මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම් පිටුව 54 – 65

1. අස්මාඋල් හුස්නා (අල්ලාහ්ගේ අලංකාර නාමයන්)
2. ඊමාන් හෙවත් විශ්වාසයේ වර්ධනය.

اسم الكتاب: أسماء الله تعالى الحسنى [ من كتاب مختصر الفقه الإسلامي ]


تأليف: محمد بن إبراهيم التويجري


نبذة مختصرة: كتاب مترجم إلى اللغة السنهالية يبين قضية الإيمان بأسماء الله تعالى الحسنى والكتاب مقتبس من كتاب مختصر الفقه الإسلامي لفضيلة الشيخ محمد إبراهيم التويجرى - أثابه الله -.

මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම්

] සිංහල – Sinhala –[ سنهالي  
අෂ් ෂෙයික් තුවෙයිජිරි

පරිවර්තණය

මාහිර් රම්ඩීන්

 

 

 

 


2014 - 1436
 
 
مختصر الفقه الإسلامي
أسماء الله تعالى الحسنى
« باللغة السنهالية »

 

محمد بن إبراهيم بن عبد الله
نبذة مختصرة: مختصر الفقه الإسلامي مختصر سهل حوى بين جنبيه شرائع وروعي فيه إلقاء النفع على البيت المسلم على وجه الخصوص

 

ترجمة: ماهر رمدين

 

 


2014 - 1436
 

මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාමී
පිටුව 54 – 65

අස්මාඋල් හුස්නා (අල්ලාහ්ගේ අලංකාර නාමයන්)

ඊමාන් හෙවත් විශ්වාසයේ වර්ධනය.

 

 

 

 

 

 


අස්මාඋල් හුස්නා (අල්ලාහ්ගේ අලංකාර නාමයන්)
 
උත්තරීතර අල්ලාහ්ගේ නාමයන් ඔහුගේ පරිපූර්ණ ගුණාංගයන් හඳුන්වා දෙනු ලබයි. එම නාමයන් එම ගුණාංගයන්ගෙන් බිඳී ආ දෑ ය. එබැවින් ඒවා නාමයන් පමණක් නොව ගුණාංගයන් ය. මේ හේතුවෙන් ඒවා අලංකාරමත් වී ඇත.

අල්ලාහ් පිළිබඳවත් ඔහුගේ නාමයන් පිළිබඳවත් ඔහුගේ ගුණාංගයන් පිළිබඳවත් නිවැරදි ව හඳුනා ගැනීම හදාරන්නා වූ සියලු දැනුම් වලට වඩා අති උතුම් ය. අති මහත්ය. අති කීර්තිමත් ය. වඩා වගකීමකින් යුක්ත ය.

උත්තරීතර අල්ලාහ්ගේ නාමයන් මෙසේ ය.

الله   අල්ලාහ්
ඔහු දෙවියා ය නැමදුමට ලක්වන්නා ය. සියලු මැවීම් ඔහුගේ දේවත්වය පතන්නේ ය. ඔහු ට ආදරය කරන්නේ ය. ඔහු ට ගරු බුහුමන් දක්වන්නේය. ඔහු ට යටත් වන්නේ ය. තම අවශ්‍යතාවන් වෙනුවෙන් ඔහු වෙත ම බිය බැතිමත් භාවයෙන් යොමු වන්නේ ය.  


ඔහු  الرحمان අර්-රහ්මාන් (අපරිමිත දයාන්විත) ය,
الرحيم අර්-රහීම් (අසම සම කරුණාන්විත) ය.
ඔහුගේ කරුණා ව සියලු දෑ කෙරෙහි ව්‍යාප්ත ව පවතී. ඔහුගේ කරුණා ව සියලු මැවීම් මත වෙළා ඇත.

ඔහු  الملكඅල්-මලික් (හිමිකරු) ය.
 ඉහළ ලෝකයන් හි හා පහළ ලෝකයන් හි පවතින සියලු දෑ හි හිමිකාරත්වය ඔහු සතු ය .

 المالك අල් මාලික් (අධිපති) ය.
සියලු රජ වරුන් සියලු පාලකයින් හා සියලු ගැත්තන් ගේ අධිපති ය.

 المليك   අල්-මලීක් (ආධිපත්‍යය දරන්නා) ය.
ඔහු ගේ නියෝගයන් සියල්ල ක්‍රියාත්මක වනුයේ ඔහු ගේ ආධිපත්‍යය යටතේ ය. සර්ව අධිරජ්‍යය ම ඔහු සතු ය.   ඔහු අභිමත කරන අය ට එය ලබා දෙන්නේ ය. ඔහු අභිමත කරන අයගෙන් එය ඉවත් කරන්නේ ය.

ඔහු  القدوس අල්-කුද්දූස් (අති සුවිශුද්ධ) ය.
    ඔහු සියලු අඩු පාඩු වලින් තොර ය. සුවිශුද්ධ ය. ඔහු පූර්ණ ගුණාංගයන්ගෙන් වර්ණනා කරනු ලබන්නා ය.
ඔහු السلام අස්-සලාම් (ශාන්තිය) ය.
සියලු අඩු පාඩු හා අතුරු අබාධ වලින් නිදොස්ය. සැනසුම හා ශාන්තිය ඔහු සතු ය. එබැවින් සැනසුම හා ශාන්තිය ඇත්තේ ඔහුගෙන් පමණ ය.  

ඔහු المؤمن අල්-මුඃමින් (අභයදායී) ය.
    ඔහුගේ මැවීම් වලට සිදු වන අපරාධ වලින් ඔවුන් ව ආරක්ෂා කොට අභය දානය කරන්නා ය. ඔහු අභයදායීභාවය මවා එය ඔහු අභිමත කරන ගැත්තන් හට පිරිනැමුවේ ය.

ඔහු  المهيمن අල්-මුහයිමින් (බලපවත්වන්නා) ය.
    තම මැවීම් අතුරින් හෙළි වන දෑ පිළිබඳ ව නිරීක්ෂණය කරන්නා ය. ඔහු බලමහිමය ඇත්තා ය. ඔහුගෙන් කිසිවක් නොසැඟ වේ. ඔහු ව වළක්වන කිසිවක් හෝ කිසිවෙකු හෝ නොමැත.

ඔහු العزيز අල්-අසීස් (සර්ව බලධාරී) ය.
    සියලු බලය හා ගෞරව ය ඇත්තේ ඔහුට ය. අභිමානය අපේක්ෂා නොකරන මහා අභිමානණීය ය. ඔහුව කිසිවෙකු අබිබවා නොයන සර්ව බලධාරී ය. සියලුම මැවීම් ඔහු ට යටහත් වන බලවත් ශක්තිවන්තයා ය.

ඔහු  الجبار ජබ්බාර් (මැඩ පවත්වා පාලනය කරන්නා) ය.
සියලු මැවීම් වලට වඩා උසස් ය. ඔහු අභිමත කරන දෑ අනුව බලය පවත්වන්නා ය. සියලු පාලනයන් හා ගෞරවයන්ගෙන් යුක්ත ය.  තම ගැත්තන් මැඩ පවත්වා පාලනය කරයි. ඔවුන්ගේ තත්ත්වයන් සංශෝධනය කරයි.

ඔහු  المتكبر මුතකබ්බිර් (නිහතමානීය) ය.
සියලු මැවීම් හි ගුණාංගයන්ගෙන් නිහතමානීය ය. ඔහු මෙන් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. එමෙන් ම සියලුම අපරාධ හා නපුරු වලින් දුරස් වූ නිහතමානීය ය.

ඔහු الكبير කබීර් (අතිමහත්) ය.
ඔහු හැර සෙසු සියලු දෑ කුඩා ය. අහස් හි හා මහ පොළොවෙ හි සියලු විශාලත්වයන් හා අභිමානයන් ඔහු සතු ය.

ඔහු الخالق කාලික් (නිර්මාණකරු) ය.
    පූර්ව නිදසුනකින් තොර ව මැවීම් උත්පාදන ය කරන්නා ය. කිසිදු හවුල් කරුවෙකු නොමැති ව සියලුම මැවීම් තනිව සිට නිර්මාණය කළේය.  


الخلاق අල්-හල්ලාක් (මහා මැවුම්කරු) ය.
    ඔහු මැව්වේ ය. එමෙන්ම ඔහුගේ බලයෙන් ඔහු කැමති දෑ කැමති ක්‍රමය ට කැමති අවස්ථාවක මවන්නේ ය.

ඔහු البارئ අල්-බාරී (නිර්මාතෘ) ය.
    ඔහු සියලු මැවීම් ආරම්භ කළේය. ඔහුගේ බලයෙන් සියලු දෑ නිර්මාණය කළේය. ඔහුගේ නිර්මාණයන් අතුරින් සමහරක් දෑ තවත් සමහරකගෙන් වෙන් කළේය. ඒවා සමහරක් සමහරකගෙන් සරණ පතන්නක් බවට පත් කළේය.

ඔහු المصور අල්-මුසව්විර් (හැඩගන්වන්නා) ය.
ඔහු තම මැවීම් විවිධ ස්වරූපයන්ගෙන් නිර්මාණය කළේය. ඇතැම් දෑ උස් ව ද ඇතැම් දෑ මිටි ව ද තවත් දෑ විශාලත්වයෙන් ද තවත් දෑ කුඩා ප්‍රමාණයෙන් ද එමෙන් ම විවිධ හැඩ තලයන්ගෙන් ද වර්ණයන්ගෙන් ද විවිධ ස්වභාවයන්ගෙන් ද නිර්මාණය කළේය.

ඔහු الوهاب අල්-වහ්හාබ් (පිරිනමන්නා) ය.
ඔහු තිළිණ හා සුඛාස්වාදය අඛණ්ඩ ව පිරිනමන්නේ ය. ඔහු අභිමත කරන අය ට අභිමත දෑ පිරිනමන්නේ ය.

ඔහු الرزاق අර්-රzස්zසාක් (සර්ව පෝෂකයා) ය.
    මැවීම් සියල්ලට ම ඔහු ඔහුගේ පෝෂණ ක්‍රියාවලිය ව්‍යාප්ත කර දී ඇත. සෑම කෙනෙකු ම ආහාර අනුභව කරනුයේ ඔහු දෙන පෝෂණයෙනි. සෑම කෙනෙකු ම ජීවත් වනුයේ ඔහුගේ පාලනය යටතේ ය.
    එමෙන්ම ඔහු الرازق අර්-රාzසික් (පෝෂණය කරන්නා) ය.
ඔහු සියලු පෝෂණයන් මවා ඒවා තම භාග්‍යයෙන් හා තම බලයෙන් තම මැවීම් වෙත ලැබෙන්න ට සලස්වන්නා ය.

ඔහු الغفور අල්-ගෆූර් (මහත් ක්ෂමාදායී) ය.
 الغفار ගෆ්ෆාර් (අති ක්ෂමාශීලී) ය.
    ඔහු ඔහුගේ කරුණා ව ඔහුගේ මැවීම් සියල්ල ට පරිපූර්ණ කළ හේතුවෙන් ක්ෂමාව, අනුකම්පාව, නොසළකා හැරීම වැනි ගුණාංගයන්ගෙන් ප්‍රසිද්ධ විය.  
    
එමෙන් ම الغافر ගාෆිර් (සමාව දෙන්නා) ය.
    තම ගැත්තන්ගේ පාපයන් මකා දමන්නා ය. ඔහුගේ සමා ව ව්‍යාප්ත ය. ඔහු සමාවේ දොරටු ව තම ගැත්තන් වෙනුවෙන් විවෘත කරන්නා ය.

ඔහු القاهر අල්-කාහිර් (අබිබවනීය) ය.
    ඔහු ඔහුගේ ගැත්තන් ට ඉහළින් වූ අබිබවනීය ය. උත්තරීතර ය. සියලු ගැත්තන් ඔහු ට යටහත් ය. සියලු බලයන් ඔහු ට පහත් ය.

ඔහු القهار අල්-කහ්හාර් (මැඩපවත්වන්නා) ය.
    ඔහු අභිමත පරිදි සියලු මැවීම් මැඩපවත්වන්නා ය. එබැවින් ඔහු හැර සෙසු සියලු දෑ ඔහු විසින් පාලනය කරනු ලබන්නනා ය.

ඔහු الفتاح අල්-ෆත්තාහ් (විවර කරන්නා)ය.
    ඔහු තම ගැත්තන් අතර සත්‍යය හා යුක්තිය ගෙන තීන්දු කරන්නා ය. ඔහු තම විශ්වාසනීය ගැත්තන් හට තම කරුණා ව පෝෂණය හා උපකාරයේ දොරටු විවෘත කරන්නේ ය. ගුප්ත දෑ හි යතුරු පිළිබඳ දැනුම ඇත්තා ඔහු පමණ ය.

ඔහු العليم අල්-අලීම් (සර්වඥානී) ය.
    කිසිවක් ඔහුගෙන් සැඟවෙන්නේ නැත. රහස්‍ය හා සැඟ වී ඇති සියල්ල පිළිබඳවත් බාහිර ව හා අභ්‍යන්තරයේ ඇති සියල්ල පිළිබඳවත් ප්‍රකාශයන් හා ක්‍රියාවන් පිළිබඳවත් දෘෂ්‍යමාන හා අදෘෂ්‍යමාන සියලු දෑ පිළිබඳවත් මනා ඥානයක් ඇත්තා ය. සියලු ගුප්ත දෑ පිළිබඳ ව මහා ඥානී ය. සියලු දෑ පිළිබඳ ව සර්වඥ ය.

ඔහු المجيد අල්-මජීද් (කීර්ති) ය.
ඔහු තම ක්‍රියාවන් තුළින් කීර්තිය ට බදුන් වන්නා ය. ඔහුගේ මැවීම් ඔහු පිළිබඳ ඇති ගෞරවය හේතුවෙන් ඔහු ව කීර්තිය ට පත් කරන්නේ ය. එබැවින් ඔහුගේ කිර්තිය ඔහුගේ ගෞරව ය ඔහුගේ උපකාර ය ඔහුගේ නාමයන් හා ඔහුගේ ගුණාංගයන් තුළින් ඔහු ප්‍රශංසා කරනු ලබන්නා ය.

ඔහු الرب අර්-රබ් (පරමාධිපති) ය.
    ඔහු අයිතිකරු ය. සියල්ල වෙනස් කරන්නා ය. අධිපතියන්ගේ පරමාධිපති ය. සියලු මැවීම් හි රජු ය. තම මැවීම් පාලනය කරන්නා ය. එම මැවීම් හි සියලු කරුණු මෙලොවෙ හි හා පරලොවෙ හි ක්‍රියාත්මක කරන්නා ය. ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු නොමැත.

ඔහු العظيم අල්-අළීම් (විභූතිමත්) ය.
    ඔහු ගේ පැවැත්මෙ හි ඔහු ගේ නාමයන් හි ඔහු ගේ ගුණාංගයන් හි එමෙන් ම ඔහුගේ පාලනයෙ හි හා ඔහු ගේ රාජ්‍යයෙ හි විභූතිය හා කීර්තියේ අයිතිකරු ඔහු පමණ ය.

ඔහු الواسع අල්-වාසිඃ (සර්ව ව්‍යාපක) ය.
    සියලු දෑ කෙරෙහි ඔහුගේ කරුණා ව ව්‍යාප්ත ව ඇත. සියලු දෑ පිළිබඳ ඔහුගේ ඥානය ද ව්‍යාප්ත ව ඇත. සියලු මැවීම් වලට ඔහුගේ පෝෂණය ද ව්‍යාප්ත ව ඇත. විභූතිය පාලනය හා බලය ද ව්‍යාප්ත ව ඇත. භාග්‍යය හා උපකාරය ද ව්‍යාප්ත ව ඇත.

ඔහු الكريم අල්-කරීම් (උපකාරශීලී අති ගෞරවනීය) ය.
    මහා බලය හා වස්තුව ඔහු සතු ව ඇත. සියලු සම්පත් ඔහු වෙත අඛණ්ඩ ව පවතී. සියලු අඩු පාඩු වලින් හා සියලු අතුරු අබාධ වලින් ඔහු පිවිතුරු ය.
    الاكرم අල්-අක්රම් (මහා ත්‍යාගශීලී) ය.
    ඔහුගේ ත්‍යාගය ඔහුගේ භාග්‍යය ඔහුගේ උපකාරය සියලු දෑ ආවරණය කර ඇත. ඔහු වැළැක්වීම ට වඩා පිරිනැමීම දැඩි ලෙස ප්‍රිය කරන්නා ය.

ඔහු الودود අල්-වදූද් (ආදර වන්ත) ය.
තම ගැත්තන් අතුරින් ඔහු ට අවනත වන එමෙන් ම ඔහු වෙත යොමු වන ගැත්තන් කෙරෙහි ඔහු ප්‍රිය කරන්නේ ය. ඔවුන් ව ප්‍රශංසාව ට ලක් කරන්නේ ය. ඔවුන් වෙත පමණක් නොව සෙසු අයට ද ඔහු උපකාර කරන්නේ ය. තම දයාවෙන් ඔහු ගේ මැවීම් වලට සෙනෙහස පාන්නේ ය.

ඔහු المقيت අල්-මුකීත් (රක්ෂක) ය.
සියලු දෑ ආරක්ෂා කරන්නා ඔහු ය. සියලු දෑ ක්‍රියාත්මක කරන්නා ද ඔහු ය. එමෙන් ම සියලු මැවීම් වලට ආහාර සපයන්නා ද ඔහු ය.

ඔහු الشكور අෂ්-ෂකූර් (කෘතඥභාවයෙන් යුක්ත) ය.
    ඔහු තිළිණ ප්‍රගුණ කරන්නේ ය. පාපයන් මකා දමන්නේ ය. නිලයන් උසස් කරන්නේ ය.

     එමෙන් ම ඔහු  الشاكر ෂාකිර් (කෘතවේදී) ය.
    ඔහු ට සුළු දැයකින් අවනත වුව ද ඔහු එය කෘතවේදී වන්න්නා ය. ඒ වෙනුව ට අති මහත් කුසල් පිරිනමන්නේ ය. අධික සම්පත් පිරිනමන්නේ ය. කෘතවේදී වන පරිදි කුඩා දෙයක් කළ ද එය ඔහු පිළිගන්නේ ය.   

ඔහු اللطيف අල්-ලතීෆ් (සියුම් ඥානී) ය.
    කිසිවක් ඔහු ට සැඟවෙන්නේ නැත. තම ගැත්තන් සමඟ ඔවුන් නොදන්නා පරිදි ඉතා සියුම් ලෙස කටයුතු කරන්නේ ය. කිසිදු දර්ශනයකින් බැලිය නොහැකි ඉතා සියුම් ඥානී ය. ඔහු සියලු දර්ශනයන් ග්‍රහණය කරන්නා ය.


ඔහු الحليم අල්-හලීම් (සෙනෙහෙවන්ත) ය.
    තම ගැත්තන් කරන පාපයන් සඳහා ඔවුන් ව එකවර දඬුවම ට භාජනය නොකරන්නේ ය. නමුත් ඔවුන් පාපක්ෂමාවෙ හි නිරත වන තෙක් ඔවුන ට අවකාශ ලබා දෙන්නේ ය.

ඔහු الخبير අල්-හඃබීර් (අභිඥානවන්ත) ය.
    ඔහුගේ මැවීම් හි කිසිදු කරුණක් ඔහු ට සැඟවෙන්නේ නැත. එය යම් චලනයක් හෝ ස්ථාවර පැවැත්මක් වුව ද යම් ප්‍රකාශයක් හෝ නිහැඩියක් වුව ද කුඩා හෝ විශාල වුව ද යම් බාහිර හෝ අභ්‍යන්තර දෙයක් වුව ද ඔහු ට සැඟවෙන්නේ නැත.

ඔහු الحفيظ අල්-හෆීල් (ආරක්ෂකයා) ය.
    ඔහු ඔහුගේ මැවීම් සියල්ල ආරක්ෂා කරන්නේ ය. ඒවා පිළිබඳ ව ඔහුගේ ඥානය විහිදී පවතින්නේ ය.

    الحافظ අල්-හාෆිල් (සුරක්ෂක) ය.
    තම ගැත්තන්ගේ ක්‍රියාවන් ඔහු සුරක්ෂිත ව සටහන් කරන්නේ ය. ඔහුගේ දැහැමියන් පවෙ හි වැටීමෙන් සුරක්ෂා කරන්නේ ය. ඔහු සුරක්ෂා කරන කිසිවක කිසිදු අඩුපාඩුවක් ඇති නොවන්නේ ය.

ඔහු السميع අස්-සමීඃ(සර්ව ශ්‍රාවක)ය.
    සියලු හඬ වලට ඔහු සවන් දෙන්නා ය. ඔහුගේ ශ්‍රවණය සියලු හඬ වල් ග්‍රහණය කරන්නේ ය. භාෂාව වෙනස් වුව ද කතා කරන දිවවල් වෙනස් වුව ද අවශ්‍යතාවන් විවිධ වුව ද ඒවා සියල්ල ඔහුගේ ශ්‍රවණයෙන් මිදෙන්නේ නැත. රහස්‍ය දෑ හෝ හෙළි කරන දෑ වුව ද ඒවා දුරින් හෝ සමීපයෙන් පැවතුණ ද ඒ සියල්ල ඔහු ට එක හා සමාන ය.

ඔහු البصير අල්-බසීර් (සර්ව දෘෂ්ටිය ඇත්තා) ය.
    ඔහු සියලු දෑ නිරීක්ෂණය කරන්නා ය. ගැත්තන්ගේ සියලු අවශ්‍යතාවන් හා ක්‍රියාවන් ඔහු මැනවින් දන්නා ය. එමෙන් ම යහමඟ ට සුදුස්සන් කවුරුන් දැයි ද මුළාව ට සුදුස්සන් කවුරුන් දැයි ද මැනවින් දන්නා ය. කිසිවක් ඔහුගෙන් දිය වී යන්නේ නැත. කිසිවක් ඔහුගේ සැඟවෙන්නේ ද නැත. කිසිවක් ඔහුගෙන් මිදෙන්නේ ද නැත.

ඔහු     العلي අල්-අලී (උසස්) ය.
الأعلى අල්-අඃලා (අති උත්තරීතර) ය.
المتعال අල්-මුතආල් (අති උදාර)ය.
    ඔහු උත්තරීතර හා උසස් භාවයන් යුක්ත ය. සියලු දෑ ඔහු ගේ පාලනය ට ඔහුගේ බලය ට යටත් ය. එබැවින් ඔහු ට ඉහළින් කිසිදු බලයක් නොමැති සර්ව බලධාරී ය. ඔහු ට ඉහළින් කිසිදු උත්තරීතර භාවයක් නොමැති අති උත්තරීතර ය. ඔහු ට වඩා ශ්‍රේෂ්ඨ කිසිවක් නොමැති අති ශ්‍රේෂ්ඨ ය.  

ඔහු الحكيم අල්-හකීම් (ප්‍රඥාවන්ත) ය.
    ඔහු තම ප්‍රඥාවෙන් හා සාධාරණයෙන් සියලු වස්තූන් නියමිත ස්ථානයේ තබා ඇත. තම මැවීම් හා නියෝගයන් කෙරෙහි ද තීක්ෂණ දැනුමෙන් යුක්ත ය. ඔහුගේ ප්‍රකාශයන් හා ඔහුගේ ක්‍රියාවන් හි ද මනා ප්‍රඥාවක් ඇත්තා ය.  එමෙන් ම කුසල් ලබා දීම හා දඬුවම් දීම කෙරෙහි ද ඉතා තීක්ෂණ ය.

الحكم අල්-හකම් (නීතිය) ය.
الحاكم අල්-හාකිම් (තීරක) ය.
ඔහු පාලනය හා පාලකයන් ව තීරණය කරන්නා ය. සියලු නීතියන් ඔහු ට යටහත් ය. එබැවින් එයට වෙන කිසිවෙකු සුදුසු නොවන්නේ ය. ඔහු කිසිවෙකු ට අපරාධයක් අසාධාරණයක් නොකරන්නේ ය.

ඔහු الحي අල්-හය්යු (ජීවමාන) ය.
    ඔහු මරණය ට පත් නොවන්නා ය. සදා අමරණීය ය. මරණය හෝ විනාශය හෝ කිසිවිටක ඔහු ට අත් නොවන්නේ ය.

ඔහු القيوم අල්-කය්යූම් (සදා පැවැත්ම ඇත්තා)ය.
    ඔහු ස්ව පැවැත්මෙන් යුක්ත ය. කිසිවෙකුගේ අවශ්‍යතාවක් නොමැත. කිසිවෙකු මත යැපෙන්නේ ද නැත. සියලු මැවීම් සැලසුම් කිරීමෙ හි ස්වයංව ක්‍රියා කරන්නා ය. ජීවමාන ය. සදා පැවැත්මක් ඇත්තා ය. ඔහු ට විඩාවක් හෝ නින්දක් හෝ ඇති නොවන්නේ ය.

ඔහු    الواحد අල්-වාහිද් (කේවල) ය.
الأحد අල්-අහ්ද් (ඒකීය භාවයෙන් යුක්ත) ය.
    ඔහු සර්ව සම්පූර්ණ භාවයන් සපිරුණු ඒකීය ය.   ඔහු ට කිසිදු හවුල්කරුවෙකු නොමැත.

ඔහු     الحاسب අල්-හාසිබ් (ගණනය කරන්නා) ය.
الحسيب අල්-හසීබ් (විනිශ්චය කරන්නා) ය.
    ඔහු ගේ ගැත්තන් ට ඔහු පමණක් ප්‍රමාණවත් වන්නේ ය. කිසිවිටෙක ඔහුගෙන් තොරව ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා ගත නොහැක. තම ගැත්තන් ගැන සදා සැලකිල්ලෙන් පසුවන්නා ය.

ඔහු الشهيد අෂ්-ෂහීද් (සම්මුඛ) ය.
    සියලු දෑ අබියස සම්මුඛ ව සිටින්නා ය. සියලු දෑ කෙරෙහි සර්ව ප්‍රකාරයෙන් දන්නා ය. තව ද ඔහු තම ගැත්තන් වෙනුවෙන් ඍජු ව පෙනී සිටින්නා ය. එමෙන් ම තම ගැත්තන් තමන් වෙනුවෙන් ඉටු කරන දෑ පිළිබඳ ව සාක්ෂි දරන්නා ය.

ඔහු القوي අල්-කවීය්යු (බලවතා) ය.
    පූර්ණ බලය ඇත්තා ය. කිසිවක් ඔහුව අබිබවා නොයන්නේ ය. කිසිදු ප්‍රචණ්ඩ වාදියෙකුට ඔහු ව පරාජය කළ නොහැක. සියලු බලයන් බල පවත්වන බලවතා ය.

ඔහු المتين අල්-මතීන් (ශක්තිවන්ත) ය.
    ඔහුගේ ශක්තිය බිඳ දමන කිසිදු ශක්තියක් නොමැත. ඔහු දැඩි ශක්තිවන්ත ය. අසාමාන්‍ය ශක්තිය ඇත්තා ය. එම ශක්තිය ට අවසානයක් නොමැත.

ඔහු الولي අල්-වලී (හිමිකරු) ය.
    ඔහු ගේ අතිමහත් පාලනයෙ හි සියලු දෑ සැලසුම් කිරීමෙ හි එකම හිමිකරු ය.
    المولى අල්-මව්ලා(භාරකරු) ය.
ඔහුගේ සියලු විශ්වාසවන්ත ගැත්තන් ට උදව් උපකාර කරන ආදරවන්ත ය.

ඔහු الحميد අල්-හමීද් (ප්‍රශංසා ලාභී) ය.
    සියලු පැසසුම් වලට සුදුස්සා ඔහු ය. ඔහුගේ නාමයන් ඔහුගේ ගුණාංගයන් ඔහුගේ ක්‍රියාවන් හා ඔහුගේ ප්‍රකාශයන් සියල්ල මත ඔහු ප්‍රශංසාලාභී ය. එමෙන් ම ඔහුගේ උපකාරයන් ඔහුගේ දහම් ගත කිරීම් ඔහුගේ සැලසුම් ඔහුගේ තිළිණ පිරිනැමීම් ඔහුගේ දඬුවම් කිරීම් හි ද ප්‍රශංසාලාභීය. තම ගැත්තන් සිදු කරන කුඩා යහපතක ට වුව ද කෘතවේදී වන ප්‍රශංසාලාභී ය.

ඔහු الصمد අස්-සමද් (ස්වාධීන) ය.
    ඔහුගේ නායකත්වයේ ඔහුගේ බලයේ හා ඔහුගේ පැවැත්මෙ හි ඔහු පූර්ණත්ව ය ලැබූවකි. ඔහුගෙන් පතන අවශ්‍යතාවන් ඉටු කිරීමෙ හි ඔහු ස්වාධීන ය. ඒ සඳහා ඔහු ට කිසිදු හවුල් කරුවෙකු අවශ්‍ය නොවන්නේ ය.

ඔහු      القدير අල්-කදීර් (ශක්තිවන්ත) ය.
القادر අල්-කාදිර් (බලවතා) ය.
المقتدر අල්-මුක්තදිර්  (ස්වබලය ඇත්තාය) ය.
    ඔහු පූර්ණ ශක්තිය බලය හා පූර්ණ හැකියාව ඇත්තා ය. නොහැකියාවක් ඔහු ට නොමැත. කිසිවක් ඔහු අතපසු නොකරන්නේ ය. අඛණ්ඩ ව පවතින පූර්ණ ව පවතින ශක්තිය හා හැකියාව ඇත්තේ ඔහු ට පමණ ය. සෑම බලයක ම හැකියාව හා ශක්තිය මැවූ මහා බලවතා ය.

ඔහු الوكيل අල්-වකීල් (භාරකරු) ය.
ඉහළ ලෝකයන් හි හා පහළ ලෝකයන් හි ඇති සියලු මැවීම් හි කටයුතු ක්‍රියාත්මක කරන්නා ය.  

ඔහු الكفيل අල්-කෆීල් (ආරක්ෂක) ය.
ඔහු සියලු දෑ හි ආරක්ෂකයා ය. සියලු ආත්මයන් ක්‍රියාත්මක කරන්නා ය. මැවීම් වලට පෝෂණය ලබා දීමේ භාරකාරත්වය ඔහු සතු ය. ඔවුන්ගේ සුබ සාධනය පිළිබඳ නිරීක්ෂාවෙන් සිටින්නා ය. ඔහු සියලු මැවීම් වලට ආහාර විස්තීර්ණ ව ලබා දෙන්නා ය.

ඔහු الغني අල්-ඝනී (අවශ්‍යතාවන්ගෙන් තොර) ය.
    ඔහු මැවීම් වල අවශ්‍යතාවන්ගෙන් තොර ය. ඔහු පොහොසත් ය. කිසිවිටෙක අංශු මාත්‍රයක් හෝ ඔහුගේ සම්පත් හි අඩුවක් ඇති නොවන්නේ ය.

ඔහු الحق අල්-හක් (සත්‍ය) ය.
    ඔහු ගැන කිසිදු සැකයක් නැත. ඔහුගේ පැවැත්මෙ හි කිසිදු කුතුහලයක් නොමැත. ඔහු තම මැවීම් වලට සැඟවී ද නැත.

ඔහු المبين අල්-මුබීන් (පැහැදිලි කරන්නා) ය.
    සැබෑ ලෙස නිරීක්ෂා කර බලන්නන් ට ඔහු ඉතා පැහැදිලි ය. මෙලොව හා පරලොව ජයග්‍රහණයේ මාවත ඔහු තම මැවීම් වල ට පැහැදිලි කර දී ඇත්තේ ය.

ඔහු النور අන්-නූර් (ආලෝකය) ය.
    අහස් හා මහ පොළොව ආලෝකමත් කළේය. විශ්වාසවන්තයින් ඔහු ව වටහා ගත් හේතුවෙන් හා ඔහු ව විශ්වාස කිරීම හේතුවෙන් ඔවුන්ගේ හදවත් ඔහු ආලෝකමත් කළේය.

ඔහු ذو الجلال والإكرام දුල් ජලාලි වල් ඉක්රාම් (කිර්තිය හා ත්‍යාගශීලීභාවයෙන් යුක්ත) ය.
    පිරිනමනු ලැබීම ට ඉතා සුදුස්සා ඔහු ය. ප්‍රශංසා කරනු ලැබීමටත් ඉතා සුදුස්සා ඔහු ය. ඔහු අතිබලසම්පන්න ය. නිහතමානී ය. කරුණා ගුණයෙන් සපිරුණු උපකාරශීලී ය.

ඔහු البر අල්-බිර් (දැහැමි) ය.
    ඔහු තම ගැත්තන් ට ඉතා කාරුණික ය. ඔවුන ට සෙනෙහෙවන්ත ය. ඔවුන ට උපකාර කරන්නා ය.

ඔහු التواب අත්-තව්වාබ් (පශ්චාත්තාපය පිළිගන්නා) ය.
    පශ්චාත්තාප කරන්නන් ව ඔහු පිළිගන්නේ ය. ඔහු වෙත යොමු වන්නන්ගේ පාපයන් ට සමාව දෙන්නේ ය. පශ්චාත්තාපය මවා එය තම ගැත්තන්ගෙන් පිළිගත්තේය.

ඔහු العفو අල්-අෆ්වු (සමාදායක) ය.
    ඔහුගේ ගැත්තන්ගෙන් පාපයන් සිදු වූ විටක එය ට සමාව දෙන තරම ට ඔහුගේ සමා ව අති පුළුල්ය. තව්බා හා ඉස්තිග්ෆාර් අවස්ථාවන් හි එය සුවිශේෂී ය.

ඔහු الرؤوف අර්-රඌෆ් (සෙනෙහෙවන්ත) ය.
    ඔහු ඔහුගේ සියලු මැවීම් කෙරෙහි සෙනෙහසින් කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුක්ත ය.

ඔහු    الأول අල්-අව්වල් (ප්‍රාරම්භක) ය.
    ඔහුට පෙර කිසිවක් නොමැත.
الآخر අල්-ආහිර් (අවසාන) ය.  
ඔහුට පසු කිසිවෙකු නොමැත.

الظاهر අල්-ළාහිර් (මතු පිට සිටින්නා) ය.
ඔහුට ඉහළින් කිසිවක් නොමැත.
الباطن අල්-බාතින් (අභ්‍යන්තර) ය.
ඔහුට පහළින් කිසිවක් නොමැත.

ඔහු  الوارث අල්-වාරිස් (උරුමක්කරු)ය.
    සියලු මැවීම් විනාශ වී ගිය පසු ව ඉතිරි ව පවතින්නේ ඔහු පමණ ය. සියලු දෑ හී නැවත යොමු වීමේ ස්ථානය හා ලැඟුම් ගන්නා ස්ථානය ඇත්තේ ද ඔහු වෙත ය. මරණයක් නොමැති සදා ජීවමාන ය.

ඔහු المحيط අල්-මුහීත් (සර්ව ප්‍රකාර ව දන්නා) ය.
    ඔහු සියලු දෑ සිව් දෙසින් දන්නා ය. ඔහුගේ සියලුම මැවීම් පිළිබඳ ව ඔහුගේ බලය සිව් දෙසින් විහිදී ඇත. ඉන් මිදීමට හෝ පලා යෑමට හෝ ඔවුන් කිසිවෙකු ට නොහැක. දැනුමෙන් ඔහු සියල්ල වෙළා ඇත්තේය. සියලු දෑ ගණන් කර සටහන් කර ඇත්තේය.

ඔහු القريب අල්-කරීබ් (සමීපත) ය.
    ඔහුගෙන් අයැදින සෑම කෙනෙකුට ම ඔහු සමීපයෙන් සිටින්නා ය. ඔහු වෙනුවෙන් සිදු කරනු විවිධාකාර අවනතවීම් හා නොයෙකුත් දැහැමි කටයුතු මගින් ඔහු සමීප වන්නේ ය.

ඔහු الهادي අල්-හාදී (මඟ පෙන්වන්නා) ය.
    දැහැමි පැවැත්මක් සඳහා ඔහු ඔහුගේ මැවීම් වලට මඟ පෙන්වන්නා ය. සියලුම යහ කටයුතු සඳහා තම ගැත්තන් ට මඟ පෙන්වන්නා ය. අසත්‍ය මාර්ගයෙන් සත්‍ය මාර්ගය පැහැදිලි කරන්නා ය.

ඔහු البديع අල්-බදීඋ (උත්පාදකයා) ය.
    ඔහු ට සමාන කිසිදු උපමාවක් හෝ කිසිදු ආදේශයක් හෝ නොමැත. පෙර නිදසුනකින් තොර ව සියලු මැවීම් නිර්මාණය කළ මැවුම්කරු ය.

ඔහු الفاطر අල්-ෆාතිර් (නිර්මාපක) ය.
    ඔහු සියලු මැවීම් මැව්වේ ය. අහස් හා පොළොව නිර්මාණය කළේය. ඒවා ඊට පෙර නොපැවතුණි.

ඔහු الكافي අල්-කාෆි (ප්‍රමාණවත්) ය.
    ඔහුගේ ගැත්තන් ඔහුගෙන් අයැද සිටින ඔවුන්ගේ සියලු අවශ්‍යතාවන් සඳහා ඔවුන ට ඔහු ප්‍රමාණවත් ය.

ඔහු الغالب අල්-ඝාලිබ් (අබිබවනීය)ය.
    ඔහු සදා පාලකයා ය. අයැදින සෑම කෙනෙකුව ම අබිබවා යන්නා ය. ඔහු තීන්දු කළ දෙයක් ප්‍රතික්ෂේප කිරීම ට කිසිවෙකුට නොහැක. ඔහු ක්‍රියාත්මක කළ දෙයක් වැළැක්වීමට ද කිසිවෙකු ට නොහැක. ඔහුගේ තීන්දුව වළක්වන්නෙකු ද නැත. ඔහුගේ තීන්දුව අතපසු කිරීමට ද නොහැක.

ඔහු     الناصر අන්-නාසිර්  (පිහිට වන්නා) ය.
النصير අන්-නසීර් (උදව් කරන්නා) ය.
    ඔහු තම ධර්ම දූතයින්ටත් ඔවුන් අනුගමනය කළවුන්ටත් තම සතුරන් ට එරෙහි ව උපකාර කළේය. උදව් උපකාරය ඔහුගෙන් පමණ ය. එහි කිසිදු හවුල් කරුවෙකු නොමැත.

ඔහු المستعان අල්-මුස්තආන් (උදව් පතනු ලබන්නා) ය.
ඔහු උදව් නොපතයි. නමුත් ඔහුගෙන් උදව් පතනු ලබති. ඔහු ට සමීප වූවන් ද ඔහුගේ සතුරන් ද ඔහුගෙන් ම අයැද සිටිති. ඔවුනටත් මොවුනටත් ඔහු විස්තීරණ ව ලබා දෙයි. කිසිදු යහපතක් කිරීමේ හැකියාවක් හෝ අයහපතින් වැළකී සිටීමේ බලයක් හෝ අල්ලාහ්ගෙන් මිස ඇති නොවන්නකි.

ඔහු ذو المعارج දුල් මආරිජ් (ආරෝහණභාවයෙන් යුක්ත) ය.
    ඔහු වෙත මලක්වරු හා රෑහ් නම් ජිබ්රීල් ආරෝහණය කරති. ඔහු වෙත දැහැමි කටයුතු හා දැහැමි ප්‍රකාශයන් සියල්ල ආරෝහණය වනු ඇත.

ඔහු ذو الطول සුත් තව්ලි (විස්තීරණ ගුණාංගයෙන් යුක්ත)ය.
    අනේක අප්‍රමාණ භාග්‍යන් සම්පත් හා පිරිනැමීම ඔහු තම මැවීම් වෙත සෑම කාලයක ම සෑම ස්ථානයකම විස්තීරණ කරන්නා ය.

ඔහු  ذو الفضل දුල්-ෆළ්ලි (භාග්‍ය සම්පන්න) ය.
    ඔහු සියලු දෑ හිමි කර ඇත්තේ ය. ගණන් කළ නොහැකි තරමට ප්‍රමාණ කළ නොහැකි තරමට අනේක අප්‍රමාණ සම්පත් ඔහු තම ගැත්තන් ට භාග්‍ය කරන්නේ ය.

ඔහු الرفيق රෆීක් (මෛත්‍රී) ය.
    මෛත්‍රීය හා එම ගුණාංගයෙන් යුත් අය ව ඔහු ප්‍රිය කරන්නේ ය. සියලු ගැත්තන් සමඟ සෙනෙහෙවන්ත ව කටයුතු කරන්නේ ය. ඔවුන ට කරුණා කරන්නේ ය. ඔවුන් සමඟ මෘදු ව ක්‍රියා කරන්නේ ය.

ඔහු الجميل අල්-ජමීල් (අලංකාර) ය.
    ඔහු ගේ පැවැත්මෙ හි ඔහුගේ නාමයන් හි ඔහුගේ ගුණාංගයන් හි හා ඔහුගේ ක්‍රියාවන් හි අලංකාරය සදා පවතින්නකි. සෑම අලංකාර දෙයක ම අලංකාර ය ඔහු මැව්වේ ය.

ඔහු الطيب තයියිබ් (පිවිතුරු) ය.
සියලු අඩු පාඩු හා අතුරු ආබාධ වලින් නිදොස් ය. සෑම පිවිතුරු දෙයක ම පිවිතුරුභාවය මැවූ ඔහු අති පිවිතුරු ය.

ඔහු الشافي අෂ්-ෂාෆී (සුවපත් කරන්නා) ය.
    සෑම අනතුරකට ම සෑම ශාරීරික හෝ මානසික ආබාධයකට ම හා සෑම ලෙඩකට ම සුවය ලබා දෙන්නා ඔහු ය. එහි කිසිදු හවුල්කරුවෙකු නොමැත. සෑම ලෙඩකට ම ප්‍රතිකාරය සුව ය මැව්වේ ද ඔහු ය.

ඔහු السبوح අස්-සුබ්බූහ් (අති පාරිශුද්ධ) ය.
    සියලු අඩු පාඩුවලින් පිවිතුරු ය. අහස් හත හා මහ පොළොව ද ඒ තුළ ඇති දෑ ද ඔහු ව සුවිශුද්ධ කරති. එමෙන් ම ඔහු ට ඇති අලංකාර නාමයන් හා ඔහුගේ උසස් ගුණාංගයන් හේතුවෙන් සියලු දෑ ඔහු ට ප්‍රශංසා කරමින් ඔහු ව සුවිශුද්ධ කරන්නේ ය.

ඔහු الوتر අල්-විත්ර් (ඔත්තේ) ය.
    ඔහු කේවල ය. ඔහු ට සමාන කළ හැකි හෝ ඔහු ට උපමා කළ හැකි හෝ ඔහු ට ආදේශ කළ හැකි කිසිවක් නොමැත. නැමදුම් හා ක්‍රියාවන් ඔත්තේ සංඛ්‍යාවකින් පිහිටීම ඔහු ප්‍රිය කරන්නේ ය.

ඔහු الديان අද්-දෙයියාන් (පිරිනමන්නා) ය.
    ඔහු ගැත්තන්ගෙන් ඔවුන් කළ දෑ ගැන විභාග කරන්නේ ය. ඔවුන ට ඒ සඳහා ප්‍රතිඵල පිරිනමන්නේ ය. නැවත යොමු කරනු ලබන දිනයේ ඔවුන් අතර තීන්දු ලබා දෙන්නේ ය.

ඔහු    المقدم අල්-මුකද්දිම් (ආරම්භක) ය.
المؤخر අල්-මුඅහ්හිර් (අවසාන) ය.
    ඔහු අභිමත කරන දෑ පෙරටු කරන්නේ ය. ඔහු අභිමත දෑ ප්‍රමාද කරන්නේ ය. ඔහු අභිමත දෑ උසස් කරවන්නේ ය. ඔහු අභිමත කළ දෑ පහත් කරන්නේ ය. ඔහු අභිමත අය ට ගෞරවය පිරිනමන්නේ ය. ඔහු අභිමත කරන අය ව අවමානයට ලක් කරන්නේ ය.

ඔහු المنّان අල්-මන්නාන් (මහා පරිත්‍යාගශීලී) ය.
    ඔහු යමක් අසන්න ට පෙර අධික සම්පත් ලබා දෙන්න ට ආරම්භ කරන්නා ය. විවිධාකාර උපකාරයන් භාග්‍යයන් පෝෂණයන් දීමනාවන් කාලයා සමඟ ම මැවීම් වලට ලබා දෙන්නා ය.

ඔහු القابض අල්-කාබිල් (මිට මොළවා ගන්නා) ය.
    ඔහු ගේ පරිපූරණ දැනුමෙන් හා ඔහුගේ තීන්දුවෙන් ඔහු අභිමත කරන අය ට ඔහු ගේ උපකාරය හා ඔහු ගේ යහපත සීමා කරන්නේ ය.

ඔහු الباسط අල්-බාසිත් (විහිඳුවාලන්නා) ය.
ඔහු තම භාග්‍යය විහිඳුවාලන්නේ ය. ඔහු ගේ පෝෂණය ඔහු අභිමත කරන ගැත්තන් හට විස්තීරණ ය කරන්නේ ය.

ඔහු الحيي අල්-හයියි (ලැජ්ජා සහගත) ය.
الستير අස්-සිත්තීර් (සඟවන්නා) ය.
    ඔහු ලැජ්ජා භිය ඇත්තවුන් ව ප්‍රිය කරන්නේ ය. තම ගැත්තන්ගේ පාපයන් සඟවන්නේ ය. ඔවුන්ගේ අඩුපාඩු හා පාපයන් සඟවන්නේ ය. ඔහුගෙන් අයැද සිටින්නන් ව ප්‍රතික්ෂේප කිරීම ට ඔහු ලැජ්ජා වන්නේ ය.

ඔහු السيد අස්-සෙයියිද් (නායකයා) ය.
    ඔහු තම නායකත්වයේ හා තම ගරුත්වයේ හා තම බලයේ හා  සෙසු ගුණාංගයන් හි පරිපූර්ණභාවය ලැබූවෙකි.

ඊමාන් හෙවත් විශ්වාසයේ වර්ධනය.

දීන් හෙවත් දහමෙ හි මූලික පදනම වනුයේ

•    උත්තරීතර අල්ලාහ් ව විශ්වාස කිරීම

•    ඔහු ගේ පැවැත්ම ඔහුගේ නාමයන් ඔහු ගේ ගුණාංගයන් ඔහු ගේ ක්‍රියාවන් ඔහු ගේ සම්පත් ඔහු ගේ ප්‍රතිඥාවන් හා ඔහු ගේ ප්‍රතිඥා කළ දෑ කෙරෙහි ස්ථාවර ව සිටීම

•    හා ඒ අනුව කටයුතු කිරීම වේ.

සියලුම ක්‍රියාවන් හා නැමදුම් ගොඩ නැගී ඇත්තේ ද එමෙන් ම ඒවා පිළි ගනු ලබන්නේ ද මෙම මූලික පදනම යටතේ ය. මෙම විශ්වාසය දුර්වල වූ විටක අඩු වූ විටක එම ක්‍රියාවන් හා නැමදුම් දුර්වල වී යන්නේ ය. එම තත්ත්වයන් විනාශ වී යන්නේ ය. පසු ව අල්ලාහ්ගේ කෝපය පැමිණෙනු ඇත. ඔහු ගේ දඬුවම පහළ වනු ඇත.

ක්‍රියාවන්ගෙන් උතුම් වනුයේ අල්ලාහ් පිළිබඳ ව නිවැරැදි ව විශ්වාස කිරීම ය. එබැවින් මෙම විශ්වාසය ලබා ගැනීමටත් එය වර්ධනය කර ගැනීමටත් කරුණු හතරක් මත උත්සාහ දැරීම අත්‍යවශ්‍ය වෙයි.

එනම්
එය ලබා ගැනීම ට උත්සාහ දැරීම.
පසු ව එය ආරක්ෂා කිරීමට උත්සාහ දැරීම.
එයින් ප්‍රයෝජන ලබන්න ට උත්සාහ දැරීම.
පසුව එය ව්‍යාප්ත කිරීම ට උත්සාහ දැරීම.
මෙම උත්සාහයන් හි කවරෙකු නිරත වන්නේ ද තමන් තෘප්තිය ට පත් මාර්ගයන් වෙත අල්ලාහ් ඔහු ට මඟ පෙන්වන්නේ ය.

1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِينَ
අපගේ විෂයයෙ හි වෙහෙස වූවන් වන ඔවුන ට අපගේ මාර්ගයන් අපි පෙන්වා දෙන්නෙමු. තව ද සැබැවින් ම අල්ලාහ් දැහැමියන් සමගම ය.    (අල්-කුර්ආන් 29 : 69)  

2-    
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ : أَيُّ الْعَمَلِ أَفْضَلُ فَقَالَ "إِيمَانٌ بِاللَّهِ وَرَسُولِهِ" قِيلَ ثُمَّ مَاذَا قَالَ : "الْجِهَادُ فِي سَبِيلِ اللَّهِ" قِيلَ ثُمَّ مَاذَا قَالَ : "حَجٌّ مَبْرُورٌ" متفق عليه
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ක්‍රියාවන්ගෙන් වඩා උතුම් වන්නේ කුමක් දැ යි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එතුමාණෝ අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා ව විශ්වාස කිරීම යැයි පැවසූහ. පසු ව කුමක් දැයි විමසන ලදී. අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම යැයි පැවසූහ. පසු ව කුමක් දැයි විමසන ලදී. පිළිගනු ලැබූ හජ් යැයි පැවසූහ.                         
(මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
عَنْ تَمِيمٍ الدَّارِيِّ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "الدِّينُ النَّصِيحَةُ" قُلْنَا لِمَنْ قَالَ "لِلَّهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلِأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ" أخرجه مسلم.
තමීම් අද්-දාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින් ම අල්ලාහ් ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මෙසේ ප්‍රකාශ කළහ.
දහම යනු උපදේශයකි.
කවුරුන් වෙනුවෙන් උපදෙස් කළ යුතු දැයි අපි විමසා සිටියෙමු. එවිට එතුමා අල්ලාහ් වෙනුවෙන් ද ඔහු ගේ ග්‍රන්ථ ඔහු ගේ ධර්ම දූතයාණන් මුස්ලිම් සමාජය හා ඔවුන් අතුරින් පොදු ජනයා වෙනුවෙන් යැයි පැවසූහ.

ඊමාන් හෙවත් විශ්වාසය අවනත වීම හේතුවෙන් වර්ධනය වන්නේ ය. පාපකම් හේතුවෙන් හීන වී යන්නේ ය.

1-
هُوَ الَّذِي أَنْزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ لِيَزْدَادُوا إِيمَانًا مَعَ إِيمَانِهِمْ وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
තමන්ගේ විශ්වාසය සමඟ විශ්වාසය වර්ධනය වනු පිණිස විශ්වාසවන්තයින්ගේ හදවත් තුළ ශාන්තිය පහළ කළේ ඔහු ය. අහස් හි හා මහ පොළොවෙ හි සේනාවන් අල්ලාහ් සතු ය. තව ද ඔහු සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත විය.
(අල්-කුර්ආන් 48 : 4)

2-
وَإِذَا مَا أُنْزِلَتْ سُورَةٌ فَمِنْهُمْ مَنْ يَقُولُ أَيُّكُمْ زَادَتْهُ هَذِهِ إِيمَانًا فَأَمَّا الَّذِينَ آَمَنُوا فَزَادَتْهُمْ إِيمَانًا وَهُمْ يَسْتَبْشِرُونَ
එක් පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ විට මෙය නුඹලාගෙන් කවරෙකුගේ විශ්වාසය වර්ධනය කළේ දැයි විමසන්නන් ඔවුන් අතුරින් වෙති. විශ්වාස කළවුන් පිළිබඳ ව නම් එය ඔවුන්ගේ විශ්වාසය වර්ධනය කළේය. ඔවුහු සතුට ට පත් වෙති.                         (අල්-කුර්ආන් 9 : 124)

3-
وَعَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "لَا يَزْنِي الزَّانِي حِينَ يَزْنِي وَهُوَ مُؤْمِنٌ وَلَا يَسْرِقُ السَّارِقُ حِينَ يَسْرِقُ وَهُوَ مُؤْمِنٌ وَلَا يَشْرَبُ الْخَمْرَ حِينَ يَشْرَبُهَا وَهُوَ مُؤْمِنٌ" (متفق عليه)
සැබැවින් ම අල්ලාහ් ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ දැනුම් දෙන ලදී.
සල්ලාලයෙකු අනාචාරයේ නිරත වන විට ඔහු විශ්වාසවන්තයෙකු ව සිටී නම් අනාචාරයේ නොයෙදෙනු ඇත. සොරෙකු සොරකම් කරන විට ඔහු විශ්වාසවන්තයෙකු ව සිටී නම් සොරකම් නොකරනු ඇත. සුරාව පානය කරන විට ඔහු විශ්වාසවන්තයෙකු ව සිටී නම් සුරාව පානය නොකරනු ඇත.         (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)


4-
عَنْ أَنَسٍ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "يَخْرُجُ مِنْ النَّارِ مَنْ قَالَ : لَا إِلَهَ إِلَّا اللَّهُ وَفِي قَلْبِهِ وَزْنُ شَعِيرَةٍ مِنْ خَيْرٍ وَيَخْرُجُ مِنْ النَّارِ مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ وَفِي قَلْبِهِ وَزْنُ بُرَّةٍ مِنْ خَيْرٍ وَيَخْرُجُ مِنْ النَّارِ مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ وَفِي قَلْبِهِ وَزْنُ ذَرَّةٍ مِنْ خَيْرٍ" وفي رواية " من إيمان" مكان "من خير" متفق عليه.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
කවරෙකු තම හදවතෙ හි තිරුඟු ඇටයක තරම් යහපතක් ඇති ව ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්‘ - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත - යැයි පවසන්නේ ද ඔහු නිරයෙන් බැහැර වන්නේ ය. තව ද කවරෙකු තම හදවතෙ හි කුඩා ධාන්‍ය ඇටයක තරම් යහපතක් ඇති ව ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්‘ - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත - යැයි පවසන්නේ ද ඔහු ද නිරයෙන් බැහැර වන්නේ ය. කවරෙකු තම හදවතෙ හි අංශුවක තරම් යහපතක් ඇතිව ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්‘ - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත - යැයි පවසන්නේ ද ඔහු ද නිරයෙන් බැහැර වන්නේ ය.

තවත් වර්තාවක මෙහි සඳහන් යහපතක් යන ස්ථානයට විශ්වාසයක් යනුවෙන් සඳහන් ව ඇත.  
(මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

අප ජීවිතය ට දේව විශ්වාසය පැමිණීමටත් එය වර්ධනය වීමටත් ඇතැම් කරුණු පිළිබඳ දැනුම ලබා තිබීම අවශ්‍ය වෙයි.

පළමුවැන්න :
සියලු දෑ හි මැවුම්කරු අල්ලාහ් බව අප වටහා ගත යුතු අතර එය තරයේ ම විශ්වාස කළ යුතුයි. ඒවා මතු පිටින් පිහිටුන ද අභ්‍යන්තරයේ පිහිටුන ද කුඩා වුව ද විශලා වුව ද ඒ සියල්ලෙ හි මැවුම්කරු අල්ලාහ් ය.

අහස් හි මැවුම්කරු අල්ලාහ් ය. පොළොවෙ හි මැවුම්කරු අල්ලාහ් ය. අර්ෂ් හෙවත් සර්ව රාජ්‍යයෙ හි මැවුම්කරු  අල්ලාහ් ය. මලක්වරු හෙවත් සුර දූතයින්ගේ මැවුම්කරු  අල්ලාහ් ය. තාරකා හා ග්‍රහයන්ගේ මැවුම්කරු අල්ලාහ් ය. කඳු හා සමුද්‍රයන් හි මැවුම්කරු අල්ලාහ් ය.  සියලු මානවයාගේ ද සියලු සත්වයින්ගේ ද සියලු පැළෑටි වල ද සියලු ද්‍රව්‍යම ය හා ද්‍රාවණම ය මැවීමකම ද මැවුම්කරු අල්ලාහ් ය. ස්වර්ගයේ මැවුම්කරු ද අල්ලාහ් ය. නිරයේ මැවුම්කරු ද අල්ලාහ් ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර සිටියි.
اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ، لَهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ أُولَئِكَ هُمُ الْخَاسِرُونَ.
අල්ලාහ් සියලු දෑ හි මැවුම්කරු ය. ඔහු සියලු දෑ හි භාරකරු ය. අහස් හි හා මිහිතලයේ යතුරු ඔහු සතු ය. අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළවුන්, ඔවුන්ම ය අලාභවන්තයින් වන්නෝ.              (අල්-කුර්ආන් 39 : 62,63)

සර්ව රාජ්‍යය ම වස්තුවකි. අහස් තලය ද වස්තුවකි. පොළොව ද වස්තුවකි. හිරු වස්තුවකි. සඳු වස්තුවකි. වාතය සුළඟ වස්තුවකි. ජලය වස්තුවකි. මුහුදු වස්තුවකි. කඳු වස්තුවකි. මිනිසා ද උසස්තම වස්තුවකි. මලක්වරු වස්තුවකි. ජින් හෙවත් විශේෂිත මැවීම වස්තුවකි. සතුන් වස්තුවකි. පක්ෂීන් වස්තුවකි. ධාන්‍ය වස්තුවකි මේ සෑම වස්තුවක ම මැවුම්කරු අල්ලාහ් ය. ඒ සෑම වස්තුවක් කෙරෙහිම ඔහු ශක්තිවන්ත ය. ඒ සෑම වස්තුවක් පිළිබඳ ව ඔහු සර්වඥානී ය.

මේ ගැන අපි කතා කරන්නෙමු. අසන්නෙමු. වටහා ගන්නෙමු. නැවත නැවත යොමු වී බලන්නෙමු. භෞතික සාධක හා කුර්ආනීය සාධක දෙස නිරීක්ෂණයෙන් හා ඥානාන්විත ව සිතා බලන්නෙමු. එය අපගේ හදවත් තුළ විශ්වාසය උඩු දුවන තරම ට පිහිටන්නේ ය. අල්ලාහ් මේ බව අපට අණ කර සිටිනුයේ මෙලෙස ය.
1.      
قُلِ انْظُرُوا مَاذَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا تُغْنِي الْآيَاتُ وَالنُّذُرُ عَنْ قَوْمٍ لَا يُؤْمِنُونَ
අහස් හි හා මිහිතලයේ කුමක් ඇත්තේ දැයි නිරීක්ෂාවෙන් බලනු. එම සාධකයන් හා අවවාදයන් විශ්වාස නොකරන ජනයා ට ප්‍රයෝජනවත් නොවීය. (අල්-කුර්ආන් 10:101)

2-
أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَى قُلُوبٍ أَقْفَالُهَا
ඔවුහු අල්-කුර්ආනය පිළිබඳ ව පරීක්ෂා කර නොබලන්නෙහු ද? එසේ නොමැති නම් හදවත් මත විලංගු වැටී තිබේ ද?     (අල්-කුර්ආන් 47:24)

දෙවැන්න :
සැබැවින් ම අල්ලාහ් සියලු මැවීම් මැවූ බවත් එහි කාර්ය සාධක ය මැවූ බවත් තරයේ ම විශ්වාස කළ යුතු අතර ඒ පිළිබඳ ව අවබෝධ කර ගත යුතු ය.  

ඔහු ඇස මැව්වේ ය. එහි කාර්ය සාධකය ලෙස පෙනුම ඇති කළේය.
ඔහු කන මැව්වේ ය. එහි කාර්ය සාධකය ලෙස ශ්‍රවණය ඇති කළේය.
ඔහු දිව මැව්වේ ය. එහි කාර්ය සාධකය ලෙස කතාව ඇති කළේය.
ඔහු හිරු මැව්වේ ය. එහි කාර්ය සාධකය ලෙස ආලෝකය මැව්වේය.
ඔහු ගින්න මැව්වේ ය. එහි කාර්ය සාධකය ලෙස ගිනි ඇවිළීම මැව්වේ ය.
ඔහු ගස මැව්වේ ය. එහි කාර්ය සාධක ය ලෙස ඵල හට ගැනීම ඇති කළේය.
මෙලෙස සියලු වස්තූන් මැව්වේත් එහි කාර්ය සාධකයන් මැව්වේත් අල්ලාහ් ය.

තුන්වැන්න :
සියලු මැවීම් වල අයිතිකරු අල්ලාහ් බවත් ඒවා ක්‍රියාත්මක කරවන්නේ ඔහු බවත් ඔහු ඒවායෙ හි ක්‍රියාකාරකම් සැලසුම් කරන බවත් වටහා ගත යුතු අතර තරයේ විශ්වාස කළ යුතු ද වේ. ඒ සඳහා ඔහු ට වෙනත් හවුල්කරුවෙකු නොමැත. අහස් හි හා මහ පොළොවේ ඇති කුඩා හෝ විශාල හෝ කුමන මැවීමක් වුව ද ඒ සියල්ල යටහත් වනුයේ අල්ලාහ් වෙත ය. ඒවා යැපෙනු ලබන්නේ ද අල්ලාහ් විසින් ය. යම් ප්‍රයෝජනයක් කිරීම ට හෝ යම් හානියක් කිරීම ට හෝ යම් උදව්වක් කිරීම ට හෝ ඒවා ට හැකියා ව නොමැත. යමක් මරණය ට පත් කිරීම ට හෝ ජීවත් කරවීම ට හෝ ව්‍යාප්ත කිරීම ට හෝ ඔවුන ට හැකියාව නොමැත.

එබැවින් අල්ලාහ් ඔවුන්ගේ හිමිකරු ය. ඔවුන ට ඔහු අවශ්‍ය වන්නේ ය. ඔහු පොහොසත් ය. අවශ්‍යතාවන්ගෙන් තොර ය. නමුත් ඔහුගේ මැවීම් සියල්ල දිළිඳුන් ය.  

පාරිශුද්ධ ඔහු විශ්වය පාලනය කරන්නේ ය. එහි ඇති මැවීම් සියල්ලෙ හි කටයුතු සැලසුම් කරන්නේ ය. අහස් හි ද මහ පොළොවෙහි ද ජලයෙ හි හා මුහුදෙ හි ද ගින්න හා සුළඟෙ හි ද ආත්මාවන් හා පැලෑටි වල ද ග්‍රහ වස්තු හා භෞතික වස්තූන් වල ද නායකයින් හා ඇමති වරුන් අතර ද පොහොසතුන් හා දිළින්දන් අතර ද බලවත් හා දුබලයින් අතර ද පරිපාලනය කරන්නේ ය. එහි කිසිදු හවුල් කරුවෙකු ඔහු ට නොමැත. ඔවුන් සියල්ලෝ ම ඔහු ගේ ග්‍රහණයෙහි ය. ඔහු ගේ අණය ට සියල්ලෝ ම යටහත් ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَنْ تَشَاءُ وَتُذِلُّ مَنْ تَشَاءُ بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، تُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَتَرْزُقُ مَنْ تَشَاءُ بِغَيْرِ حِسَابٍ
(නබිවරය) අල්ලාහ් සර්ව රාජ්‍යයේ අධිපතියාණනි, නුඹ අභිමත කළ අයට පාලන බලය ලබා දෙන්නෙහි ය. ඔබ අභිමත කළ අයගෙන් පාලන බලය ඉවත් කරන්නෙහි ය. තව ද ඔබ අභිමත කළ අය ට ගෞරවය පිරිනමන්නෙහි ය. ඔබ අභිමත කළ අය ව අවමන් කරන්නෙ හි ය. සියලු යහපත නුඹ අතෙ හි ය. සැබැවින් ම නුඹ සියලු දෑ කෙරෙහි අතිබලසම්පන්න ය යැයි ප්‍රකාශ කරනු.
තව ද නුඹ රාත්‍රිය දහවලෙ හි ඇතුළු කරවන්නෙ හි ය. දහවල රාත්‍රියෙ හි ඇතුළු කරවන්නෙ හි ය. මළ දැයින් ප්‍රාණ දැය පිට කරන්නෙ හි ය. තව ද ප්‍රාණ දැයින් මළ දැය පිට කරන්නෙ හි ය. නුඹ අභිමත කළ අය ට ගණනයකින් තොරව සම්පත් ලබා දෙන්නෙ හි ය. (යැයි ප්‍රකාශ කරනු.)        (අල්-කුර්ආන් 3:26,27)

එබැවින් තම මැවීම් සියල්ල තම බලයෙන් තම විනිශ්චයෙන් හා තම ඥානයෙන් තමන් අභිමත කරන පරිදි අභිමත කරන වේලාවක ක්‍රියාත්මක කරවන්නේ ය.

ඔහු වස්තූන් මවා පසු ව තම ශක්තියෙන් ඒවායෙහි කාර්ය සාධකය ශූන්‍ය කරවන්නේ ද ඔහු ය.  ඒ අනුව ඔබ නොගිලෙන සුළු මුහුදු ද නොදැවෙන සුළු ගින්න ද කතා කළ නොහැකි දිව ද ශ්‍රවණය කළ නොහැකි කන් ද බැලිය නොහැකි දෑස් ද  දකින්නෙ හි ය. මේ සියල්ල සිදු කරනුයේ පාරිශුද්ධ අල්ලාහ් ය. හේතුව ඔහු අභිමත කරන පරිදි සියලු මැවීම් පාලනය කරන්නා බැවිනි. බලය දරණ ඒකීය ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්න ය.

නමුත් ඇතැම් හදවත් එම වස්තූන් මැවූ මැවුම්කරු අමතක කර දමා එම වස්තූන් කෙරෙහි අවධානය යොමු කරති. ඒ මත රැඳී සිටිති. එම වස්තූන් මැවූ මැවුම්කරු ව නොසලකා හරිති.  

එබැවින් අපගේ යුතුකම වනුයේ මෙම මැවීම් මත පවතින දැනුම හා දෘෂ්ටිය මැවුම්කරු වෙත යොමු කිරීම ය. මෙම නිර්මාණයන් වෙත පවතින දැනුම හා දෘෂ්ටිය නිර්මාතෘ වෙත යොමු කිරීම ය. කිසිදු හවුල්කරුවෙකු නොමැති එකම දෙවියා වන ඔහු ට පමණක් නැමදීම ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ أَمْ مَنْ يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ وَمَنْ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَمَنْ يُدَبِّرُ الْأَمْرَ فَسَيَقُولُونَ اللَّهُ فَقُلْ أَفَلَا تَتَّقُونَ، فَذَلِكُمُ اللَّهُ رَبُّكُمُ الْحَقُّ فَمَاذَا بَعْدَ الْحَقِّ إِلَّا الضَّلَالُ فَأَنَّى تُصْرَفُونَ .
අහසින් හා මිහිතලයෙන් නුඹලා ට පෝෂණය ලබා දෙන්නේ කවරෙකු ද? ශ්‍රවණය හා බැල්ම තමන් සතු කර ගන්නා කවරෙකු ද මළ දැයින් ජීවීන් පිට කර ජීවී දැයින් මළ දෑ පිට කරන්නේ කවරෙකු ද? තව ද කරුණු සැලසුම් කරන්නේ කවරෙකු දැයි (නබිවරය) නුඹ විමසනු. එවිට අල්ලාහ් යැයි ඔවුහු පවසති. එසේ නම් නුඹලා අල්ලාහ් ට බිය භක්තිමත් නොවන්නෙහු දැයි විමසනු.

එබැවින් ඔහුම ය නුඹලාගේ සැබෑ පරමාධිපති වන අල්ලාහ්. සත්‍යය ට පසු නොමඟ මිස වෙන කුමක් ද? කෙසේ නම් නුඹලා (සත්‍යයෙන් වෙනතක ට) යොමු කරනු ලබන්නෙහු ද?        (අල්-කුර්ආන් 10:31,32)
 
සිව්වැන්න :
සියලු වස්තූන් හි සම්පත ඇත්තේ අල්ලාහ් අබියස පමණ ය. වෙන කිසිවෙකු කෙරෙහි නොමැත යැයි මැනවින් වටහා ගෙන එය තරයේ විශ්වාස කිරීම.

පවතින සියලු වස්තූන් හා ඒවායෙ හි සම්පත් ඇත්තේ අල්ලාහ් අබියස ය. ඥානයේ සම්පත යහමඟෙ හි සම්පත අලෝකයේ සම්පත කතා කිරීමේ සම්පත සාරධර්මයන් හි සම්පත ආහාර පාන හා ධාන්‍ය පළතුරුවල සම්පත ජලය සුළඟ භාණ්ඩ මුහුදු කඳු හා සියලු දෑහි සම්පත ඇත්තේ අල්ලාහ් අබියස ය. අප ට කුමක් අවශ්‍ය වන්නේ ද අප එය ඉල්ලා සිටිය යුත්තේ පැතිය යුත්තේ අල්ලාහ්ගෙන් පමණ ය. අපි අධික ලෙස නැමදුම් කරන්නෙමු. යටහත් වන්නෙමු. ඔහු සියලු අවශ්‍යතාවන් සපුරාලන තීරක ය. සියලු අයැදීම් වලට පිළිතුරු සපයන සර්ව ශ්‍රාවක ය. පතනු ලබන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨ ය. පිරිනමන්නන්ගෙන් අති උත්තරීතර ය. ඔහු පිරිනැමූ දෙයක් වළක්වන්නෙකු නොමැත. ඔහු වැළැක් වූ දෙයක් පිරිනමන්නෙකු නොමැත.  

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.  
وَإِنْ مِنْ شَيْءٍ إِلَّا عِنْدَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلَّا بِقَدَرٍ مَعْلُومٍ
කිසිම වස්තුවක් එහි ධන සම්භාරය අප අබියස මිස නැත. නියමිත ප්‍රමාණයකින් මිස අපි එය පහළ නොකරන්නෙමු. (අල්-කුර්ආන් 15:21)

සර්ව බලධාරී අති කීර්තිමත් අල්ලාහ් ගේ ශක්තිය.

සර්ව බලධාරී අති කීර්තිමත් අල්ලාහ්ගේ ශක්තිය බලය සියලු වස්තූන් හි පොදුවේ ව්‍යාප්ත ව පවතී.

1-    ගහ කොළ හට ගැනීම ට ජලය සාධකයක් වන සේ ම දරු සම්පත සඳහා ලිංගිකත්ව සාධකයක් වන සේ ම ඇතැම් විට ඇතැම් කාර්ය සාධකයන් මුල් කර ගෙන එම සම්පත පිරිනමයි පෝෂණය කරවයි. එබැවින් අපි ජීවත් වනුයේ සාධක පිරුණු නිවහනක ය. අල්ලාහ්ගේ නියෝගයන් පිළිපදිමින් ආගමානුගත කරනු ලැබූ සාධකයන් ගෙන කටයුතු කළ යුතුයි. ඒකීය අල්ලාහ් මත පමණක් සියල්ල භාර කළ යුතුය. ඔහු ට කිසිදු හවුල් කරුවෙකු නොතැබිය යුතුය.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ
අහෝ ! රසූල්වරුනි, නුඹලා යහ දැයින් අනුභව කරවු. තව ද යහකම් කරවු. සැබැවින් ම මම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව සර්වඥානී ය. (අල්-කුර්ආන් 23:51)

2-    ඇතැම් විට කිසිදු සාධකයකින් තොරව ම පිරි නමයි. පෝෂණය කරයි. වස්තුවක ට වනු යැයි ඔහු පවසයි. එවිට එය සිදු වනු ඇත. උදාහරණයක් ලෙස මර්යම් තුමිය ට කිසිදු ගහ කොළයක ආධාරයකින් තොර ව ආහාර පිරිනැමුවේ ය. කිසිදු පුරුෂයෙකුගේ මැදිහත්වීමකින් තොර ව දරුවෙකු හිමි කර දුන්නේ ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
. . . كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِنْدَهَا رِزْقًا قَالَ يَا مَرْيَمُ أَنَّى لَكِ هَذَا قَالَتْ هُوَ مِنْ عِنْدِ اللَّهِ إِنَّ اللَّهَ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ
සකරිය්යා ඇය වෙත පිවිසෙන සෑම මෙහොතක ම මිහ්රාබ් (නමදින ස්ථානයෙ)හි ඇය අබියස ආහාර දුටුවේ ය. මර්යම් ඔබට මේවා කොහින්දැ යි ඔහු විමසුවේ ය. මෙය අල්ලාහ්ගෙන් යැයි ඇය පැවසුවා ය. සැබැවින් ම අල්ලාහ් අභිමත කළ අය ට ගණන් කිරීමකින් තොරව පෝෂණ සම්පත් ලබා දෙන්නේ ය.         (අල්-කුර්ආන් 3 : 37)

3-    ඇතැම් විට අසාමාන්‍ය හේතු සාධකයක් තුළින් තම බලය ක්‍රියාත්මක කරන්නේ ය. උදාහරණ වශයෙන් ඉබ්‍රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාණන් ට ගින්න සිසිල් හා ශාන්තිමත් ලෙස අල්ලාහ් පත් කළේය. එකම නියෝගයකින් එකම මුහුදෙ හි එකම වේලාවෙ හි මූසා (අලෙයිහිස් සලාම්) තුමාණන් ව ආරක්ෂා කර ෆිර්අවුන් හා ඔහුගේ සමූහයා ව ජලයේ ගිල්වීය. යූනුස් (අලෙයිහිස් සලාම්) තුමා ව මුහුදේ මත්ස්‍යාගේ කුස අඳුරෙ හි තබා ආරක්ෂා කළේය.  

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ
ඔහුගේ නියෝගය වනුයේ යමක් කරන්න ට අපෙක්ෂා කළේ නම් එය ට වනු යැයි පැවසීම ය එවි ට එය වනු ඇත.
(අල්-කුර්ආන් 36 : 82)

මේ සියල්ල භෞතික මැවීම් සම්බන්ධයෙන් සලකා බැලීමේ දී පිළිපැදිය යුතු මූලික කරුණු ය. එමෙන් ම විවිධාකාර තත්ත්වයන් වාතාවරණයන් අනුව සලකා බැලීමේ දී ද ඉහත කී අයුරින් පිළිපැදිය යුතුය.

1-    පොහොසත්කම හා දිළිඳුකම ... නීරෝගී බව හා රෝගී බව ... සතුට හා දුක ... සිනහව හා කඳුළ ... අභිමානය හා අවමානය ... ජීවය හා මරණය ... අභදායීභාව හා බිය ... සිසිල හා උණුසුම ...  යහ මඟ හා මුළාව ... භාග්‍ය හා අභාග්‍යය වැනි සියලුම තත්ත්වයන් හි මැවුම්කරු අල්ලාහ් පමණ ය. කිසිදු හවුල් කරුවෙකු නොමැති ව ඔහු එම තත්ත්වයන් හා වාතාවරණයන් මැව්වේ ය.

2-    තව ද සියලු කරුණු සැලසුම් කරන්නා ඔහු බවත් සියලු තත්ත්වයන් හා වාතාවරණයන් වෙනස් කරන්නා අල්ලාහ් පමණක් බවත් ඒ සඳහා කිසිදු හවුල් කරුවෙකු නොමැති බවත් මැනවින් වටහා ගනිමින් එය තරයේ විශ්වාස කළ යුතුය.

අල්ලාහ්ගේ නියෝගයෙන් මිස පොහොසත්කම දිළිඳුකම ට පරිවර්තනය නොවන්නේ ය. අල්ලාහ්ගේ නියෝගයෙන් මිස රෝගීභාවය නිරෝගීභාවය ට පරිවර්තනය නොවන්නේ ය. අල්ලාහ්ගේ නියෝගයෙන් මිස අභිමානය අවමානය ට පරිවර්තනය නොවන්නේ ය. අල්ලාහ්ගේ නියෝගයෙන් මිස සිනහා ව ඇඬීම ට පරිවර්තනය නොවන්නේ ය. අල්ලාහ්ගේ අනුමැතියෙන් මිස ජීවමාන දෑ මරණය ට පත් නොවන්නේ ය. අල්ලාහ්ගේ නියෝගයෙන් මිස සිසිල උණුසුම ට පරිවර්තනය නොවන්නේ ය. අල්ලාහ්ගේ නියෝගයෙන් මිස මුළාව යහමඟ ට පරිවර්තනය නොවන්නේ ය. මෙලෙස ය සියලුම තත්ත්වයන් හා වාතාවරණයන් පිහිටා ඇත්තේ.  

එබැවින් ඇතැම් තත්ත්වයන් පාරිශුද්ධ අල්ලාහ්ගේ නියෝගය තුළින් පැමිණෙන්නේ ය. ඔහුගේ නියෝගයන් තුළින් වර්ධනය වන්නේ ය. ඔහුගේ නියෝගය තුළින් හීන වන්නේ ය. ඔහුගේ නියෝගය තුළින් පවතින්නේ ය. ඔහුගේ නියෝගය තුළින් අවසන් වන්නේ ය.

එබැවින් මෙම තත්ත්වයන් සතු කර සිටින අල්ලාහ් වෙත පමණක් සමීප වෙමින් අපගේ තත්ත්වයන් යහපත් ලෙස පරිවර්තනය කර දෙන මෙන් අයැ ද සිටීම අපගේ වගකීම ය.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَنْ تَشَاءُ وَتُذِلُّ مَنْ تَشَاءُ بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
(නබිවරය) අහෝ ! අල්ලාහ්,  සර්ව රාජ්‍යයේ අධිපතියාණනි, ඔබ අභිමත කළ අය ට පාලන බලය ලබා දෙන්නෙහි ය. ඔබ අභිමත කළ අයගෙන් පාලනය බලය ඉවත් කරන්නෙහි ය. තව ද ඔබ අභිමත කළ අය ට ගෞරවය පිරිනමන්නෙහි ය. ඔබ අභිමත කළ අය ව අවමන් කරන්නෙහි ය. සියලු යහපත ඔබ අතෙහි ය. සැබැවින් ම ඔබ සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න ය යැයි ප්‍රකාශ කරවු.  (අල්-කුර්ආන් 3 : 26)

3-    ඉහත සඳහන් සියලු වාතාවරණයන් හා තත්ත්වයන් හි සම්පත් ඇත්තේ අල්ලාහ් අභියස පමණක් බවත් ඒ සඳහා කිසිදු හවුල් කරුවෙකු ඔහු ට නොමැති බවත් මැනවින් වටහා ගෙන ඒ බව තරයේ විශ්වාස කළ යුතු ය.

පාරිශුද්ධ අල්ලාහ් සියලු මිනිසුන ට සුවය හා වත්කම හා මේ හැර වෙන යමක් පිරිනැමුව ද ඔහුගේ සම්පතෙ හි අබමල් රේණුවක තරම් හෝ අඩුවක් නොවන්නේ ය. හේතුව යමක් දෙන විට එහි අඩු වන කිසිවක් කිසිවිටක අල්ලාහ් අබියස නොමැති බැවිනි. එබැවින් අල්ලාහ් පොහොසත් ය. ප්‍රශංසාලාභී ය.

1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
අහස් හි හා මිහිතලයේ ඇති දෑ අල්ලාහ් සතුය. සැබැවින් ම ඔහු පොහොසත් ය. ප්‍රශංසාලාභී ය. (අල්-කුර්ආන් : 31 : 26)

2-    
وَعَنْ أَبِي ذَرٍّ رضي الله عنه عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا رَوَى عَنْ اللَّهِ تَبَارَكَ وَتَعَالَى أَنَّهُ قَالَ
يَا عِبَادِي إِنِّي حَرَّمْتُ الظُّلْمَ عَلَى نَفْسِي وَجَعَلْتُهُ بَيْنَكُمْ مُحَرَّمًا فَلَا تَظَالَمُوا  .
يَا عِبَادِي كُلُّكُمْ ضَالٌّ إِلَّا مَنْ هَدَيْتُهُ فَاسْتَهْدُونِي أَهْدِكُمْ
يَا عِبَادِي كُلُّكُمْ جَائِعٌ إِلَّا مَنْ أَطْعَمْتُهُ فَاسْتَطْعِمُونِي أُطْعِمْكُمْ
يَا عِبَادِي كُلُّكُمْ عَارٍ إِلَّا مَنْ كَسَوْتُهُ فَاسْتَكْسُونِي أَكْسُكُمْ
يَا عِبَادِي إِنَّكُمْ تُخْطِئُونَ بِاللَّيْلِ وَالنَّهَارِ وَأَنَا أَغْفِرُ الذُّنُوبَ جَمِيعًا فَاسْتَغْفِرُونِي أَغْفِرْ لَكُمْ .


يَا عِبَادِي إِنَّكُمْ لَنْ تَبْلُغُوا ضَرِّي فَتَضُرُّونِي وَلَنْ تَبْلُغُوا نَفْعِي فَتَنْفَعُونِي .
يَا عِبَادِي لَوْ أَنَّ أَوَّلَكُمْ وَآخِرَكُمْ وَإِنْسَكُمْ وَجِنَّكُمْ كَانُوا عَلَى أَتْقَى قَلْبِ رَجُلٍ وَاحِدٍ مِنْكُمْ مَا زَادَ ذَلِكَ فِي مُلْكِي شَيْئًا .
يَا عِبَادِي لَوْ أَنَّ أَوَّلَكُمْ وَآخِرَكُمْ وَإِنْسَكُمْ وَجِنَّكُمْ كَانُوا عَلَى أَفْجَرِ قَلْبِ رَجُلٍ وَاحِدٍ مَا نَقَصَ ذَلِكَ مِنْ مُلْكِي شَيْئًا .
يَا عِبَادِي لَوْ أَنَّ أَوَّلَكُمْ وَآخِرَكُمْ وَإِنْسَكُمْ وَجِنَّكُمْ قَامُوا فِي صَعِيدٍ وَاحِدٍ فَسَأَلُونِي فَأَعْطَيْتُ كُلَّ إِنْسَانٍ مَسْأَلَتَهُ مَا نَقَصَ ذَلِكَ مِمَّا عِنْدِي إِلَّا كَمَا يَنْقُصُ الْمِخْيَطُ إِذَا أُدْخِلَ الْبَحْرَ .
يَا عِبَادِي إِنَّمَا هِيَ أَعْمَالُكُمْ أُحْصِيهَا لَكُمْ ثُمَّ أُوَفِّيكُمْ إِيَّاهَا فَمَنْ وَجَدَ خَيْرًا فَلْيَحْمَدْ اللَّهَ وَمَنْ وَجَدَ غَيْرَ ذَلِكَ فَلَا يَلُومَنَّ إِلَّا نَفْسَهُ. أخرجه مسلم
උත්තරීතර උත්කෘෂ්ට අල්ලාහ් පිළිබඳ ව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කියූ බව අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.  
මාගේ ගැත්තනි, සැබැවින් ම මම මා හට අපරාධ කිරීම තහනම් කර ගත්තෙමි. ඔබ අතර ද එය තහනම් බවට පත් කළෙමි. එබැවින් ඔබ එකිනෙකා අපරාධ නොකරනු.
මාගේ ගැත්තනි, මා කවරෙකු ට මඟ පෙන්වූයේ ද ඔහු හැර සෙසු නුඹලා සියල්ලෝ ම මුළාවූවන් ය. එබැවින් ම මගෙන් යහමඟ පතනු මම නුඹලාව යහමඟට යොමු කරමි.

මාගේ ගැත්තනි, මා කවරෙකු ට ආහාර පිරිනැමුවේ ද ඔහු හැර සෙසු නුඹලා සියල්ලෝ ම කුස ගින්නෙන් පෙළෙන්නන් ය. එබැවින් මගෙන් ආහාර පතනු. මම නුඹලාට ආහාර සපයන්නෙමි.

මාගේ ගැත්තනි, මා කවරෙකුට වස්ත්‍ර ලබා දුන්නේ ද ඔහු හැර සෙසු නුඹලා සියල්ලෝ ම නිරුවත් ය. එබැවින්ම නුඹලා මගෙන් වස්ත්‍ර පතනු. මම නුඹලාට වස්ත්‍ර පිරිනමන්නෙමි.

මාගේ ගැත්තනි, සැබැවින් ම නුඹලා රාත්‍රියෙ හි හා දහවලෙ හි වැරදි කරන්නෙහු ය. මම පාපයන් සියල්ලට ම සමාව දෙන්නෙක් මි. එබැවින් නුඹලා මගෙන් සමාව අයදිනු. මම නුඹලා ට සමාව දෙමි.

මාගේ ගැත්තනි, සැබැවින් මට හානියක් කිරීමට නුඹලාට නොහැක්කේමය. නමුත් නුඹලා මට හානි කරන්නෙහුය. එමෙන් ම මට ප්‍රයෝජනයක් ගෙන දෙන්නට ද නුඹලාට නොහැක්කේමය. නමුත් නුඹලා මට ප්‍රයෝජනය ගෙන දෙන්නෙහුය.

මාගේ ගැත්තනි, නුඹලාගේ ආරම්භකයා හා නුඹලාගේ අවසානයා ද නුඹලා අතර සිටින මිනිසුන් හා නුඹලා අතර සිටින ජින්වරුන් ද යන සියල්ලෝම නුඹලා අතුරින් වූ මිනිසෙකුගේ හදවතෙ හි පවතින දැඩි දේව බිය හැඟීම් මත වුව ද එයින් මාගේ රාජධානියේ කිසිවක් අධික නොවනු ඇත.

මාගේ ගැත්තනි නුඹලාගේ ආරම්භකයා හා නුඹලාගේ අවසානයා ද නුඹලා අතර සිටින මිනිසුන් හා නුඹලා අතර සිටින ජින්වරුන් ද යන සියල්ලෝම නුඹලා අතුරින් වූ එක් මිනිසෙකුගේ හදවතෙ හි පවතින දැඩි නපුර මත වුව ද එයින් මාගේ රාජධානියෙන් කිසිවක් අඩු නොවනු ඇත.

මාගේ ගැත්තනි, නුඹලාගේ ආරම්භකයා හා නුඹලාගේ අවසානයා ද නුඹලා අතර සිටින මිනිසුන් හා නුඹලා අතර සිටින ජින්වරුන් ද යන සියල්ලෝ ම එක් උස් ස්ථානයක නැග මගෙන් අයැද සිටින්නේ නම් එවිට ඒ සෑම මිනිසෙකුට ම ඔහු පතන දෑ මම පිරිනමමි. එය ඉදිකටුවක් මුහුද ට දමා එයින් අඩුවන ජල ප්‍රමාණයක තරම් මිස මා අබියස ඇති කිසිවක් අඩු නොවන්නේ ය.

මාගේ ගැත්තනි, නුඹලාගේ ක්‍රියාවන් පිළිබඳ ව නම් එය මම නුඹලා වෙනුවෙන් සටහන් කර තබන්නෙමි. පසු ව ඒ සඳහා නුඹලා ට යුක්තිය ඉටු කරමි. එබැවින් කවරෙකු යහපතක් දැක්කේ ද ඔහු අල්ලාහ් ට ප්‍රශංසා කරත්වා ! තවද කවරෙකු ඒ හැර වෙනත් යමක් දැක්කේ ද ඔහු තමන් කෙරෙහි මිස ශාප නොකරත්වා !            (මූලාශ්‍රය : මුස්ලිම්)

දේව විශ්වාසයේ මහිම ය

ජය හා ගෞරවය, දේව විශ්වාසය හා දැහැමි ක්‍රියාවන් සමඟ බැඳී ඇත්තේ ය. එය වස්තුව නායකත්වය හා නිලය මත රැඳී නොමැත.

එබැවින් කවරෙකු අල්ලාහ් ව විශ්වාස කොට අල්ලාහ්ගේ අණ පිළිපදිමින් අල්ලාහ්ගේ දූතයාණන් පෙන්වා දුන් මඟෙ හි ගමන් කරන්නේ ද එවිට සර්ව බලධාරී අල්ලාහ් ඔහු ව පිළිගන්නේ ය. ඔහු පොහොසතෙකු වුව ද දිළින්දෙකු වුව ද තමන්ගේ සම්පතින් ඔහු ට පිරිනමන්නේ ය. ඔහු ව ස්ථාවර කරන්නේ ය. ඔහු ට උදව් කරන්නේ ය. ඔහු ව ස්වර්ගය ට ඇතුළත් කරන්නේ ය. ඔහුව ආරක්ෂා කරන්නේ ය. ඔහුගේ විශ්වාසය හේතුවෙන් ඔහුව ගෞවරය ට ලක් කරන්නේ ය.  අබූ බක්ර් උමර් උස්මාන් අලී (රළියල්ලාහු අන්හුම්) යන උතුමන් ලා මෙන් ඔහු වෙත ගෞරවයේ මාධ්‍යයක් තිබුණ ද බිලාල් අම්මාර් සල්මාන් හා වෙනත් අනුගාමිකයන් (රළියල්ලාහු අන්හුම්) මෙන් ඔහු වෙත ගෞරවයේ මාධ්‍යයක් නෙතිබුණ ද එය එක හා සමාන ය.  

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
. . . وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ وَلَكِنَّ الْمُنَافِقِينَ لَا يَعْلَمُونَ
. . . ගෞරවය අල්ලාහ්ට ය. තව ද ඔහුගේ රසූල්වරයා හා දේව විශ්වාසවන්තයින්ට ය. එනමුත් කුහකයින් ඒ බව නොදනිති.              (අල්-කුර්ආන් 63 : 8)

කවරෙකු අල්ලාහ් ව විශ්වාස නොකළේ ද ඔහු අබියස බලය හා ධනය තුළින් ගරුත්වයේ සාධක තිබුණු ද  අල්ලාහ් ඔහු ව එමගින් අවමානයට ලක් කරන්නේ ය. ෆිර්අවුන් කාරූන් හාමාන් වැනි උදවිය එයට උදාහරණ ලෙස දැක්විය හැක. එමෙන් ම ඔහු අබියස දිළිඳු හා දුප්පත්කමින් අවමානයේ සාධක තිබුණ ද අල්ලාහ් එමගින් ඔවුන් ව අවමානය ට පත් කරන්නේ ය. අල්ලාහ් ට ආදේශ තැබූ දිළින්ඳන් මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැක.
 
අල්ලාහ් මිනිසා මවා ඇත්තේ ඔහු වෙත වූ විශ්වාසය ගොඩ නැගීමටත් දැහැමි ක්‍රියාවන් සිදු කිරීමටත් තම පරමාධිපති වන ඔහු ට පමණක් නැමදීමටත් ඔහු ට කිසිදු ආදේශයක් නොතැබීමටත් ය. ධනය වස්තුව හා ආශාවන් අධික කර ගැනීම ට ඔහු මිනිසා මැව්වේ නැත. තම පරමාධිපති ව නැමදුම් කිරීම අතහැර දමා මෙම කරුණු තුළ තම ආත්මය නිරත කරවන්නේ නම් අල්ලාහ් ඒ කෙරෙහි බලය යොදවන්නේ ය. මෙලොව හා මතු ලොවෙ හි ඔහුගේ අභාග්‍යවන්තකමටත් විනාශයටත් නාස්තියටත් සාධකයක් ලෙස අල්ලාහ් ඒවා පත් කරනු ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُعَذِّبَهُمْ بِهَا فِي الْحَيَاةِ الدُّنْيَا وَتَزْهَقَ أَنْفُسُهُمْ وَهُمْ كَافِرُونَ
ඔවුන්ගේ වස්තුව හෝ ඔවුන්ගේ දරුවන් ඔබ ව ආකර්ශණය ට පත් නොකළ යුතුය. අල්ලාහ් ප්‍රිය කරනුයේ එමගින් ඔවුන් ව මෙලොව ජීවිතයේ දඬුවම ට පත් කිරීමට හා ඔවුන් ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී ඔවුන්ගේ ආත්මාවන් ඩැහැ ගැනීමට ය.              (අල්-කුර්ආන් 9:55)

•    ඊමාන් හි තරාතිරම්

සිත තුළ දේව විශ්වාසය තරාතිරම් තුනකින් පිහිටයි.
ඊමාන් මව්ජූද් හෙවත් පවතින විශ්වාසය
ඊමාන් මෆ්කූද් හෙවත් නොපවතින විශ්වාසය
ඊමාන් මත්ලූබ් හෙවත් අයැදින විශ්වාසය

ඊමාන් හෙවත් විශ්වාසය යනු අල්ලාහ් ව ඔහුගේ මැවීම් විසින් ආපේක්ෂා කරනු ලැබීමකි. දේව විශ්වාසය ට මූලිකාංගයන් හා ශාඛාවන් ඇත. දේව විශ්වාස වන්තයෙකු තම ධනය වර්ධනය කිරීම ට උත්සාහ දරනවාක් මෙන්ම තම විශ්වාසය ද වර්ධනය කර ගැනීම ට උත්සාහ දැරිය යුතුය. එය අණ කරනු ලැබූවකි. එමගින් පැවැත්මක් නොමැති විශ්වාසය පැවැත්මක් ඇති විශ්වාසය සමඟ සම්බන්ධ වීමට හේතුවක් වන්නේ ය. එබැවින් පතනු ලබන විශ්වාසය වෙත එය ගෙන යනු ඇත. ප්‍රතිඥිත දෑ එයින් ඔහු ලබන්නේ ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا آَمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَى رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنْزَلَ مِنْ قَبْلُ وَمَنْ يَكْفُرْ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الْآَخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا
විශ්වාස වන්තයිනි, අල්ලාහ්ව ද ඔහුගේ දූතයාණන්ව ද තව ද තම දූතයාණන් ට පහළ කළ පුස්තකය ද (ඔහු ට) පෙර පහළ කළ පුස්තක ද විශ්වාස කරවු. කවරෙකු අල්ලාහ්ව ද ඔහුගේ මලක්වරු ද ඔහුගේ පුස්තක ද ඔහුගේ රසූල්වරු ද අවසාන දිනය ද ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහු සැබැවින් ම අන්ත මුළාවකින් මුළා වී ඇත්තේය.     (අල්-කුර්ආන් 4 : 136)

[email protected]

 

මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම් පිටුව 54 – 65

Download

About the book

Author :

Muhammad Bin Ibrahim Al-Tuwajre

Publisher :

www.islamland.com

Category :

Amazihibu n'ebibinja