරිමට පෙර අදහසක් චින්තනය තුළ තිබිය යුතුය. අදහසක් චින්තනය තුළ නොමැතිව කිසිවක් සැලසුමක් හා බුද්ධිමය පදනමකින් ක්‍රියාත්මක කළ නොහැකිය. මෙසේ චේතාන්චිත ව ක්‍රියා කළ හැකි වන්නේ බුද්ධිමය ශක්තියකට පමණි.
    සියලුම භාෂාවන් උත්පාදනය වන්නේ  මනස හා චින්තනය පදනම් කරගෙනය.
    මනස හා චින්තනයකින් තොරව බිහි වු කිසිදු භාෂාවක් නොමැත.
DNA අණුව තුළ ගබඩා කොට ඇති තොරතුරු අවබෝධ කර ගත හැකි වී ඇත්තේ එය භාෂාවකින් සැකසී ඇති නිසාය.
එමනිසා DNA අණුව නිර්මාණය කොට ඇත්තේ චේතාන්චිත ලෙස මනස හා චින්තනය උපයෝගී කරගෙනය. DNA අණුවෙහි ඇති සංකීර්ණතාව ගැන සැලකිල්ලක් දක්වන විට නිසැකවම එය නිර්මාණයට මුල් වූ  මනස හා චින්තනය සර්වඥානියෙකුට හිමි වුවක් විය යුතුය.
    DNA පිටුපස ඇති මනස හා චින්තනය එම අණුවේ නිර්මාතෘට හිමි බව අපට පිළිගන්නට සිදු වේ.
    එමනිසා DNA අණුව අහම්බෙන් බිහි වුවක් නොව සර්වඥානි මනසකින් හා චින්තනයෙන් නිර්මාණය  වුවක් බව අපට පිළිගන්නට සිදු වේ.
    එම සර්වඥානි මනස ජීවයේ නිර්මාතෘගේ බවත්  අපට පිළිගන්නට සිදුවනවා නොවේ ද? කරුණාකර ඔබගේ බුද්ධිමය විචාරය අනුව මේ පිළිබඳ නිගමනයකට එන ලෙස ඉතා  කාරුණික ව ඉල්ලා සිටින්නෙමු.
    පරිණාමවාදය සත්‍යයක් නම් එය නිරන්තරයෙන්ම සිදුවෙමින් පවතින්නා වු සංසිද්ධියක් විය යුතුය. මෙය සත්‍යය නම් අදත් අර්ධ වානර අර්ධ මිනිස් ජීවින් අප අතර සිටිය යුතුය. ඕනෑම අයෙකුට  ඉතා සරල ව තේරුම් ගත හැකි මෙම සාධකය පමණක් ඩාවින්ගේ පරිණාමවාදයේ අවිද්‍යාත්මකභාවය ඔප්පු කිරීමට ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.   
4. පොසිල වාර්තා
විද්‍යාඥයින් විසින් දැනට අවුරුදු මිලියන ගණනකට පෙර  ජීවත් වු හා අදත් ජීවත් වන සතුන්ගේ පොසිල සොයා ගෙන ඇත. අවුරුදු මිලියන ගණනකට පෙර ජිවත් වු සතුන්ගේ මෙම පොසිල අතුරින් කිසියම් අතරමැදි අර්ධ පරිණාමයට ලක් වු සතෙකුගේ පොසිල හමු වි නොමැත. එදා ජීවත් වී වඳ වී ගිය සතුන්ගේ පොසිල හමු වී  ඇති අතර එය එසේ වීමට හේතුව කිසිසේත්ම පරිණාමවාදයට විග්‍රහ කළ හැකි කරුණක් නොවේ. නුතන පරිණාමවාදීන් මේ පිළිබද ව ඉදිරිපත් කරන කරුණු ද පරිණාමවාදයේ මුලික  පදනමට පටහැණි එකකි. එම සතුන් ජීවත් වු  පරිසරය ඔවුන්ට අහිතකර වුවා නම් වඳවී නොගොස් පරිණාමවාදය අනුව පරිසරයට හිතකර ආකාරයට තමන් ව හැඩ ගස්වා ගෙන  අදත් පවතින්නට ඇති හැකියාවක්  සාදාගන්නට ඔවුන්ට හැකියාව තිබිය යුතුව තිබුණි. එසේ නොවුයේ මන්දැයි විග්‍රහ කිරීමට පරිණාමවාදය අපොහොසත් වි ඇත. අනිත් අතින් අද ජීවත් වන සතුන්ගේ අවුරුදු මිලියන ගණනකට පෙර හමු වු පොසිල හා වත්මන් එම සත්තවයාගේ ඇට සැකිල්ල අතරේ වෙනසක් නොමැති බව විද්‍යාඥයින්ගේ සොයා ගැනිමේ තවත් ප්‍රතිඵලයකි. මෙම තොරතුරු කිසිසේත්ම  පරිණාමවාදය හා සැස‍ඳෙන්නේ නැති අතර මෙම වාදයේ පදනම් විරහිතභාවය මෙයින් ඉතා පැහැදිළි ව හෙළිදරව් වෙයි.
ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ජ්‍යෙෂ්ඨ පාෂාණීය ධාතු විද්‍යාඥ ආචාර්ය කොලින් පැටර්සන් විසින් පොසිල ප්‍රශ්නය (Fossil Problem) පිළිබඳ ව සංක්ෂිප්ත ව පැහැදිලි කරමින් එල්. සන්ඩර්ලන්ඩ් නැමැත්තෙකුට යැවූ ලිපියේ පහහ සඳහන් අයුරින් සඳහන් වේ.
“මගේ ග්‍රන්ථයේ පරිණාමවාදී සංක්‍රාන්තියක් නිරූපණය කොට නොමැති බව පවසන ඔබගේ මතය සමග එකඟ වෙමි. පොසිල හෝ ජීවත් වන සතුන්ගෙන් එවන් නිදසුනක් ඇත්නම් නියත වශයෙන්ම එය ඇතුළත් කරන්නට කටයුතු කරන්නට තිබුණි. ස්ථීර වශයෙන්ම එවන් මතයක් ස්ථාපිත කළ හැකි කිසිදු පොසිල වාර්තාවක් නොමැත”.
1920 දී බටහිර නෙබ්‍රස්කාහිදී කැණීම් තුළින් තනි දතක් සොයා ගන්නා ලදී. බොහෝ විද්‍යාඥයින් පරිණාමවාදයේ අඩු ව තිබූ පුරුක (Missing Link) සොයා ගත් බව උදම් අනන්නට වූහ. මෙය පරිණාමවාදය ලත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස ද හඳුන්වා දෙන ලදී. මෙයට හේතුව මෙම දත සොයා ගත් ප්‍රදේශයේ ඉතා පෞරාණික මිනිස් චිත්‍ර සොයා ගත් අතර මෙය “නෙබ්‍රස්කා මිනිසා” යනුවෙන් හඳුන්වන ලදී. මෙම සොයා ගැනීමෙන් අවුරුදු පහකට පසු ගොවියෙකුගෙන් මේ පිළිබඳ ව විමසූ විට ඔහු කිසිදු පැකිළීමකින් තොරව එය ඌරෙකුගෙ දතක් බව පවසා සිටියේය. එම ප්‍රදේශයේ කරන ලද කැණීම් මගින් ඌරෙකුගේ යැයි පිළිගත හැකි ඇටසැකිලි හමු වී ඇත. පරිණාමවාදයේ අත්තිවාරම හැදී ඇත්තේ මෙවන් ක්‍ෂණික අයුරින් දිය වී යන කුලුනු මත බව පැවසීම කෙතරම් නිරවද්‍ය ද යන්න දැනටමත් ඔබට පැහැදිලි වී ඇතැයි විශ්වාස කරන්නෙමු.
පරිණාමවාදයේ අඩු පුරුක් සම්පුර්ණ කිරීමට මෙන් ම එය විද්‍යාත්මක සිද්ධාන්තයක් ලෙස ස්ථාපිත කිරීම පිණිස වරින් වර පරිණාමවාදීන් විසින් විවිධ උත්සාහයන් දරා ඇත. මේ සියල්ල සවිස්තරාත්මක ව ඉදිරිපත් කිරීම මෙම ලිපියේ විෂය පථය ඉක්මවා යෑමක් හෙයින් ඇතැම් කරුණු පිළිබඳ කෙටියෙන් අදහස් දක්වන්නට අපේක්ෂා කරන්නෙමු. වරෙක පොසිල සාක්ෂි අනුව ඔර්ස් මිනිසා (Orce Man) යනුවෙන් සාක්ෂියක් ඉදිරිපත් කරන ලදී. වැඩිකල් නොගොස් එම පොසිල සාක්ෂිය බූරුවෙකුගේ හිස් කබලක් බව හෙළිදරවු විය. නැවත වරක් රාමපිතිකස් මිනිසා (Ramapithecus Man) යනුවෙන් එක් පොසිල සාක්ෂියක් පදනම් කර ගනිමින් විශාල හඬක් මතු විය. අවාසනාවට එම සොයා ගත් පොසිල සාක්ෂිය බැබූන් නම් වානර ප්‍රභේදයකගේ හිස්කබලක් බව  පසු ව දැනගන්නට ලැබිණි. පිල්ට්ඩව්න් මිනිසා  (Piltdown Man) පිළිබඳ පොසිල සාක්ෂිය මිත්‍යා ප්‍රබන්ධයක් බව පසුව හෙළිදරවු විය. නියන්ඩර්තාල් මිනිසා පිළිබඳ  (Neanderthal Man) පොසිල වාර්තාව රිකෙට්ස් (Rickets) නම් රෝගයෙන් පෙළුණු අයෙකුගේ ඇද වූ පා ඇට කටුවක් බව පසුව හෙළි විය. මෙම කරුණු දෙස බලන විට පරිණාමවාදීන් කෙතරම් දුෂ්කර හා අසරණ තත්ත්වයකට පත් වී ඇත්තේ දැයි ඔබට අවබෝධ වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.
“වර්ෂ මිලියන පහක් පැරණි ඇට කටුවක් මිනිසෙක් වැනි සතෙකුගේ උරහිස් ඇටය ලෙස සිතුව ද පසුව එය ඩොල්ෆින් මාළුවෙකුගේ ඉළ ඇටයේ කොටසක් බව සොයා ගන්නා ලදී. බොහෝ මානව විද්‍යාඥයින්ගේ ප්‍රශ්නයක් බවට පත් ව ඇත්තේ පැරණි ඇටකටු කැබැල්ලක් ලැබුණු විගස එය මානවයෙකුගේ යැයි සොයා බලන්නට දරන වෙහෙසයි”. (Dr. Tim White, Anthropologist, University of California, ‘New Scientist’ April 28, 1983, Page 199)                
“පරිණාමවාදය බොහෝ විද්‍යාඥයින් අතරේ ‘විද්‍යා දහමක්’ බවට පත් ව ඇත. මෙයින් බොහෝ විද්‍යාඥයින් තමන්ගේ නිවැරදි නිරීක්ෂණයන් පවා පරිණාමවාදයට අනුකූලත්වයක් ඇති වන ආකාරයට වෙනස් කරන්නට ද කටයුතු කරති”. (H. S. Lipson, Professor of Physics, University of Manchester, UK. ‘A Physicist Looks at Evolution’ ‘Physics Bulletin’ Vol. 31, 1980, Page 138))        
ඉස්ලාමයේ විවේචකයන් බහුතරයක් ඉස්ලාමයට එරෙහි ව ඉදිරිපත් කරණ ප්‍රධාන තර්කය නම් පරිණාමවාදයයි. නමුත් විචාර බුද්ධිය උපයෝගී කර ගෙන විමසුමක යෙදෙන විට අපට ඉතා පැහැදිලි ලෙස ම පෙනීයන සත්‍යය නම් විවේචනයේ සාධකයන් දෙපා මත සිටුවා තැබීමට තරම් ශක්තියක් ඇති ඒවා නොවන බවය.
අප මෙතෙක් කරුණු ඉදිරිපත් කළේ මිනිසාට පමණක් උරුම වු විචාර බුද්ධිය උපයෝගී කර ගෙන විශ්වයේ හා මිනිසාගේ නිර්මාණය පිළිබඳ ව විචාරශීලී විමසුමක යෙදෙන්නටය. සතුන්ට විචාර බුද්ධිය නොමැති වුවත් ඔවුන්ගේ නිර්මාණයේ විචිත්‍රභාවය හා ඔවුන්ට ජන්මයෙන් ලැබි ඇති ඥානය ගැන කරුණු සොයා බැලීමේදි ඉතා මවිත කර කරුණු රාශියක් අපට දැනගන්නට ලැබේ. මෙම තොරතුරු වලින් කොටසක් සාකච්ඡා කරන්නට අපි අදහස් කරන්නෙමු. මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ සතුන්ගේ නිර්මාණය පිටුපසින් සර්වඥානි නිර්මාතෘවරයෙකුගේ අදහාගත නොහැකි අලංකාර හා අර්ථවත් සැලසුමක් ඇති බව පෙන්වීමය. අප විවිධ නියාම ගැන කථා කළත් මෙම සියලු නියාම අබිබවා යන විශ්වයේ හා එහි අඩංගු සියල්ලෙහි නිර්මාතෘගේ විශ්ව නියාමයක් ඇති බවත් එය පමණක්ම සදා ක්‍රියාත්මක ව පවතින බවත් මෙම සාකච්ඡාව තුළින් අපට අවබෝධ කර ගන්නට හැකි වේ යැයි සිතන්නෙමු.
දිගම බෙල්ල සහිත ජිරාෆ්
සතුන් අතරින් දිගම බෙල්ල තිබෙන්නේ ජිරාෆ් ට බව  පිළිගත් සත්‍යයකි. ජිරාෆ්ගේ මොළයට ලේ පොම්ප කිරීම නිසි අයුරින් සිදු නොවුවහොත් එම සත්ත්වයාට ජීවත් වීමේ හැකියාව නැති වී යයි. තම හෘදය වස්තුවෙන් විශාල උසක පිහිටි හිසට රුධිරය නිසි ලෙස පොම්ප කිරීමට නම් අධි පීඩනයකින් එය සිදු විය යුතු වෙයි.  නමුත් දිය බීම වැනි කටයුතු වලට ජිරාෆ්ට තම හිස පහතට ගෙන ආයුතු ම ය. මෙසේ හිස පහතට ගෙන  ඒමේදි  හිස උසින් තිබු  අවස්ථාවේ  තිබු අධි පිඩනයෙන්ම  මොළයට පොම්ප කිරිමක් සිදු වුවහොත් හිසේ නහර  පුපුරා යෑමෙන් මෙම සතාට මිය යාමට ඇති සම්භාවිතාව ඉතා අධිකය. එනමුත් ජිරාෆ්ට එවැන්නක් සිදු නොවන්නේ හිස පහතට ගෙන ඒමත් සමගම බෙල්ලේ පිහිටා ඇති කපාට (වෑල් ව) නිරායාසයෙන්  වැසි ගොස් හිසට ගලා යන රුධිරයේ පිඩනය හා ප්‍රමාණය පාලනය වන හෙයිනි. හිස උසින් පිහිටි විට අධි පිඩනයෙන් ලේ පොම්ප කිරීම හා පහතට හිස ගෙන ඒමේදී එය පාලනය කරන ස්වයංක්‍රීය පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වීමක් නොමැති ව ජිරාෆ්ට ජිවත් විය හැකි තත්ත්වයක් නොමැත. මෙම සැලසුම් ඉබේ හෝ  ක්‍රමක්‍රමයෙන් ජිවත් වන පරිසරයට හැඩ ගැසීමක් තුළින් වර්ධනය විය හැකි දෙයක් නොවේ. ජිරාෆ් මිහිතලය මතට බිහිවු දා පටන් මෙම සැලසුම අනිවාර්යයෙන්ම තිබිය යුතු සාධකයක් වෙයි. ඒසේ නොවුණා නම් ජිරාෆ් බිහි වු දිනම ඉහත හේතුන්  නිසා මරණයට  පත් වි තිබිය යුතුය. ජිරාෆ්ගේ නිර්මාතෘ නිසැකවම සර්වඥානි විය යුතු බවට මෙම සාධකයම ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.
මත්ස්‍යයින්
පරිණාමවාදයට බරපතළ අභියෝග ඉදිරිපත් කරන උදාහාරණ රාශියක් මත්ස්‍ය ලෝකයෙන් ගෙන හැර දැක්විය හැක. එයින් උදාහරණ තුනක් පමණක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නෙමු. දනිළා (Angler Fish) විදින මාළුවා (Archer Fish)  හා (Anableps) යන මාළු වර්ග තුනම වචනානුසාරයෙන් ම පරිණාමවාදයට එරෙහි දිශාවටම පිහිනා යමින් පරිණාමවාදීන් ව අන්ත අසරණත්වයට පත් කරති.
දනිළා (Angler Fish)
මෙම මාළුවාගේ ගැහැනු සතාගේ නාස් ප්‍රදේශයෙන් කෙන්දක් වැනි ඇමක් දක්නට ඇත. මෙම ඇම මගින් අනෙකුත් මත්ස්‍යයින් තමන් වෙත ආකර්ෂණය කොට ගිල දැමීමට කටයුතු කරයි. මෙම වර්ගයේ පිරිමි සතාට ඇමක් ලෙස ක්‍රියා කරන මෙම කෙන්ද නොමැත්තේ උන් කිසි දිනක ආහාර අනුභව නොකරන හේතුවෙනි. මෙම පිරිමි මාළුවාට පෝෂණය ලැබෙන්නේ ගැහැනු සතාට තමා ව අලවා ගැනීමෙන් මාළු වර්ග දෙකේම රුධිර පද්ධති ඒකාබද්ධ කර ගැනීමෙනි. පරිසරය අනුව වෙනස් වෙමින් පියවරෙන් පියවර වර්ධනය වීමක් මෙම මත්ස්‍ය වර්ගයා සම්බන්ධ ව කිසිසේත්ම සිදු විය නොහැක. පරිණාමවාදී විශාරදයිනි, කරුණාකර ඔබේ කෝණයෙන් මෙම අසාමාන්‍ය තත්ත්වය පිළිබඳ විග්‍රහයක් ලබා දෙන්න.
විදින මාළුවා (Archer Fish)
මෙම මත්ස්‍ය වර්ගයට ජලයට ඉහළින් ඇති කුඩා සතුන් වෙත ජලය විදීමෙන් උන් ව ජලය මතට වට්ටවා ගැනීමේ හැකියාව ඇත. ආලෝකය ජලය තුළට ගමන් කිරීමේ දී එය ඇද වී වර්තනයක් ඇති කරවයි. මෙම තත්ත්වය තුළ සිට ජලයෙන් පිටත ඇති ඉලක්කයකට නිවැරදි ව විදීම ඉතාම අපහසු කාර්යයකි. නමුත් මෙම මත්ස්‍යයාට ආලෝකයේ වර්තන කෝණය නිවැරදි ලෙස අවබෝධ කර ගෙන නිශ්චිත ඉලක්කයට විදීමට සහජයෙන් ම හැකියාව ලැබී තිබේ. මෙය පරිණාමවාදී චින්තනය කෙසේ විග්‍රහ කරන්නේ දැයි අසන්නට කැමැත්තෙමු. සෑම සතෙකුටම තම පරිසරයේ අභියෝග ජය ගනිමින් ජීවිතය පවත්වා ගෙන යාමට හැකියාව හා ඥානය ලබා දිය හැක්කේ සර්වඥානී නිර්මාතෘ කෙනෙකුට පමණි.
Anableps
මෙම මත්ස්‍ය වර්ගය සිංහලෙන් හඳුන්වන නම සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් එහි ඉංග්‍රීසි නම පමණක් යොදා ගත්තෙමු. මෙම මත්ස්‍ය වර්ගයට ඇති දෑස් අතිශයින් මවිතකරය. ජලය මත සිට දෑසේ අඩකින් ජලයෙන් මතුපිට දකින්නටත් අනිත් කොටසෙන් ජලය තුළ ඇති දෑ දකින්නටත් මෙම මාළුවාට හැකියාව ඇත. බොහෝ ජීව විද්‍යාඥයින් මෙම මත්ස්‍යා ට ඇස්  හතරක්  ඇති බව සඳහන් කරති. සැබැවින්ම මෙම මත්ස්‍ය වර්ගයේ ඇස් කොටස් දෙකකට බෙදී සැකසී ඇති අතර මෙය කෙලෙස නම් අනුක්‍රමික පරිණාමයකින් බිහි විය හැක්කේ දැයි අසන්නට කැමැත්තෙමු.
ඔටුවා
සත්ව ලෝකයේ එක් විස්මිත නිර්මාණයකි ඔටුවා. කාන්තාරයේ උෂ්ණත්වය සෙ. ග්‍රේ. අංශක 50 ඉක්මවන තත්ත්වයේ අවම වශයෙන් දින අටක් පමණ ජලය හා ආහාර නොමැතිව ජීවිතය රැක ගැනීමට ඔටුවාට හැකියාව ඇත. ජලය ලීටර 130 ක් හා ආහාර කි. ග්‍රෑම්. 30 සිට 50 අතර ප්‍රමාණයක් දිනකට ගැනීමේ හැකියාව ද ඌට ඇත. කාන්තාර පරිසරයට ඔරොත්තු දෙන අයුරින් හිස, නාස් පුඩු, දෙකන්, කාන්තාරයේ තද උණුසුමට මෙන්ම ශීත සෘතුවේ තද සීතලට ඔරොත්තු දිය හැකි ලෙසට සැකසුනු සම සහ ඒ මත වැඩුණු රෝම, මොල්ලිය, පාද, විශේෂයෙන්ම කුර හා දණහිස් පෙදෙස් සකස් වී ඇති ආකාරය සැබැවින්ම මවිතකරය. මෙම මවිතකර සැකසුම අනුක්‍රමික ව පරිසරයට හැඩගැසීමේ පරිණාමවාදී සංකල්පය අනුව කිසිසේත්ම සිදු විය නොහැක්කක් බවට පත් වී ඇත්තේ දැනට ඇති ඔටුවාගේ පිහිටීමේ කිසිම අඩුවක් සහිතව කාන්තාරයේ කටුක පරිසරයට ඔරුත්තු දීමේ හැකියාව ඌට කෙලෙසවත් නොමැති හේතුවෙනි. ඔටුවා දැනට ඇති පරිපුර්ණත්වය සහිතවම මිහිතලය මත විශ්ව නිර්මාතෘ විසින් නිර්මාණය කර ඇති බව මෙයින් සනාථ වන සත්‍යයකි.
මුහුදු කැස්බෑවා
(Ref: Encyclopedia of Animals –Maurice Burton –C.B.P.C. Publishing House)
මුහුදේ ජිවත් වන මුහුදු කැස්බෑවා බිත්තර දමන සමය ළං වු විගස සමූහයක් ලෙසින් වෙරළට පැමිණෙති. මෙය සාමාන්‍ය වෙරළක් නොවේ. මෙය මෙහි එක් වන සියලුම කැස්බෑවුන් දැනට අවුරුදු 20-25 කාලයකට පෙර  මෙළොව එළිය දුටු වෙරළයි. ඔවුන් මෙතරම් දිර්ඝ කාලයක් මුහුදේ ජිවත් වෙමින් කි.මි. 1000 කට වැඩි දුර ප්‍රමාණයක් මුහුදේ සැරිසරා මාලිමාවක් හෝ අන් කිසිදු උපකරණයක මග පෙන්වීමකින් තොරව තමන් මෙළොව එළිය දුටු වෙරළම සොයා ඒම සැබැවින්ම ආශ්චර්යජනක සිද්ධියකි. එම වෙරළේ සාමුහික ව ගැඹුරු වළවල් හාරා බිත්තර දමා එම වළවල් වසා නැවතත් මුහුදේ තමන්ට හුරු ජිවිතය කරා ඔවුන් යති. බිත්තර මෝරා කටුවෙන් එළියට එන කැස්බෑ පැටවුන්ට තනියෙන් තමන්ට ඉහළින් ඇති වැලි ප්‍රමාණය ඉවත් කර ගෙන එළියට ඒමට නොහැක. ඔවුන් එක් තැනක බිත්තර පුපුරා එළියට එන හෙයින් ඔවුන් තමන්ට ඉහළින් ඇති වැලි තල්ලු කර ගෙන ඒමට සාමුහික ප්‍රයන්තයක යෙදෙති.
ඉහළට ආවේ දවල් කාලයේ  හිරු රස්නය වැඩියෙන් ඇති අවස්ථාවේ නම් ඔවුන්  අවසාන වැලි තට්ටුව තල්ලු නොකර අඳුර වැටෙන තෙක්  එතැනම රැදි සිටිති. අව්රශ්මිය වැඩි දවල් කාලයේ  ඔවුන් වෙරළ මතු පිටට පැමිණියා නම් අනතුරු කිහිපයකට ඔවුන්ට මුහුණ පාන්නට සිදු වෙයි. රත් වී ඇති වැල්ලෙන් ඔවුන්ට හානි සිදු විය හැක. අනිත් අතින් දවල් එළියත් සමග ඔවුන් ඉතාමත් පහසුවෙන් ගොදුරු සොයන සතුන්ගේ පහසු ගොදුරක් බවට පත්වන්නට ඉඩ ඇත. බිත්තරයෙන් මොහොතකට පෙර එළියට ආ කැස්බෑ පැටවුන් ට මෙම කරුණු කාරණා  පිළිබඳ ව පුර්ව දැනුමක්  තිබිය නොහැක. නමුත් ඔවුන් හැසිරෙන ආකාරය  දෙස සිතා බලන විට නිශ්චිත වශයෙන්ම ඔවුන්ට මෙවැනි අනතුරු  පිළිබඳ ව පුර්ව දැනුමක් ඇති බව ඉතාම පහසුවෙන් නිගමනය කළ හැක. පෙර පුහුණුවකින් හෝ පුර්වාදර්ශයකින් හෝ තොරව ජන්මයෙන් තමන්ගේ මිහිපිට පැවැත්මේ බාධක මැඩ ගෙන ජිවත් වන්නට මෙම දැනුම ලබා දුන් සර්වඥානි අයෙක් අනිවාර්යයෙන්ම  සිටිය යුතුය. එය එම සත්ත්වයාගේ  නිර්මාතෘ හැර අන් කවරෙක් නම්  විය හැකි ද? ස්වභාව ධර්මය යැයි අප හඳුන්වන ක්‍රියාවලිය දෙස විචාරාත්මක ව අපගේ  නිරික්ෂණය යොමු කරන විට පෙනී යන මහඟු සත්‍යයක් තිබේ. ස්වභාව ධර්මයේ ආශ්චර්යයන් ඉබේ සිදුවන්නක් ද? නැතිනම් අති මහත් විශ්ව සැලැස්මක් හෙවත් නියාමයක කොටසක් ලෙසින් එය ක්‍රියාත්මක වන්නේ ද යන්න අප විසින් සොයා බැලිය යුතු වැදගත් කරුණක් ව පවතී. අප මෙම ලිපියේම සඳහන් කොට ඇති පරිදි ස්වභාව ධර්මය යනු ඵලය මිස හේතුව නොවන බව අවබෝධ කර ගත යුතු ව ඇත.
වේයා
වේ තුඹස ඇතුළත සැලස්ම දෙස ඔබ අවධානය යොමු කළහොත්  නියත වශයෙන්ම මවිතයෙනුත් මවිතයට පත් වනු ඇත. එහි අභ්‍යන්තර සැලැස්ම නුතන ගෘහ නිර්මාණ ශිල්පීය තාක්ෂණය ද පරදවන්නකි. මෙම වේ තුඹස ගොඩ නගා ඇත්තේ ගබඩා කාමර, රෝගී සතුන්ගේ කාමර, වාතාශ්‍රය හා හිරු එළිය ලබා දීම සඳහා විවරයන්, විවිධ කොටස් යා කරන සැලසුම් සහගත මාර්ගයන් සහ අනතුරක දී පිටවීම සඳහා හදිසි පිටවීමේ දොරටු ආදිය ඇතුළු ව තවත් සුවිශේෂී අංග කිහිපයකින් යුක්ත‍වය. මෙහි හැඩය ගොඩ නගා ඇත්තේ ගෘහ නිර්මාණ ශිල්පයේ නිපුණ බවේ පරිපුර්ණතාව ඇතිවය.  මෙම වේ තුඹසේ නිර්මාණකරුවන් වු වේයන් අන්ධයන් බව ඇසුවහොත් ඔබට එය අදහා ගැනීමට අසීරු කරුණක් විය හැක. අන්ධ වේයන්ට මෙම නිපුණතාව ලබා දුන්නේ කවරෙක් ද?
මෙලෙස මිනිසා තමා ගැනත් තමා අවට පරිසරය ගැනත් මොහොතක් සිතා බැලුවහොත් මේ සියල්ල පිටුපස එක්තරා නිශ්චිත සැලසුම් සහගත නියාමයක් ක්‍රියාත්මක වන බව අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත. සර්වඥානි සැලසුම්කරුවෙක් නොමැති ව මෙම අලංකාර සැලසුම් හා නියාමයන් ක්‍රියාත්මක විය හැකි ද? මෙය සැකයෙන් තොරව  අවබෝධ කර ගතහොත් විශ්වයේ හා එහි අඩංගු සියල්ල නිර්මාණය කොට පාලනය කරන පරම අධිපති බලයක් ඇති බව ඔබට නිශ්චිත වශයෙන්ම පිළිගැනීමට හැකි වනු ඇත. මෙම සත්‍යයන් සියල්ල අවබෝධ කර ගැනීමට ඇති මග පිළිබඳ විමසුමක යෙදෙන්නට අපේක්ෂා කරන්නෙමු.
5. මිනිසා සහ මිනිස් ජීවිතය
ජීවිතය යනු ක්‍රියාකාරකම්ය. සියලු ක්‍රියාකාරකම් සමග එක්තරා ප්‍රමාණයක ගැටලු හා ප්‍රශ්න ඈඳී ඇත. මිනිස් ජීවිතයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීම උදෙසා මෙම ගැටලු හා ප්‍රශ්න සාර්ථක අයුරින් විසඳීමට මිනිසා වෙහෙසෙමින් සිටියි. මිනිස් ජීවිතයේ ප්‍රශ්න පිළිබඳ ව ඉතා පළල් කෝණයකින් විමසන විට ඒවා කොටස් දෙකකට වර්ග කළ හැක. මෙම පළල් වර්ගීකරණය අනුව මිනිසාගේ ප්‍රශ්න ලෞකික ජීවිතයේ ප්‍රශ්න හා ලෝකෝත්තර ජීවිතයේ ප්‍රශ්න වශයෙන් බෙදා වෙන් කළ හැක.
ලෞකික ජීවිතයේ මිනිසා මුහුණ පාන ප්‍රශ්න අතුරින්, සෞඛ්‍යය, අධ්‍යාපනය, ජීවනෝපාය, පවුල් ජීවිතය, සමාජ සම්බන්ධතාවන්, පරිපාලනය, රාජ්‍යය පාලනය, නීතිය හා අධිකරණමය කටයුතු මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතාවන් ආදී ක්ෂේත්‍රයන්ගෙන් මතු වන කරුණු වැදගත් ස්ථානයක් ගනියි. මිහිතලය මත ජීවත් වන සෑම මිනිසෙකුටම කුමන අයුරකින් හෝ මෙවන් ප්‍රශ්නයන්ට මුහුණ දීමට සිදුවීම වැළැක්විය විය හැකි කරුණක් නොවේ. මෙවන් ප්‍රශ්නයන් පිළිබඳ ව විසඳුම් සෙවීමේදී මිනිසා දක්වන ප්‍රායෝගිකත්වය, කාර්යක්ෂමතාව හා බුද්ධි ගෝචර භාවය මත මිනිසාගේ සාර්ථකත්වයේ මිනුම් දණ්ඩ සැකසී ඇත.
ලෝකෝත්තර ජීවිතය පිළිබඳ ව මිනිස් සිතේ ප්‍රශ්න මතු වන්නට ආරම්භ වන්නේ වයසින් එක්තරා ප්‍රමාණයකට මුහුකුරා යෑමෙන් පසුව ලබන බුද්ධියේ පරිණතයත් සමගය. මෙම අති වැදගත් ප්‍රශ්නය පිළිබඳ ව අවාසනාවට බහුතරයකින් අප දැක ඇත්තේ කිසිඳු බුද්ධිමය විචාරයකින් තොරව දෙමව්පියන්ගේ පිළිවෙත් අන්ධානුකරණය කිරීමකි. අපට අවශ්‍යතාව තිබේ නම් ලෞකික ජීවිතයේ සිදු වන වැරදි නිවැරදි කරගන්නටත්, එලෙසම අකුසලයන්ට ප්‍රතිකර්ම යොදා ගන්නටත් අවස්ථාවන් විවෘත ව ඇත. මෙවන් අවස්ථාවක් ලෝකෝත්තර ජීවිතයේ තිබේ යැයි කිසිම දහමක් උගන්වන්නේ නැත. ලෝකෝත්තර ජීවිතය අපගේ ලෞකික ජීවිතයේ ඵල නෙළාගන්නා ස්ථානය ලෙසයි අප දකින්නේ. ලෝකෝත්තර නැතිනම් මරණින් මතු ජීවිතයක් සැබැවින්ම තිබේ ද? මරණින් මතු ජීවිතයක අවශ්‍යතාව කුමක් ද?  අප මෙම කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ව ඇත.
සෑම දහමක්ම මරණින් මතු ජිවිතයක් ගැන විශ්වාස කරයි. මරණින් මතු ජිවිතය සත්‍යය බව පිළිගැනිමට අවශ්‍ය වන සහේතුක සාධක  කිහිපයක්  ඇත. අප මෙහි  ආරම්භයේදි  සාකච්ඡා කළ පරිදි සදාචාරය මිනිසාට පමණක් උරුම වු සුවිශේෂි වු ලක්ෂණයකි. සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම සදහා මිනිසා විසින් විවිධ ආකාරයේ දුරාචාරාත්මක ක්‍රියාවන්ගෙන් ඉවත් විය යුතු වෙයි. නමුත් මෙම දුරාචාරයන්  තුළ ක්ෂණික හා තාවකාලික වින්දනයක් හා තෘප්තියක් ඇති බව  අපි දනිමු. මිනිසා වින්දනයට හා තෘප්තියට  ආශා කරයි. මෙම ආශාවන් විසින් මතු කරන්නා වු දිරිගැන්විම් වලට වහල් නොවි සාරධර්ම රකිමින් කටයුතු කිරිම සදහා  විශේෂිත වු ප්‍රයත්නයක මිනිසාට නියැළෙන්නට සිදු වේ. අනිවාර්යයෙන්ම මෙම අධිෂ්ඨානශීලි ප්‍රයත්නය සඳහා යහ විපාක ප්‍රදානය කිරිමක් මිනිසාට සිදු විය යුතුය. එසේ නිරන්තර යහ විපාක ප්‍රදානය කිරිමක් කෙරෙහි විශ්වාසය තැබිමෙන්  මිනිසාගේ යහ ක්‍රියාවන් සඳහා වු නැඹුරු ව  වඩා ශක්තිමත් වනු ඇත. මෙම යහ  විපාක ප්‍රදානය කිරිම මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේ දි සිදු වන්නක් නොවේ. එලෙසින්ම දුරාචාරයෙහි නියැළෙමින් තම හැගිම් වලට වහල් වි කටයුතු කරන්නාට ද විපාක අත්කර දීමක් සිදු විය යුතුය. මෙය ද මිහිතලය මත වු මිනිසාගේ ජිවිතයේ දි නිසි පරිදි සිදුවන්නක් නොවේ.
ඇතැම් දුරාචාර කටයුතු වැළැක්විම සඳහා මිනිසා විසින් නීති සකස් කර තිබුණ ද මේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව ද අපි ඉතා හොදින් දනිමු. එහෙයින් මිනිසාගේ සදාචාරාත්මක ජිවිතයට දිරි දෙන ඔහුට ඒ සඳහා මානසික ව හා කායික ව උනන්දු කරවන හා පොලඹවන ආකාරයේ නිශ්චිත ව තම යහ ජිවිතය සඳහා යහ විපාක ලබා දෙන තැනක් අනිවාර්යයෙන්ම තිබිය  යුතුය. මෙය නිසි ලෙස මිහිතලය මත වු ජිවිතයේ දි  සිදු නොවන නිසා මරණින් මතු ජිවිතයේ දි පරම සාධාරණිය විනිශ්චයකින් පසු මිනිසාට යහ විපාක ප්‍රදානය කිරිමක් පිළිබඳ ව ඔහු විශ්වාස කරයි. මෙම විශ්වාසය නොමැති නම් මිනිසාගේ මිහිතලය මත වු  සදාචාරාත්මක ජිවන සංකල්පය සහමුලින්ම බිඳී යන්නට ඉඩ තිබේ. එලෙසින්ම දුරාචාරයෙහි යෙදෙන්නන්ට ද ඔවුන් ව එයින් වළක්වාලන ආකාරයේ විපාක දිමක් සිදු නොවුවහොත් දුරාචාරය රජයන මිනිස් සමාජයක් බවට අප පත් වනු නියතය. අද ලොවේ සිදුවෙමින් පවතින්නේ මිනිසා මරණින් මතු විපාක අත් විඳින්නට සිදු වන තත්ත්වය අමතක  කොට තාවකාලික ආස්වාදය හා තෘප්තිය පසුපස දිව යමින් මුළු මහත්  මිනිස්  සමාජයම තිරිසන් පිරිසක් බවට පත් කරන්නට කටයුතු කරමින් සිටීමය.
“(නබිවරය) තම ආශාවන් (තෘෂ්ණාවන්) තමන්ගේ දෙවිඳුන් වශයෙන් කව්රුන් පත්කර ගත්තේ ද ඔහු ව නුඹ දුටුවෙහි ද? නුඹ ඔහුට ආරක්ෂකයෙකු ලෙස සිටින්නෙහි ද? ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (නුඹගේ මග පෙන්විම් වලට) සවන් දෙන්නේ යැයි ද  නැතහොත් එය වටහා ගන්නේ යැයි ද නුඹ සිතන්නෙහි ද? ඔවුන් තිරිසනුන් ලෙස මිස වෙන කිසිවක් නොමැත. නැත, ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගියවුන් ලෙස සිටින්නන් ය”. (අල් කුර්ආන් 25 :43 - 44)
මෙයින් අදහස් වන්නේ තම සිතෙහි උත්පාදනය වන්නා වු පහත් හා දුරාචාර හැඟීම් වලට යටත් වන්නා නියත වශයෙන්ම තිරිසනුන්ට වඩා පහත් තත්ත්වයකට පත් වන බවය. මෙම තත්ත්වය වෙනස් කරන්නට නම් මිනිසාගේ සිත් සතන්හි මරණින් මතු ජිවිතයක් ඇති බවත් එහිදි තමන්ගේ මිහිතලය මත වු ජිවිතයේ සියලු ක්‍රියාවන් සදහා විපාක  විඳින්නට  සිදු වන බවත් ඔහුට ඒත්තු ගැන්විය යුතුය. මරණින් මතු ජිවිතය පිළිබඳ විශ්වාසය නිශ්චිත වශයෙන්ම මිනිසා ව නිවැරදි විශ්වාසයකින් හා යහ ක්‍රියාවන්ගෙන් පරිපුර්ණ වු අයෙකු බවට පත් කරන්නට මග සලස්වයි.
අනිත් අතින් අපරාධය හා දඬුවම පිළිබඳ නීති රීති මිහිතලය මත ඇත. එක් අයෙකු මරා දැමුවෙකුටත් මිනිසුන් හැට ලක්ෂයකට වඩා මරා දැමු හිට්ලර්ටත් උපරිමයෙන් දිය හැකි වන්නේ එක හා සමාන මරණ දඬුවමක් පමණි. තමන් කළ වරදේ ප්‍රමාණය අනුව මෙම දඬුවමේ සාධාරණිත්වයක් නොමැති බව ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. එහෙයින් තම වරදේ ප්‍රමාණය අනුව දඬුවම් ලබා දෙන තැනක් තිබිය යුතු බව පිළිගැනිමට මිනිසාට අපහසුතාවක් තිබිය නොහැක. එය ද සිදු විය හැක්කේ මරණින් මතු ජිවිතයේ පමණක් බව අපට පිළිගන්නට සිදු වේ. එයට ප්‍රධාන හේතුව පරම සාධාරණීය යුක්තිය පසිඳලීමේ පිළිවෙතක් සකස් කිරීමේ හැකියාව මිනිසාගේ ශක්තියට පරිබාහිර වුවක් වන අතර පවතින  පිළිවෙත් ක්‍රියාත්මක කිරීමේදී වුවද මිනිසාටම ආවේණික වූ බොහෝ දුර්වලතාවන් හේතුවෙන් ම  එහි සර්ව පරිපුර්ණ සාධාරණත්වයක් හා සාර්ථකත්වයක් සහතික කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.
මෙම දඬුවම් දිම සඳහා සියලුම දහම් අපායක් පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කොට ඇත. මෙය පාරභෞතික සංකල්පයකි. අවාසනාවට ඇතැම් දහම් මෙම පාරභෞතික සංකල්පය භෞතික එකක් බවට පත් කොට ඇත. අපාය පිහිටා ඇත්තේ පොළොව යට මෙතරම් ගැඹුරකින් බව පවසන විට  එය භෞතික තත්ත්වයට පත් වෙයි. මෙමගින් එම සංකල්පය මිත්‍යාවක් බව සිතන්නට බොහෝ විට ඉඩ ඇත. මේ හේතුවෙන් ම මිනිසාගේ සදාචාර සම්පන්න ජීවිතයට බෙහෙවින් උපකාරී වන සාධකයක් වූ මරණින් මතු ජීවිතය අර්ථ ශුන්‍ය දෙයක් බවට පත් ව ඇත.
මරණින් මතු විපාක විඳින්නට සිදු වන බව නිශ්චිත ව විශ්වාස කරන්නා දුරාචාරයෙන් හා අපරාධයන්ගෙන් වැළකි සිටිමට ප්‍රයත්නයක යෙදීම යථාර්ථයකි. නමුත් මරණින් මතු ජිවිතයක් ඇති බව පවසන අතර එය මිත්‍යාවක් හා අවිද්‍යාත්මක එකක් බවට පත් කොට තිබේ නම් වින්දනය හා තෘප්තිය සොයන මිනිසා තිරිංග නොමැති ව දුරාචාරයට හා අපරාධයන්ට යොමු විම වැළැක්විය හැකි කරුණක් වන්නේ කෙලෙස ද?
අනිත් අතින් තම මරණින් පසු උපදින්නේ තමා ම නොවන බවත් තමන්ගේ කුසල් හා අකුසල් හි විපාක විඳින පුද්ගලයා තමා නොවන බවත් උගන්වන්නේ නම් එය කෙසේ නම් මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේ දි ඔහු ව සදාචාර සම්පන්න යහ අයෙකු බවට පත් කර වන්නට උපකාරි වන්නේ දැයි විමසන්නට කැමැත්තෙමු. තමාගේ සියල්ල අනිත්‍ය බවත්  තම මරණින් පසු සිදු වන්නේ  අනිත්‍ය වු තමා විනාශ වි ගොස් තමන්ගේ යහ හා අයහ ක්‍රියාවන්ගේ විපාක විඳින සහමුලින්ම වෙන අයෙකු බිහි විම පමණක් යැයි උගන් වන විට අප ඇදී යන්නේ කුමන දිශාවකට ද? තම මරණින් පසු උපදින්නේ තමා ම නොවේ නම් වින්දනය හා තෘප්තිය සොයන මිනිසාට තම සිතේ උපදින සියලු ආශාවන්ට වහල් වි සිමාවකින් තොරව දුරාචාරයේ පසුපස දුව යන්නට දිරි දීමක් මෙයින් සිදුවෙනවා නොවේ ද?
කරන ලද කිසියම් අකුසලයක් සඳහා මරණින් මතු නැවත ඉපදී විපාක විඳින්නේ නම් තමා විසින් සිදු කරන ලද අකුසලය සඳහාම තමා විපාක විඳින්නේ දැයි අදාළ තැනැත්තාට අවබෝධ වේ ද? පෙර ජීවිතයක දී කරන ලද අකුසලයක් සඳහා නැවත ඉපදුණේ සුනඛයෙකු ලෙස නම් එකී සුනඛයාට තමා සුනඛයෙකු ලෙස ඉපදුණේ තමා විසින් පෙර ජීවිතයේදී කරන ලද අකුසලයක් නිසා දැයි දනියි ද? දැනේ ද?
සුනඛයෙකු ලෙස නැවත ඉපදී එකී සුනඛයා ලද අහර අනුභව කර ගසක සෙවණේ සැනසිල්ලේ හිඳ සිටීම හෝ නිදා සිටීම බොහෝ විට අපි සියලු දෙනා දැක ඇත්තෙමු. කිසිදු විඳවීමක් නොමැතිව සුනඛ සුවයෙන්ම කල්ගත කරයි. ඌට තමා සුනඛයෙකු ලෙස හෝ සුනඛ වේදනාවන්ට මුහුණ දී සිටින්නේ පෙර ජීවිතයක දී කරන ලද අකුසලයක් නිසාවෙනි යන්න නියත වශයෙන්ම නොදනී යන්න බුද්ධි ගෝචර සියලු දෙනා එකහෙළාම පිලිගනිතියි හුදෙක්ම විශ්වාස කරන්නෙමු.
සුනඛ උපහැරණය මිනිසාට වූවද උචිත යැයි සිතන්නෙමු. මෙම ජීවිතයේ දඬුවම් ලබන්නා වූවද තිලිණ ලබන්නා වූවද තමාගේ පෙර ජීවිතයේ ඵලවිපාකය නිසාම තමාට හිමි දේ ලැබී ඇතැයි යන චේතනාව දැනිය යුතුය යන්න සඳහන් කළ යුතුය. අපට එසේ දැනේ ද යන්න ගැන කරුණාකර මොහොතකට සිතා බලන්න.    
මිනිසාගේ හෝ අන් ජීවියෙකුගේ හෝ ක්‍රියා පිළිබඳ මරණින් මතු විපාක දීම සිදු කිරීමේ යාන්ත්‍රණය කුමක් ද යන්න බොහෝ දහම් හි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කොට නොමැත. ජීවියෙකුගේ ජීවිත කාලයක හොඳ නරක සටහන් හෝ වාර්තා තිබෙන්නේ කොහේ ද? මෙය සිදුවන නියාමයක් පිළිබඳ සඳහනක් ඇත. මෙම නියාමය හෝ සිද්ධාන්තය ඉබේ ඇති වී ක්‍රියාත්මක විය හැකි ද? ඵලයක් ඇති වීමට පාදක වූ හේතුව විග්‍රහ නොකොට එම හේතුව අහඹුවක් ලෙස දැක්වීමට උත්සාහ කිරීම පිළිගත හැක්කේ කෙලෙස ද?
ඉස්ලාමය මෙයට හාත්පසින්ම වෙනස් වු ආකාරයකින් මෙම සංකල්පය ඉදිරිපත් කරයි. එය මිනිසාගේ විචාර බුද්ධියට එකඟ විය හැකි මෙන්ම නුතන විද්‍යාත්මක සාධක පදනම් කර ගෙන කරන්නා වු ඉදිරිපත් කිරීමක් ලෙස ඔබට දැකිය හැකිද යන්න පිළිබඳ ව කරුණාකර විමසුමක යෙදෙන ලෙස ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. නිවැරදි විශ්වාසය මෙන්ම සදාචාර සම්පන්න ජිවිතයකට ඉස්ලාමීය මරණින් මතු ජිවිතය පිළිබඳ ව වු සංකල්පය දිරිගැන්විමක් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ ව නිගමනය කළ යුතු ව ඇත්තේ ඔබමය. පළමු ව මරණින් මතු ජිවිතයක් සහතික වශයෙන් ම ඇති බවත් එහි දී මිහිතලය මත කළ ක්‍රියාවන්ට විපාක විඳින්නට සිදුවන්නේ ඔබටමය යන අදහස අල් කුර්ආනය අවුරුදු 1400කට පෙර ඉදිරිපත් කර ඇති  ආකාරය විමසා බලමු.
“(මිය ගොස් දිරාපත් වි පස් බවට පත් වුණු පසු) ඔහුගේ ඇට සැකිල්ල  අපි එක් රැස් (කොට ඔහු ව පුනර්නිර්මාණය) නොකරන්නෙමු යැයි මිනිසා සිතන්නෙහි ද? නොඑසේය, ඔහුගේ ඇඟිලි තුඩ පවා (පෙර තිබු ආකාරයෙන්ම) තැබිමට තරම් අපි බලසම්පන්න වන්නෙමු”. (අල්කුර්ආන් 75 : 2 - 4)
මිනිසාගේ සිත් තුළ නළියන නිරන්තර සැකයක්, එනම් තමා මියගොස් දිරාපත් වී පස් බවට පත් වුවායින් පසුව කෙසේ නම් ඔහු ව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නය මතු කරමින්  මිනිසාට  ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයේ විද්‍යාත්මක සාක්ෂියක් සහිත ව අල් කුර්ආනය පිළිතුරු සපයන ආකාරය සැබැවින්ම සෑම මිනිසෙකුගේම අවධානයට ලක් විය යුතු කරුණක් බව අපි දකින්නෙමු. මිනිසාගේ ඇඟිලි තුඩ එකිනෙකට වෙනස් බව එනම් එක් අයෙකුගේ ඇඟිලි තුඩ තවත් අයෙකුගේ ඇඟිලි තුඩට සමාන නොවන බව පළමු වරට සොයා ගනු ලැබුවේ 1880 දී බ්‍රිතාන්‍ය ජාතික ප්‍රැන්සිස් ගෝල්ඩ් විසිනි. ඇඟිලි තුඩෙහි ඇති මෙම සුවිශේෂත්වය කෙසේ නම්  අවුරුදු 1400 කට පෙර පහළ වු අල් කුර්ආනය අපට දක්වන්නේ ද යන්න සිතා බැලිය යුතු වැදගත් කරුණක් නොවන්නේ ද? අපට උපතින්ම ලැබෙන හැඳුනුම් පත ඇඟිලි තුඩයි. එය තමා ම බව සනාථ කරන වෙනස් කළ නොහැකි ප්‍රබලතම සාක්ෂියයි. මෙම ප්‍රාතිහාර්යජනක සත්‍යය සමග දෙවිඳුන් මරණින් මතු ජිවිතය පිළිබඳ ව අපට දන්වන්නේ නම් එම ජිවිතය ප්‍රතික්ෂේප කරන්නට අපට හැකියාවක් තිබේ ද? අනිත් අතින් පුනර්නිර්මාණය කරනු ලබන්නේ  මිය ගිය මිනිසා ම  බව සහතික කරන පණිවිඩයත් මෙම කුර්ආන් වැකිය තුළ  ගැබ් වි තිබෙනවා නොවේ ද? එසේ නම් මිහිතලය මත වු තමාගේ ජිවිතය සම්බන්ධ ව කෙතරම් දුරට ප්‍රවේශම් විය යුතුද යන්න ගැන අවවාදාත්මක පණිවිඩයක් මෙම අල් කුර්ආන් වැකියෙහි අඩංගු වි තිබේ ද යන්න ගැන අප අනිවාර්යයෙන්ම සිතා බැලිය යුතු නොවන්නේ ද? සදාචාරය සම්බන්ධ ව අසාර්ථක රටක් යන තත්ත්වය කරා වේගයෙන් ගමන් කරමින් සිටින්නා වූ අපගේ මාතෘ භුමිය අපට හඬ නගා පවසන්නේ කුමක් ද? මත්පැන් පරිභෝජනය, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මිනිස් ඝාතන හා සිය දිවි නසා ගැනීම් වැනි දුරාචාරී ක්‍රියා පිළිබඳ ව ලෝක වාර්තා පිහිටු වන තත්ත්වයකට ආසන්න ව ඇත්තේ කුමක් නිසා ද යන්න අප සැවොම සිතා බැලිය යුතු ව තිබෙනවා නොවේ ද? අප මෙතෙක් අනුගමනය කළ පිළිවෙත් හි අඩුපාඩුවක් පිළිබඳ පැහැදිලි මග සලකුණක් මෙයින් හෙළිදරවු නොවන්නේ ද?     
අපාය පිහිටා ඇති ස්ථානය ගැන නිශ්චිත ස්ථානයක් ‍නොකියන අල් කුර්ආනය එය පාරභෞතික වුවත් මිනිසාට අපහසුතාවකින් තොරව විශ්වාස කළ හැකි අයුරින් විද්‍යාත්මක සාධකයන් අපාය පිළිබද ව සඳහන් වැකියන් හි අඩංගු කොට ඇත.
“කවුරුන් අපගේ සංඥාවන් (අල්කුර්ආනයේ ඉගැන්විම්) ප්‍රතික්ෂේප  කරන්නේ ද ඇත්තෙන්ම (විනිශ්චය දිනයේ දි) අපි ඔවුන්ව නිරයේ ගින්නට යවන්නෙමු. ඔවුන්ගේ  සම (එම ගින්නෙන්) දැවි විනාශ වි යන සෑම විටම පිලිස්සීමේ වේදනාව (නිරන්තරයෙන්) දැනීම සඳහා ඒ වෙනුවට අලුත් සමක් මාරු කරමින් සිටින්නෙමු. අල්ලාහ් අති බල සම්පන්නය. ප්‍රඥාවන්තය.” (4:56)
ඉහත අල් කුර්ආන් වැකිය දැනුම් දෙන්නේ පිලිස්සිමේ වේදනාව දැනෙන්නේ සමෙන් බවය. ඉතා නුතන ශරිර ව්‍යුහ විද්‍යාත්මක  (Anatomy) සොයා ගැනිමක් නම් සමෙහි වේදනා ග්‍රාහකයන්  (Pain Receptors) ඇති බවත් සම සහමුලින්ම විනාශ වි ගියායින් පසු වේදනාව නොදැනෙන බවත්ය. ලෝක ප්‍රසිද්ධ ව්‍යුහ විද්‍යාඥයෙකු වු තායිලන්තයේ චියෑංමායි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තගතත් තෙජසන් හට (Prof. Tagatat Tejesen) මෙම අල් කුර්ආන් වැකිය මුස්ලිම් විද්‍යාඥයින් විසින් පෙන් වු අවස්ථාවේදි අල් කුර්ආනය අවුරුදු 1400 ක් පැරණි යැයි දැන ගත් විට මවිතයෙනුත් මවිතයට පත් විය. ඉතා නුතන විද්‍යාත්මක සොයා ගැනීමක් කෙසේ නම් අවුරුදු 1400කට පෙර අල් කුර්ආනයට ඇතුළු විය හැකි වන්නේ දැයි ඔහු විසින් විමසා සිටින ලදී. අල් කුර්ආනයේ ‍ඓතිහාසික පසුබිම පැහැදිලි කිරිමෙන් පසු එහි ඉංග්‍රිසි පිටපතක් ලබා ගත් මෙම මහාචාර්ය වරයා අවුරුද්දක් මුළුල්ලේ  අල් කුර්ආනය හදාරා සෞදි අරාබියේ රියාද්  නුවර පවත්වනු ලැබු අට වැනි වෛද්‍ය  සම්මන්ත්‍රණයේදි ප්‍රසිද්ධියේම ඉස්ලාමය වැලඳ ගත්තේය. ඉස්ලාමය වැලද ගනිමින්  එතුමා ප්‍රකාශ කළේ පාර භෞතික සාධක මෙවන් නුතන විද්‍යාත්මක සත්‍යයන් සමග මිනිසාගේ අවධානයට  ඉදිරිපත් කිරිමෙන් එය විශ්වාස කිරිමට හා පිළිගැනීමට මිනිසාට පහසුවක් ඇති වන බවයි. එතුමා මෙම සම්මන්ත්‍රණයේ දි කළ කථාව අදත් youtube.com වෙබ් අඩවියෙන් සැමට  දැක අසා ගන්නට හැකියාව ඇත. අප මෙම ලිපියෙන් සාකච්ඡා කළේ තර්කයට නුතන විද්‍යාවට බුද්ධියට හා විචාරයට පිළි ගත හැකි අයුරින් මිනිසාගේ මරණින් මතු ජීවිතය පිළිබඳ ව විශ්වාස කිරීමට පාදක වන්නා වූ කරුණු ඔබගේ බුද්ධිමය අවධානය පිණිස ඉදිරිපත් කිරිමය.
6. මිනිසාගේ දහම
ඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් සාධකය පිළිබඳ අවධානය යොමු කිරීම පැහැර හැරීමයි. දහම පිළිබඳ ව විග්‍රහයන්හි යෙදෙන අපි මිනිසා එය පිළි ගත යුතු බවට මතවාදයන් ඉදිරිපත් කරන්නෙමු. එය කිසිසේත්ම සුදුසු හා විද්‍යාත්මක පිළිවෙතක් නොවන බව අපගේ මතයයි. මිනිසාගේ ස්වභාවිකත්වය පිළිබඳ ව අවධානය යොමු නොකොට තිබෙන දහම ඔහුට සුදුසු යැයි තීන්දු කිරීම කිසිසේත්ම සාධාරණීය පිළිවෙතක් ලෙස පිළිගැනීම අනුමත කළ හැක්කේ කා හටද? එහෙයින් පළමු ව මිනිසාගේ ස්වභාවිකත්වය පිළිබඳ ව කරුණු විමසා එම තත්ත්වයන්ට වඩාත් උචිත මග පෙන්වීම කුමක් ද යන්න පිළිබඳ ව සාකච්ඡා කරමු.
සත්ව ලෝකයේ සාමාජිකයෙකු වන මිනිසාට පමණක් දහමක අවශ්‍යතාව මතු වී ඇත්තේ කුමන හේතුන් නිසා ද? එහෙයින් මිනිසා ව අවබෝධ කර ගැනීම පිණිස මිනිසාගේ හා සත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයින් අතර ඇති මුලික වෙනස්කම් කිහිපයක් පිළිබඳ ව පළමු ව විමසා බලමු. එළදෙනක් තම පැටියා ලොවට බිහි කළ විගස මිහිතලයට එකතු වන මෙම නව ජීවියාගේ ක්‍ෂණික අවශ්‍යතාව වන්නේ කුසගින්න හා පිපාසය සංසිඳුවා ගැනීමය. මෙම අවශ්‍යතාව ඉටු කර ගන්නා ආකාරය හෝ ඉටු කර ගත හැකි ස්ථානය පිළිබඳ ව දැනුවත් කිරීමක් එළදෙන විසින් තම පැටියාට ලබා දෙන්නේ නැත. මිනිත්තු කිහිපයකට පෙර දක්වා එළදෙනගේ ගර්භාෂයේ සිටි මෙම පැටියා ඉන් පිට ව ආ පසු තම ජීවිතයේ නව පරිසරයට අනුව ජීවිතය සකස් කර ගන්නට දැනුම ලබා ගන්නේ කුමන මාර්ගයකින් ද? කිසිවෙකුගේ මගපෙන්වීමකින් තොරව තම ආහාරය තිබෙන තැන හොඳින් දන්නෙකු ලෙස වැස්සිගෙන් කිරි උරා බොන්නට මෙම නව ජීවියා කටයුතු කිරීම සැබැවින්ම මවිත කර නොවන්නේ ද? කරුණාකර සිතා බලන්න.
මනුෂ්‍ය දරුවෙකු ලොවට බිහි වූ විට මෙලෙස ක්‍රියා කිරීමේ හැකියාව එම දරුවාට තිබේ ද? අලුත උපන් දරුවෙකුගේ අසරණභාවය අප සැම හොඳින් දන්නා කරුණකි. මවගේ ආදරය, සෙනෙහස, කරුණාව නොලැබුණා නම් දින දෙකකට වඩා ජීවත් වීමේ වාසනාව මෙම දරුවාට නොලැබී යනු ඇත. මෙම සාධක නිරීක්ෂණය කිරීම මත අපට එළඹිය හැකි නිගමනයන් කුමක් ද? සත්ව ලෝකයේ සාමාජිකයින් ලොවට බිහි වන්නේ ජීවත් වීම සඳහා වූ පුර්ව ජන්ම සැලැස්මක් සහිත බව අපට එළඹිය හැකි පළමු නිගමනයයි. මේ හේතුව නිසාම සත්වයින්ට මග පෙන්වීමක අවශ්‍යතාවක් මතු වන්නේ නැත. එනිසා උන්ට දහමක හෝ පාලකයින්ගේ අවශ්‍යතාව අදාළ නොවන තත්ත්වයක් පැහැදිලි ව දක්නට ඇත. මනුෂ්‍ය දරුවාගේ තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස් ය. මිනිසාට පරිපුර්ණත්වයෙන් සපිරි විශ්වීය මග පෙන්වීමක් (Complete Universal Guidance) අවශ්‍ය වන තවත් වැදගත් සාධකයක් දෙස ද අපගේ අවධානය යොමු කරමු.
ලොව සියලු දෑ මූලික වශයෙන් මිනිසාගේ ප්‍රයෝජනය සඳහාම ද? පරිසරය ඉමහත් ලෙස වෙනස් කළ හැක්කේ මිනිසාට පමණක් ද? ඔහුට මෙම සුවිශේෂී හැකියාව ලැබී තිබෙන්නේ කුමක් නිසා ද? මිනිසා පරපුරෙන් පරපුරට මිහිතලයේ පාලකයා ලෙස  ක්‍රියා කරන බව සත්‍යයක් සේ පිළිගැනීමට අපට දුෂ්කරතාවක් තිබේ ද? පාලකයෙකුට යහ පාලනයක් සඳහා මඟ පෙන්වීමක් හා නීති පද්ධතියක් අවශ්‍ය නොවන්නේ ද? මෙම මඟ පෙන්වීම හා නීති ක්‍රමය ඔහුටම සාදා ගත හැකි එකක් ද? මේ සියල්ල හැසිරවීමට ඔහුටම  සුවිශේෂී වූ ඥානයක් අවශ්‍ය නොවන්නේ ද?
මිනිසා මිහිතලයේ පාලකයා හා භාරකරුය
මිනිසා මිහිතලයේ භාරකාරයෙකු ලෙස හා පාලකයෙකු ලෙස ක්‍රියා කරන බව අප අවට සිදු වන දෑ නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම නිගමනය කළ හැකි සත්‍යයක් බවට පත් ව ඇත. අන් කිසිම ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ඇති බව දකින්නට නොමැත. මිනිසා අන් සියලු ජීවීන්, පරිසරය, හා එහි අඩංගු දෑ පාලනය කරන, වෙනස් කරන, හා පරිහරණය කරන අයෙකු ලෙස දැක්වීම ඉතාමත්ම නිවැරදි මතයක් යැයි අපි සිතන්නෙමු. උදාහරණයක්‌ ගෙන සාකච්ඡා කළහොත් මෙය වඩාත් පැහැදිලි වනු ඇතැයි අපගේ අදහසයි. සත්ව වර්ගයාගෙන් 500 ක් හා මිනිසුන්ගෙන් 500 ක් තෝරා ගෙන මෙයට පෙර ජනාවාස නොවූ ප්‍රදේශ දෙකක වෙන් වෙන් වශයෙන් පදිංචි කොට ඉන් අවුරුදු 5 ක් හෝ 10 ක් වැනි කාලසීමාවකට පසු එම ප්‍රදේශ දෙක නිරීක්ෂණය කිරීමට ගියහොත් දැකිය හැකි තත්ත්වය ගැන ඔබට සිතා බැලිය හැකි වන්නේ ද? සතුන් ගෙන ගොස් හැර දැමු ප්‍රදේශයේ දැනෙන ආකාරයේ කිසිදු වෙනසක් දැකිය නොහැකි වනු ඇතැයි අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. තම ජීවිතය ගෙන යෑමට පමණක් අවශ්‍ය වන ප්‍රමාණයේ අවම පරිහරණයකින් යුක්ත ව පරිසරය උපයෝගී කර ගෙන තිබෙන ආකාරය අපට දකින්නට හැකි වනු ඇත. සතුන්ගේ හැකියාව හා පරිසරය පිළිබඳ ව කටයුතු කළ හැකි ප්‍රමාණයේ සීමා ව එයයි.
නමුත් මිනිසුන් පදිංචි කළ ප්‍රදේශය නිරීක්ෂණය කරන්නට පෙරම ඔබගේ මනස තුළ මතු වන්නේ කුමන ආකාරයේ චිත්ත රූප ද? සැබැවින්ම ආරම්භයේ එම ප්‍රදේශය දුටුවෙකු මවිතයට පත් කළ හැකි  අයුරින් හා මිනිසුන් පදිංචි කළේ මෙම ප්‍රදේශයේ දැයි සිතෙන තරමට අදහාගත නොහැකි අයුරින් එම ප්‍රදේශය සහමුලින්ම වෙනස් කොට ඇති ආකාරය නියත වශයෙන්ම ඔබට දැකිය හැකි වනු ඇත. මෙයින් පැහැදිලි වන්නේ සත්ව වර්ගයා තම පැවැත්ම සඳහා පමණක් මිහිතලය හා එහි පරිසරය සීමිත අයුරින් ප්‍රයෝජනයට ගන්නා අතර මිනිසාගේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස් වූ එකක් බවය.
මිහිතලය හා එහි අඩංගු සියලු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කර ඇති බව හා එහි පාලකයා හා භාරකාරයා ලෙස ඔහු ක්‍රියා කරන බව මෙයින් ඉතා පැහැදිලි ව පෙනෙන්නට ඇති සත්‍යයකි. මෙම සුවිශේෂී හැකියාව මිනිසාට නොලැබී තිබුණා නම් මිහිතලය මත සිදු වී හා සිදුවෙමින් පවතින අදහාගත නොහැකි වෙනස් වීම් දකින්නට අපට අවස්ථාව නොලැබී යන්නට ඉඩ තිබුණි. අල් කුරානය මෙම අදහස ඉතා අලංකාර ලෙස පැහැදිලි කර තිබෙන අයුරු බලමු.
“ඔහුමය (අල්ලාහ්මය) ඔබ ව මිහිතලය මත (පරපුරෙන් පරපුරට) උරුමක්කාරයින් බවට පත් කෙරුවේ.” (35:39)
මිහිතලයේ පාලකයා හා භාරකරු ලෙස මිනිසා ක්‍රියා කරන බව ඉහත විග්‍රහයෙන් හෙළිදරවු වන සත්‍යයක් බව පිළිගැනීමට කිසිවෙකුට අපහසුතාවක් ඇතැයි අපි නොසිතන්නෙමු. මිනිසා හැර අනෙකුත් සතුන්ට මෙම වගකීම පැවරී නොමැති බව ද පැහැදිලි ව පෙනෙන්නට තිබෙන කරුණකි. මිනිසාට පැවරී ඇති මෙම භාරධුර වගකීම නිසි ලෙස ඉටු කිරීමට නම් ඔහුට නිවැරදි මෙන්ම සාධාරණය හා යුක්තිය මත පදනම් වූ යථාර්ථවාදී මගපෙන්වීමක අවශ්‍යතාව මතු වෙනවා නොවේ ද? එය විශ්වීය උපයෝගීතාවකින් යුක්වුවක් ද විය යුතුය. මෙම මගපෙන්වීම ඔහු විසින්ම සකසා ගත හැක්කක් ද? එහෙයින් මනුෂ්‍යයාට නිවැරදි මඟපෙන්වීමක අවශ්‍යතාව මෙම කරුණු වලින් ඉතා පැහැදිලි අයුරින් සනාථ වන්නකි.  
මනුෂ්‍ය දරුවාට අනිවාර්යයෙන්ම උපන් පළමු දවසේ සිට මිහිතලයෙන් සමු ගන්නා දිනය දක්වා මග පෙන්වීමක හා පාලනයක අවශ්‍යතා ව සහතික වශයෙන්ම අවශ්‍ය ව ඇත. මිනිස් දරුවාගේ පළමු පාලිකාව හා මග පෙන්වන්නිය මව වන අතර ක්‍රමයෙන් මෙම ලැයිස්තුවට පියා, ගුරුවරුන්, තම සේවා ස්ථානයේ, පොලිසියේ, උසාවියේ, රාජ්‍ය අංශයේ, බන්ධනාගාර ආදියේ නිලධාරීන් එකතු වනු පෙනෙන්නට ඇත. මිනිසා කැමති වුවත් අකමැති වුවත් ඔහුට ජීවත් වන්නට සිදු වී ඇත්තේ මෙවන් වාතාවරණයක ය. මෙම තත්වය යටතේ මිනිසාට නිවැරදි ව කටයුතු කරන්නට නම් අවශ්‍ය වන්නේ පරිපුර්ණත්වයෙන් සපිරි විශ්වීය මග පෙන්වීමක් (Complete Universal Guidance) බව පිළිගන්නට අපට දුෂ්කරතාවක් ඇතැයි නොසිතන්නෙමු. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා වූ ඇති මනුෂ්‍ය ජීවිතයේ සියලුම පැති කඩයන් පිළිබඳ ව ඉගැන්වීම් මෙම මග පෙන්වීමෙහි අඩංගු විය යුතුය. ආධ්‍යාත්මික වර්ධනය, අධ්‍යාපනය හා දැනුම, සෞඛ්‍යය, පවුල් ජීවිතය, ආර්ථිකය, දේශපාලනය, සමාජ ප්‍රශ්න, සමාජ සම්බන්ධතාවන්, රාජ්‍ය පාලනය, යුද්ධ, සිවිල් හා අපරාධ නීති ක්‍රම, නීතිය හා යුක්තිය පසිඳලීමේ ව්‍යුහයන් ඇතළු මනුෂ්‍ය ජීවිතයේ සියලුම පැති කඩයන් මෙම මග පෙන්වීමට ඇතුළත් විය යුතුය යන්න අපගේ මතයයි. එය හුදෙක් ලෝකෝත්තර අපේක්ෂාවන් පමණක් ඉලක්ක කර ගත් ඉගැන්වීමක් නොවිය යුතුය. මිනිසාගේ අවසාන ඉලක්කය ලෝකෝත්තර ජයග්‍රහණය බව සැබෑවකි. නමුත් අති මහත් බහුතරයක් වූ ගිහි පිරිසගේ ලෞකික ජීවිතයේ සම්මා මග පෙන්වීමකින් තොරව මනුෂ්‍ය වර්ගයාව කෙසේ නම් ලෝකෝත්තර ජයග්‍රහණයක් කරා යොමු කරන්නේ ද යන ප්‍රශ්නය මතු වෙනවා නොවේ ද?
මිනිසාට උපතේ සිට මරණය දක්වා පාලකයින් සිටින බව ඉහත කරුණු සලකා බැලීමෙන් අපහට පෙනෙන්නට ඇති සත්‍යයකි. මෙම සියලු භෞතික පාලකයින් මගින් කරන්නට හැකි වන්නේ මිනිසාගේ බාහිර ක්‍රියාකාරකම් පාලනය කිරීමට කටයුතු කිරීම පමණි. මෙය මිනිසාගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට ඇති වඩාත් යෝග්‍යය පිළිවෙත නොවන බව මිහිතලය මත සිදු වෙමින් පවතින්නා වූ දෑ කෙරෙහි අවධානය යොමු කරන විට පැහැදිලි ව පෙනෙන්නට ඇති සත්‍යයකි. මිහිතලය මත වසංගතයක් ලෙසින් වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල අපට හඬ නගා පවසන්නේ කුමක් ද? මිනිසාගේ ක්‍රියාවන් පාලනය කිරීම සඳහා සිටින්නා වූ සියලු භෞතික පාලකයින්ගේ අසාර්ථකත්වය නොවේ ද?                 
මෙම සියලු භෞතික පාලකයින්ට කළ හැකි ව ඇත්තේ මිනිසාගේ ක්‍රියාවන් එක්තරා ප්‍රමාණයකට පාලනය කිරීමයි. නමුත් ක්‍රියාවට මුල් වන්නේ ඔහුගේ සිතයි. මිනිස් සිත බාහිර සියලු පාලකයින්ගෙන් බැහැර වුවකි. මිනිස් සිත පාලනය නොකර ඔහුගේ ක්‍රියාකාරකම් පමණක් පාලනය කිරීමෙන් සිදුවන්නේ ඔහු බහු චරිත ඇත්තෙකු බවට පත්වීමයි. පාලකයාගේ පාලනයේ බලපෑම ඇති විට යහකම සුරකින්නටත් එයින් බැහැර වූ විගස තමාගේ සුපුරුදු චරිතය වෙත යොමු වන්නටත් කටයුතු කිරීම බොහෝ විට සිදු වන්නක් බවට පත් ව ඇත. මෙ මගින් ඔහු යොමු වන්නේ බහු චරිත රංගනයකටය.   නිවැරදි මග පෙන්වීමකින් මිනිසාගේ සිත යහ මගට යොමු කර එය පාලනය කිරීම සඳහා වූ වඩාත් යෝග්‍ය පිළිවෙතකින් තොරව ඔහුගේ ක්‍රියාකාරකම් පමණක් භෞතික පාලකයින් මගින් පාලනය කරන්නට කටයුතු යෙදු විට මිනිසා විකල්ප මාර්ග යොදා ගනිමින් තම සිතේ උත්පාදනය වන වැරදි චින්තනයන් පදනම් කර ගෙන නුසුදුසු ක්‍රියා වෙත යොමු වීම වැළක්විය හැක්කක් නොවේ. ඔහුගේ සිත ඔහුටම පාලනය කර ගත හැකි ද? මේ සඳහා වූ විශ්වීය උපයෝගීතාවකින් යුත් මග කුමක් ද? මිනිසාගේ සිත පාලනය කළ හැකි පාලකයෙක් සිටින්නේ ද? එම පාලකයාගේ ස්වභාවය කුමක් විය යුතු ද? එවන් පාලකයෙකුට අවනත වීමෙන් සත්‍යය වශයෙන්ම මිනිසාට තම සිත පාලනය කොට සම්මා ජීවිතයකට යොමු වීමේ හැකියාවන් පිළිබඳ ප්‍රායෝගිකත්වය සමාජ සිදුවීම් තුළින් සනාථ වී තිබේ ද?  මේ සියල්ල සවිස්තරාත්මකව පසුව සාකච්ඡා කරමු. මීළඟට මිනිසා හා සත්ව ලෝකයේ සාමාජිකයින් අතර ඇති සමානකම් දෙස අපගේ අවධානය යොමු කරමු.    
7. මිනිසා  සහ සත්වයින් අතර ඇති සමානකම්                                    
පහත සඳහන් කරුණු මිනිසා හා සත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයින් අතර පොදුවේ දකින්නට ඇති ප්‍රධාන සමානකම් ලෙස විස්තර කළ හැක.  
1.    කුසගින්න
2.    පිපාසය
3.    ලිංගික උත්තේජනය
4.    ප්‍රජනනය
5.    නින්ද
6.    ආරක්ෂණය පිළිබඳ හැඟීම
මෙම සමානකම් පිළිබඳ ව වුවද මිනිසාට සතුන් ක්‍රියාකරන අයුරින් කටයුතු කරන්නට හැකියාවක් නොමැත. මෙම සාධකයන් මිනිසා තුළ පිහිටි සත්ව ලක්ෂණයන් ලෙසත් ඒවා පාදක කර ගෙන විවිධ චිත්ත ආවේගයන්  මිනිසාගේ චෛතසිකයේ උත්පාදනය විය හැකි බවත් අපි දනිමු. එම චිත්ත ආවේගයන් පාලනය කර ගනිමින් මිනිසා ඉහත සඳහන් කරුණු වෙත යොමු විය යුතු වෙයි. විශේෂයෙන්ම කුසගින්න පිපාසය හා ලිංගික උත්තේජනය වැනි කටයුතු වලදී මිනිසා අනිවාර්යයෙන්ම සම්මා මග පෙන්වීමක් අනුව කටයුතු කළ යුතු වෙයි. එසේ නොවුවහොත් එය විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත්වීම වැළැක්විය විය හැකි කරුණක් නොවනු ඇත. මෙහිදීත් අප අවධාරණය කරන්නේ මිනිසා අනිවාර්යයෙන්ම මග පෙන්වීමක අවශ්‍යතාව ඇති අයෙකු ලෙසය.
මිනිසා සත්ව ලෝකයේ උසස්ම සත්වයා වන්නට නම් අනිවාර්යයෙන්ම එම උසස්භාවය සාධාරණීය කරවන මිනිසාට පමණක් සුවිශේෂී වු ලක්ෂණ මිනිසාට තිබිය යුතුය. මෙම කරුණු විග්‍රහ කර ඇති අයුරු  විමසා බලමු.
මිනිසා සහ සත්වයා අතර අසමානකම්
 මොනවා ද?
1.    විචාර බුද්ධිය,
2.    තෝරා ගැනීමේ නිදහස,
3.    හෘද සාක්ෂිය මත පදනම් වූ හරි වැරදි (සම්මා හා අසම්මා) ක්‍රියා පිළිබඳ හැඟීම,
4.    (ලැජ්ජාභය මත පදනම් වු) සදාචාරය,
5.    මිහිතලය ඇතුළු ව මුළුමහත් විශ්වයෙහිම ගුප්ත හා පාලන අධිකාරී බලයක් ඇත යන කරුණු මිනිසාට පමණක් සුවිශේෂීය.
මෙම හේතු නිසාම මිනිසාට ඉතා පළල් පරාසයක් තුළ සුදනන් හෝ දුදනන් වීමට හැකියාවක් ඇත.  තෝරා ගැනීමේ නිදහස වැනි කරුණු සත්ව ලෝකයේ සාමාජිකයින්ට අදාළ නොවන්නක් වන අතර උන්ගේ ජීවිතය සකස් වී ඇත්තේ පුර්ව ජන්ම සැලැස්මක් අනුවය. මෙම සියලු කරුණු අපට නැවත නැවත අවධාරණය කර සිටින්නේ මිනිසාගේ විශේෂ ස්වභාවය අනුව ඔහුට පරිපුර්ණත්වයෙන් සපිරි සම්මා විශ්වීය මග පෙන්වීමක් හා ඔහුගේ සිත පාලනය කිරීමේ හැකියාව ඔහුට ලබා දෙන පාලකයෙකුගේ අවශ්‍යතාව නොවේ ද?  ඉහත කරුණු වලින් මිනිසාගේ ජීවිතයට සෘජුවම බලපාන සාධකය වන්නේ ඔහුටම සුවිශේෂී වූ සදාචාරයයි. මිනිසාට පමණක් උරුම අනෙකුත් සාධක ඔහුගේ සදාචාරාත්මක ජීවිතය පෝෂණය කරන්නට අනුබල දෙන ප්‍රධාන මාර්ගයන්ය. දහමක ප්‍රධාන අරමුණ හා ඉලක්කය විය යුත්තේ සත්ව ලක්ෂණයන්ගෙන් උපලක්ෂිත වූ මිනිසා ව සදාචාර සම්පන්න ශ්‍රේෂ්ඨත්වය කරා යොමු කරවන නිවැරදි මග පෙන්වීමක් ලබා දීම බව අපගේ මතයයි.
මිනිසා සහ සත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයින්ට පොදු වූ තවත් වැදගත් සාධකයක් ඇත. එම කරුණ වෙනම ම සාකච්ඡා කරන්නට අදහස් කළේ එහි ඇති සුවිශේෂත්වය හේතුවෙනි. ආශාව, තෘෂ්ණාව යන පදයන්ගෙන් විග්‍රහ වන ස්වභාවය මිනිසාටත් අනෙකුත් සත්වයින්ටත් පොදු වුවත් සත්වයින් ගේ තෘෂ්ණාවේ සීමාවක් ඇති බව ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමෙන් අපට පැහැදිලි ව දැක ගත හැක. නමුත් පාලනයකින් තොරව මුදා හැරිය විට මිනිසාගේ තෘෂ්ණාවේ සීමාව කොතන දැ යි දැනගැනීම ඉතාමත්ම අපහසු කාර්යයකි.
“සැබැවින්ම ඔහු (මිනිසා) සම්පත් කෙරෙහි ඉතා දැඩි වූ ආශාවකින් (තෘෂ්ණාවකින්) යුක්ත වූ වෙකි.” (අල් කුර්ආනය 100 : 8)
මිනිසාගේ මුලික ස්වභාවය මෙම අල් කුර්ආන් වාක්‍ය අපට පැහැදිලි කර දෙයි. අපගේ මතය වන්නේ තෘෂ්ණාව සහමුලින්ම ඉවත් කර ගැනීමක් පිළිබඳ ඉගැන්වීමක් අල් කුර්ආනයේ දක්නට නොමැති බවයි. නමුත් අකුසලයට නැඹුරු වූ අයහ ආශාවන් පාලනය කර ගැනීම පිණිස ඉස්ලාමය තුළ අති විශාල ඉගැන්වීම් සම්භාරයක් ඇත.
මිනිසාගේ තෘෂ්ණාව පාලනය කිරීමට ඔහුට නිවැරදි මග පෙන්වීමක් හා ඔහුගේ සිත ඔහුට ම පාලනය කර ගත හැකි ආකාරයට උපකාරී විය හැකි පාලකයෙකුගේ අවශ්‍යතාව නැවතත් මතු වෙයි. එහෙයින් ඔහුගේ පාලකයා පිළිබඳ අදහස් කිහිපයක් විමසා බලමු.         
භෞතික බලගතු පාලකයෙකුගෙන් සිදුවන්නේ ඔහුට උරුම තෝරා ගැනීමේ නිදහස හා අනෙකුත් සුවිශේෂී ලක්ෂණ අර්ථ විරහිත වී ගොස් ඔහු යාන්ත්‍රික තත්ත්වයකට පත් වීම පමණි. භෞතික පාලකයෙකුට මිනිසාගේ ක්‍රියාවන්ගේ උල්පත වූ මනස පාලනය කළ නොහැක.

8.ඔහුගේ පාලකයා කෙසේ විය යුතු ද යත්:
ඔහු පාර භෞතික විය යුතුය, සර්වඥ විය යුතුය, සර්ව බලධාරී විය යුතුය, විශ්වයේම පරමාධිපති විය යුතුය, පරම කරුණාභරිත විය යුතුය, සර්ව ශ්‍රාවක හා සර්ව දෘෂ්ටික විය යුතය, මිනිසාට නිවැරදි මග පෙන්වීම ලබා දෙන්නා විය යුතුය, මරණින් මතු ලෝකයේ මිනිසාට විපාක දීමේ පුර්ණ බලය ඇත්තා විය යුතුය. මෙවන් ගුණාංග නොමැති පාලකයෙකු පිළිබඳ විශ්වාසයෙන් මිනිසාට ලැබිය හැකි කිසිදු යහපතක් තිබිය නොහැක.   
9. මෙවන් විශ්වාසයකින් ඇති යහපත:
1.    මිනිස් නිර්මාණයේ මුලික පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමක්.  
2.    මෙම අවනතභාවය, කීකරුවීම, වහල්භාවය නිසා ලොව ඇති බලය, නිලය, ධනය වැනි කිසිදු අධිකාරි සාධකයන් ඉදිරියේ වහල් නොවී මිනිස්කමේ අභිමානය රැක ගෙන නිහතමානී ව ජීවත් වීමට ඇති හැකියාව.
3.    ජීවිතයේ අභාග්‍ය දෑ සිදු වූ විට සිත තැන්පත් ව තබා ගැනීමේ හැකියාව. සිය දිවි නසා ගැනීමේ තත්වයට නොයෑම.
4.    තම අධිපතිට පමණක් වහල්භාවය ඇති කර ගෙන තිබෙන හෙයින් ඔහුගේ නියමයන්ට හා මග පෙන්වීමට අනුකුල ව ජීවිතය සකස් කර ගැනීමට නිරන්තර ව වෙර දැරීම.  
5.    වහලාගේ වගකීම තම පරමාධිපතිගේ අණට අනුකුල වීම, ඔහුට ගෞරව කිරීම, අසීමිත ආදරයක් හා ඇල්මක් ඇති කර ගැනීම, නිරතුරු ව තුති පිදීම.
6.    තම ස්වාමියාට රහසින් කිසිවක් කරන්නට නොහැකි බව අවබෝධ කර ගන්නා හෙයින් බහු චරිතයෙන් මිදී ඒකීය යහ චරිතයක් ගොඩ නඟා ගැනීමට නිරතුරු ව වෙහෙසීම.   
          
එවන් පාලකයෙකු පිළිබඳ විශ්වාසය තහවුරු කර ගත් අයෙකු නොමග යා හැකි ද?
මෙම පාලකයා සත්‍යයක් ද නැතිනම් මිත්‍යාවක් ද? මෙම මාතෘකාව ද අපි, විශ්වාසය පමණක් නොව, යථාර්ථය, බුද්ධිය, විචාරය හා නුතන විද්‍යාව ද පදනම් කර ගෙන   මෙයට ඉහත සාකච්ඡා  කළෙමු.
“තම තෘෂ්ණාව තමන්ගේ දෙවිඳුන් වශයෙන් පත් කර ගත්තන් ව ඔබ දැක තිබේ ද? (නබිවරය) ඔබ ඔහුට ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නෙහි ද? ඔවුන්ගෙන් බහුතරය සවන් දෙන්නන් හෝ සිතන්නන් වශයෙන් සිටින බව ඔබ සිතන්නෙහි ද?  ඔවුන් තිරිසනුන් මිස අන් කිසිවක් නැත. සැබවින්ම ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගියවුන් වශයෙන් සිටින්නෝය.” (අල් කුර්ආන් 25:43-44)
“කවුරුන් තමන් ව (තම චෛතසිකය) පාරිශුද්ධ කර ගත්තේ ද නියත වශයෙන්ම ඔහු ජයග්‍රහණය කළේය. කවුරුන් එය අපිරිසිදු කර ගත්තේ ද නියත වශයෙන්ම ඔහු අලාභ කර ගත්තේය” (අල් කුර්ආන් 91:9-10)
“කවුරුන් දෙවිඳුන් අබියස පෙනී සිටීම ගැන බිය වී ඉතාමත් පහත් ආශාවන්ගෙන් ඈත් වී තමන් ව වළක්වා ගන්නේ ද ඔහු ළඟාකර ගන්නා ස්ථානය නියත වශයෙන්ම ස්වර්ගයයි.” (අල් කුර්ආන් 79: 40-41).
අල් කුර්ආනය පහළ වීමට පෙර සමාජ තත්ත්වය පිළිබඳ ව ජාත්‍යන්තර කීර්තියට පත් ඉතිහාසඥ වරයෙක් සඳහන් කරන  කරුණු දෙස අපගේ අවධානය යොමු කරමු.
ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු එඩ්වඩ් ගිබන් (Edward Gibbon)  විසින් වෙළුම් අටකින් ලියන ලද ‘Decline and Fall of the Roman Empire’ (රෝම අධිරාජ්‍යයේ වැටිම හා විනාශය) යන ග්‍රන්ථය අල් කුර්ආනය පහළ විමට පෙර තිබු අරාබි සමාජය පිළිබඳ ව පවසන කොටස පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“කිසිදු මිනිස් ලක්ෂණයන්ගෙන් නොයුක්ත වූ මෙම මිනිස් තිරිසනුන් හා අනිකුත් සත්ව ලෝකයේ සාමාජිකයින් අතරේ පැවතියේ ඉතාමත් අල්ප වෙනස්කමකි. එම යුගයේ ජිවත් වු මිනිසා හා තිරිසනා අතරේ කිසිදු වෙනස්කමක් දැකිය නොහැකි ආකාරයෙන් ජිවත් වු මෙම මිනිස් පරපුර සැබැවින්ම මිනිස් වෙස් ගත් තිරිසන් පිරිසක් පමණකි”.
මෙතරම් භයානක පිරිහීමකට ලක් වී සිටි ජනයා ඉස්ලාමය වැලඳ ගැනීමෙන් පසු ඉතාම කෙටි කාලයක් ඇතුළත අත් දුටු පරිවර්තනය සත්‍යය වශයෙන්ම ප්‍රාතිහාර්යජනකය. තවත් ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු ස්කොට්ලන්ත ජාතික තෝමස් කාලයිල් (Thomas Carlyle) විසින් ‘Hero Worship And The Heroic In  History’ නමින් ග්‍රන්ථයක් පළ කළ අතර අල් කුර්ආනය පහළ විමෙන් පසු ඒ අනුව ජිවත් වු ජනයාගේ ස්වභාවය විග්‍රහ කරන කොටස එම ග්‍රන්ථයෙන්  උපුටා පහතින් දක්වා ඇත්තෙමු.
“ඉතා පහත් ම්ලේච්ඡ තත්ත්වයේ සිට මුළු මහත් මිනිස් වර්ගයාටම අන්ධකාරයේ සිට ආලෝකයට එන මග එළිපෙහෙළි කළ සහ උසස් දැනුමේ භාරකාරයින් බවට මුහම්මද් විසින් මේ ජනයා ව පත් කරවන ලදි. ලොව බිහි වු දා සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවි කාන්තාරයේ තැනින් තැන ස්ථිරවාසස්ථාන නොමැති ව ජිවත් වෙමින් සිටි දුගී එඩේර ජන සමාජය ඉතා කෙටි කාලයක් තුළ ලොව සැම‍ගේ අවධානය දිනාගන්නට සමත් වු අතර ලොව ශ්‍රේෂ්ඨ ජන සමාජයක් ලෙසත් ගෞරවය ලබන්නට සුදුසුකම් උරුම කර ගත්තේය”.
අල් කුර්ආනය පහළ වීමට පෙර අරාබියානු ජන සමාජය එවකට සිටි පිරිහුන් තත්ත්වයේ සිට පිරිපුන් ජීවිතයක් කරා යොමු කිරීමට රුකුල් වුයේ දෙවිඳුන් පහළ කළ අල් කුර්ආනයේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් හා ඒ අනුව ජීවත් වෙමින් එය මනුෂ්‍ය වර්ගයාට ඉදිරිපත් කළ මුහම්මද් ධර්ම දුතයාණන්ගේ අලංකාර පරමාදර්ශී ජීවන පිළිවෙතයි. මෙම ඉස්ලාමීය මුලාශ්‍ර යහ අයුරින් ගවේෂණයට විවේචනයට ලක් කොට පරම සත්‍යය සොයා ගැනීමට ඇරයුම් කරන්නෙමු. වර්තමානයේ අපට නිරතුරු ව ඇසෙන පරිදි අල් කුර්ආනයේ වදනක් හෝ දෙකක් උපුටා දක්වමින් වැරදි අර්ථ කථනයන් ලබා දෙමින් පදනම් විරහිත අතාර්කික නිරර්ථක ව්‍යායාමයක නොයෙදී සත්‍යය අවබෝධ කර ගැනීමට අවංක සිතින් ඉදිරිපත් වන ලෙස ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.    
ඉස්ලාමය හුදෙක් මතවාදයක් හෝ සම්ප්‍රදායික අර්ථයෙන් තවත් ආගමක් නොවේ. එය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ඉතා අලංකාර හා යහ ප්‍රතිඵල සහතික කරන පරිපුර්ණ සම්මා ජීවන පිළිවෙතකි. එය මිනිසාට ශ්‍රේෂ්ඨ මිනිසෙකු ලෙස ජීවත් වී ශ්‍රේෂ්ඨ මිනිසෙකු ලෙස මිහිතලයෙන් සමුගන්නට මග පෙන්වන සාර්ථක හා අනුගමනය කිරීමට පහසු මෙන්ම බුද්ධියට, විචාරයට හා නුතන විද්‍යාවට අනුකුලතාවක් ඇති උත්තරීතර ඉගැන්වීමකි. තම සිතට පාලකයෙකු පත් කර ගැනීම මගින් තම චෛතසිකය පාලනය කර ගෙන යහ ක්‍රියාවන් කෙරෙහි නැඹුරුවීමටත් අයහ ක්‍රියාවන්ගෙන් ඉවත්වීමටත් දිරි ගන්වන සාර්ථකම පිළිවෙතයි.
මිනිසාට සිත එක අරමුණක තබා ගෙන අකුසලයට නැඹුරු වූ චිත්ත ආවේග පාලනය කර ගෙන  තැන්පත් ව කටයුතු කරන්නට ප්‍රායෝගික මෙන්ම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම එක ලෙස පිළිපැදිය හැකි ප්‍රායෝගික වැඩ පිළිවෙළක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි. එය ඔහු ව ගිහි ජීවිතයෙන් හා සමාජයෙන් ඈත් කරවන වැඩ පිළිවෙළක් නොවිය යුතුය. මෙම වැඩ පිළිවෙළේ පළමු හා වැදගත්ම අංගය වන්නේ ඉහත විග්‍රහ කළ පරිදි තම සිතට පාලකයෙකු පත් කර ගෙන එම පාලකයා කෙරෙහි විශ්වාසය තබා ගෙන කටයුතු කිරීමය. මෙවන් විශ්වාසයක් වුවද මිනිස් සිතේ ඇති ස්වභාවය අනුව වරින් වර දුර්වල විය හැක.
මෙම විශ්වාසය නිරන්තර ව තහවුරු කොට මිනිසා ව යහකමේ ශ්‍රේෂ්ඨත්වයට ගෙන යා හැකි වැඩ පිළිවෙළක් තිබේ ද? දෛනික ව මෙන්ම නිශ්චිත කාල වකවානුවන්හි තම චෛතසිකය පිරිසිදු ව සම්මා මගක තබා ගැනීමට ඇති ප්‍රායෝගික ඉස්ලාමීය වැඩ පිළිවෙළ පිළිබඳ ව විමසා බලමු.
දෛනික ව කළයුතු පස් වේල සලාතය
“සැබැවින්ම සලාතය, ලැජ්ජා සහගත හා පාපතර ක්‍රියාවන්ගෙන් ඔබ ව ආරක්ෂා කරන්නේය” (29:45)
1.    දෙවිඳුන්ට අවනත වීමකි. අන් සියලු නියමයන්ට අවනතවීමට මෙම අභ්‍යාසයෙන් පුහුණුවක් ලබා ගැනීම.
2.    තම චෛතසිකයේ මතු වන  නිහතමානිත්වයේ හඬකි.
3.    සිත තැන්පත් කර ගෙන දෙවිඳුන් අබියස පෙනී සිටීමකි.
4.    සමාජ සමානාත්මතාව සඳහා වූ පුහුණුවකි.
5.    සමාජ සාමුහිකත්වය සඳහා වූ පුහුණුවකි.
6.    තම පරමාධිපති අබියස තමන්ගේ අවශ්‍යතාවන් ඉදිරිපත් කිරීමට ඇති වඩාත් සමීපතම අවස්ථාවයි.
7.    චිත්ත පාරිශුද්ධිය හා තැන්පත්භාවය සඳහා කරන්නා වූ දෛනික ව්‍යායාමයකි.
8.    නියමිත වෙලාවට කටයුතු කිරීමට ලබන්නා වූ පුහුණුවකි.
9.    අභ්‍යන්තර මෙන්ම බාහිර පිරිසිදුකම පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවට මග පෙන්වීමකි.     

වාර්ෂික ව මසක් පුරාවට රක්ෂා කළ යුතු උපවාස ශීලය
1.    දෙවිඳුන්ට අවනත වීමකි. අන් සියලු නියමයන්ට අවනතවීමට මෙම අභ්‍යාසයෙන් පුහුණුවක් ලබා ගැනීම.
2.    දෙවිඳුන් පිළිබඳ බියබැතිමත්භාවය හා දේව සවිඥාණකත්වය ගොඩ නගා ගැනීම.
3.    චිත්ත ආවේගයන් පාලනයට පුහුණුවකි.
4.    බහු චරිත ස්වභාවය ඉවත් කොට සම්මා ඒකීය චරිතයක් ගොඩ නඟා ගැනීමට අභ්‍යාසයකි.
5.    පසිඳුරන් පාලනය සඳහා වූ පුහුණුවකි.
6.    දුප්පතුන් පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීමට උපකාරයක්‌.   

වාර්ෂික ව ගෙවිය යුතු දානමය කටයුත්තකි ‘සකාතය’
7.    දෙවිඳුන්ට අවනත වීමකි. අන් සියලු නියමයන්ට අවනතවීමට මෙම අභ්‍යාසයෙන් පුහුණුවක් ලබා ගැනීම.
8.    වාර්ෂික ව තම වත්කමින් දිය යුතු දානමය ක්‍රියාවකි. ජනයාගෙන් අට කොටසකට දිය හැකිය.
9.    තම වත්කමේ පවිත්‍රතාව හා වර්ධනය සඳහා වූ ක්‍රියාවකි.
10.    අසීමිත තෘෂ්ණාව පාලනය කොට අන් අය කෙරෙහි කරුණාවෙන් යුක්ත ව කටයුතු කිරීමට මග පෙන්වීමකි.
11.    දුගී බව තුරන් කිරීම සඳහා වූ වැඩ පිළිවෙළකි.
12.    ඊර්ෂ්‍යාව තුනී කිරීමට හැකි මගකි.
13.    දුප්පත් පොහොසත් පිරිස අතර බැඳියාවක් ඇති කරවන්නකි.
14.    සම්පත් සාධාරණ ලෙස බෙදී යාමට මග පෙන්වීමකි.

ජීවිත කාලයටම වරක් අනිවාර්ය හජ් නැමදුම
මිනිස් ඉතිහාසයේ දෙවිඳුන්ගේ අණට කීකරු වීමේ හා පරිත්‍යාගයේ උදාරතම උදාහරණය ලොවට පෙන්වා දුන් ඉබ්‍රාහිම් නබි තුමාගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) ජීවිතයේ සිදු වූ වැදගත් සිදුවීම්  සිහිපත් කරමින් හා ඒවා සංකේතාත්මක ව  ඉටුකරමින් කරන්නා වූ ඉතා වැදගත් නැමදුමකි.
මිනිසාට මුළු ජීවිතයම නැමදුමක් බවට පත් කර ගන්නට ලබා ගත හැකි උච්චතම පුහුණුව ලෙස මෙය නම් කළ හැක.
ඉහත විග්‍රහ කරන ලද අයුරු ක්‍රියා කිරීම මිනිසාගේ ස්වභාවිකත්වය සමග එකඟතාවක් ඇති පිළිවෙතක් බව පැහැදිලි ව සනාථ වූ සත්‍යයකි. සමාජයේ එක් කොටසකට පමණක් අනුගමනය කළ හැකි සීමාවන් සහිත ක්‍රියාමාර්ගයක් නොවන ඉහත විග්‍රහ කරන ලද පිළිවෙත මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම ලොව කොතැන ජීවත් වුවත් එක සේ අනුගමනය කළ හැකි සාර්ථක පිළිවෙතකි.
මිනිසා උත්තර ධ්‍රැවයේ විසුවද දක්ෂිණ ධ්‍රැවයේ විසුවද සමකය අසල විසුවද ඕනෑම ශීතෝෂ්ණ කාලගුණික පරිසරයක විසුවද භේදයකින් තොරව ඕනෑම තරාතිරමක ජීවත් වූවද ඒ සියලු දෙනාටම එක සේ දෙළොව ජීවිතයම ජයග්‍රාහී ලෙස සාක්ෂාත් කර ගත හැකි ඒකායන මාර්ගයයි ඉස්ලාම්. සත්‍යය පිළිපදිමු, මෙලොව හා මතුලොව ජයග්‍රහණය ලඟා කර ගැනීමට අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරමු.    
10.    අල් කුර්ආනයේ සඳහන් ඓතිහාසික හා අනෙකුත් තොරතුරු පිළිබඳ ප්‍රාතිහාර්යයන් කිහිපයක්
මෙම මාතෘකාව සාකච්ඡා කිරීමේදී ‘ප්‍රාතිහාර්ය ය’ යන්නෙන් අදහස් වන්නේ කුමක් ද යන්න පිළිබඳ දැනුවත්වීම වඩාත් උචිත යැයි සිතන්නෙමු. ‘ප්‍රාතිහාර්ය ය’ යනු කුමක් ද යන්න පිළිබඳ ව විවිධ කෝණයන්ගෙන් කරුණු විමසා බැලිය හැකි බැවින් විවිධ සිරස්තලයන් යටතේ එය අධ්‍යයනය කරමු.
    එය භෞතික නීති රීති මගින් විග්‍රහ කළ හැක්කක් නොවේ.
    එය මිනිස් ශක්තීන් හා හැකියාවන් අබිබවා සිදුවන්නකි.
    එය මනුෂ්‍ය යථාර්ථය හා තර්කනය පදනම් කර ගෙන විග්‍රහ කළ හැක්කක් නොවේ.
ප්‍රාතිහාර්යයන් මිනිසාගේ ඉන්ද්‍රීය බලය අබිබවා යන්නක් හෙයින් එය අසම සම බලයක ක්‍රියාකාරිත්වයක් ලෙස සැලකීමට සිදු වෙයි. ඉන්ද්‍රජාල හා අනෙකුත් මායාකාරී ඇස්බැන්දුම් ක්‍රියාවන් ප්‍රාතිහාර්යයන් ලෙස සැලකෙන්නේ නැත. එහෙයින් සත්‍යය ප්‍රාතිහාර්යයන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ ක්‍රියාකාරකම් බව පිළිගැනීමට අපට කිසිදු අපහසුතාවක් තිබීමට හැකියාවක් නොමැත. සැබැවින්ම ප්‍රාතිහාර්යයන් මිනිස් බුද්ධිය වෙත ඉදිරිපත් කොට ඇති බලවත් අභියෝගයකි. මෙමගින් විශ්වයේ අධිපති තමන් පමණක් යැයි සත්‍යය වූ එකම දෙවිඳුන් විසින් මිනිසා අබියස ප්‍රතික්ෂේප කළ නොහැකි මෙන්ම කිසිසේත් ම අභියෝගයට ලක් කළ නොහැකි අයුරින් ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කර ඇත. තම නිර්මාණ සියල්ලෙහි පුර්ණ අධිපතිත්වය හා අවනතභාවය තමන් වෙත ඇතැයි සත්‍යය දෙවිඳුන් ‘ප්‍රාතිහාර්යය’ මගින් ඔප්පු කර පෙන්වයි.
මිනිස් පරපුරේ පළමු මිනිස් යුවළ විශ්වයේ අධිපති නිර්මාතෘ දෙවිඳුන් විසින් මිහිතලය මත ස්ථාපිත කරන ලද්දේ ඔවුන්ට හා ඔවුන්ගේ පරපුරේ සැමට පොදු වූ පරිපුර්ණ ජීවන සැලැස්මක් ද ලබා දීමෙනි. එම පරිපුර්ණ ජීවන සැලැස්මේ ප්‍රධාන ලක්ෂණ වන්නේ:
    විශ්වයේ නිර්මාතෘ හා සත්‍යය දෙවිඳුන් ඒකීය බව විශ්වාස කිරීම.
    නැමදුම් සියල්ල මෙම සත්‍යය දෙවිඳුන් ට පමණක් ම විය යුතුය.
    මෙම සත්‍යය දෙවිඳුන් ට සමානයන් තැබීම ඉඳුරාම තහනම් ය.
    මෙම සත්‍යය දෙවිඳුන්ගේ සියලු නියමයන් විධානයන් හා මඟ පෙන්වීම් පිළිපැදීම.    
පළමු යුවළගෙන් පසු බිහි වූ ජන සමාජයන් ක්‍රමයෙන් ඉහත සඳහන් මූලික මඟ පෙන්වීම් වලින් දුරස්ථ වී මිනිසාගේ මිහිතලය මත ජීවිතයේ මූලික අරමුණු වලින් පරස්පර වූ ජීවිතයක් ගත කිරීමේ තත්ත්වයන් ඇති වූ අවස්ථාවන් හි මහා කාරුණික සත්‍යය වූ එකම දෙවිඳුන් විසින් මිනිසා යහ මඟට යොමු කිරීම පිණිස මිනිසුන් අතුරින් දැහැමියෙකු තෝරා ඔහුට නිවැරදි මාර්ගෝපදේශයන් පහළ කොට එමගින් ජනයා නිවැරදි මාර්ගයට ආරාධනා කිරීමේ වගකීම පැවරීමේ කාර්යභාරය ඉතිහාසය පුරාවට ම දැක ගත හැකි කරුණක් ව ඇත. පළමු මිනිසා වූ ආදම් තුමාගෙන් ආරම්භ වී අවසාන ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් දක්වා ඉතිහාසයේ විවිධ අවස්ථාවන් හි දෙවිඳුන් විසින් මෙලෙස යුගයෙන් යුගයට මිනිසාට ඔහුගේ මිහිතලය මත වූ ජීවිතයේ සැබෑ අරමුණු පැහැදිලි කොට දී ඔහු ව යහ මගට කැඳවීමේ කාර්යය සඳහා විවිධ ධර්ම දූතයන් පත් කරන ලදී. මහා කාරුණික දෙවිඳුන්ගේ ධර්ම දුතයන් වෙත පැවරුණු වගකීම් පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් පහතින් දක්වා ඇත්තෙමු.
     මහා කාරුණික දෙවිඳුන් විසින් පහළ කරන ලද  මාර්ගෝපදේශයන් ලබා ගෙන එය ජනයාහට පහදා දීම හා ඒ අනුව ජීවත් වීමට දිරි ගැන්වීම
     විශ්වයේ අධිපති දෙවිඳුන් ඒකීයය බව ජනයා වෙත පහදා දීම
     පරමාදර්ශී චරිතයක් ලෙස කටයුතු කිරීම
     දෙවිඳුන්හට අවනත වීමටත් දෙවිඳුන්ගේ මාර්ගෝපදේශය අනුව කටයුතු කිරීමටත් ජනයාට උපදෙස් දීම
     දහම, සමාජ ක්‍රියාකාරකම් හා ජන ජීවිතයට අදාළ සියලු කරුණු පිළිබඳ නිවැරදි මඟ පෙන්වීම් ලබා දීම
     අල්ලාහ්ගේ මාවතින් ඉවත් වී හෝ අල්ලාහ්ට අවනතභාවයකින් තොරව කටයුතු කරන්නන් සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් හා දැනමුතුකම් ලබා දී ඔවුන් ව යහ මඟට කැඳවීම
     මිහිතලය මත වූ ජීවිතය අල්ලාහ්ගෙන් වූ පරීක්ෂණයක් බවත් අල්ලාහ්ට අවනත වී කටයුතු කිරීම මගින් පමණක් මෙලොව හා මතු ලොව ජයග්‍රහණය ලද හැකි බව පහදා දීම
     මරණින් මතු ජීවිතයේ විනිශ්චය දිනය, අපාය හා ස්වර්ගය ආදිය පිළිබඳ ව දැනුවත් කොට මිනිසා අල්ලාහ්ගේ තෘප්තිය හා සතුට දිනා ගැනීම කරා යොමු වූ ක්‍රියාවන් හි යෙදීමෙන් පමණක් ජයග්‍රහණය අත්පත් කර ගත හැකි බව පහදා දීම
මෙලෙස අති උතුම් දෙවිඳුන්ගේ මාර්ගෝපදේශය සමග ධර්ම දුතයෙකු පැමිණි සෑම අවස්ථාවක ම පාහේ එම යුගයන් හි ජීවත් වූ ජනයින්ගෙන් බහුතරය විසින් මෙම ධර්ම දුතයින් ව  අසත්‍යවාදියා, හුනියම්කාරයා ආදී චෝදනා එල්ල කොට ඔවුන් ව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන ලදී. තවත් අවස්ථාවන් හි මෙම ධර්ම දුතයින්ගේ  සත්‍යතාව සහතික කරනු පිණිස දෙවිඳුන්ගේ සංඥාවක් ලෙස ප්‍රාතිහාර්යයන් සිදු කොට පෙන්වන ලෙස ඉල්ලා සිටීම ද සම්ප්‍රදායක් ව පැවතිණි.
“මොහුට මොහුගේ පරමාධිපතිගෙන් සංඥාවන් පහළ වී තිබිය යුතු නොවේ දැ’යි ඔවුහු විමසති. නියත වශයෙන් ම සංඥාවන් අල්ලාහ් වෙතය. සැබැවින් ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි යැයි (නබිවරය) පවසවූ”. (අල් කුර්ආන් - 29 : 50)  
මෙවන් සෑම අවස්ථාවකම පාහේ ධර්ම දුතයාණන් සැවොමගේ පොදු පිළිතුර බවට පත් වුයේ ‘නියත වශයෙන් ම සංඥා (ප්‍රාතිහාර්යය) සියල්ල අල්ලාහ් වෙතය, මා ඔබ වෙත එවනු ලැබූ ධර්ම දුතයෙකු පමණක් ය’ යනුවෙන් පවසා දහමේ කරුණු පහදා දීමට කටයුතු කිරීමය. නමුත් මහා කාරුණික අල්ලාහ් විසින් ඔහුගේ අපරිමිත දයාව හේතුවෙන් සියලුම ධර්ම දුතයන්හට විවිධ සංඥා (ප්‍රාතිහාර්යය)  ලබා දී ඔවුන් සත්‍යය වශයෙන් ම අල්ලාහ්ගේ දුතයින් බව මිනිසාගේ සිත් සතන් හි ඒත්තු ගන්වා එමගින් යහ මඟට ආරාධනා කිරීමේ කටයුත්ත පහසු කොට දී ඇත. නමුත් කුමන ආකාරයේ ප්‍රාතිහාර්යයන් සිදු කොට පෙන්වූවත් සත්‍යය පෙනි පෙනීත් එය ප්‍රතික්ෂේප කිරීම අවාසනාවන්තයින්ගේ පිළිවෙත බව ඉතිහාසය පුරාවට දකින්නට ඇති කරුණකි.
මෙයට පෙර පැමිණි සියලුම ධර්ම දුතයින්ගේ කාර්යභාරය වුයේ නිශ්චිත ජන කොට්ඨාසයකට නිශ්චිත කාල වකවානුවක් තුළ බලපාන අයුරින් දෙවිඳුන්ගේ මාර්ගෝපදේශය ලබා දීමය. එහෙයින් එම ධර්ම දුතයින්ට ලබා දුන් ප්‍රාතිහාර්යයන් එම කාල වකවානුවට සීමා වූවක් වන අතර එය විමසා බැලීමේ හැකියාවක් අපට අද නොමැත.
“ඊශ්රායිල් දරුවනට (යුදෙව්වන්ට) ධර්ම දුතයෙකු (රසුල් වරයෙකු) වශයෙන් (ඊසා පත් කළේය). (අල් කුර්ආන් - 3 : 49)
“(නබිවරය) විශ්වයටම දයාලුවක් සේ මිස අපි නුඹ ව නොඑවීමු”. (අල් කුර්ආන් - 21 : 107)
මුහම්මද් ධර්ම දුතයාණන්ගේ කාර්යභාරය එක් යුගයකට හෝ එක් ජනවාර්ගික කොට්ඨාසයකට සීමා නොවුවක් හෙයින් එතුමාණන්ට ලබා දුන් ප්‍රාතිහාර්යයන් එදත් අදත් හෙටත් මෙන්ම ලොව අවසන් දිනය දක්වාම වලංගුතාවක් ඇති එකක් විය යුතු වෙයි. අනෙකුත් ධර්ම දුතයන් මෙන් එතුමාණන්ට ද එම යුගයේ ජනයාට දැක ගත හැකි වූ ප්‍රාතිහාර්යයන් මහා කාරුණික අල්ලාහ් විසින් ලබා දී තිබුණි. නමුත් එතුමාට පහළ කළ මාර්ගෝපදේශය ලොව අවසන් දිනය දක්වා පවතින එකක් හෙයින් එතුමාට ලබා දුන් ප්‍රාතිහාර්යය ද එලෙසම වුවක් විය යුතුය යන්න පැහැදිලි කරුණකි. වරෙක මුහම්මද් ධර්ම දුතයාණන් පවසා සිටියේ එතුමාට ලබා දුන් ප්‍රාතිහාර්ය ය ‘අල් කුර්ආනය’ බවයි. එම ප්‍රාතිහාර්යයේ සත්‍යතාව  සැමට සැම විට කිසිදු බාධාවකින් තොරව විමසා බැලිය හැකි එකකි. මෙම ලිපිය මගින් අල් කුර්ආනය විශ්වයේ අධිපති අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බවත් මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් බවත් කිසිදු සැකයකින් තොරව සහතික කරන බිඳිය නොහැකි ප්‍රබල සාක්ෂි වශයෙන් ඇති ඓතිහාසික ප්‍රාතිහාර්යයන් කිහිපයක් විමසා බලන්නට අපේක්ෂා කරන්නෙමු.
‘හමාන්’ සහ පෞරාණික ඊජිප්තු ස්මාරකයන්
අල් කුර්ආනය මූසා ධර්ම දුතයාණන්ගේ ජීවිතය පිළිබඳ තොරතුරු රාශියක් ඉතා පැහැදිලි අයුරින් ඉදිරිපත් කොට ඇත. මූසා ධර්ම දුතයන් හා  පාරාවෝ (Pharaoh) අතර තිබු ගැටුම් පිළිබඳ විස්තර මෙන්ම යුදෙව් ජාතිකයින් සමග තිබු සබඳතාවන් හා ඓතිහාසික ඊජිප්තුව පිළිබඳ තොරතුරු රාශියක් අල් කුර්ආනය ගෙන හැර දක්වයි. මෙම ඓතිහාසික තොරතුරු පිළිබඳ වැදගත්කම කෙරෙහි ලොව උගතුන්ගේ අවධානය යොමු වන්නට පටන් ගත්තේ මෑතකදී ය. විචාරය පදනම් කර ගනිමින් පුර්ව නිගමනයන්ගෙන් බැහැර ව බුද්ධිමය චින්තනයෙන් යුතු ව යමෙකු මෙම තොරතුරු කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් අල් කුර්ආනය සත්‍යය වශයෙන් ම සර්වඥානී අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බව අංශු මාත්‍රයක සැකයකින් තොරව සනාථ වන්නේ මෙය නුතන විද්‍යාත්මක ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් හා සෘජුවම බැඳියාවක් ඇති හෙයිනි.     
අල් කුර්ආනයේ ඇති ‘හමාන්’ පිළිබඳ  සඳහන එවන් එක් ප්‍රඥා පූර්වක සටහනකි. පාරාවෝ පිළිබඳ සඳහන් කරන ඇතැම් අවස්ථාවන් හි ‘හමාන්’ පිළිබඳ සඳහන අල් කුර්ආනයේ දැකිය හැකිය. අල් කුර්ආනයේ අවස්ථා හයක දී ‘හමාන්’ පිළිබඳ ව සඳහන් වී ඇති අතර ඔහු පාරාවෝගේ සමීපතමයෙකු ලෙස මෙමගින් අවබෝධ කර ගත හැක. අති විස්මයජනක කරුණක් ව ඇත්තේ බයිබලයේ පරණ ගිවිසුමේ මූසා ධර්ම දුතයාණන් පිළිබඳ ඇති විස්තරයන් හි ‘හමාන්’ පිළිබඳ කිසිදු සටහනක් නොමැති වීමය. ‘හමාන්’ පිළිබඳ සටහනක් බයිබලයේ දැකිය හැක්කේ පරණ ගිවිසුමේ අවසන් පරිච්ඡේද කිහිපයක මුසා ධර්ම දුතයාණන්ට වර්ෂ 1100 කට පමණ පසු ජීවත් වූ යුදෙව් ජාතිකයින් පිළිබඳ ව  සැහැසි අයුරින් කටයුතු කළ බැබිලෝනියානු රජෙකුගේ ආධාරකරුවෙකු ලෙසය. නුතන පුරාවිද්‍යාත්මක තොරතුරු මගින් පැහැදිලි අයුරින් හෙළිදරව් වී ඇති කරුණු මෙයට හාත්පසින්ම පරස්පරතාවක් දක්වයි. ඊජිප්තුවේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් තුළින් හමු වූ මූසා ධර්ම දුතයාණන්ගේ යුගයට අයත් ශිලා ලේඛනයක් අනුව ‘හමාන්’ නම් පුද්ගලයා මූසා ධර්ම දුතයාණන්ගේ යුගයේ ජීවත් වූවෙකු බවත් පාරාවෝ ගේ රාජ්‍යය පාලනයේ වැදගත් තනතුරක් දැරූ අයෙකු බවත් හෙළිදරව් වී ඇත.          
පාරාවෝ ගේ යුගයේ භාවිත කරනු ලැබුයේ සංකේත භාෂාවකි. දහඅට වන සියවස තෙක් මෙම සංකේත භාෂාව විසංකේතීකරණය කොට නොතිබූ හෙයින් එම යුගයේ කරුණු දැනගැනීමේ හැකියාව නොතිබුණි. මෙම භාෂාව අවසන් වරට භාවිත වී ඇත්තේ ක්‍රි. ව. 394 දී පමණ බව ඉතිහාසය අපට දන්වයි. ක්‍රි. ව. 1799 දී ඉතිහාසඥයින් බහුතරයකගේ අසීමිත සතුට ට හේතු වූ ඓතිහාසික ශිලා ලේඛනයක් සොයා ගන්නා ලදී. ‘රොසෙටා ගල’ (Rosetta Stone) නම් වූ මෙම ශිලා ලේඛනය ක්‍රි. පූ. 196 ට අයත් වූවක් බව එම තොරතුරු හි දක්නට ඇත. මෙම ශිලා ලේඛනයේ සුවිශේෂත්වය නම් එය භාෂා තුනකින් සකස් වූවක් වීමය. සාම්ප්‍රදායික ඊජිප්තු සංකේත භාෂාව, එම යුගයේ පූජකයින් අතර බහුල ව භාවිත වූ භාෂා ශෛලියක් හා ග්‍රීක භාෂා මෙම ශිලා ලේඛනය සකස් කිරීමේ දී භාවිත කොට තිබුණි. ග්‍රීක භාෂාවේ උපකාරයෙන් අනෙකුත් භාෂා දෙක විසංකේතීකරණය කර ගැනීමෙන් පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයේ මෙතෙක් සැඟ වී තිබු ඉතා වැදගත් තොරතුරු රාශියක් මනුෂ්‍ය වර්ගයාගේ දැනුම් සම්භාරයට එකතු කිරීමේ දොරටු විවෘත කර ගැනීමට මෙමගින් හැකි වී ඇත. ඉතිහාසයේ ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් වූ මෙම යුගයේ සංස්කෘතිය, ඇදහීම්, සමාජ ජීවිතය වැනි වැදගත් ක්‍ෂේත්‍රයන් රාශියක් පිළිබඳ ප්‍රයෝජනවත් තොරතුරු රාශියක් මෙමගින් දැන ගැනීමට හැකියාව ලැබී ඇත. එම යුගයේ භාවිත කරන ලද පුරාණ භාෂා විසංකේතීකරණය කිරීමේ කටයුත්ත ප්‍රංශ ජාතික ජීන් ෆ්රන්සුවා චම්පොලියොන් (Jean Francoise Champollion) විසින් ඉතා සාර්ථක අන්දමින් ඉටු කොට ඇත.
මෙම විසංකේතීකරණය තුළින් අති වැදගත් නමක් පිළිබඳ තොරතුරක් හෙළිදරව් කර ගැනීමට අවස්ථාව උදා විය. මෙම ලේඛනයේ ‘හමාන්’ පිළිබඳ ව සඳහන් වී තිබීම හේතුවෙන් සැවොම පත් වූයේ අදහාගත නොහැකි විස්මයජනක තත්ත්වයකට ය. වියනා නුවර හොෆ් කෞතුකාගාරයේ (Hof Museum in Vienna) තබා ඇති තවත් ශිලා ලේඛනයක ද හමාන් පිළිබඳ ව සඳහන් කොට තිබීම දක්නට තිබුණි. එම ශිලා ලේඛනය අනුවත් ‘හමාන්’ මූසා ධර්ම දුතයාණන්ගේ යුගයේ ඊජිප්තු පාලකයා වූ පාරාවෝ ගේ සමීපතමයෙකු ලෙස සඳහන් වී තිබුණි. මෙම තොරතුරු සියල්ල මගින් මෙතෙක් ඉතිහාසයේ අඳුරු සෙවණැලි තුළ සැඟ වී තිබු අති වැදගත් තොරතුරු කිහිපයක්  ලොවට හෙළිදරව් කර පෙන්වීමට හැකියාව ලැබී ඇත. මෙම තොරතුරු අතර ඉතාම වැදගත් තොරතුරු කොටස වුයේ ‘හමාන්’ පාරාවෝ ගේ ගඩොල් පෝරණු භාරකරු බවට කටයුතු කොට තිබීමය. මෙම විස්තරය අල් කුර්ආනයේ ප්‍රාතිහාර්යයක් බවට පත් වීමට හේතු සාධක වූ කරුණු කෙරෙහි ද අවධානය යොමු කරමු.
වර්ෂ 1450 කට පමණ පෙර අරාබි දේශයේ මක්කා නගරයේ උපතින් ම අනාථභාවය උරුම කර ගෙන මෙලොව එළිය දුටු  මුහම්මද් නම් දරුවාට කිසිදු සම්මත අධ්‍යාපනයක් ලබා ගැනීමේ භාග්‍යය නොලැබී තිබුණි. මේ හේතුවෙන් ම ඔහුට කිසිදු සාක්ෂරතාවක් නොතිබුණු අතර පහතින් උපුටා දක්වා ඇති අල් කුර්ආන් වැකිය ද මේ බව සාක්ෂි දරයි.
“(නබිවරය) මෙයට පෙර නුඹ කිසිදු පුස්තකයක් හදාරන්නෙකු ව නොසිටියේය. තව ද නුඹ එවැන්නක් නුඹගේ දකුණතින් නොලිව්වේය. එසේ වූයේ නම් අසත්‍යයේ සිටින්නන්ට සැක කරන්නට ඉඩ තිබුණි”. (අල් කුර්ආන් - 29 : 48)
මෙම උතුම් මිනිසාගේ 40 වන වියේ දී අති උතුම් අල්ලාහ් විසින් ලොව පවතින තුරු වලංගු මනුෂ්‍ය වර්ගයා ව යහ මඟට යොමු කරවීම සඳහා වූ අවසන් දිව්‍යමය මාර්ගෝපදේශය  එතුමන් වෙත පහළ කොට මහා කාරුණික දෙවිඳුන්ගේ අවසන් ධර්ම දූතයා ලෙස පත් කර ගන්නා ලදී. මෙලෙස පහළ කරන ලද මාර්ගෝපදේශය ‘අල් කුර්ආන්’ නමින් හැඳින්වෙන අතර එම දේව පුස්තකයෙන් පහත සඳහන් කොටස ඔබගේ අවධානය පිණිස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“ ‘ප්‍රධානියෙනි, මා හැර අන් කිසිදු දෙවියෙකු නුඹලාට ඇතැයි මම නොදනිමි. එබැවින් හමාන්, මා හට කිරි මැටි පුලුස්සා මූසාගේ දෙවිඳුන් මට බැලිය හැකි සේ මා වෙනුවෙන් (පියගැට පෙළින් යුත්) මන්දීරයක් තනව්. තව ද සැබැවින්ම ඔහු අසත්‍යවාදීන්ගෙන් කෙනෙකු යැයි මම අනුමාන කරමි යැ’යි ෆිර්අවුන් (පාරාවෝ) ප්‍රකාශ කළේය”. (අල් කුර්ආන් - 28 : 38)
ඉහත අල් කුර්ආන වැකියෙන් පැහැදිලි වන්නේ මූසා ධර්ම දුතයාණන්ගේ යුගයේ ඊජිප්තුවේ රජු (පාරාවෝ) විසින් තමා  දෙවිඳුන් යැයි උපකල්පනය කොට එම අදහස ජනයා විසින් ද විශ්වාස කළ යුතු බව සිතා සිටි බවය. මේ පිළිබඳ ව අල් කුර්ආනයේ අන්තර්ගත තවත් ආශ්චර්යමත් ඓතිහාසික ප්‍රාතිහාර්යයක් ගැන මෙම ලිපිය අවසානයේ උපුටා දක්වා ඇත්තෙමු.
පෞරාණික ඊජිප්තු ස්මාරක සමග සැඟ වී යන්නට ඉඩ තිබු වැදගත් සත්‍යය තොරතුරක් හෙළිදරව් කර ගන්නට හැකි වුයේ ‘රොසෙටා ගල’ (Rosetta Stone) නම් වූ ශිලා ලේඛනයේ තොරතුරු විසංකේතීකරණයෙන් පසුවය. මෙම තොරතුරු මගින් හෙළි වූ කරුණු කිහිපයක සංක්ෂිප්ත අදහස් පහතින් දක්වා ඇත්තෙමු.
    සාක්ෂරතාවක් නොතිබූ මුහම්මද් තුමාණන් විසින් කිසිදු ඉතිහාස හෝ ආගමික ග්‍රන්ථයක  නිවැරදි අයුරින්  සඳහන් නොවී තිබු ඓතිහාසික තොරතුරක් කෙලෙස නම් ඔහුගේ මනුෂ්‍ය බුද්ධිය උපයෝගී කර ගෙන අල් කුර්ආනයට ඇතුළත් කළ හැක්කේ දැයි අප විසින් විමසා බැලිය යුතු නොවන්නේ ද? වසර තුන් දහසකට වැඩි කාලයකට පෙර වූ සිදුවීම් නුතනයේ ඉතා මවිත කර අයුරින් හෙළිදරව් කර ගැනීමෙන් පසු අප විසින් දැන ගන්නා ලද තොරතුරු මිනිස් හැකියාවන්ට පමණක් සීමා වී කෙලෙස නම් වර්ෂ 1400 කට පමණ පෙර පහළ කරන ලද්දේ යැයි පවසන  අල් කුර්ආනයට ඇතුළත් විය හැක්කේ දැයි අප විසින් සිතා බැලිය යුතු නොවන්නේ ද? මෙම කරුණු සියල්ල අප වෙත ලබා දෙන පැහැදිලි පණිවිඩය නම් වර්ෂ 1400 ක් පමණ පැරණි අල් කුර්ආනයෙහි මෙම කරුණු ඉතා නිවැරදි අයුරින් සඳහන් වී ඇත්නම් එය සත්‍යය වශයෙන් ම සිදු විය හැක්කේ මනුෂ්‍ය හැකියාවන්ට පරිබාහිර වූ අසමසම ශක්තියකින් බව අවිවාදයෙන් පිළි ගත යුතු කරුණක් බව නොවේ ද?  මේ පිළිබඳ සැකයක් තිබිය හැක්කේ කාහට ද?  මෙම ප්‍රාතිහාර්යජනක තොරතුරු නිසැකවම අපට හඬ නගා පවසන්නේ මුහම්මද් තුමාණන් අති උතුම් අල්ලාහ්ගේ ධර්ම දුතයාණන් බවත් අල් කුර්ආනය අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බවත් නොවේ ද?
    මුහම්මද් ධර්ම දුතයාණන් විසින් අල් කුර්ආනය සකස් කර ගන්නා ලද්දේ බයිබලයේ තොරතුරු චෞර ලෙස උපුටා ගනිමින් ඒවා දෙවිඳුන් විසින් එතුමාණන් වෙත පහළ කරන ලද දේව පණිවිඩ බව අසත්‍ය ලෙස පවසමින් බව වර්ෂ ගණනක් තිස්සේ අල් කුර්ආනයේ සත්‍යතාව පිළිබඳ අභියෝගාත්මක චෝදනාවක්  මතු කොට තිබිණි. අල් කුර්ආනයේ තොරතුරු පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සමග සම්පුර්ණ එකඟතාවකින් යුක්ත වීමත් එම තොරතුරම බයිබලයේ සඳහන් අයුරු සම්පුර්ණයෙන්ම නුතන සොයා ගැනීම් සමග පරස්පරතාවක් දැක්වීමත් මගින් පෙන්නුම් කරන්නේ අල් කුර්ආනය බයිබලයෙන් සොරා ගත් තොරතුරු මත පදනම් වී නොමැති බවත් එය සර්වඥානී අති උතුම් අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බව නොවේ ද? අසත්‍යය සදාතනික නොවේ යන්න මෙමගින් සනාථ වන පැහැදිලි කරුණකි.    
‘හමාන්’ පිළිබඳ ව අල් කුර්ආනයේ හා බයිබලයේ තොරතුරු නුතන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සමග සසඳා පර්යේෂණාත්මක අයුරින් සකස් කරන ලද වැදගත් තොරතුරු රාශියක් පහත සඳහන් වෙබ් සම්බන්ධකය මගින් දැන ගත හැකි වනු ඇත.    
http://www.islamic-awareness.org/Quran/Contrad/External/haman.html
‘හමාන්’, පාරාවෝ හා මූසා ධර්ම දුතයාණන් යන සැවොම ඉතිහාසයේ එකම යුගයක ජීවත් වූ පිරිසකි. ඉහතින් ගෙන හැර දැක්වූයේ අල් කුර්ආනය කිසිදු සැකයකින් තොරව සත්‍යය වශයෙන් ම දිව්‍යමය මුලාශ්‍රයෙන් පහළ වූවක් බවට ඇති වැදගත් ඓතිහාසික සාක්ෂියකි. මෙම තොරතුරු විමසා බැලීමේ දී මතු වූ පාරාවෝ පිළිබඳ ව අල් කුර්ආනයේ ඇති තවත් වැදගත් ඓතිහාසික ප්‍රාතිහාර්යක් පිළිබඳ විමසුමක් පෙර ලිපියකින් උපුටා පහතින් දක්වා ඇත්තෙමු.        
පාරාවෝ - ෆිර්අව්න් (Pharaoh)
දැනට වර්ෂ 3000 කට පමණ පෙර ඊජිප්තුවේ පාලකයා වු දෙවන රැම්සෙස්ගේ  පුත් මෙරනෙප්තාගේ මෘත දේහය දැනට තැන්පත් කර තිබෙන්නේ කයිරෝ නගරයේ  තිබෙන ජාතික කෞතුකාගාරයේ ය. මෙම රජ පරපුර එම යුගයේ හඳුන්වනු ලැබුවේ පාරාවෝ - ෆිර්අව්න් (Pharaoh) යනුවෙනි. මෙර්නෙප්තා ෆිර්අව්න්ගේ ඉතිහාසය අනුව ඔහු තමන් අධිපති දෙවිඳුන් බව හඳුන්වා දි තිබු අතර විශ්ව පරමාධිපතිඳුන්ගේ තවත් ධර්ම දුතයෙකු වු මෝසෙස්  තුමාගේ සමකාලිනයෙකු ව ද සිටීය. මෝසෙස් තුමා සමග නිතර ගැටුණු මෙම ෆිර්අව්න් මෝසෙස් තුමා හා එතුමාගේ අනුගාමිකයන් ව මරා දමන්නට ලුහුබැඳ ආ අවස්ථාවේදී, දෙවිඳුන් විසින් රතු මුහුද දෙබෑ කොට මෝසෙස් තුමා හා පිරිසට රතු මුහුදින් එතෙර වන්නට ඉඩ සලසා දුන් අතර ෆිර්අව්න් හා ඔහුගේ හමුදාව රතු මුහුදට අවතිර්ණ වු විගස දෙබෑවු ජලකඳ එකට එකතු වීමෙන් ඔහු හා ඔහුගේ පිරිස මියගිය බව ආගමික ඉතිහාසය අපට උගන්වයි. මේ සම්බන්ධ ව ඇති අල් කුර්ආන් වැකියන් අනුව අවුරුදු 3000කට පමණ පෙර මිය ගිය ෆිර්අව්න් ගේ මළකඳ විනාශයට පත් වන්නට ඉඩ නොදී මතු පරම්පරාවට අවවාදයක් වනු පිණිස සුරක්ෂිත කරන ලද බව දෙවිඳුන් අපට දන්වා ඇත. දැනට අවුරුදු 1400ට පමණ පෙර පහළ කරනු ලැබු අල් කුර්ආනයට මෙම කරුණු ඇතුළත් වීමට නම් මෙම මෘත දේහය සොයා ගෙන ඒ පිළිබඳ ව දැනුමක් තිබූ උදවිය එම යුගයේ ජීවත් ව සිටිය යුතුය. මෙවැනි තත්ත්වයක් අවුරුදු 1400 කට පෙර නොතිබුණේනම් එය එසේ විය හැක්කේ අල් කුර්ආනයේ පණිවිඩය පහළ කරනු ලැබුවේ සර්වඥතාවයකින් යුත් මුලාශ්‍රයකින් බව අපට අවිවාදයෙන් පිළිගැනිමට සිදුවෙනවා නොවේ ද? මේ සම්බන්ධ ව විකල්ප මතයක් ඉදිරිපත් කිරීමට අවකාශ තිබේ ද? මේ සම්බන්ධ ව අල් කුර්ආන් වාක්‍යය පළමු ව විමසා බලමු.
“නුඹට පසුව එන අයට ප්‍රාතිහාර්යයක් වනු පිණිස මෙදින නුඹගේ සිරුර අපි ගොඩ දමා ආරක්ෂා කරන්නෙමු. නියත වශයෙන්ම මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් අපගේ ආයාත් (වදන් - සංඥා) ගැන නොතකන්නෝම යැයි (අල්ලාහ් පැවසීය)”.  (අල් කුර්ආන් - 10 : 92)
මෙම වාක්‍යය පහළ වු කාලයේ එය කොතරම් සුවිශේෂි හා අසාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන්නට ඇති ද? ෆිර්අවුන්ගේ මෘත දේහය විනාශ නොවී සුරැකී ඇති බව සොයා ගන්නට වසර 1300 කට පෙර අල් කුර්ආනයේ ඉහත වැකියෙන් පහළ කළ පණිවිඩය එම යුගයේ ජනයාට එක්තරා අන්දමින් ප්‍රහේළිකාවක් වුවා විය හැක. මහාචාර්ය ලොරට් නම් විද්‍යාඥයා විසින් මෝසෙස් තුමාගේ  යුගයේ ජීවත් වු ෆිර්අව්න්ගේ මෘත දේහය සොයා ගත්තේ 1898 වසරේදීය. මහාචාර්ය ලොරට් විසින් සොයා ගත් ෆිර්අව්න්ගේ සිරුර වසර 3000 කට වැඩි කාලයක් තීබ්ස් නුවර නෙක්රෝපොලිස් සොහොන තුළ ඇතිරිල්ලක ඔතා තැන්පත් කර තිබිණ. 1907 ජුලි මස 8 වැනි දින මහාචාර්ය එලියට් ස්මිත් නම් විද්‍යාඥයා විසින් මෙම සොහොන  විවෘත කොට මෘත දේහය විද්‍යාත්මක පරික්ෂණයන්ට ලක් කරන ලදී. ඉන් අනතුරු ව “Royal Mummies” නමින් මෙම විස්තර අඩංගු පොතක් ද ඔහු පළ කළේය. මහාචාර්ය ලොරට් විසින් 1898 දී සොයා ගනු ලැබුවේ මෝසෙස් තුමාගේ යුගයේ මිසරයේ රජකම් කළ එමෙන්ම තමන් ව අති උත්තරිතර දෙවිඳුන් ලෙස හඳුන්වා දෙමින් ද, මෝසෙස් තුමාගේ සියලු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරමින් ද අවසානයේදී මෝසෙස් තුමා ව මරා දැමීමේ අදහසින් එතුමා ලුහුබැඳ ගිය ගමනේදී ජලයේ ගිලී මියගිය ෆිර්අව්න්ගේ දේහය බවට මෙම විද්‍යාත්මක පරික්ෂණයන්ගෙන් සනාථ කර ගන්නා ලදී.
කයිරෝ නගරයට ගෙන යන ලද මෙම දේහය සම්බන්ධ ව 1975 වසරේදී ප්‍රංශ විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයෙකු වූ ද ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යාඥයෙකු වූ ද මහාචාර්ය මොරිස් බුකෙයිල් විසින් නුතන තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගි කර ගනිමින් වැඩි දුර පරික්ෂණ පවත් වනු ලැබිණි. සියලු පර්යේෂණ අවසානයේ දි විස්මයට පත් ඔහු විසින් පහත සඳහන් ප්‍රකාශයනය නිකුත් කරන ලදී.
“නුතන දත්ත අතර ශුද්ධ වු ග්‍රන්ථ පිළිබඳ ව සාධක සොයන පිරිස ෆිර්අව්න්ගේ සිරුර පිළිබඳ ව අල් කුර්ආන් වැකි පවසන අතිශයින් විස්මයජනක සාධක දැක ගන්නට නම් කයිරෝ  නුවර ජාතික කෞතුකාගාරයේ රාජකිය මෘත දේහ තබා ඇති කාමරයට යා යුතුයි”.
තම රට බලා ගිය මොරිස් බුකෙයිල් විසින් අල් කුර්ආනය හා බයිබලය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමකට යොමු කොට ‘The Bible Quran and Modern Science’ නැමැති ග්‍රන්ථය 1978 දි ප්‍රකාශයට පත් කළේය. මධ්‍යස්ථ විග්‍රහයක යෙදෙන  ජාත්‍යන්තර කිර්තියට පත් ප්‍රවීණ විද්‍යාඥයෙකු වු මහාචාර්ය මොරිස් බුකෙයිල් තම ග්‍රන්ථයේ පහත සදහන්  අයුරින් කරුණු පැහැදිලි කිරීමක යෙදින.
“අල් කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය සාවද්‍ය එකක් බව ඉහත සදහන් කරුණු (ඔහු විසින් අල් කුර්ආනය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමෙන් සොයා ගත් කරුණු) වලින් පෙනේ. අකුරු නොදන්නෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ  විශිෂ්ටතම සාහිත්‍යධාරියා විය හැක්කේ කෙසේ ද? නුතන යුගයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටි විද්‍යාත්මක සත්‍යයන් අල්ප මාත්‍ර වරදකින් තොරව  ශත වර්ෂ දාහතර කට පෙර හෙළිදරව් කළ හැක්කේ කෙසේ ද?” (125 පිටුව)
ෆිර්අව්න්ගේ සිරුර මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට අවවාදයක් ලෙසින් ආරක්ෂා කරන බව අල් කුර්ආන් හත්වන සියවසේ සඳහන් කළ ද මෙම තොරතුරු සනාථ වුයේ 19 වන සියවසේ එම සිරුර සොයා ගැනීමෙන් අනතුරුවය. අල් කුර්ආනය විශ්වයේ පරමාධිපති විසින් පහළ කරන ලද පණිවිඩය බවට සහතික කරන්නට තවත් සාක්ෂි අවශ්‍ය දැයි ඔබෙන් විමසන්නට කැමැත්තෙමු.
 “සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් ය. සැබැවින් ම නුඹ (ඒ පිළිබඳ ව) සැක කරන්නන් අතුරින් අයෙකු නොවවූ”. (අල් කුර්ආන් - 2 : 147)
“අල් කුර්ආනය ඔවුන් (විශ්වාස නොකරන්නන්) පරිශීලනය නොකරනුයේ මන්ද? එය අල්ලාහ්ගෙන් නොවී වෙන කෙනෙකුගෙන් වූයේ නම් එහි නුඹලා බොහෝ පරස්පරයන් (හා වැරදි) දකිනු ඇත”. (අල් කුර්ආන් - 4 : 82)
අල් කුර්ආනය විවිධ කෝණයන්ගෙන් පිරික්සා බැලීමේදී කුමන කෝණයෙන් බැලුව ද එය සැබැවින්ම අසමසම ප්‍රාතිහාර්යයක් බව අපට අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත.
ඉරම් නගරය
“ඉරම් නගරයේ (ඉතා උසස් වු) කුලුණු මෙන් වු ආද් ජනයා සම්බන්ධ ව නුඹගේ පරමාධිපති කෙසේ (දඩුවම්) කළේදැ’යි ඔබ අවධානය නොකළෙහි ද? ඔවුන් මෙන් (ශක්තිවන්තයින් ලෝකයේ කිසිදු) නගරයක නිර්මාණය කරනු ලැබුවේ නැත”. (අල් කුර්ආන් 89 :6 - 8)
අල්-කුර්ආනයේ සඳහන් නගර සියල්ල  සොයා ගෙන තිබු අතර ඉරම් නගරය සොයා ගැනීම පිළිබඳ ව ඇති තොරතුරු අතිශයින්ම මවිතකරය. ඇමරිකාවේ පළකරනු ලබන  National Geography සඟරාවේ 1978 දෙසැම්බර් කලාපයේ ඉතා සුවිශේෂි වාර්තාවක්  පළ කර තිබුණි. එනම් 1973 දි දකුණු සිරියාවේ පුරා විද්‍යාත්මක කැනීම් කිරීමේදී වැලි වලින් යට වි තිබු අවුරුදු 4300 ක් ඉපැරණි  එල්බා නගරය සොයා ගන්නා ලද බවය. මෙම නගරයේ පුස්තකාලය ද ඔවුන්ට සොයා ගැනීමට හැකි විය. එල්බා නගරය වාණිජ සම්බන්ධතාවන් පවත්වා ගෙන ගිය නගරයන්හි නම් අඩංගු මැටි ඵලකයන් ද  ඔවුන්ට සොයා ගැනීමට හැකි විය. එම ලැයිස්තුවේ සඳහන් නගරයන් අතර ඉරම් නගරය ද සදහන් වී තිබුණි. අවුරුදු 1400 පෙර පහළ කරනු ලැබු  අල් කුර්ආනයේ වැකියක සදහන් මෙතරම් ඉපැරණී නගරයක නාමය සැබැවින්ම සත්‍යය නගරයක නාමයක් බව සොයා ගන්නට හැකි වුයේ 1973 දී නම් අල් කුර්ආනයේ ප්‍රාතිහාර්ය ජනක භාවය මෙන්ම එහි පරම සත්‍යභාවය ද මෙය සහතික කරන්නක් නොවන්නේ ද? තවත් විශ්මයජනක සිදුවීමක් නම් ඉරම් නගරය නිශ්චිත වශයෙන්ම සොයා ගනු ලැබුවේ 1992 දී විමය. ඉහත අල් කුර්ආන් වැකිය සඳහන් කරන්නේ ඉරම් වැසියන් කුලුනු මෙන් උස් වු ද ශක්ති සම්පන්න ජන කොට්ඨාසයක් බවය. ඉරම් නගරයේ 2010 දි කරන ලද කැණීම් වලින් ඉතා උස් වු ද ශරීර ප්‍රමාණය විශාල වු ද මනුෂ්‍ය කොට්ඨාසයක ඇට සැකිලි සොයා  ගන්නා ලදී. මෙයින් පැහැදිලි වන්නේ අල් කුර්ආනයේ සත්‍යතාව දිනෙන් දින අලුත් සාධකයන්ගේ හෙළිදරව් වීම් සමගම වඩ වඩාත් තහවුරු වෙමින් පවතින බව නොවේ ද? ඉරම් නගරයේ මෙම සියලු විස්තර ඔබට අන්තර්ජාලයෙන් ලබා ගත හැක.
“(නබිවරයාණෙනි) නුඹ මෙසේ විමසනු (මෙම පුස්තකය) අල්ලාහ්ගෙන් පහළ වි තිබිය දී මෙය නුඹලා ප්‍රතික්ෂේප කළහොත් (මෙසේ) ප්‍රසිද්ධියේ විරුද්ධ වන්නාට වඩා දුර්මාර්ගිකයා කවරෙක් දැයි නුඹ අවධාරණය  කර බැලුවෙහි ද? ඇත්තෙන්ම මෙය සත්‍යය යැයි ඔවුන්ට පැහැදිලි වන තෙක් අපගේ සාධකයන් (ලෝකයේ) බොහෝ ප්‍රදේශයන්හි ද ඔවුන් මාර්ගයෙන් ද ඉතාමත් ඉක්මණින් අපි ඔවුන්ට පෙන්වන්නෙමු. (නබිවරයාණෙනි) ඇත්තෙන්ම නුඹගේ පරමාධිපති සියල්ල නිරික්ෂණය කරමින් සිටින්නේ යැයි සෑහීමට පත් නොවුයේ ද?” (අල් කුර්ආනය 41 : 51 - 53)
ඉහත දෙවිඳුන් අපට දන්වන්නේ අල් කුර්ආනයේ සත්‍යභාවය තහවුරු කරන සාධකයන් මිහිතලය මතින් හා මිනිසා තුළින් නිරන්තරයෙන්ම හෙළිදරව් කරමින් සිටින බවය. අද අප  සැබැවින්ම  අත්දකිමින් සිටින්නේ මෙම සත්‍යතාව තහවුරු කරන සාධකයන්ගේ හෙළිදරව්ව නොවේ ද?
නුතන විද්‍යාව පරික්ෂණය නිරික්ෂණය හා නිගමනය යන ක්‍රම වේදයන් උපයෝගි කර ගෙන විද්‍යාත්මක සිද්ධාන්තයන් ස්ථාපිත කරගන්නා අතර  නිශ්චිත වශයෙන්ම ඔප්පු කර නොගන්නා යමක් සත්‍යය ලෙස පිළිගැනිම ප්‍රතික්ෂේප කරයි. අල් කුර්ආනය ද මෙම විද්‍යාත්මක ආකල්පය අනුවම සිතන්නට මිනිසා ව දිරිගන්වයි. පහතින් දක්වා ඇති කුර්ආන් වැකියෙන් මිනිසා සත්‍යය යැයි පවසන්නා වු කරුණු පිළිගැනිමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අභියෝග කරයි.
“කිතුනුවන් හෝ යුදෙව්වන් හෝ හැර (අන්) කිසිවෙකුත් ස්වර්ගයට ඇතුළු නොවන බව ඔවුහු පවසති. මෙය ඔවුන්ගේ පදනම් විරහිත විශ්වාසයක් (මිස සත්‍ය නොවන්නේය) නුඹලා සත්‍යවාදීහු නම් නුඹලාගේ සාක්ෂින් ගෙන එවු යැයි (නබිවරය) පවසවූ”.(අල් කුර්ආන් 2 : 111)
එහෙයින් ඉස්ලාමය මිනිසාගේ විචාර බුද්ධියට ගෝචර වන පරිදි පිළිගත හැකි සාක්ෂින් පදනම් කර ගෙන ඔප්පු කළ හැකි හා ඔප්පු කරනු ලැබු සත්‍යයන් බවට ආගමික විශ්වාසය තිබිය යුතු යැයි  පවසයි.
අන්ධ භක්තිය ප්‍රතික්ෂේප කරන ලෙස මනුෂ්‍ය වර්ගයාට අල් කුර්ආනය උපදෙස් දෙයි. අප දහම් තොරා ගෙන ඇත්තේ තමන් උපන් පවුල අනුව බව නොරහසකි. දෙමව්පියන්ගේ දහම කිසිදු විමසුමකින් තොරව පරම සත්‍යය ලෙස පිළිගෙන  කටයුතු කිරිම අල් කුර්ආනය ප්‍රතික්ෂේප කරයි.
“අල්ලාහ් පහළ කළ දෑ(අල් කුර්ආනය) වෙත ද රසුල්වරයා වෙත ද පැමිණෙනු යැයි ඔවුනට කියනු ලැබුවහොත් අපගේ පියවරුන් කුමක් කෙරෙහි (අනුගමනය කරමින්) සිටියේ දැයි අප දුටුවෙමු ද, එය ම (අනුගමනය කිරීම) අපට ප්‍රමාණවත් ව‍න්නේ යැයි කියන්නෝය. ඔවුන්ගේ පියවරුන් කිසිවක් නොදැනුවත් ව ද සෘජු මාර්ගයෙහි නොවි සිටිය දි ද (ඔවුන් තමන්ගේ පියවරුන් අනුගමනය කරන්නේ)” (අල් කුර්ආන් 5 : 104).
ඉහත විද්‍යාත්මක සාධක ගෙන හැර දැක් වූයේ නුතන විද්‍යාව ඉතා මෑතක දි සොයාගත් කරුණු අල්කුර්ආනයට අවුරුදු 1400 කට පෙර ඇතුළත් වි තිබේ නම් නිශ්චිත වශයෙන්ම අල්කුර්ආනය මනුෂ්‍ය බුද්ධියේ නිර්මාණයක් විය නොහැකි බවටත් එහි මූලාශ්‍රය සහතික වශයෙන්ම සර්වඥානී එකක් විය යුතු බවටත් සනාථ කිරිමටය. අල් කුර්ආනයේ සඳහන්  විද්‍යාවට ගෝචර භෞතික කරුණු සියයට සියයක්ම නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට  අනුකුලව හා  සත්‍යය බව ඔප්පු වන්නේ නම් විද්‍යාවට ගෝචර නැති පාරභෞතික කරුණු ද (දෙවිඳුන්, මරණින් මතු ජිවිතය, විනිශ්චය දිනය, නිරය, ස්වර්ගය වැනි) සත්‍යයන් බවට අපට පිළිගන්නට සිද්ධ වෙනවා නොවේ ද? මෙම සියලු තොරතුරු අන්ධ භක්තියෙන් පිළිගැනීම සඳහා නොවේ. මිනිසාට පමණක් උරුම විචාර බුද්ධිය උපයෝගී කර ගෙන බුද්ධිමය විචාරයක් සඳහා ඔබ ව දිරිගැන්වීම අපගේ ප්‍රධාන අරමුණයි.

 

 

 

 

 

 
Contents

الصفحة    العنوان    م
1    දේව විශ්වාසය මිත්‍යා දෘෂ්ටියක් ද? සම්මා දෘෂ්ටියක් ද?    1
    මුල් හේතුව දැන ගත හැකි ද?    2
    විශ්වයට ආරම්භයක් තිබේ ද?    3
    විද්‍යාඥයින් ව විස්මයට පත් කළ විශ්ව නියාමයන් (සිද්ධාන්තයන්)    4
    විචාර බුද්ධි    5
    මහා පිපුරුම් න්‍යාය    6
    මිහිතලයේ හැඩය    7
    මිහිතලය පිළිබඳ විද්‍යාත්මක තොරතුරු    8
    ‘සත්‍යය’    9
    අල් කුර්ආනයේ භාෂාව    10
    මිනිසාගේ සම්භවය    11
    පරිණාමවාදය    12
    විස්මයජනක ජීවී සෛලය හා අවම කළ නොහැකි සංකීර්ණත්වය    13
    පොසිල වාර්තා    14
    මිනිසා සහ මිනිස් ජීවිතය    15
    මිනිසාගේ දහම    
    මිනිසා  සහ සත්වයින් අතර ඇති සමානකම්    
    ඔහුගේ පාලකයා කෙසේ විය යුතු ද යත්:    
    මෙවන් විශ්වාසයකින් ඇති යහපත    
    අල් කුර්ආනයේ සඳහන් ඓතිහාසික හා අනෙකුත් තොරතුරු පිළිබඳ ප්‍රාතිහාර්යයන් කිහිපයක්    
 


    

 

දෙවිඳුන්? මිනිසා? සත්‍යය?

Download

About the book