ජීවිත අභියෝග ජය ගනිමු

සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්රින්ථය ඉතා කෙටි කලකින් ජනප්රිwයත්වයට පත්විය. ගැටළු හා අභියෝග ජයගැනීමට ඉස්ලාමීය මුලාශ්රියන් හි අන්තර්ගත වී ඇත. ඉස්ලාමීය පදනමකින් ජීවිතය දෙස බැලීමට දිරි ගැන්වීම අපගේ අරමුණයි. සිංහල අනුවාදය සකස් කිරීමට සහාය වුයේ එස්. එම්. නෞෆර් මහතායි.

اسم الكتاب: نجتاز تحديات الحياة


تأليف: محمد منصور دحلان



نبذة مختصرة: كتاب مترجم إلى اللغة السنهالية مقتبس من كتاب (دع القلق وابدأ الحياة) لـ: ديل كارنيغي، وغيره من الكتب، التي بينت أن الحياة السعيدة هي ناتج التمسك بالأخلاق والعقائد الإسلامية ومبادئها.


ජීවිත අභියෝග ජය ගනිමු


] සිංහල – Sinhala –[ سنهالي  

 

 


මුහම්මද් මන්සූර් දහ්ලාන්

 

 

 

 

 

2014 - 1435
 
 

نجتاز تحديات الحياة لنعيش
« باللغة السنهالية »

 

 

 

الجمع والإعداد
محمد منصور دحلان

 

 

 

2014 - 1435
 

ජීවිත අභියෝග ජය ගනිමු - 1
මන්සූර් දහ්ලාන්

සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් ඉංග්‍රීසි බස හසුරුවන පාඨකයින් උදෙසා රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්‍රන්ථය මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා අතර ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයට පත්වු ග්‍රන්ථයකි. මෙවන් ග්‍රන්ථ හේතුවෙන් ජීවිත අභියෝග දෙස විමසීමට බටහිර චින්තනය දෙසට නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට තිබුණි. නමුත් ජීවිතයේ සැබෑ හරය අවබෝධ කර ගැනීමට මෙන්ම ඒවායින් නිරතුරුව මතුවන ගැටළු හා අභියෝග ජයගැනීමට ඇති සුදුසුම ඉගැන්වීම් ඉස්ලාමීය මුලාශ්‍රයන් හි අන්තර්ගත වී ඇත. එහෙයින් මෙම මාතෘකාව පදනම් කර ගනිමින් සුප්‍රකට ඉස්ලාමීය විද්වතුන්ගේ ලේඛනයන්හි අන්තර්ගත කරුණු මෙම ලිපි සකස් කිරීමේදී ප්‍රයෝජනයට ගෙන ඇත්තෙමු. මෙම ලිපි මාර්ගයෙන් ඉස්ලාමීය පදනමකින් ජීවිතය දෙස බැලීමට දිරි ගැන්වීම අරමුණයි. සිංහල අනුවාදය සකස් කිරීමට සහාය වුයේ එස්. එම්. නෞෆර් මහතායි.

කනස්සල්ල නවත්වන්න. සැහැල්ලු වී සතුටුවන්න
ජීවිතය අලුත්වැඩියා කර ගන්න

තම තමන්ගේ ජීවිතය අලුත්ම මුහුණුවරකින් යළි පටන් ගැනීමේ අභිලාෂය මිනිසුන්ට නිතර නිතර ඇති වේ. කාලයක් පුරා පෙරුම් පිරූ මෙම අලුත්වැඩියා කටයුත්තෙ හි සමාරම්භක දවස ඔවුහු කිසියම් සුවිශේෂී සිද්ධියකට සම්බන්ධ කර ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එය තම ජීවිතයේ යම්කිසි දියුණුවක් ප්‍රගතියක් සිදු වන අවස්ථාවක් එසේත් නොමැතිනම් තම තත්ත්වයේ වෙනසක් සංවත්සරයක් හෝ නව වසරක් උදාවන දවසක් වන්නට පුළුවන. ඔවුන්ගේ කනස්සල්ලට ආශා නැති ජීවිතයන් තුළට මෙනයින් තීන්දු කර ගන්නා දවසෙ හි සක්‍රියතාව හා බලාපොරොත්තු ගලා බස්නා වූ විස්මය ජනක බලවේගයක් රිංගා ගත්තැයි ඔවුහු තරයේ විශ්වාස කරති. මෙය හුදෙක්ම මායාකාරී සිතුවිල්ලකි.
ජීවිත ප්‍රතිසංස්කරණය ජනිත වන්නේ ප්‍රධාන වශයෙන් තම තමන්ගේ අභ්‍යන්තරය තුළිනි. ආත්ම ශක්තිය හා ස්ථාවරත්වය සහිතව ලෝකයට මුහුණ දෙන පුද්ගලයා හාත්පස පවත්නා මොනම තත්ත්වයකට වුව ද ගොදුරු නොවේ. අනෙක් අතට ඒවා අබියස උපේක්ෂාවෙන් පසු වෙමින් ඉන් ඵල ප්‍රයෝජන අත් කර ගනියි.
කුණුරොඩු වලින් වට වූ මල් බීජයක් සේ ඔවුහු නැවුම් සුවඳක් සහිත ව හිරු එළිය දකින්නට සැරසෙති. මේ අයුරින් දුගඳ හමන මඩ ගොහොරුව සුවඳවත් සුන්දරත්වයකට පත් කර ගනිති. තමුන්ගේ ජීවිත කාලය තුළ  හමු වන්නා වූ සීමිත අවස්ථා වලින් ප්‍රයෝජන ගනිමින් මිනිසා සිය අභ්‍යන්තර බලය හා ශක්තිය මෙහෙය ගන්නේ නම් ඔහුට සිය ජීවිතය පිළිසකර කර ගැනීමේ හැකියාව තිබිය යුත්තේ මය.
“කවුරු කවුරුත් අපේක්ෂා කරන සතුට ජනිත වන්නේ ඔවුන්ගේම මනස් හා හදවත් තුළිණි. එසේම ඔවුන් කඩිමුඩියේ බේරී පලායන්නට වෑයම් කරන්නා වූ හාත්පස දුක්ඛ දෝමනස්සයන් ඔවුන් වෙත කඩා පාත් වනුයේ ඔවුන්ගේම සිත්සතන් තුළිණි” යනුවෙන් ඉස්ලාමීය විද්වතෙකු වරෙක පළ කළ අදහස නිවැරදිය.
මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි අති උත්තරීතර අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය අත්වේවා) වරෙක පවසා සිටියේ “මිනිසුනි, නොදත් දේවල් මත බලාපොරොත්තු ඇති කර ගෙන ජීවිතය ගොඩ නගා ගන්නට නොපෙලෙඹෙන්න. මන්ද, එමගින් ඔබට කිසිම යහපතක් සිදු නොවන්නේය.” (මුස්ලිම් හා තබරානි නබි වදන් ග්‍රන්ථය ඇසුරෙනි).
ඔබගේ නුදුරු අනාගතයේ සිද්ධීන් සියල්ල කල්තියා ඔබ හමුවට ඉදිරිපත් කළා නම් ඔබ වටා පිහිටන සෑම සියලු හොඳ හෝ නරක තත්ත්වයන් දිස්වනු ඇත. මේ නිසා පසුබට වීමට හෝ ප්‍රමාද වීමට කාරියක් නැත. මෙහිලා  මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි අති උත්තරීතර අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය අත්වේවා) කළ ප්‍රකාශය මෙසේය: “හිරු උදාවේ සිට හිරු බැස යන තාක්කල් මිනිසුන් සිදු කළ වැරදි වලට පශ්චාත්තාප වී පාපක්ෂමාව අයදින්නට හැකි වන සේ අති උත්තරීතර හා අති පාරිශුද්ධ අල්ලාහ් රාත්‍රී කාලය පුරාවට දොහොත් විදහා ගෙන සිටීය. එමෙන්ම හිරු බැස ගිය වෙලේ සිට හිරු උදාව දක්වා කාලය තුළ ඔවුන් සිදු කළ වැරදි වලට පශ්චාත්තාප වී පාපක්ෂමාව අයදින්නට හැකි වන සේ දිවා කාලය පුරාවට ඔහු දොහොත් විදහා ගෙන සිටියි. අවරගිරෙන් හිරු උදාවට (පරමාන්ත දිනයට) පෙර (පාපක්ෂමා ආයාචනයන් පිළි ගැනෙනු ඇත.)” (මුස්ලිම්).
ජීවිත අලුත්වැඩියාව පටන් ගෙන වැඩ කටයුතු වැඩි දියුණු කර ගැනීමෙහිලා ප්‍රමාදය නුසුදුසු වෙයි. එලෙස ප්‍රමාද වීම කොටින්ම බැහැර කළ යුතු යැයි ඔබ අදහස් කරන නීරස අඳුරු කාල පරිච්ඡේදය තව තවත් දීර්ඝ කර ගැනීමයි. නොඑසේ නම් කල් දැමීමයි. මේ හේතුවෙන් ඔබ ඔබගේ ම ආශා වලින් හා අතපසු කිරීම් වලින් පරාජයට පත් කෙරෙන්නෙහිය. එය බිහිසුණු කඩාකප්පල් වීමකට මඟ පාදනවා වන්නට පුළුවන. එය හුදෙක් ම සිදු වනු ඇතැයි තැති ගත් ව්‍යසනයම වෙයි. මේ සම්බන්ධයෙන් මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි අති උත්තරීතර අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය අත්වේවා) සඳහන් කෙළේ මෙසේය. “පශ්චාත්තාප වී (පාප ක්‍ෂමාව) අයදින්නා අල්ලාහ්ගේ කරුණාව හා මෛත්‍රියට පාත්‍ර වන්නේය. එනමුත් මුළා වූ පුද්ගලයා එය මඟ හරින්නට තැත් කරයි. අල්ලාහ්ගේ ගැත්තනි, ඔබ සියලු දෙනාට ම තම තමන්ගේ ක්‍රියාවන් දැක ගන්නට ලැබෙන්නේය. ඔවුනොවුන් සිදු කළ ක්‍රියාවන් හි හොඳ නරක දැක ගන්නා තාක් මෙලොවින් බැහැර නොවන්නේය. හෙතෙම සිය ජීවිතයේ අන්තිම කාලයේ සිදු කරමින් පසු වූ ක්‍රියාවන් මත බව අවධාරණය වන්නේය.” (මුස්ලිම්)
“ඔබගේ ජීවිත කාලය තුළ රෑ දවල් දෙකම වාසිදායක වෙයි. ඒ නිසා මතු ලොව ජීවිතය ගැන සලකා එකී කාල වලට සුපරීක්ෂාකාරීව අවතීර්ණ වන්න.” (මුස්ලිම්)
“තවද අප්‍රමාද වන්න. මන්ද, මරණය අනපේක්ෂිත ලෙස කඩිමුඩියේ එළඹෙන්නේය.” (මුස්ලිම්)
“ඔබ අතුරින් කිසිම පුද්ගලයෙකු අල්ලාහ්ගේ උදාරත්වය පිළිබඳව මුළාව (තවද ඒ මතම රැඳී) නොසිටිය යුතුය. මන්ද, දුගතිය හා සුගතිය ඔවුන්ගේ පාවහන් නුලට වඩා සමීපව පිහිටා ඇත.” (මුස්ලිම්)
ඉන් පසු නබි තුමාණෝ පහත සඳහන් අල් කුර්ආන් පාඨය පාරායනය කර දැක්වුහ.
“අල්ප මාත්‍ර යහපතක් සිදු කළ පුද්ගලයා එය දැක ගන්නේය. එසේම අල්ප මාත්‍ර අයහපතක් සිදු කළ පුද්ගලයා ද එය දැක ගන්නේය.” (අල් කුර්ආන් 99:7-8).
සමාජයට අහිතකර ඇතැම් උපද්‍රවයන් තුරන් කරනු පිණිස දීර්ඝ හා කෙටි කාලීන ප්‍රතිපත්ති ස්ථාපිත කරමින් මානව වර්ගයා උනුන් පිළිසකර වීම යහපත් වෙයි. කාර්යාලයේ සෑම මුල්ලකම විසිරුණු පත්‍ර කැබලි සහ පැරණි සටහන් යනාදිය බැහැර කරනු පිණිස මගේ කාර්යාල කාමරයේ සෑම අස්සක් මුල්ලක් දෙසම නෙත් හෙළීම මගේ පුරුද්දයි. ඉන් පසු ඒ ඒ තැන ඒ ඒ දෙය තබමින් සහ ප්‍රයෝජනයක් නැති යමක් වේ නම් ඒවා බැහැර කරමින් සෑම අංශයක් ම පිළිවෙළකට පත් කිරීම අවශ්‍ය වෙයි. දිනපතාම මේ හා සමාන වෑයමක් දරනු ලැබේ. දවසේ වෙහෙසකර වැඩ කටයුතු වලට පසු දුවිලි තැන්පත් ගෘහ භාණ්ඩ පිරිසිදු කරමින් ඒවා හැකි පමණින් නිසි පිළිවෙළට තබනු පිණිස දිනපතාම මේ හා සමාන වෑයමක් දරනු ලැබේ.
එනමුදු මිනිස් මනසක සදාචාර සම්පන්න තත්ත්වයට මීට වඩා ගරුත්වයක් හිමි විය යුතුය. මිනිසුන් තුළ කිසිදු විලසක අපිළිවෙළක් හෝ අකුශලයක් පවතීදැයි පිරික්සා ඒවා බැහැර කිරීම අවශ්‍ය වෙයි. මොනම කැඩී බිඳී යාමක් හෝ සිදු නොවී තමාගේ පෞද්ගලික හා පොදු ජීවිතය ආරක්ෂා කර ගැන්මට සිය අභ්‍යන්තරය පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය වෙයි. මන්ද, සෑම ආකාරයකම ආශාවන් හා පෙලඹවීම් වලට කෙළින්ම යොමු වී තිබීම හේතුවෙන් ඔහුගේ භාවාත්මක හා බුද්ධිමය ස්වභාවයන් ක්‍රම ක්‍රමයෙන් හීන වී යන්නට පුළුවන.
“තමන්ගේ කටයුතු අතපසු කර තෘෂ්ණාවන්ට වහල් වූ පුද්ගලයින්ගේ සිත්සතන් අප (අල්ලාහ්) පිළිබඳ මතකයෙන් දුරස්ථ කළෙමු. ඔවුන්ගේ කටයුතු සදහටම භංග වීය”. (අල් කුර්ආන් 18:28)
ඉහතින් සඳහන් කළ අල් කුර්ආන් වැකියෙහි අවසන් පදය ගැන විමසා බලමු. සාමාන්‍යයෙන් “ෆුරුතා” යන අරාබි පදයෙන් අර්ථවත් වනුයේ බිම පතිත වූ ඇතැම් මිදි වලටය. වල්ලෙන් (මුලාශ්‍රයෙන්) ඉවත් කොට නරක් වන්නට ඉඩ හළ විට ඒවා නිෂ්ඵල වී යයි. ඒ ආකාරයෙන් මිනිසාගේ පැවැත්ම හසුරුවන හා ශක්තිමත් කරන සැබෑ පද්ධතියෙන් ඔහු කැඩී යන කළ එහි හැඟීම් සහ සිතුවිලි බිම පතිත වූ බීජ වලට සමාන වෙයි. මෙපරිද්දෙන් තමන් පිළිසකර කර ගැනීමේ හා ඒ මත බලය පවත්වා ගැනීමේ අවශ්‍යතාව දිගටම පවතී. හිමිදිරි පාන්දරින් ම තමුන්ගේ ජීවිතය අලුත්වැඩියා කර ගන්නා ලෙස අති උත්තරීතර අල්ලාහ් මිනිසාට උපදෙස් දෙයි.
දිවා භාගයේ වෙහෙස මහන්සියෙන් වැඩපළ කොට නින්දට ගොස් අලුත් දවසකට මුහුණ දීමට පිබිදෙන විට - මෙම නිශ්චිත මොහොතේ - කෙනෙකුට තමන්ගෙන් ම මෙසේ විමසා ගන්නට පුළුවන. “මගේ ජීවිත කාලය පුරාවට මා පරාජයන් කීයකට මුහුණ දී තිබෙනවාද? නරක මිනිසුන්ගේ පෙලෙඹවීම් වලට කී වතාවක් මා ලක් වුණාද? මගේ අවුල් වියවුල් ස්වභාවය අනුන්ගේ අනුකම්පාව හා ආදර සෙනෙහස පතා සිටින තත්ත්වයකට පත් කර තිබේද?
මෙකී සුවිශේෂ අවස්ථාවේ කෙනෙකුට තම ජීවිතය අලුත්වැඩියා කර ගැනීමේ හැකියාව පවතියි. බලාපොරොත්තු ජයග්‍රහණ සහ සිහි නුවණ නම් ආලෝකයෙන් ජීවිතය යළි ගොඩ නගා ගන්නට ඔහුට පුළුවන. පාපක්ෂමාව අයදින්නට සුදානම් වූ පුද්ගලයින් සඳහා යහ මඟ දක්වන්නා වූ සත්‍යයේ හඬ සෑම තැනකම රැව් නැඟේ. මෙහිලා නබි තුමාණෝ මෙසේ පැවසුහ: “රාත්‍රියේ තුන්වැනි යාමයේ දී අති උත්තරීතර අල්ලාහ් අහසට බැස මෙසේ විමසයි. ‘හිමිදිරි පාන්දර දක්වා (මවිසින් පිරිනැමෙන්නට) යම් කිසිවක් ආයාචනය කරන්නෙක් සිටී ද? පාන්දර දක්වා (මවිසින් කමා කෙරෙන්නට) පව් කමාව අයදින්නෙක් සිටී ද?’” (බුහාරී නබි වදන් ග්‍රන්ථයෙනි). තවත් වාර්තාවක “රාත්‍රියේ මැද කොටසෙහි අල්ලාහ් සිය ගැත්තාට ඉතා සමීපයෙන් සිටියි. එම හෝරාවෙ හි අල්ලාහ් ගැන සිහිපත් කරන උදවිය අතර ඔබ සිටියා නම් ඔබ එසේ කරන්නැයි නබි තුමාණෝ පවසා ඇත.” (අත්තිර්මිදී)
මෙය නව උදාවකි. නින්දෙන් පිබිද දුරු හෝ නුදුරු හෝ අතීතයේ ශේෂයන් මත පිහිටා ඔබගේ අනාගතය ගොඩ නගා ගන්නට පුළුවන් වනු ඇත. මේතාක් සිදු කළ අනන්ත අප්‍රමාණ පාප ක්‍රියාවන් හේතුවෙන් පසුබට නොවන්න. කෙනෙකු අවංක වශයෙන්ම අල්ලාහ් වෙත හැරෙනවා නම් එකී පාප ක්‍රියා සියල්ල සමස්ත සාගර වල පෙණ පිඬු සේ සලකා අති උත්තරීතර අල්ලාහ් ඒ සියල්ල කමා කරයි. අල්ලාහ් සම්බන්ධයෙන් කෙනෙකු දැක් වූ අතීත ගුණමකුකම ඔහුගේ විශ්වාසදායක ප්‍රත්‍යාගමනයට අවහිරයක් නොවිය යුතුය.
“(නබි වරය) මෙසේ පවසන්න. ‘පාපයන් කරමින් එකිනෙකා සීමාව ඉක්මවා ගමන් කළා වූ මගේ ගැත්තනි, අල්ලාහ්ගේ කරුණා මෛත්‍රියය  කෙරෙහි බලාපොරොත්තු සුන් නොකර ගන්න. නියත වශයෙන්ම අල්ලාහ් සියලුම පාපයන් කමා කරන්නේය, නියත වශයෙන්ම ඔහ ක්‍ෂමාශීලීය, පරම දයාන්විතයාය. ඔබගේ පරමාධිපතියා පිළිබඳ සැබෑ බියභක්තියෙන් ළතැවිල්ලෙන් හා අවනත භාවයෙන් ඔහුට අවනත වන්න’ යනුවෙන් අල්ලාහ් පවසයි.” (අල් කුර්ආන් 39: 53-54)
තවද අති උත්තරීතර අල්ලාහ් හදීස් කුද්ස් හි මෙසේ සඳහන් කරයි. “ආදම්ගේ පුත්‍රය, ඔබ මට ආයාචනය කරමින් පාප කමාව අයදින විට ඔබගේ වැරදි හා පාප ක්‍රියා කුමක් වුව ද ඒවා ගැන නොසලකා ඔබට දිගටම සමාව දෙන්නෙමි. ආදම්ගේ පුත්‍රය මා හට කිසිවක් සම නොකොට (ආදේශ නොකොට) මහ පොළොව තරම් වැරදි සහිතව ඔබ මා මුණගැසුනා නම් මම මහ පොළොව තරම් සමාව සහිතව ඔබ වෙතට එන්නෙමි.” (අත්තිර්මිදී)
බලාපොරොත්තු සුන් කර ගනිමින් හා නිරාශාවෙන් පසුවන කලෙක මෙවැනි නබි වදන් (හදීස්) හදවතට ටිකෙන් ටික බලාපොරොත්තු ඇති කරවයි. පිටුපෑම් හා දුෂිත අතීතයට පසු පුද්ගලයෙකුට අති උත්තරීතර අල්ලාහ් පිළිබඳ බිය චකිතයකින් තල්ලු වෙනවා වෙනුවට ජනයා ඔහු වෙතට ප්‍රිය ලෝලත්වයකින් පියාඹා නොයන්නේ මන්දැයි වටහා ගැනීම අසීරුය.
අති උත්තරීතර අල්ලාහ්ට වඩා පරම කරුණාන්විත අන් කිසිවෙකු සොයා ගත නොහැකිව තිබිය දී වුව ද මිනිසාගේ මෙම දරදඬු හැඟීම් වලට හේතු පාදක වනුයේ අල්ලාහ්ගේ සහ ඔහුගේ මාර්ගය පිළිබඳව පවත්නා නොදැනුවත්කමයි. උත්තරීතර අල්ලාහ්ගේ කරුණාව හා මෛත්‍රිය කිසිදු අරමුණක් හා සම්බන්ධ වුවක් නොවේ. ඒවා අල්ලාහ්ගේ පරිසමාප්තිය හා නොවරදින සුළු බව නියෝජනය කරයි.
මානව වෘත්තාන්තයෙහිලා අපට දැන ගන්නට ලැබෙන පාඩම නම් අති උත්තරීතර අල්ලාහ් මිනිසාව නිර්මාණය කරන අවස්ථාවේ ම මොහුව ගෞරවයට පාත්‍ර කොට ඇති බවයි. මිනිසාව සමච්චලයට ලක් කොට නැති බවයි.
“සැබැවින්ම මිහිතලය මත අපි නුඹලාව ස්ථාපිත කළෙමු. තවද, අපි නුඹලාට එහි යැපීම් සම්පත් ඇති කළෙමු. අල්ප ප්‍රමාණයකි නුඹලා කෘතවේදී වනුයේ. සැබැවින්ම අපි නුඹලාව මවා පසුව නුඹලා (ඉස්තරම් හැඩයෙන්) හැඩ ගස්වා පසුව ආදම්ට සජදා (ශරීරයේ අංග හතක් - සතඟ - පොළොවෙහි පිහිටා කරන ගෞරවය-නළල හා නාසය, දෑතෙහි අත්ලයන්, දණහිස්, පයේ මාපටැඟිල්ල හා අනෙකුත් ඇඟිලි වල යට කොටස්) කරනුයි මලක්වරුන්ට (සුරදුතයන්ට) පැවසුවෙමු” (අල් කුර්ආන් 7:10-11).
පීඩාවෙන් හා මෝහඳුරෙන් තොරව මිනිසා මිහිතලය මත ජීවත් කරවිය හැකි පරිද්දෙන් වූ ආගමික පැවැත්ම වනුයේ සත්‍යය හා සමානාත්මතාව මත පදනම් වූ ක්‍රමවේද හා සම්බන්ධතාවන් සැපයීමයි. අති උත්තරීතර අල්ලාහ්ගේ ෂරියා පිළිවෙත අනුව ඔහු දරුවන්ගේ අකීකරුකම් වලට එරෙහිව දෙමව්පියන් සහ පීඩකයාගේ ආධිපත්‍යයට එරෙහිව පීඩිතයින්ගේ පැත්ත ගනියි. තවද පුද්ගලයෙකුගේ ගරුත්වය දේපළ වස්තුව හා රුධිරයේ සුරක්ෂිත භාවය වෙනුවෙන් අල්ලාහ් සිටී. ආදම්ගේ දරුවන්ට පිරිනැමූ ආශීර්වාදයන් වෙනුවෙන් යම් යම් ආගමික වත්පිළිවෙත් මඟින් අල්ලාහ්ට තුති පුදන මෙන් ද ඔවුන් කෙරෙහි තමාට ඇති අයිතිවාසිකම් ගැන සිහිපත් කරන මෙන් ද අල්ලාහ් විධානය කරයි. අනිවාර්යය වන මෙම වතාවත් ක්‍රියාවන් ඉටු කිරීම මිනිසුන්ට එතරම් අපහසුතාවක් ගෙන දෙන ක්‍රියාවන් නොවේ. ඇත්ත තත්ත්වය නම් අති උත්තරීතර අල්ලාහ්ට මානව වර්ගයාගෙන් අවශ්‍ය වනුයේ ඔවුන්ගේ නිර්ලෝභීත්වය සහ උදාරවන්ත භාවයයි. එතෙකුදු වුව ද ජනයා මීට සවන් දෙන අතරතුර ඔවුන්ගේ යහපත සඳහාම සකස් කරන ලද්දා වූ මෙම මාර්ගය ඔස්සේ ගමන් කිරීම ප්‍රතික්ෂේප කරති. මේ නිසාම ඔවුහු තමන්ගේ ආශාවන්ට වහල් වී සිටිති. මොවුන් සිය කැමැත්තෙන්ම අනියම් මඟ වැලඳ ගෙන සිටිය ද ඊමානය (ඉස්ලාමීය විශ්වාසය) වෙත කැඳවන උදවිය ස්වර්ගය අත්කර ගනු පිණිස ආපසු තම නිර්මාතෘවරයා වෙත හැරෙන ලෙස ඇරයුම් කරති.
ඔබ ආපසු අති උතුම් අල්ලාහ් වෙතට හැරුණු විට අල්ලාහ් පත් වන සතුට ගැන මුහම්මද් ධර්ම දුතයාණන් සඳහන් කරන්නේ මෙසේය:
“ඔබගේ යම් කෙනෙකුගේ ඔටුවා කාන්තාරයේ අතුරුදන්ව ආපසු ලැබුණු විට පත් වන සතුටට වඩා සතුටකට අල්ලාහ් ස්වකීය ගැත්තා ආපසු තමන් වෙතට හැරුණු විට පත් වෙයි.” (බුහාරි)
මෙම කරුණාභරිත ප්‍රකාශය ගැන ඔබ විස්මයට පත් නොවන්නෙහි ද? මීට වඩා ශ්‍රේෂ්ඨ සතුටක් ඔබට දකින්නට ලැබේවි ද? අතිශය  ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට පවා තමුන් හමුවීමට බෙහෙවින් ආශාවෙන් හා ආදරයෙන් පුල පුලා බලා සිටින කෙනෙකු හමුවන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එහෙව් කළ තමාට ම හෝ  අනුන්ට එරෙහිව සීමාව ඉක්මවා ගිය පව්කාරයෙකු ගැන කිව මනා ද? අතීතය වසන් කරනු පිණිස ඔහුට මෙබඳු පිළිගැනීමක් අත් වේ නම් ඒ වෙනුවෙන් කෘතවේදී වීම අවශ්‍ය වෙයි.
අල්ලාහ් ජනයින්ට බෙහෙවින් කරුණාව හා දයාව දක්වයි. එම ජනයින් ආපසු තමන් වෙතට හැරෙන කළ ඔවුන් සිතනවාටත් වඩා උත්තරීතර අල්ලාහ් සතුටට පත් වෙයි. මෙම ප්‍රත්‍යාගමනය එක ජීවන රටාවකින් තවත් ජීවන රටාවකට සපුරා මාරු වීමක් වෙයි. ඒ වූ කලී නව උදාවක් එළඹෙන්නාක් මෙනි. මෙය මිනිසා විසින් සිදු කරනු ලබන හුදෙක් සාමාන්‍ය ප්‍රත්‍යාගමනයක් ම නොවෙයි. ඇයගේ හෝ ඔහුගේ ව්‍යාකුල ජීවිතයට ආපසු පැමිණීමක් ද නොවෙයි. මෙය අති උත්තරීතර අල්ලාහ් අමන්දානන්දයට පත් වන ජයග්‍රාහක ප්‍රත්‍යාගමනයකි. දුබලකම හා අලසකම අබිබවා ලබන්නා වූ මනුෂ්‍ය විජයග්‍රහණයකි. ස්වකීය තෘෂ්ණා දාමයකින් ස්වාධීනත්වය අත්කර ගැනීමකි. ඊමානය ආශීර්වාදය පරිණතභාවය හා නිසි මාර්ගෝපදේශකත්වයේ නව මං පෙතකට තමුන් පත් කර ගැනීමකි. මෙම ප්‍රත්‍යාගමනය පිළිබඳව අති උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:
“කවරෙකු පශ්චාත්තාප වී විශ්වාස කොට යහකම් කර පසුව යහ මඟ ගියේ ද සැබැවින්ම මම ඔහුට අති ක්ෂමාශීලීය.” (අල කුර්ආන් 20 : 82)
මෙය ජරාජීර්ණයට පත් වීමෙන් පසු පිළිසකර කර ගත් ජීවිතයකි. සුලභ වශයෙන් ජලය සහ පොහොර ලැබීමෙන් පසු ගොවි බිමක සිදු විය හැකි වෙනස මෙන් ගුණ දහම් වෙනස් කරන්නා වූ තීරණාත්මක පියවරකි. පිළිකුල් සහගත ගති සිරිත් හා නරක සදාචාරයන් මැද ක්‍රියාවන් හෝ අදහස් කිහිපයක් හඳුන්වා ගත් පමණින් ජීවිතය අලුත්වැඩියා කර ගත්තේ යැයි අදහස් නොවෙයි. කෙනෙකුට යහපත් ප්‍රශංසනීය අනාගතයක් ස්ථාපිත කර ගැනීමට හැකියාවක් මෙ මගින් අත් නොවෙයි. අති උත්තරීතර අල්ලාහ් විසින් සිය අනුග්‍රහයන් පිරිනැමීම වළක්වනු ලැබූ ඇතැම් පුද්ගලයන් පිළිබඳව මෙසේ විස්තර කරයි:
“කවරෙකු පිටුපාන්නේ ද (නබි වරය) ඔහුව නුඹ දුටුවෙහි ද? ඔහු ස්වල්පයකි (දන්) දුන්නේ. පසුව වැළකුණේය.” (අල් කුර්ආන් 53 : 33 – 34)
ස්වකීය ග්‍රන්ථය (අල් කුර්ආනය) විඛණ්ඩනය කිරීමට තැත් කරන්නන් පිළිබඳව අති උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි.
“තවද එය කවියෙකුගේ වදනක් ද නොවේ. අල්පයකි නුඹලා විශ්වාස කරනුයේ. (එය) ශාස්ත්‍රකරුවෙකුගේ වදනක් ද නොවේ. අල්ප ප්‍රමාණයකි නුඹලා මෙනෙහි කරනුයේ. (එය) ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් පහළ කරන ලද්දකි” (අල් කුර්ආන් 69 : 41 – 43)
ඇතැම් අවස්තාවන් හි දී සුළු තරමේ පිබිදීමක් දැනේවී. අනතුරුව ඔවුහු සුපුරුදු කුසීත තත්ත්වයට පත් වෙති. එය නිවැරදි මාර්ගෝපදේශය හෝ නිවැරදි අනුගමනය කිරීමක් ලෙස සැලකිය නොහැක. මන්ද, නිසි මාර්ගෝපදේශය යනු අවංක පශ්චාත්තාපයෙහි අවසාන භාගය වන බැවිනි. අති උත්තරීතර අල්ලාහ්ගෙන් ඈත් වීම මහත් දොම්නසකට හා චිත්ත පීඩාවකට හේතු පාදක වෙයි. අල්ලාහ්ගේ ආශීර්වාදය අහිමි වූ බලය සහ බුද්ධිය, රූමත්කම සහ දැනුම යනාදී සියලුම ආයතන අවාසනාවක් හා ව්‍යසනයක් බවට පත් වෙයි. මෙම හේතුව නිසාම උනුන් එකිනෙකා භේද වී යාම හා අල්ලාහ්ගේ අවධානයන් ඉවත් වී යාම සම්බන්ධයෙන් අල්ලාහ් මිනිසුන්ට අනතුරු අඟවයි.
ඇවිද යමින් සිටිය දී ඔබ කිසියම් සිද්ධියකට ලක් වන්නට පුළුවන. ඔබගේ ජීවිතයට තර්ජනයක් ගෙන දිය හැකි වේගයෙන් ගමන් කරන මොටෝ රියක් නිසා ඔබ විමතියට පත් වන්නට පුළුවන. පණ බේරා ගන්නට ඔබ දුවනවා දැනෙන්නට පුළුවන. ජීවිතයට අනතුරක් ගෙන දිය හැකි එවැනි සිද්ධීන් වලට විවෘතව සිටින ඔබ සිය ගැත්තන් දැනුවත් ව සිටීමයි අති උත්තරීතර අල්ලාහ්ට අවශ්‍ය වනුයේ. මේ නිසා ආරක්ෂාව පතා තමන් වෙතට කඩිනමින් එන්නැයි ඔහු මිනිසුන්ට උපදෙස් දෙයි.
එම නිසා අල්ලාහ් වෙතට කඩිනම් කරන්න. මම ඔහු වෙතින් පැහැදිලි අනතුරු ඇඟවිල්ලක් ගෙනෙමි. අල්ලාහ්ට වෙනත් දෙවියෙකු ආදේශ නොකරන්න. මෙය පහත සඳහන් දුආ (ප්‍රාර්ථනය) සමග සිය පරමාධිපතියාණන් සමග යහපත් සම්බන්ධතාවක් ඇති කර ගැන්මට පෙරාතුව මිනිසා ජීවිතය අලුත්වැඩියා කර ගැන්ම සඳහා අවශ්‍ය වන ප්‍රත්‍යාගමනයකි.
“යා අල්ලාහ්, ඔබ මාගේ පරමාධිපත්යානන් ය. ඔබ හැරුණු කොට වෙනත් දෙවියෙකු නැත. මා නිර්මාණය කරනු ලැබුවේ ඔබ විසිනි. එම නිසා මම ඔබේ ගැත්තා වෙමි. තවද, මම මගේ ප්‍රතිඥාවෙන් ඔබට හා මගේ හැකියාව වෙනුවෙන් වන ඔබේ පොරොන්දුවෙන් බැඳී සිටිමි. මා සිදු කළ නරක ක්‍රියාවන් හේතුවෙන් ඔබගේ ආරක්ෂාව පතමි. මට කමා කරනු මැනව! මන්ද, පව් කමා කිරීමට ඔබ හැර අන් කිසිවෙකුට නුපුළුවන” (බුහාරී)
 
ජීවිත අභියෝග ජය ගනිමු - 2
මන්සූර් දහ්ලාන්
සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් ඉංග්‍රීසි බස හසුරුවන පාඨකයින් උදෙසා රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්‍රන්ථය මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා අතර ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයට පත්වු ග්‍රන්ථයකි. මෙවන් ග්‍රන්ථ හේතුවෙන් ජීවිත අභියෝග දෙස විමසීමට බටහිර චින්තනය දෙසට නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට තිබුණි. නමුත් ජීවිතයේ සැබෑ හරය අවබෝධ කර ගැනීමට මෙන්ම ඒවායින් නිරතුරු ව මතු වන ගැටලු හා අභියෝග ජය ගැනීමට ඇති සුදුසුම ඉගැන්වීම් ඉස්ලාමීය මුලාශ්‍රයන් හි අන්තර්ගත වී ඇත. එහෙයින් මෙම මාතෘකාව පදනම් කර ගනිමින් සුප්‍රකට ඉස්ලාමීය විද්වතුන්ගේ ලේඛනයන් හි අන්තර්ගත කරුණු මෙම ලිපි සකස් කිරීමේදී ප්‍රයෝජනයට ගෙන ඇත්තෙමු. මෙම ලිපි මාර්ගයෙන් ඉස්ලාමීය පදනමකින් ජීවිතය දෙස බැලීමට දිරි ගැන්වීම අරමුණයි. සිංහල අනුවාදය සකස් කිරීමට සහාය වුයේ එස්. එම්. නෞෆර් මහතායි.
දවසේ බැඳීම් මත පිහිටා ජීවත් වීම
මිනිස් අඩුපාඩු අතරින් එකක් නම් අනාගත බර වර්තමානයට පටවා ගැනීමයි. ජීවිතය ගැන ප්‍රමාණය ඉක්මවා බලාපොරොත්තු ඇති කර ගැනීමේ ප්‍රතිඵලය වනුයේ සිය සිතුවිලි පාලනය කර ගත නොහැකි තත්ත්වයකින් අතරමං වීමයි. මේ නිසා ක්‍ෂණික පෙලඹවීම් හා මුළාවනට ඉතා පහසුවෙන් පාත්‍ර වන්නට ඉඩ තිබේ. ඒ වූ කලී ස්ථිර මානසික වධයකට මං පාදන්නකි.
ඔබ කනස්සල්ලෙන් හා සැක සංකාවන්ගෙන් පෙළෙන්නේ මක් නිසාද? දෛනික බැඳීම් තුළ ජීවත්වන්නට තැත් කරන්න. හෙට දවස ගැන උද්වේග ඇති කර ගැනීමෙන් වළකින්න. එය ඔබට යහපත්ය. හිතකර ද වෙයි. මානසික වශයෙන් අනාගත බලාපොරොත්තු වලට අනුයුක්ත නොවූ සාර්ථක මිනිසුන් පිළිබඳ ව විද්වතුන් විවිධ අවස්ථාවන් හි සඳහන් කොට ඇත. අනාගතය වෙනුවට වර්තමාන අවශ්‍යතා වලට මුහුණ දෙමින් ඒවා විසඳීමට ඔවුහු ඉඳුරා කැප වුණහ. තමන්ගේ දෛනික ජීවිතයට ද ඔවුහු ඉඳුරා මෙම චෛතසික ස්වභාවය යොදා ගත්හ. අත ළඟ ඇස් පනාපිට පැහැදිලි වශයෙන් පවතින දෙය දකිනවා මිස ඈත එපිට අඳුරෙ හි අපැහැදිලි ව ඇති දෙය දකින්නට තැත් කිරීම අපේ ව්‍යායාමය නොවිය යුතුය.
යේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඔස්ලර් තමාගේ සිසුන්ට ඊසා නබිතුමාගේ ‘අපේ අද දවසේ පාන් ලබා දෙන්න’ යන ප්‍රාර්ථනය සමග දවස ආරම්භ කරන ලෙස උපදෙස් දෙයි. කරුණාකර මෙම ප්‍රාර්ථනයේ අන්තර්ගත වදන් පිළිබඳ සැලකිලිමත් වන්න. මෙම ප්‍රාර්ථනයෙන් අයදිනු ලබනුයේ අද දවසේ පාන් ගෙඩිය පමණි. ඊයේ අනුභව කළ පිළුණු වූ පාන් ගෙඩිය ගැන එහි පැමිණිලි කිරීමක් දක්නට නැත. එසේම එහි ‘දෙවියනි, පසුගිය කාලයේ කෙත්වතු (තිරිඟු යාය) වියළී ගියේය. තවත් ඉඩෝරයක් එන්නටත් පුළුවන. ඊළඟ ගිම්හානයේ මා කෙසේ කුසට අහරක් ලබන්න ද? මගේ රස්සාව නැතිවුණා යැයි උපකල්පනය කරමු. එසේ වුයේ නම් මම කුසට අහරක් ලබා ගන්නේ කෙසේ ද?’ වැන්නක් කියැවෙන්නේ ද නැත. මෙම ප්‍රාර්ථනය මඟින් උගන්වනු ලබනුයේ ‘අද දවසේ පාන්’ ඉල්ලා සිටින්නට පමණි. ඔබට බුදින්නට හැකියා ව තිබෙන්නේ අද දවසේ පාන් වර්ගය පමණි.
ඉහත උපදේශයට අනුකුලතාවක් ඇති දවසේ සීමාවන්ට ගොනු වී ජීවත් වීම පිළිබඳ ව මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (එතුමා කෙරෙහි අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) ප්‍රකාශයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“ආරක්ෂාවෙන් හා යහපත් කායික තත්ත්වයෙන් ද දිනකට ප්‍රමාණවත් ආහාර ද සහිත ව දවස ගත කරන පුද්ගලයා ලොව පුරා ඇති සියලුම දේවල් පිරිනමනු ලැබූ කෙනෙකුට සමානය” (වාර්තාව: උබෛදුල්ලා බින් මුහ්සින් අල් අන්සාරි අල් කත්මි).
මේ සියල්ල ඔබ සතු ව ඇති විට මුළු ලොවම ඔබ සතුය. ඒ ගැන සුළු කොට නොතකන්න. දිනෙක ආරක්ෂාව යහපත් සෞඛ්‍ය තත්ත්වය සහ ස්වයංපෝෂණය යන කරුණු තනි පුද්ගලයෙකුගේ ජීවිතයට කෙසේ වෙතත් මුළු මහත් ඉතිහාසයම වෙනස් කළ හැකි ක්‍රමවේදයකින් සාධාරණ මිනිසෙකුට සන්සුන් ලෙස සිතන්නට ඉඩ සලසයි. මානසික අසීරුතා හෝ ශාරීරික අවහිරතාවලින් තොරව සම්පුර්ණ සංවර්ධනාත්මක කාල වකවානුවක් අත් කර ගනු පිණිස මිනිසෙකුට මෙම ගම්‍යමාන ආශීර්වාදයන් මහඟු සහතිකයක් වෙයි. ඇත්තෙන්ම දුෂ්කරතා ඒවාට නියමිත කාලයේ සිදු වන්නට පෙරාතුව කල් තියා ම ඒ ගැන තැවි තැවී සිටීම මුග්ධ ක්‍රියාවකි. එබඳු අපේක්ෂාවන්ගෙන් මායාවන් හා අශුභතාවන් ජනනය වෙයි.
මිනිසා දවස පටන් ගත යුත්තේ එය සපුරා කාලයෙන් නිදහස් වුවක් වශයෙන් සලකමිනි. ඉබ්‍රාහිම් නබිතුමා (එතුමා කෙරෙහි අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) අල්ලාහ්ගෙන් “යා! අල්ලාහ්, මෙය අලුත් දවසක්. ඔබට කීකරු වෙමින් අද දවස පටන් ගැනීමට මට පිහිට වන්න. තවද ඔබගේ දයාව හා සතුට අත් කර ගනිමින් දවස අවසන් කිරීමට පිහිට වන්න. ඔබ විසින් පිළිගනු ලබන හසනාවක් (සත් ක්‍රියාවක්) මට පිරිනමන්න. එය මා වෙනුවෙන් පිරිසිදු කරන්න. වැඩ බහුල කරන්න. මා සිදු කරන ඕනෑම පාප ක්‍රියාවකට කමා කරන්න. ඔබ පරම ක්‍ෂමාශීලියා ය. පරම දයාවන්තයා ය. පරම කරුණාවන්තයා ය. පරම පරිත්‍යාගවන්තයා යැ”යි ප්‍රාර්ථනා කරයි. තව ද එතුමා “උදෑසන එවැනි ප්‍රාර්ථනයක් කරන තැනැත්තා ඒ දවසේ තම පරමාධිපතිට තුති පිදුවේ යැ”යි යනුවෙන් ද පවසයි.
මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (එතුමා කෙරෙහි අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) ජීවිතය කෙරෙහි  මොහොතක් අවධානය යොමු කරමු. ජීවිතයේ සෑම අංශයක් ම යහ අයුරින් බෙදා ඒ සෑම අංශයකට ම සංසිඳුණු මනසින් හා බලවත් අධිෂ්ඨානයෙන් ළඟා වන ක්‍රමයක පැහැදිලිතාව එහි දක්නට ඇත. උදෑසන එතුමාණෝ මෙසේ පවසති, “බලාධිකාරය හා ප්‍රශස්තිය ඔහුටම හිමි බව දැන ගෙන අපි උදෑසන ආරම්භ කරමු. මන්ද ඔබට (අල්ලාහ්ට) සමානයෙක් හෝ හවුල්කාරයෙක් නොමැත. ඔහු හැර වෙන දෙවියෙක් ද නැත. අපගේ ගමනාන්තය වනුයේ ඔහු වෙතය.” සවස් කාලයේ ද එතුමාණෝ මේ හා සමාන ලෙස පැවසුහ.   
කෙනෙක් තමන්ගේ හෝ තම පවුලේ උදවියගේ ආරක්ෂාව හා මානසික තැන්පත්භාවය වැනි අති උතුම් අල්ලාහ් විසින් පිරිනමන ලද ආශීර්වාදයන් දඩමීමා කර ගනිති. මෙම ඉමහත් ආශීර්වාදයන් නොසලකා හරිති. අවාසනාවන්ත වීම හෝ ධනය හා බලය නැති වීම ගැන මැසිවිලි නගති. මෙය සැබැවින්ම සැබෑ ලෝකය නොතකා හැරීම සලකුණු කරන්නා වූ නිගාවකි. එය ඔවුන්ගේ බිය බැතියට හා ජීවිතයට හානිකර වුවකි.
අබ්දුල්ලාහ් බින් අල් ආස් තුමාගෙන් කෙනෙකු නැගූ ප්‍රශ්නයක් මෙසේ සඳහන් වෙයි. “මා මුහාජිරීන්වරුන් (දෙශාන්තරණය කළ ඉස්ලාමිකයෙකු) අතර අසරණයෙක් නොවෙම් ද? එවිට අබ්දුල්ලාහ් බින් අල් ආස් තුමා “ඔබ සමග ජීවත් වන බිරියක් ඔබට සිටිනාවාදැ”යි එම මිනිසාගෙන් විමසීය. ‘ඉන්නවා” යැයි පිළිතුරු ලැබිණි. එතුමා නැවත ඔහුගෙන් “ඔබට ජීවත් වීමට නිවසක් තිබෙනවාදැ”යි විමසීය. “තිබෙනාවා”යැයි ඔහු කීය. “කරුණු එලෙස නම් ඔබ ධනවතුන් අතුරින් කෙනෙක්” යයි එතුමා කීය. “මට සේවකයෙකුත් ඉන්නවා” යයි මිනිසා කීය. මෙහි දී අබ්දුල්ලාහ් බින් අල් ආස් තුමා “එහෙම නම් ඔබ රජෙක්” යනුවෙන් පැවසීය. (මුලාශ්‍රය මුස්ලිම්).     
ස්වයංපෝෂණය සහ බලාපොරොත්තු මත නොපිහිටා තමන් සතු දෙයින් යහපත් ප්‍රයෝජන අත්කර ගැනීම ස්වයං ශ්‍රේෂ්ඨත්වය වෙයි. දුෂ්කර අවස්ථාවන් ජය ගැනීමේ රහස ද එයයි. මහත් සේ ධන සම්පත් පිරිනැමී තිබෙන නිසා පාඩුවක් සිදු වන අවස්ථාවක වුවද එය නොහඟින පුද්ගලයන්ට එවැනි අවස්ථාවක් මැඬ තම වටපිටාවෙන් ප්‍රයෝජන ගන්නට තරම් ආත්ම ශක්තිය හිඟ නම් තමන් සතු දේ වලින් ඔවුන් ඵල නෙළන්නේ ද කලාතුරකිනි. මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (එතුමා කෙරෙහි අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) ප්‍රකාශනයක් (හදීසයක්) මෙම මතය සනාථ කර තිබේ.
“සුර්යෝදයේදී ඒ දෙපස මලක්වරු (සුරදුතයින්) දෙදෙනෙක් එවනු ලබති. මොවුහු මිහිපිට මිනිසුන් අමතා ‘ජනයිනි, ඔබේ පරමාධිපති වෙත පැමිණෙන්න. මන්ද, මඳ සහ ප්‍රමාණවත් බව සුලබ හා විපිළිසර භාවයට වඩා අගනේ යැයි පවසති. එසේම හිරු බැස යන විට මෙම මලක් වරුන් දෙදෙනා අල්ලාහ්ගෙන් මෙසේ අයදිති. ‘යා! අල්ලාහ්, ඔබගේ මාර්ගයෙහි වියහියදම් කරන පුද්ගලයාට වන්දි ගෙවන්න. කුම්මහියා (ලොභියා) වනසා දමන්න”. (වාර්තාව: අබු හුරෛරා - බුහාරි).
පරිත්‍යාගශීලී පුද්ගලයිනට වන්දි ගෙවීමක් පිළිබඳ පොරොන්දුව මෙන්ම ලෝභී මසුරන්ට දඬුවම් කිරීමේ තරවටුවක් ද එම හදීසය (නබි වදන) අවසානයේ සඳහන්ය. එසේ වුවද මෙහි ආරම්භයේ ප්‍රමාණයේ විශාලත්වය මත සුළු බව පිළිබඳ වරණීය සැසදීමක් ද දැක්වෙයි. එහෙත් සැබැවින්ම එය අනවශ්‍ය හා වික්ෂිප්තභාවයට පත් කරන්නා වූ සුලබත්වයට වඩා සුළු හා ප්‍රමාණවත්කම කෙරෙහි දක්වන්නා වූ වැඩි සැලකිල්ලකි.  
පුද්ගලයෙකු ධනවත් බවට පත් කරන සුලබත්වය සීමිත ධන සම්පත් ප්‍රමාණයක් තිබෙනවාට වඩා යහපත්ය. මන්ද එහිදී සෙස්සන්ගේ අවශ්‍යතාවන් හා අයිතිවාසිකම් සඳහා වියහියදම් කිරීමට හැකියාවක් තිබෙන බැවිනි. එසේ වුවද ඉහත සඳහන් හදීසයෙන් ගම්‍ය වනුයේ එම කරුණ නොවෙයි. එහිදී මුඃමින් වරුන්ට (විශ්වාසවන්තයින්ට) අවධාරණය කරනු ලබන්නේ දිළිඳුකම පිළිබඳ බිය සැකයකින් තොරව පරිත්‍යාගවන්ත වන ලෙසයි. මේ ආකාරයෙන් ජීවිතයට සමීප වීම තුළින් මුඃමින් වරයෙකුට සැලකිය යුතු තරම් දිරිය වඩවා ගත හැකි වෙයි. අබු හාෂීම් තුමා “මා සහ රජුන් අතර පවතින වෙනස වනුයේ එක් දවසකි. ඊයේ දවස ගැන සලකනවා නම් ඔවුහු එය තව දුරටත් බුක්ති නොවිඳිති. තවද ඔවුන් සහ මම හෙට දවස ගැන කනස්සල්ලෙන් පසු වෙමු. මේ නිසා සෑම දෙයක් ම අද දවසයි. අද දවස වගේ දෙයක් තිබේ ද?” යනුවෙන් සඳහන් කරයි. සැබැවින්ම ඊයේ දවසත් සමග අතීත සතුට අතුරුදන් වෙයි. එය කිසිවෙකුට නතර කරන්නට නුපුළුවන. හෙට දවස ගැන සලකන කළ හාම්පුතු සහ සේවකයෝ එය පිළිගැනීමෙහිලා එක සමාන හැඟීම් බෙදා ගනිති. මේ අනුව ජීවිතය යන්නෙන් කියැවෙනුයේ අද දවස ගැනයි. සිහි නුවණැත්තෝ එකී දවසේ සීමාවන් තුළ ජීවත් වෙති. ආත්ම දමනයෙන් පසු වන හා ජීවිත අරමුණු දැන සිටින පුද්ගලයා තමාට ම රජෙක් වෙයි. එසේ වුවද එකම විට එක දවසක් තුළ ජීවත් වීම අනාගතය අමතක කළා නොවෙයි. ඒ සඳහා සුදානම් වීම අමතක කළා නොවෙයි. ඇත්තෙන් ම හෙට දවස ගැන සිතුවිලි දරන්න. එහෙත් ප්‍රවේශම් සහිත සිතුවිලි, සැලසුම්කරණය හා සුදානම් වීම අවශ්‍ය වෙයි. එසේ වුව ද පමණ ඉක්මවා මෙම කරුණු පිළිබඳ වෙහෙසට පත් නොවන්න.
අනාගතය ගැන සිතීම හා අනාගතය ගැන  චිත්ත පීඩාවන් ඇති කර ගැනීම අතර විශාල වෙනසක් තිබේ. එමෙන් ම අනාගතය උදෙසා සුදානම් වීම හා අනාගතය ගැන තරමට වඩා වද වීම අතර ද පවතින දවස වැඩි වැඩියෙන් ඵලදායක කර ගැනීම හා හෙට දවසේ ලැබෙන දේ ගැන වියවුලට පත් වීම අතර ද විශාල වෙනසක් තිබේ. හැරෙන හැරෙන අතට නිදහසේ මෙන් ම නාස්තිකාර අන්දමින් වියපැහැදම් කිරීමට එරෙහි ව ඉස්ලාම් අපට අනතුරු අඟවන අතර අරපිරිමැස්ම ගැන දැනමුතුකම් කියා දෙයි. ලෙඩක් දුකකදී වියහියදම් කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්න අවධියේ දී ද මහලු වියෙහි දී වියහියදම් කිරීම සඳහා තුරුණු අවධියේ දී ද යුද සමයක දී වියහියදම් කිරීමට සාමකාමී අවධියේ දී ද ඉතිරි කරන මෙන් ගුරුහරුකම් සපයමින් ඉස්ලාම් මිනිසාගේ අනාගතය සුරක්ෂිත කරයි.  මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (එතුමා කෙරෙහි අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) සමකාලීන මිතුරන්ගෙන් (සහාබිවරුන්) පසුව ජීවත් වූ දෙවන පරම්පරාවේ ‘තාබියීන්වරුන්’ අතුරින් ශ්‍රේෂ්ඨයෙකු වූ සුෆ්යාන් අත්තව්රි තුමා තමාගේ ධනස්කන්ධය ගැන සඳහන් කරන විට “මෙය නොතිබුණා නම් බනු උමය්යා වරු අපව ඔවුන්ගේ අතවැසියන් බවට පත් කර ගන්නට ඉඩ තිබුණි. එනම් එතුමාගේ අවධියේ පාලකයින්ගෙන් තමා ආරක්ෂා වුයේ තමාගේ ධනය නිසාවෙන් බවයි. ඒ නිසා ඒ පිළිබඳ ව අධික ප්‍රශංසාවක් අනවශ්‍ය බවයි.    
යථාර්ථවාදී ලෙස සලකනවා නම් මේ වනාහි ජීවිතයක යහපත් ඵල එක දවසක් තුළ අත් කර ගන්නට පිහිට වන්නා වූ සමීප වීමකි. මන්ද, වත්මන අපේ පාලනය යටතේ පවතී නම් එය සාරවත් අනාගතයකට සාර්ථක අඩිතාලමක් වන නිසාවෙනි. ඩේල් කා(ර්)නගීගේ අදහස දෙසට අපගේ අවධානය යොමු කරමු.
“මා දැන සිටින අන්දමට මානව ස්වභාවයන් අතරින් ඛේදනීය කාරණයක් නම් අප සියලු දෙනාම ජීවිතය පස්සට කල් දමන්නට නැඹුරු වීමයි. අපේ ගෙදර ජනේලයෙන් පිට පිපී තිබෙන රෝස මල දැක සතුටු වනවා වෙනුවට දිගන්තයේ ඇති මායාකාරී රෝසමල් යායක් ගැන සිහින මවන්නට අපි සියලු දෙනාම නැඹුරු වී සිටීම ය.”
ස්ටීවන් ලීකොක් මෙසේ ලියයි.
“අපගේ ජීවිතය සුළු දෙයක් වීම මොන තරම් අමුත්තක් ද? ‘මා ලොකු කොලුවෙකු වුණහම...යැ’යි දරුවෙක් කියයි. නමුත් ඇත්ත කුමක් ද? ‘මා වැඩිහිටි මිනිසෙකු වුණහම ....යැ’යි ලොකු කොලුවෙක් කියයි. ‘මා විවාහ වුණහම ....යැ’යි වැඩිහිටි මිනිසා කියයි. ඉතින්, විවාපත් වුවා ට පසු කුමක් ද? ‘මට විශ්‍රාම යන්නට හැකි වුණහම ... යනුවෙන් එය වෙනස් වෙයි. විශ්‍රාම ගැනීමෙන් පසු තමන් ඒතාක් කර තිබෙන ගමන ගැන ප්‍රත්‍යාවලෝකනය කර බලමු. එක්තරා සීතල සුළඟක් ඉස්මත්තෙන් හමා යනවා මෙන් දැනේවී.  කෙසේ නමුදු හෙතෙම ඒ සියල්ල අතපසු කළේය. එය සමාප්ත විය. අප බෙහෙවින් ප්‍රමාද වී ඉගෙන ගන්නා දෙයක් නම් ජීවිතය වනාහි එහි සෑම හෝරාවක් ම එහි සෑම දවසක් ම ජීවත් වීම සඳහා තිබෙන්නක් බවයි.” (How to Stop Worrying and Start Living - ඩේල් කා(ර්)නගී - 24 වැනි පිටුව).
අතෙන් මිටෙන් ගිලිහී යන්නට ඉඩ හරිමින් ජීවිතය නාස්ති කර ගත් පුද්ගලයින් ගැන උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
“අවසන් හෝරාව එළඹෙන දවසේ පව්කාරයෝ තමන් එකම හෝරාවක් මිස (ඊට වඩා) ජීවත් නොවූ බවට දිවුරති.” (අල් කුර්ආනය 30 : 55)
“එක් දිනෙක සැන්දෑවක් හා උදෑසනක් තරම් කාලයක් පමණක් තමන් ජීවත් වුවා සේ ඒ දවසේදී ඔවුන්ට දිස් වන්නේය.” (අල් කුර්ආනය 79 : 46)
 
ජීවිත අභියෝග ජය ගනිමු - 3

සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් ඉංග්‍රීසි බස හසුරුවන පාඨකයින් උදෙසා රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්‍රන්ථය මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා අතර ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වය ට පත් වු ග්‍රන්ථයකි. මෙවන් ග්‍රන්ථ හේතුවෙන් ජීවිත අභියෝග දෙස විමසීමට බටහිර චින්තනය දෙසට නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට තිබුණි. නමුත් ජීවිතයේ සැබෑ හරය අවබෝධ කර ගැනීමට මෙන්ම ඒවායින් නිරතුරු ව මතු වන ගැටලු හා අභියෝග ජය ගැනීමට ඇති සුදුසු ම ඉගැන්වීම් ඉස්ලාමීය මුලාශ්‍රයන් හි අන්තර්ගත වී ඇත. එහෙයින් මෙම මාතෘකාව පදනම් කර ගනිමින් සුප්‍රකට ඉස්ලාමීය විද්වතුන්ගේ ලේඛනයන් හි අන්තර්ගත කරුණු මෙම ලිපි සකස් කිරීමේදී ප්‍රයෝජනයට ගෙන ඇත්තෙමු. මෙම ලිපි මාර්ගයෙන් ඉස්ලාමීය පදනමකින් ජීවිතය දෙස බැලීමට දිරි ගැන්වීම මෙහි අරමුණයි. සිංහල අනුවාදය සකස් කිරීමට සහය වුයේ එස්. එම්. නෞෆර් මහතායි.
ස්ථීරත්වය උදාසීනත්වය හා මායාව
ඔබගේ ජීවිතයට තර්ජනයක් ගෙන දෙන ව්‍යසනයකට ලක් වී සිටින අවස්ථාවක ඔබ කුමක් කරන්නෙහි ද? භයංකරත්වයට ජය ගන්නට ඉඩ හරිමින් ජීවිත කුණාටුව විසින් ඔබ ව දුරස්ථ තැනකට ඩැහැ ගෙන යන්නට ඉඩ දෙන්නෙහි ද? නොඑසේනම් ඔබ මෙම දුර්භාග්‍ය සම්පන්න තත්ත්වය තුළ නොබිය ව නොසැලී සිටිමින් සම්මා සංකල්පනාවන්ගෙන් මඟ පෙන්වනු ලැබීමෙන් සුරක්ෂිත මාර්ගය සොයා ගන්නට තැත් කරන්නෙහි ද?
කල්කටාවේ සිට දිල්ලි බලා යාම සඳහා ක්‍රම කිහිපයක් අනුගමනය කළ හැකිය. එක් ක්‍රමයක් දුම්රියෙනි. නැතිනම් බස් රියෙනි. එසේත් නැතිනම් ගුවනිනි. මේ ක්‍රම අතුරින් අපට වඩාත් ම ගැළපෙන ක්‍රමය තෝරා ගැනීම අප සතු වගකීමකි. අප මේ අතුරින් කුමන ක්‍රමය තෝරා ගත්ත ද අප යන ගමන පිළිබඳ අංශු මාත්‍රයක හෝ සැකයක් අප තුළ නොතිබිය යුතුය. අප යන බස් රිය හෝ මෝටර් රථය අතරමඟ පෙරළෙයිද? දුම්රිය පීළි පනියිද? ගුවන් යානය අනතුරකට පත් ව කඩා වැටෙයි ද? මේ සියල්ල සෘණාත්මක සිතිවිලිය. මෙබඳු සෘණාත්මක සිතිවිලි වලට අප අපගේ සිත් හතර මායිමේ පස් පෑගීමට හෝ ඉඩ නොදිය යුතුය.
“අල්ලාහ් නුඹට යම් විපතක් ස්පර්ශ කළහොත් එය ඉවත් කරන්නෙකු ඔහු හැර නැත. ඔහු නුඹට යම් යහපතක් සිදු කළහොත් ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.” (අල් කුර්ආන් 6 : 17)
“අල්ලාහ් නුඹට යම් විපතක් ස්පර්ශ කළහොත් එය ඉවත් කරන්නෙකු ඔහු හැර නැත. නුඹට යම් යහපතක් (අල්ලාහ්) අපේක්ෂා කරන්නේ නම් ඔහුගේ යහපත වළක්වන්නෙකු නොමැත. එය තම ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට ඇති කරන්නේය.තවද ඔහු අති ක්‍ෂමාශීලීය. පරම කරුණාභාරිතය.” (අල් කුර්ආන් 10 : 107)
“අල්ලාහ් (තම) දයාලුභාවය ජනයිනට විවෘත කළහොත් එය වැළැක්විය හැකි කිසිවෙකු නොමැත. ඔහු (තම දයාලුභාවය) වළක්වා ගතහොත් ඉන් පසු එය දිය හැකි කිසිවෙකුත් නැත. ඔහු අති බලසම්පන්නය. සර්ව ප්‍රඥාවන්තය.” (අල් කුර්ආන් 35 : 2)
සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ ඕනෑම කටයුත්තක් කිරීමේ දී ඒ පිළිබඳ ව දළ සැලසුමක් අප සතු විය යුතුය. එය ජයග්‍රහණයේ ප්‍රබලතම සාධකයයි. මිනිසුන්ගේ ජීවිත වලට ජයග්‍රහණය රැගෙන එන්නේ අධිෂ්ඨානශීලී බලාපොරොත්තු මගින් බව හොඳින් සිහි තබා ගන්න. කිසියම් දරුවෙකු විද්‍යා විෂයයන් සඳහා සැබෑ කැමැත්තක් හා දක්ෂතාවක් දක්වයි නම් ඒ සඳහා මනා කැපවීමෙන් කටයුතු කොට වෛද්‍ය විද්‍යාලයට තේරී පත් විය හැකි වනු ඇත. අවසානයේ වෛද්‍යවරයෙකු වී මහත් සේවයක් කළ හැකිය. පෞද්ගලික දියුණුව ද අත්පත් කර ගත හැකිය. එහෙත් මතක තබා ගත යුතු දෙයක් තිබේ. කිසියම් පුද්ගලයෙකුගේ අනාගත සාර්ථකත්වය සඳහා වෛද්‍යවරයෙකු හෝ එබඳු ඉහළ තලයේ රැකියාවක් කළ යුතුම නැත. ඇතැම් විට ඒ වෙනුවට ඔබට ස්වයං රැකියාවක් ආරම්භ කළ හැකිය. ඒ මඟින් ජීවිතය සාර්ථක කර ගත හැකිය. රජය මගින් රැකියා ලබා දෙනතුරු බලා නොසිට විවිධ සුළු ව්‍යාපාර ස්වයං රැකියා ආරම්භ කොට ජීවිතයේ අති සාර්ථකත්වයට පත් වූ මිනිසුන් ඕනෑ තරම් අපට මුණගැසී ඇත. මිනිසුන් සෑමදෙනෙකුම කුමක් හෝ දක්ෂතාවක් හැකියාවක් සහිතව මෙලොවට ජනිත වෙති. අප උත්සුක විය යුත්තේ කුමකට ද? අප සතු එම දක්ෂතාව වටහා ගැනීමටය. ඉන් පසු වඩාත් කැපවීමෙන් එම හැකියාව වැඩි දියුණු කර ගැනීමටය. මේ ආකාරයට ඔබ සතු හැකියාව වටහා ගෙන එය වැඩි දියුණු කර ගැනීම මගින් අනාගත සාර්ථකත්වය ළඟා කර ගත හැකිය.
බිය සහ බයාදුකම වනාහි මිනිසෙකුගේ දියුණුවට එරෙහි මහත් බාධකයකි. අපි අපගේ ජීවිතයේ දී නිරන්තරව එළැඹිය හැකි අනතුරු පිළිබඳව සිතන්නේ ඇයි? එසේ වන්නට හේතුව අපගේ සිත් නිරන්තරව පෙළන සෘණ සිතුවිලි නිසාය. මෙබඳු මාර්ග බාධක සිත තුළින් මුලිනුපුටා දැමීමට ඔබ මේ දැන්ම උත්සාහ දැරිය යුතුය. ඔබේ සිතට එන එබඳු හැඟීම් වහා වසා දමන්න.
ජේම්ස් ඇලන් මෙසේ කියයි. “සිහින දකින්න. උදාර සිහින දකින්න. ඒ සිහින අනාගතයේ දිනෙක ඔබ සොයා පැමිණෙනු ඇත”. ඔබේ දර්ශනය විය යුත්තේ කිසියම් දිනෙක ඔබේ අදහස් යථාර්ථයක් බවට පත් කර ගැනීමය. නිරන්තරයෙන් ඔබේ අදහස් මුදුන් පමුණුවා ගැනීමට නොනිමි උත්සාහයයේ නියුක්ත වන්න. ඔබේ අරමුණ මත කක්ෂගත වන්න. පාපන්දු ක්‍රීඩාව පිළිබඳ මඳක් සිහිපත් කරන්න. පාපන්දු ක්‍රීඩාවේ ජයග්‍රහණය රැඳී ඇත්තේ පන්දුව නිවැරදි එල්ලයට ගෝලය මත පතිත කිරීම මතය. එසේම ඔබේ අරමුණ ද නිවැරදි ව ගෝලය මත පතිත කරවන්න. පාපන්දු ක්‍රීඩකයෙකු පන්දුව ගෙන ගෝලය කරා ළඟා වෙද්දී ප්‍රතිවාදීන් ඔහු ව වළක්වනු ඇත. එහෙත් ක්‍රීඩකයාගේ අරමුණ ගෝලයයි.
මම ඔබට කතාවක් කියමි. එංගලන්තයේ එක් අඹුසැමි යුවළක් වුහ. ඔවුනට දෙනෙත් බඳු වූ දරු පැටියෙකු ද විය. මේ දෙමාපියන්ට ඇවැසි වුයේ මේ කුඩා දරු පැටියා කෙදිනක හෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකු කිරීමටය. ඔවුන් ඒ සඳහා මේ කුඩා දරු පැටියාට මහත් වෙර වෑයමින් ඉගැන්වුහ. දරුවාගේ පාසැල් අධ්‍යාපනයට අමතර ව පෞද්ගලික ගුරුවරුන් යොදවමින් ද දරුවාට අධ්‍යාපනය පෙවීමට මහත් සේ විය පැහැදම් කළහ. ඒත් දරුවාගේ සිත අධ්‍යාපනය කෙරෙහි එතරම් යොමු නොවිණි. මෙය දෙමාපියන්ගේ අතිශය කනගාටුවට හේතු විය. දරුවාගේ අවධානය වැඩි වශයෙන් යොමු වී තිබුණේ පාපන්දු ක්‍රීඩාව කෙරෙහිය. ඔහු පාපන්දු ක්‍රීඩාවේ අතිශය දක්ෂයෙකු විය.
දිනක් ලන්ඩනයේ වෙම්බ්ලි නගරයේ පාපන්දු ක්‍රීඩා තරඟයක් පැවැත්විණි. තරඟය පැවැත්වුයේ එංගලන්තයත් ස්කොට්ලන්ත යත් අතරය. මේ දෙමාපියන් දෙදෙනාගේ එකම පුත්‍රයා ද එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරඟයට සහභාගී විය. තරඟය ආරම්භ විය. මේ දෙමාපියන් දෙදෙනා ද සිය පුත්‍රයා සහභාගී වූ තරඟය නැරඹීමට වෙම්බ්ලි ක්‍රීඩා පිටියට ගොස් සිටියහ. ක්‍රීඩා ලෝලීන් දහස් සංඛ්‍යාත පිරිසකගේ උද්දාමය මත සිය පුත්‍රයා ගෝල් ලබා ගන්නා ආකාරය දෙමව්පියෝ බලා සිටියේ මහත් වූ අභිමානයෙනි. ක්‍රීඩා පිටිය පුරාම නැගුනේ එකම ඔල්වරසන් හඬකි.
“රූනී ගෝලයක් ගන්න. රූනී ගෝලයක් ගන්න”. සිය අසුන් වලින් නැගිට එක හඬින් එලෙස ක්‍රීඩා ලෝලීන් හඬ නගත් දී දෙමාපිය දෙදෙනාගේ දෑස් කඳුළින් තෙත් වී ගියේය. ගෙවී ගිය වසර කිහිපය පුරා ඔවුන් තම පුත්‍රයාගේ අධ්‍යාපනය වෙනුවෙන් මහත් සේ විය පැහැදම් කළහ.ඒත් ඔහු හරියට ඉගෙන ගත්තේ නැත. නමුදු ඔහු වෙනත් අංශයකින් විශිෂ්ටයෙකු විය. එහි සැබෑ අගය එම දෙමාපියන් වටහා ගත්තේ වෙම්බ්ලි ක්‍රීඩා පිටියේදීය.
අප හැම දෙනෙකු තුළම කුමන හෝ දක්ෂයෙකු සැඟ වී සිටියි. විය යුත්තේ ඒ දක්ෂයා අවදි කරලීමයි. දෙමාපියන් තම දු දරුවන් ස්වකීය සිහිනයන් හි ගොදුරු බවට පත්කරනවා වෙනුවට ඔවුන්ගේ සැබෑ හැකියාවන් අවබෝධ කර ගෙන ඊට දිරි දිය යුතුය.
ඇතැම් දෙනා ජීවිත කාලය විවිධ යුග වලට බෙදති. මතක තබා ගන්න. වාසනාවන්ත දවස් හා අවාසනාවන්ත දවස් කියා දෙකොටසක් මේ ලෝකයේ නැත. වැදගත් වන්නේ උදා වන දවස් කෙරේ ඔබ බලන දෘෂ්ටියයි. ඔබ ධනාත්මක මනසක් සහිත පුද්ගලයෙකු නම් හඳහන් කේන්දර පසෙක තබන්න. හඳහන් කේන්දර යනු අති උතුම් අල්ලාහ්ගේ කෝපයට ලක් වන ක්‍රියාවන් ය. සෑම දවසක්ම සෑම මොහොතක්ම වාසනාවන්ත මොහොතකැයි සිතන්න.
නැපෝලියන් බොනපාට් මෙසේ පවසා ඇත. “නියම ඥානවන්තකම වනාහි ස්ථීරසාර වූ ධෛර්යවන්තකමකි. එබඳු ස්ථීරසාර ධෛර්යවන්තකමක් ඇති තැනැත්තා තාවකාලික පරාජයන් කිසි විටෙකත් තුට්ටුවකටවත් මායිම් නොකරයි”.
ඔබ කිසියම් ක්ෂේත්‍රයක ප්‍රවීණයෙකු වීමට අදහස් කරන්නේ නම් මහත් කැපවීමෙන් යුතුව එම ක්ෂේත්‍රයේ නියුතු වීම අතිශය වැදගත් වේ. ඒ සඳහා අවස්ථාව එනතුරු බලා සිටීම මෝඩකමකි. අවස්ථාවන් නිර්මාණය කිරීම ඔබගේ වගකීමක් බව සිතන්න. එබැවින් නිරන්තරයෙන් අවස්ථාවන් තනා ගන්න.
ජීවිතය මටසුමටු මාර්ගයක් ඔස්සේ වැටී නොමැත. කඳු හෙල් පල්ලම් හා බාධක ආදියෙන් මෙම මාර්ගය අලංකාර කොට ඇත. තරණය කිරීමට දුෂ්කර තත්ත්වයක් ඇති වූ විට ඔබ කුමක් කරන්නට අදහස් කරන්නේ ද? ඩේල් කා(ර්)නගී මෙසේ විමසයි.
1.    ඔබගෙන් ම විමසා ගන්න. “සිදුවිය හැකි නරක ම දෙය කුමක් ද?”
2.    එය භාර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදානම් වන්න. ඉන් පසු නරක ම දෙය ඔස්සේ වඩාත් යහපත් වන්නට සන්සුන් ලෙස ක්‍රියා කරන්න.
මෙම ක්‍රමවේදය දහමට හා බුද්ධියට අනුකුලය. දුර්භාග්‍යයන්ට මුහුණ දෙමින් තම ගරුත්වය ට කිසිසේත් හානියක් නොවන පරිද්දෙන් ඒවා ජය ගැනීම සඳහා මිනිසුන් දක්වන උනන්දු ව විදහා දක්වන නිදසුන් රාශියක් අරාබි සාහිත්‍යයෙහි දක්නට ඇත. විලිස් කැරියර් මෙසේ පවසයි. “අර්බුද හට ගන්නා අවස්ථා වල සිත යටින් සිය අභ්‍යන්තරයේ හාත්පස බලා ආවේග පාලනය කර ගන්නා වූ පුද්ගලයා අවසානයේ ජයග්‍රහණය අත් කර ගන්නා බවට කිසිදු සැකයක් නොමැත”.
අර්බුද වලට මුහුණ දෙන අවස්ථාවේ කලබලයට පත්වීමෙන් හෝ ඉන් පලා යාමෙන් ඔබට කිසිදු සෙතක් නොසැලසෙයි. මන්ද, පෙර සැලසුම් කෙරුණු කිසියම් සිද්ධියක් සිදු වීම ප්‍රමාද කරවන්නට එමඟින් නුපුළුවන් බැවිනි. මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි අති උතුම් අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) මෙසේ සඳහන් කළහ. “සැබෑ ඉවසිලිවන්ත භාවය දරුණු විපත්තියක දී දරනු ලබන්නක් වෙයි”. (බුහාරි)
මිනිසෙකුට යම් යම් දරුණු විපත් එළඹෙන්නට පුළුවන. මරණය බලාපොරොත්තුවෙන් සිටින්නාක් මෙන් විපත්ති ද කල්තියාම අපේක්ෂා කරමින් තැවෙන්නට පුළුවන. කඩින් කඩ ඇති වන මෙම කනස්සල්ල හේතුවෙන් ඔහුට ආහාර අරුචිය පවා දැනෙන්නට පුළුවන. ඇත්ත වශයෙන් ම නවනින්දාව අසරණ භාවය හෝ නිවට නියාලු භාවයට පත්වීම පිළිබඳ භීතියට වඩා කවදත් දිළින්දෙකුව පසුවීම යෙහෙකි.
මෙය නම් බරපතළ වරදක් වෙයි. මන්ද, නිසි මඟ පෙන්වනු ලැබූ මුස්ලිම්වරයෙකු උපකල්පනය කරනුයේ තමාට සිදු විය හැකි නරකම සිද්ධියට කලින් ම එය සිදු ව ඇතැයි කියාය. මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි අති උතුම් අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) මෙසේ පැවසුහ. “සැබෑ විශ්වාසවන්තයෙකු (මුඃමින් වරයෙකු) සඳහා ඇති උදාහරණය නම් ළපටි පැළෑටියකි. සුළඟ කවර දිශාවකින් හැමුවත් එය නැවෙයි. සුළඟ අඩු වී යන විට එය යළිත් කෙළින් සිටියි. එසේම බැතිමතෙක් උවදුරු වලින් පෙලෙයි. එහෙත් අල්ලාහ් එම උවදුරු ඉවත් කරන තාක් හෙතෙම ඉවසිලිවන්ත ව පසුවෙයි. නමුත් දුසිල්වත් නපුරු මිනිසා පයින් (pine) ගසක් මෙනි. අල්ලාහ් සිය කැමැත්තෙන් කපා හෙළන තාක් එය කෙළින් දැඩි ව සිටියි”. (බුහාරි)
තවද එතුමාණෝ “මුස්ලිම්වරු යම් යම් දුක් කරදර වලින් පෙලෙන්නෝය. නමුත් ඒවා මීට පෙර විඳ දරා ගන්නට සිදු වූ තරම් ඒවා නොවේ. ඇත්ත වශයෙන්ම ජීවිතාන්තය දක්වා තමාගේ (නබි තුමාගේ) ජීවිතය නබි හිතවතුන්ට සහ ඉන් පසු පැමිණෙන සියලුම මුස්ලිම් වරුන්ට අස්ථානගත කළ නොහැකි ආශීර්වාදයක්” යැයි ද පැවසුහ.
සාමාන්‍යයෙන් මිනිසෙක් තමා බෙහෙවින් ප්‍රිය කරන දෙයක් අහිමි කර ගන්නට හෝ වේදනීය පීඩාවන්ට මුහුණ දීමට හෝ බිය වෙයි. එනමුදු මෙම උවදුරු දෙකම සිදු වූවාට පසු එතරම් දොම්නසකින් තොරව ඒවා භාර ගැනීමට කටයුතු කරයි.  ඩේල් කා(ර්)නගී අපට මෙසේ විස්තර කරයි. ව්‍යවහාරික මනෝ විද්‍යාවේ පියා වන මහාචාර්ය විලියම් ජේම්ස් සිය ගෝලයන් අමතා “එය ඒ ආකාරයෙන්ම භාර ගන්නට කැමති වන්න. එය ඒ ආකාරයෙන්ම භාර ගන්නට කැමති වන්න. මන්ද, දුර්භාග්‍යය භාර ගැන්ම එමගින් සිදු වන හානිකර දේ ජය ගැනීමේ පළමුවැනි පියවරයි”. චීන දාර්ශනිකයෙකු වූ යු ලින් යුතාන් තම ‘ජීවත් වීමේ වැදගත්කම’ (Importance of Living) නම් කෘතියේ මෙසේ සඳහන් කරයි. ‘සැබෑ චෛතසික සාමය ඇති වනුයේ සිදු විය හැකි නරක ම දෙය පිළිගැනීම තුළිනි. මා මෙය මනෝ විද්‍යාත්මක වශයෙන් අදහස් කරනුයේ ශක්තිය මුදා හැරීමක් වශයෙනි’. මෙහි කිසියම් ඇත්තක් තිබෙනවා නොවේද? එනමුත් ලක්ෂ සංඛ්‍යාත දනෝ නරක ම දේ පිළිගැනීම පිළිකෙව් කළ හේතුවෙන් සැඩ පරුෂ කලහකාරිත්වය තුළ ජීවිතය විනාශ කර ගත්හ. නරක ම දේවල් තුළින් යහපත සලසා ගැනීමට තැත් කිරීම ප්‍රතික්ෂේප කළහ. තම වාසනාව යළි ගොඩ නගා ගන්නට උත්සුක වනවා වෙනුවට ඔවුහු අමිහිරි හා ප්‍රචණ්ඩකාරී තරඟකාරීත්වයක අත්දැකීම් වලට සම්බන්ධ වුහ. අවසානයේදී හිස ගිය අතේ කල්පනා කරන විෂාදතාව නම් වූ ඔල්මාද තත්ත්වයට එනම් මෙලන්කෝලියාවට ගොදුරු වුහ.
ඉස්ලාමීය දෘෂ්ටිකෝණයෙන් කායික පරාජයන් හා අසමත් අතීතයන් හේතුවෙන් ශෝක වීම හෝ වෙහෙසකර විලාප නැඟිලි වනාහි අති උත්තරීතර අල්ලාහ් ගැන දක්වන අවිශ්වාසය හුවා දක්වන්නකි. ඔහු විසින් නිර්ණය කළ ඉරණම සහ දෛවයට අමනාපය දැක්වීමකි. ඊමාන් (බිය බැතිය) සම්බන්ධ විෂයයෙහිලා මේ සියලු විඳවීම් අමතක කොට දමා අඩු පැතුම් හා බලාපොරොත්තු ද වැඩි කටයුතු හා අධිෂ්ඨානයන් සහිතව ද ඉදිරියට යාම අවශ්‍ය වෙයි. අති උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි.
“විශ්වාස කළවුනි! නුඹලා ප්‍රතික්ෂේප කළවුන් මෙන් නොවවූ. ඔවුහු (ප්‍රතික්ෂේපකයින්) තමන්ගේ සහෝදරයින් දෙස බලා ඔවුන් මිහිතලයේ සැරි සරණ විට හෝ සටනට පිටවුවන් ව සිටින විට හෝ ‘ඔවුන් අප අතරම සිටියේ නම් ඔවුන් මරුමුවට පත්වන්නේ ද නැත. ඝාතනය කරනු ලබන්නේ ද නැතැ’යි පවසති. මෙය ඔවුන්ගේ හදවත් තුළ අල්ලාහ් කනස්සල්ලක් ඇති කරනු පිණිසය. ජීවය ලබා දෙන්නේත් මරණයට පත් කරවන්නේත් අල්ලාහ් ය. සැබැවින් ම නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව සුපරීක්ෂාකාරීය.” (අල් කුර්ආන් 3 : 156)
අගහිඟකම් පවතින  අවස්ථාවක සිඟා කන්නට හෝ බැගෑවෙන් අයදින්නට නොපෙලඹෙන පුද්ගලයා සම්පුර්ණ ස්වෛරිත්වයේ පළමු උදාහරණය වශයෙන් දක්වන්නට පුළුවන. සැබැවින් ම පුද්ගලයා තමන්ට නොමැති දේවල් සම්බන්ධයෙන් තණ්හාවට වහල් වන විට එය ඔහුගේ පෞරුෂයේ අති විශාල කඩාවැටීමක් ඇති කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ ඊමානයේ (විශ්වාසයේ) පිරිමැසිය නොහැකි පාඩුවක් සිදු වෙයි.
අනුන්ගේ ආපදාවන් හි විරිත්තමින් සතුටට පත්වන සමහරෙක් සිටිති. එවන් ආපදාවන් තමන්ට ම එල්ල වන විට මොවුන්ට රිදෙන්නට ගනියි. නොසැලකිලිමත් පුද්ගලයෙකුට මඟ වැරදුණු උණ්ඩයක් එල්ල වුණු කලෙක මෙනි. එහෙත් දුෂ්කර අවස්ථා වල පවා පිළිපැදීමට සුදුසු නිදසුන් වශයෙන් මේවා සැලකිල්ලට ගත යුතු නොවෙයි. සැබැවින් ම පුද්ගලයාගෙන් පුද්ගලයාට වේදනා මට්ටම මහත් සේ වෙනස් වෙයි. එහෙත් අවස්ථාවේ හැටියට හැඩ ගැසෙන විට ඔහුගේ වේදනාව සංසිඳෙන්නට පටන් ගනියි. එම නිසා පරිපුර්ණත්වය සොයන උදවිය ගෞරවාන්චිත ලෙස තම අගයයන් රැක ගෙන සන්සුන් ලෙස පසුවීම අවශ්‍ය වෙයි.
පිළිකාවෙන් පෙළෙන්නේක්ගේ කතාව ඩේල් කා(ර්)නගී ඉදිරිපත් කරයි. එම රෝගියාගේ මරණය සිදු වන කාලය ද ඔහුගේ වෛද්‍යවරුන් තීරණය කර තිබුණි. අවසන් කටයුතු සඳහා ද සුදානම් වන මෙන් ඔවුන් රෝගියාගේ ඥාතීන්ට දන්වා තිබුණි. රෝගියා මේ බව දැන සිටියේය. අර්ල් පී. හානි (රෝගියා) අවසන් තීරණයකට එළැඹුණේය. ඔහු තමාට මෙසේ කියා ගත්තේය. “අර්ල් හානි මේ බලන්න. මරණය අත් දකිනවා හැර නුඹට ඉදිරියේදී කිසිම දෙයක් නොමැති නම් ඔබට ඉතිරි වී ඇති සොච්චම් කාලයෙන් උපරිම ප්‍රයෝජනය නෙළා ගන්න. මියැදෙන්නට පෙර ලෝකය පුරා ඇවිදින්නට ඔබට ඕනෑ වුණා නොවේද? ඉතින් කවදා හරි එය කරනවා නම් දැන් කරන්න.”
හේ සංචාරක බලපත්‍රයක් මිල දී ගත් අවස්ථාවේ ඔහුගේ වෛද්‍යවරු ඔහු ගැන මහත් සේ කනගාටුවට පත් වුහ. ඔහුගේ අදහස අනුව ක්‍රියා කරන්නේ නම් ඔහුට මුහුදේ ම මිහිදන් වීමට සිදු වනු ඇතැයි අනතුරු ඇඟවුහ. “නැහැ! එහෙම වෙන්නේ නැහැ”යි හානි පිළිතුරු දුන්නේය. “නෙබ්‍රස්කාවේ බ්‍රෝකන් බෝ නමැති මගේ ගමේ පිහිටා ඇති පවුලේ සුසාන භූමියේ ම මා මිහිදන් කරනු ලබන බව මම මාගේ ඥාතීන්ට කියා තිබෙනවා”.  මේ අනුව ඔමර් ඛයියාම්ගේ කවියක ජීවය කා වැදී හෙතෙම සිය ගමන පිටත් විය. ඔමර් ඛයියාම්ගේ කවිය මෙසේය.
“දුවිල්ලක් ලෙස අප ද, පල්ලම් බසින්නට පෙරාතුව දැන් ශේෂ වී ඇති කාලයෙන් නෙළමු ඵල උපරිමයෙන්. සුරා හිරි අනුකරණ ආදියෙන් තොරව අවසානයෙන් දුවිලි මත දුවිල්ලේ - දුවිල්ල යටයි නිදියන්නේ”.
මහත් සේ විනෝදයෙන් පසුවෙමින් ගමන ආරම්භ කළ හානී ටික කලකින් සිය බිරියට මෙසේ ලීවේය. “මම ටිකෙන් ටික ක්ෂාර කුඩු (alkaline) හා උදර බටය (stomach pump) නැවත් වීමි. සෑම වර්ගයේම කෑම අමුතුම දේශීය ආහාර වර්ග සහ ජීවිතයට හානිකරයැ’යි වෛද්‍යවරු පැවසු ආහාර වර්ග අනුභව කළෙමි. වසර ගණනාවක් නොලද තරමට මේ කාලය තුළ විනෝද වුයෙමි. ජීවිතයේ කවරදාකවටත් වඩා මට සනීපයක් දැනුණි. මම නැවත ව්‍යාපාරික කටයුතු වල නිරත වුයෙමි. එවක් පටන් කිසිම දාක අසනීපයක් නොවැලඳුනි”.
තමාගේ වේලාව ළං වූ බව මෙම පුද්ගලයා දැන සිටීය. එතෙකුදු හෙතෙම මරණයට බිය නොවීය. දුක්කරදර ජය ගැනීමෙහිලා මානසික විනෝදාස්වාදයන්ගෙන් බලපෑමක් සිදු වන බව අපි ප්‍රතික්ෂේප නොකරමු. එසේම ජීවිතයේ බොහෝ පළිබෝධයන් පරාජය කිරීම සඳහා මානසික ශක්තිය අවශ්‍ය බව ද ප්‍රතික්ෂේප නොකරමු. කෙසේ වෙතත් ජීවිතය අවසන් වීමට පෙරාතුව කෙනෙකුගේ සියලුම ආශාවන්ට ඉඩ හැරීම සම්බන්ධයෙන් ඛය්යාම්ගේ පද්‍යයන් පෙලඹවීමක් වශයෙන් යොදා ගනිමින් මරණය යථාර්ථයක් නොවන්නක් ලෙස විශ්වාස කිරීමෙහිලා පවතින බරපතළ වරද කෙරෙහි අවධානය යොමු කරවන්නට කැමැත්තෙමු.
පොදුවේ මෙම වැරදි වැටහීම ලොව පුරාම පවතින්නකි. එහෙත් සත්‍යය වනුයේ මිහිතලය මත වූ ජීවිතය යනු මරණින් පසු ඇති සදාකාලික ජීවිතයක පුර්ව අවධිය බව අප සැවොම අවබෝධ කර ගත යුතුය. සැබැවින් ම අපගේ වත්මන් ජීවිතය හුදෙක් ම විනෝදාස්වාදයක් සහ කෙළි සෙල්ලමක් පමණක් බව සැලකීම අවශ්‍ය වෙයි. අති උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
“මෙම ලෞකික ජීවිතය පුහු විනෝදයක් හා කෙළිදෙළක් මිස නැත. තවද සැබැවින් ම මතු ලොව නිවහන එයම (සැබෑ) ජීවිතය වන්නේ. (මේ පිළිබඳව) දැන සිටියාහු නම්! (අල් කුර්ආන් 29 : 64)
මරණය යනු ‘නොපැවැත්මෙහි ආරම්භය’ වශයෙන් බොහෝ දෙනෙකු විසින් පතුරුවනු ලබන මතය ද මායාවකි. යම් යම් පුද්ගලයින් මෙලෝ ජීවත් වීමේ ආශාව නැති කර ගෙන සිය දිවි නසා ගැනීමට පොලඹවන්නේ මෙම භෞතිකවාදී ආකල්පයයි. මොවුහු මෙම ආතතිය නිසාම පීඩාවට පත් වෙති. කාංසාවට ද පත් වෙති. මෙම හැඟීමෙන් මිදෙන්නට ඔවුන් ට මරණය හැර වෙන කුමක් තිබේද?
කලක් පුරාවට විඳ දරා ගත් භය භ්‍රාන්තිය හැර ඔවුන් තුරන් කර ගන්නට අදහස් කළ ප්‍රාණයෙහි ඒ සා වෙනසක් නොවූ බව දැන ගත්තා නම් යහපත නොවේද?  භය භ්‍රාන්තියෙන් තමන් ට නිදහස් විය හැකිය යන සත්‍යය සිහි නුවණින් දැන වටහා ගත්තා නම් හොඳ නොවේද? මරණින් මතු මනුෂ්‍ය ජීවිතයේ වෙනත් පැවැත්මක් තිබේ.
ස්වකීය මරණාසන්න මොහොත ළං  ළං ව තිබියදී අබු හමීද් අල් ගස්සාලි තුමා තමන්ට අලුත් වස්ත්‍ර සපයන මෙන් ඇතැම් හිතවතුන්ගෙන් ඉල්ලා සිටි බව සඳහන් වෙයි. “වස්ත්‍ර අවශ්‍ය කුමකටදැ”යි මිතුරෝ විමසුහ. “ඒවා ඇඳ පැලඳ රජතුමන් බැහැදැකීම සඳහා” යැයි පිළිතුරු ලැබුණි. අලුත් ඇඳුම් සපයන ලදී. ඒවා රැගෙන කාමරය තුළට පිවිසි ගස්සාලි තුමා ආපසු නොපැමිණියේය. ඒ ගැන විපරම් කර බලන්නට කාමරයට ඇතුළු වූ මිතුරන්ට දකින්නට ලැබුණේ එතුමා මියගොස් සිටි බවයි. මෘත දේහයේ හිස සමීපයේ පද්‍ය කිහිපයක් සහිත සටහනක් දක්නට විය. එය එතුමාගේ අදහසක් ද නැති ද කවරක් වුව ද මරණින් මතු ජීවිතය පිළිබඳ වඩාත් ආගමික වූ විවරණයක් එහි අඩංගු විය.
වරෙක භෞතිකවාදී ලේඛකයෙකුගේ ලිපියක් මවිසින් කියවා තිබේ. මානව වර්ගයාගේ සමස්ත අනාගතය ම නිෂ්ඵල අන්දමින් අවසන් වන බව උපකල්පනය කරමින් රැහැය්යෙකුගේ මරණය සිදු වන මොහොත ගැන හෙතෙම විස්තර කරයි. එනම් මිනිස් ජීවිතය ද  රැහැය්යාගේ මෙන් සියල්ල අමතක කොට නොපැවැත්මේ තත්ත්වය තුළ අවසන් වන බවයි. මරණයට ගොදුරු වන මිනිසා උඩින් යටින් පස සමඟින් සම්මිශ්‍රණය වන නිකම්ම නිකම් මළකඳකැ’යි කියවෙන ඔමර් ඛය්යාම්ගේ පද්‍යයන් සම්බන්ධයකින් තොර වූ පද සම්මිශ්‍රණයක් පමණි. එනයින් සිය ජීවිතය එවැන්නකැ’යි සලකා ජීවිතය ගොඩ නගන පුද්ගලයා සැබැවින්ම මායාවක් තුළ පසුවෙයි.
ජීවිතය උපරිමයෙන් ම බුක්ති විඳින්නට පුළුවන. ජීවිතය සපුරා අත් දකින්නට පුළුවන. ඒ වුවද මෙවන් රැවටිලිකාර මතවාදයන්ගෙන් මංමුළාවට පත් නොවිය යුතු වෙයි. අති උත්තරීතර අල්ලාහ්ගේ දීන් (පරිපුර්ණ ජීවන මඟ) පමණක් අපගේ මානසික හා දිව්‍ය ඥානයේ නිධානය බව පිළිගැනීම නිවැරදි මඟට ප්‍රවිෂ්ට වීමකි.
සත්‍යය නම් පොදුවේ ජනයා මරණය පිළිබඳ ව දරන විශ්වාසයයි. එනම් මරණය පැවැත්මේ සිට නොපැවැත්මට එළියෙන් අඳුරට හා සමාජ ඇසුරින් හුදෙකලා භාවයකට මාරු වීමකැයි විශ්වාස කිරීමයි. ඔහුගේ සන්ත්‍රාසය බියගුලුකම බලවත් කනස්සල්ල හා වෙනත් මනෝභාවයන් රාශියකට හෙතෙම යට වී සිටීමයි. සියලු ආශීර්වාදයන් සහිත මෙම ජීවිතය වනාහි සිත් ගන්නාසුළු මතකයන් බව ද දිනෙක සිල්වත් උදවිය හමු වී එකිනෙකා අමතා “එක්තරා කාලයක පවුලේ අයත් සමග එකතු වී අපි අල්ලාහ්ගේ දඬුවමට බිය වීමු. එනමුත් අල්ලාහ් අපට දයාබර වීය. අපා ගින්නෙන් අපව බේරා ගත්තේය. සැබැවින්ම ඔහුගෙන් අයැදීම අපගේ සිරිත වී ය. සැබැවින්ම පරම ත්‍යාගශීලීයා ඔහුය. පරම මෛත්‍රීදායකයා ඔහුය” (අල් කුර්ආන් 52 : 26 – 28) යනුවෙන් කියා ගන්නා බව මොවුහු දනිත් ද?        
අදේවවාදීන් කතා කරන අන්දම මෙසේ සඳහන් ය.
“ඔවුහු එකිනෙකා දෙසට හැරී ප්‍රශ්න නගති. ඔවුන්ගෙන් කෙනෙකු මෙසේ පවසයි. සැබැවින් ම මට (මිහිපිට) මිතුරෙකු සිටියේය. ‘ඔබ මරණින් මතු නැගිටවනු ලබනවා යැයි විශ්වාස කරන්නෙක් ද? අපි මියගොස් දුවිලි හා ඇටකටු බවට පත්වූවාට පසු (මිහිපිට) අපගේ ක්‍රියාවන් ට සම්මාන හෝ දඬුවම් හෝ ලබන්නට නැවත නැගිටවනු ලබන්නෙමු යැයි විශ්වාස කරන්නවුන්ගෙන් කෙනෙක් ද?’ (යැයි විමසුවේය). (එයට ඒ මිනිසා) ‘පල්ලැහා බලන්න’යි කියයි. එවිට පහත බැලූ ඔහුට තමා ගින්දර මැද සිටිනු දිස්විණි. ඔහු (මොහුට) ‘අල්ලාහ්ගේ නාමයෙන් ඔබ විනාශ වුයෙහියැ’ යි කියයි” (අල් කුර්ආන් 37 : 50 – 56).          
එහෙයින් ජීවිතයේ සැබෑ අරුත අවබෝධ කර ගෙන ජීවත් වන්නට උත්සහ කරමු. තාවකාලික ජීවිතයට වඩා සදාකාලික ජීවිතය පිළිබඳ ව වැඩි අවධානය යොමු කරමින් කටයුතු කරන්න ට ඉදිරිපත් වෙමු. මෙම ජීවිතය පරීක්ෂණයක් බව අවබෝධ කර ගෙන ඉවසීම හා අධික නැමදුම හුරු පුරුදු කර ගනිමු.             

 


ජීවිත අභියෝග ජය ගනිමු - 4
සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් ඉංග්‍රීසි බස හසුරුවන පාඨකයින් උදෙසා රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්‍රන්ථය මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා අතර ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වය ට පත් වු එකකි. මෙවන් ග්‍රන්ථ හේතුවෙන් ජීවිත අභියෝග දෙස විමසීම ට බටහිර චින්තනය දෙස ට නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට තිබුණි. නමුත් ජීවිතයේ සැබෑ හරය අවබෝධ කර ගැනීම ට මෙන්ම ඒවායින් නිරතුරු ව මතු වන ගැටලු හා අභියෝග ජය ගැනීම ට ඇති සුදුසු ම ඉගැන්වීම් ඉස්ලාමීය මුලාශ්‍රයන් හි අන්තර්ගත වී ඇත. එහෙයින් මෙම මාතෘකාව පදනම් කර ගනිමින් සුප්‍රකට ඉස්ලාමීය විද්වතුන්ගේ ලේඛනයන් හි අන්තර්ගත කරුණු මෙම ලිපි සකස් කිරීමේදී ප්‍රයෝජනයට ගෙන ඇත්තෙමු. මෙම ලිපි මාර්ගයෙන් ඉස්ලාමීය පදනමකින් ජීවිතය දෙස බැලීමට දිරි ගැන්වීම මෙහි අරමුණයි. සිංහල අනුවාදය සකස් කිරීමට සහය වුයේ එස්. එම්. නෞෆර් මහතායි.
කනස්සලු සහ වසවිස
හැකි පමණ වැඩි වැඩියෙන් දේපළ ධනය අත්කර ගැනීම සඳහා මිනිසුන් අතර පවත්නා අශෝභන තරඟකාරීත්වය ගැන බටහිර ලොව විද්වත් හු නිතර නිතර පැමිණිලි කරති. මෙකී තරඟයෙ හි නිරත වී සිටින්නන්ගේ සිත කය දෙකම එම අරමුණෙහි ඇලී ගැලී පවතින නිසාවෙන් මොවුහු තම මුළුමහත් වීරියම ධනය ඉපයීමෙ හි යොදවති.
යන්ත්‍රයක චලනය වන කොටස් වල ලිස්සන ගතිය සඳහා සහ කිසියම් කොටස් දෙකක් අතර ඝර්ෂණය සිදු වන විට ගිනි පුලිඟු ඇති වීම වැළැක්වීම සඳහා ලිහිසි තෙල් දැමීම අවශ්‍ය වෙයි. දේපළ ධනය අත්කර ගැන්මට සටන් කරනු පිණිස වූ මිනිසුන්ගේ හැකියාව ගැන සලකන කළ ප්‍රමාණවත් විවේකයක් විරාමයක් නොමැති වීම නිසාවෙන් මානසික වශයෙන් බිඳ වැටෙන තාක් කල් ඔවුහු කාංසාවෙන් ම පසු වෙති.
මිනිස් ශරීර හා ආත්මයන් තුළ භෞතිකවාදී තෘෂ්ණාව සහ එහි පීඩාවන් විසින් ඉතිරි කරන අද සේයාවන් ගැන විස්තර කරමින් ඩේල් කා(ර්)නගී “මම නිව්යෝර්ක් නගරයේ මේ වන තාක් වසර ගණනක් වාසය කෙළෙමි. ඒ වුවද කනස්සල්ලෙන් හට ගන්නා ආතතික ආබාධයක් ගැන අනතුරු ඇඟවීම් සඳහා මේතාක් මා වෙත කිසිවෙක් නොපැමිණීය. නමුත් වසුරියෙන් සිදු වන හානිය ට වඩා දහස් වාරයක හානියක් මෙම කාල පරාසය තුළ කනස්සල්ලෙන් හට ගන්නා ආබාධ නිසා සිදු වී තිබේ. දැනට නිව්යෝර්ක් නගරයේ වාසය කරන දස දෙනෙකුගෙන් එක් කෙනෙකු ට කනස්සල්ල හා ආවේගික ව්‍යාකුලතාවල පෙලඹවීමෙන් ස්නායු බිඳ වැටීම් සිදු වන බවට අනතුරු ඇඟවීම් සඳහා මගේ දොරෙහි සීනුව නාද කර නැත.
ඇමෙරිකානුවන් විසි දෙනෙකුගෙන් කෙනෙකු තම ජීවිත කාලය තුළ ටික කලක් මානසික සායන වල කල් ගත කරන බවට මානසික වෛද්‍යවරු තක්සේරු කරති. දෙවැනි ලෝක සංග්‍රාමය පැවති වකවානුව තුළ හමුදාව ට බැඳෙන්න ට අයදුම් කළ තරුණ ඇමෙරිකානුවන් සය දෙනෙකුගෙන් කෙනෙකු කායික හෝ මානසික හෝ ආබාධයකින් පෙළීමේ හේතුවෙන් හමුදාව ට නොතේරී ප්‍රතික්ෂේප වූ බව තිත්ත ඇත්තකි. මායෝ (Mayo) සායනයේ වෛද්‍ය හැරල්ඩ් සී. හැබීස් තමා විධායක නිලධාරීන් 176 දෙනෙකු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කළ බව ද ඔවුන්ගේ වයස් වල සාමාන්‍යය අවුරුදු 44.3 ක් බව ද සඳහන් කරයි. මොවුනතුරින් තුනෙන් එක් කෙනෙකු ට වඩා පිරිසක් හදවත් රෝග ජීර්ණ පද්ධතියේ තුවාල හෝ අධික රුධිර පීඩනය වැනි ආබාධයකින් පෙළුනහ. මේ ගැන සිතන්න. අපගේ ව්‍යාපාරික සමාජයේ තුනෙන් එක් කොටසක් වයස අවුරුදු 45 වන්නටත් පෙරාතුව හදවත් රෝග උදාර තුවාල සහ අධික රුධිර පීඩනය නිසා තම දිවිය නැති කර ගනිති. සාර්ථකත්වයට ලැබී තිබෙන මිල කෙබඳු ද? හැරත් ඔවුන් සාර්ථකත්වය ද ලබා ගෙන නැත. උදරයේ තුවාල සහ හදවතේ රෝග සහිත ව ව්‍යාපාරයේ දියුණු ව තකා වධ විඳින්නෙකු ට අත්වන සාර්ථකත්වය කුමක් ද? ශරීර සෞඛ්‍යය නැති කර ගෙන මුළු මහත් ලෝකයම හිමි කර ගත්ත ද එහි ඇති වාසිය කුමක් ද? මුළු ලොවම හිමි වුව ද ඔහුට නිදියා ගත හැකි වන්නේ එක ඇඳක් මත පමණි. අනුභව කළ හැකි වන්නේ දිනකට තුන් වරක් පමණි. ආධුනික සේවකයෙකු විසින් වුව ද එය කරන්නට පුළුවන. වඩාත් සැහැල්ලුවෙන් නිදියන්නට ද ඔහු ට පුළුවන. මහත් බලසම්පන්න විධායක නිලධාරියෙකු ට වඩා හොඳින් ආහාර වල රස විඳින්නට ද ඔහු ට පුළුවන් වෙයි. අවංකව ම පවසනවා නම් වයස 45 දී ජීවිතය විනාශ කර ගන්නවා ට වඩා කිසිදු වගකීමකින් හෝ කරදරයකින් තොර නිදහස් පුද්ගලයෙකු වන්න ට මම වඩාත් කැමැත්තෙමි”යි සඳහන් කරයි. (How to Stop Worrying and Start Living – 41 වැනි පිටුව).
“රෝගීන් අතුරින් පස් දෙනෙකුගෙන් සිවු දෙනෙකුට ම තම උදරාබාධය ට අදාළ කායික හේතුවක් නොමැති බව පැහැදිලි විය. ඔවුහු බිය කනස්සල්ල වෛරය සුපිරි ආත්මාර්ථකාමිත්වය සහ යථාර්ථ ලෝකයට හැඩ ගැසීමේ නොහැකියාව යන ආබාධයන්ගෙන් පෙළුනහ” යනුවෙන් වෛද්‍ය ඩබ්ලිව්. සී. අල්වාරෙස් සඳහන් කරයි.
මෙහිලා මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය එතුමා කෙරෙහි ඇති වේවා) හදීස් කිහිපයක් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. “උත්තරීතර අල්ලාහ් එකම දුකක් (එනම් මරණින් මතු ලොව) කෙරෙහි අවධානය යොමු කරන්නා ව මිහිපිට දුක්කරදර වලින් ආරක්ෂා කරන්නේය. එනමුත් තමුන් ගැන පමණක් දුක්කරදර වන්නාගේ මිහිපිට කටයුතු කුමක් වුව ද ඒවා අල්ලාහ් නොසලකා හරින්නේය”. (අල් හාකිම් ඇසුරිනි).
අනාගතය කියන මෙබඳු මාර්ගෝපදේශ වල අරමුණ වනුයේ මිනිස් සිත්සතන් තුළ සංහිඳියාව තහවුරු කිරීම සහ මෙලෝ සතුට පසුපස හඹා යාමේ දී ඒ අතුරින් යම් කිසිවක් නොලැබීයාදෝයි තැවෙමින් ගැටලු වර්ධනය කර ගන්නා වූ තෘෂ්ණාව ඉවත් කිරීම ද වේ.
“යම් කෙනෙකුගේ අපේක්ෂාව පරලොව ගැන සෙවීම නම් අල්ලාහ් ඔහුගේ සිත තුළ ස්වයංපෝෂණය ඇති කොට කටයුතු නිරවුල් කරන්නේය. තවද ලෝකය බැගෑවෙන් ඔහු වෙතට ළං වන්නේය. එනමුත් කිසියම් කෙනෙකුගේ අපේක්ෂාව ලෞකික සුබසෙත අරභයා පමණක් නම් අල්ලාහ් ඔහුට දරිද්‍රතාව ඇති කොට ඔහුගේ වැඩ කටයුතු අවුල් කරන්නේය. ඒ වුවද ඔහු වෙනුවෙන් වෙන් කොට තිබෙන ප්‍රමාණය පමණක් සැබැවින් ම ඔහු වෙතට ළඟා වන්නේය.” (අත් තිර්මිදී ඇසුරිණි).
මෙම කරුණ අලළා තවත් හදීස් රැසක් තිබේ. ඒවා දුර දකින නුවණින් යුක්තය. ඒවා නිසි පරිදි නිවැරදි ලෙස යොදා ගත්තේ නම් තම පැවැත්ම සඳහා කරන තරඟ වදින්නන්ගේ උමතු වේගය අඩු කර ගැනීමට අනුබලයක් වෙයි. කෙසේ නමුත් ඇතැම් ඉස්ලාමීය ‘තාපසයෝ’ මුලින් පවසන ලද හදීසයන් ට වැරදි අර්ථ කථන සපයමින් ජීවන ක්‍රියාකාරකම් වලින් දුරස්ථ වීම සඳහා වැරදි ලෙස යොදා ගත්හ. මෙමගින් ඔවුහු දහම සහ ලෞකික ජීවිතය යන දෙකම අත හැර දැමුහ.
ජීවිතය රැක ගැන්ම සහ පරිපූර්ණ කර ගැන්ම සඳහා එහි අවශ්‍යතා සහ ආශ්වාදයන් බුක්ති විඳිමින් එතුළ කඩිසර ලෙස ක්‍රියාකාරී වන මෙන් ලෝකය ඉල්ලා සිටියි. මෙකී කඩිසරකම වෙනුවෙන් බෙහෙවින් වෙහෙස මහන්සි වන්නට අපට සිදු වෙයි. ඒ අතර එය නිවැරදි මාර්ගයෙන් අප ව ඉවත ට හසුරුවන්නක් නොවීම අවශ්‍ය වෙයි.
අප වෙනුවෙන් හා අනුන් වෙනුවෙන් වියහියදම් කරනු පිණිස ධනය සෙවීම අවශ්‍ය ය. අපට කිසියම් මුදලක් ලැබෙන විට ජීවිතය රැක ගෙන එය යහපත් කර ගැන්ම සඳහා පරිහරණය කළ යුතු වෙයි. එනමුත් ශරීර සෞඛ්‍යය ගැන නොතකමින් නා නා ප්‍රකාර රෝගාබාධ වලට ඇරයුම් කරමින් හා දුක්කරදර වැඩි කර ගනිමින් මිල මුදල් සෙවිල්ල තම ඒකායන අරමුණ බවට පත් කර ගැනීම ඉඳුරා උමතු ක්‍රියාවකි.
මිනිස් සිත්සතන් තුළ ශ්‍රේෂ්ඨත්වය සහ තෘප්තිමත් භාවය කාවැද්දීම ඉලක්ක කර ගත් මහඟු ඉගැන්වීම් ඉස්ලාමයෙ හි අප්‍රමාණව දක්නට තිබේ. කාසි පනම් මිල මුදල් සෙවීමට දක්වන අධික ලෝභය හේතුවෙන් සිත කය දෙකට ම බලවත් හානි සිදු වෙයි. මුදල ට දක්වන තදබල කෑදරකම නිසා එය නැති වූ කලෙක සිත ට ඉමහත් කනස්සල්ලක් දැනේ. “අප දන්නා කරුණක් නම් කොටස් වෙළෙඳ පොළේ කොටස් වල අගය අඩු වන විට කොටස් හිමිකරුවන්ගේ රුධිරයේ සහ මුත්‍රා වල සීනි ප්‍රමාණය වැඩි වන්නේයැ”යි ඩේල් කා(ර්)නගී සඳහන් කරයි.
මේ පිළිබඳ ව මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය එතුමා කෙරෙහි ඇති වේවා) කියමනක ට වඩා යහ ප්‍රතිකාරයක් දක්නට නැත. එනම් “දේපළ ධනය සිත් ගන්නා සුළුය. එම නිසා එය මනා ලෙස අත්කර ගන්නා වූ පුද්ගලයා එමගින් ආශීර්වාදය ට ලක් වන්නේය. එහෙත් හිතුමතේ ධනය උපයන්නා ට කිසිඳු ආශීර්වාදයක් අත් නොවන්නේය. තවද ඔහු කිසිම රුචියකින් තොරව කෑම ටික ගිල දමන්නෙකු ට සමාන වෙයි”. (අත් තිර්මිදී ඇසුරිනි).
දේපළ ධනය යනු ඉතා ප්‍රණීත ලස්සන පැහැපත් පලතුරක් මෙනි. එය තමන් සතු කර ගැනීම ට ජනයා යොමු වෙති. එය ස්වාභාවිකය. එසේ වුව ද එය තමන් සතු කර ගැනීම ට එක් එක් පුද්ගලයා වෙනස් වෙනස් අන්දමින් ක්‍රියා කරයි. ඇතැම් හු බොහෝ වෙහෙස මහන්සියෙන් බහුල ලෙස ධනය උපයති. තවත් සමහරෙක් අනුන්ගේ ධන සම්පත් සොරා ගෙන තමන්ගේ ගොඩ ට එකතු කර ගනිති. තවත් සමහරු කිසිදු ආයාසයකින් තොර ව ධනය ලබා ගනිති. සමහරු ධනය තව තවත් වැඩිකර ගැනීම සඳහා ඒ ගැන සිතමින් නිරන්තරයෙන් ම කනස්සල්ලෙන් ම පසු වෙති. ඉදින් ශ්‍රේෂ්ඨතම මිනිසුන් වනුයේ දේපළ ධනය ගෞරවාන්චිත ලෙස උපයන උදවියයි කිසිත් අත්කර නොගත්තා වුව ද ඔවුහු දැඩි කනස්සල්ලක් නොදක්වති.
මුහම්මද් ධර්ම දුතයාණන් (අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය එතුමා කෙරෙහි ඇති වේවා) මෙසේ පැවසුහ. “ජනයිනි පොහොසත්කම යනු දේපළ ධනය වැඩි කර ගැනීමයි. එහෙත් සැබෑව නම් සිත ට දැනෙන ප්‍රමාණවත් බවයි. උත්තරීතර අල්ලාහ් සිය ගැත්තන් ට පිරිනමන්නේ ඔහු වෙනුවෙන් නියම කළ ප්‍රමාණයයි. ඒ නිසා ඔබගේ අවශ්‍යතා දෙස බලන්න. හලාල් වූ (අනුමත වූ) ප්‍රමාණය පමණක් ගන්න. හරාම් වූ (අනුමත නැති) දෑ අත් හරින්න.” (අබු දාවුද් ඇසුරෙනි).
ඉස්තරම් ම ආශාව වනුයේ උදාරවන්ත හා කරුණාවන්ත ලෙස හලාල් වන දෙය ඉපයීම හා ආත්ම සංයමයෙන් පසු වෙමින් හරාම් වන දෙය ප්‍රතික්ෂේප කිරීමයි. ඉන් පසු මරණින් මතු ලොවට සාපේක්ෂ ව මෙලොවේ නොවැදගත්කම තේරුම් ගෙන මතු ලොව විනිශ්චය දිනයේ (කියාමත් දිනයේ) උත්තරීතර අල්ලාහ් හමුවීමට හා ඔහුගේ සම්මානය පිළිගැනීමට දක්වන ආශාවයි.
පුද්ගලයෙකු තුළ කැකෑරෙන සෑම දුකක් ම ඉවත් කළ හැකි වනුයේ උත්තරීතර අල්ලාහ් ගැන නිවැරදි ලෙස අවබෝධ කර ගැනීම හරහා ය. එවිට ඔහුගේ සිතෙ හි සාමය හා සතුට පිරී ඉතිරෙයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
“ඔවුහු කවරහු ද යත් විශ්වාස කොට තම හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සැනසුම ට පත් වුවන් ය. සැබවින් ම හදවත් සැනසුම ට පත් වනුයේ අල්ලාහ් ව මෙනෙහි කිරීමෙනි. විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුන් ට ශුභාශිංසනයයි. තවද යහපත් ලැගුම් ගන්නා ස්ථානයයි.” (අල් කුර්ආන් 13 : 28 – 29).
මොවුහු තමන් ට ඉස්ලාමයෙ හි සකසා තිබෙන නිවැරදි මාර්ගය පිළිබඳ විශ්වාසයෙන් හා ශ්‍රද්ධාවෙන් සතුට ට පත් වෙති.  
බටහිර රටවල වෙසෙන බොහෝ දෙනෙකු ට මෙම නිවී සැනසුණු හදවත් අහිමි ය. ඩේල් කා(ර්)නගීගේ අදහස බලමු. “ඇමෙරිකාවේ අංක එකේ මිනීමරුවා කනස්සල්ල බව සංඛ්‍යා ලේඛන වලින් සනාථ වෙයි. දෙවෙනි ලෝක සංග්‍රාමය පැවති අවධියේ මිලියන තිහක තරම් ප්‍රමාණයක් සටන් පෙරමුණේ මරුමුවට පත් වූහ. එකී කාල පරිච්ඡේදය තුළ දී පමණක් මිලියන දෙකක සාමාන්‍ය ජනයා එක්තරා වර්ගයක හදවත් රෝග වලින් මිය ගියහ. ඒ අතරින් මිලියනයක් ම සිතේ කනස්සල්ල සහ ජීවන විලාසයේ ආතතිය නිසා සිදු වී තිබේ. එලෙස ම අඩු වියේ මරණය ට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ හදවත් රෝගයි. ‘කනස්සල්ල ට එරෙහි ව සටන් වදින්න ට නොදත් ව්‍යාපාරිකයෝ අඩු වයසේදී ම මිය යති යැ’යි වෛද්‍ය ඇලෙක්සින් කැරල් කියයි”.   
ඇමෙරිකානු ආදි වාසීන් ට හෝ චීන ජාතිකයින් ට හදවත් රෝග වැලඳෙන්නේ ඉතා කලාතුරකිනි. ඔවුන් ජීවිතය ගැන සලකන්නේ ඉතා සැහැල්ලුවෙනි. එනමුත් හෘද අකර්මණ්‍ය (Heart Failure) හේතුවෙන් මරණයට පත් වන දොස්තරවරුන්ගේ සංඛ්‍යාව එම හේතුවෙන් මරණයට පත් වන ගොවියන්ගේ සංඛ්‍යාව මෙන් විසි ගුණයක් බව පෙනෙයි. මන්ද දොස්තරවරුන් ට තිබෙනුයේ පීඩනයට ලක් වූ ද කලබලකාරී වූ ද ජීවිතයකි. ඒ සඳහා ඔවුහු විශාල වන්දියක් ගෙවති.
ඒකාන්ත වශයෙන් ම කනස්සල්ල හා කාංසාව විසින් යෝධයින් විනාශ කර දමන්නටත් ප්‍රාණවත් බව සපිරි ඔවුන්ගේ මුහුණු පවා විනාශ කර දමන්නටත් පුළුවන. ස්නායු දුර්වලතාවකින් පීඩිතව දත් එළියට ඇද වැටෙමින් දුකෙන් පසු වන පුද්ගලයෙකු දැක මම විමතියට පත්වීමි. දුෂ්කර මානසික ව්‍යාකුලතාවන් ශරීරයට බෙහෙවින් බලපාන බව නුතන වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් වල සඳහන් වන බව දිටිමි. එමගින් ජීර්ණ පද්ධතියේ ස්රාවයන් විෂ බවට පත් කරයි. මේ නිසා ආහාර වල අඩංගු ගුණය කුස තුළ අවශෝෂණය කරන්න ට නොදී වළක්වනු ලබයි. එසේ ම දත් වල බිඳීම් සහ විතැන්වීම් ද සිදු කරනු ලබයි.
මහලු වියට පත් වන විට ‌‌‌‌‍‍‍‌‌‌ය’කුබ් නබි තුමාගේ දෑස් හි පෙනුම නැති වී ගිය බව කියවා ඇත්තෙමු. මුහම්මද් ධර්ම දුතයාණන්ගේ බිරිය වූ ආයිෂා තුමිය ට එම යුගයේ ආත්ම වංචනිකයින් අපවාද නැගු විට එතුමිය කෙතරම් දුරට කාංසාවේ හිණි පෙත්තට පත් වුණාද? ‘දුක නිසා මගේ ළය පැළී යනු ඇතැයි සිතුවෙමි’යි කියන තරම ට එතුමිය හැඬු කඳුළෙන් පසු වුණු බව ද කියවා ඇත්තෙමු.
ජනයා දුක්ඛදෝමනස්සයන් හි අවදානම වටහා ගත්හ. නිදසුනක් වශයෙන් ජර්මනියේ ‘සතුටෙ හි බලමහිමය’ නමැති ආදර්ශ පාඨය සහිත ව කණ්ඩායමක් ස්ථාපිත කරන ලදී. තම කාලයෙන් හා ධනයෙන් යහපත අත්කර ගැනීම සඳහා ජීවිතය පිළිගැනීම අවශ්‍ය වෙයි.  තවද එම රටවල පාලකයින් තම වැසියන්ගේ නෂ්ටාපේක්ෂාවන් අශුභවාදයන් සහ අවනතියෙන් පෙළීම වැළැක්වීමට කටයුතු කිරීම අවශ්‍ය වෙයි. මන්ද, ජාතීන් මියැදෙන්නටත් පෙරාතු ව මෙම සීතල හැඟීම් විසින් ඔවුන්ගේ මිනී පෙට්ටි වලට ඇණ ගැසෙන්නට පුළුවන් නිසාය.
මිය සැතපෙන කෙනා සැබැවින් ම මියැදුණා නොවෙයි. මිලාන ව දුක්මුසු ව පසුබට ව අදිරියෙන් අපේක්ෂා අරමුණු හෝ පැතුම් නොමැති ව ජීවතුන් මැද සිටින්නා සැබැවින් ම මියැදුණා වෙයි.
උනන්දුව උද්‍යෝගය පිළිකෙව් කරන යහපත් සිහිකල්පනා ඇති පුද්ගලයෙකු හෝ අශුභවාදය හා බලාපොරොත්තු සුන් ව ජීවත් වන (අල්ලාහ් ගැන) විශ්වාස කරන්නෙකු සිටිතැයි මම නොසිතමි. කිසියම් බලපෑම් සහිත සිද්ධීන් හේතුවෙන් ඔහුගේ මානසික සහනය හා සැනසිල්ල නැති වුවා වන්නට පුළුවන. එවිට ඔහු පිහිට සහ ආරක්ෂාව සොයා දිව්‍යමය බලවේගය වෙතට හැරීම අවශ්‍ය වෙයි. මන්ද, සිත් තැවුලෙ හි බලපෑම් වලට යටත් වුවා නම් එමඟින් ඔහුගේ අදිටන නැති වී දිරිය සුන් වී යන නිසාය.
දුර්භාග්‍යයන්ගෙන් ආරක්ෂාව ලබා දෙන ලෙස උත්තරීතර අල්ලාහ්ගෙන් පිහිට සෙවිය යුතු බව මුහම්මද් ධර්ම දුතයාණන් (අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය එතුමා කෙරෙහි ඇති වේවා) පවසන්නේ මේ නිසාය. අබු සයිඩ් තුමා මෙසේ පවසයි. “දිනක් මුහම්මද් තුමාණෝ මස්ජිදය ට පැමිණියහ. අබු උමාමාහ් අන්සාර්වරයා එහි සිටිනු දුටු එතුමාණෝ ‘නැමදුම් සඳහා නියමිත වේලාවක් නොවන දැන් ඔබ මස්ජිදය තුළ හිඳ ගෙන සිටින්නේ මක්නිසාදැ’යි ඔහුගෙන් විමසුහ. ‘මම ණය බර නිසා කනස්සල්ලෙන් පසු වෙනවා යා! රසුලුල්ලාහ්’ යනුවෙන් හෙතෙම පිළිතුරු දුන්නේය.’ණය තුරුස් වලින් සහ කනස්සල්ලෙන් පසු වන අවස්ථා වල පැවසිය යුතු දේවල් ඔබට කියා දෙන්න ද? ඔබ ඒවා කී විට අල්ලාහ් ඔබේ කනස්සල්ල ඉවත් කොට ණය පියවන්නේයැ’යි මුහම්මද් තුමාණෝ පැවසු විට ‘කියා දෙන්න යා! රසුලුල්ලාහ්යැ’යි පිළිතුරු ලැබුණි. එවිට එතුමාණෝ ‘යා! අල්ලාහ් කනස්සල්ලෙන් ද දුකෙන් ද මා ආරක්ෂා කරන මෙන් ඔබගෙන් අයදිමි. නොහැකියාවෙන් හා ඈලියාවෙන් මා ආරක්ෂා කරන මෙන් ඔබගෙන් අයදිමි. බියගුලුකමින් හා මසුරුකමින් මා ආරක්ෂා කරන මෙන් ඔබගෙන් අයදිමි. ණය තුරුස් වලින් හා මිනිසුන් විසින් මා යටහත් නොකොට මා ආරක්ෂා කරන මෙන් ඔබගෙන් අයදිමි’ යනුවෙන් උදේ සවස කියන්නැ’යි ඔහුට කීහ. ‘මම එපරිද්දෙන් ම කෙළෙමි. අල්ලාහ් මා කනස්සල්ලෙන් හා ණය තුරුස් වලින් නිදහස් කළේයැ’යි ඔහු කීය”. (අබු දාවුද් ඇසුරෙනි).
යම් යම් වචන නැවත නැවතත් කීම තුළින් අලුත් මානසික තත්ත්වයක් අත් කර ගැනීමේ පථයක් ඇති වීම ස්වාභාවික ය. මේ නිසා මිනිස් ජීවිතය වෙනස් වන්න ට ඉඩ තිබේ. ඒවා ට උත්තරීතර අල්ලාහ්ගේ පිහිට අත් වන බැවින් ඉන් පසු ඔහුගේ ගමන් පිළිවෙළ නිසි පරිදි මෙහෙයවනු ලැබේ.
නැමදුම් කාලයෙන් එපිට එක්තරා පුද්ගලයෙකු මස්ජිදයේ හිඳ ගෙන සිටිනු දුටු මුහම්මද් තුමාණෝ පුදුමයට පත් වූ බව දිටිමි. එම නිසා එතුමාණෝ මානසික නිරෝධතාවන් හෝ යටි හිතේ අනුමාන වලින් තොර ව දවස ආරම්භ කරන්න ට ඔහු ට ප්‍රාර්ථනාවන් ඉගැන්වූහ. ෂද්දාද් බින් අව්ස් තුමා මෙසේ වාර්තා කරයි. “මුහම්මද් නබි තුමාණන් මෙම ප්‍රාර්ථනාව පාරායනය කරන මෙන් අපට පැවසුහ. ‘යා! අල්ලාහ් දැහැමි කටයුතු වලදී අචල බව ද නිවැරදි මාර්ගයෙ හි ඇලීමට ස්ථිර අධිෂ්ඨානය ද ඔබගේ උදවු උපකාර වලට කෘතවේදී වීමට හා ඔබට මා කරන නැමදුමෙ හි ශ්‍රේෂ්ඨත්වය උදෙසා ද ඔබගෙන් අයදිමි. මට නොපළුදු හදවතක් හා සත්‍ය ගරුක දිවක් ලබා දෙන ලෙස අයදිමි. ඔබ දන්නා මාගේ පාපයන්ගෙන් මා ආරක්ෂා කරන ලෙස ද ඔබේ ක්‍ෂමාව ද අයදිමි.” (අත් තිර්මිදී ඇසුරෙනි).     
අපගේ පසුගිය කෘති වල සඳහන් කළාක් මෙන් දුආ - ප්‍රාර්ථනාවන් වනාහි උද්‍යෝගිමත් භක්ති ගීතයකට වඩා ප්‍රබල ය. පෙරමුණ බලා ගමන් කරන හමුදා බල ඇණියක් වුව ද එමඟින් කලත්තනු ලැබේ. ඒවා ජීවිතයේ දුෂ්කරතාව ජය ගනු පිණිස සත්‍ය ඥානය සහ නියතභාවයේ මහඟු පිහිට නියෝජනය කරයි. ඊමානය (ඉස්ලාමීය විශ්වාසය) මනා සෞඛ්‍යය තත්ත්වය සහ යුක්තිය නම් ධජය යටතේ කටයතු කිරීම සඳහා සලකා බැලිය යුතු හා ක්‍රියාව ට නැඟිය යුතු අරමුණු ද එමඟින් විස්තර කරනු ලබයි.
මෙම ක්‍රමය පිළිපැදීම තුළින් මිනිසෙකු ට මානසික හා ශාරීරික වශයෙන් සාමකාමී ජීවිතයක් ගත කරන්න ට හැකි වෙයි. ඇතැමෙකු දුආ - ප්‍රාර්ථනාවන් ගැන දකින්නේ ජීවිතයට ඇති සෘණාත්මක ආකල්පයක් වශයෙනි. එය කෙනෙකුගේ අවශ්‍යතාව විශ්වයේ අධිපති වෙත ඉදිරිපත් කොට ඒ පිළිබඳ ව බලාපොරොත්තු ඇති කර ගන්නා ක්‍රමවේදයක් නොවේ ද?
ප්‍රාර්ථනාවන් වනාහි ගමන් මාර්ගයක් පැහැදිලි කර දෙන අති ශ්‍රේෂ්ඨ ආදර්ශයක් විස්තර කර දෙන්නකි. ඉබ්‍රාහිම් නබිතුමා “මාගේ පරමාධිපතියාණනි, මා සහ මගෙන් පැවතෙන්නන් සලාතය ස්ථාපිත කරන්නවුන් බවට පත් කරන්න. අපගේ පරමාධිපතියාණනි, මාගේ ප්‍රාර්ථනාවන් පිළිගන්න” යනුවෙන් පැවසීය. (අල් කුර්ආන් 14 : 40)
තවද මෙම ප්‍රාර්ථනය සමග මිනිසාගේ ප්‍රධානතම අරමුණ වූ සලාතය මිනිසාගේ ජීවන රටාවක් වශයෙන් ස්ථාපිත කළේය. ඉබ්‍රාහිම් නබි තුමාණන්ගේ දුආව ගැන කියවන විට සලාතය හිරිහැරයකැයි සිතන එය අලස ලෙස ඉටු කරන අයවලුන්ගේ තත්ත්වය කුමක්දැයි ඔබ සිතා බැලුවේ නැද්ද?
“තවද ඔවුන් ‘අපගේ පරමාධිපතියාණනි, අපගේ බිරියන් ද අපගේ දරුවන් ද නෙත් පිනවන (සතුට ඇතිකර වන) ආකාරයට පත් කර දෙනු මැනව. දැහැමියන්ට මාර්ගෝපදේශකයින් (නායකයින්) වශයෙන් ද අපව පත් කරනු මැනවැ’යි ප්‍රාර්ථනා කරමින් සිටින්නෝය”. (අල් කුර්ආන් 25 : 74)
යහපත් ස්ථාපිත ප්‍රීතිමත් පවුලක් ලබා දෙන මෙන් ද තමන්ගේ ජීවිතය පුරා නිරන්තරයෙන් ම අල්ලාහ් ගැන සිහි කල්පනාවෙන් පසු වන ප්‍රමුඛයන් බවට තමන් පත් කරන මෙන් ද ඔවුහු මෙමගින් අයදිති. එසේ වුව ද අල්ලාහ් පිළිබඳ හා පරමාන්ත දවස පිළිබඳ සත්‍යය පිළිගැනීමට මැළි වන ඇතැම් මුස්ලිම්වරුන් ද සිටිති. මෙම විශ්වාස යථාර්ථයට පටහැණි යැයි මොවුහු සිතති.
ඊමානය (ඉස්ලාමීය විශ්වාසය) සම්බන්ධයෙන් ඔවුන් දරන මතය වනුයේ ‘එය ජීවිතය ගැන නොසලකා හරින්නේය එමඟින් මිනිසුන්ගේ හා කණ්ඩායම් වල ජීවිතය ට කාලකණ්ණි කම සහ දුක් කරදර පමණක් ගෙන දෙන්නේය’ යන්නයි. මෙය බරපතළ වරදකි. දහම ට කරන්නා වූ අයුක්ති සහගත සැලකිල්ලකි. මන්ද ජීවිතය එවැන්නක් වශයෙන් හෝ ඉස්ලාමය බරක් වශයෙන් හෝ  ඉස්ලාමයේ ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණෝ කිසි කලෙක නුදුටු හ. එතුමාණෝ පැවසුවේ “යා අල්ලාහ් අදෘශ්‍යමාන දෑ පිළිබඳ ඔබගේ ඥානය සහ මැවීම පිළිබඳ ව ඔබට තිබෙන බලමහිමය තුළින් මගේ ජීවිතය මට ඉතාමත් උචිත යැයි ඔබ අදහස් කරන කාලයකට ඉස්තරම් ලෙස සකසන්න. තවද මට ඉතාමත් උචිත යැයි ඔබ අදහස් කරන අවස්ථාවේ මගේ ජීවිතය අත් කර ගන්න. යා අල්ලාහ් මගේ සිත යටින් හා මතු පිටින් ඔබ පිළිබඳ බිය ගරුත්වය ඇති කරවන මෙන් අයදිමි. සතුට හා කෝපය දෙකේ දීම සත්‍යයේ වචන ලබා දෙන මෙන් අයදිමි. දිළිඳු හා පොහොසත් අවස්ථා දෙකේ දීම සංයමය ලබා දෙන මෙන් ඔබගෙන් අයදිමි. නැති නොවන මහත් සතුට මට ලබා දෙන මෙන් ඔබගෙන් අයදිමි. නිමක් නැති සැප පහසුකම් මට ලබා දෙන මෙන් ඔබගෙන් අයදිමි. මට වෙන් කර තිබෙන දෙයින් තෘප්තිය සතුට ලබා දෙන මෙන් ඔබගෙන් අයදිමි. මරණින් මතු මට ප්‍රීතිමත් ජීවිතයක් ලබා දෙන මෙන් ඔබගෙන් අයදිමි. ඔබගේ පිරික්සුම් නිසා මට මඟ වැරදී යාමක් සිදු නොවී කනස්සල්ල නිසා මට හානියක් සිදු නොවී ඔබගේ මුහුණ දැකීමේ හා ඔබ හමු වීමේ මගේ ආශාව මුදුන්පත් කරන මෙන් ඔබගෙන් අයදිමි. යා! අල්ලාහ්, බිය බැතිය නමැති ආභරණ වලින් අප අලංකාරවත් කරන්න. තවද අප නිවැරදි මඟ පෙන්වනු ලැබුවන් බවට පත් කරන්න”. යනුවෙනි. (අත් තිර්මිදී ඇසුරිනි)
වධ වේදනා දුක් පීඩා සහ කනස්සල්ල යන කරුණු තම ඉස්ලාමීය විශ්වාසය සවිමත් කරන්නක් වශයෙන් හෝ උත්තරීතර අල්ලාහ් සතුට ට පත් කරන ක්‍රමවේදයක් වශයෙන් ඇතැමෙක් සලකති. එය එසේ වුවද ඒවා ඇති නොවන්න ට මුහම්මද් තුමාණෝ අල්ලාහ්ගේ පිහිට පැතූහ. අබූ හුරෛරා තුමාගේ වාර්තාවක් අනුව කරදර වේදනා හා කාලකණ්ණිකම පහළ නොවන්න ට හා සතුරු උවදුරු කුඩුකේඩුකම් වලින් ආරක්ෂා ව ලබන්න ට අල්ලාහ්ගේ පිහිට පැතීම මුහම්ම්ද් තුමාණන්ගේ සිරිත විය.
සිරුරට දුක් කරදර දීම තමන් කළ පාපයන්ගෙන් මිදෙන්න ට කරනු ලබන ප්‍රතිකර්මයකයි සැලකූ උදවිය සහාබාවරුන් (මුහම්මද් තුමාණන්ගේ හිතවතුන්) අතර ද සිටියහ. පාපයන්ගෙන් මිදෙන්න ට එවැන්නක අවශ්‍යතාවක් නොමැති බව පවසා එය ඊට වඩා සරල දෙයක් බව මුහම්මද් තුමාණෝ ඔවුන් ට පහදා දුන්හ.
වරෙක බෙහෙවින් දුබල බවට පත් වූ මුස්ලිම්වරයෙකුගේ සුව දුක් විමසීම සඳහා මුහම්මද් ධර්ම දුතයාණන් ඔහුගේ නිවසට ගියහ. “ඔබ කිසිවක් ලබා ගන්න ට ප්‍රාර්ථනා කළා ද? නැතිනම් ඒ වෙනුවෙන් අයැදියාදැ”යි ඔහුගෙන් විමසූහ. “එසේය යා! රසුලුල්ලාහ්. මට මතු ලොවේ දී පමුණු වන දඬුවම් මෙලොවේ දී ම ලබා දෙන්නැයි අල්ලාහ්ගෙන් අයදීමි”යි හෙතෙම පිළිතුරු දුන්නේය. එවිට මුහම්මද් ධර්ම දුතයාණන් “අල්ලාහ් අති පාරිශුද්ධ වේවා! (ඔහුගේ දඬුවම් බර දැරීමට) ඔබට ශක්තියක් හෝ ඉවසිල්ලක් නොමැත්තේය. ‘යා! අල්ලාහ්, අපට මෙලොව හා මරණින් මතු ලොව යහපත පිරිනමන්න. තවද අප ව නිරා ගින්නෙන් මුදවන්නැ’යි නොපැතුවේ මක්නිසාදැ’යි පවසා එම පුද්ගලයා වෙනුවෙන් එකී දුආ ප්‍රාර්ථනය කළහ. එයත් සමගම ඔහුට සුවය අත් විය”. (මුස්ලිම් ඇසුරිණි)
එක්තරා පුද්ගලයෙකු අල්ලහ්ගෙන් “යා! අල්ලාහ්, මට දැඩි බව ලබා දෙන මෙන් අයදිමි යනුවෙන් ප්‍රාර්ථනා කරන බව මුහම්මද් ධර්ම දුතයාණන් ට ශ්‍රවණය විය. එතුමාණෝ ඔහු අමතා ‘ඔබ අල්ලහ්ගෙන් පීඩාව ඉල්ලා සිටියෙහි ය. ඉතින් දැන් හොඳ ශරීර සෞඛ්‍යය ලබා දෙන මෙන් ඉල්ලන්නැ’යි පැවසුහ.”
මත්රෆ් බින් අබ්දුල්ලාහ් මෙසේ සඳහන් කරයි. “පීඩාවෙන් හා දැඩි බවෙන් පසුවනවා ට වඩා මනා ශරීර සනීපයෙන් පසුවෙමින් අල්ලාහ් ට ස්තුතිවන්ත වීමට මම වඩාත් කැමැත්තෙමි. මන්ද යත් යහතින් පසුවීම ආරක්ෂිතභාවය ට සමීප වෙයි. එම නිසා දැඩි බව වෙනුවට ගුණ ගරුකත්වය තෝරා ගනිමි”. මෙම මතය පිළිබඳ ව වෛද්‍ය සකි මුබාරක් මෙලෙස අදහස් දක්වයි. “ඉහත සඳහන් ප්‍රකාශය කරන පුද්ගලයා ආරක්‍ෂාවේ එනම් පණ රැක ගැනීමේ දොරටුවක් වශයෙන් මනා සෞඛ්‍ය සම්පන්න භාවය ගැන සලකයි. මන්ද, පීඩාව විසින් අනාරක්ෂිත ප්‍රතිඵල සමග ඔවුන් බියට හා කාංසාවට අනාවරණය කරනු ලබයි. සෞඛ්‍යය ගැන සලකන කළ ඒවා සමතුලනය කිරීමට ඉවහල් වන අතර යහපත් ක්‍රියා කිරීම ට මිනිසා ට හැකියාව ලබා දෙන්නේය”.
ඇත්තෙන් ම බොහෝ අවස්ථා වල නහර දුර්වලතාවෙන් පසු වීම හේතුකොට ගෙන මිනිසා අවාසනාව ට ආරාධනය කරන විට අභිමානයෙන් ක්‍රියා කරයි. ඒ අනුව ශරීර සෞඛ්‍යය වෙනුවෙන් උත්තරීතර අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනය කිරීම ඔහුගේ යහපත පිණිස ම වෙයි. මෙම තත්ත්වයන් ඔස්සේ සලකා බලන විට ආශීර්වාද සහ යහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මිනිසා ට සිය පරමාධිපති සමග පවතින සම්බන්ධතාව වර්ධනය වන බව පෙනේ. තත්ත්වයන් දෙක අතර විශාල වෙනසක් ඇත. එනම් සංහිඳියාව සහ තෘප්තිමත් භාවයයි. සංහිඳියාවෙන් පසු වන මිනිසා සිය පරමාධිපතියා සම්බන්ධයෙන් තැන්පත් හා අවනත ලීලාවෙන් කටයුතු කරයි. දැඩි ස්ථාවර මිනිසා ගැන සලකන කළ දුක් හිරිහැර ඉවසීමේ හේතුවෙන් ඇතැම් විට ඔහු අහංකාර වෙයි. අහංකාරකම යනු මිනිස් ජීවිතය ට අතිශයින් හානිකර ව්‍යාධියක් බව අපි දනිමු. පීඩාවන් වල ගැත්තන් වනවා වෙනුවට ආශිර්වාදයේ ගැත්තන් වීමට අපි සැවොම කැමති වීම ස්වාභාවිකය. කෙසේ වෙතත් අපගේ පැතුම් බලාපොරොත්තු නිතර ම සැබෑ නොවන බව අපි දනිමු. අපට ඉහළින් ක්‍ෂිතිජයේ අකුණු බර වැහිවලාවෙන් පිරුණු කුණාටු මොන තරම් හමා ගියේ ද? තමා නොකැමැති නොරිසි දේවල් කීයකට මිනිසා මුහුණ දෙන්න ට ඇත් ද? මෙවන් අවස්ථා වල කාංසාව දුරලන ඉවසිල්ලේ සහ ශාපයෙන් සුරකින තෘප්තියේ භූමිකාව අවශ්‍ය වෙයි.
වෛද්‍ය සකී මේ ගැන මෙසේ පවසයි. “අල්ලාහ් ට අවනත වීම තම සදාචාරකමේ අංගයකි. මේ මගින් කෙනෙකුගේ ජීවිතයේ වත්මන් භාග්‍යයන් සඳහා කරනු ලබන කැපවීම් ගැන නොනවත්වා ම කල්පනා කිරීමේ නැමියා ව ඉවත් කරනු ලබයි”.
මෙම අවස්ථාව ට ක්‍රියාකාරී අධිෂ්ඨානය අවශ්‍ය බව පැහැදිලි ය. මන්ද, තෘප්තිය ඇති වන්නේ මානසික වශයෙන් කිසියම් කෙලෙස් වේ නම් ඒවා ඉවත් කොට සිත පිරිසිදු කිරීමෙන් පසුව ය. මේ වනාහි නිසැක වශයෙන් ම සාමය හා සංහිඳියාව ස්ථාපිත කරන ක්‍රමවේදයයි. එය සදාචාර සම්පන්න ජීවිතයක ට ලැබෙන ඉස්තරම්ම සම්මානය වෙයි.
තෘප්තිමත් භාවය විසින් මුග්ධ භාවය උපදවන බව ද අලස භාවයෙන් පසු වීමට සිතේ කැමැත්තක් ඇති කරවන බව ද යමෙක් පැවසිය හැක. අපි ඔවුන් ට මෙසේ පිළිතුරු සපයමු. සියලුම ලෞකික මානසික හා ආධ්‍යාත්මික පෝෂණයන් ලබා දෙමින් තමන් පිරිපුන් බවට පත් කර ගැනීමේ ආශාව ට එය කිසිදු අවහිරයක් නොකරයි යන්නය ඒ.
මුහම්මද් ධර්ම දුතයාණන් (අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය එතුමා කෙරෙහි ඇති වේවා) මෙසේ පැවසුහ. “ඔබ වෙනුවෙන් අල්ලාහ් බෙදා වෙන් කර දී ඇති දෙයින් තෘප්තියට පත් වන්න. එවිට ඔබ සියලු මිනිසුන් අතර ධනවත් ම පුද්ගලයා වන්නේය”.
ඔබගේ දවසත් සමග ඔබ තෘප්තියට පත් වන්න. වඩාත් ප්‍රීතිමත් අනාගතයක් සඳහා පතන්න.  
4වන කොටස අනසානය.
ඔබේ අදහස් අපට දන්වන්න.
[email protected]