ධනය - ඉස්ලාම් හී තහනම් වෙළෙඳ ගනු දෙනු

හදීස් වදන “දහම යනු අවංක වීමය.අල්ලාහ්ට, ඔහුගේ ග්රසන්ථයට, ඔහුගේ රසූල් වරයාට, මුස්ලිම් නායකයන්ට සහ මුස්ලිම් පොදු ජනයාට.” වෙළෙඳාමෙහි අවංකවීමද එයින් කොටසකි.

اسم المادة: المعاملات المحرمة في الإسلام


تأليف: صالح بن فوزان الفوزان


نبذة مختصرة: رسالة باللغة السنهالية تحتوي على بعض كلمات من محاضرات الشيخ صالح الفوزان عن المعاملات المحرمة في الشريعة الإسلامية.


ධනය - ඉස්ලාම් හී තහනම්
වෙළෙඳ ගනු දෙනු

] සිංහල – Sinhala – [ سنهالي

 

සවුදි අරාබියේ
ෂෙයික් සාලිහ් බින් ෆව්zසාන් අල් ෆව්zසාන් පැවැත්වු


පරිවර්තක:ජාසිම් ඉබ්න් දඉයාන්

 

 

2014 - 1435
 
 

المعاملات المحرمة في الإسلام
« باللغة السنهالية »

 

 


من كلمات الشيخ
صالح بن فوزان الفوزان

 

ترجمة: جاسم بن دعيان

 

 

2014 - 1435
 

ධනය -
ඉස්ලාම් හී තහනම්
වෙළෙඳ ගනු දෙනු

සවුදි අරාබියේ
ෂෙයික් සාලිහ් බින් ෆව්zසාන් අල් ෆව්zසාන් පැවැත්වු
දේශනාවකින් උපුටා ගන්නා ලදී

පරිවර්තක
 ජාසිම් ඉබ්න් දඉයාන්

 


හැඳින්වීම
සියලු ප්‍රශංසා සර්ව බලධාරි අල්ලාහ්ට හිමි වේවා. ශාන්තිය හා සමාදානය අල්ලාහ්ගේ අවසාන සංදේහක මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තැමාණන්ට හා එතුමාගේ පවුලේ අයට සහ අවසාන දිනය දක්වා  එතුමා යහ අයුරින් අනුගමනය කරන ජනයාට හිමිවේවා.
මෙය සවූදි අරාබියේ සුප්‍රසිද්ධ ආගමික විද්වතෙක් වන ෂෙයික් සාලිහ් අල් ෆව්සාන් විසින් සවූදි අරාබියේ, රියාද් නුවර සමූ වලී අල් අහ්ද්  අල් අමීර් අබ්දුල්ලාහ් බින් අබ්දුල් අසීස් ආලි සුඌද් මස්ජිදයෙහි, හිජ්රි වසර 1411 ජමාදුල් ඌලා මස “අල් බුයූ අල් මුන්හී අන්හා ෆිල් ඉස්ලාම්“ (ඉස්ලාම් හි තහනම් වෙළෙඳ ගනු දෙනු) යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනාවක් පදනම් කර ලියන ලද කුඩා පොත් පිංචයක පරිවර්තනයකි. බටහිර මුස්ලිම් වරුන්ට මෙම මාතෘකාවේ වැදගත්කම හේතු කොට ගෙන මෙම පොත තෝරා ගන්නා ලදී. බටහිර රටවල මුස්ලිම් වරුන්ගේ සංඛ්‍යාව වර්ධනය වී එම මුස්ලිම් සමාජයේ අවශ්‍යතා සඳහා මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාර විවෘත කිරීම අවශ්‍ය විය. කිසියම් දෙයක් පිළිබඳව නිසි දැනුමෙන් තොරව ක්‍රියා කිරීම මුස්ලිම් වරුන්ට නුසුදුසුය. අල්ලාහ් සහ ඔහුගේ රසූල් (සල්) තුමාණන් තහනම් කළ දෛනික වෙළෙඳ ගනු දෙනු පිළිබඳ දැනුම ලබා දීම සඳහා ප්‍රයෝජන වන අරමුණින් මෙම කුඩා පොත් පිංචය ඉදිරිපත් කළ යුතු යැයි සිතුවෙමු. පාරිභෝගිකයින්ට, අලෙවි කරන ව්‍යාපාරික යන්ට පමණක් නොව, ආයතනයට භාණ්ඩ මිල දී ගන්නා ගැනුම් කරුවන්ටද (purchasers) මෙම පොතෙහි අඩංගු කරුණු අවශ්‍යය වේ. මිල දී ගැනීමට, අලෙවි කිරීමට සහ වෙළෙඳ ප්‍රචාර කිරීමට තහනම් කරන ලද නමුත් මුස්ලිම් සමාජයේ අද බහුල ව තිබෙන සංගීතය, මද්‍යසාර සහ දුම්වැටි  වැනි භාණ්ඩ පිළිබඳව අෂ් ෂෙයික් වරයා විශේෂයෙන් සඳහන් කළහ. මෙම පොත් පිංචය කියවන සෑම මුස්ලිම් වරයෙක්ම මෙවැනි තහනම් භාණ්ඩ විකීණීමෙන් හා මිල දී ගැනීමෙන් වැළකී සිටීමෙන් පමණක් නොව මෙවැනි භාණ්ඩයන් පිළිබඳ ගනු දෙනුවට සම්බන්ධ වීමෙන් ද ඉවත් වන බව අපි විශ්වස කරමු.
දයාලු, පරම දයාලු  අල්ලාහ්ගේ නාමයෙන් අරම්භ කරමි
සියලු ප්‍රශංසා සර්ව බලධාරි අල්ලාහ්ට හිමි වේවා.  ශාන්තිය හා සමාදානය අල්ලාහ්ගේ අවසාන සංදේශක වරයා මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තැමාණන්ට හා එතුමාගේ පවුලේ අයට සහ එතුමාගේ මිත්‍රයන් සියලු දෙනාට හිමිවේවා.
තහනම් කරන ලද වෙළෙඳ ගනු දෙනු පිළිබඳව කෙටි විස්තර මෙහි සපයන ලදී. මෙ මගින් මුස්ලිම්වරු මෙවැනි තහනම් ගනු දෙනු කිරීමෙන් වැළකී, තම ආදායම් මාර්ගය පිරිසිදු කර මෙලොව හා මරණයෙන් පසුව ද ජය ලබන්නට හැකි වන බව අපේක්ෂා කරමු. 1411 හිජ්රි වසර සවුදි අරාබියේ, රියාද් නගරයේ සමූ අල් අහ්ද් අල් අමීර් අබ්දුල්ලාහ් බින් අබ්දිල් අසීස් ආලි සුඌද් මස්ජිදයෙහි මා කළ දේශනාවකින් මෙම පොත් පිංචය සකස් කරන ලදී.
සහෝදරවරුනී! වාණිජ සහ වෙළෙඳ ව්‍යාපාරය සමාජයකට අත්‍යවශ්‍ය බව කිසිදු සැකයක් නැත. එයට හේතුව අපට අවශ්‍ය ආහාර සහ පෝෂණය නිවැරදි මාර්ගයෙන් සොයා ගන්නා ලෙස අල්ලාහ් අපට අණ කර ඇත. වාණිජය (මිල දී ගැනීම සහ අලෙවි කිරීම) පිළිබඳව පවසන විට අල්ලාහ් විශේෂයෙන් මෙසේ සඳහන් කර ඇත. “අල්ලාහ් වෙළෙඳාම අනුමත කර ඇත. පොලිය තහනම් කර ඇත. ” සූරා බකරා 275 වාක්‍ය.
ඔහු මෙසේ ද පවසා ඇත. “විශ්වාස කළවුනි! ජුමුආ දිනයෙ හි සලාතය සඳහා අඬ ගසනු ලැබු කල්හී අල්ලාහ් සිහිපත් කිරීමට නුඹලා ඉක්මන් වවු. වෙළහෙළඳාම් අත්හිටු වව්. ඔබට එය ඉතා හොඳය, ඔබ දැන සිටියෙහු නම්. සලාතය නිම වුවායින් පසු භූමියෙහි විසිරී ගොස් අල්ලාහුගේ වරප්‍රසාදයන් සොයා ගනිවු. බෙහෙවින් අල්ලාහු සිහිකරවු, (එමගින්) නුඹලා ජයග්‍රාහකයන් විය හැක.”  62: 9 සහ 10 වැකි.
තම පෝෂණය සෙවීම සහ නැමදුම් ක්‍රියාව සම්බන්ධ කරන්නන්ට අල්ලාහ් ප්‍රශංසා කරන්නේ මෙසේය.
“නිවෙස් හි උත්කෘෂ්ට කරවනු ලැබීමත් එහි තම නාමය මෙනෙහි කරනු ලැබීමත් අල්ලාහ් අනුමත කළේය. තවද, එහි උදය හා සවස ඔහුව මිනිසුන් සුවිශුද්ධ කරති. වෙළෙඳාම හෝ ව්‍යාපාරය, අල්ලාහ්ට මෙනෙහි කිරීමෙන්ද සලාතය ස්ථාපිත කිරීමෙන්ද, zසකාත් දීමෙන්ද, ඔවුන්ව නොහරවයි. එහි හදවත් හා බැල්ම නළියමින් පවතින දිනයට ඔවුහු බිය වෙති.” සූරා නූර් 36, 37
මෙම වාක්‍යයෙහි මුස්ලිම් වරුන්ගේ ලක්ෂණය නම්, ඔවුන් වාණිජ ව්‍යාපාරයන්හි යෙදෙන්නන් බව අල්ලාහ් පවසයි. එහෙත්, නැමදීමේ වේලාව පැමිණි විට, තම වෙළෙඳ කටයුතු සියල්ල පැත්තකට දමා නැමදුමෙහි නිරත වෙති.
“වෙළෙඳාම හා ගනු දෙනු අල්ලාහ් මෙනෙහි කිරීමෙන්ද සලාත් හි නිරත වීමෙන්ද, සzකාත් දීමෙන්ද, ඔවුන් නොවළක්වති.” සූරා නූර් 37.
“එසේ හෙයින් අල්ලාහ්ගේ සන්නිධානයෙන් බොජුන් සොයවු. තවද ඔහු නමදිවු. ඔහුට ස්තූති කරවු. ඔහු වෙතටය ඔබ පුන පමුණුවනු ලබන්නේ. ” සූරා අන්කබූත් 17.
එ බැවින්, දහමට එකඟ ව යමක් උපයා ගැනීම සඳහා වෙළෙඳාම හෝ ඕනෑම ව්‍යාපාරයක යෙදීම තුළින් පුද්ගල යෙකුට හා සමාජයට විශාල යහපතක් සැලසෙයි.
මිල දී ගැනීම සහ විකිණීම යන කාර්යය සමාජයට අත්‍යවශ්‍යය එකක් වන අතර මස්ජිදයේ සමූහයක් වශයෙන් කරන ආගමික වතාවත් අතපසු කිරීමට හෝ  ප්‍රමාද කිරීමට ඔහුගේ වෘත්තිය හේතුවක් නොවන්නේ නම්, එය ඉතා ප්‍රශංසනීය එකක් වෙයි.
“අවංක හා විශ්වාසවන්ත වෙළෙඳෙක් නබි වරුන්, මුජාහිද් නම් ජීවිත පරිත්‍යාග කළවුන් හා ධර්මිෂ්ඨ පුද්ගලයින් සමඟ ස්වර්ගයේ සිටියි.”
මිල දී ගැනීමේ හා විකිණීමේ ක්‍රියාවෙහි අවංකව කටයුතු කරන වෙළෙන්ඳෙක් අවසාන දිනයේ ඉහත සඳහන් උතුම් ජනයා අතර සිටින බව මෙහි අර්ථය වේ. මෙය ඉතාමත් ශ්‍රේෂ්ඨ ස්ථානයක් වන අතර, එම ක්‍රියාවන් හී යෙදෙන්නා වංශවත් වෘත්තියක යෙදුනු බව සනාථ වෙයි. මුහම්මද් (සල්) තුමාණන්ගෙන් ඉතාමත් පිරිසිදු ඉපැයීම කුමක් දැයි විමසන ලද විට, එතුමාණන් මෙසේ පිළිතුරු දුන්හ.
“(අල්ලාහ් විසින් පිළි ගනු ලැබු) ආශීර්වාද ලත්  වෙළෙඳාම සහ මිනිසා ඔහුගේ දෑතින් වෙහෙස දරා උපයන ආදායම. ” අත් තබරානි වාර්තා කළේය.
නබි (සල්ලල්ලාහ් අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේද දැන්වුහ.
“වෙළෙඳ ගනු දෙනුවක් කරන දෙදෙනෙක්, එය අවසන් කර වෙන් වන තුරු යහපත් ස්ථානයෙහි සිටිති.  ඔවුන් දෙදෙනාම එකිනෙකා කෙරෙහි අවංකව හා විවෘත වුයේ නම් ඔවුන්ගේ ගනු දෙනුවෙහි ආශීර්වාද ලබති.  එසේ නොව ඔවුන් එකිනෙකාට බොරු පවසා (සත්‍ය) සඟවන්නේ නම් ඔවුන්ගේ ගනු දෙනුවෙහි තිබෙන ආශීර්වාදය (ඔවුන්ම) මකා දමන්නෝය.”
එබැවින්, අවංකව හා යහපත් අයුරින් සිදු කරන වෙළෙඳාම තුළින් ලබන පෝෂණය ඉතාමත් උතුම්ය. බොරුව, ප්‍රෝඩාව, වංචාව සහ මුළා කිරීම වැනි මාර්ගයෙන් වෙළෙඳාම් කරන්නේ නම්, එයින් ලබන පෝෂණය ඉතාමත් අයහපත් එකක් වෙයි.
වෙළෙඳ පොළේ විකීණීම් හා මිල දී ගැනීමේ ව්‍යාපාරයේ නිරත වන මුස්ලිම් පිරිසක් පසු කර ගෙන ගිය නබි (සල්ලල්ලාහ් අලෙයිහි වසල්ලම්) තුමාණෝ “අහෝ වෙළෙඳුණි!” යැයි ඔවුන්ට ඇමුතුහ. එතුමාගේ හඬ අසා ඔවුන් හිස ඔසවා බැලු විට, “සැබැවින්ම, අල්ලාහ්ට බිය බැතිමත් හා අවංක වෙළෙඳුන් හැර අන් සියලු වෙළෙඳුන් දුෂ්ට පාප තරයින් (ෆුජ්ජාර්) ලෙස යළි නැගුටු වනු ලබන්නෝය.“ යනුවෙන් අවවාද කළහ. අත් තිර්මිදි මෙය හසන් හදිසයක් බව වාර්තා කළේය.
නබි (සල්ලල්ලාහ් අලෙයිහි වසල්ලම්) තුමාද තම ජීවිතයේ ආරම්භක අවදියේ කදිජා (රලි) තුමියගේ වෙළෙඳාම් කටයුතු වල යෙදුණහ. එය එතුමා නබි වරයෙකු බවට පත් විමට පෙර වූ කාලයෙහිය. එවිට වෙළෙඳාම් කිරීමෙන් එතුමාණෝ ලාභයක්ද ලැබුහ.
එතුමාණන්ගේ මිතුරන් ද වෙළෙඳාමෙ හි යෙදුණහ. උත්මාන් (රලි) අන්හූ වැනි ධනවත් ව්‍යාපාරිකයෝ අල්ලාහ්ගේ මාර්ගයේ සිදු කරන ජිහාද් හි සහභාගි වූ දුප්පත් සෙබළුන්ට තම ධනයෙන් සහය දැක්වුහ. අබ්දුර් රහ්මාන් ඉබ්න් අව්ෆ් (රලි) වැනි තවත් ධනවත් වෙළෙඳෙක් ජිහාද් හෝ අවශ්‍ය අවස්ථාවන් හි මේ ආකාරයෙන් ඉස්ලාමයට ධනයෙන් සහය වු කෙනෙකි.
අබු බකර් (රලි) තුමා ද තම  ධනයෙන් මක්කාවේ ජීවත් වන විටද  එයින් බැහැර වූ විටද ඉස්ලාමයට සහ මුස්ලිම් වරුන්ට දායකත්වය ලබා දුන්නේය. එතුමා තම ධනයෙන් විශාල කොටසක් අල්ලාහ් ගේ මාර්ගයේ වියදම් කළේය.
මේ හේතුවෙන් තම පෝෂණය සෙවීමේ දී, අනුමත කළ මාර්ගයෙන් වෙළෙඳාමේ නිරත වීමෙහි විශාල යහපතක් තිබේ.
එහෙත්, මෙසේ වෙළෙඳාමෙ හි නිරත වන විට, ආගම අනුමත කළ සීමාව තුළ ක්‍රියා කිරීම බොහෝ සෙයින් වැදගත් වේ. මෙ මගින් ඉස්ලාම් අනුමත නොකළ ගනු දෙනුවලින් ඉවත් වී, තහනම් මාර්ගයේ ආදායම් ඉපැයීමෙන් වැළකී සිටිය හැකි වේ.
•    වෙළෙඳාමෙහි නිරත වීම නිසා නැමදුම් සහ වතාවත් අත පසු කිරීම: එනම්, වෙළෙඳාමෙ හි නිරත වන කෙනෙක්, තම දෛනික නැමදුම් සහ වතාවත් ඉටු කිරීමෙන් බැහැර වීම හෝ මස්ජිදයේ සමූහ නැමදුමට (ජමාඅත්) සහභාගි නොවීම හෝ සමූහ සලාතයෙන් ඇතැම් කොටස් නොලැබීම. මෙය නුසුදුසු බව අල්ලාහ් පවසයි.
“විශ්වාස කරන අයවලුනි! “ජුම්ආ දිනයෙහි සලාතය සඳහා කැඳවනු ලැබු කල්හි වෙළෙඳාම අත හැර අල්ලාහ්ව මෙනෙහි කිරිම පිණිස නුඹලා ඉක්මන් වවු. නුඹලා  දැන සිටියෙහු නම් එය නුඹලාට ඉතා යහපත් වන්නේය. සලාතය ඉටු කර (අවසන් කර)නු ලැබුවේ නම් මිහිතලයෙහි විසිරී ගොස් අල්ලාහ්ගේ භාග්‍ය (සම්පත්) සොයා ගනිවු. අල්ලාහ්ට අධික ලෙස මෙනෙහි කරවු. (එමගින්) නුඹලා ජයග්‍රාහිකයින් විය හැක.” සූරා ජුම්ආ 62: වාක්‍ය 9 සහ 10
තවත් ස්ථානයක අල්ලාහ් මෙසේ ද පවසයි.
“විශ්වාස කළවුනි! නුඹලාගේ ධනය හා නුඹලාගේ දරුවන් අල්ලාහ්ට මෙනෙහි කිරීමෙන් නුඹලාව වෙනතකට යොමු නොකළ යුතුය. තවද, කවරෙකු එසේ කරන්නේ ද ඔවුන්මය අලාභ වන්තයින් වන්නේ.” සූරා මුනාෆිකූන් 63:9
මෙහි දී “....ඔවුන්මය අලාභවන්තයින් වන්නේ“ යනු අල්ලාහ් පවසන වදන දෙස බලන්න. ඔවුන් පොහොසත් වූ වත්, ඔවුන් කෙතරම් මුදල් සඟවා තිබුණත්, කෙතරම් දරු සම්පතට හිමි කරුවන් වූ වත්, ඔවුන් අලාභ වූවන් බව අල්ලාහ් නිගමනය කරයි. මෙයට හේතුව ඔවුන් අල්ලාහ්ව සිහි කිරීමෙන් අත පසු කළ දේ  සඳහා ඔවුන්ගේ ධනය හා දරු සම්පත් මගින් හිලව් කළ නොහැකි වීමය. මේ නිසා මෙලොව ජීවිතයේ ඔවුන් කෙතරම් ආදායම් හා ලාභ ලැබුවත්, අවසානයේ සෑම අතින් ම ඔවුන් අලාභ ලැබුවන් බවට පත් වනු ඇත. මෙම යහ ක්‍රියාවන් දෙක නිසියාකාරව සංයුක්ත කිරීමට ඔවුන් සමත් වුයේ නම්, ඔවුන් සැබැවින්ම ලාභ ලබන්නෝය. වෙළෙඳාම් කරන අවස්ථාවෙහි වෙළෙඳාම් කටයුතු වල නිරත වීම, සහ නැමදුම් කරන අවස්ථාව පැමිණි විට නැමදුම් කටයුතු වල නිරත වීම වැනි ක්‍රමයෙන්, මෙලොවේ යහපත් දේ සමඟ මරණයෙන් පසුව ලැබෙන හොඳ දේ ඔවුන් සංයුක්ත කර ගනිති. මෙලෙස ක්‍රියා කිරීම පිළිබඳව අල්ලාහ් මෙසේ සඳහන් කරයි.
“එ බැවින් අල්ලාහ්ගෙන් ඔබේ ආහාර සොයා ඔහුට (පමණක්) නමදිනු.” යනුවෙන්ද,
“සලාතය නිම වූවායින් පසු භූමියෙහි විසිර ගොස් අල්ලාහ්ගේ වරප්‍රසාදයෙන් ඉළයවු. ” සූරා ජුම්ආ, 10.
මෙයට එකගව, වෙළෙඳාම දෙවර්ගයට අයත් ය. ලෞකික ජීවිතය සඳහා වු ව්‍යාපාරය සහ ආඃහිරා නම් මරණයෙන් පසුව කාලය සඳහා වන ව්‍යාපාරය. මෙලොව සඳහා වෙළෙඳාම ධනයෙන් සිදු කරන අතර, මතු ලොව ජීවිතය සඳහා වන වාණිජය ධර්මිශ්ඨ ක්‍රියාවන් මගින් සිදු කෙරේ.
“විශ්වායස කළවුනි! වේදනීය දඬුවමින්  නුඹලාට ආරක්ෂා කරන්නා වූ ව්‍යාපාරයක් නුඹලාට මා දන්වන්නද? (එය නම්) නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ රසූල් වරයාවද විශ්වාස කර නුඹලාගේ ධනයෙන් ද, නුඹලාගේ ප්‍රාණයෙන්ද අල්ලාහ්ගේ  මාර්ගයේ ජිහාද් කිරීමයි. නුඹලා දැන සිටියෙහු නම්, එය නුඹලාට ඉතා යහපත් වන්නේය. (එසේ නුඹලා කළේ නම්) ඔහු නුඹලාගේ පාපයන් නුඹලාට ක්‍ෂමා කරන්නේය. තවද, නුඹලාව (ස්වර්ගයේ) උයන් වලට ඔහු ඇතුළු කරවන්නේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. තවද සදාතනික වූ ස්වර්ග උයන් හි ඇති මනරම් වු නවාතැන් වලට (ඔහු ඇතුළු කරවන්නේය). එයමය ඉමහත් ජයග්‍රහණය වන්නේ.” සූරා අල් සෆ් 10 - 13 දක්වා වැකි.
මෙය විශාල ලාභ ගෙන දෙන මහත් වූ, වෙළෙඳාමකි. එනිසා, අනුමත කරන ලද වෙළෙඳාම මෙම ලෞකික ජීවිතය හා සම්බන්ධ වුයේ නම්, එහි යහපත තවත් අධික වනු ඇත. එහෙත්, කෙනෙක් ඔහුගේ වෙළෙඳාම මෙම ලෞකික ජීවිතයට පමණක් සම්බන්ධ කර, මරණයෙන් මතු ජීවිතයේ ව්‍යාපාරයට එය අත හැර දමන්නේ නම්, ඔහු අලාභ වු කෙනෙක් බවට පත් වේ. මෙය පිළිබඳව අල්ලාහ් ගේ වදන දෙස බලමු. “කවරෙකු එසේ කරන්නේ ද, ඔවුන්මය අලාභවන්තයින් වන්නේ.” සූරා මුනාෆිකූන් 63:9
එනිසා, කෙනෙක් නැමදුම වෙත අවධානය යොමු කර, අල්ලාහ් ව අධික ලෙස සිහිපත් කර, අල්ලාහ් අණ කළ සියලු දේ ඉටු කරන්නේ නම්, සැබැවින්ම අල්ලාහ් ඔහුගේ රිස්ක් නම් ජීවිත සම්පත් හි දොරටුව විවෘත කරන්නේය. ජීවිත සම්පත් ලබා ගැනීමේ මාර්ගය නැමදුම යැයි අල්ලාහ් මෙසේ පවසයි.
“සලාතය පිළිබඳව නුඹ නුඹගේ පවුලට අණ කරවු. තවද නුඹ ද ඉවසීමෙන් නිරත වවු. අපි නුඹෙන් ජීවන සම්පත් නොඉල්ලුවෙමු. නුඹලාට ජීවන සම්පත් පිරිනමනුයේ අපිමය. තවද (යහපත්) අවසානය බියබැති මත් භාවයටයි.“ සූරා තාහා 20:132.
මෙම වාක්‍යයට අනුව, නැමදුම නිසා තම වෙළෙඳාම හා පෝෂණය සෙවීමේ මාර්ගය අපතේ යන බව ඇතැම් අය පවසන කථාව අසත්‍යය එකක් වන අතර, සැබෑ තත්ත්වය ඔවුන් පවසන කරුණු වලට හාත්පසින්ම විරුද්ධ එකකි. මෙයට හේතුව පෝෂණය අල්ලාහ්ගෙන් ලැබෙන නිසාය. එනිසා, අල්ලාහ් මෙනෙහි කිරීමට සහ නැමදුම් කිරීමට ඔබේ අවධානය යොමු කළේ නම්, පෝෂණයේ දොරටුව ඔබ සඳහා විවෘත කිරීම ඔහු පහසු කරනු ඇත. “අල්ලාහ් ජිවත සම්පත් ලබා දීමෙහි අති ශ්‍රේෂ්ඨයා වන්නේය.” සූරා ජුම්ආ 62:11
විශ්වාස කරන්නන්ගේ නැමදුම පිළිබඳව අල්ලාහ් මෙසේ සඳහන් කරයි.
“නිවසෙහි උත්කෘෂ්ට කරවනු ලැබීමත්, එහි තම නාමය මෙනෙහි කරනු ලැබීමත් අල්ලාහ් අනුමත කළේය. තවද එහි ඔහුව උදෑසන හා සවස පිරිමින් සුවිශුද්ධ කරති. වෙළෙඳාම හෝ ව්‍යාපාරය අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ද සලාතය ස්ථාපිත කිරිමෙන් ද සzකත් ගෙවිමෙන් ද ඔවුන්ව නොහරවයි. එහි හදවත් හා බැල්ම නළියමින් පවතින දිනයට බිය වෙති. ” සූරා අන් නූර් 24: 36 සහ 37.
    මෙම වාක්‍ය පහදා දුන් ඇතැම් සලෆි වරු මෙසේ පැවසුහ. “ඔවුන් (සහාබාවරු) වෙළෙඳාමේ නිරත වී සිටිය දී මුඅද්දින්ගේ ඇරයුම ඇසුණේ නම්, තම අතේ තිබෙන තරාදිය ඉවත දමා, සලාතය සඳහා වේගෙයෙන් යති.” කලින් පැවසූ ආකාරයෙන්, ඔබ නිරත වී සිටින වෙළෙඳාම නිසා නැමදුම් කිරීමට බාධාවක් වුයේ නම් මෙම ගනු දෙනුව තහනම් කරන ලදුව, කිසිදු ඵලක් ගෙන නොදෙයි. එමගින් උපයා ගත් මුදල් හරාම් (තහනම්) සහ අපිරිසිදු එකකි. මෙය ඉතාමත් වැදගත් කරුණකි.
•    තහනම් කළ වෙළෙඳාම යනු තහනම් භාණ්ඩ අලෙවි කිරීමය. අල්ලාහ් යමක් තහනම් කරන විට, එම ක්‍රියාවෙන් මුදල් ලැබීම ද තහනම් කර ඇත. එනම් අලෙවි කිරීමට තහනම් කළ දෙයක් කෙනෙක් අලෙවි කර, මුදල් ලැබීම එ වැනි දෙයකි.
මළ සතුන්, මත් පැන්, සූකර මාංශ සහ පිළිම වැනි භාණ්ඩ අලෙවි කිරීම අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් විසින් තහනම් කරන ලදි.  කවරෙකු හෝ (එම මාංශය සඳහා සzකාත් ගෙවීමක් නොමැති) මළ සතුන් අලෙවි කරන්නේ නම්, එම පුද්ගලයා අනුමත නොමැති ආදායමක් උපයා ගත්තේය. මෙම නිගමනය කඃමර් නම් මත් පැන් සඳහා ද බලපාන බව සලකන්න. නබි (සල්)  තුමාණන්ගේ හදීස් වදනට එකඟව, කෙනෙකු මත් කරන ඕනෑම දෙයක් කඃමර් යනුවෙන් හැඳින් වේ.
“මත් කරන සෑම දෙයක්ම කඃමර් වේ. සෑම කඃමර් (වර්ගයක්)ම හරාම් වේ.”
නබි (සල්) තුමාණන් කඃමර් සම්බන්ධව පිරිස් දහයකට ශාප කළ බව පිළිගත් හදීස් වදන් සනාථ කරයි.
“සැබැවින්ම, අල්ලාහ් කඃමර් පිළිබඳව ශාප කර ඇත. එය නිෂ්පාදනය කරන්නා, කවුරුන් සඳහා එය නිපදවනු ලැබුවේද ඔහු, එය අලෙවි කරන්නා, එය මිල දී ගන්නා, එය පානය කරන්නා, එම වෙළෙඳාමෙන් ආදායම් ලබන්නා, එය ප්‍රවාහණය කරන්නා, කවුරුන් සඳහා එය ප්‍රවාහණය කරනු ලබන්නේ ද ඔහු, (පානය කිරීම සඳහා) එය භාජනයක බෙදන්නා” යන පිරිස් දහය වේ.” අත් තිර්මදි සහ ඉබ්නු මාජා වාර්තා කළහ.
කඃමර් යනු මිනිසාව මත් කරවන ඕනෑම වර්ගයක මත් පැන් වේ. එය විස්කි, මද්‍යසාර, අරක්කු, කසිප්පු වැනි නොයෙක් නම් වලින් හඳුන්වනු ලැබුණද ඒවා සියල්ල කඃමර් ය. “ලෝකාන්ත දිනය ළඟා වන කාලයේ මිනිසුන් කඃමර් පානයට වෙනත් නම් උපයෝගි කර, එය පානය කරන්නෝය.”  යනුවෙන් හදීස් වදනක් පවසයි.
නවීන සමාජයේ කංසා, අබින්, ඒවායින් නිෂ්පාදනය කරනු ලබන මත් කුඩු, පෙති වැනි මත් ද්‍රව්‍ය බහුලව භාවිත කිරීම ඉතාමත් භයානක තත්ත්වයකි. මෙම භාණ්ඩයන් අලෙවි කරන්නා සහ ගනු දෙනු කරන්නා සාපරාධි කෙනෙකි. මෙවැනි මත් ද්‍රව්‍ය විශාල පිරිසකගේ මරණයට හේතු වන හෙයින් මෙය විනාශකාරි ආයුධයකි.
මේ හේතුවෙන් මත් දුව්‍ය අලෙවි කරන්නා, බෙදා හරින්නා, මේවාට සහයවන්නා යන සියලු දෙනාම අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන්ගේ ශාපයට ලක් වනු ඇත. මේවා සඳහා මුදල් ලබා ගැනීම ඉතාමත් දුෂ්ට ක්‍රියාවක් වන අතර, එයින් ලබන්නේ ඉතාමත් පිළිකුල් සහගත ආදායමකී. මේ සියලු හේතුන් සඳහා මත් ද්‍රව්‍ය ගනු දෙනුවෙ හි නිරත වන පුද්ගලයා, සමාජයට සිදු කරන විශාල හානිය හේතු කොට ගෙන, ඔහුට මරණ දඬුවම ලබා දිය යුතුය.
දුම් වැටි, සුළු වශයෙන් හෝ මත් කරන කාට් (අරාබි දේශයන් හි භාවිත කරන කොල සහ ගෙඩි) වැනි දේවලටද ඉහත සඳහන් නිගමනය අදාල වේ. දුම් වැටි මගින් සෞඛ්‍යයට හානි සිදු කෙරේ. දුම්වැටි බාවිත කරන කෙනෙකුට එයින් කිසිදු වාසියක් නොමැති නමුත් එයින් සිදු වන හානි අප්‍රමාණය. දුම් වැටි භාවිත කරන කෙනෙකුට ආසන්නව වාහනයක වාඩි වී ගමන් කිරීමට සිදු වුවහොත්, ඔහුගෙන් නිකුත් වන අප්‍රසන්න දුර්ගඳ දරා ගත නොහැක. කෙනෙක් ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානයක දුම් පානය කරන විට අවට සිටින ජනතාව මහත් පිඩනයට පත් වෙති. එ සමඟ ඒ අසල සිටින දුම් පානය නොකරන අයද මේ  නිසා රෝගයට පත් වීමට අවස්ථා ඇති බව වෛද්‍යවරු පවසති. මේ හේතුන් මත එය සමාජයේ පිළිකුල් සහගත ක්‍රියාවක් බවට පත් ව තිබේ. මුදල් උපයන එකම අරමුණින් දුම් වැටි වෙළෙඳාමෙහි යෙදෙන අය, එම අයහපත් මාර්ගයෙන් තමන්ගේ අනිකුත් ආදායම්ද විනාශ කර ගනිති. අල්ලාහ්ගේ අණට එරෙහිව ක්‍රියා කරමින් ඔහුගේ රිස්ක් නමැති පෝෂණය පැතිය නොහැක. එසේ නොව අල්ලාහ්ගේ සියලු අණට අවනත වීමෙන් ඔහුගෙන් පෝෂණය ඉල්ලා ප්‍රාර්ථනා කළ හැකිය. අල්ලාහ් ඔබට වෙන් කළ පෝෂණය ඔබට කෙසේ හෝ ලැබෙනු ඇත. එම පෝෂණය ඔබ සොයන්නේ නම් අල්ලාහ්ගේ අණ පනත් වලට එකඟ ව ජීවත් වීමෙන් අල්ලාහ් ඔබට සහන සලසා, ආශීර්වාද කරනු ඇත.
•    සියලු වර්ගයට අයත් සංගීත භාණ්ඩ සහ විනෝද භාණ්ඩ අලෙවි කිරීම තහනම් ක්‍රියාවකි.
මෙවැනි භාණ්ඩ මුස්ලිම් රාජ්‍යයක් තුළ මුළුමතින්ම විනාශ කිරීමට මුස්ලිම් වරයෙක් බැඳී සිටින හේතුවෙන්, ඒවා අලෙවි කර මුදල් උපයන්නේ කෙසේද? මෙයද තහනම් වෙළෙඳාමකි.
•    රූප, පින්තූරු සහ පිළිම වැනි භාණ්ඩ අලෙවි කිරීම තහනම් කරන ලද තවත් ව්‍යාපාරයකි. මුහම්මද් (සල්) තුමාණන් පිළිම සහ ප්‍රතිමා වැනි දේ අලෙවි කිරීම තහනම් කළහ. ප්‍රාණය සහිත ඕනෑම දෙයක් සතුන්, පක්ෂීන්, මිනිස් රුව වැනි දෑ හී ප්‍රතිමා හෝ පිළිරුවක් සාදා විකිණීම ඉස්ලාම් හි තහනම්ය. එමගින් උපයන මුදල් තහනම් මාර්ගයෙන් උපයා ගත් බව සලකනු ලැබේ.
•    එමෙන්ම, පිංතූරු සහිත සඟරා අලෙවි කිරීම, විශේෂයෙන් කාන්තාවන්ගේ අශික්ෂිත පිංතූරු පලවන සඟරා අලෙවි කිරීම තහනම්ය.  මෙයට හේතුව ඒවා දෙස බැලීමෙන් අනවශ්‍ය පොලඹවීම් සිදු වන අතර, ඒවා වැරදි ක්‍රියා කරා ගෙන යන්නට හේතු වන නිසා ඒවා අලෙවි කිරීම තහනම්ය. රූමත් කාන්තාවක් තම සිරුර නිරාවරණ කරමින් පෙනී සිටීමෙන් පිරිමින්ගේ  කාමුක ආශාවන් ඇවිස්සී මෙන්, කෙනෙක් දුරාචාරයේ සහ සාපරාධි ක්‍රියාවන් හි යෙදෙන්නට අනුබලයක් වනු ඇත. සැබැවින්ම, මෙවැනි පින්තූරු ජනතා අතර බෙදා දීමෙන් හා අලෙවි කිරීමෙන් ෂෙයිතාන් ට අවශ්‍ය වන්නේ මිනිසාගේ මෙවැනි හැසිරීම්ය.
පිරිමින් සහ කාන්තාවන් නිර්වස්ත්‍රව අසභ්‍ය ලෙස රඟපාන දුරාචාර චිත්‍රපටි, වීඩියෝ පට, අද බොහෝ මුස්ලිම් සමාජයන් සහ නිවෙස් තුළට ප්‍රවේශ වී අවසානය. අස්වභාවික ලිංගික හැසිරීම් මෙවැනි චිත්‍රපටි වල ප්‍රදර්ශන කෙරේ. මේවා නරඹන තරුණ තරුණියන් මේවා සැබෑ බව විශ්වාස කර මේ ආකාරයෙන් දුරාචාරයේ හැසිරෙන්නට පොලඹ වනු ලබති. එනිසා මෙවැනි චිත්‍රපටි මුස්ලිම් පරිසරයෙන් ඉවත් කිරීම සහ ඒවා විනාශ කිරීම ඔබේ යුතුකමකි .
මෙවැනි වීඩියෝ පටි අලෙවි සැලක් විවෘත කරන කෙනෙක්,  සැබැවින්ම අල්ලාහ්ට අකීකරු වීමේ ක්‍රියාවක් ආරම්භ කරන අතර, එමගින් ඔහු උපයන මුදල් හරාම් බව සලකන්න. එම මුදලින් ඔහු තම පවුලේ අය සඳහා කරන වියදම් හරාම්ය. සැබැවින්ම ඔහු විවෘත කළේ ෂෙයිතාන්ගේ බල කොටුවකි.
•    තහනම් භාණ්ඩ යටතේ, ගායක සහ ගායිකාවන්, සංගිත භාණ්ඩ සමඟ ගායනා කර, තැටි ගත කළ ගීත අලෙවි කිරීම තහනම් වෙළෙඳාමෙහි තවත් අංගයකි.  මෙවැනි ගීතයන් හී අධික ලෙස සඳහන් කරන්නේ කාන්තාවන් කෙරෙහි කාමාශාව, අධික ප්‍රේමය සහ උන්මාදය පිළිබඳවයි. මේ හේතුවෙන් මෙවැනි ගීත පටි සහ සීඩී අලෙවි කිරීම තහනම් ය. සමාජයේ අයහපත් හා දුරාචාර හැසිරීම් පතුරු වන මෙවැනි භාණ්ඩ අලෙවි කිරීම, ඒවාට මුදල් අය කිරීම සහ ඒවා මගින් ලබන ආදායම් මාර්ග සියල්ල හරාම් බව අල්ලාහ්ගේ රසුල් (සල්) තුමාණන් තහනම් කළහ. මෙවැනි ගීත නිසා කෙනෙකුගේ පැවැත්ම අපවිත්‍ර වන අතර මුස්ලිම් නිවෙස් තුළටම මෙම කසළ ප්‍රවාහනය කරනු ලබයි.
•    යමක් මිල දී ගන්නා කෙනෙක් එම භාණ්ඩය හරාම් ක්‍රියාවක් ඉටු කිරීම පිණිස භාවිත කරන්නේ නම්, එය හරාම් ගනු දෙනුවක් බව සළකන්න. මෙම මිල දී ගත් භාණ්ඩ මගින් කෙනෙක් තහනම් ක්‍රියාවක යෙදෙන්නේ නම් එසේ සිදු කළ අලෙවිය තහනම් බව සලකන්න. මෙයට හේතුව ඔහුගේ පාපතර හා තහනම් ක්‍රියාවට ඔබද සහය වන නිසාය.
අල්ලාහ් මෙසේ පවසයි. “හොඳ දැය කිරීමටද (අල්ලාහුට) බියබැතිමත් වීමටද එකිනෙකාට පිහිට වවු. පවටද, අක්‍රමිකතාවයටද එකිනෙකාට පිහිට නොවවු.” සූරා අල් මායිදා:2
එබැවින්, වයින් (කසිප්පු) පෙරීමේ අදහසින් කෙනෙක් මිදි හෝ රට ඉඳි මිල දී ගැනීම හෝ මුස්ලිම් වරුන්ව ඝාතනය කිරීම හෝ මංකොල්ල කෑම හෝ  ජනතාවට අසාධරණකම් සිදු කිරීමේ අරමුණින් හෝ කෙනෙක් අසිපතක් හෝ ආයුධයක් මිල දී ගැනීම මෙයට හොඳ උදාහරණ වේ.
අල්ලාහ් තහනම් කළ ක්‍රියාවක් හෝ අල්ලාහ් තහනම් කළ මාර්ගයේ උපයෝගි කිරීමේ අරමුණින් යමක් මිල දී ගන්නට කෙනෙක් පැමිණියේ නම්, ඔහුට එය අලෙවි කිරීමට අනමුත නැත. මිල දී ගන්නා තැනැත්තා එවැනි තහනම් හේතුවකට මිල දී ගන්නා බව දන්නේ නම් හෝ සැකයක් තිබේ නම් ඔහුට එය විකිණීම තහනම්ය.
•    තහනම් කරන ලද ගනු දෙනු තවත් කිහිපයක්: කෙනෙක් තමාට අයත් නොවන දෙයක් විකිණීම එයින් එකකි. කෙනෙක් වෙළෙන්ඳෙකු ළඟට ගොස් තමාට අවශ්‍ය යම් භාණ්ඩයක් ගැන විමසයි. වෙළෙන්ඳා ළඟ එම භාණ්ඩය නොමැති නමුත් එම භාණ්ඩය ලබා දෙන්නට වෙළෙන්ඳා එකඟ වෙයි. ඔවුන් දෙදෙනාම එම ගනු දෙනුවට සහ වර්තමාන හෝ අනාගත දිනයක මිලකට එකඟ වී ගිවිසුමක් සාදයි. මේ වන විටත් එම භාණ්ඩය වෙළෙඳා සතුව නොමැත. ඉන් අනතුරුව වෙළෙන්ඳා ගොස් භාණ්ඩය මිල දී ගෙනවිත්, පෙර එකඟ වූ මිලට පාරිභෝගිකයාට සපයයි.
මෙවැනි වෙළෙඳ ගනු දෙනු තහනම් කිරීමට හේතුවක් කුමක්ද? වෙළෙන්ඳා අලෙවි කළේ තමාට අහිමි භාණ්ඩයක්ය. තවද, භාණ්ඩයේ විස්තර නිසි ලෙස සඳහන් කර තිබුණේ නම්, භාණ්ඩය හිමි කර ගන්නටත් පෙර එය ඔහු අලෙවි කර අවසානය. විස්තර නිසි ලෙස සඳහන් නොකළ භාණ්ඩයක් නම් සහ ප්‍රමාද වී ගෙවීම් කරන මිල නම්, වෙළෙන්ඳා සැබැවින්ම අලෙවි කළේ තමා ගෙවිය යුතු ණයයි. හාකිම් බින් හzසාම් (රලි) දිනක් රසූල් (සල්) වෙතට පැමිණ, “අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණනි! කෙනෙක් යමක් මිල දී ගන්නට මා වෙතට පැමිණෙයි. නමුත් ඔහු ඉල්ලන භාණ්ඩය මා සතුව නොමැති නිසා මම වෙළෙඳ පොළට ගොස් ඔහු වෙනුවෙන් මිලට ගත හැකිදැ?” යි විමසීය. එවිට රසූල් (සල්) තුමාණන් “ඔබ සතුව නොමැති දෙයක් අලෙවි නොකරන්න.” යැයි ඔහුට කීහ. මෙම නිගමනය පැහැදිලි තහනමක් වන හෙයින් පැහැදිලි විස්තර සඳහන් කළ භාණ්ඩ තමා සතුව නොමැති විට, ඒ මොහොතේ මිලට හෝ අනාගතයේ මිලට හෝ එය විකිණීම සඳහා ගිවිසුමක් කිරීමට අනුමැතිය නැත.
මෙම කාර්යය සැහැල්ලුවට සලකන්නට අනුමත නැත. පාරිභෝගිකයෙකුට යමක් අලෙවි කිරීමට බලාපොරොත්තු වන කෙනෙක්, එම භාණ්ඩය තම ගබඩාවෙහි හෝ තම කඩයෙහි හෝ ගුදමෙහි හෝ තම වාහනයෙහි හෝ තම කාර්යාලයෙහි විකිණීමට සූදානම්ව ගබඩා කර තැබිය යුතුය. මෙමගින්, භාණ්ඩ මිල දී ගන්නට කෙනෙක් පැමිණි විට, ඒවා අප්‍රමාදව හෝ පසු දිනයක හෝ ඔහුට විකිණිය හැකිය.
•    තහනම් කරන ලද තවත් ගනු දෙනුවක්.  “අයින ගනු දෙනුව” වේ: මෙයින් අදහස් වන්නේ කුමක්ද? ප්‍රමාද වී ගෙවීම් ක්‍රමය යටතේ භාණ්ඩයක් අද වැඩි මිලට විකිණීම. (ප්‍රමාද වී ගෙවීම් කරන නිසා, මිල වැඩි කරන ලදී) ඇතැම් විට ගැනුම්කරුවා එම භාණ්ඩය පෙරළා, ගෙන ආවේ නම්, එම භාණ්ඩය ඔහුගෙන් වර්තමාන අඩු මිලට ගැනීම. මෙම වර්තමාන මිල, ඔහුට අලෙවි කළ ප්‍රමාද වී ගෙවීම් ක්‍රමයේ මිලට වඩා අඩුය. නමුත් නියමිත කාල අවසානයේ ගැනුම්කරුවා තම ණය පියවන විට, ඔහු සම්පූර්ණ මුදල ගෙවිය යුතුය. අල් අයින ගනු දෙනු ලෙස හැඳින් වන්නේ මේ ක්‍රමයයි. (අයින් = එයම යන වචනයෙන් උපුටා ගන්නා ලදී) එම භාණ්ඩයම හිමිකරුට යළි විකුණනු ලැබීමේ හේතුවෙන් එය අයින ගනු දෙනු යැයි හැඳින් වේ. කෙනෙකු රිබා නම් පොලියට හසු කරන මුළාව නිසා, මෙම ගනු දෙනු හරාම්ය.
මෙය ප්‍රායෝගිකව සිදුවන්නේ මෙසේය. ඔබ කෙනෙකුට වර්තමාන මිලට ඩොලර් විකුණන නමුත්, ඔහු ප්‍රමාද වී ගෙවිම් කරන විට අධික මුදලක් වැය කරන්නට සිදු වනු ඇත. මෙම අධික මිල වෙනස පොලිය ලෙස සැලකේ.
•    ඔබ කෙනෙකුට ප්‍රමාද වී ගෙවීමේ ක්‍රමයට වැඩි මිලට භාණ්ඩ විකිණීමෙන්, ඔබට ඔහු ණය ගෙවිය යුතුය. ඔහු කැමති නම් එම භාණ්ඩය භාවිත කළ හැක, නැතහොත් ඔබේ ණය පියවීම සඳහා තවත් කෙනෙකුට විකිණිය හැකිය. මෙය ඔබට බන්ධනයකි. මෙවැනි ගනු දෙනු පිළිබඳව නබි (සල්) තුමාණන් මෙසේ කීහ. “අයින ගනු දෙනු වෙහි ඔබ යෙදෙන විට, එළදෙනෙකු ගේ වලිගයේ එල්ලී ගොවිතැන් ගැන ඔබ සතුටට පත් වෙයි. අල්ලාහ් ඔබ වෙතට අපකීර්තිය එවන්නේය. ඔබේ දහමට ඔබ හැරී පැමිණෙන තුරු, ඔහු එය ඉවත් කරන්නේ නැත.” අබු දාවූද් වාර්තා කළේය.
මෙහි තවත් උදාහරණයක් දෙස බලමු. ඔබ අද දින රුපියල් 25/-ක් වටිනා භාණ්ඩයක්,  ලබන මස ප්‍රමාද වී ගෙවීමේ කොන්දේසියට රුපියල් 50/- බැගින් කෙනෙකුට විකුණයි. ලබන මස වන විට භාණ්ඩ මිල වැඩි වන බව ගැනුම් කරු සිතුවා විය හැක. මුදල් අඩුපාඩු නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා හෝ ගැනුම්කරු පසු දින එම භාණ්ඩ ඔබට පෙරළා විකිණීමට ඔබ වෙත පැමිණෙයි. ඔබද වර්තමාන මිලට ඔහුගෙන් මිල දී ගන්නට එකඟ වෙයි. භාණ්ඩයේ වර්තමාන මිල තවමත් රු.25/-යි. නමුත්, මාසයකට පසුව නියමිත දිනයේ ගැනුම් කරු, ඔහු එකඟ වූ අයුරින් රු.50/- බැගින් ඔබට ගෙවීම් කරයි. මෙම ගනු දෙනු වෙහි ඔබ අමතර රු.25/-ක ලාභයක් ලැබුවේය. මෙම මුදල පොලි බව සැලකේ.
තහනම් කරන ලද තවත් ගනු දෙනුවක්, අන් නජෂ් : මෙයින් අදහස් වන්නේ මෙසේය. ප්‍රසිද්ධ වෙන්දේසියේ ඔබ භාණ්ඩයක් විකුණන අවස්ථාවේ කෙනෙක් පැමිණ භාණ්ඩයේ මිල ඉහළ නංවයි. භාණ්ඩය මිල දී ගැනීමට ඔහුට කිසිදු අවශ්‍යතාවක් නැත. ඔහුගේ අරමුණ  භාණ්ඩය මිල දී ගන්නට පැමිණි අය මුළා කිරීම සඳහා මිලය නැංවීමයි. මෙම ක්‍රියාවෙහි ඔහු යෙදෙන්නේ අලෙවි කරන්නා සමඟ එකඟ වී හෝ සිය කැමැත්තෙන් හෝ විය හැක. එ බැවින්, තමා මිල දී ගන්නට අකැමැති වුවත්, ගැනුම් කරුවන්ට භාණ්ඩයේ මිල වැඩි කිරීම ඔහුගේ අරමුණ වන හෙයින් එම තැනැත්තා ‘නාජිෂ්’ යනු හැඳින් වේ. ඔහු අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන්ගේ තහනමට එරෙහි වන කෙනෙකි. නබි (සල්) තුමාණන් “නුඹලා එකිනෙකාට නජෂ්  (ක්‍රියා) නොකරනු.” යැයි පැවසු හෙයින් එය හරාම් හෙවත් තහනම් ක්‍රියාවකි. එසමඟම මෙය අන් නජෂ් යැයි හැඳින්වේ.
භාණ්ඩ මිල දී ගැනීමට අදහසක් නොමැති කෙනෙක් මෙම වෙන්දේසියට සහභාගි වීම හෝ ලංසුව තැබීම හෝ නොකර, ගැනුම්කරු සහ විකුණුම්කරුට තම වෙළෙඳාම කරගෙන යන්නට ඉඩ දිය යුතුය.
ඇතැම් විට විකුණුම්කරුට උපකාරයක් කරන අරමුණින් මිල ඉහළ නැංවීමට ඔහුගේ  හිතවත් අය ක්‍රියා කරති. අධික මිලට ලංසුව තැබීමෙන්, විකුණුම්කරුගේ  ලාභය වැඩි කළ හැකි යැය  සගයන් සිතනවා ඇත. ඇතැම් විට විකුණුම් කරුවාම තම සගයෙක් යොදා ව්‍යාජ ලෙස මිල වැඩි කිරීමට සහ සෙනඟ ගෙන්වන්නට සූදානම් කරයි. මෙම ක්‍රියාවන් නජෂ් සහ හරාම් ලෙස හැඳින් වේ. මෙය මුස්ලිම් ජනතාව මුළා කර, ඔවුන්ගේ මුදල් අසාධාරණව  අත්පත් කර ගැනීමේ එක්තරා මාර්ගයකි.
නජෂ් හි තවත් මුහුණුවරක් ගැන හදිස් විද්වතුන් මෙසේ දන්වති. විකුණුම් කරුවෙක්, තමා ගත් මිලට වඩා ඉහළින් භාණ්ඩයක් මිල දී ගත් බව ගනු දෙනු කරුවන්ට අසත්‍ය පැවසීම. මෙම අසත්‍ය කථාව විශ්වාස කළ ගැනුම් කරුවෙක්, අධික මිලක් ගෙවා භාණ්ඩය ගනී. විකුණුම් කරුවා මෙයින් බලාපොරෙතේතු වන්නේ අසත්‍ය කථා පවසා අධික ලාභ උපයන්නටයි. මෙම විකිණීම නජෂ් සහ හරාම් එකකි. අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් මෙය මුළා සහ වංචා කිරීමක් ලෙසද බොරු කීම සහ ද්‍රෝහිකමක් ලෙසද වර්ග කිරීමෙන් එය තහනම් කරන ලදී. ගැනුම්කරු එම භාණ්ඩයේ ගැනුම් මිල ගැන විමසුවේ නම්, විකුණුම් කරු එහි සැබෑ මිල ඔහුට ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැත.
මෙම නජෂ් ගනු දෙනුවෙහි තවත් කොටසක් ඇත. වෙළෙඳ පොළේ සියලු වෙළෙඳුන් එකතු වී භාණ්ඩ විකීණීමට පැමිණෙන නිෂ්පාදකයින්ගෙන් හෝ ගොවීන් ගෙන් එක්තරා මිලට ඉහළින් මිල දී නොගන්නා බව තීරණයක් ගනිති. මේ නිසා නිෂ්පාදකයාට හෝ අලෙවි කරන්නාට තම භාණ්ඩ අඩු මිලට විකිණීම හැර වෙනත් විකල්පයක් නැත. මෙහිදී වෙළෙඳ පොළේ සියලු දෙනාම හරාම් ක්‍රියාවකට හවුල්කරු බවට පත්වෙති. අන් අයගේ මුදල් අසාධාරණ ලෙස උදුරා ගැනීමක් මෙහි දී සිදු වේ.
•    තහනම් කරන ලද තවත් වෙළෙඳ ගනු දෙනුවක්, මුස්ලිම් වරයෙක් තම සහෝදරයාගේ වෙළෙඳාමට ඉහළින් වෙළෙඳාමක් කිරීම: “ඔබ කිසිවෙක් ඔහුගේ (මුස්ලිම්) සහෝදරයෙකුගේ වෙළෙඳාමට ඉහළින් තවත් වෙළෙඳා මක් නොකළ යුතුයැ.” යි නබි (සල්) තුමාණන් පැවසුහ. මෙය සිදුවෙන්නේ කෙසේද? යම් භාණ්ඩයක් මිල දී ගැනීමට කෙනෙක් පැමිණි විට, විකුණුම්කරු ඔහු සමඟ කථා කර ගනු දෙනු අවසන් කිරීමට දින දෙකක් හෝ තුනක් හෝ අවස්ථාවක් දෙයි. ඒ අතරතුර තවත් වෙළෙඳෙක් මැදිහත් වී, එම භාණ්ඩයම හෝ එයට වඩා හොඳ භාණ්ඩයක් අඩු මිලට තමා සපයන බව පොරොන්දූ වෙයි. ඔහුගේ සහෝදරයාගේ, අවසන් කළ අලෙවියට ඉහළින් සිදු කරන හේතුවෙන් මෙම දෙවන වෙළෙඳාම (මැදිහත් වීම) හරාම් ය.
මෙම නිගමනයට එකඟව, විකුණුම් කරුවෙක් භාණ්ඩයක් මිලකට කථා කර, (ගනු දෙනු නිම කිරීම ප්‍රමාද කිරීමට එකඟ වුයේ නම්) එම නිම වූ ගනු දෙනුවට, තවත් කෙනෙක් මැදිහත් විය නොහැක. ගැනුම්කරු කැමති නම් භාණ්ඩය භාර ගනි, ඔහු අකැමැති නම් ගනු දෙනුව අවලංගු කරයි. ගැනුම් කරුවෙක් සිය මනාපයෙන් ඇනවුම අවලංගු කළහොත් (කිසිවෙකුගේ බලපෑමෙන් හෝ ආභාසයෙන් හෝ තොරව), එම ගැනුම්කරුට ඔබේ භාණ්ඩය විකිණීමට (දැන්) කිසිදු තහනමක් නැත. (මේ අයුරින්ම) කෙනෙක් මිල දී ගන්නා දේ ඔහුට ඉහළින් මිල දී ගැනීමට ඉදිරිපත් වීමද හරාම් ය. මුස්ලිම් ගැනුම් කරුවෙක් භාණ්ඩයක් යම් කාල සීමාවක් තුළ නියමිත මිලකට ගන්නට එකඟ වූ පසු, වෙනත් කෙනෙක් එම වෙළෙඳා වෙතට ගොස්, “ඔහු එකඟ වූ මිලට වඩා අධික මිලට ගන්නට මම සූදානම්”  යැයි ඉදිරිපත් වෙයි. මුස්ලිම් වරුන්ගේ අයිතීන් කඩ කරමින්, ඔවුන්ගේ සිත් තුළ එකිනෙකා කෙරෙහි වෛරය ඇති කරන මෙවැනි ගනු දෙනු හරාම් බව ඉස්ලාම් පවසයි. තම ගනු දෙනුවකට ඔබ මැදිහත් වී බාධා කළ බව මුස්ලිම් වරයෙක් දැන ගත්තේ නම්, ඔහුගේ සිත් තුළ කෝපය, වෛරය, පිළිකුල් වැනි හැඟීම් අධික වනු ඇත. ඇතැම් විට ඔබට එරෙහිව ඔහු ප්‍රාර්ථනා කිරීමට ද ඉඩ ඇත. “...හොඳ දැය කිරීමටද (අල්ලාහ්ට) බිය වීමටද එකිනෙකාට පිහිට වවු. පවටද, අක්‍රමිකතාවයන්ටද, එකිනෙකාට පිහිට නොවවු.” සුරා අල් මායිදා වාක්‍ය 2.
රැවටිලි සහිත වෙළෙඳාම තහනම් කරන ලද තවත් වෙළෙඳ ගනු දෙනුවක් වේ. එනම් භාණ්ඩයක දෝෂයක් තිබෙන බව දැන සිටියදී ඒ ගැන කිසිවක් නොපවසා ඔබේ මුස්ලිම් සහෝදරයෙකුට එය අලෙවි කිරීම. මෙවැනි වෙළෙඳාම මුළා කිරීමක් සහ මහත් වංචාවක් යන හෙයින් මෙයට අනුමත නැත. භාණ්ඩයක යම් දෝෂයක් තිබේ නම් ඒ බව ගැනුම් කරුට දැන්වීම විකුණුම්කරුගේ වග කීමක් වේ. ඒ බව නබි (සල්) තුමාණන් මෙම හදීසය මගින් පැහැදිලි කර දුන්හ. “වෙළෙඳ ගනු දෙනුවක් කරන දෙදෙනෙක්, එය අවසන් කර වෙන් වන තුරු යහපත් ස්ථානයෙහි සිටිති.  ඔවුන් දෙදෙනාම එකිනෙකා කෙරෙහි අවංකව හා විවෘත වුයේ නම් ඔවුන්ගේ ගනු දෙනුවෙහි ආශීර්වාද ලබති.  එසේ නොව ඔවුන් එකිනෙකාට බොරු පවසා (සත්‍ය) සඟවන්නේ නම් ඔවුන්ගේ ගනු දෙනුවෙහි තිබෙන ආශීර්වාදය ඔවුන්ම මකා දමන්නෝය.”
එනිසා, අල්ලාහ්ගේ සේවකයිනි!අවංක වීම අපේ යුතුකමකි. අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් පැවසුවේ මෙසේය. “දහම යනු අවංක වීමය, දහම යනු අවංක වීමය, දහම යනු අවංක වීමය.”
“එය කාහටද අල්ලාහ්ගේ රසූල් (සල්) තුමණි?” යැයි (සහාබාවරු) සගයින් විමසුහ.
“අල්ලාහ්ට, ඔහුගේ ග්‍රන්ථයට, ඔහුගේ රසූල් වරයාට, මුස්ලිම් නායකයන්ට සහ මුස්ලිම් පොදු ජනයාට.” යැයි එතුමාණන් පිළිතුරු දුන්හ.
එහෙයින්, මුස්ලිම්වරයෙක් අවංක විය යුතුය. අවංකවීම යනුවෙන් අදහස් වන්නේ ඔහු ඇතැම් දැයින් නිදොස් කරනු ලබන බවයි. ඒ නිසා අවංකවීම යනු මුළා කිරීමෙන් නිදොස් වීමකි.
දිනක් රසූල් (සල්) තුමාණන් වෙළෙඳ පොළේ ආහාර භාණ්ඩ ගොඩ කර තබා අලෙවි කරන කෙනෙකු පසු කර ගෙන ගියහ. එම ගොඩ තුළට අත දැමු නබි (සල්) තුමාණන්, එහි පතුලේ තෙත්  සහිත ආහාර (හෝ ධාන්‍ය) තිබෙන බව දුටුවේය. “ආහාර වෙළෙන්ඳා! මෙය කුමක් දැ” යි නබි (සල්) තුමාණන් විමසුහ. “අහසින් (වර්ෂාව නිසා) එය සිදුවුණි” යැයි අලෙවි කරන්නා කීවේය. එවිට අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන්, “එසේ නම් එය ජනතාවට පෙනෙන්නට ඇයි නොතබන්නේ? අපව මුළා කරන්නෙක් (මුස්ලිම් වරුන්ට වංචා කරන්නෙක්) අපට අයත් කෙනෙක් නොවන්නේය.” යනුවෙන් ඔහුට කීහ.
මුස්ලිම් වරුන් අතර වෙළෙඳ ගනු දෙනු කිරීමේ මූලික හරය කුමක් දැයි මෙම හදිසය අපට පෙන්වයි. අලෙවි කරන භාණ්ඩයේ තිබෙන අඩුපාඩු සඟවන්නට මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අනුමැතය නැත. ඔහු අලෙවි කරන භාණ්ඩයේ දෝෂයක් තිබේ නම්, එම දෝෂය පෙනෙන අයුරින් එකී භාණ්ඩය ප්‍රදර්ශනය කළ යුතුයි. එවිට එම භාණ්ඩයට සුදුසු මිලක් ඔහුට ලබා ගත හැකි වනු ඇත. එසේ නොකිරීමෙන්, භාණ්ඩය නුසුදුසු මිලකට අලෙවි කළහොත්, ඔහු කරන්නේ වංචාවකි. මෙවැනි වෙළෙන්ඳා තම (මුස්ලිම්) සමාජයට අයත් නොවන බව රසූල් (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
    එ නිසා, අල්ලාහ්ගේ ගැත්තනී! ඔබලා වර්තමාන  සමාජයේ කෙතරම් වංචා දකින්නේද? ආහාර හෝ වේවා එළවළු හෝ වේවා, දෝෂ සහිත භාණ්ඩ පෙට්ටිය පතුලේ තබා හොඳ භාණ්ඩ ඉහළින් තබා අලෙවි කරන අය දකිනවා නේද? ඔවුන් මෙම වංචනික කටයුතු සිදු කරන්නේ ඕනෑ කමින් හා දැනුවත්වය. මෙය මුළා කිරීමකි.
    අපට කමා කරන ලෙසද අපගේ පෝෂණය හලාල් මාර්ගයෙන්ද, අපගේ ආදායම හලාල් මාර්ගයෙන්ද ලබා දෙන ලෙසද, ඔහුගේ අසීමිත තිළිණ අපට පිරිනමන ලෙසද අති උතුම් අල්ලාහ්ගෙන් අයැදිමු.
යා අල්ලාහ්! අපට තහනම් මාර්ගයෙන් නොව හලාල් මාර්ගයෙන් ඔබ පිරිනැමු දේ ගැන අප තෘප්තියට පත් කරනු මැනවි. අන් අයගෙන් ලැබෙන දේට වඩා ඔබෙන් ලැබෙන තෑගි මගින් අප සෑහීමට පමුණුවනු මැනවි. අපගේ පාපයන් සඳහා අපට කමා කර, ඔබේ කරුණාව අපට පහළ කර, අපගේ පාපෝච්චාරණය පිළි ගනු මැනවි. පාපක්ෂමාව දිය හැක්කේ ඔබට පමණි. කරුණාව දැක්විය හැක්කේ ඔබට පමණි. එනිසා, අපේ ප්‍රාර්ථනාව පිළිගනු මැනවි. අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන්ට සාමය හා ආශිර්වාද හිමිවේවා. ආමීන්.

 

ධනය - ඉස්ලාම් හී තහනම් වෙළෙඳ ගනු දෙනු

Download

About the book

Author :

Saleh Bin Fawzaan al-Fawzaan

Publisher :

www.islamland.com

Category :

Major Sins & Acts of Shirk