එකම පණිවිඩයකි

ආදම් (අලෙයිහිස් සලාම්) තුමාණන් පටන් අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දක්වා පැමිණි සියලු නබිවරුන් වෙත අල්ලාහ් විසින් ලැබුණු පණිවිඩය එකම පණිවිඩයක් බව තහවුරු කරමින් අල් කුර්ආනය බයිබලය හා තෝරාව ආශ්‍රයෙන් සාධක ඉදිරිපත් කරමින් පර්යේෂණාත්මක ලෙසින් මෙය සංස්කරණය කොට ඇත


එකම පණිවිඩයකි
< سنهالية- සිංහල- Sinhala >


        
ආචාර්ය නාජී ඉබ්නු ඉබ්රාහීම් අල් අර්ෆජ්
සංස්කරණය


මාහිර් රම්ඩීන්
පරිවර්තක
මුහම්මද් අසාද්
 විචාරය කිරීම

 
رسالة واحدة فقط!
        

 اسم المؤلف
ناجي بن إبراهيم العرفج




ترجمة: ماهر رمدين
مراجعة: محمد آساد

 
එකම පණිවිඩයකි

 

 


ආචාර්ය නාජී ඉබ්නු ඉබ්රාහීම් අල් අර්ෆජ්


පිදුම


•    අවංක ව හා සැබෑ ලෙසින් සත්‍යය සොයන්නන් වෙත.
•    සවිඥානක බුද්ධිමත් හිත මිතුරන් වෙත.


අන්තර්ගතය
    කියවීමට පෙර විමසුම

    මාතෘකා පාඨයේ පදනම

    පුරාණ ආගමික ග්‍රන්ථ වල සඳහන් ඒකීය දේව සංකල්පය

    නූතන ආගමික ග්‍රන්ථ වල සඳහන් ඒකීය දේව සංකල්පය

    අල් කුර්ආනයේ සඳහන් ඒකීය දේව සංකල්පය

    සමාප්තිය

    අවසන් වශයෙන් අදහස් හා යෝජනා

කියවීමට පෙර විමසුම
1.    එකම පණිවිඩයකි යන මෙම කුඩා පොත් පිංචයේ අරමුණ කුමක් ද?

2.    ඒ පිළිබඳ ආගමික ග්‍රන්ථ පවසනුයේ කුමක් ද?

3.    ඒ පිළිබඳ අල් කුර්ආනය පවසනුයේ කුමක් ද?

4.    මේ සම්බන්ධයෙන් වූ ඔබේ අදහස කුමක් ද?


මාතෘකා පාඨයේ පදනම
ආදම් (අලයිහිස් සලාම්) තුමා මැවීමෙන් පසු ව මිනිස් ඉතිහාසය තුළ මිනිසා වෙත උසුලා ‍ගෙනැවිත් දෙනු ලැබුවේ එකම පදනමකින් යුත් එකම පණිවිඩයකි. මෙම පණිවිඩය නව මුහුණුවරකින් ජනයාට මෙනෙහි කිරීම තුළින් ඔවුන් ඍජු මාර්ගය වෙත පැමිණීමට හේතු විය. මෙම එකම පණිවිඩය ජනයාට දන්වා සිටිනු පිණිස ඒකීය දෙවිඳුන් ආදම්, නූහ්, ඉබ්රාහීම්, මූසා, ඊසා හා මුහම්මද් වැනි ධර්ම දූතයින් වෙත හා ශාස්තෘවරුන් වෙත සත්‍යය පහළ කළේය. එය:

‘සැබෑ දෙවිඳුන් ඒකීයය. එබැවින් ඔහුට පමණක් ගැතිකම් කරනු.’ යනුවෙනි.
සැබෑ ඒකීය දෙවිඳුන් වනුයේ සියල්ලෙහි මැවුම්කරුය. නැමඳුම් ලබන්නට සුදුස්සා ද ඔහු පමණය.
    
ඔහු එව්වේය.            මෙම පණිවිඩය
දන්වා සිටිනු පිණිස:
නූහ්    අල්ලාහ් ඒකීයය. අල්ලාහ් ට පමණක් නැමදුම් කරන්න.

ඉබ්රාහීම්    අල්ලාහ් ඒකීයය. අල්ලාහ් ට පමණක් නැමදුම් කරන්න.

මූසා    අල්ලාහ් ඒකීයය. අල්ලාහ් ට පමණක් නැමදුම් කරන්න.

ඊසා    අල්ලාහ් ඒකීයය. අල්ලාහ් ට පමණක් නැමදුම් කරන්න.

මුහම්මද්    අල්ලාහ් ඒකීයය. අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න.
වැදගත් කාර්යභාරයන් සම්භාරයක් ඉටු කරනු පිණිස රසූල්වරුන් අතුරින් උලුල් අස්ම් හෙවත් ප්‍රධානීන් ද අප හඳුනන හා එමෙන්ම අප නොහඳුනන අල්ලාහ්ගේ රසූල්වරුන් අතුරින් හා ඔහුගේ නබිවරුන් අතුරින් වූ වෙනත් මාර්ගෝපදේශකයින් ද සැබැවින්ම ඔහු එවීය.  ඔවුනට පැවරුණු එම කාර්යභාරයන් මෙසේය.
1-    දිව්‍යමය පණිවිඩ ලබා එය ඔවුන්ගේ ජනයා හා ඔවුන් පිළිපදින්නන් වෙත දන්වා සිටීම.
2-    ඒක දේව සංකල්පය හා අල්ලාහ්ට පමණක් අවංක ව නැමදුම් කිරීම සඳහා ජනයා පුහුණු කිරීම.
3-    අල්ලාහ් වෙත වූ ඔවුන්ගේ මාර්ගය ජනයා පිළිපදිනු වස් වචනයෙන් හා ක්‍රියාවෙන් ආදර්ශමත් ජීවිතයක් පෙන්වා දීම.
4-    අල්ලාහ් කෙරෙහි බිය හැඟීමෙන් යුතු ව කටයුතු කිරීමට ඔහුට අවනත වීමට ඔහුගේ නියෝගයන් පිළිපැදීමට ඔවුන්ගේ අනුගාමිකයින් යොමු කිරීම.  
5-    ආගමික නීති රීති හා උසස් සාදාචාරාත්මක ගතිගුණ ඔවුන් අනුගමනය කරන්නන්හට ඉගැන්වීම.
6-    පාපතරයින්, පිළිම වන්දනාමාන කොට දෙවියන්ට සමානයන් තබන්නන් හා වෙනත් අපරාධ වල නිරත වන්නන්ට මඟ පෙන්වීම.
7-    සැබැවින්ම තමන් මිය ගිය පසු මතු අවදි කරවනු ලබන බවත් එසේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් කළ ක්‍රියාවන් පිළිබඳ ව විනිශ්චය කරනු ලබන බවත් කවරෙකු අල්ලාහ් පමණක් විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් ඉටු කරන්නේ ද ඔහුගේ ප්‍රතිඵලය ස්වර්ගය බවත් කවරෙකු අල්ලාහ්ට ආදේශනයන් තබා ඔහු ව පිටුපාන්නේ ද ඔහුගේ නවාතැන නිරයේ ගින්න බවත් ජනයාට දන්වා සිටීම.
 
නබිවරුන් හෙවත් දේව ඥානය ලැබූවන් හා රසූල්වරුන් හෙවත් ධර්ම දූතයින් මවා ඔවුන් ව එව්වේ එකම දෙවිඳුන්මය. එය ඔහු වංශවත් උපතක් බවට පත් කළේය. සැබැවින්ම මෙම විශ්වය හා එහි ඇති සියලු මැවීම්හි මැවුම්කරු අල්ලාහ් සිටින බවට කියා පෙන්වයි. ඔහුගේ ඒකීයත්වයට සාක්ෂි දරයි. ඒ අනුව මෙම විශ්වයේ හා එහි ඇති මිනිස්, සත්ව හා උපද්‍රව්‍යයන්හි මැවුම්කරු අල්ලාහ්ය. මරණය හා ජීවයේ මැවුම්කරු ද ගෙවී යන ජීවිතය හා සදාතනික ජීවිතයේ මැවුම්කරු ද ඔහුමය.
යුදෙව්වන්, කිතුනුවන් හා මුස්ලිම්වරුන් අතර තිබෙන සියලුම පාරිශුද්ධ ග්‍රන්ථ අල්ලාහ්ගේ පැවැත්ම හා ඔහුගේ ඒකීයත්වයට  සාක්ෂි දරයි.
ඇත්තෙන්ම සත්‍යය සොයන්නෙකු ශුද්ධ ග්‍රන්ථ වල හා පාරිශුද්ධ අල් කුර්ආනයේ දෙවිඳුන් පිළිබඳ වටහා ගැනීමට විෂය මූලිකත්වය සැලකිල්ලට ගෙන අවංක ලෙසින් හදාරන්නේ නම් අල්ලාහ්ට පමණක් වෙන් වූ විශේෂ ගුණාංග හඳුනා ගැනීමටත් ඇතැමුන් විශ්වාස කරමින් සිටින ව්‍යාජ දෙවිවරුන් ලවා ඔහුට ආදේශ නොකර සිටීමටත් හැකියාව ලබනු ඇත. එම ගුණාංග සමහරක් මෙසේය.
1)    සැබෑ දෙවිඳුන් මැවීමක් නොව මැවුම්කරුය.
2)    සැබෑ දෙවිඳුන් ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. බහුත්වයක් නොමැත. එමෙන්ම කිසිදු පියකු හෝ කිසිදු පුත්‍රයකු හෝ ඔහුට නොමැත.
3)    මැවීම්හි හැඩතල වලින් අල්ලාහ් පිවිතුරුය. මෙලොවදී කිසිදූ දෘෂ්ටියකට ඔහු ව දැක ගත නොහැක.
4)    අල්ලාහ් සර්වකාලිකය. ඔහුට මරණයක් නැත. ඔහුට ස්ථානයක් අවශ්‍ය වන්නේ නැත. ඔහුගේ මැවීම් කිසිවකගේ හැඩරුවකට ඔහු ව සමාන කළ නොහැක.
5)    ඔහු අවශ්‍යතාවන්ගෙන් තොරය. ස්වයංපෝෂිතය. ඔහුගේ මැවීම් වල අවශ්‍යතාවක් ඔහුට නොමැත. එමෙන්ම ඔහුට කිසිදු පියෙක් හෝ මවක් හෝ නොමැත. කිසිදු බිරියක් හෝ දරුවෙක් හෝ නොමැත. ආහාරපාන වල අවශ්‍යතාවක් නොමැත. කිසිවකුගේ උපකාරය ද ඔහුට අවශ්‍ය නොවේ. නමුත් ඔහු මැවූ සියලු මැවීම් ඔහු වෙතින්ම තම අවශ්‍යතා පතති.
6)    කීර්තිය පරිපූර්ණත්වය අලංකාරය වැනි උසස් ගුණාංග වලින් අල්ලාහ් වෙන් වූවෙකි. ඔහුට කිසිදු හවුල් කරුවකු නොමැත. ඔහුගේ මැවීම් අතුරින් කිසිවකුට ඔහුට සමාන විය නොහැක. ඔහු මෙන් කිසිවෙක් හෝ කිසිවක් නොමැත.  
මෙම නිර්ණායක හා මෙම ගුණාංග (ඇතුළු ව අල්ලාහ්ට පමණක් ආවේණික වූ අනෙකුත් ගුණාංග) භාවිත කරමින් දෙවියන් යැයි ව්‍යාජ ලෙසින් වාද කරන කවර සාධකයක් වුවද ප්‍රතික්ෂේප කිරීමටත් ඒවා නිශ්ප්‍රභ කිරීමටත් අපට හැකි වනු ඇත.
නැවතත් ඉහත සඳහන් අයුරින් එකම පණිවිඩයකි යන පර්යේෂණාත්මක සොයා බැලීම වෙත නැවතත් යොමු වෙමු. අල්ලාහ්ගේ ඒකීයභාවය සනිටුහන් කරන ශුද්ධ පුස්තක හා අල් කුර්ආනයේ ඇතැම් පාඨ වෙත යොමු වෙමු. ඊට පෙර වැරදි මතයක් ඔබ වෙත පෙන්වා දීමට කැමැත්තෙමි.

 

 

 

ඇත්තෙන්ම දෙවියන් එක් අයෙකි. එකම දෙවියන් ව අපි විශ්වාස කරන්නෙමු. ඉතින් මෙහි ඇති ප්‍රශ්නය කුමක්දැයි ඇතැම් කිතුනුවන් විමසා සිටීම පුදුමයකි.
නමුත් මම කිතුනු දහම පිළිබඳ ව සඳහන් බොහෝමයක් පොත් පත් කියවා ඇත්තෙමි. ඒවා හදාරා ඇත්තෙමි. එමෙන්ම බොහෝ කිතුනුවන් සමඟ කතා කර ඇත්තෙමි. එයින් මට දැන ගන්නට ලැබුණු කරුණ වනුයේ ඔවුන් අතර අල්ලාහ් (දෙවියන්) යන්නට අර්ථය පහදා දීමේදී (ඔවුන් ඇතැමෙක් ඔහු ගැන උපකල්පනය කරන පරිදි) පහත සඳහන් කරුණු තුන ඇතුළත් කරමින් සඳහන් කිරීමය. එනම්
1)    දෙවියන් පියාණන්ය.
2)    දෙවියන් පුත්‍රයාණන්ය.
3)    දෙවියන් ශුද්ධාත්මය යනුවෙනි.

ඇත්තෙන්ම පුළුල් අන්තර්ඥානය හා යුක්ති සහගත තර්ක න්‍යාය සොයන්නාට කිතුනුවන් ගෙන් මේ පිළිබඳ ව විමසීමට පොලොඹවයි.  
•    ඔබ දෙවියන් තිදෙනෙකි යැයි පෙන්වා දෙමින් අල්ලාහ් (දෙවියන්) ඒකීය යැයි ඔබ කරන ප්‍රකාශයේ අර්ථය කුමක් ද?
•    ඒකත්වය ත්‍රිත්වය තුළත් ත්‍රිත්වය ඒකත්වය තුළත් (1 තුළ 3 හෝ 3 තුළ 1) අන්තර්ගත වන්නේ යැයි පැවසීමෙන් දෙවියන් ඒකීය වේවි ද?
මෙය හා කිතුනුවන්ගේ ඇතැම් ප්‍රතිපත්ති පිළිබඳ ව සලකා බැලීමේ දී  ඇත්තෙන්ම මෙම දෙවිවරු තිදෙනාට පහත සඳහන් අයුරින් විවිධ ස්වරූපයන් පැවැත්මන් හා සේවාවන් ඇති බව පෙනේ.


1. දේව පියාණන් = ඔහුය මැවුම්කරු
2.  දේව පුත්‍රයාණන් = ඔහුය ආරක්ෂක
3.  දේවාත්මය = ඔහුය උපදේශක (අධීක්ෂක)

ඔවුන්ගේ විශ්වාසය අනුව ඊසා මසීහ් හෙවත් ජේසු තුමා දේව පුතණුවන් හෝ දෙවියන් හෝ දෙවියන්ගෙන් වූ කොටසක් හෝ වන බවය. මෙලොවෙහි කිසිවකුට දෙවියන් දැක ගත නොහැකි බවට තෝරාවේ හා බයියලයේ පාඨ තහවුරු කරනවාත් සමඟම ඔවුන්ගේ මෙම ප්‍රකාශය අර්ථ ශූන්‍ය බවට එය පත් කරයි.

    නුඹලා කිසි කලෙක උන්වහන්සේගේ හඬ ඇසුවේවත් උන්වහන්සේගේ රූපාකාරය දුටුවේවත් නැත.  (ජොන් 5:37)
    එකම අමරණීය වූ කිසිවෙකුට ලඟා වෙන්ට බැරි ආලෝකයෙහි වසන්නාවූ කිසි මනුෂ්‍යයකු විසින් නොදුටුවාවූ දකින්ටත් බැරි වූ තැනන්වහන්සේ....  (1 තිමෝති 6:16)
    මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන. මක් නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත් නොවන්නේය.  (නික්මයාම 33:20)

මෙම පාඨ හා වෙනත් පාඨ වල පදනම අනුව බලන විට ඇතැමුන් සත්‍යයෙන් හා වගකීමෙන් යුතු ව පවසන කරුණු පිළිබඳ මම පුදුම වෙමි. ඇත්තෙන්ම කිසිවකුට දෙවියන් දැකිය නොහැකිය. ඔහුගේ හඬට සවන් දිය නොහැකිය යැයි තහවුරු කරමින් දේව පුස්තක වල පාඨ සඳහන් ව තිබියදීත් සැබැවින්ම ඊසා දෙවියෙකුම යැයි පවසන අය පිළිගත හැකි වනුයේ කෙසේ ද ?
•    එසේ නම් එම අවස්ථාවේ යුදෙව්වෝ ද ජේසු තුමාගේ පවුලේ අය හා එතුමා ව පිළිපැද්දවුන් ද (ඇතැමුන් විශ්වාස කරනවාක් මෙන් ජේසු තුමා දේව පුත්‍රයාණන් යැයි) නොදුටුවේ ඇයි?
•    සැබැවින්ම අල්ලාහ් වන ඔහු ව දැකිය නොහැක. ඔහු ව කිසිවකු විසින් ඇසිය නොහැක යනුවෙන් තෝරාව හා බයිබලය සඳහන් කරන ප්‍රකාශය කවර පදනමක් මත පවතී ද? යථාර්ථය මෙසේ තිබිය දී සැබැවින්ම ඊසාගේ පෞරුෂත්වය දුටු, ඔහුගේ හඬට සවන් දුන්  ජනයා ඔහු දෙවියන්ය, දෙවියන්ගේ පුත්‍රයා යැයි ගත් බවට වූ ප්‍රතිපත්තියක් පසු කාලයේදී ගොඩ නැගූ අය අපි දකින්නෙමු. දෙවියන්ගේ යථාර්ථය හා බැඳුණු යම් ගුප්ත රහසක් එහි තිබෙන්නේ ද?

දෙවියන් පිළිබඳ ව පැවසීමේ දී තෝරාව මීට වෙනස් අදහසක් දරයි. එනම්,

මම ස්වාමින් වහන්සේය. වෙන කෙනෙක් නැත. මා කතා කළේ රහසින් නොවේය. පොළොවේ අඳුරු තැනකදී නොවේය. නිකමට මාව සොයාපල්ලා යැයි යඃකූබ්ගේ වංශයට නොකීවෙමි. ස්වාමින් වහන්සේ වන මම ධර්මිෂ්ට දේ කියමි. යුතු දේ ප්‍රකාශ කරමි. (යෙසායා 45:19)  
 

 

 


එසේ නම් සත්‍ය කුමක් ද?
කරුණාකර ඉහත සඳහන් කරුණු නැවත නැවතත් කියවා බලා ඒ පිළිබඳ දහස් වාරයක් ගැඹුරින් සිතන්න.
දැන් අපි පාරිශුද්ධ ග්‍රන්ථ වල හා අල් කුර්ආනයේ සඳහන් දෙවියන් පිළිබඳ සත්‍යය සොයමින් යන ගවේෂණයේ දී මධ්‍යස්ථ ව ගමන් කරමු. මෙම පාඨ හා වදන් ඔබ විශ්ලේෂණය කිරීමෙන් පසු හා මෙම කුඩා පොත් පිංචයේ ඇති වටිනා මාතෘකා අවංක ව කියවා බැලීමෙන් පසු ඒ පිළිබඳ ව ඔබේ අදහස් හා ඔබ දකින අයුරු අපි බලාපොරොත්තු වන්නෙමු.    

මෙම කරුණු සලකා බැලීමේ දී සඳහන් කර ඇති සියලු සාධක කිසිදු එකතු කිරීමකින් තොර ව ඒ අයුරින්ම ඉදිරිපත් කොට ඇත. එහි කිසිදු උපකල්පනයක් හෝ අමතර කරුණක් මුසු කර නොමැති අතර ඉතා ප්‍රවේශමෙන් කරුණු ගවේෂණය කිරීමට හැකිවනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඉදිරිපත් කොට ඇත්තෙමු.

ශුද්ධ ග්‍රන්ථයේ සඳහන් සැබෑ ඒකීය දෙවිඳුන් අල්ලාහ් (පරණ ගිවිසුම)

    එම්බා ඉශ්‍රායෙල්, අසාපන්න. අපේ දෙවි වූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමින් වහන්සේය. (වීතිය කථාව 6:4)

    අප මැව්වේ එක දෙවියන් වහන්සේ නොවේ ද? (මලාකී 2:10)

    මම ඒ තැනැත්තන් වහන්සේ බව නුඹලා දැනගනු පිණිස මා විශ්වාස කර තේරුම්ගනු පිණිස නුඹලා මාගේ සාක්ෂිකාරයෝව මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමින්වහන්සේ කියන සේක. මා සිටින්ට පළමුවෙන් කිසි දෙවිකෙනෙක් සාදනු ලැබුවේ නැත. මට පසුව සිටින්නේත් නැත. මම, මමම ස්වාමීන්වහන්සේය. මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත..    (යෙසායා 43: 10,11)
    පළමුවැනියාත්. අන්තිමයායාත් මමය. මා ඇර මා මෙන් වෙන දෙවිකෙනෙකු නැත. (යෙසායා 44:6)
    ස්වාමින් වහන්සේ  මම නොවෙම්ද? මා ඇර වෙන දෙවිකෙනෙක් නැත. මම විශිෂ්ට වූ දෙවියාය. ගැළවුම් කාරයාය. වෙන කෙනෙක් නැත. (යෙසායා 45:21)

මෙවැනිම වෙනත් පාඨ ඔබ දැක තිබේ ද?
    ශුද්ධ ග්‍රන්ථයේ සඳහන් සැබෑ ඒකීය දෙවිඳුන් අල්ලාහ් (අලුත් ගිවිසුම)

    සදා කාල ජීවනය නම් මේය - එකම සැබෑ වූ දෙවියන් වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා යේසූස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳින ගැනීමය. (ශු. යොහන් 17:3)
    තාගේ දෙවි වූ ස්වාමීන්වහන්සේට නමස්කාර කරව. උන්වහන්සේට සේවය කරව. (ශු. මතෙව් 4:10)
    අහෝ ඉශ්‍රායෙල්, අසාපන්න. අපේ දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේය.. .....උන්වහන්සේ හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත. (ශු මාර්ක් 12 : 28-30)
    මක්නිසාද ඇත්තේ එක දෙවිකෙනෙක් සහ දෙවියන්වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදිහත්කාර කෙනෙකුත්ය. (1 තිමෝති 2:5)
    බලව, එක්තරා කෙනෙක් උන්වහන්සේ  ළඟට ඇවිත්: ආචාරීන්වහන්ස, සදා කාල ජීවනය ලබා ගන්න පිණිස මොන යහපත් දෙයක් කරම්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේද නුඹ යහපත ගැන මාගෙන් විචාරන්නේ මක්නිසාද? යහපත් ව සිටින්නේ එක් කෙනෙක්මය. එය දෙවියන්ය. (ශු. මතෙව් 19 : 16-17)


අල්ලාහ් ඒකීයය යැයි තහවුරු කරන වෙනත් පාඨ ඔබට සඳහන් කළ හැකි ද?
( ත්‍රිත්ව සංකල්පයක් නොමැත)


 
අල් කුර්ආනයේ සඳහන් ඒකීය දේව සංකල්පය

قُلْ هُوَ اللَّهُ أَحَدٌ (1) اللَّهُ الصَّمَدُ (2) لَمْ يَلِدْ وَلَمْ يُولَدْ (3) وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ (4)
1) (නබි මුහම්මද්) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය. 2) අල්ලාහ් ස්වාධීනය. 3) ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. 4) තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය.
(අල් කුර්ආන් 112:1-4)
لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونِ
නැමදුම් ලබන්නට මා හැර වෙනත් කිසිවකු නොමැත. එබැවින් නුඹලා මටම නැමදුම් කරන්න. (අල් කුර්ආන් 21:25)
لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ ثَالِثُ ثَلَاثَةٍ وَمَا مِنْ إِلَهٍ إِلَّا إِلَهٌ وَاحِدٌ وَإِنْ لَمْ يَنْتَهُوا عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌ (73)
සැබැවින්ම අල්ලාහ් තිදෙනාගෙන් තුන්වැන්නා යැයි පැවසූ අය ද ප්‍රතික්ෂේපකයින් බවට පත් වූහ. එකම දෙවිඳා (අල්ලාහ්) හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔවුන් පවසන දැයින් නොවැළකුණේ නම් ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් නියත වශයෙන්ම ස්පර්ශ වනු ඇත. (අල් කුර්ආන් 05:73)
إِنَّ إِلَهَكُمْ لَوَاحِدٌ
(යුදෙව්වනි,) නුඹලාගේ දෙවියන් එකම දෙවියාය. (අල් කුර්ආන් 37: 4)
أَإِلَهٌ مَعَ اللَّهِ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ
අල්ලාහ් සමඟ වෙනත් දෙවියෙකු සිටීද? නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් නුඹලාගේ සාධක ගෙන එනුයි (නබිවරය,) නුඹ පවසනු.
(අල් කුර්ආන් 27: 64)

ඇත්තෙන්ම (අල්ලාහ් ඒකීයය යන) මෙම පණිවිඩය ශුද්ධ වූ අල්කුර්ආනයේ ඇති මූලික පදනමයි.

 

සමාප්තිය
සැබැවින් අල්ලාහ් ඒකීයය. ඔහු හැර නැමදුමට කිසිදු දෙවියකු නොමැත යන්නෙහි සැකයට ඉඩ නොතබන තරමට මෙහි සඳහන් කරුණු හා පාරිශුද්ධ ග්‍රන්ථ වල හා අල් කුර්ආනයේ සඳහන් අනෙකුත් සිය ගණන් සාධක සැබැවින්ම තහවුරු කරයි.  
උදාහරණයක් වශයෙන්  ශු මාර්ක් 12 : 28-30 වැකියේ අහෝ ඉශ්‍රායෙල්, අසාපන්න. අපේ දෙවියන්වහන්සේ ස්වාමීන් වහන්සේය ....... උන්වහන්සේ හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත. යැයි සඳහන් වන පරිදිම අල් කුර්ආනය 113: 1 වැකියේ (නබි මුහම්මද්) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය යැයි සඳහන් කර සිටී. ශුද්ධ වූ පුස්තක අල්ලාහ් එකීයය යන්න තහවුරු කරනවා පමණක් නොව සැබැවින්ම අල්ලාහ් මැවුම්කරුය. ඔහු ඒකීයය. ඔහු පමණමය යන්නත් තහවුරු කරයි.
මම ඒ තැනැත්තන්වහන්සේ බව නුඹලා දැනගනු පිණිස මා විශ්වාස කර තේරුම්ගනු පිණිස නුඹලා මාගේ සාක්ෂිකාරයෝව මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමින්වහන්සේ කියන සේක. මා සිටින්ට පළමුවෙන් කිසි දෙවිකෙනෙක් සාදනු ලැබුවේ නැත.
මට පසුව සිටින්නේත් නැත. මම, මමම ස්වාමීන් වහන්සේය. මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත..    (යෙසායා 43: 10,11)

මෙම කරුණු සලකා බැලීමේ දී ජේසු තුමාණන් ශුද්ධාත්මය හා වෙනත් අය කෙරෙහි දේවත්වය ඈඳීම කිසිදු පදනමක් නොමැති කරුණක් බව පැහැදිලිය. ඒ සඳහා කිසිදු සාධකයක් ද නොමැත. ඔවුන් සියල්ල අල්ලාහ් විසින් මවන ලද මැවීම් හැර වෙන කවුරුන් හෝ නොවෙති. ඔවුනට කිසිදු ආධිපත්‍යයක් නොමැත. ඔවුන් දෙවිවරුද නොවෙති. අල්ලාහ් වෙනුවෙන් විද්‍යාමාන වීමක් හෝ ඔහුගේ ප්‍රතිමූර්තිය ගැනීමට හෝ ඔහුට සමාන වීමට කිසිදු කොටසක් නොමැත. පාරිශුද්ධ ග්‍රන්ථ මෙන්ම අල්කුර්ආනය ද ඔහුට සමාන කිසිවකු නොමැති බව අවධාරණය කරයි.
යුදෙව්වන්ගේ නොමඟ යෑම හේතුවෙන් හා අල්ලාහ් හැර වෙනත් දෙවිවවරු නැමදුම් කිරීමට ගත් හේතුවෙන් ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ උදහස නියම විය. එය බයිබලය පවසනුයේ මෙලෙසය. ස්වාමින් වහන්සේගේ උදහස ද ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවුළුණේය. (ගණන් කථාව 25:3) ඒ අනුව ඔවුන්ගේ වටිනා කාලය ඔහු විනාශ කර දැමීය.  
තවත් පැත්තකින් කිතුනුවන්ගෙන් දේව ඒකීයත්වය පිළිගත් ඇතැමෙකුට ඔවුන් හිංසා පීඩා කිරීමටත් අයුක්ති සහගත ව කටයුතු කිරීමටත් පටන් ගත්තේය. එසේ කටයුතු කරන්නට හේතු වූයේ ඔවුන් අල්ලාහ් ඒකීය බව විශ්වාස කළ බැවින් ද දෙවියන් ඒකීයය යැයි ඊසා නොහොත් ජේසු තුමා විසින් කළ ඉගැන්වීම් වෙනස් කිරීමට ප්‍රතික්ෂේප කළ බැවින් ද පාවුල් හා ඔහු අනුගමනය කළ අය විසින් බිහි කළ ත්‍රිත්ව දේව සංකල්පය ප්‍රතික්ෂේප කළ බැවින් ද වේ.
සාරාංශයක් වශයෙන් ගත් කළ අල්ලාහ් ආදම්, නූහ්, ඉබ්රාහීම්, මූසා, ඊසා, මුහම්මද් හා සියලුම නබිවරුන් හා රසූල්වරුන් (ඔවුන් සියලු දෙනාටම අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය ඇති වේවා) එවා සිටියේ අල්ලාහ් ව විශ්වාස කරන මෙන් ද ඔහුට පමණක් නැමදුම් ඉටු කරන මෙන් ද ඔහුට කිසිදු හවුල් කරුවකු හෝ සමානයකු නොමැත යන වග ද ඔහු පිවිතුරුය යැයි ජනයාට දන්වා ඒ වෙත ඇරයුම් කිරීම පිණිසය.  ඒ අනුව ඔවුන් සියලු දෙනාගේම පණිවිඩය වූයේ එකමය.
සැබෑ දෙවිඳුන් ඒකීයය. එබැවින් ඔහුට පමණක් නැමදුම් කරන්න.
නබිවරුන් හා රසූල්වරුන්ගේ දූත මෙහෙය එකක් ව තිබිය දී ඔවුන්ගේ දහම ද එකක් විය යුතුය. එසේ නම් මෙම නබිවරුන්ගේ හා රසූල්වරුන්ගේ දහම කුමක් ද?
ඇත්තෙන්ම ඔවුන්ගේ දූත පණිවිඩයේ මුතු වදන ‘අල්ලාහ්ට අවනත වීම’ යන ක්‍රියාව මත පදනම් වී ඇත. එය ‘ඉස්ලාම්’ යන පදයෙන් පෙන්වා දෙන අදහස එයයි. ඉස්ලාම් යනු එහි අරාබි පදයයි.
සියලු නබිවරුන්ගේ හා රසූල්වරුන්ගේ සැබෑ දහම ‘ඉස්ලාමය’ බව ශුද්ධ අල් කුර්ආනය තහවුරු කරයි. මෙම අල් කුර්ආනීය යථාර්ථය වෙනත් ශුද්ධ පුස්තක තුළ ද අනුගමනය වී තිබීම දැක ගත හැක.
අවසාන වශයෙන් මෙහි සාරාංශය සඳහන් කරන පරිදි සැබෑ ලෙසින් හා අවංකවම මෙම පණිවිඩය ගෙන හැරපෑමත් එය විශ්වාස කිරීමත් අපගේ අනිවාර්යය වගකීම බව පෙන්වා දෙයි. නමුත් මෙම කාරණා ව පමණක්  ප්‍රමාණවත් නොවේ.  අල්ලාහ්ගේ සියලු නබි වරුන් හා රසූල්වරුන් විශ්වාස කිරීමත් අපගේ වගකීමය.  (මෙය ද මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ව විශ්වාස කිරීමට අදාළ කරුණකි.) තවද ඔවුන්ගේ මඟ පෙන්වීම් අනුගමනය කළ යුතුය. ඒ අනුව ක්‍රියා කළ යුතුය. සදා සතුටු ජීවිතයකට මඟ පාදන්නේ එයයි.  
අවංක ව සත්‍යය සොයා යන්නනි, අවංකත්වය ප්‍රිය කරන්නනි, මේ කරුණ පිළිබඳ සිතා බලන්න. දැන්ම සිතා බලන්න. වටිනා කාලය අතපසු වීමට මත්තෙන් සිතා බලන්න. අනපේක්ෂිත ලෙසින් කවදා කොයි මොහොතේ හෝ පැමිණෙන මරණයට පෙර සිතා බලන්න.
සැබෑ සිතකින් හා බුද්ධිමය ලෙසින් මෙම වැදගත් කාරණා ව පිළිබඳ සිතා බැලීමෙන් හා නැවත නැවතත් අවධානය යොමු කිරීමෙන් පසු ව සැබැවින්ම අල්ලාහ් ඒකීයය ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැති බව හා ඔහුට දරුවකු නොමැති බව පිළිගැනීමටත් ඔහු ව විශ්වාස කිරීමටත් ඔහුට පමණක් නැමදුම් ඉටු කිරීමටත් සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ද, නූහ්, ඉබ්රාහීම්, මූසා හා ඊසා වැනි නබිරයකු හා ධර්ම දූතයකු බව විශ්වාස කිරීමටත් ඔබට හැකි වනු ඇත.

දැන් ඔබ කැමති නම් මෙම ප්‍රකාශය ඔබට කළ හැකිය. එනම් :
أشهد أن لا إله إلا الله و أشهد أن محمداً رسول الله

අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්

තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති බව මම සාක්ෂි දරමි.  සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අල්ලාහ්ගේ ධර්ම දූතයා බව ද සාක්ෂි දරමි.

සදා සතුටු දායක ජීවිතය සඳහා වූ මාර්ගයෙහි පළමු ක්‍රියාකාරී පියවර මෙසේ සාක්ෂි දැරීම වේ. ස්වර්ගයේ දොරටු විවෘත කිරීමේ නියම යතුර මෙයයි.  

ඔබ මෙම මාර්ගය පිළිගන්නට තීරණය කළේ නම් ඔබේ මුස්ලිම් මිතුරකුගෙන් හෝ සමීපයෙන් ඇති මුස්ලිම් දේවස්ථානයක් වෙත හෝ මුස්ලිම් මධ්‍යස්ථානයක් වෙත හෝ පියනගා එහි සිටින මුස්ලිම් සහෝදරයකු ගෙන් සහය පතන්න.

( قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ  وَأَنِيبُوا إِلَى رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ مِنْ قَبْلِ أَنْ يَأْتِيَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنْصَرُونَ وَاتَّبِعُوا أَحْسَنَ مَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَكُمُ الْعَذَابُ بَغْتَةً وَأَنْتُمْ لَا تَشْعُرُونَ ) القرآن الكريم – رقم السورة 39: آيات 53-55
තමන්ගේම ආත්ම වලට වැරදි කර ගත් මාගේ ගැත්තනි, නුඹලා අල්ලාහ්ගේ දයාව පිළිබඳ ව බලාපොරොත්තු සුන් කර නොගනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු පව් ක්ෂමා කරන්නේය. ඔහු සර්ව ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විත යැයි (නබි මුහම්මද්) කියනු.
තවද නුඹලා වෙත වේදනාව පැමිණ පසු ව නුඹලා උදව් කරනු නොලැබීමට පෙර නුඹලාගේ රබ්(පරමාධිපති) වෙත (පසුතැවිලි වී) ආපසු හැරෙනු. ඔහුට අවනත වනු.
නුඹලා නොදැනුවත්වම ක්ෂණික ව වේදනාව නුඹලා වෙත පැමිණීමට පෙර නුඹලාගේ රබ් (පරමාධිපති) විසින් නුඹලාට පහළ කරන ලද අගනා දෑ නුඹලා අනුගමනය කරනු.  (අල් කුර්ආන් 39 : 53 -55)

මෙහි තවත් කරුණක් ඇත ....

අවසන් යෝජනාව
එකම පණිවිඩයක් පමණි යන මෙම කුඩා පොත් පිංචය කියවීමෙන් පසු ව තවත් ගවේෂණාත්මක තොරතුරු කියවීමෙන් පසුව යහපත් සත්‍යවාදීහු මේ පිළිබඳ ව එකිනෙකා ප්‍රශ්න කර ගනිති.

මෙම ප්‍රශ්න ඇතුළු ව වෙනත් කරුණු මාගේ ලිපි වල  ඉදිරියට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. ඉන්ෂා අල්ලාහ්!

ඉස්ලාමය පිළිබඳ වැඩි විස්තර සඳහා ළඟම ඇති මුස්ලිම් දේවස්ථානය වෙතට හෝ ඉස්ලාමීය මධ්‍යස්ථානයක් වෙත හෝ පිය නගන්න.
    කවර හෝ වෙනස් කිරීමක් හෝ නිවැරදි කිරීමක් හෝ සිදු කළ යුතු ව ඇතොත් එය අපි සතුටින් පිළිගන්නෙමු.

 
Contents

الصفحة    العنوان    م
1    කියවීමට පෙර විමසුම    1
    සැබෑ ඒකීය දෙවිඳුන් වනුයේ සියල්ලෙහි මැවුම්කරුය    2
    ඇත්තෙන්ම දෙවියන් එක් අයෙකි. එකම දෙවියන් ව අපි විශ්වාස කරන්නෙමු. ඉතින් මෙහි ඇති ප්‍රශ්නය කුමක්දැයි ඇතැම් කිතුනුවන් විමසා සිටීම පුදුමයකි.    3
    එසේ නම් සත්‍ය කුමක් ද?    4
    බයිබලයෙන් උපුටා ගත් වාක්‍ය    5
    අල් කුර්ආනයේ සඳහන් ඒකීය දේව සංකල්පය    6
    සැබෑ දෙවිඳුන් ඒකීයය. එබැවින් ඔහුට පමණක් නැමදුම් කරන්න    7
    දැන් ඔබ කැමති නම් මෙම ප්‍රකාශය ඔබට කළ හැකිය    8
        9
        10
        11
        12
        13
        14
        15