නබි (සල්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්

1. නබි (සල්) තුමාණන්ගේ ගුණාංග.
2. නබි (සල්) තුමාණන්ගේ නිවස තුළ.
3.සමීපතම ඥාතීන්.
4. නබි (සල්) තුමාණන්ගේ ආදර්ශය සහ ලක්ෂණ.
5. නබි (සල්) තුමාණන්ගේ දියණියෝ.
6. විවාහක ජීවිතය.
7. නබි (සල්) තුමාණන්ගේ නින්ද.
8. නබි )සල්) තුමාණන්ගේ නැමදුම.
9. නබි (සල්) තුමාණන්ගේ සේවක.
10. ත්‍යාග හුවමාරු හා අගන්තුක සත්කාරය.
11. කුඩා දරුවන්ට කාරුණිකවිම.
කුඩා දරුවන්ට කාරුණිකවිම. 12.
13. කරුණාව, යහ දේ අණ කර. නරක දැයින් ඉවත් කිරිම.
14. ආහාර, පාන හා ඇඳුම්.
15. අන් අයගේ ආත්ම ගෞරව.
16 නබි (සල්) තුමාණන්ගේ නින්ද.
17.අල්ලාහ් මෙනෙහි කිරිම.
18.අසල් වැසියන්ට අයිතිවාසිකම් ඉටු කිරීම, ඉවසිම හා වීරත්වය, එතුමාණන්ගේ ප්‍රාර්ථනාවන් යන කරුණු.

නබි (සල්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්

< සිංහල- Sinhala  -سنهالي  >
        
අබ්දුල් මාලික් අල් කාසිම්
සංස්කරණය කළේ



ජාසිම් ඉබ්නු දඉයාන්
පරිවර්තක

මුහම්මද් අසද්
විචාරය කිරීම
 
يوم في بيت الرسول صلى الله عليه وسلم
<اللغة السنهالية >

        

اسم المؤلف
عبد الملك القاسم



ترجمة: جاسم بن دعيان
مراجعة:محمد آساد
 
නබි (සල්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්
අබ්දුල් මාලික් අල් කාසිම් විසින් සකස් කරන ලදී
සිංහල බසින්
ජාසිම් ඉබ්නු දඉයාන්
නිවසට ඇතුළුවීමට පෙර...
සියලු පැසසුම් උත්තරීතර අල්ලාහ්ට හිමිය. මුහම්මද් නබි (සල්) තුමාණන්ට, එතුමාණන්ගේ පවුලේ අයට, එතුමාණන්ගේ මිතුරන් සහ අවසාන දිනය දක්වා එතුමාණන්ව අනුගමනය කරන සියලු දෙනාටම අල්ලාහ්ගේ ආශීර්වාදය හා සාමය හිමි වේවා!
මෙම පොත් පිංචයේ නබි (සල්) තුමාණන්ගේ ජීවන ක්‍රමය පිළිබඳ ව කෙටියෙන් විස්තර සඳහන් වේ. එතුමාණන්ගේ සම්පූර්ණ ජීවන ක්‍රමය සෑම කෙනෙකුටම අදාල නොවන නමුත්, සෑම කෙනෙකුටම එම ජීවන ක්‍රමයෙන් විවිධ අවස්ථාවන් නිරූපනය කිරීමට සිදු වන බව නිසැකය. මේ බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක.
මෙම යථාර්ථය පදනම් කර ගෙන මෙම පොත් පිංචය සකස් කරන ලදී. මෙම ජීවන ක්‍රමය සෑම මුස්ලිම් වරයෙකුම දැන ගත යුතුය, එය හැකි අයුරින් අනුගමනය කළ යුතුය යන අපේක්ෂාවෙන් සිංහල බසට පරිවර්තනය කරන ලදී.
මෙම පොත් පිංචයේ වැරදි කිසිවක් තිබේ නම්, ඒවා අපහට පෙන්වා දෙන ලෙස කාරුණික ව ඉල්ලා සිටිමු.
මෙමගින් අපි සියලු දෙනාටම අල්ලාහ් යහඵල දෙත්වා යැයි පතමු.
උත්තරීතර අල්ලාහ් ඔහුගේ නබි (සල්) තුමාණන්ට ආශීර්වාද කරත්වා!
ආමීන්
ජාසිම් ඉබ්නු දඉයාන්
පෙරවදන
සෘජු මාර්ගය සහ සත්‍ය දහම සමඟ මෙලොවට නබි (සල්) තුමාණන් ව එවු උත්තරීතර අල්ලාහ්ට සියලු පැසසුම් හිමිවේවා. මුළු ලොවටම ආදර්ශයක් වශයෙන් එවන ලද නබි (සල්) තුමාණන් කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශීර්වාදය හිමිවේවා.
වර්තමාන සමාජයේ ජිවත් වන ජනතාව ඕනෑම දෙයක්  ප්‍රශංසා කරමින් හෝ නින්දා කරමින් කාලය ගෙවති. ඔවුන්ගෙන්  ඇතැම් පිරිස් අල්ලාහ්ට සමාන කරන තරමට නබි (සල්) තුමාණන්ට අධික ලෙස ප්‍රශංසා කොට, එතුමාණන්ගෙන් උපකාර පතමින් සිටිති. එමෙන්ම තවත් පිරිසක්, නබි (සල්) තුමාණන්ගේ ආදර්ශය, එතුමාණන්ගේ ජීවන මාර්ගය ගැන කිසිවක් නොසලකා, ඒවා අනුගමනය නොකර ජීවත් වෙති. මේ දෙපිරිසම නබි (සල්) තුමාණන්ගේ ජීවිතය තමන්ට අවශ්‍ය ආදර්ශයක් වශයෙන්, තම ජීවිතයට අරමුණක් වශයෙන් නොගනිති. ඔවුන්ට අල්ලාහ්ගේ ආරක්ෂාව පතමු.
නබි (සල්) තුමාණන්ගේ ඉතිහාසය සහ එතුමාගේ ජීවන ක්‍රමය පිළිබද ව ඔබ සියල්ලට පහසුවෙන් හඳුන්වා දීමේ අපේක්ෂාවෙන් මෙම පොත් පිංචය සකස් කළෙමි. නබි (සල්) තුමාණන්ගේ ජීවිතයේ සෑම අංගයක්ම මෙහි දී හෙළිදරව් නොකරන නමුත්, එතුමාණන්ගේ අංග සම්පූර්ණ ගුණාංගයන් කිහිපයක් පැහැදිලි කිරීමට හැකි වන බව සිතමි. මේ සඳහා සෑම පාඩමකම එයට අදාළ හදීස් වදනක් සඳහන් කළෙමි. නබි (සල්) තුමාණන්ගේ ජීවන රටාව සමාජයේ ජීවන රටාව විය යුතුය. එතුමාණන් මෙලෙස ජීවන මාර්ගය පෙන්වුයේ තම ඇරයුම සනාථ කරනු පිණිසය. නැමදුම්, යහ ගුණාංග, ආදර්ශමත් හැසිරීම් යන සියලු අංශයන්හි එතුමාණන් උතුම් ස්ථානයක් දැරූහ.
මේ බව අල්ලාහ් සඳහන් කරන්නේ මෙසේය:
“සැබැවින්ම, ඔබ අති ශ්‍රේෂ්ඨ ගුණාංගයන් මතය.”  සූරා අල් කලම් 68:4.
නබි (සල්) තුමාණන්හට කුමන තත්ත්වයක් අල්ලාහ් පිරිනැමුවේද එම තත්ත්වය පමණක් අහ්ලුස් සුන්නාහ් ව අල් ජමාඅත් යන පිරිස සඳහන් කරමින් එතුමාණන් ගැන පැසසුම් කරති. මේ හේතුවෙන් ඔවුන් තම දෙමාපියන්, තම දරුවන් හා තමන්ට වඩා නබි (සල්) තුමාණන්ට ආදරය දක්වති. එහෙත් එතුමාණන්ගේ සැබෑ තත්ත්වයට වඩා කිසිවක් ඔවුන් නොපවසති.
අපද ඒ මාර්ගයේම ගමන් කරන්නෙමු. එතුමාණන්ගේ නාමයෙන් මව්ලිද් හෝ වෙනත් උත්සව කිසිවක් නොපවත්වමු. තවද, එතුමාණන් අණ කළ ආකාරයට එතුමාණන් කෙරෙහි ආදරය දක්වමින්, එතුමාණන් අණ කළ අයුරින් එතුමාණන්ට අවනත වෙමු. එතුමාණන් පැවසු දේ සැබෑ කරමින්, එතුමාණන් තහනම් කළ සියලු දැයින් ඉවත් වන්නෙමු.
මෙලොව ජීවිතයේ එතුමාණන් ව දැක ගන්නට අපට නොහැක. එතුමාණන් හා අප අතර ගත වූ කාලය දීර්ඝය. “මම මගේ සහොදරයන් දැක ගන්නට කැමති වෙමි.“ යැයි වරක් නබි (සල්) තුමාණන් පැවසු විට, “අල්ලාහ්ගේ රසූල් තුමණි! අපි ඔබගේ සහෝදරයන් නොවේ දැ?”යි අවට සිටි සහාබාවරුන් විමසුහ. එවිට එතුමාණන්, “ඔබ සියලු දෙනාම මගේ මිතුරන්ය. නමුත් මගේ සහෝදරයෝ තවමත් පැමිණ නැත.” යැයි පිළිතුරු දුන්හ. අල්ලාහ්ගේ රසූල් තුමාණනි! ඔබේ සමාජයට තවමත් නොපැමිණි අය ගැන ඔබ හඳුනා ගන්නේ කෙසේ දැ?” යි සහාබාවරුන් විමසුහ. එවිට එතුමාණන්, “විශාල සංඛ්‍යාත අශ්වයන් මැද හිමි පැහැති මුහුණ හා පාදයෙන් ආලෝක විහිදෙන අශ්වයෙක් කෙනෙකුට තිබුණේ නම්, ඔහු එය හඳුනා ගන්නේද?” යැයි විමසීය. එවිට සහාබාවරුන් “ඔව්” යැයි පිළිතුරු දුන්හ. එවිට නබි (සල්) තුමාණන්, “මගේ සහෝදරයින් වුදු ධෝවනය කිරීමේ හේතුවෙන් ආලෝකමත් මුහුණ සහිත ව (අවසාන දිනයේ) පැමිණෙන්නෝය. මගේ පොකුණ අසල ඔවුන් ව මුණ ගැසෙනු ඇත.” යනුවෙන් වදාළහ. මූලාශ්‍ර මුස්ලිම්. නබි (සල්) තුමාණන් සඳහන් කළ පිරිස අතර අපද සිටින්නට අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු. ඔබද එසේම ප්‍රාර්ථනා කරනු මැනව.
නබි (සල්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කරන ජනතාව අතර අපද එකතු කර ගන්නා ලෙස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු. තවද, අද්න් නම් ස්වර්ගයේ එතුමාණන් සමඟ රැස් කරන ලෙසද, එතුමාණන්ට සම්පූර්ණ වේතනය ලබා දෙන මෙන්ද උත්තරීතර අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.
මුහම්මද් නබි (සල්) තුමාණන්ට, එතුමාණන්ගේ පවුලේ අයට, එතුමාණන්ගේ මිත්‍ර සහාබාවරුන්ට අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය හිමිවේවා.
අබ්දුල් මාලික් මුහම්මද් ඉබ්නු අබ්දුර් රහ්මාන් අල් කාසිම්.
*****************


හමුවීම
පසු ගිය ශත වර්ෂ කිහිපයක් පිළිබඳ ව, පසු කර ආ ජීවන පුස්තකයේ පිටු කිහිපයක්  කියවා බලා, එහි දුටු ඇතැම් විස්තර පිළිබද ව කල්පනා කර බලමු. එම විස්තර තුළින් නබි (සල්) තුමාණන් ව එතුමාණන්ගේ නිවසෙහි ම දැක බලා ගනිමු.
එතුමාණන්ගේ නිවසට ගොඩ වී, එහි සිදුවීම් කිහිපයක් දැක, එතුමාණන්ගේ වටිනා වදන් කිහිපයකට සවන් දි, එක් දිනක් හෝ එම නිවසේ රැඳී සිටින්නට බලමු. මෙමගින් අගනා පාඩම් ඉගෙන ගෙන, වදනින් හා ක්‍රියාවෙන් ආලෝක ලබමු.
මිනිසුන්ගේ දැනුම පුළුල් ව විවෘත වී ඇත. ඔවුන්ගේ කියැවීමේ හැකියාව වර්ධන වී ඇත. ග්‍රන්ථ, රූප හා ලිපි මගින් නැගෙන හිර හා බටහිර සියලු දිසා දැක ගන්නට ඔවුන් ආරම්භ කළහ. ඔවුන්ට පෙර අපි නබි (සල්) තුමාණන්ගේ නිවස බැහැ දැක ගන්නට යමු.  එහි දී අපි දකින දේ සහ දැන ගන්නා දේ අපගේ ජීවිතයේ අනුගමනය කරමු. මේවා පිළිබඳ ව මනා පුහුණුව ලැබ අපගේ නිවෙස් වල ප්‍රායෝගිකව පිළි පදිමු. මෙය අප වෙත පවරණ ලද අනිවාර්යය බැඳීමකි.
මාගේ ඉස්ලාමීය සහෝදරයාණනි! ගත වූ සිය වසර ගණනාවක් අපගේ දෑසින් සැඟ වූ දෑ ගැන සවන් දීමට හෝ අපගේ මුතුන් මිත්තන්ගේ ජීවන තත්ත්වය යළි මතක් කිරීමට අවශ්‍යතාවක් නැත. කෙසේ වෙතත්, අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන්ගේ ජීවිත කතාව අධ්‍යයනය කර, එතුමාණන්ගේ මාර්ගය අනුගමනය කර අපි අල්ලාහ්ට නැමදුම් කළ යුතුය.
නබි (සල්) තුමාණන් කෙරෙහි ආදරය දැක්වීමේ සලකුණ වන්නේ එතුමාණන් අණ කළ දේ අනුගමනය කර, එතුමාණන් තහනම් කළ දේවලින් වැළකී, එතුමාණන් ඉගැන් වූ දේ සැබෑ කිරීම තුළින්ය.
නබි (සල්) තුමාණන්ට අවනත වී එතුමාණන්ගේ නියෝගයන් ක්‍රියාවේ යෙදවීම අප සතු වගකීමක් බවද එතුමාණන් ව අපට නායකයෙකු බව පත් කළ බවද අල්ලාහ් අල් කුර්ආනයේ සදහන් කර ඇත.
“(පවසනු) ඔබ අල්ලාහ් ව ප්‍රිය කරන්නේ නම් මා අනුගමනය කරවු. අල්ලාහ් ඔබ ව ප්‍රිය කරන්නේය.  ඔබගේ පාපයන් ඔබට ක්‍ෂමා කරන්නේය. අල්ලාහ් ක්‍ෂමාව දෙන්නේය. දයාලුය.” 3:31
තවද “අල්ලාහ් ව ද පරමාන්ත දිනය ද අපේක්ෂා කොට අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරන්නන්ට අල්ලාහ්ගේ රසූල් වරයාගෙන් නුඹලාට අලංකාරවත් ආදර්ශයක් ඇත.” 33:21
 නබි (සල්) තුමාණන්ට අවනත වී, එතුමාණන් ව අනුගමනය කිරීමේ අව්‍යශතාව පිළිබඳ ව අල් කුර්ආනයේ තැන් හතළිහක පමණ අල්ලාහ් සඳහන් කරයි. මේ හේතුවෙන් නබි (සල්) තුමාණන් ව අනුගමනය කිරීම හැර බැතිමතුන්ට වෙනත් විකල්පයක් නැත. සියලු ජනතා ව එක් රැස් කරනු ලබන අවසාන දිනයේ ඔවුන්ට කිසිදු ජයක්ද නොමැත.
කවරෙකු අල්ලාහ්ට සහ ඔහුගේ රසූල් (සල්) වරයාට අවනත වන්නේද ඔහුව පහළින් ගංගා ගලා බසින ස්වර්ගයට අල්ලාහ් ඇතුලත් කරන්නේය. ඔවුන් එහි සදා කල් රැඳී සිටින්නෝය. මෙය මහත් ජයග්‍රහණයකි.
‘කවරෙකු අල්ලාහ්ට සහ ඔහුගේ රසූල් (සල්) තුමාණන්ට පිටුපා එරෙහි වන්නේද, නියම කරන ලද සීමාව උල්ලංඝනය කරන්නේද, එම තැනැත්තා අපා ගතවන්නේය. ඔවුන් එහි සදා කල් රැඳී සිටින්නෝය. ඔවුන්ට එහි නින්දිත දඬුවම් ඇත.” කුර්ආන් 4:13 සහ 14.
තවද, නබි (සල්) තුමාණන් කෙරෙහි ආදරය තැබීම තුළින් ඊමානයේ මිහිරි බව ලබා ගැනීමේ මාර්ගයක් බවට පත් වේ. කවරෙකු වෙත කරුණු තුනක් තිබේ ද ඔහු ඊමානයේ මිහිරි භාවය උපයා ගත්තේය. ඒවා නම්, අල්ලාහ් සහ ඔහුගේ රසුල් (සල්) තුමාණන් තම ආදරයට හිමි අය බව පත් කර ගැනීම......” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශය බුහාරි සහ මුස්ලිම්.
“මාගේ ප්‍රාණය කවරෙකුගේ අතේ තිබේද, (ඔහු මත දිවුරා පවසමි) ඔබ අතර කෙනෙක් තම දෙමාපියන්, දරුවන්ට වඩා මා ඔහුගේ ආදරයට අධික ව හිමි බව පත් කර ගන්නා තුරු ඔහු සැබෑ විශ්වාසය තැබු කෙනෙක් බවට පත් වන්නේ නැත.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශය බුහාරි සහ මුස්ලිම්.
මේ හේතුවෙන් නබි (සල්) තුමාණන්ගේ ජීවිත කතාව ඉතාමත් පවිත්‍ර එකක් වන අතර,  එය අධ්‍යයනය කර අපි ද එය අනුගමනය කරමු.
ගමන
නබි (සල්) තුමාණන්ගේ ජීවන ක්‍රමය අධ්‍යයනය කරනු පිණිස එතුමාණන්ගේ නිවසට යෑම ඉතාමත් භාරදූර කටයුත්තකි. එහෙත් එම මාර්ගයෙන් අපට කුසල් ලැබෙන්නේ නම් එය ඉවත දැමිය හැකි ද?
එතුමාණන්ගේ ජීවිතය මඟ පෙන්වීමකි, ඉගැන්වීමකි සහ අනුගමනය කළ යුතු එකකි. මෙහිදී ගමන යනුවෙන් සඳහන් කළේ ග්‍රන්ථ සහ සහාබාවරුන් වාර්තා කළ කරුණු අතර යන ගමන මිස සොහොනක් හෝ නබි (සල්) තුමාණන්ගේ හෝ වෙනත් කිසිවෙකුගේ නිවසක් සංචාරය කිරීම නොවේ. මෙයට හේතු වන්නේ මස්ජිද් තුනක් හැර අන් කිසිදු ස්ථානයක් බැහැ දැකීමේ අරමුණින් ගමනක යෙදිය නොයුතු නිසාය.
නබි (සල්) තුමාණන් මෙසේ වදාළහ. “මස්ජිද් තුනක් හැර අන් කිසිදු ස්ථානයක වන්දනාවේ යෙදිය නොහැක. ඒවා නම්, කඅබා නම් දේවස්ථානය, මාගේ මෙම මස්ජිදය සහ අල් අක්සා නම් මස්ජිදයයි.”  මූලාශ්‍ර සහීහ් බුහාරි සහ සහීහ් මුස්ලිම්.
නබි (සල්) තුමාණන්ගේ ආඥාවට එකඟ ව ක්‍රියා කිරීම අනිවාර්යය වන හෙයින් ඉහත සදහන් මස්ජිද් තුන හැර අන් කිසිදු ස්ථානයකට වන්දනා ගමනේ යෑම නොකළ යුතුය. මේ බව අල්ලාහ් අණ කරන්නේ මෙලෙසය. “රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනිවු. ඔහු නුඹලාට කුමක් තහනම් කළේද එයින් වැළකී සිටිවු.” කුර්ආන් 59:7
නබි (සල්) තුමාණන්ගේ කිසියම් ආදර්ශයක් තිබුණේ නම් මිස අන් කිසිවක් අප අනුගමනය කළ නොයුතුය. ඉබ්නුල් වල්ලාහ් (රළි)තුමා මෙලෙස වාර්තා කරයි. නබි (සල්) තුමාණන් මක්කාවේ ගසක් යට සහාබාවරුන්ගෙන් බයිඅත් හෙවත් පාක්ෂිකභාවයේ දිවුරුම් දීම භාර ගත්හ. (එතුමාණන්ගේ අභාවයෙන් අනතුරු ව) ජනතාව එම ස්ථානයට ගොස් සලාහ් කිරීමට ආරම්භ කළහ. මෙම ක්‍රියාවෙන් බිද්ආ නම් ආගමේ නොමැති අනර්ථයක් සිදු වේ යැයි බිය වූ උමර් (රළි) තුමා එම ගස කපා දමන ලෙස නියෝගය නිකුත් කර එය ක්‍රියාවටද නැංවීය. මූලාශ්‍ර සහීහ් බුහාරි සහ මුස්ලිම්.
හිරා නම් ගල් ලෙන පිළිබඳ ව පවසන විට ඉබ්නු තයිමිය්යා (රහ්) මෙසේ දැන්වුහ. “නබිත්වය ලබන්නට පෙර මුහම්මද් (සල්) තුමාණන් එම ගල් ලෙනෙහි හුදකලාවේ භාවනාවේ නිරත වී සිටියහ. ප්‍රථම කුර්ආන් වාක්‍ය අල්ලාහ්ගේ වහි මගින් පහළ කරනු ලැබුවේ එම ස්ථානයෙහිය. අනතුරුව පහළ වූ ඉතිරි කුර්ආන් වැකි සියල්ල වෙනත් ස්ථානයන් හි, වෙනත් පරිසරයන් හි පහළ වූ බව අපි දනිමු. කෙසේ වෙතත්, සහාබාවරු කිසිවෙක් විශේෂ වරප්‍රසාද පතා එම ගල් ලෙනට ළඟා නොවු අතර, එයට ඇතුළු වුයේද නැත. නබිත්වය ලැබීමෙන් පසුව වසර දහයක් මදීනාවෙහි ජිවත් වු නබි (සල්) තුමාණන් කිහිප අවස්ථාවන්හි මක්කාවට පැමිණි අතර හිරා ගල් ලෙන අසල නැවතී සිටිය නමුත්, එතුමාණන් හෝ එතුමාණන් සමඟ පැමිණි සහාබාවරුන් හෝ කිසිවෙක් එම ගල් ලෙන බැහැ දැක ගැනීමට ගියේ නැත.” මජ්මූඋල් ෆතවා 27:251.
මෙහිදී මදීනා නගරය දෙස ද අප අවධානය යොමු කළ යුතුය. උහුද් කන්ද එහි තිබෙන අතර, එම කන්ද පිළිබඳ ව නබි (සල්) තුමාණන් මෙසේ පැවසුහ. “මෙම කන්ද අප ව ප්‍රිය කරන අතර, අපිද මෙම කන්දට ප්‍රිය කරමු.” මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.
නබි (සල්) තුමාණන්ගේ නිවසට ඇතුළු වීමට පෙර, එම නිවස දෙස නෙත් යෙමු කරන්නට පෙර, එම නිවසේ කුඩා ප්‍රමාණය හෝ එහි තිබෙන ඇතිරිලි හෝ දැක අප විස්මයට පත් නොවිය යුතුය. එයට හේතුව, නබි (සල්) තුමාණන් මෙලොව සැප සම්පත් සියල්ල අවම කර, එහි අලංකාරය හෝ වස්තුන් දෙස නොබලා, ඉතාමත් චාම් ජීවිතයක් ගත කළහ. එහෙත් “එතුමාණන්ගේ දෑසේ සැනසිල්ල සලාහ් හෙවත් නැමදුමෙහි තිබිණ.” මූලාශ්‍ර අන් නසායි.
මේ ලෝකය පිළිබඳ ව සඳහන් කරන විට, “මොලොවෙහි මට කුමක් තිබේද? මෙලොව හා මට තිබෙන සම්බන්ධකම, ගිම්හානයේ ගමනක යෙදෙන මගියෙක්, දහවල් කාලයේ පැයක් පමණ ගසක් යට නැවති, යළි තම ගමනේ බෙදීම බඳුන්ය.‘ යයි නබි (සල්) පැවසුහ”. මූලාශ්‍ර තිර්මිදි.
නබි (සල්) තුමාණන්ගේ නිවස කොබඳු එකක්ද?. මදීනා නගරයට යන මාර්ගයේ එක් ගඩොල්ලක් මත තවත් ගඩොල්ලක් තබා බිත්ති තනා, ඒවා මත ඉඳි ගසේ අතු දමා වහල සෙවිලි කරන ලද එතුමාණන් බිරියන්ගේ නිවෙස් ඔබට පෙණෙනවාද?
හසන් (රළි) තුමා මෙසේ වාර්තා කරයි. “ උත්මාන් (රළි) තුමාගේ පාලන කාලයේ නබි (සල්) තුමාණන්ගේ නිවසේ වහලට ඉඳි ගසේ අතු දමා සෙවිලි කිරීමේ කටයුතු මම ඉටු කළෙමි.” (තකොතුල් කුබ්රා 1: 501 සහ 499 පිටුව)
චාම් ලෙස ඉදි කරන ලද ඒ නිවෙස්වල ඉතාමත් කුඩා කාමර තිබුණි. එහෙත් ඒවා ගොඩ නැගුණේ ඊමාන්, නැමදුම් සහ වහි නම් දේව නියෝගයන් මත ය.
නබි (සල්) තුමාණන්ගේ ගුණාංග
නබි (සල්) තුමාණන්ගේ නිවසට ළඟා වී, එතුමාණන්ගේ අනුමැතිය සහිත ව දොරට තට්ටු කරමු. නබි (සල්) තුමාණන් ව දෑසින් දුටු සහාබාවරු, එතුමාණන්ගේ ගුණාංගයන් අපහට දන්වා, එතුමාණන්ගේ යහපත් ජීවිතය පිළිබඳ ව අපට දැනුවත් කළහ. ඒ අය සමඟ අපි ද එක්වෙමු.
අල් බර්රා ඉබ්නු ආසිෆ් (රළි) තුමා මෙසේ දැන්විය. “අල්ලාහ්ගේ දූතයාණන් ජනතාව අතර ඉතාමත් මණහර මුහුණක් සහිත කඩවසම් පෙණුමකින් යුක්තව සිටියහ. එතුමාණන් කැපී පෙණෙන තරමට වැඩිය උසින් හෝ වැඩිය කොට හෝ නොවු කෙනෙකි.”
එම සහාබිවරයා (රළි) තව දුරටත් මෙසේ දන්වයි. “එතුමාණන් මධ්‍යම ප්‍රමාණව උසට සිටි අතර, (පිට සහ පපුව පළල් වූ හේතුවෙන්) උරහිස දෙක අතර වැඩි ඉඩ සහිත කෙනෙකි. එතුමාගේ හිසකෙස් කන් පෙත්ත දක්වා දිගට තිබුණි. දිනක් එතුමාණන් රතු පැහැති ඇඳුමෙන් දුටුවෙමි. එයට වඩා ලස්සන ඇඳුමක් මම කිසි විටෙක දැක නැත.” මුලාශ්‍ර බුහාරි.
තවත් සහාබිවරයෙකු වන අබු ඉස්හාක් අස් සුබෙය්යි (රළි) තුමා මෙසේ දන්වයි. “නබි (සල්) තුමාණන්ගේ මුහුණ අසිපතක් මෙන් (දිග මුහුණක්) තිබුණාදැ?යි” කෙනෙක් අල් බර්රා ඉබ්නු ආසිෆ් (රළි) ගෙන් විමසු විට, “එතුමාණන් මුහුණ පිරුණු පුන් සඳ මෙන් තිබුණි” යනුවෙන් පිළිතුරු දෙන ලදී.
“නබි (සල්) තුමාණන්ගේ අතට වඩා සුමුදු සේද රෙද්දක්  මා ස්පර්ශ කර නැත. නබි (සල්) තුමාණන්ගේ සිරුරෙන් නිකුත් වන සුගන්ධය මෙන් කිසිදු විලවුන් මම ආඝ්‍රාණය කර නැත.” යැයි අනස් (රළි) තුමා වාර්තා කරයි. මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.
ලැජ්ජාව නොහොත් කුළෑටිකම එතුමාණන්ගේ එක් ගුණාංගයකි. අබු සඊද් අල් කුද්රි (රළි) මේ බව දන්වයි. “තිරයට පිටු පසින් සිටින කන්‍යාවියකට වඩා නබි (සල්) තුමාණන් අධික ලැජ්ජාශීලිත්වයෙන් යුත් කෙනෙකි. එනම් එතුමාණන් යමක් පිළිකුල් කළේ නම් එතුමාණන්ගේ මුහුණෙන් අපට එය දැක ගත හැකි වනු ඇත. ” මූලාශ්‍රය සහීහ් බුහාරි.
ඉහත සඳහන් කළේ නබි (සල්) තුමාණන්ගේ හැඩ රුව, ගුණාංගය සහ ලක්ෂණ යනාදීන්හි සාරාංශය වේ. සැබැවින්ම අල්ලාහ් අංග සම්පූර්ණ හැඩ රුව සහ ගුණාංග එතුමාණන්ට දුන්නේය.
නබි (සල්) තුමාණන්ගේ සම්භාෂණය
    නබි (සල්) තුමාණන්ගේ ගුණාංගයන් කිහිපයක් ගැන දුටුවෙමු. දැන් එතුමාණන්ගේ කතා ශෛලිය කෙසේ තිබුණේ දැ යි බලමු.
ආයිෂා (රළි) තුමිය මෙලෙස දන්වයි. “නබි (සල්) තුමාණන් ඔබ ලා මෙන් දීර්ඝ ව කතා කරන කෙනෙක් නොවේ. එහෙත් පැහැදිලි ව, ඕනෑම කෙනෙකඅට පහදා ගත හැකි අයුරින් එතුමාණන් කතා කළහ. එවිට එතුමාණන් සමඟ සිටින සහාබාවරු ඒ වදන් සිත් හි වනපොත් කර  ගනිති.”මූලාශ්‍රය අබු දාවුද්.
නබි (සල්) තුමාණන් මෘදු වදනින්, තම කතාව සෑම කෙනෙක් ම  වටහා ගත යුතු යැයි අපේක්ෂාවෙන් කතා කළහ. කරුණක් පහදා  ගැනීමේ හැකියාව විවිධ ජනයා අතර විවිධ මට්ටමේ තිබෙන බව අවබෝධ සහිත ව කතා කිරීම එතුමාණන්ගේ විශේෂත්වයකි. සැබැවින්ම මේ සඳහා කෙනෙකුට බොහෝ ඉවසීම සහ නිපුණත්වයක් තිබිය යුතුය.
ආයිෂා (රළි) තුමිය මේ විෂය පිළිබඳ ව සඳහන් කළේ මේ ආකාරයෙනි.“ නබි (සල්) තුමාණන්ගේ කතාව, එයට සවන් දෙන සෑම කෙනෙකුටම පහදා ගත හැකි අයුරින් පැහැදිලි ව තිබුණි.” මූලාශ්‍රය අබු දාවූද්.
නබි (සල්) තුමාණන්ගේ ඉවසිලිමත්කම සහ පුළුල් හදවත දෙස බලනු මැනව. තමා පැවසු දේ ජනතාව නිසියාකාර ව පහදා ගත යුතු යැයි බලාපොරොත්තුවෙන් එතුමාණන් එම කතාව යළි යළිත් සඳහන් කළහ.
“තම කතාව ජනතාව නිසියාකාර ව පහදා ගත යුතු යැයි බලා පොරොත්තුවෙන් එතුමාණන් යළි යළිත් තෙවරක් පැවසුහ.” යැයි අනස් (රළි) වාර්තා කරයි. මූලාශ්‍රය තිර්මිදි.
නබි (සල්) තුමාණන් ජනතාව කෙරෙහි ඉතාමත් කාරුණික ව, ඔවුන්ගේ අවබෝධ කර ගැනීමේ හැකියාවට එකඟ ව ඉතාමත් ශාන්ත ව කටයුතු කළහ. මෙයින් ඇතැම්  අය එතුමාණන්ට බිය බැතිමත් ව ගෞරවය දැක්වුහ.
දිනක් මිනිසෙක් නබි (සල්) තුමාණන් වෙතට පැමිණි විට බිය හේතුවෙන් ඔහු වෙවුලමින් කතා කළේය. එවිට නබි (සල්) තුමාණන්, “බිය නොවනු. මම රජු කෙනෙක් නොව, වියළි මස් ආහාරට ගන්නා කාන්තාවකගේ පුතෙක් වෙමි.” යැයි පවසා ඔහුගේ බිය දුරු කළහ. ඉබ්නු මස්ඌද් (රළි) වාර්තා කරයි. මූලාශ්‍ර ඉබ්නු මාජා.
නබි (සල්) තුමාණන්ගේ නිවස තුළ....
නබි (සල්) තුමාණන්ගේ නිවස සූක්ෂම ලෙස බලන්නට අපට අනුමැතියද, අවස්ථාවක්ද දෙනු ලැබුණි. නබි (සල්) තුමාණන්ගේ මිතුරන් වන සහාබාවරු එම නිවසේ තිබෙන ඇතිරිලි, බඩු බාහිරාදිය පිළිබඳ ව සම්පූර්ණ තොරතුරු අපහට සපයා ඇත.
මෙම නිවසේ කාමර හෝ උඩු මහල් පිළිබඳ ව සොයා බලන්නට අපට අවශ්‍යතාවක් නොමැති බව අපි දනිමු. කෙසේ වෙතත් අධ්‍යයන කිරිමේ අවශ්‍යතාව නිසා ඉතාමත් ගෞරවනීය එම නිවස තුළ තැන් කිහිපයක් දෙස බලමු. මෙම නිවසේ අත්තිවාරම ඉතාමත් චාම් ය. ඒ සඳහා යොදා ගනු ලැබු වියදම් විශ්වාසවන්ත භාවයයි. අද සමාජයේ බොහෝ නිවෙස් හි බිත්ති වල විවිධ චිත්‍ර එල්ලා තිබෙනවාක් මෙන් නබි (සල්) තුමාණන්ගේ නිවසේ බිත්ති වල කිසිවක් එල්ලා නොමැත.
“කුමන නිවසක සුනකයෙකුගේ චිත්‍ර තිබේ ද, එම නිවස තුළට මලාඉකාවරුන් ඇතුල් වන්නේ නැත.” යැයි නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර බුහාරි සහ මුස්ලිම්.
නබි (සල්) තම දෛනික ජීවිතයේ උපයෝගි කළ ඇතැම් භාණ්ඩ දෙස ඔබේ නෙත් යොමු කරනු මැනව.
 ලී වලින් සාදා යකඩ පටි වලින් අමුණා තිබු භාජනයක් රැගෙන පැමිණි අනස් ඉබ්නු මාලික් (රළි) තුමා, “නබි (සල්) තුමාණන් උයෝගි කළ භාජනය මෙයයි. ජලය, පලතුරු යුෂ, මී පැණි, කිරි වැනි දෑ බීම සඳහා එතුමාණන් යොදා ගත්තේ මෙම භාජනයයි.“ පැවසු බව තාබිත් (රළි) වාර්තා කරයි. මූලාශ්‍රය තිර්මිදි.
“නබි (සල්) තුමාණන් ජලය බීමට පෙර භාජනයට බැහැර ව තුන් වරක් ආශ්වාස ප්‍රශ්වාස කර, ඉන් පසුව ජලය පානය කළහ.” යැයි අනස් ඉබ්නු මාලික් (රළි) වාර්තා කළේය. මූලාශ්‍රය මුස්ලිම්.
තවත් වාර්තාවක. “කෙනෙක් යමක් පානය කරන විට, භාජනය තුළ ආශ්වාස කිරීම හෝ පීඹීම වැනි ක්‍රියාව නබි (සල්) තුමාණන් තහනම් කළහ.” යනුවෙන් පැවසුහ. මූලාශ්‍ර තිර්මිදි.
සටනක යෙදෙන විට හෝ අසීරු අවස්ථාවන් හි හෝ පැලඳ ගන්නා කවචය ඇතැම් දින වල නිවසේ දක්නට නොතිබේ. මන්ද, එම ආවරණය තිරිඟු සේරු 30ක් සඳහා යුදෙව් ජාතිකයෙකු වෙත උකස් තබන ලද අතර, එතුමාණන් මරණයට පත් වූයේ එලෙස උකස් කර තිබු තත්ත්වයකය. මූලාශ්‍රය බුහාරි, මුස්ලිම්.
නබි (සල්) තුමාණන් තම නිවසට ඇතුළු වුයේ තම සලාම් පවසා පවුලේ සාමාජිකයන්ගෙන් පෙර අනුමැතිය පැතීමෙන් පසුවය. හිටිහැටියේ නිවසට ඇතුළු වී එහි සිටින අය තිගැස්සෙන පරිදි කිසි විටෙක නිවසට ඇතුළු වුයේ නැත. මූලාශ්‍ර zසාද් උල් මආද් 2:381.
සිහියෙන් තබා ගැනීමේ අරමුණින්, යහ දේ සොයන දෑසින් නබි (සල්) තුමාගේ මෙම උපදෙස් දෙස නෙත් යොමු කරනු. “ඉස්ලාමීය යහ ජීවන මාර්ගයේ, තමන්ට ලැබු දැයින් සෑහිමට පත්වු වන්ට සුබ පැතුම් හිමි වේවා” යැයි නබි (සල්) පැවසුහ. මූලාශ්‍ර තිර්මිදි.
තවත් හදිසයක “තම ශරීරයේ හැකියාව සහිත, එදා දිනයේ තම ආහාර තිබෙන බව දැඩි විශ්වාසය සහිතව, කවරෙකු අළුයම අවදි වන්නේද, මුළු ලොවම ඔහුට දෙනු ලැබු කෙනෙක් හා සමාන වන්නේය.” යනුවෙන් රසූල් (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍රය තිර්මිදි.
සමීපතම ඥාතීන්
    තම නෑයන් හා ඥාතීන් සමඟ සතුටින් හා  සමඟියෙන් ජීවත් වීම රසූල් (සල්) තුමාණන්ට මහත් සතුට ගෙන දුන්නේය. මෙම විෂය සම්බන්ධ ව එතුමාණන් පරිපූර්ණ ව සිටියහ. නබිත්වයට පත් වීම ලබන්නට පෙරද එතුමාණන් සත්‍යයවන්තයෙක්, විශ්වාසයට හිමි කෙනෙක් බව එතුමාගේ නිවේදනය පිළි නොගත් මක්කා වාසීන්ගෙන් පවා පැසසුම් ලැබුහ. තවද, කදීජා (රළි) තුමියද “ඔබ තුමාණන් ඥාතීන් සමග සමගියෙන් සිටින්නේය. සත්‍යය පවසන්නේය...” යනුවෙන්  පැවසු බව සඳහන් වේ.
    මෙතුමාණන් ජනතා අයිතිවාසිකම් සහ අත්‍යවශ්‍ය වග කීම් භාර ගන්නට පසු බට නොවුහ.
    තම හත් වන වයසේ අභාවයට පත් තම මෑණියගේ කබ්රය බැහැ දකින්නට ගිය නබි (සල්) තුමාණන්, මෙලෙස පැවසුහ.“මගේ  මෑණිය වෙනුවෙන් පව් කමා කිරීම සඳහා අල්ලාහ්ගෙන් අනුමැතිය ඉල්ලුවෙමි. එයට මට අනුමැතිය නොලැබුණි. මෑණියගේ කබ්රය බැහැ දකින්නට අල්ලාහ්ගෙන් අනුමැතිය පැතුවෙමි. එය මට දෙන ලදී. එනිසා ඔබ ලාද සොහොන් බැහැ දකිනු පිණිස යනු. එම ගමන ඔබේ මරණය ඔබට මතක් කරන්නේය.” වාර්තා කළේ අබු හුරෙයිරා (රළි). මූලාශ්‍රය මුස්ලිම්.
    නබි (සල්) තුමාණන් තම ඥාතීන් කෙරෙහි අධික ලෙස සැලකිලි දැක් වු බව දැක ගත හැක. තම ඥාතින්ට යහ මඟ පෙන්වීමට, නිරයේ ගින්නෙන් ඔවුන් ආරක්ෂා කිරීමට සහ අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන් කැඳවා යෑමට වෙහෙස දැරුහ.
“තවද, (නබිවරය!) නුඹගේ සමීප ඥාතින්ට අවවාද කරවු.“ යන කුර්ආන් 26:214 වාක්‍ය පහළ වූ විට තම කුරෙයිෂි ඥාතීන් සියලු දෙනාට ඇරයුම් කළහ. ඔවුන් රොක් වූ විට, “අබ්දුෂ් ෂම්ස්ගේ ජනයිනි, කඅබ් ඉබ්නු ලුඅයිබ්ගේ ජනයිනි, මුර්රද් දුබ්නු කඅබ්ගේ ජනයිනි, අබ්දුල් මනාෆ්ගේ ජනයිනි, හාෂිම්ගේ ජනයිනි, අබ්දුල් මුත්තලිබ්ගේ ජනයිනි ඔබ සියල්ල නිරයෙන් රැකවරණය සොයනු. මගේ දියණිය ෆාතිමා ඔබද නිරයෙන් රැකවරණය සොයනු. ඇත්ත වශයෙන් ඔබ  සැම වෙනුවෙන් අල්ලාහ්ගෙන් මම කිසිවක් නොලබන්නෙමි. නෑකම නිසා මම මේ ලොවේ  ඔබ සමඟ සිටිමි.” යනුවෙන් ඔවුන් සියලු දෙනාට අවවාද කළ බව අබු හුරෙයිරා (රළි) වාර්තා කළේය. මූලාශ්‍රය මුස්ලිම්.
තම මහප්පා වන අබු තාලිබ් ට ඉස්ලාමය වෙත ඇරයුම් කිරීම නිරර්ථක එකක් බව දැන සිටියත් එම වෑයම අත හැරියේ නැත. අබු තාලිබ් මරණාසන්න ව සිටින අවස්ථාවේ පවා ඔහුට ඉස්ලාම් වෙත ඇරයුම් කළහ.
    අබු තාලිබ් මරණාසන්න ව සිටියදී, ඔහු අබියස අබු ජහල්, අබ්දුල්ලාහ් ඉබ්නු අබු උමයියා වැනි කාෆිර් නායකයෝ සිටයහ. එතැනට පැමිණි නබි (සල්) තුමාණන්, “මගේ මහප්පාණනී! ලාඉලාහ ඉල්ලල්ලාහ් යනුවෙන් පවසන්න. මම අල්ලාහ්ගෙන් ඔබ වෙනුවෙන් ආයාචනා කරන්නෙමි.” යැයි ඇරයුම් කළහ. එම අවස්ථාවේ අබු ජහල්, අබු උමයියා වැනි කුරෙයිෂිවරු “අබු තාලිබ්! අබ්දුල් මුත්තලිබ්ගේ ආගම ඉවත දමන්නට ඔබ සූදානම් වෙනවාද?” යනුවෙන් තර්ජනය කළෝය. ඔවුන් මෙලෙස විවාද කරමින් සිටින විට අබු තාලිබ්ගේ අවසාන වදනද ඔවුන්ට පක්ෂ ව තිබුණි.
    අවසානයේ “ඔබ වෙනුවෙන් පාප ක්‍ෂමා නොකරනු යනුවෙන් අල්ලාහ් මට තහනම් කරන තුරු, මම ඔබ වෙනුවෙන් පාප ක්‍ෂමාව ඉල්ලන්නෙමි.” යැයි රසූල් (සල්) තමාණන් පැවසුහ. එම අවස්ථාවෙහි “ඔවුහු නිරයෙහි සහකාරයෝය යි ඔවුනට එළිදරව් වුවායින් පසුව සමානයක් තබන්නවුන්ට - ඔවුන් (ළඟ නෑයෝ වුවද) ක්‍ෂමාව අයැදින්නට නබිවරයාටද විශ්වාස කරන අයටද නොහැකිය.”  9:113 යන වාක්‍ය පහළ විය.  මූලාශ්‍රය අහ්මද්, බුහාරි සහ මුස්ලිම්.
    අබු තාලිබ්ගේ ජිවිත කාලයේ ඔහු වෙනුවෙන් නබි (සල්) තුමාණන් බොහෝ අවස්ථාවන්හි අල්ලාහ්ගෙන් ප්‍රර්ථනා කළහ. ඔහුගේ මරණාසන්න අවසාන මොහොත දක්වාද එතුමාණන් ප්‍රාර්ථනා කළහ. එහෙත් ඉහත සඳහන් වාක්‍යය පහළ වීමෙන් අනතුරුව තම සමීපතම මුෂ්රික් ඥාතීන් සඳහා ප්‍රාර්ථනා කිරීම අතහැර දැමුහ. මෙම සිද්ධිය නබි (සල්) තුමාණන් තම ඥාතීන් කෙරෙහි කෙතරම් අනුකම්පාව හා කරුණාව දැක්වූවා දැයි සනාථ කරයි.
    අනතුරුව, රසූල් (සල්) තුමාණන් කෙරෙහි සහ අනෙක් මූඃමින්වරු සියලු දෙනා කෙරෙහි ආදරය දැක්වීම ඉස්ලාම් දහමේ කොටසක් බවට අල්ලාහ් පත් කළේය.
නබි (සල්) තුමාණන් තම නිවසේ
    කෙනෙකුගේ නිවස ඔහුගේ සැබෑ තත්ත්වය පෙන්නුම් කරයි. ඔහුගේ උතුම් ගුණාංගයන්, ඔහුගේ ශිෂ්ටත්වය සහ ඔහුගේ චර්යාව යන සියල්ල පෙන්වන්නේ ඔහුගේ නිවසය. සෑම කෙනෙක්ම තම නිවසෙහි ස්වභාවික ව, නිදහසේ හැසිරෙන බව අපි දනිමු. තම වහල් සේවක, නිදහස් සේවක, බිරියන් යන සියලු දෙනා සමඟ නබි (සල්) තුමාණන් බොරු රැවටිලි නොමැති ව කරුණාවෙන් කටයුතු කළහ. තම නිවසේ යහපත් දේ අණ කර, අයහපත් දේ තහනම් කිරීමේ බලය සහිත ගෘහ මූලිකයෙක් වශයෙන් නොව තමා භාර ව සිටින දුබල අය කෙරෙහි කෙතරම් කාරුණික ව කටයුතු කළා දැ යි සලකා බලන්න.
    නබි (සල්) තුමාණන් තම නිවසේ ජීවත් වූයේ කෙසේ දැයි ආයිෂා (රළි) තුමියගෙන් කෙනෙක් විමසු විට, “පවුලේ අනිකුත් සාමාජිකයින් මෙන් එතුමාණන්ද කටයුතු කළහ. තම ඇඳුම් සෝදා ගත්හ. එළුවන්ගෙන් කිරි දෙවුහ. තම සියලු වැඩ කොටස තමා විසින් ම ඉටුකර ගත්හ.” යනුවෙන් පිළිතුරු දුන්හ.
    නිහතමානිභාවය, නිරහංකාරය, වැඩ කොටස අන් අය සමඟ බෙදා ගෙනීම යන ගුණාත්වය එතුමාණන්ගෙන් ඉගෙන ගත යුතු ආදර්ශයන් වේ. ඉස්ලාම් දහමේ ආලෝකය විහිදුනේ එතුමාණන්ගෙන් ය. මෙවැනි උතුම් කෙනෙක් කිසිවිටෙක කුස පිරෙන්න ආහාර ලැබුවේ නැත.
    එතුමාණන් මෙම අසරණ තත්ත්වය පිළිබඳ ව නුඃමාන් ඉබ්නු බෂීර් (රළි) තුමා පැවසුවේ මෙසේය. “ඔබගේ නබි තුමාණන් කුස ගින්නට සාමාන්‍ය ඉඳි ගෙඩියක් වුවද නොමැති ව සිටින අවස්ථාවන් මම දුටුවෙමි.” මූලාශ්‍රය මුස්ලිම්.
    මේ බව ආයිෂා (රළි) තුමිය තහවුරු කරන්නේ මෙසේය. “නබි (සල්) තුමාණන්ගේ පවුලේ අය වන අප ඇතැම් විට මාසයක් පමණ ආහාර පිසීමට කිසිවක් නොමැති ව සිටියෙමු. එම අවස්ථාවන්හි අපගේ ආහාරය ඉඳි සහ ජලය පමණි.” මූලාශ්‍රය බුහාරි.
    එම නිවෙස් හි නැමදුමට බාධා කරන කිසිවක් නොතිබුණි. නැමදුම සඳහා මස්ජිදයේ ඇරයුමට සවන් දුන් විගස ලෞකික දේ සියල්ල ඉවත දමා එම ඇරයුමට එතුමාණන් පිළිතුරු දුන්හ.
    අල් අස්වද් බින් යzසීද් (රළි) මෙසේ දන්වයි. “නබි (සල්) තුමාණන් තම නිවසේ කුමක් කරනවාදැ? යි ආයිෂා (රළි) තුමියගෙන් විමසුවෙමි. එවිට, ‘එතුමා පවුලේ වැඩ කටයුතු වලට සහභාගි වෙයි. නැමදුම සඳහා ඇරයුමට සවන් දුන් විගස (මස්ජිදයට) ගියහ.‘ යනුවෙන් එතුමිය පිළිතුරු දුන්හ.” මූලාශ්‍රය බුහාරි.
    නබි (සල්) තුමාණන් අනිවාර්‍යය නැමදුම් කිසිවක් නිවසේ ඉටු කළ බව කිසිදු වාර්තාවක් නොමැත. කෙසේ වෙතත්, නිවසින් බැහැර විය නොහැකි ව එක් තැන් වු තම අවසාන මොහොතේ පමණක් නිවසේ නැමදුම් ඉටු කළහ.
    එතුමාණන් තම ජනයා සමඟ ඉතාමත් ඉවසීමෙන් සහ කරුණාවෙන් කටයුතු කළහ. එහෙත් නැමදුම අතහැර දෙමු ජනතාව සමඟ  දැඩි ලෙස ක්‍රියා කළහ. මෙහි බරපතළකම ජනතාවට පහදා දෙනු පිණිස මෙසේ වදාළහ. “නැමදුම සඳහා ඇරයුම් කරන ලෙස අණ කර, නැමදුම මෙහෙයවන ලෙස කෙනෙක් පත් කර, පිරිසක් සමඟ දර රැගෙන, නැමදුමට නොපැමිණි අයගේ නිවෙස් වලට  ගොස්, ඔවුන්ව නිවස සමඟ ගිනි බත් කිරීමට කල්පනා කළෙමි.” මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්)
    ජමාඅත් හෙවත් සමූහ නැමදුමෙහි වැදගත්කම මෙම සිද්ධීන් තුළින් පෙන්නුම් කරයි. “අදාන් නම් ඇරයුමට සවන් දුන් කෙනෙක් පිළි ගත හැකි හේතුවක් නොමැති ව එයට පිළිතුරු නුදුන්නේ ද, ඔහුට නැමදුමක් නැත.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍රය ඉබ්නු හිබ්බාන්. මෙහිදී මස්ජිදයට යෑමට බාධා වන අසනීපය, භිතිය වැනි හේතුන් තිබිය හැක. එහෙත්, අද සමාජයේ නැමදුම් කරන අය සිටින්නේ කොහේ ද? මස්ජිදයට යෑමට අපහසු අසනීප තත්ත්වය, භිතිය තිබෙන්නේ කොතැනක ද?. නැමදුම අතහැර දැමු එම පිරිස නිවසේ බිරියන් සමඟ කාලය ගෙවති.
නබි (සල්) තුමාණන්ගේ ආදර්ශය සහ ලක්ෂණ
    කෙනෙකුගේ චලනය සහ සන්සුන් භාවය යන කරුණු ඔහුගේ බුද්ධි මට්ටමේ මිණුම් දණ්ඩ වේ. එමෙන්ම ඔහුගේ සිතුවිලි ගැනද මෙයින් දැන ගත හැකි වේ.
    නබි (සල්) තුමාණන්ගේ ගුණාංගයන් පිළිබඳ ව අයිෂා (රළි) තුමිය හොඳාකාර ව දැන සිටියාය. එතුමාගේ නින්ද, අවදි වීම, අසනීපය, නිරෝගි අවස්ථාව, කෝපය වැනි සෑම අවස්ථාවන්හි ම එතුමාණන්ගේ සමීප ව සිටියේ ආයිෂා (රළි) තුමිය වේ. ඒතුමිය මෙසේ සඳහන් කළාය. “නබි (සල්) තුමාණන් අශික්ෂිත දැයක් කරන්නෙක් වශයෙන් හෝ අශික්ෂිත දැයක් අනුගමනය කරන්නෙක් වශයෙන් නොසිටියහ. එතුමාණන් වෙළඳපොළේ ඝෝෂා කරන කෙනෙක් වශයෙන් නොසිටියහ. තමාට හානියක් කරනු ලැබු විට ඒ සඳහා හානියක් පමණු වන කෙනෙක් ලෙස සිටියේ නැත. ඒවා කිසිවක් ගණන් නොගෙන ක්‍ෂමාව දුන්හ.” මූලාශ්‍රය අහමද්.
    නබි (සල්) තුමාණන්ගේ ගුණාංගය මෙලෙස විය. එතුමාණන්ගේ මුණුබුරා වන හුසෙයින් (රළි) මෙසේ වාර්තා කළේය. “නබි (සල්) තුමාණන් සමඟ වාඩි වී සිටින ජනයා සමඟ කෙසේ හැසිරුණේ දැයි මගේ පියා අලි (රළි) තුමාගෙන් විමසුවෙමි. එවිට මගේ පියා මෙසේ පැවසුවේය. නබි (සල්) තුමාණන් නිතර සිනා මුසු මුහුණෙන්, මෘදු ගුණාංගයන් සහිත ව, ඉතාමත් චාම් ලෙස සිටියහ. එතුමාණන් වෙත දැඩිභාවය හෝ අප්‍රසන්නභාවය හෝ ඝෝෂා කිරීම වැනි දෑ නොතිබුණි. එතුමාණන් කිසිවකට දොස් නොපවරූ අතර, මසුරුකම් නොමැති කෙනෙකි. තමා කෙරෙහි විශ්වාසය තැබු කිසිවෙකුට විශ්වාසය කඩ නොකළහ.
    නබි (සල්) තුමාණන් කරුණු තුනක් සහිත මිනිසුන්ගෙන් තමා ව ආරක්ෂා කර ගත්හ. ඔවුන් නම් ඉච්චා බස් පවසන්නන්, අධික ව කතා කරන්නන් සහ තමාට අනවශ්‍ය මාතෘකාවන් කතා කරන්නන් යන මේ තුන් පිරිස වේ.
    එසමඟ කරුණු තුනකින් ඉවත් වුහ. ඒවා නම්, කිසිවෙකුට දෝෂාරෝපණ නැගීමෙන් වැළකී සිටියහ. කිසිවෙකුගේ සිරුරේ රහස් පෙදෙස දෙස නෙත් යොමු නොකළහ. යහපතක් ලැබිය හැකි කරුණු පිළිබඳ පමණක් කතා කළහ. එතුමාණන් කතා කරන විට එයට සවන් දෙන්නන්, තම හිස මත කුරුල්ලන් වාඩි වී සිටිනවාක් මෙන් නිසොල්මන් ව සිටියෝය. නබි (සල්) තුමාණන් නිශ්ශබ්ද වු පසුව ඔවුන් කතා කරති. එහෙත් නබි (සල්) ඉදිරියේ තමන් අතර තර්ක කිරීමෙන් වැළකී සිටියෝය. කවරෙකු හෝ නබි (සල්) තුමාණන් සමඟ කතා කරන අවස්ථාවක, ඔහුගේ කතාව අවසන් කරන තුරු සහාබාවරුන් ඉවසීමෙන් සිටියෝය. අනිත් අය සිනහ වන විට නබි (සල්) තුමාණන්ද  සිනහ වුහ. නවක කෙනෙක් නබි (සල්) තුමාණන් සමඟ සැරපරුෂ වදනින් කතා කළත් එතුමාණන් ඉවසීමෙන් සවන් දුන්හ.
“කවරෙකු හෝ උපකාර ඉල්ලුවේ නම්, ඔහුට උපකාර කරන්න“ යනුවෙන් එතුමාණන් වදාළහ. සීමාව ඉක්මවා නොයන ප්‍රසංශා කිරීම නබි (සල්) තුමාණන් පිළි ගත්හ. කෙනෙක් තමා සමඟ කතාවේ යෙදෙන විට එම කතාව අවසන් කරන තෙක් ඉවසීමෙන් සිටියහ. එහෙත් ඔහු සීමවා ඉක්මවන බව දුටුවහොත් එම කතාව වළක්වා හෝ එම ස්ථානයෙන් ඉවත් ව ගියහ. මුලාශ්‍රය තිර්මිදි.
    මේ නිසා නබි (සල්) තුමාණන්ගේ ගුණාංගයන් එකිනෙක පිළිබඳ ව අධ්‍යයනය කර, ඒවායින් කොටසක් හෝ ඔබ අනුගමනය කළ යුතුය.
    තමා සමඟ සිටින සහාබාවරුන්ට ආගම ඉගැන්වීම එතුමාණන්ගේ ආදර්ශයක් විය. “අල්ලාහ් හැර අන්  කිසිවෙක් අල්ලාහ් ට සමාන කර කවරෙකු හෝ ඇරයුම් කරන තත්ත්වයේ, මරණයට ලක්වන්නේද ඔහු අපාය ගත වේ.” යැයි එතුමාණන් වදාළහ. මුලාශ්‍ර බුහාරි.
    “කවරෙකුගේ දිවෙන් හා අතින් සෙසු මුස්ලිම්වරුන් ආරක්ෂාව ලබන්නේද ඔහුය සැබෑ මුස්ලිම්වරයෙක් වන්නේ. අල්ලාහ් තහනම් කළ දැයින් කවරෙකු මිදී සිටින්නේ ද, ඔහු මුහාජිර් වරයෙකු වේ.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍රය මුස්ලිම්.
    “රාත්‍රි අන්ධකාරයේ (නැමදුම සඳහා) මස්ජිදයට පැමිණෙන අයට මරණයෙන් පසු ජීවිතයේ සම්පූර්ණ ආලෝකය ලැබෙන බව සුබාරංචිය දෙන්න.” යනුවෙන් පවසුහ. මූලාශ්‍රය තිර්මිදි.
    “ආදේශක තබන්නන්ට එරෙහි ව ඔබ සැමගේ ධනයෙන්, ශරීරයෙන් සහ දිවෙන් සටන් කරනු මැනවි.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍රය අබු දාවුද්.
    අල්ලාහ්ගේ ගැත්තෙක් තම වදනින් සිදු විය හැකි ප්‍රතිවිපාකය ගැන කිසිවක් කල්පනා නොකර යමක් පවසයි. ඒ හේතුවෙන් ඔහු පෙරදිග හා අපරදිග අතර තිබෙන දුර ප්‍රමාණයට වඩා ඈත දුරකට අපාය තුළ වීසි කරනු ලබනේනේය.” මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.
    “සැබැවින්ම මම (කිසිවෙකුට) ශාප කරන්නෙකු ලෙස එවනු නොලැබුවෙමි. ඒ වෙනුවට මම ආශීර්වාදයක් වශයෙන් එවනු ලැබුවෙමි.” යැයි නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍රය මුස්ලිම්.
    “මර්යම් (අලෛ) තුමියගේ පුත්‍රයාට කිස්තු බැතිමතුන් ප්‍රශංසා කළ අයුරින් මා හට ඔබ කිසිවෙක් ප්‍රශංසා නොකරනු මැනව.” යැයි නබි (සල්) පැවසු බව උම්ර් බින් අබ්දුල්ලාහ් (රළි) වාර්තා කළේය. මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.
    නබි (සල්) තුමාණන් සිය අභාවයට දින පහකට පෙර මෙසේ පවසනු තමා සවන්  දුන් බව  ජුන්දුබ් ඉබ්නු අබ්දුල්ලාහ් (රළි) වාර්තා කරයි. “ඔබ අතරින් කිසිවෙක් මිතුරෙකු ලෙස පත් කර ගැනීමෙන් අල්ලාහ් වෙත භාර කරමි. අල්ලාහ් තම මිතුරෙක් ලෙස ඉබ්රාහීම් (අලෛ) තුමාණන් ව පත් කර ගත් අයුරින් මාවද ඔහුගේ මිතුරෙක් වශයෙන් පත් කර ගත්තේය. මගේ ජනතාවගෙන් මම මිතුරෙක් වශයෙන් පත් කරගන්නේ නම්, අබු බක්ර් (රළි) තුමා ව පත් කර ගන්නට තිබුණි. දැන ගනු! සොහොන් බිම් (කබ්ර්) ඔබ නමදින මස්ජිද් වශයෙන් පත් නොකර ගනු. එසේ  පත් කර ගැනීමෙන් මම ඔබ සැමට තහනම් කරමි.” යනුවෙන් පැවසුහ. මූලාශ්‍රය මුස්ලිම්.
    මෙම හදිසට පදනම් කොට මස්ජිද් තුළ කබ්ර් නම් සොහොන් තිබෙන්නේ නම්, එහි දී නැමදුම් නොකළ යුතුය.
    
නබි (සල්) තුමාණන්ගේ දියණියෝ
    ජාහිලිය්යා නම් නුගත් අන්ධකාර යුගයේ ගැහැනු දරුවෙකුගේ උපත, එම දරුවාගේ දෙමාපියන් අඳුරු දිනයක් ලෙස සැලකුවෝය. ඔවුන් පමණක් නොව ඒ දරුවාගේ ගෝත්‍රය පවා ඒ ලෙසම සැලකුවෝය. ගැහැනු දරුවෙකුගේ උපතෙන් සිදු වන අවනම්බුව ගැන බියට පත් ඔවුන්, එම දරුවා පණ පිටින් වළ දමන තරමට ම්ලේච්ඡ තත්ත්වයට පත් ව සිටියෝය. මෙම හැඟීම එම දරුවා පණ පිටින් වළ දමා විනාශ කරන තුරු පවතින අතර මෙම විෂයෙහි ඔවුන් තුළ ආදරය හෝ කරුණා ව කිසිවක් නොමැති ව කටයුතු කළහ. ඔවුන්ගෙන් ඇතැමුන් ගැහැනු දරුවා ඇයගේ මව සමඟ හැදී වැඩෙන්නට ඉඩ දෙති. දරුවාගේ හය වන වයසේ ඇය අලංකාර ඇඳුමෙන් සරසා කාන්තාරයට කැඳවා ගෙන ගොස්, එහි කපා තිබෙන වළ පෙන්වා සිත් පිත් නොමැති ව එය තුළ එම දරුවා තල්ලු කර වැල්ලෙන් වසා දැමුවෝය.
    නබි (සල්) තුමාණන් ඉස්ලාම් දහම රැගෙන ආවේ මෙවැනි යුගයේ බව අප මතකයේ තබා ගත යුතුය. ඕනෑම කාන්තාවක් මවක් වශයෙන්, බිරියක්, දියණියක්, සොහොරියක් හෝ නැන්දා වශයෙන් ගෞරවය ලැබිය යුතු බව ඉස්ලාම් පවසයි. කුඩා ගැහැනු දරුවන් නබි (සල්) තුමාණන්ගේ ආදරයට හා ගෞරවයට ලක් වුහ. එතුමා සිටින ස්ථානයට දියණිය ෆාතිමා (රළි) පැමිණියහොත් එතුමියගේ අත සිප ගෙන,  තම ආසනයේ වාඩි කළහ. එ ලෙසම ෆාතිමා (රළි) සිටින තැනට නබි (සල්) තුමාණන් පැමිණියහොත්, එතුමිය ද පියාගේ අත සිප ගෙන තමා විඩි වී සිටින ස්ථානය පිරිනැමුවාය. මූලාශ්‍රය තිර්මිදි සහ නසායි.
    තම දියණියන් සියලු දෙනා කෙරෙහි මේ අයුරින් ආදරය දැක් වු එතුමා, “අබු ලහබ්ගේ දෑත විනාශ වේවා” යන වාක්‍ය පහළ වූ විට, අබු ලහබ්ගේ පුත්‍රයින් වන උත්බා සහ උතෙයිබා යන දෙදෙනා සමඟ විවාහ ව සිටී  තම දියණියන් දෙදෙනා වන උම්මු කුල්තුම් සහ රුකෙයියා සිය සැමියන්ගෙන් දික්කසාද කරනු ලැබ නිවසට හැරී පැමිණිවිට, එයට වඩා විශාල යහපතක් ලබනු බලාපොරොත්තු වෙන් ඉවසීමෙන් සිටියහ. ඒ අතර ඉස්ලාමය වෙත ඇරයුම් කරන තම දඅවා ක්‍රියාව නොනවත්වා දිගටම කරගෙන ගියහ.
    නබි (සල්) තුමාණන්ගේ දියණියන් දික්කසාද ලබන තුරු කුරෙයිෂිවරු එතුමාට නොයෙක් අවවාද හා තර්ජන කරමින් එතුමාගේ ඉස්ලාමීය ක්‍රියාවන් නතර කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියෝය. එහෙත් එවැන්නක් සිදු වු පසුව ද එතුමාණන් තම දඅවා ක්‍රියාව අවසන් කළේ නැත.
    නබි (සල්) තුමාණන් තම දියණිය ෆාතිමා (රළි) තුමියට දැක්වූ ආදරය පිළිබඳ ව එතුමාගේ බිරිය වන ආයිෂා (රළි) මෙසේ දන්වයි. “ෆාතිමා (රළි) තමාද පියා මෙන්ම උතුම් ආකාරයෙන් හැසිරුණාය. නබි (සල්) තුමාණන් තම බිරියන් සමඟ වාඩි වී සිටින විට දියණිය පැමිණියහොත් ඇය ව ආදරයෙන් පිළි ගෙන තම දකුණු පැත්ත හෝ වම් පැත්ත වාඩි  කර ගත්හ. ” මූලාශ්‍ර මුස්ලිම්.
    නබි (සල්) තුමාණන් තම දියණියන් බැහැ දැක ඔවුන්ගේ සැප දුක් විමසා, යම් ප්‍රශ්නයක් තිබුණේ නම් ඒවා විසඳීමට සහය වුහ. දිනක් ෆාතිමා (රළි) පියාණන් බැහැ දැක, නිවසේ වැඩ කරන විට අතේ සිදු වු තුවාල ගැන දන්වා, තම සහයට කෙනෙක් පත් කළ හැකි දැ යි ඉල්ලීමට ගිය විට පියා නිවසේ නොසිටි හෙයින් ආයිෂා (රළි) තුමියට ඒ බව දන්වා ආපසු පැමිණියාය.
    මේ බව දැන ගත් නබි (සල්) තුමාණන් දියණියගේ නිවසට ගියහ. එතුමාගේ බෑණා වන අලි (රළි) මේ සිද්ධිය වාර්තා කරන්නේ මෙසේ. “අපි නින්දට යන්නට සූදානම් වන විට නබි (සල්) තුමාණන් නිවසට පැමිණියහ. අපි ිනැගිටින්නට සූදානම් වන විට ‘ඔබ දෙදෙනා එලෙසම සිටින්න.‘ යැයි පවසා අප දෙදෙනා අතර එතුමා වාඩි වුහ. එතුමාගේ පාදයේ සීතල අපගේ පපුවේ දැනෙන තරමට සමීප ව එතුමා වාඩිවුහ. ‘මෙහෙකාරයෙකුට වඩා උතුම් දෙයක් ඔබට කියා දෙන්නදැ?‘යි විමසා, ‘ඔබ නිදන ඇතිරිල්ලට යන්නට පෙර තිස්තුන් වතාවක් සුබ්හානල්ලාහ් යනුවෙන් ද, තිස්තුන් වතාවක් අල්හම්දු ලිල්ලාහ් යනුවෙන්ද තිස් හතර වතාවක් අල්ලාහු අක්බර් යනුවෙන්ද පවසන්න. මෙය මෙහෙකාරයෙකුට වඩා ඔබ දෙදෙනාට උතුම්යැ” යි පැවසුහ. මුලාශ්‍රය බුහාරි.
    කිසිම අවස්ථාවක සිත් කනස්සලට පත් නොවන එතුමාගේ ඉවසීම අපට හොඳ ආදර්ශයකි. රසූල් (සල්) තුමාණන් ජීවත් ව සිටී කාලය තුළ ෆාතිමා (රළි) තුමිය හැර එතුමාණන්ගේ අනෙකුත් දියණියන් සහ එතුමගේ පුත්‍රයා ද අභාවයට ලක් වූ නමුත්, නබි (සල්) තුමාණන් තම ශෝකය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට කිසිවක් නොකළහ. මුහුණේ ගසා ගැනීම, ඇඳුම් ඉරා ගැනීම වැනි එම සමාජයේ තිබු කිසිවක් නොකර, සිදු වු ඉරණම සියල්ල ඉවසීමෙන් දරා ගෙන අල්ලාහ්ගෙන් යහපතක් බලා පොරෙත්තුවෙන් සිටියහ.
    අපගේ ජීවිතයේ සිදු විය හැකි අයහපතකට මුහුණ දෙන්නේ කෙසේදැ යි අපට ඉගැන්වුහ. “සැබැවින්ම අප සියලු දෙනාම අල්ලාහ්ට හිමි වෙමු. ඔහු වෙතම අපි ආපසු හැරී යන්නෙමු. පරමාධිපතියාණනි! මෙම අසීරු තත්ත්වයෙන් අපට යහපතක් සිදු කරනු දෙනු මැනව. මෙයට වඩා උසස් යහපතක් අපට දෙනු මැනව.‘ යනු ප්‍රර්ථනා කරනු.  එවිට අල්ලාහ් එයට වඩා උසස් යහපතක් දෙන්නේය.” යනුවෙන් පැවසුහ. මූලාශ්‍ර මුස්ලිම්.
    අලාභයකට මුහුණු දුන් ජනතාවට “ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලෙයිහි රාජිඌන්“ යන වචන මාලාව ආපසු හැරී යන ස්ථානයක් බවට සහ ඉවසීමෙන් සිටින අයට  වේතනය ලබන ස්ථානයක් බවට අල්ලාහ් පත් කර ඇත. “සැබැවින්ම ඉවසිලිවන්තයින්ට ඔවුන්ගේ වේතනය ගණනයකින් තොරව පිරිනමනු ලබන්නේය.” කුර්ආන් සූරා 39:10
විවාහක ජීවිතය
    බිරිය යනු කුඩා පවුලක සෙවණැල්ලේ, අශ්වයා පාලන කරන නාස් ලණුවක් ලෙස, ඉඳි ගසේ කඳ මෙන්, ශාන්තියෙන් සහ සමිප ව සිටින්නියක් වේ.
    “මුළු ලොවම අප ආශ්වාද ලබන භාණ්ඩයන් වේ. ඒවා අතර උතුම් තැනැත්තිය බිරිය වේ.” යනුවෙන් නබි  (සල්) වදාළහ. මූලාශ්‍ර අල් ජාමි අස්සකීර්
    තම ප්‍රියතම බිරිය වන ආයිෂා (රළි) තුමියගේ නම කෙටි කර “ආයිෂ්”යනුවෙන් අමතා සතුටු උපදවන නිවේදනයක් පැවසීමට නබි (සල්) තුමාණක් පුරුදු වී සිටියහ. මේ බව එතුමිය මෙසේ වාර්තා කළාය.
    “ආයිෂ් (රළි) ජිබ්රීල් ඔබට අද සලාම් පැවසුවේය” යැයි නබි (සල්) තුමාණන් පැවසුහ. මුලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.
    උතුම් ගුණාංගයන් සහිත, සමාජයේ උසස් ස්ථානයක් ලැබු නබි (සල්) තුමාණන් තම බිරියන්ගේ ශුභ සිද්ධීන්, ඔවුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ ව සැළකිලි දැක් වූ අතර සැමියාට සමීප ව සිටින තත්ත්වය කාන්තාවක් බලාපොරොත්තු වන අයුරින් හැසිරීමෙන් සියලු මුස්ලිම්වරුන්ට ආදර්ශයක් වූහ.
    මේ සම්බන්ධ ව ආයිෂා (රළ) තුමිය මෙසේ දන්වන්නීයි. “මම ඔසප් ව සිටින කාලයේ කුමක් හෝ පානය කර භාජනයේ ඉතිරි කර දුන්නේ නම්, නබි (සල්) තුමාණන් මම තොල තැබු ස්ථානයේ තම තොල තබා ඉතිරිය පානය කළහ. මම මස් කැබැල්ලක් සපා කා නබි (සල්) තුමාණන්ට ඉතිරිය දුනහොත්, එතුමාණන් එතැනම කට තබා සපා අනුභව කළහ. මූලාශ්‍රය මුස්ලිම්.
    නබි (සල්) තුමාණන්ට එරෙහි ව වංචනිකයන් සහ පෙර දිග දහම් පිළිබඳ යුරෝපානු විද්වතුන් නැගු බොරු චෝදනා පදනම් විරහිත බව එතුමාගේ ජීවිතය අපට පෙන්වයි. එතුමාණන් තම බිරියන් සියලු දෙනා සමඟ ආදරයෙන්, කරුණාවෙන්, අලංකාරවත් හා පහසු මාර්ගයෙන් ජීවත් වුහ.
    නබි (සල්) තුමාණන් තම බිරියන්ට හාදුවක් දී නැවත වුදු නම් ධෝවනය නොකර නැමදුම සඳහා මස්ජිදයට ගිය බව ආයිෂා (රළි) තුමාය වාර්තා කරන්නීය. මූලාශ්‍රය අබු දාවුද් සහ තිර්මිදි.
    එතුමාණන් කාන්තාවන්ගේ උසස් තත්ත්වය, ඔවුන්ගේ ගෞරවය පිළිබඳ ව විවිධාකාරයෙන් පහදා දුන්හ. අම්ර් ඉබ්නු අල් ආස් (රළි) තුමා නැඟු ප්‍රශ්නයකට, “බිරියට ආදරය දැක්වීම නිසා අචල පිරිමියෙක් කම්මැළියෙක් බවට පත් නොවෙයි.” යනුවෙන් උපදෙස් දුන්හ.
    “ඔබ තුමාණන් වඩාත් කැමති කාහටද?“ යැයි අම්ර් අබ්නු අල් ආස් (රළි) විමසු විට, “ආයිෂා” යනුවෙන් පැවසුහ.” මූලාශ්‍ර බුහාරි සහ මුස්ලිම්.
    කවරෙකු හෝ විවාහ ජීවිතය සාර්ථක විය යුතු යැයි බලා පොරොත්තු වන්නේ නම්, මුස්ලිම්වරුන්ගේ මෑණියන් ලෙස හැඳින් වන නබි (සල්) තුමාණන්ගේ බිරියන් දැන් වූ හදීස් වදන් දෙස ඔහු අවධානය යොමු කළ යුතුය.
    ආයිෂා (රළි) තුමිය මෙසේ දන්වන්නීය. “නබි (සල්) තුමාණන් සහ මම එකම භාජනයකින් ස්නානය කෙළෙමු.” මූලාශ්‍රය බුහාරි.
    යම් උත්සවයක් තිබුණේ නම්, එයට අවශ්‍ය දේ ඉටු කර තම බිරියන්ද එයට සහභාගි වී සතුටු වන බව දකින්නට නබි (සල්) තුමාණන් කැමති වුහ.
    ආයිෂා (රළි) මෙසේ වාර්තා කළාය. “මුල් කාලයේ නබි (සල්) තුමාණන් සමඟ ගමන් කිහිපයක ගියෙමි. එම කාලයේ මට මහත සිරුරක් නොතිබුණි. අප සමඟ ගමන් කළ අයට ‘ඔබ සැම ඉදිරියට යන්න” යි නබි (සල්) තුමාණන් පැවසුහ. ඔවුන් ඉදිරියට ගිය පසු, ‘එන්න. අපි දෙදෙනා තරඟෙට දුවමු.‘ යැයි පවසා දුව ගිය විට මම ද දිව ගොස් තරඟය දිනුවෙමි. කාලයකට පසු මම මහත් වුයෙමි. මඳ කලකට පසු දිනක් අපි ගමනක් යන විට අප සමඟ ගමන් කළ අයට ‘ඔබ සැම ඉදිරියට යන්න“ යි නබි (සල්) තුමාණන් පැවසුහ. ඔවුන් ඉදිරියට ගිය පසු, ‘එන්න. එපි දෙදෙනා තරඟෙට දුවමු.‘ යැයි පවසා දුව ගිය විට මම ද දිව ගිය නමුත් මගේ ස්ථූල සිරුර නිසා තරඟයේ පැරදුණෙමි. එවිට එතුමාණන්, ‘එදා මම පැරදුණාට අද දිනුවෙමි.‘ යැයි පවසා සිනාසුණේය.” මූලාශ්‍ර අහ්මද්.
    මෙවැනි සිදුවීම් තුළින් බිරියන්ගේ සිත් සතුටු කිරීමට එතුමාණන් කළ වෑයම දකින අපි විමතියට පත් වෙමු.
    රාජ්‍ය නායකයෙකු වන නබි (සල්) තුමාණන් සටනක ජය ලැබ සේනාව සමඟ ගමන් කළ අවස්ථාවේ පවා තම දුබල බිරියන්ට කරුණාව දැක්වීමට අමතක නොකළහ.
    හෛඃබර් සටනේ ජය ලැබු නබි (සල්) තුමාණන් සෆිය්යා බින්ත් හුයෙයි (රළි) තුමිය හා විවාහ වී මදීනා නුවරට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේ, ඔටුවෙකු මත තම බිරිය නංවන්නට උදව් කළ ආකාරය බලමු. ඔටුවා සූදානම් කළ පසු, එතුමාගේ දණහිස මත පා තබා සෆිය්යා (රළි) තුමිය ඔටුවා මත නැග ගත්තාය. මෙම සිද්ධිය නබි (සල්) තුමාණන්ගේ නිහතමානි භාවය හෙළි කරයි. මූලාශ්‍රය බුහාරි.
    සේනාධි නායක හා අල්ලාහ්ගේ රසූල් (සල්) වරයා, තම සිරුර මත පා තබා ඔටුවාට ගොඩ වීමට තම බිරියන්ට ඉඩ දීමේ ක්‍රියාව තුළින් එතුමාණන් තම බිරියන්ට දැක් වු ආදරය සහ කරුණාව අපට දැක ගත හැක. මෙලෙස බිරියන්ට උපකාර කිරීමෙන් පිරිමින්ගේ ගෞරවයට කිසිදු බාධාවක් සිදු නොවන බව එතුමාණන් ආදර්ශයක් සමාජයට පෙන්වා දුන්හ.
    “කාන්තාවන් සම්බන්ධ ව (ඔවුන්ට යහපත් සැලකිලි දක්වන ලෙස) මගේ උපදෙස් අනුගමනය කරනු මැනව.” එතුමාණන් අපට මඟ පෙන්වුහ.
බහු භාර්යා සේවනය
    නබි (සල්) තුමාණන් බිරියන් 11 දෙනෙක් හා විවාහ වුහ. එම කාන්තාවන් විශ්වාසීන්ගේ (මූඃමින්වරුන්ගේ) මෑණියන් ලෙස හඳුන් වනු ලැබුහ. එතුමාණන්ගේ මරණය සිදු වූ විට එම බිරියන් අතරින් නව දෙනෙක් ජීවත් ව සිටියහ. නබි (සල්) තුමාණන්ගේ උසස් ගෞරවය නිසා මෙම කාන්තාවන් ද සමාජයේ උසස් සැලකිලි ලැබුවෝය. එතුමාණන්ගේ බිරියන් අතර, එතුමාට වඩා වැඩි වයස කාන්තාවන්, දික්කසාද ලැබු කාන්තාවන්, වැන්දඹු බවට පත් වූ කාන්තාවන්, අසරණ වූ කාන්තාවන් වැනි විවිධ තරාතිරමේ බිරියන් සිටියහ. එතුමා හා විවාහ වූ එකම කන්‍යාවිය ආයිෂා (රළ) තුමිය පමණය.
    එතුමාණන් මෙලෙස බහු භර්යාවන් සමඟ ජීවත් වූවා පමණක් නොව එම කාන්තාවන් සියලු දෙනාටම එක හා සමාන ආදරය හා යුත්කිගරුක ව සැලකිලි දැක් වු ආකාරය අපට ආදර්ශයකි. ආයිෂා (රළි) තුමිය මෙසේ වාර්ථා කළාය. “නබි (සල්) තුමාණන් ගමනක යෙදෙන විට තම බිරියන් අතරින් සීට්ටු ක්‍රමයක් යොදා, එයින් තොරා ගනු ලබණ බිරිය  තමා සමඟ රැගෙන ගියහ. එමෙන්ම එම බිරියන් සියලු දෙනාටම එක් දිනයක් බැගින් වෙන් කර දුන්හ.“ මූලාශ්‍රය තිර්මිදි.
    නබි (සල්) සාධාරණයට ආදර්ශයක් බව අනස් (රළි) වාර්තා කළහ. නබි (සල්) තුමාණන්ගේ බිරියන් නව දෙනා අතර දිනක් බැගින් වෙන් කළහ. පළමු වන බිරියගේ දිනය අවසන් වූ පසු එතුමියගේ වාරය පැමිණෙන තුරු ඒ නිවසට නොගියහ. එමෙන්ම දෙවැනි බිරියගේ නිවසේ දිනක් රැඳී සිටියහ. එවිට නබි (සල්) තුමාණන් ලැගුම් ගත් එම නිවසට ඉතිරි බිරියන් සියලු දෙනාම ගියහ. දිනක් ආයිෂා (රළි) තුමියගේ නිවසේ නබි (සල්) තුමාණන් රැඳී සිටින විට, zසෙයිනබ් (රළි) තුමිය පැමිණි අතර නබි (සල්) තුමාණන් තම අත එතුමියට දිගු කළහ. ‘මේ සෙයිනබ් (රළි) තුමිය යි‘ යැයි ආයිෂා (රළි) තුමිය පැවසු විගස එතුමාණන් තම අත වළක්වා ගත්හ. මූලාශ්‍රය මුස්ලිම්.
    නබි (සල්) තුමාණන්ට අල්ලාහ්ගේ උදව් නොතිබුණේ නම් මෙලෙස විශාල පවුලක් සහිත නිවසක් පැවැත්විය නොහැකි වන්නේය. එතුමාණන් වදනින් හා ක්‍රියාවෙන් අල්ලාහ්ට කෘතඥතා ව ඵල කළ අතර, අල්ලාහ්ගේ නියෝගයක් වන “නබි තුමෘණනි, ඔබගේ පවුලේ අයට සලාහ්වේ යෙදෙන ලෙස නියෝග කරනු මැනව. ඔබද ඉවසීමෙන් දැඩි ව සිටිනු. අපි ඔබෙන් ආහාර නොඉල්ලුවෙමු. එහෙත් ඔබට ආහාර දෙන්නේ අපමය. අවසානයේ උතුම් ස්ථානය බිය බැතිමත් ජනයාටය.” 13:132 යන වාක්‍යයට එකඟව තම බිරියන්ට නැමදුම් කිරීම සඳහා අනුබල දී උදව් කළහ.
    “නබි (සල්) තුමාණන් නිදන පැදුරේ මම හරහට නිදා සිටින විට එතුමාණන් මධ්‍යම රාත්‍රියේ නැමදුම් කළහ. විත්ර් නැමදුම් කරන අවස්ථාවේ මා අවදි කළහ.” යනුවෙන් ආයිෂා (රළි) තුමිය වාර්තා කළාය. මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.
    සැමියා සහ බිරිය අතර වෙන් වීමක් සිදු නොවිය යුතුය යන හේතුවෙන් රාත්‍රි නැමදුමෙහි සහය වන ලෙස නබි (සල්) තුමාණන් රුකුල් දුන්හ.
    අබු හුරෙයිරා (රළි) මෙසේ වාර්තා කරයි. “රාත්‍රි නැමදුම් කර, තම බිරිය ද අවදි කර ඇය ද නැමදුමට සහභාගි වුයේ නම් හෝ අවදි කිරීම සඳහා ඇයගේ මුහුණේ ජලය ඉස අවදි කරන කෙනෙකුට අල්ලාහ් ආශීර්වාද කරයි. එමෙන්ම තමා රාත්‍රි නැමදුම් කර, සැමයා ව අවදි කර ඔහු ද නැගිට නැමදුම් කරයි. නැතහොත් ඔහු අවදි වීමට මැළි වුයේ නම් ඔහුගේ මුහුණේ ජලය ඉස ඔහුවද අවදි කරන කාන්තාවට අල්ලාහ් ආශීර්වාද කරයි.”  මූලාශ්‍රය බුහාරි, මුස්ලිම්.
    මුස්ලිම්වරයෙකුගේ සම්පූර්ණත්වය ඔහු තම දහම පිළිබඳ ව අධ්‍යයනය කිරීම මත රැඳී තිබේ. ඔහු තම සිත පිරිසිදු ව තබා ගනු පිණිස තම බාහිර සලකුණු යහපතින් තබා ගත යුතුය.
    නබි (සල්) තුමාණන් පිරිසිදු සිතකින් සහ සුගන්ධ විහිදෙන ශරීරයකින් යුතුව, දත් මැදීමට කැමති කෙනෙක් ලෙස, අන් අයටද එසේ කරන ලෙස අණ කරන කෙනෙක් ව සිටියහ. “මගේ සමාජයට බරක් නොවන්නේ නම් සෑම සලාත් අවස්ථාවෙහි දත් මදින ලෙස මම අණ කරන්නෙමි.” යනුවෙන් එතුමාණන් වදාළහ. මූලාශ්‍රය අහමද්.
    නබි (සල්) තුමාණන් නින්දෙන් අවදි වූ විගස දත් මැද ගත් බව හුදෙයිෆා (රළි) දන්වයි.
    නබි (සල්) තුමාණන් නිවසට පැමිණි විගස තම ක්‍රියාවන් කුමකින් පටන් ගන්නේ දැ යි ආයිෂා (රළි) ගෙන් විමසුවෙමි. “දත් මැදීමෙන් ” යනුවෙන් ඇය පිළිතුරු දුන් බව ශුහෙයිබ් ඉබ්නු හානි (රළි) වාර්තා කරයි. මූලාශ්‍රය මුස්ලිම්.
    තම පවුලේ සාමාජිකයන් පිළිගැනීම පවා සිදු කළේ කෙතරම් අලංකාරත්වයෙන් ද?
    නබි (සල්) තුමාණන් සිය නිවසට ඇතුළු වන විට, “අල්ලාහ්ගේ  නාමයෙන් ඇතුළු වුයෙමු. ඔහුගේ නාමයෙන් බැහැර වෙමු. අපගේ සියලු දේ ඔහු වෙත භාර කරමු.” යනුවෙන් පවසා නිවසේ සිටින පවුලේ සාමාජිකයන්ට සලාම් පැවසුහ. මුලාශ්‍රය මුස්ලිම්.
    එබැවින් පිරිසිදු ව සහ සලාම් පවසා ඔබද නිවසට ඇතුළුවනු දැක ඔබේ ඥාතීන් ඔබට ප්‍රශංසා කරත්වා. මාගේ සහෝදරයාණනි, මෙම හැසිරීම විහිළුවට හෝ සරදමට හෝ ගත් අය මෙන් ඔබද පත් නොවේවා.
නබි (සල්) සරදම් කළ අයුරු
    මුස්ලිම් සමාජය, සේනාව, තම පවුලේ සාමාජිකයින් පමණක් නොව අනෙකුත් සියලු කටයුතු සමබන්ධ ව නබි (සල්) තුමාණන් වැදගත් සැලකිලි දැක්වුහ. මෙය බරපතළ වගකීමකි. පෞද්ගලික ප්‍රශ්න රාශියකට මුහුණු දෙන සාමාන්‍යය මිනිසෙකුට මෙවැනි සියල්ල නිසියාකාර ව ඉටු කළ නොහැක. එහෙත් මෙතුමාණෝ (සල්) සෑම කෙනෙකුටම ඔවුනොවුන්ගේ හිමිකම් නිසියාකාර ව ලබා දුන්හ. මේ සම්බන්ධ ව කිසිවෙකුට එතුමාණන්ගෙන් කිසිදු වරදක් සිදු නොවිය. මෙවැනි රාජකාරියට අමතර ව කුඩා දරුවන් සමග ආදරයෙන් හා සිනාමුසු මුහුණින් කථා කළහ. මෙමගින්  ඔවුන් නබි (සල්) තුමාණන්ට මහත් ආදරයක් දැක්වුහ. ඇතැම් අවස්ථාවන්හි මහළු මිතුරන් සමඟද සරදම් කළහ.
    ඇතැම් සහාබාවරුන් වරක් “නබි (සල්) තුමණි, ඔබ තුමා අප සමඟ විහිළු කර කතා කරනවානේද?” යැයි විමසුවෝය. එයට එතුමාණන්, “ඔව්. නමුත් මම පවසන්නේ සත්‍යයකි.” යැයි කීහ. මූලාශ්‍රය අහ්මද්.
    “නබි (සල්) තුමාණන් මට “දිගු කන් සහිත කෙනා” යැයි ඇමතු බව අනස් (රළි) තුමා වාර්තා කරයි. මූලාශ්‍රය අබු දාවුද්.
    කුඩා දරුවන් සමඟ පමණක් නොව, වැඩිහිටි සහාබාවරුන් සමඟද නබි (සල්) තුමාණන් සතුටින් කතා කළහ. zසාහිර් ඉබ්නු හරාම් නමින් ගම්බද අරාබිවරයෙක් නබි (සල්) තුමාණන්ට මහත් ආදරය දැක්විය. ඔහු අසුන්දර කෙනෙකි. දිනක් ඔහු තම භාණ්ඩ අලෙවි කරමින් සිටියදී නබි(සල්) තුමාණන් ඔහුගේ පිටුපසින් ගොස් බදා ගත්හ. එවිට ඔහු “කවුරුන්ද මේ? මා අත හරිනු.” යැයි පැවසු නමුත් එතැන නබි (සල්) තුමාණන් සිටින බව දැක, එතුමාගේ පපුවට තම පිට තවත් තද කර ගත්තේය. එවිට නබි (සල්) තුමාණන් “මේ වහලා මිළ දී ගන්නේ කවරෙක් ද?” යැයි විමසුහ. එයට ඔහු, අල්ලාහ්ගේ රසූල්වරයාණනි!  මම වටිනාකමක් නැති කෙනෙක් දැ?“ යි ඇසීය. එයට නබි (සල්) තුමාණන්, “එහෙත් අල්ලාහ් වෙත ඔබ බොහෝ වටිනා කෙනෙකි” යැයි ඔහුට පිළිතුරු දුන්හ. මූලාශ්‍රය අහමද්.
    එතුමාණන් තම පවුලේ සාමාජිකයන් සමඟ හෝ තම සමාජය සමඟ කෙතරම් වේලාවක් සිටියත් එතුමාණන්ගේ සිනහවට සීමාවක් තිබුණි. එහෙත් එතුමාණන් ව මඳ සිනහවක් නොමැති ව කිසිවෙක් නොදකි.
    නබි (සල්) තුමාණන් කිසිවිටෙක තම මුඛය විවෘත කරන තරමට සිනාසෙනු මා දැක නැත. එතුමාණන් මඳ සිනහවෙන් (නිතර) සිටිය බව ආයිෂා (රළි) තුමිය වාර්තා කරන්නීය. මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.
    එහෙත් අල්ලාහ්ගේ සීමාව කඩ කරනු දුටු විට නබි (සල්) තුමාණන්ගේ මුහුණ වෙනස් වන බව ආයිෂා (රළි) දන්වන්නේ මෙසේය.” දිනක් ගමනකින් පසුව මගේ නිවසට පැමිණි එතුමාණන් චිත්‍ර සහිත තිරයක් දැක එය ඉරා දැමුහ. එතුමාණන්ගේ මුහුණ රතු පැහැ විය. ‘ආයිෂා, මරණයෙන් පසු අධික දඬුවමට භාජන වන්නේ අල්ලාහ්ගේ මැවීම් නිර්මාණය කරන අය වේ.‘ යැයි පැවසුහ. මුලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.
    නිවෙස් හි චිත්‍ර තබා ගැනීම හරාම් (තහනම්) බව මෙය පෙන්වයි. බිත්ති වල රූප එල්ලා තැබීම, කුලුනු වල ශිල්ප කැටයම් කිරීම වැනි දේ  මෙය හා සමාන වේ. මේවා තබා ගැනීම පාපයක් පමණක් නොව, එවැනි නිවාස තුළට ආශීර්වාදයේ මලාඉකාවරු ඇතුළු නොවන්නෝය.
නබි (සල්) තුමාණන්ගේ නින්ද
    උබෙයි (රළි) මෙසේ දන්වයි. ඔබ නින්දට යන්නේ නම්, තම ඇඳුමෙන් ඇතිරිල්ලට ගසා ‘බිස්මිල්ලාහ්‘ යනුවෙන් පවසනු. මන්ද ඔබ නින්දෙන් අවදි වී නැගිට ගිය පසු, එම ඇතිරිල්ලේ කුමක් තිබුණා දැයි ඔබ නොදනි. ඔබේ දකුණු පැත්තට ඇල වී නිදා ගනු. එවිට ‘සුබ්හානකල්ලාහුම්ම රබ්බී බික වදඃතු ජන්බි වබික අර්ෆඋහූ ඉන් අම්සක්ත නෆ්සි ෆහ්ෆිර් ලහා වඉන් අර්සල්තහා ෆහ්ෆද්හා බිමා තහ්ෆද් බිහ් ඉබාදිකස් සාලිහීන්‘ යනුවෙන් පවසනු මැනව. මූලාශ්‍රය බුහාරි.
    “ඔබ නින්දට යන්නට පෙර වුදු කර ගනු. පසුව ඔබේ දකුණු පැත්තට ඇල වී නිදා ගනු” යැයි සෑම කෙනෙකුටම නබි (සල්) තුමාණන් උපදෙස් දුන්හ. මූලාශ්‍ර බුහාරි සහ මුස්ලිම්.
    සෑම රාත්‍රියක නින්දට යන්නට පෙර, තම දෑතේ පිඹ, සූරා ඉහඃලාස්, සූරා ෆලක් සහ සූරා නාස් පාරායනා කර, තම මුහුණ, හිස සහ සිරුරේ හැකි සෑම තැනම පිස දැමුහ. මේ ආකාරයෙන් තෙවරක් කළහ. මූලාශ්‍රය බුහාරි.
    නබි (සල්) තුමාණන් නිදා ගන්නට පෙර, “අල්හම්දු ලිල්ලාහිල්ලදී  අත්අමනා වසකානා වකෆානා වආවානා ෆහම් මිම්මන් ලා කාෆිය ලහු වලා මුඃවිය” යනුවෙන් පැවසුහ.
    අර්ථය: තම අවශ්‍යතාවන් ලබා දෙන්නටද ආරක්ෂාව දෙන්නටද කිසිවෙක් නොමැති බොහෝ දෙනෙක් සිටින විට අපගේ ආහාර සහ අපගේ අවශ්‍යතා සපයා අපට ආරක්ෂා දුන් අල්ලාහ්ට සියලු ප්‍රශංසා හිමිවේවා.
    එතුමාණන් ගමනක ගොස් රාත්‍රි එහි රැඳී සිටින්නට වුයේ නම්, තම දකුණු පැත්තට ඇල වී නිදා ගත්හ. ෆජ්ර් වේලාවට පෙර පැමිණියේ නම්, ඇල වී තම වැලමිට හිටවා අත්ල මත හිස තබා ගත්හ. මූලාශ්‍රය  මුස්ලිම්.
    උත්තරීතර අල්ලාහ් අපට මෙතරම් භාග්‍යය සපයා ඇත. එහෙත් නබි (සල්) තුමාණන්ගේ නිදන ඇතිරිල්ල දෙස නෙත් යොමු කරමු. ආයිෂා (රළි) තුමිය දන්වන්නේ මෙසේය. “දිනක් උමර් (රළි) ඇතුළු සහාබාවරුන් කිහිප දෙනෙක් නිවසට පැමිණියෝය. නිදා සිටි නබි (සල්) තුමාණන් අනිත් පැත්තට හැරුණහ. එතුමාගේ සිරුර සහ පැදුර අතර කිසිදු ඇතිරිල්ලක් නොතිබුණි. එතුමාණන්ගේ සිරුරේ පැදුරු සළකුණු දුටු උමර් (රළි) කඳුළු සලනු  දුටු නබි (සල්) තුමාණන් “උමර්! ඇයි අඬන්නේ?” යැයි විමසු විට, උමර් (රළි) “අල්ලාහ් මත දිවුරා කියමි. කිස්රා, කයිසර් වැනි රජවරුන්ට වඩා ඔබ තුමාණන් අල්ලාහ්ගෙන් මහත් ගෞරවය ලැබු කෙනෙකි. ඔවුන් මෙලොවේ තමන්ට ඕනෑම දැයක් කරති. එහෙත් අල්ලාහ්ගේ නබිවරයා වන ඔබ තුමාණන් මම දකින මේ තත්ත්වයේදැ“යි පැවසිය. එවිට “ඔවුන්ට මෙලොවත් අපට මතු ලොවත් (ලැබෙන බව) ඔබ පිළිනොගන්නවාදැ?” යි නබි (සල්) තුමාණන් උමර් (රළි) ගෙන් විමසු විට, උමර් (රළි) තුමා “ඔව්. මම එය පිළිගනිමි.” යැයි පැවසීය. මූලාශ්‍රය අහ්මද්.
රාත්‍රි නැමදුම
    රාත්‍රි අන්ධකාරය මදීනා නුවර ආවරණය කර ගත් නමුත්, නබි (සල්) තුමාණන් ඒ වේලාවෙහි නැමදුම් කිරීමෙහි සහ අල්ලාහ්ව මෙනෙහි කිරීමෙහි නිරත වී සිටියහ.
    “(පොරෝණයකින්) පොරොවා ගත් තැනැත්තාණනි, (නැමදුම පිණිස) රාත්‍රියේ නැගිට සිටිවු. (එයින්) ස්වල්පයක් මිස.එයින් අඩක් හෝ එයින්  (එම අඩ කාලයෙන්) ස්වල්පයක් අඩු කර ගනිවු. එසේ නොමැති නම්, එයට වඩා (කාලය) අධික කර ගනිවු. අල් කුර්ආනය නිසි අයුරින් කියවවු.” අල් කුර්ආන් 73: 1සිට 4 දක්වා. මෙම වාක්‍ය යන්ට එකඟ ව නබි (සල්) තුමාණන්, අහස් හා පොළොව නිර්මාණය කළ තම පරමාධිපති හා රාත්‍රියෙහි සම්බන්ධ වුහ.
    පහත සඳහන් අයුරින් අබු හුරෙයිරා (රළි) වාර්තා කරයි. “නබි (සල්) තුමාණන් තම පා දෙක ඉදිමෙන ප්‍රමාණයට රාත්‍රියන්හි නැගිට සිට නැමදුම් කළහ. දිනක් ‘අල්ලාහ්ගේ රසූල් (සල්) තුමණි!ඔබගේ පෙර හා පසු පාපයන් සියල්ල අල්ලාහ් කමා කළාට පසුවත් ඔබ තුමාණන් මෙලෙස නැමදුම් කරන්නේද? යැයි විමසනු ලැබු හ. එවිට එතුමාණන් “මම කෘතවේදී ගැත්තෙක් නොවිය යුතු දැ?” යි පිළිතුරු දුන්හ.මූලාශ්‍රය ඉබ්නු මාජා.
    ආයිෂා (රළි) තුමියගෙන් එතුමාණන්ගේ රාත්‍රි නැමදුම් පිළිබඳ ව විමසුවෙමි. එවිට එතුමිය, “රාත්‍රි ආරම්භක කොටසේ එතුමාණන් නිදා ගනී. රාත්‍රි අවසාන අවධියේ නැගිට නැමදුම් කළහ. කුමක් හෝ අවශ්‍යයක් නම් තම පවුලේ අය වෙත පැමිණියහ. අලුයම නැමදුම සඳහා අදාන් හඬ ඇසුනු විගස අවදි වී, ස්නානය කිරීමට අවශ්‍ය නම් එය ඉටු කළහ.  නැතහොත් නැමදුම සඳහා මස්ජිදය කරා ගියහ.” යැයි පැවසුවාය. මූලාශ්‍රය බුහාරි.
    නබි (සල්) තුමාණන්ගේ දීර්ඝ නැමදුම පිළිබඳ ව අප සිතා බැලිය යුතු අතර, එය අනුගමනය ද කළ යුතුය.
    හුදෙයිෆා ඉබ්නුල් යමානි (රළි) තුමා මෙලෙස වාර්තා කළහ. “එක් රැයක් නබි (සල්) තුමාණන් සමඟ රාත්‍රි නැමදුමට සහභාගි වුයෙමි. එතුමාණන් සුරා අල් ෆාතිහා පරායනය ආරම්භ කළහ. වාක්‍යය සියක් පමණ පාරායනා කර රුකුඋ නම් ස්ථානයට යන බව සිතුවෙමි. නමුත් එතුමාණන් නොනවතා දිගටම පාරායනය කළහ. එක් රකඅතයක පාරායනා කරනු ඇතැයි සිතුවෙමි. නමුත් එතුමාණන් ආල ඉම්රාන් සූරාව පටන් ගත්හ. එය අවසාන වූ පසු රුකුඋ කරනු ඇතැයි සිතුවෙමි. එහෙත් එතුමාණන් සුරා නිසා ආරම්භ කර පැහැදිලිව පාරායනය කළහ. එහි තස්බීහ් කරන ස්ථානයේ තස්බීහ් කළහ. ප්‍රාර්ථානා කර ස්ථානයේ එලෙස කළහ. රැකරවණ පතන ස්ථානයේ එයද ඉටු කළහ. පසුව රුකුඋ ස්ථානයට ගොස් ‘සුබ්හාන රබ්බියල් අලීම් ව බිහම්දිහි‘ යනු පවසා, එහිදී දීර්ඝ වේලාවක් සිටියහ. පසුව ‘සමියල්ලාහු ලිමන් හමිදා‘ යනුවෙන් පවසා නැගට ‘රබ්බනා  ලකල් හම්ද්‘ යනුවෙන් පවසා රුකුඋ අවස්ථාවේ සිටියාක් මෙන් දීර්ඝ වෙලාවක් සිටියහ. පසුව සජදා නම් ස්ථානයට ගොස් සුබ්හාන රබ්බියල් අඃලා වබිහම්දි හි‘ යැයි පවසා දීර්ඝ වෙලාවක් රැඳී සිටියහ.” මූලාශ්‍රය මුස්ලිම්.
ෆජ්ර් සලාතයෙන් පසුව
    ෆජ්ර් නම් අලුයම උදා වී, සමූහ නැමදුම ඉටු කිරීමෙන් අනතුරු ව හිරු උදා වන තුරු    අල්ලාහ් ව දික්ර් කරමින් එතුමාණන් සිටියහ. පසුව රකඅත් දෙකක් ඉටු කළහ. ජාබිර් ඉබ්නු සමූරා (රළි) මෙලෙස වාර්තා කරයි. “නබි (සල්) තුමාණන් ෆජ්ර් සලාතය අවසන් කළේ නම්, එම ස්ථායේ හිරු පායන තුරු වාඩිවී සිටියහ.” මූලාශ්‍රය මුස්ලිම්.
    මෙවැනි වතාවත් අපට කියා දුන් එතුමාණන් ඒවායෙහ් ලැබෙන ඵල විපාකද අපට පහදා දුන්හ.
“කවරෙකු හෝ ෆජ්ර් සමූහ සලාතය ඉටු කර, පසුව හිරු උදා වන තුරු අල්ලාහ්ගේ දික්ර් හි නිරත වී සිටින්නේ ද ඔහු සම්පූර්ණ හජ් වන්දනාව ඉටු කළ කුසල් ලබා ගන්නේය.” යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසු බව අනස් (රළි) වාර්තා කරයි. මූලාශ්‍රය තිර්මිදි.
ලුහා සලාතය
    ඉර මුදුන් වේලාව ළඟා වී, උෂ්ණය අධික විය. මෙය මධ්‍යාහ්නයට පෙර අවස්ථාවයි. වැඩ කටයුතු සහ අවශ්‍යතා ඉටු කරන, බැහැ දැක ගැනීමට පැමිණෙන අය පිළිගෙන, මිතුරන්ට යමක් කියා දීම,පවුලේ වැඩ කටයුතු වැනි සියල්ල මැද, නබි (සල්) තුමාණන් අල්ලාහ්ට නැමදුම් කිරීමට අමතක කළේ නැත.
    මුආතා නම් කාන්තාවක් ආයිෂා (රළි) වෙත පැමිණ  දහවල් කාලයට පෙර නබි (සල්) තුමාණන් නැමදුම් කරනවා දැ යි විමසුවාය. එවිට ආයිෂා (රළි) “ඔව්. රකඅත් හතරක් නැමදුම් කළහ. අල්ලාහ්ගේ රසූල්වරයා (සල්) කැමති නම් එයට අධික ව ද (නැමදුම්) කළහ.” යැයි පිළිතුරු දුන්නාය. මූලාශ්‍රය මුස්ලිම්.
    මේ සම්බන්ද ව නබි (සල්) තුමාණන් උපදෙස් කර ඇත. අබු හුරෙයිරා (රළි) මෙලෙස වාර්තා කරයි. “මගේ මිත්‍රයා නබි (සල්) තුමාණන් සෑම මසක දින තුනක් උපවාසයේ යෙදෙන ලෙසද, ලුහා රකඅත් දෙකක් නැමදුම් කරන ලෙසද, නින්දට යෑමට පෙර විත්ර් නැමදුම් කරන ලෙස ද උපදෙස් කළහ.” මූලාශ්‍රය මුස්ලිම්.
නිවසෙහි අමතර නැමදුම්
    නබි (සල්) තුමාණන්ගේ නිවස ඊමානය හෙවත් දේව විශ්වාසය මත නිර්මාණය කරන ලදු ව, අල්ලාහ්ගේ දික්ර් සහ වෙනත් නැමදුම්වලින් පුරවන ලද එකකි.
    අපගේ නිවෙස් ද ඒ ආකාරයෙන් තිබිය යුතු යැයි එතුමාණන් අපහට උපදෙස් කළහ. “ඔබගේ නිවෙස් හි අමතර නැමදුම් ඉටු කරනු. ඒවා සොහොන් බිම් බවට පත් කර නොගන්න.” යනු නබි (සල්) තුමාණන් අපට උපදෙස් කළහ. මූලාශ්‍ර බුහාරි.
    ඉබ්නුල් කයියුම් (රහ්) මෙසේ දැන්විය. “ නබි (සල්) තුමාණන් වෛකල්පිත (සුන්නා) නැමදුම්, වෙනත් අමතර නැමදුම් සහ මග්රිබ් නැමදුමෙන් පසු සුන්නා නැමදුම් යන සියල්ල නිවසෙහි ඉටු කළහ. එවැනි නැමදුම් මස්ජිදයේ ඉටු කළ බව කිසිදු සාක්ෂියක් නොමැත.”
    අපගේ නිවසෙහි සුන්නත් නැමදුම් ඉටු කිරීමෙන් අප ලබන යහඵල:
    නබි (සල්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කිරීම,
    නිවසේ කාන්තාවන්ට හා දරුවන්ට නැමදුම් කරන්නේ කෙසේදැ යි පුහුණු කිරීම,
    දික්ර් හා කුර්ආන් පාරායනා කිරීමෙන් ෂෙයිතාන්ව පලවා හැරීම,
    මුණිච්ඡාවෙන් ඉවත් වී සිත පිරිසිදු කර ගැනීම යනාදිය මේවායින් කිහිපයකි.
නබි (සල්) තුමාණන්ගේ ඇඬීම
    පිරිමින් සහ කාන්තාවන් බොහෝ දෙනෙක් දරා ගත නොහැකි ශෝක ජනක අවස්ථාවන් හි හඬන බවද කඳුළු හෙලන බවද අපි දනිමු. ඒ කුමක් නිසාද? නබි (සල්) තුමාණන් පැතුවේ නම් මුළු ලොවම එතුමාගේ අතට පත් වනු ඇත. ස්වර්ගයේ උතුම් ස්ථානය පවා එතුමාට හිමි කර ගත හැකි වේ. එහෙත් එතුමා පවා කඳුළු හෙළු බව වාර්තා වී ඇත. තම අනුගාමිකයන් සඳහා එතුමා එලෙස කළහ. නැමදුමෙහි අල්ලාහ් සමඟ කතා කරන අවස්ථාවෙහි, කුර්ආනය පාරායනා කරනු සවන් දුන් අවස්ථාවෙහි එතුමාණන් කඳුළු හෙළුවෝය.  එතුමාණන් මෘදු සිත් සහිත කෙනෙකි, අභ්‍යන්තර පිරිසිදුකම නිසා, අල්ලාහ්ගේ මහන් තත්ත්වය ගැන දැන සිටි නිසා, ඔහුට බිය වූ නිසා මෙලෙස කඳුළු හෙළුවේය.
    මුත්රබ් නම් තැනැත්තෙක් තම පියා දැන් වූ කරුණක් මෙසේ වාර්තා කරයි. “නබි (සල්) තුමාණන් නැමදුමේ නිරතව සිටිය දී එතුමා අසලට මම ගියෙමි. එවිට එතුමාණන්ගේ වැලපීමේ හඬ නිසා භාජනයක ජලය රත් වන ශබ්දය මෙන් එතුමාණන්ගේ හදවතෙන් ශබ්ද ඇසුණි.” මූලාශ්‍රය අබු දාවුද්.
    අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළි) මෙලෙස දන්වයි. ‘මා සඳහා කුර්ආනය පාරායනා කරනු මැනව.‘ යැයි නබි (සල්) තුමාණන් මට කීහ. “ඔබ තුමාටම කුර්ආනය පහළ වන විට මම පාරායනා කළ යුතු දැ?“ යි විමසුවෙමි. “සැබැවින්ම මම අන් අයගෙන් කුර්ආනයට සවන් දීමට කැමැත්තෙමි.“ යැයි එතුමාණන් පැවසුහ.එනිසා සූරතුන් නිසා පරිච්ඡේදයෙන් පාරායනා කරන්නට ආරම්භ කළෙමි. එහි (වජඃනා බික අලා හාඋලාඉ ශහීදා) “මොවුන්ට එරෙහි ව මරණයෙන් පසු ඔබ ව සාක්ෂියක් වශයෙන් ගෙන එන්නෙමු.” යන වාක්‍ය කියවනු සවන් දුන් නබි (සල්) තුමාණන් දෑසින් කඳුළු සලනු දුටුවෙමි.
    නබි (සල්) තුමාණන් භාග්‍ය ලත් රැවුලේ තිබු සුදු කෙස් දහ අටක් පමණ දෙස බලනු. ඒවා දෙස බැලු අබු බකර් (රළි) තම මිතුරා දෙස බලා “නබි (සල්) තුමණි! ඔබගේ රැවුල සුදු වී තිබෙනවා නේදැ?“ යි විමසුවේය. එවිට නබි (සල්) තුමාණන් සූරතුල් හූද්, අල් වාකිආ, අල් මුර්සලාත්, අම්ම යතසාඅලූන් සහ ඉදෂ් ෂම්සු කුවිරත් වැනි සූරාවන් නිසා මගේ රැවුල සුදු විය.“ යනුවෙන් පිළිතුරු දුන්හ. මූලාශ්‍රය තිර්මිදි.
නබි (සල්) තුමාණන්ගේ නිහතමානීභාවය
    නබි (සල්) තුමාණන් මිනිසුන් අතරින් යහ ගුණයෙන් පිරී පරිපුර්ණ පෙනුමකින් යුත් කෙනෙකි. ආයිෂා (රළි) දැන් වු ආකාරයෙන් එතුමාණන්ගේ ගුණාංගය කුර්ආනය විය. මූලාශ්‍රය මුස්ලිම්.
    “සැබැවින්ම මම එවනු ලැබුවේ යහ ගුණාංගයන් සම්පූර්ණ කරනු පිණිසය.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍රය අහමද්.
    එතුමාණන්ගේ නිහතමානීභාව හේතුවෙන් අධික වර්ණනා හා සීමාව ඉක්මවා ප්‍රශංසා කිරීම වැනි දේ ප්‍රිය නොකළහ.
    උමර් ඉබ්නු අල් කඃත්තාබ් (රළි) තුමා මෙලෙස වාර්තා කළේය. “මර්යම්ගේ පුත්‍ර ඊසා තුමාට ජනතා ප්‍රශංසා කළ අයුරින් මට සීමාව ඉක්මවා ප්‍රශංසා නොකරනු මැනව. මම අල්ලාහ්ගේ ගැත්තෙක් සහ අල්ලාහ්ගේ රසූල් වරයෙක් බව පමණක් සඳහන් කරනු.” යැයි නබි (සල්) තුමාණන් පැවසුහ.  මූලාශ්‍රය අබු දාවුද්.
    අනස් (රළි) තුමා මෙසේ දන්වයි. “ඇතැම් ජනයා අල්ලාහ්ගේ දූතයාණනි! අප අතර යහපත් පුද්ගලයාණනි! අපගේ යහපත් කෙනෙකුගේ පුත්‍රයාණනි! අපගේ නායකයාගේ පුත්‍රයාණනි!“ යනුවෙන් නබි (සල්) තුමාණන්ට අමතා කතා කළෝය. එවිට එතුමාණන්, “ ජනයිනි! ඔබ සැමගේ පුරුදු භාෂාවෙන් මට අමතනු. ෂෙයිතාන් ඔබට වැරදි මඟ යවන්නට ඉඩ නොතබනු. මුහම්මද් ව මම අල්ලාහ්ගේ ගැත්තෙකු හා ඔහුගේ රසූල් වරයෙකු වෙමි. අල්ලාහ් මට දුන් තත්ත්වයට වඩා ඔබ මා හට උසස් කර නොපවසනු.” යැයි පැවසුහ. මූලාශ්‍රය අන් නසායි.
    දැන් පවා අප අතර ඇතැම් පිරිස නබි (සල්) තුමාණන්ට සිමාව ඉක්මවා  පැසසුම් කළහ. “එතුමාණන් සැඟ වූ දේ ගැන දනී, යහපත හා අයහපත එතුමාණන්ගේ අතේ තිබේ, අපගේ අවශ්‍යතා සියල්ල එතුමා ඉටු කරයි, එතුමා රෝගයන්ට සුවය දෙයි” වැනි නොයෙක් දේ විශ්වාස කරන අතර ඒ බව අන් අයටද ප්‍රකාශ කරති. එහෙත් මේවා සියල්ල අල්ලාහ් ප්‍රතික්ෂේප කරයි.
    “අල්ලාහ් සිතු දෑ හැර වැඩ සිදු කර ගැනීමකින් හෝ අවැඩ සිදු කර ගැනීමක් හෝ මට නැත. මම ගුප්ත දැය දන්නෙහි නම් මට වස්තු රාශියක් තිබිය යුතුය. තවද මට විපත් සිදු නොවන්නේය. විශ්වාස කරන ජනතාවකට මම ඔවදන් දෙන්නෙකිම්ද ශුභාරංචි  දෙන්නෙකිම්ද මිස නැතැ යි පවසනු.” කුර්ආන් 7:188.
    මෙම නබි (සල්) තුමාණන් පොළොවෙහි සිටින අයට හා අහසේ සිටින අයට වඩා උතුම් කෙනෙකි. සෑම විටම අල්ලාහ් වෙත යටත් පහත් ව ක්‍රියා කරන කෙනෙකි. අහංකාරකම ප්‍රිය නොකරන කෙනෙකි. එහෙත් යටත් පහත් වන අයගේ නායකයා වේ. තම පරමාධිපති අබියස යටත් පහත් භාවය දක්වන අයගේ නායකයා වේ.
     අනස් (රළි) මෙලෙස වාර්තා කරයි. “ඕනෑම මිනිසෙකුගේ හදවතේ නබි (සල්) තුමාණන්ට වඩා ප්‍රියතම කිසිවෙක් නොමැත. තමා ව දුටු විට මිනිසුන් නැගිට සිට ආචාර කිරීම එතුමාණන් අකැමැති බව දැන සිටි හේතුවෙන් ජනතා එසේ නැගිට ආචාර කිරීමෙන් වැළකී සිටියහ.” මූලාශ්‍රය අහමද්.
    මේ සමාජයේ ජීවත් වූ නබි (සල්) තුමාණන්ගේ නිහතමානී භාවය සහ සත් ගුණාංග දෙස බලමු. අසරණ කාන්තාවක් වෙනුවෙන් කාර්ය බහුල අවස්ථාව පවා එතුමානන් පරිත්‍යාග කළහ.
    දිනක් කාන්තාවක් පැමිණ “ඔබ තුමාගෙන් මට අවශ්‍යතාවක් තිබේ.” යැයි පැවසු විට, නබි (සල්) තුමාණන් ඇයට, “ඔබ කැමති ඕනෑම මාර්ගයක වාඩි වී සිටින්න. මමද එතැනට පැමිණ වාඩි වෙමි.” (ඔබේ ඉල්ලීමට සවන් දෙන්නෙමි) යනුවෙන් පැවසුහ. මූලාශ්‍රය අබු දාවුද්.
    නිහතමානී භාවයේ ශීර්ෂකය මෙන් එතුමාණන් ජීවත් වුහ. “කවරෙකු හෝ එළුවෙකුගේ කලව ප්‍රදේශය හෝ පය (ආහාර වශයෙන්) පිළියෙල කර මට ආරාධනා කළහොත් මම එයට පිළිතුරු දෙන්නෙමි. එළුවෙකුගේ කලවා ප්‍රදේශය හෝ පය මට ත්‍යාග කළහොත් මම එය පිළිගන්නෙමි.” යැයි නබි (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්‍රය බුහාරි.
    උඩඟුවෙන් මත් වී සිටින අයට, ඔවුන්ගේ උඩඟු ව විනාශ කිරීම සඳහා නබි (සල්) තුමාණන් සෑම කලකම, සෑම අවස්ථාවකම උපදෙස් දුන්හ.
    අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළි) මෙලෙස දන්වයි. “අබ ඇට (අණු) ප්‍රමාණයක තරම් වුවද කවරෙකුගේ සිතෙහි උඩඟු ව තිබේද ඔහු ස්වර්ගයට ඇතුළු නොවන්නේය.” මූලාශ්‍රය මුස්ලිම්.
    උඩඟු ව කෙතරම් කුඩා ප්‍රමාණයක වුවත් එය කැඳවා ගෙන යන මාර්ගය අපාය වේ. අහංකාරයෙන් සහ උඩඟුවෙන් ඇවිද යන  මිනිසා ලබන දඬුවම දෙස බලනු. අල්ලාහ් ඔහු කෙරෙහි කෝපයට පත්වන්නේය. ඔහු මරණයට පත් වන විට අල්ලාහ්ගේ කෝපයද,  ඉතා වේදනීය සහ දඬුවම සහිත තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වෙයි. එවැනි ශෝකජනක අවස්ථාවෙන් අපහට ආරක්ෂාව දෙන මෙන් අල්ලාහ්ගෙන් දුආ කරමු.
    අබු හුරෙයිරා (රළි) මෙම හදිසය වාර්තා කරයි. “ පැරණි යුගයේ කෙනෙක් තමන් බොහෝ කැමති ඇඳුමෙන් සැරසී, අලංකාර ව හිස පීරා අහංකාරයෙන් ගමන් කළේය. ඔහු ව හිටියැටියේ පොළොව තුළට ගිලි හී යන්නට අල්ලාහ් සැලසුවේය. අවසාන දිනය දක්වා ඔහු එලෙස ගිලි හී ගෙන යයි.” යනු නබි (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්‍රය මුස්ලිම්.
නබි (සල්) තුමාණන්ගේ සේවක
    අසරණ හා දුබල කෙනෙකු සේවකයෙකු ලෙස පත් කිරීම වෙනුවට කෙනෙකුගේ දේව බැතිමත්කම හා දහම සඳහා ඔහු ව තම සේවකයෙකු ලෙස නබි (සල්) තුමාණන් පත්කර ගත්හ. “ඔබේ සේවකයෝ ඔබේ ම සහෝදරයෝ වෙති. ඔවුන් ව ඔබගේ පාලනය යටතේ අල්ලාහ් පත් කර ඇත. ඔබ ගන්නා ආහාරයෙන් ඔවුන්ටද දෙන්න. ඔබේ ඇඳුමෙන් ඔවුන්ටද දෙන්න. ඔවුන්ට ඉටු කළ හැකි දෑ හි වගකීම පවරනු. එසේ පවරන්නේ නම් ඔවුන්ට සහය වනු.” යැයි රසූල් (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍රය මුස්ලිම්.
    තම ස්වාමියා පිළිබඳ ව යහ චරිතපත්‍ර දෙන සේවකයෙක් ඔබ දැක සිටිනවාද? නබි (සල්) තුමාණන්ගේ සේවක අනස් (රළි) පවසන වදනට සවන් දෙමු. “මම වසර දහයක් එතුමාණන්ට සේවය කළෙමි. මෙම කාලය තුළ “චී!” යන වදනක් පවා එතුමාණන් මට පවසා නැත. මම යමක් කළේ නම් “ඇයි කළේ?” යනුවෙන් හෝ එතුමා පැවසු දේ නොකළහොත් “ඇය නොකළේ?” හෝ ප්‍රශ්න කර නැත.”
    මෙය වසර දහයක දීර්ඝ සේවයකි. දින කිහිපයක් හෝ මාස කිහිපයක් නොවේ. මෙම දීර්ඝ කාලය තුළ සතුට, දුක, කෝපය, සිත් තැවිල්ල කරදර, දුප්පත්කම, පොහොසත්කම යන සියලු හැඟීම් නිවසක හිස එසවිය හැක. එහෙත් කිසි විටෙක නිවසේ කිසිවෙක් එම සේවකයා පලවා හැරියේ නැත. වැරදි සෙව්වේ නැත. සේවය කළ තැනැත්තාගේ සියලු අයිතීන් නිසි අයුරින් සපයා, ඔහු වෙනුවෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කර නබි (සල්) තුමාණන් යහ මඟපෙන් වුහ.
    තවත් අවස්ථාවක “නබි (සල්) තුමාණනි! ඔබගේ සේවකයා සඳහා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරනු මැනවි,” යැයි මගේ මව පැවසු විට, “පරමාධිපතියාණනි, ඔහුට ධනය හා දරු සම්පත් වැඩියෙන් ලැබෙන්නට සගස්වනු මැනවි. ඔහුට ඔබ ලබා දුන් දැයින් වර්ධනය කරනු මැනව.” යැයි නබි (සල්) තුමාණන් ප්‍රාර්ථනා කළහ. යනු අනස් (රළි) වාර්තා කරයි. මූලාශ්‍රය බුහාරි.
    නබි (සල්) තුමාණන් ඉතාමත් නිර්භීත කෙනෙක් වුවද තම නිර්භිතකම සත්‍යය සඳහා පමණක්ම උපයෝගි කළහ. තම ආරක්ෂාව යටතේ ජීවත් වන බිරියන්ට, දරුවන්ට හෝ සේවකයන් කිසි විටෙක දඬුවම් පැනවීම නොකළහ.
    “අල්ලාහ් වෙනුවෙන් සිදු කරන සටනක හැර අන් කිසිවිටෙක කිසිවෙකුට තම අතින් නබි (සල්) තුමාණන් පහර දුන්නේ නැත. බිරියන්ට පහර නුදුන්හ. සේවකයන්ට පහර නුදුන්හ.” යැයි ආයිෂා (රළි) තුමිය වාර්තා කළාය. මූලාශ්‍රය මුස්ලිම්.
    අල්ලාහ්ගේ මැවීම් අතර උතුම් කෙනෙකු වන එතුමාණන් ගැන මූඃමින්වරුන්ගේ මෑණියන් ලෙස හැඳින්වන එතුමාණන්ගේ බිරියන්  චරිත සහතික පවසන්නේ මෙසේය.
    ෂරීආ හෙවත් අල්ලාහ්ගේ නීතියට එරෙහි වන කිසිදු වරදකට සහය නුදුන්හ. යම් අවස්ථාවක අල්ලාහ්ගේ නීතියට එරෙහි ව වරදක් සිදු වනු දුටුවේ නම්, අන් අයට වඩා එතුමාණන් කෝපයට පත්වුහ. යම් කරුණක පාපයක් සිදු නොවන විකල්ප දෙකක් තිබුණේ නම් කැමති හා පහසු දේ තෝරා ගන්නා ලෙස නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍රය බුහාරි.
    එපමණක් නොව එතුමාණන් මහත් ඉවසීම සහිත වු කෙනෙකි.
    “සැබැවින්ම අල්ලාහ් අසීමිත කරුණා ව සහිතය. ඔහු සෑම විටකම කරුණා ව ප්‍රිය කරයි.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්)

 

    


අබ්දුල් මාලික් අල් කාසිම් විසින් සකස් කරන ලදී
සිංහල බසින්
ජාසිම් ඉබ්නු දඉයාන්
ත්‍යාග හුවමාරු කර ගැනීම හා ආගන්තුක සත්කාරය
සමාජ ජීවිතයේ හෝ පවුල් ජිවිතයේ හෝ වේවා මිනිසුන් අතර ඇතැම් අවශ්‍යතාවන් බැහැර කිරීමේ අවස්ථාවන් ඇත. මේවා අතර, මිනිස් සිත් එකමුතු කිරීමට සහ සිත් දිනා ගැනීමට ඉතා සුදුසු මාර්ගය ත්‍යාග හුවමාරු කරගැනීම ය. ආයිෂා (රළි) තුමිය මෙලෙස වාර්තා කළාය. “නබි (සල්) තුමාණන්ට ත්‍යාගයක් දෙනු ලැබුවේ නම් එය භාර ගත්හ. ඒ අයුරින් එයට ප්‍රතිඋපකාරයද කළහ.” මූලාශ්‍රය බුහාරි.
යහගුණාංගය නබිවරුන්ගේ ජීවිතයන්හි දක්නට තිබෙන ලක්ෂණයකි. මෙම විෂයයෙහි මුහම්මද් නබි (සල්) තුමාණන් විශාල දායකත්වයක් දැක්වුහ.
“අල්ලාහ් සහ අවසාන දිනය කෙරෙහි විශ්වාස තබන්නෙක් තම ආගන්තුකයාට ගෞරවය දැක්විය යුතුය. ආගන්තුකයාට සැලකිලි දැක්වීම දහවලක් හා රාත්‍රියක් වේ. ආගන්තුක සත්කාර දැක්වීම දින තුනකි. එයට අමතරව වැඩි සැලකිලි දැක්වීම පිනක් වේ. සත්කාර සේවය දක්වන්නාට අපහසුතව සිදු වන අයුරින් ඔහු වෙත රැඳී සිටීම ආගන්තුකයාට නුසුදුසු ය.” මූලාශ්‍රය බුහාරි.
අල්ලාහ් මත දිවුරා පවසමි. නබි (සල්) තුමාණන්ගේ ගුණාංග සහිත අන් කිසිවෙක් මෙලොව ජීවත් වන ජනතාව අතරින් හිජාස් ජනතාව, දූපත් වල ජීවත්වන ජනතාව, නැගෙනහිර සහ බටහිර රටවල ජිවත් වන සියලු ජනතාව අතරින් පවා ඔබට සොයා ගත නොහැකි වේ. එතුමාණන්ගේ ගුණාංග දැක ගත හැකි වන්නේ එතුමාණන් වෙත පමණි. මගේ මෑණියන් හා පියාණන් නබි (සල්) තුමාණන්ය.
සහ්ල් ඉබ්නු සඅද් (රළි) වරක් මෙසේ දැන්වීය. “දිනක් කාන්තාවක් තමා විසින් වියන ලද වස්ත්‍රයක් නබි (සල්) තුමාණන් වෙත රැගෙනවිත් ‘ඔබ තුමාණන්ට පලඳනු පිණිස මගේ අතින් ම වියන ලද වස්ත්‍රයක් රැගෙන ආවෙමි.‘ යැයි පැවසුවාය. නබි (සල්) තුමාණන් තමාට එම රෙද්ද අවශ්‍ය එකක් බව අඟවා එය රැගෙන ගොස්  සරමක් මෙන් පැලඳ ගෙන අප වෙතට හැරී පැමිණියහ. එම අවස්ථාවේ මිනිසෙක් ‘එය කදිම එකක්. මට එය පලඳන්න.’ යැයි පැවසීය ඔහුට ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් නබි (සල්) තුමාණන් මඳ වේලාවක් සභාවේ රැඳී සිටියහ. පසුව සභාවෙන් නැගිට ගොස් එම රෙද්ද ඉවත් කොට  ඔතා ගෙනැවිත් එය ඉල්ලුම් කළ මිනිසාට දුන්හ. එම අවස්ථාවේ සභාවේ සිටි මිනිසුන් ‘රසූල් (සල්) තුමාණන්ට එම රෙද්ද අවශ්‍ය වූ නිසාමයි එතුමාණන් එය පැලඳ ගත්තේ.’ යැයි කීවෝය. ‘කෙනෙකුගේ ඉල්ලීම රසූල් (සල්) තුමාණන් ඉවත නොදමන බව දැන ගෙන නොවේද ඔබ එම ඉල්ලීම කළේ දැ?’යි මම ඔහු ගෙන් විමසුවෙමි. එවිට එම තැනැත්තා ‘අල්ලාහ් මත දිවුරා පවසමි. මම එම රෙද්ද ඉල්ලුවේ පැලද ගනු පිණිස නොව, මගේ මරණයෙන් පසු මගේ මළ සිරුර ආවරණය කරන කෆන් රෙද්දක් වශයෙන් උපයෝගි කරනු පිණිසය මම එය  ඉල්ලුවේ.’ යැයි පිළිතුරු දුන්නේය.” අවසානයේ එම තැනැත්තාගේ මරණයෙන් පසු කෆන් වශයෙන් එම රෙද්ද උපයෝගි කළ බව සහ්ල් ඉබ්නු සඅද් (රළි) වාර්තා කළේය. මූලාශ්‍රය බුහාරි.
සෑම කෙනෙකුම අනුගමනය කළ හැකි අයුරින් නබි (සල්) තුමාණන් ව අල්ලාහ් තෝරා පත් කළේය. එතුමාණන්ගේ හැසිරීම සහ ගුණාංගය දෙස බලා විමතතයට පත් නොවනු. නබි (සල්) තුමාණන්ගේ නිර්ලෝභීකම පිළිබඳ ව එක් සිද්ධියක් දෙස බලමු. හාකිම් ඉබ්නු හස්ම් (රළි) තුමා මෙලෙස වාර්තා කරයි. “මම අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන්ගෙන් (මුදල් උපකාරයක්) ඉල්ලුවෙමි. එතුමාණන් මට උපකාර කළහ. මම නැවත වරක් (උපකාර) ඉල්ලුවෙමි. එවිට ද එතුමානන් උපකාර කළහ. මම තවත් වරක් (උපකාර) පැතුවෙමි. එතුමාණන් එවිටත් උපකාර කර මට මෙසේ පැවසුහ. ‘හකීම්! සැබැවින්ම මේ ධනය ප්‍රිය උපදවන හා අලංකාර එකකි. මෙය සිත් තෘප්තියෙන් ලබා ගන්නා කෙනෙකුට මෙහි වර්ධනය තිබේ. එහෙත් තණ්හාවෙන් මෙය වැලඳ ගන්නා කෙනෙකුට සමෘද්ධියක් නොලැබේ. එවැනි කෙනෙක් හැකි තරම් ආහාර අනුභව කළත් කුස නොපුරවනු කෙනෙක් මෙන් වෙයි. ඉහළින් තිබෙන (දන් දෙන) අත පහළින් තිබෙන (ඉල්ලීම් කරන) අතට වඩා උතුම් ය.” යි පැවසුහ. මූලාශ්‍රය බුහාරි, මුස්ලිම්.
“නබි (සල්) තුමාණන්ගෙන් ඕනෑම දෙයක් ඉල්ලුවේ නම් එතුමාණන් ‘නැත’  යනුවෙන් කිසිවිටෙක පැවසුවේ නැත.” යනුවෙන් ජාබිර් (රළි) තුමා වාර්තා කරයි. මූලාශ්‍රය බුහාරි.
‘නබි (සල්) තුමාණන්ගේ මිතුරන් අතර එතුමාගේ හදවතට ඉතාමත් සමීපව මම සිටිමි.’ යනුවෙන් සෑම කෙනෙක් ම සිතට තරමට ඔවුන් සියලු දෙනාට ඉතාමත් ආදරයෙන් හා සිනාමුසු මුහුණෙන් සැලකිලි දැක්වුහ.
“නබි (සල්) තුමාණන් කිසි දිනක මා ඈත් ව ඉවත් කර තැබුවේ නැත. මම ඉස්ලාමය පිළිගත් දින පටන්, සිනාමුසු මුහුණින් හැර එතුමාණන් ව දැක නැත” යනුවෙන් ජාබර් (රළි) වාර්තා කරයි. මූලාශ්‍රය බුහාරි.
අබ්දුල්ලාහ් ඉබ්නු අල් හාරිත් (රළි) තුමා මෙසේ වාර්තා කරයි. “නිතර සිනාමුසු මුහුණින් සිටින නබි (සල්) තුමාණන් හැර අන් කිසිවෙක් එසේ සිටිනු මා කිසි විටෙක දැක නැත.” මූලාශ්‍රය තිර්මිදි.
මිත්‍රයා! ඔබ මවිතයට පත්වන්නේ ඇයි? “ඔබගේ සහෝදරයා සිනාමුසු මුහුණින් පිළිගැනීම කුසල් ක්‍රියාවකි” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍රය තිර්මිදි.
රසූල් (සල්) තුමාණන්ගේ ගුණාංග පිළිබඳ එතුමාණන්ගේ සේවක අනස් (රළි) වර්ණනා කර පවසන වදනට අපි මොහොතකට සවන් දෙමු. මිනිසුන් අතර මෙවැනි ගති පැවතුම් කිහිපයක් සහිත කෙනෙක් හෝ මේ සියලු ගති පැවතුම් තිබෙන මිනිසෙක් හෝ දැක ගැනීම දුර්ලභ ය.
මිනිසුන් අතරින් නබි (සල්) තුමාණන් ඉතාමත් කාරුණික කෙනෙක් ව සිටියහ. කවරෙකු හෝ එතුමාට කතා කළේ නම් ඔහු වෙත අවධානය යොමු කළහ. ඒ තැනැත්තා වෙනත් අතකට හැරෙන තුරු, නබි (සල්) තුමාණන් මුහුණ වෙනතකට හරවන්නේ නැත. කවරෙකු හෝ එතුමාණන්ගේ අතින් අල්ලා ගත්තේ නම්, එතුමාණන් ද එ ලෙසම අතින් අල්ලා ගත්හ. පැමිණි තැනැත්තා පසුව තම අත ඉවත් කර ගන්නා තුරු නබි (සල්) තුමාණන් තම අත ඉවත් කර ගන්නේ නැත. මූලාශ්‍රය අබු නයීම් ෆි දලායිහ්.
තම ආගන්තුකයන්ට නබි (සල්) තුමාණන් ආදරයෙන් ගෞරවය දැක්වුවා පමණක් නොව  තම සමාජයට ද එලෙසම ආදරය දැක්වුහ. මේ හේතුවෙන් කිසිදු අයහපතක් අනුමත නොකර, ඒවා සියල්ල තහනම් කිරීමට හැකි වුහ.
ඉබ්නු අබ්බාස් (රළි) තුමා මෙලෙස වාර්තා කරයි. සහාබා වරයෙකුගේ අ‍තේ පැලඳ සිටි රන් මුද්දක් දැක, එය ගලවා වීසි කළ නබි (සල්) තුමාණන්, “ඔබ අතර කෙනෙක් තම අතේ ඇවිළෙන ගිනි අඟුරක් තබා ගන්නට කැමති වේ දැ” යි ප්‍රශ්න කළහ. මූලාශ්‍රය මුස්ලිම්.
කුඩා දරුවන්ට කාරුණික වීම
කරුණාව දැක්වීම පිළිබඳ ව දැඩි සිත් සහිත ජනතාව කිසිවක් නොදනී. ඔවුන්ගේ සිත් තුළ දයාවට ඉඩ නැත. ඔවුන් සැබැවින්ම ගනු දෙනු කිරීමේ දී අකාරුණිකව කටයුතු කරන අතර, ඔවුන්ගේ සිත් වියළි භාවයෙන් පිරුණු එකකි. ජනතාවට දයාව දැක්වීමේදී ඉතාමත් මසුරුකමින් ක්‍රියා කරති. කවරෙකුට දයාවෙන් පිරුණු සිතක් අල්ලාහ් පිරිනැමුවේද ඔහු භාග්‍ය වන්ත කෙනෙකි. අල්ලාහ්ගේ ආශීර්වාදය ඔහුව ආවරණය කර ඇත. ඔහුගේ සියලු ක්‍රියාවක්ම දයාව පදනම් කර ගෙන තිබේ.
“නබි (සල්) තුමාණන් තම පුත්‍රයා වන ඉබ්‍රාහිම් ව වඩා ගෙන දරුවාගේ හිස් මුදුන සිප ගනී.” යනුවෙන් අනස් (රළි) වාර්තා කරයි.  මූලාශ්‍රය බුහාරි.
මෙවැනි ආදරය තම පවුලේ අය වෙත පමණක් නොව නබි (සල්) තුමාණන් මුස්ලිම් සමාජයේ සියලු දෙනා කෙරෙහි ම දැක්වුහ.
ජාෆර් (රළි) ගේ බිරිය වන අස්මා බින්ත් උමයිස් (රළි) අන්හා මෙලෙස වාර්තා කළාය. නබි (සල්) තුමාණන් (ජාෆර්) ගේ නිවසට පැමිණ, ජාෆර් (රළි) ගේ දරුවන් කැඳවා ඔවුන් සෑම කෙනෙකුගේම හිස් මුදුන සිප ගත්හ. එවිට එතුමාණන්ගේ දෑසින් කඳුළු වැගිරෙනු දුටුවෙමි. “නබි (සල්) තුමාණනි! ජාෆර් (රළි) ට කරදර කිසිවක් සිදුවුණා දැ?” යි විමසුවෙමි. එවිට එතුමාණන්, “ඔව්. ඔහු අද ඝාතනයට ලක්විය.” යනුවෙන් පැවසුහ. ඒ බව ඇසු අපි සියලු දෙනාම ඇඬුවෙමු. පසු ව එතුමාණන් තම නිවසට ගොස්, “ජාෆර් (රළි) ගේ නිවසට ආහාර පිළියෙල කරන්න. එම නිවසේ අයට සිත් යොමු කරන්නට වෙනත් කරුණක් පැමිණ තිබේ.” යනුවෙන පැවසුහ. මූලාශ්‍රය තිර්මිදි සහ ඉබ්නු මාජා.
ජාෆර් (රළි) ගේ මරණය සඳහා නබි (සල්) තුමාණන් කඳුළු සලනු දුටු සඅද් ඉබ්නු උබාදා (රළි) “අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණනි! මේ කුමක් දැ?” යි විමසුවේය. එවිට නබි (සල්) තුමාණන් “මෙය අල්ලාහ් ඔහුගේ බැතිමතුන්ගේ සිත් තුළ පහළ කළ ආශීර්වාදයයි. සැබැවින්ම අල්ලාහ් ආශීර්වාද කරන්නේ කරුණාභරිත සිත් සහිත බැතිමතුන්ටයි.” යනුනේ පිළිතුරු දුන්හ. මූලාශ්‍රය බුහාරි.
නබි (සල්) තුමාණන් එකම පුත්‍රයා වන ඉබ්‍රාහීම්ගේ මරණය සිදු වූ අවස්ථාවේ දී නබි (සල්) තුමාණන් දෑසින් කඳුළු සෙළුහ. මේ බව දුටු අබ්දුර් රහ්මාන් ඉබ්නු අව්ෆ් (රළි), “ඔබත් (කඳුළු සලනවා) ද? අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණනි!” යැයි ඇසුවේය. එවිට “අව්ෆ්ගේ පුත්‍රයාණනි! මෙය කරුණාව නිසාය.” යනුනේ පවසා දිගටම කඳුළු සැළුහ. පසුව, “දෑසින් කඳළු සැලේ. සිත් වේදනාවට පත් වේ. අල්ලාහ් පිළි නොගන්නා කිසිවක් අපි නොපවසමු. ඉබ්‍රාහීම්! ඇත්ත වශයෙන් ඔබේ ඉවත්වී යෑමෙන් අපි ශෝකයට පත් වෙමු.” යැයි පවසුහ. මූලාශ්‍රය බුහාරි.
නබි (සල්) තුමාණන් උතුම් ගුණාංගයෙන් යුත් කෙනෙකි. එතුමාගේ මාර්ගයේ ගමන් කිරීමට අපි වග බලා ගත යුතුය. කුඩා දරුවන්ගේ ආදරය අවබෝධ නොකර, ඔවුන්ට ලැබිය යුතු ස්ථානය නොදෙන වර්තමාන සමාජයේ අපි අද ජිවත් වෙමු. මේ තරුණ සමාජය අනාගත දෙමාපියන් ය, සමාජයේ අනාගත නායකයන් ය, අනාගත ආලෝකය ය. මෙම දරුවන් කෙරෙහි කරුණාව නොදක්වන හේතුවෙන්, අපේ සිත් තුළ අවිඥානය, උඩඟු ව, පටු සිතුවිලි සහ පටු දර්ශන යන සෘණාත්මක පීඩන පිරී පවති.
එහෙත් මෙවැනි පිඩාවන්ට නබි (සල්) තුමාණන්ගේ අතේ සහ දිවෙන් ප්‍රතිකාර තිබුණි. එතුමාණන් කුඩා දරුවන්ට කරුණාව දැක්වුහ. ඔවුන්ට නියමිත ගෞරවය දැක්වුහ.
කුඩා දරුවන් පසු කර ගෙන යන විට, ඔවුන්ට සලාම් නම් සාමය පැතුහ. එපමණක් නොව, “නබිවරයා මෙලෙස කරයි.” යනුවෙන් වදාළ බව අනස් (රළි) තුමා වාර්තා කරයි. මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.
කුඩා දරුවන් සමඟ ආශ්‍රය කිරීමේ දී ඔවුන්ගෙන් කරදර, මහන්සිය සහ අධික දඟකාරකම  ස්වාභාවික ව දකින දෙයකි. එහෙත් නබි (සල්) තුමාණන් ඔවුන් සමඟ කෝප නොවු අතර, ඔවුන් පලවා හැරීම හෝ දඬුවම් දීම හෝ නොකළහ. ඒ වෙනුවට කරුණාවෙන් හා ඉවසීමෙන් ඔවුන් සමඟ ක්‍රියා කළහ.
ආයිෂා (රළි) තුමිය මෙලෙස වාර්තා කළාය. “එතුමාණන් වෙතට කුඩා දරුවන් ගෙනෙනු ලබයි. නබි (සල්) තුමාණන් ඔවුන් සදහා ප්‍රාර්ථනා කළහ. දිනක් කුඩා දරුවෙක් නබි (සල්) තුමාණන්ගේ වස්ත්‍රය මත මූත්‍රා කළ නමුත්, එතුමාණන් ඒ ගැන කෝප වුයේ නැත. ජලය ස්වල්පයක් ගෙන්වා, තම වස්ත්‍රය මත ඉසුහ.  වස්ත්‍රය සේදුවේ නැත.” මුලාශ්‍ර බුහාරි.
මිත්‍රයා! නබි (සල්) තුමාණන්ගේ නිවසේ සිදු වන දේ දැක ඉතාමත් ගෞරවයෙන් හැසිරීමට පුහුණුවනු මැනව! ඔබ ඇතැම් විට කුඩා දරුවන් සමඟ විහිළු බස් කථා කරනු ඇත. එම දරුවන්ගේ  සිනහ හා කතාවට සවන් දෙනු මෙනව. අපට මඟ පෙන් වු නබි (සල්) තුමාණන් ක්‍රියා කළේ මෙලෙසය.
අනස් (රළි) තුමා මෙම සිද්ධිය වාර්තා කර ඇත. “උම්මු සුලෙයිම් (රළි) තුමියගේ දියණිය වන zසෙයිනබ් (රළි) තුමියට ‘zසුයිනබ්! zසුයිනබ්!’ යනුවෙන් විහිළුවට අමතා එම දරුවා සමඟ සෙල්ලම් කළහ. එතුමාණන් දරුවන්ට දැක්වූ ආදරය සහ සැලකිල්ලට සීමාවක් නොමැත. නැමදුම් කරන අවස්ථාවන්හි පවා එතුමා දරුවන් කෙරෙහි විශේෂ ආදරය දැක්වුහ. තම දියණිය zසෙයිනබ් (රළි) තුමියගේ කුඩා දරුවා වන  උමාමා (රළි) ව අතේ වඩා ගෙන සලාහ් ඉටු කළහ. සිට ගෙන ඉන්න ඉරියව්වේ දරුවා වඩා ගෙන නැදුම් කළහ. සජදා නම් ස්ථානයට යන විට දරුවා බිම තැබුහ.” මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම.
“මම අවුරුදු පහේ දරුවෙකු ව සිටිය දී නබි (සල්) තුමාණන් අපේ ළිඳෙන් පනිට්ටුවකින් ජලය රැගෙන තම කටේ දමා මගේ මුහුණට ගැසු සිද්ධිය මම තවමත් මතකයේ තබා ගෙන සිටිමි.” යනුවෙන් මහ්මූද් ඉබ්නු රබීඃ (රළි) වාර්තා කරයි. මූලාශ්‍ර බුහාරි සහ මුස්ලිම්.
නබි (සල්) තුමාණන් කුඩා හෝ මහලු යන වෙනස නොබලා සියලු දෙනාටම  යහ දේ ඉගැන් වුහ. ඉබ්නු අබ්බාස් (රළි) මෙසේ වාර්තා කරයි.  දිනක් නබි (සල්) තුමාණන්ගේ පිටුපස මම වාඩි වි සිටියෙමි. එවිට එතුමාණන්, “දරුවා! ඔබට වදන්  කිහිපයක් මම උගන්වන්නෙමි. අල්ලාහ්ට බිය බැතිමත් වනු. ඔහු ඔබට රැකවරණය දෙයි. අල්ලාහ්ට බිය බැතිමත් වනු. ඔබ ඉදිරියේ ඔහු ව ඔබ දැකගන්නේය. යමක් ඉල්ලන්නේ නම් අල්ලාහ්ගෙන් පමණක් ඉල්ලීම් කරනු. උදව් පතන්නේ නම් ඔහුගෙන් පමණක් උදව් පතනු.” යැයි පැවසුහ. මූලාශ්‍රය තිර්මිදි.
නබි (සල්) තුමාණන් ඉගැන් වූ ආදර්ශ සමඟ විවාහ ජීවිතය ගෙව්වෙමු. මින් ඉදිරියට අපගේ සිතට නව ජීවනයක් ලබා දී එතුමාණන් පෙන්වා දුන් මාර්ගයේ අපට තව දුරට ගමන් කළ හැකි වේ. අපගේ නිවසේ කුඩා දරුවන් සිටිති. ඒදරුවන් දෙමාපියන්ගේ ආදර සෙනෙහස සොයමින් සිටින අතර, ඔවුන්ගේ සිත් තුළ සතුට ගෙන දෙන තෙක් බලා පොරොත්තුවෙන් සිටිති. එම අවශ්‍යතාව අපට දිය හැකි නම්, අල්ලාහ්ගේ ආශීර්වාදය සහිත ව, දෙමාපියන්ගේ ආදරය සහ මඟ පෙන්වීමෙන් යහපත් තරුණ තරුණියන් ලෙස ලොවට යහ මඟ පෙන්වන යහපත් පරපුරක් බවට ඔවුන් පත් කර හැකිය. ඔවුන් තුළ කරුණාවට කිසිදු අඩුවක් විය නොහැක.
ප්‍රඥාව, එඩිතරකම සහ ඉවසීම
අන් අයගේ හිමිකම බලෙන් අත්පත් කර ගැනීම, අන් අයගේ අයිතිවාසිකම් පැහැර හැරීම යන ක්‍රියාවන් අපරාධ කරන්නන්ගේ සලකුණු වේ. සමාජයේ සෑම කෙනෙකුගේම මූලික අයිතීන් ඔවුන්ට ලබා දෙනු පිණිස ඔවුන්ට උපකාර කර, සාධාරණය ඉටු කිරීම සඳහා නබි (සල්) තුමාණන් සටන් කළහ. අල්ලාහ් විසින් අණ කරන ලද යහ දේ අණ කිරීම සහ අයහපත් දේ  වැළකීම යන ප්‍රතිපත්ති මත එතුමාණන් සමාජයේ යහ කටයුතු සියල්ල ඉටු කර පෙන්වුහ. මේ හේතුවෙන් එතුමාණන්ගේ නිවසේ අසාධාරණකම, සීමාව ඉක්මවීම, අපරාධ හෝ අයහපත් පාලනය වැනි කිසිවක් දක්නට නොමැත.
ආයිෂා (රළි) තුමිය මෙලෙස වාර්තා කළාය. “නබි (සල්) තුමාණන් යුද්ධමය අවස්ථාවක හැර අන් කිසිවිටෙක අතින් පහර දී නැත. කිසිදු කාන්තාවකට පහර නුදුන්හ. සේවකයන්ට පවා පහර නුදුන්හ. එතුමාණන් තම සගයින් වන සහාබාවරුන් කිසිවෙකු සමඟ කෝප වුයේ නැත. එහෙත් අල්ලාහ්ගේ ආඥාව කඩ කරනු දුටු අවස්ථාවෙහි එතුමාණන් අල්ලාහ් වෙනුවෙන් කෝප වුහ.” මූලාශ්‍රය අහමද්.
අනස් (රළි) මෙලෙස වාර්තා කරයි. දිනක් නබි (සල්) තුමාණන් සමඟ මම ඇවිද ගියෙමි. එම අවස්ථාවේ එතුමාණන් නජ්රාන් පළාතේ සාදන ඝන සළුවකින් පොරවා ගෙන සිටියහ. හිටිහැටියේ ගම්බද අරාබි ජාතිකයෙක් එතුමා පොරවා සිටි සළුව වේගයෙන් ඇද්දේය. එම සළුවේ ඝනකම නිසා රසූල් (සල්) තුමාණන්ගේ උරහිස සම තුවාල විය. එතුමා ව ඇමතු ඔහු “මුහම්මද්! ඔබ වෙත තිබෙන අල්ලාහ්ගේ ධනයෙන් මටත් දෙන ලෙස අණ කරනු.” යැයි ශබ්ද නගා කීවේය. එහෙත් නබි (සල්) තුමාණන්, ඔහු දෙස හැරී බලා, ඔහුට කොටසක් දෙන ලෙස සහාබාවරුන්ට සිනා මුසු මුහුණින් අණ කළහ. මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.
හුනෙයින් සටන අවසන් වී රසූල් (සල්) තුමාණන් ආපසු හැරී එන විට එතුමා පිටුපසින් පැමිණි ගම්බද අරාබි වැසියන් සටනින් ලැබු භාණ්ඩයන්ගෙන් තමන්ටත් කොටසක් දෙන ලෙස ඉල්ලා කරදර කළහ. මෙලෙස ඉල්ලාමින් එතුමාගේ ඔටුවා ගසක් අසලට ඇද ගෙන ගියෝය. එතුමාණන් ඔටුවාගෙන් බිමට බසින්නට තැත් කරද්දී, එතුමාගේ සළුව බිම වැටිනි. “මගේ සළුව අරන් දෙන්න. මා වෙත කිසියම් මසුරුකම් තිබන බව ඔබ බිය වනවාද?” යනුවෙන් ප්‍රශ්න කර, “මෙහි තිබෙන ගස් ප්‍රමාණයට ගවයන් මා වෙත තිබෙනවා නම්, ඒවා සියල්ල ඔබ සැමට දෙන්නෙමි. එයින් පසුව මා දෙස මසුරෙක් හෝ බියගුල්ලෙක් හෝ අසත්‍ය පවසන කෙනෙක් බව ඔබ බලන්නේ නැත.” යැයි පැවසුහ. ෂර්හුස් සුන්නාහ් ග්‍රන්ථයේ බහවි විසින් වාර්තා කරන ලදී. ෂෙයික් අල්බානි මෙය සනාථ කරයි.
කරුණාව, යහ දේ අණ කර, නරක දැයින් ඉවත් කිරීම පිළිබඳ ව උගන්වන්නට සහ පුහුණු කිරීම සඳහා කදිම ආදර්ශ.
තමන් අතර වැරදි කරන්නන් කවුරුන්ද, සත්‍යය දැයින් බැහැර වන්නේ කවුරුන්ද, පාපය කරා ගමන් කරන්නේ කවුරන්ද යන විස්තර සහාබාවරුන් දැන සිටියහ. මේ නිසා ඔවුන් මහත් කෝපයට ද පත් වු නමුත් රසූල් (සල්) තුමාණන් මේ අය පිළිබඳ ව ද කරුණාවෙන් කටයුතු කළහ. ඇතැම් මුස්ලිම්වරු  වැරදි සිදු කරන්නේ අනවබෝධය නිසා විය හැකි අතර එයින් අයහපතක් සිදු විය හැක යැයි, ඒවා ගැන කෝපයට පත් වන ජනතාව සන්සුන් කළහ.
අබු හුරෙයිරා (රළි) මෙලෙස වාර්තා කරයි. “අඥාන ගම්බද අරාබි මිනිසෙක් මදීනාවේ නබි (සල්) තුමාණන්ගේ මස්ජිදය තුළ මූත්‍රා කරනු දුටු සහාබාවරු අධික කෝපයට පත් ව, ඔහුව පලවා හරින්නට සූදානම් වුහ. ඔවුන්ගේ ක්‍රියාව වැළැක්වූ නබි (සල්) තුමාණන් ජලය ස්වල්පක් රැගෙන එන ලෙස පවසා,  ජලය එම ස්ථානය මත සලා, සහාබාවරුන්ට “ඔබ එවනු ලැබුවේ සියල්ල පහසු කරීම සඳහාය. කිසිවක් අපහසු බවට පත් කරනු පිණිස ඔබ එවනු ලැබුවේ නැත.” යනුවෙන් ඔවුන්ට මතක් කළහ. මූලාශ්‍රය බුහාරි.
නබි (සල්) තුමාණන් පුද්ගලික විජයග්‍රහණයක් බලා පොරොත්තු නොවු අතර, ජනයා සියලු දෙනාම අල්ලාහ්ගේ ඇරයුමට පිළිතුරු දෙමින් තමා පෙන් වූ මාර්ගයේ ගමන් කළ යුතු බවද, තමා ව අනුගමනය කළ යුතු බවද බලාපොරොත්තු වෙන්  ඉවසීමෙන් සිටියහ.
ආයිෂා (රළි) අන්හා මෙලෙස වාර්තා කළාය. “නබි තුමාණනි! උහුද් සටනේ ඔබ තුමා තුවාල ලැබ වේදනාවට ලක් වූ දිනය මෙන් වෙනත් දිනක් ඔබ තුමා මුහුණ දුන්නේද?” යැයි දිනක් විමසුවෙමි. එවිට එතුමාණන්, “ඔබේ ජනතාවගෙන් මීට වඩා අධික වේදනාවට පත් වුයෙමි. ඔවුන්ගෙන් ඉතාමත් බරපතළ වේදනාව සිදු වුයේ තායිෆ් නුවර දී අකබා දිනයේදී ය. මාගේ ඇරයුම පිළිගන්නා ලෙස ඉබ්නු අබ්දු යඃලීල් බින් අබ්දු කුලාල් ගෝත්‍රයට පැවසුවෙමි. මම බලාපොරොත්තු වූ අයුරින් ඔවුන් මට පිළිතුරු නුදුන්හ. පසුව මහත් දුකට පත් ව මම හැරී ආවෙමි. කර්න් අල් මුතාලිබ් නම් ස්ථානයට පැමිණෙන තුරු මම මහත් අසාධ්‍ය තත්ත්වයේ සිටියෙමි. (එහි දී) හිස ඔසවා බැලුවෙමි. වලාකුළු මට සෙවණැල්ල සපයන බව දුටුවෙමි. එම වලාකුළු මත ජිබ්රීල් (අලෛ) තුමා ද සිටීය. ජිබිරීල් (අලෛ) මා අමති, “ඔබගේ සමාජය ඔබට පැවසු සියලු දේට සහ ඔවුන් දුන් පිළිතුරුට අල්ලාහ් සවන් දුන්නේය. එහෙයින් ඔබ කැමති ආකාරයට ඔවුන්ට දඬුවම් කරනු පිණිස කඳු භාර මලාඉකා වරයා ඔබ වෙත එවා ඇත.” යැය කීය. කඳු භාර මලාඉකා වරයා මට සලාම් පවසා, “යා මුහම්මද්! සැබැවින්ම ඔබගේ සමාජය ඔබට පැවසු සියලු දේට අල්ලාහ් සවන් දුනනේය. මම කඳු භාර ව සිටින මලාඉකාවරයාය. ඔබ කැමැත්තක් මට අණ කරන ලෙස අල්ලාහ් ඔබ වෙත මා එවා ඇත. (මේ) කඳු යාය ඔවුන් මත පෙරළා දමන්නට ඔබ කැමති නම් (එය ඉටු කරමි)” යැයි කීය. එයට “එසේ නැත. අල්ලාහ්ට කිසිවක් සමාන නොකරන ජනතාවක් ඔවුන්ගේ පරපුරෙන් අල්ලාහ් මවනු ඇතැයි මම විශ්වාස කරමි.” යනුවෙන් මම පැවසුවෙමි. මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.
වර්තමාන සමාජයේ ඇතැම් ජනතාව දඅවා සම්බන්ධ ව ඉක්මන් වන බව අපි දකිමු. හදිසි තීරණය මත ක්ෂණික ජයග්‍රහණය ඔවුන් බලාපොරොත්තුවෙති. ඇතැම් දාඊ වරුන් ඇතැම් පුද්ගලයින් ඉලක්ක කර දඅවා කරන හේතුවෙන් එම දාඊ වරුන් සහ මෙවැනි පදනම මත සිදු කරන දඅවා පවා පරාජයට පත්වන්නේ මේ හේතුන් නිසාය. ඉවසීම පදනම් කර ගෙන, අඩුලුහුඬුකම් නිවැරදි කර දඅවා කටයුතු කරන සිත් සහිත දාඊ වරුන් අද සිටින්නේ කොහේද?
නබි (සල්) තුමාණන්ගේ අභිලාෂය ඉටු වුයේ දීර්ඝ වසර කිහිපයකට පසුව, අසීමිත ඉවසිමෙන් හා පරිත්‍යාගයන් කර විවිධ ජනයාගේ සතුරුකම් හා යුද බිමේ සටන් වලට මුහුණු දීමෙන් අනතුරුවය.
නබි (සල්) තුමාණන්ට පහර දෙනු ලැබ එතුමාණන්ගේ ලේ සලන්නට පවා එම සමාජය පසුබට වුයේ නැත. උහුද් සටන් බිමේ තම මුහුණෙන් ගැලු රුධිරය පිස දැමු එතුමාණන්, “යා අල්ලාහ්! මගේ ජනතාවට සමාව දෙනු මැනව! ඔවුන් කිසිවක් නොදන්නා පිරිසකි.” යැයි අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කළ බව ඉබ්නු මස්ඌද් (රළි) වාර්තා කළේය. මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.
දිනක් රසූල් (සල්) තුමාණන් සහාබාවරුන් සමඟ ජනාසා ගමනක සහභාගි වන අවස්තාවේ, zසෙයිද් ඉබ්නු zසුඃනා නමැති යුදෙව් ජාතිකයෙක්, එතුමා වෙතට ඉතා කෝපයෙන් පැමිණ එතුමාගේ කමිසය ඇද ඉරා, “මුහම්මද්! මගේ හිමිකම මට ලබා දෙනු. මගේ ණය බේරනු.” යැයි උස් හඬින් කෑ ගැසුවේය. මෙය දුටු උමර් (රළි) යුදෙව් ජාතිකයා දෙස මහත් කෝපයෙන් බැලුවේය. “අල්ලාහ්ගේ සතුරා! මා සවන් දෙන වදන නුඹද පවසන්නේ! මා දකින දේ නුඹ ඉටු කරනවාද? අල්ලාහ් මත දිවුරා පවසමි. මම ප්‍රවේශමෙන් ක්‍රියා කරමි. නැත්නමි මගේ අසිපතෙන් නුඹේ හිස කපා දමන්නෙමි.” යැයි පැවසීය. එවිට නබි (සල්) තුමාණන්, “උමර්! ඔහු සහ මම මෙය නොවන සිදුවීමට අවශ්‍ය ව සිටිමු. මෙම ණය මුදල් යහපත් අයුරින් ආපසු ගෙවා දමන ලෙස මට උපදෙස් දී, යහපත් ලෙස හැසිරීමට ඔහුට අණ කරනු. උමර්! ඔහු සමඟ ගොස් ඔහුගේ හිමිකම ලබා දී, එයට අමතර ව ඔහුට ඉඳි සේරු විස්සක් ලබා දෙනු.”  යැයි නබි (සල්) තුමාණන් උමර් (රළි) ට අණ කළහ.
යුදෙව් ජාතිකයා සමඟ ගිය උමර් (රළි) තුමා ඔහුගේ ණය ගෙවා අවසන් කර, අමතර ඉඳි සේරු විස්සක් ද දුන් විට ඔහු “උමර් තුමණි! මේ අමතර ප්‍රමාණය කුමක් සඳහා දැ?” යි විමසුවේය. “ඔබ ව කෝපයට පත් කිරීම සඳහා නබි (සල්) තුමාණන් මෙම අමතර ප්‍රමාණය දෙන ලෙස මට අණ කළහ.” යැයි උමර් (රළි) ඔහුට පිළිතුරු දුන්නේය. එවිට එම යුදෙව් ජාතිකයා, “උමර් තුමණි! මම කවුරුන්දැ යි ඔබ හඳුනනවාදැ?” යි විමසුවේය. “නැත. නුඹ කවරෙක් දැ?” යි උමර් (රළි) විමසුවේය. ඔවුට ඔහු “මමයි zසයිද් ඉබ්නු zසුඃනා” යනුවෙන් කීය. මේ බව zසයිද් ඉබ්නු zසුඃනා වාර්තා කළේය.
“හිබෘ දැ? ” යි උමර් (රළි) ඔහුගෙන් විමසු විට, ඔහු “ඔව් මම හිබෘ තමයි” යනුවෙන් පිළිතුරු දුන්නේය. “එසේ නම් නබි (සල්) තුමාණන් සමඟ නුඹ මෙලෙස හැසිරුණේ කුමක් නිසා දැ? ” යි උමර් (රළි) විමසුවේය. එයට ඔහු ‘උමර් තුමණි! නබි (සල්) තුමාණන් වෙත මා දැන් දුටු නබිත්වයේ සලකුණු දෙක හැර අන් කිසිදු සාක්ෂියක් මා මීට පෙර නුදුටුවෙමි. මේ අවස්ථාවේ එතුමාණන්ගේ ප්‍රඥාවට ඉහළින් එතුමාණන්ගේ නුගත්කම  ක්‍රියා කරයි ද? නැතහොත් එතුමාගේ නුගත්කමට ඉහළින් ප්‍රඥාව ක්‍රියා කරයි දැ? යි මම පරීක්ෂණයක් පැවැත්වුයෙමි.”
“එනිසා උමර් තුමණි! අල්ලාහ් ව පරමාධිපත්‍යයා ලෙසද, ඉස්ලාමය මගේ දහමක් ලෙසද, මුහම්මද් (සල්) තුමාණන් ව අල්ලාහ්ගේ රසූල් වරයා ලෙසද පිළිගනිමි. මේ බවට ඔබ ව මම සාක්ෂිකරුවෙක් ලෙස පත් කරමි. මගේ ධනයෙන් භාගයක් මුහම්මද් (සල්) තුමාණන්ගේ සමාජයට පරිත්‍යාග කරමි.” යැයි ප්‍රකාශ කළේය. එවිට උමර් (රළි) “ඔවුන්ගෙන් (මුස්ලිම්වරුන් අතර) ඇතැම් අයට යැයි පවසනු. ඔවුන් සියලු දෙනාට යනුවෙන් නොකියනු.” යැයි කීය. සෙයිද් ද එයට එකඟව “ඔවුන්ගෙන් ඇතැම් අයට” යැයි පැවසීය.
ඉන් අනතරු ව දෙදෙනාම රසූල් (සල්) තුමාණන් වෙත ආපසු හැරි ගිය විට “නැමදුමට සුදුසු අල්ලාහ් හැර අන් කිසිවෙක් නැත. මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ්ගේ රසූල්වරයා වේ” යැයි zසෙයිද් සාක්ෂි වදන ප්‍රකාශ කළේය. මූලාශ්‍රය අල් හාකිම්.
මෙම අවස්ථාව, මෙම සිද්ධිය සහ එහි අවසානය පිළිබඳ ව මොහොතක් කල්පනා කර බලමු. මෙම සිද්ධියෙන් අපට ද පාඩමක් ඉගෙන ගන්නට තිබේද? නබි (සල්) තුමාණන් අනුගමනය කිරීමට පාඩමක් තිබිය හැක. මිනිසුන් සමඟ කරුණාවන් හැසිරීමෙන්, ආදරයෙන් හා බුද්ධියෙන් කටයුතු කර ඉස්ලාමයේ උතුම් භාවය ඔවුන්ට පෙන්වා දීම එක් ක්‍රමයකි. තවද මිනිසුන් යහකමක් කළේ නම්, එය ඔවුන් විසින් ම සිය කැමැත්තෙන් තෝරා ගෙන පියවර ගන්නට තුඩු දීම මෙමගින් සිදු කළ හැක.
ආයිෂා (රළි) තුමිය මෙලෙස දන්වයි. “ නබි (සල්) තුමාණන් සමඟ මදීනා නුවරෙන් බැහැර ගොස් මම උම්රා ඉටු කළෙමි. පසුව “නබි (සල්) තුමාණනි! මාගේ දෙමාපියන් ඔබ තුමාට කැප කරමි. මගේ නැමදුම කෙටියෙන් ඉටු කළෙමි. එමෙන්ම මගේ නැමදුම දිගුවටද ඉටු කළෙමි. උපවාසයේ යෙදුනෙමි. ඇතැම් දින වල උපවාසයේ නොයෙදුනෙමි.” යනු පැවසුවෙමි. එවිට නබි (සල්) තුමාණන්. “යා ආයිෂා! ඔබ  සිදු කළ සියල්ල යහපත් ය.” යනුවෙන් කීහ. කිසිවකට වැරදි කීවේ නැත.” මූලාශ්‍රය අන් නසාඉ.
නබි (සල්) තුමාණන්ගේ ආහාර    
සමාජයේ ධනවතුන්, නිලධාරීන් සහ අනිකුත් බලය හිමි අයගේ නිවෙස්හි උදය හා සවස - ඕනෑම වේලාවක මිල අධික, ආහාර පරිහරණය කරන බව අපි දනිමු. නබි (සල්) තුමාණන්ගේ පාලනය යටතේ රටවල් කිහිපයක සිට, වහල් සේවකයින් බොහෝ දෙනෙක් මදීනා නුවරට ධාන්‍ය, රන් රිදි සහ නොයෙක් සම්පත් ඔටුවන් මත පටවා ගෙන පැමිණෙති. එහෙත් එම රාජ්‍යයේ පාලකයාගේ ආහාර කෙසේ තිබෙනවා දැ යි බලන්න. එතුමා රාජ්‍ය නායකයෙතු ලෙස වාසය කළා ද? එයට වඩා උසස් අන්දමින් ජීවිතයක් ගෙවුවා ද? එසේත් නොවේ නම් රටේ ධනවතුන්ගේ ජීවිතය එතුමාණන් අනුගමනය කළාද? මවිතයට පත් නොවනු. නබි (සල්) තුමාණන්ගේ දෛනික ආහාර දෙස නෙත් යොමු කරන්න.
අනස් (රළි) මෙලෙස වාර්තා කරයි. කවරෙකු හෝ ආහාර සඳහා ආරාධනා කර කෑමට දුන් අවස්ථාවන් හැර තම නිවසේ රොටි හා මාංශ එතුමාණන් ආහාරයට ගත් අවස්ථාවක් නැත. මූලාශ්‍රය තිර්මිදි.
ආයිෂා (රළි) තුමිය වාර්තා කළේ මෙසේය. “අන් අයගෙන් ආරාධනාවක් ලැබ ආහාර ගත් අවස්ථාවන් හැර නබි (සල්) තුමාණන් තම නිවසේ රොටි හා මස් කෑමට ගන්නට අවස්ථාවක් ලැබුණේ නැත.” මූලාශ්‍රය මුස්ලිම්.
ආයිෂා (රළි) තුමිය මෙසේ දන්වයි. “නබි (සල්) තුමාණන් අභාවයට පත් වන තුරු, මුහම්මද් (සල්) තුමාණන්ගේ පවුලේ අය එක දිගට දින දෙකක් කුස පිරෙන්නට තිරිඟු පිටියෙන් සකස් කළ රොටි ආහාරයට ගෙන නැත.” මූලාශ්‍රය මුස්ලිම්.
තවත් වාර්තාවක එතුමිය මෙලෙස දන්වා ඇත. “මුහම්මද් (සල්) තුමාණන් අභාවයට පත් වන තුරු, මදීනා නුවරට පැමිණි දින පටන් එතුමාගේ පවුලේ සාමාජිකයන් දින තුනක් එක දිගට තිරිඟු පිටියෙන් සකස් කළ රොටි කුස පිරෙන්න ආහාරයට ගෙන නැත.” මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.
ඇතැම් දිනයන් හි නබි (සල්) තුමාණන් ආහාරයට කිසිවක් නොමැති ව සිටියහ. කිසිදු ආහාරයක් නොමැති ව නිදා ගත් රාත්‍රි බොහෝය. “නබි (සල්) තුමාණන් සහ එතුමාගේ පවුලේ සාමාජිකයන් බොහෝ දිනයන්හි ආහාර කිසිවක් නොමැති නිසා කුසගින්නේ බොහෝ රාත්‍රීන් හි නිදා ගත්හ. කෙසේ වෙතත් එම නිවසේ රොටි පිළියෙළ කරන්නේ නිවුඩු සහිත, පිරිසිදු නොකළ තිරිඟු පිටියෙන්ය.” යනුවෙන් ඉබ්නු අබ්බාස් (රළි) වාර්තා කළේය. මූලාශ්‍රය තිර්මිදි.
මෙලෙස සිදු වුයේ සමාජයේ ආහාර හිඟයක් නිසා නොවේ. නබි (සල්) තුමාණන්ගේ පාලනය යටතේ ආහාර භාණ්ඩ නගරයට නොකඩවා පැමිණෙයි. එහෙත් නබිවරයා ජීවත් වුයේ අල්ලාහ් විසින් තෝරා දුන් ජිවන ක්‍රමයට එකගවය.
උක්බා ඉබ්නු අල් හාරිත් (රළි) මෙසේ වාර්තා කරයි. “දිනක් නබි (සල්) තුමාණන් අසර් නැමදුම අපට ලහිලහියේ මෙහෙයුම් කර, තම නිවසට වේගයෙන් ගොස්, පසුව නිවසේ නොරැඳී ඉක්මනට බැහැර ව ගියහ. මේ පිළිබඳ ව එතුමණන්ගෙන් පසු ව අවස්ථාවක මම විමසුවෙමි. එයට එතුමාණන්, ‘zසකාත් වශයෙන් ගෙනෙන ලද රත්‍රන් මගේ නිවසේ තිබුණි. ඒවා මගේ නිවසේ ඉතිරි වී තිබීම ගැන මම අකැමතියි. එනිසා ඒවා සුදුසු අය අතර බෙදා දුන්නෙමි.’ යනුවෙන් පැවසුහ.” මූලාශ්‍රය මුස්ලිම්.
මෙය කෙතරම් මවිත කර වන කතාවත් ද! අනස් (රළි) මෙලෙස වාර්තා කරයි. “ඉස්ලාමයට පිවිසුනු ජනතාව කුමක් හෝ ඉල්ලා පැමිණියහොත් නබි (සල්) තුමාණන් එම ඉල්ලීම ඉටු කළහ. මිනිසෙක් මෙලෙස ඉල්ලු විට කඳු දෙකක් මැද සිටි බැටළුවන් ටික ඔහුට දුන්හ. එම මිනිසා තම ජනයා වෙතට ගොස් ‘ජනයිනි! නුඹලා ඉස්ලාමයට පිවිසෙන්න. සැබැවින්ම මුහම්මද් (සල්) තුමාණන් දරිද්‍රතාවට බිය නොවන කෙනෙක්. එතුමාණන් දානමාන්‍ය ලබා දෙයි.’ යනුවෙන් ප්‍රකාශ කළේය.” මූලාශ්‍රය මුස්ලිම්.
මෙලෙස දන් දෙන නබි (සල්) තුමාණන්ගේ සැබෑ තත්ත්වය ගැන කල්පනා කරන්න.
අනස් (රළි) තව දුරටත් මෙලෙස පවසා ඇත. “නබි (සල්) තුමාණන් ජීවත්ව සිටී කාලය තුළ ආහාර මේසයක වාඩි වී ආහාර පානය අනුභව කළේ නැත. මෘදු ව සාදන ලද රොටි ආහාරයට ගත්තේ නැත.” මූලාශ්‍රය බුහාරි.
ආයිෂා (රළි) තුමිය මෙලෙස වාර්තා කළාය. “නබි (සල්) තුමාණන් ‘ආහාරයට යමක් තිබෙනවා දැයි’ මා වෙත පැමිණ විමසයි. ‘කිසිවක් නැක‘ යැයි මම පැවසුහොත්, ‘එසේ නම් මම අද උපවාසයේ යෙදෙන්නෙමි‘ යැයි පවසයි.” මූලාශ්‍රය මුස්ලිම්.
නබි (සල්) තුමාණන් සහ එතුමාණන්ගේ පවුලේ සාමාජික පිරිස මාසයක් හෝ දෙකක් පවා කළු පැහැති ආහාර ලෙස හැඳින්වන වියළන ලද ඉඳි ගෙඩි දෙකක් සහ ජලයෙන් පමණක් කුස පුරවා ගෙන ජීවත් වුහ. මූලාශ්‍රය මුස්ලිම්.
මෙවැනි අඩු ආහාරයෙන් ජීවිත ගෙවු නමුත් එතුමාණන්ගේ ගුණය ඉතා උතුම් තත්ත්වයේ පැවතුණි. අල්ලාහ්ගේ සියලු ආශීර්වාද සඳහා කෘතඥතා ව පවසන ඉස්ලාමීය ගති පැවතුම් එතුමාණන් වෙත තිබුණි. ආහාර පිළියෙල කළ තැනැත්තාගේ වැරදි හෝ අඩුපාඩු කිසිවක් ගැන කිසිවිටෙක කතා නොකළහ. ඒ වෙනුවට ඔවුන්ට ස්තූතිය පුද කළහ. තමන්ට සපයන ලද කිසිදු ආහාරයක් ඉවත නොදැමුහ. නැති ආහාර ඉල්ලා අන් අය  අසරණ තත්ත්වයට පත් නොකළහ. තමාගේ ප්‍රධාන අවශ්‍යතාව ආහාර බව හෝ කුස පුරවා ගැනීම හෝ යනුවෙන් කිසිවටෙක නොපැවසුහ.
අබු හුරෙයිරා (රළි) මෙලෙස වාර්තා කළේය. “නබි (සල්) තුමාණන් කිසිදු ආහාරයක් ගැන විවේචනය නොකළහ. කැමති නම් එම ආහාරය අනුභව කළහ. අකැමැති නම් අත හැර දැමුහ.” මූලාශ්‍ර බුහාරි සහ මුස්ලිම්.
මත්පැන් සහ ආහාර පිළිබඳ ව විශේෂ ඇල්මක් දක්වන අපගේ සහෝදරයන් සඳහා ඉබ්නු තෛමියා (රහි) පැවසු වදන් ගැන සුළු වශයෙන් මෙහි සඳහන් කරමි.
ආහාර පාන සහ ඇඳුම්
අපට මේවා පිළිබඳ අගනා ආදර්ශය නබි (සල්) තුමාණන් ගෙන්ය. “තමා කැමති ආහාර අනුභව කළහ. කිසිවිටෙක එය ප්‍රතික්ෂේප නොකළහ. නැති ආහාර ඉල්ලා බල නොකළහ. රොටි හෝ මාංශ ලැබුණහොත් අනුභව කළහ. පලතුරු, රොටි හා මාංශ ලැබුණහොත් ඒවාද අනුභව කළහ. ඉඳි පමණක් හෝ රොටි පමණක් හෝ ලැබුණේ නම් අනුභව කළහ. ඇතැම් විට ඒවා දෙකම ලැබුණේ නම් ඒවා දෙකම අනුභව කළහ. කිසිදු ආහාරයක් ප්‍රතික්ෂේප නොකළහ. රසවත් ආහාර ලැබුණේ නම් එය ද ප්‍රතික්ෂේප නොකළහ. එතුමාණන් දිනක් මෙසේ වදාළහ.‘මම උපවාසයේ යෙදෙමි, ආහාර ගනිමි. නැමදුම් කරමි, නිදා ගනිමි. කාන්තාවන් හා විවාහ වෙමි. මාංශ ආහාරයට ගනිමි. එහෙයින් කවරෙකු හෝ මාගේ මාර්ගය අතහරින්නේද ඔහු මට අයත් කෙනෙකු නොවන්නේය.” යනුවෙන් පැවසුහ.
පිරිසිදු දේ ආහාරයට ගෙන ඔහුට කෘතඥතාව පවසන ලෙස අල්ලාහ් අපහට අණ කරයි. එනිසා අනුමත කළ ආහාරය කවරෙකු තහනම් කර ගත්තේ ද, ඔහු සීමාව ඉක්මවා ගියේය. කවරෙක් අල්ලාහ් ප්‍රශංසා නොකළේද, ඔහු අල්ලාහ්ගේ හිමිකම අවම කර ගත්තේය. සියලු මාර්ග අතරින් නබි (සල්) තුමාණන් පෙන් වූ මාර්ගය උතුම් හා සාධාරණ එකකි. එවැනි මාර්ගයෙන් බැහැර වීම නිසා තවත් මාර්ග දෙකක් විවෘත වෙයි. ජනතාව යුතුකම ඉටු නොකර, විනාශ කර, සිය ඉච්චාවන්ට ගොදුරුවීම එක් මාර්ගයකි. අනෙක් මාර්ගයෙන් පිරිසිදු ආහාර තමන්ට හරාම් හෙවත් තහනම් බවට පත් කර ගෙන අල්ලාහ් අනුමත නොකළ පූජාවන් ආරම්භ කිරීමය. ඉස්ලාම් හි නිරර්ථ පූජාවන් සහ වතාවත් කිසිවකට ඉඩ නැත.
ඉබ්නු තයිමියා (රහි) මෙලෙස තවදුරටත් පවසයි. “හලාල් බවට පත් වු සෑම දෙයක්ම යහපත්ය. සෑම යහපත් දෙයක්ම හලාල් ය. අල්ලාහ් සෑම හොඳ දෙයක් ම අපට හලාල් බවට පත් කර ඇත. සෑම නරක දෙයක් ම හරාම් බවට පත් කර ඇත. යහ මාර්ගය ඉතාමත් රසවත් හා ඵලදායි ව තිබිය යුතුය. අපහට හානි සිදු කරන සෑම දෙයක්ම අල්ලාහ් හරාම් බවට පත් කර ඇත. අපට ඵලදායි සෑම දැයක්ම අනුමත කරන ලද බවට පත් කර ඇත.”
එතුමා තවත් දුරට මෙලෙස පවසයි. “මිනිසුන් අතර ආහාර, ඇඳුම්, කුසගින්න සහ මහලු බවට පත් වීම යන කරුණු වල වෙනස්කම් ඇත. එපමණක් නොව එක් මිනිසෙක් තුළම අවස්ථානුකූල ව වෙනස්කම් සිදු වේ. එහෙත් ක්‍රියාවන්හී උසස් ක්‍රියාව අල්ලාහ් වෙනුවෙන් ඉටු කරන, සහ ඉටු කරන්නාට යහ ඵලදායි ගෙන දෙන ක්‍රියාවන් ය.” අල් පත්වා 22-310.
අන් අයගේ ආත්ම ගෞරව ට හානි සිදු නොකිරීම
සෑම සභාවෙන්ම උතුම් සභාව දැනුම වර්ධනය කිරීම සඳහා සහ අල්ලාහ් ගැන දික්ර් නම් මෙනෙහි කිරීම සඳහා රැස් වෙන සභාවයි. ආදම්ගේ පරම්පරාවෙන් පැමිණි උතුම් නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ හදීස් වදන්  පෙන්වන යහ මාර්ගය ඉගෙන ගනු පිණිස රැස් වන සභාව තිබුණේ කෙසේද? වැරදි කරන්නන් තම ක්‍රියාවෙන් ඉවත් වීම, නුගත් ජනතාවට ඉගැන්වීම, නොසැලකිලිමත් අයට පහදා දීම වැනි ක්‍රියාවන් මෙම මජ්ලීසය හෙවත් සභාවෙන් සිදුවිය. යහ දේ හැර අන් කිසිවක් මජ්ලීසයේ භාර ගනු නොලැබීය. අන් අය පවසන දේ ට රසූල් (සල්) තුමාණන් සවන් දුන් නමුත්, කේලාම් කීම කිසි විටෙක අනුමත කළේ නැත. කේලාම් කීම, බොරු අපවාදය වැනි කිසිවක් එතුමාණන් අනුමත නොකළහ. මේ මගින් අන් අයගේ ආත්ම ගෞරවයට හානි සිදු කරන දැයින් ආරක්ෂා කළහ.
උත්බාන් ඉබ්නු මාලික් (රළි) මෙලෙස වාර්තා කරයි. “දිනක් සමූහ නැමදුම සඳහා නැගිට සිට ගත් නබි (සල්) තුමාණන් ‘මාලික් ඉබ්නු අද් දහ්ෂම් (රළි) කොහේ දැ යි?’ විමසුහ. එවිට කෙනෙක්, ‘ඔහු වංචනික කෙනෙක්. අල්ලාහ් සහ ඔහුගේ නබි තුමාණන්ට අකැමැති කෙනෙක්‘ යනුවෙන් පැවසුවේය. එව්ට නබි (සල්) තුමාණන් ‘එසේ නොපවසනු. අල්ලාහ්ගේ මුහුණට ආදරය කර, ලා ඉලාහ ඉල්ලල්ලාහ් යනුවෙන් ඔහු පැවසු බව ඔබ නුදුටුවෙහිද? සැබැවින්ම, ලාඉලාහ ඉල්ලල්ලාහ් යනුවෙන් කවරෙකු හෝ ප්‍රකාශ කර එමගින් අල්ලාහ්ගේ මුහුණ ප්‍රිය කරන්නේද, ඔහුට අපාය ගින්න අල්ලාහ් තහනම් කළේය.‘ යනුවෙන් රසූල් (සල්) තුමාණන් වදාළහ.” මූලාශ්‍ර බුහාරි හා මුස්ලිම්.
බොරු සාක්ෂි පැවසීම සහ නෑකම බිඳ දැමීම වැනි ක්‍රියාවන් පිළිබඳ ව රසූල් (සල්) තුමාණන් අවවාද කළහ.
අබු බකර් (රළි) මෙලෙස වාර්තා කළේය. “පාපයන් අතර මහා පාපයන් කුමක්දැ යි ඔබ සැමට මම දන්වන්න දැ?” යි නබි (සල්) තුමාණන් විමසුහ. අපි ද  “ඔව්”  යැයි පිළිතුරු දුනිමු. “අල්ලාහ්ට සමානයක් තැබීම සහ දෙමාපියන්ට හිරිහැර කිරීම.” යැයි පවසා ඇල වී සිටියහ.  පසුව එතුමාණන්, නැගිට වාඩි වී “තවද බොරු සාක්ෂි පැවසීම යැයි දැන ගනු” යැයි  නැවත නැවත පැවසුහ. එවිට අපි, ‘ඔබ තුමාණන් සහනයට පත් නොවන්නේද?’ යනුවෙන් පවසන තුරු එලෙස පවසමින් සිටියහ.
නබි (සල්) තුමාණන් තම බිරියන් අතර ඉතාමත් ආදරය දැක් වු ආයිෂා (රළි) තුමියට පවා, කේලාම් කීම තහනම් කර, එහි භයානක ප්‍රතිවිපාකය ගැන පහදා දුන්හ.
ආයිෂා (රළි) මෙසේ වාර්තා කළාය. “සෆිය්යා (රළි) තුමිය ගැන නොයෙක් කේලාම් පවසා අවසානයේ එතුමිය මිටි කාන්තාවක් යැයි පැවසුවෙමි. එවිට එතුමාණන්, ඔබ පැවසු වදන් මුහුදු ජලයේ මිශ්‍ර කළේ නම්, මුළු මුහුදු ජලයම අපවිත්‍ර බවට පත් වනු ඇත.” යැයි පැවසුහ. මූලාශ්‍රය අබු දාවුද්.
තම සහෝදරයෙකුගේ ආත්ම ගෞරවයට හානි සිදු කිරීමෙන් වැළකී සිටින අයට නබි (සල්) තුමාණන් සුබ ආරංචි දැන්වුහ. කවරෙකු තම සහෝදරයාගේ ආත්ම ගෞරවයට හානි සිදු නොකර බැහැර වන්නේද, ඔහු අපාය ගින්නෙන් බැහැර කරනු ලබන බව සුබ නිවේදනය නිකුත් කිරීම අල්ලාහ්ගේ යුතුකම වේ.” මූලාශ්‍රය අහ්මද්.
අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි  කිරීම
පෙර කළ පාපයන් සහ පසු කළ පාපයන් සියල්ල සඳහා නබි (සල්) තුමාණන් සමාව දෙනු ලැබ සිටිය ද නැමදුම සහ සිත අල්ලාහ් සමඟ සම්බන්ධ වීම අධික ලෙස ඉටු කළහ. අල්ලාහ්ගේ නාමයන් දික්ර් නොකර, අල්ලාහ්ට  ප්‍රශංසා නොකර, ඔහුට කෘතඥතාව ප්‍රකාශ නොකර, පාපෝච්චාරණය නොකර, අල්ලාහ්ගෙන් සමාව නොඅයැද එතුමාණන් දවස ගත කළේ නැත. කෘතඥතාව ප්‍රකාශ කරන වහලෙකු ලෙස, නබිවරයෙකු ලෙස සහ අල්ලාහ්ගේ අභිමානවත් දූතයෙකු ලෙස එතුමාණන් ජීවත් වුහ. අල්ලාහ්ගේ සැබෑ තත්ත්වය හඳුනා ගත් දාසයෙකු ලෙස අල්ලාහ්ට ප්‍රශංසා කළහ. අල්ලාහ් ව අමතා ඔහු වෙත යටත් පහත් වුහ. එවැනි කාලයේ වටිනාකම හඳුනා ගෙන එයින් ඵල ලැබු අතර නැමදුම් ක්‍රියාවන්ගෙන් සමන්විත කෙනෙකු බව සිටියහ.
ආයිෂා (රලි) මෙලෙස වාර්තා කරයි. “සෑම අවස්ථාවකම එතුමාණන් අල්ලාහ් ව මෙනෙහි කරමින් සිටියහ.” මූලාශ්‍රය මුස්ලිම්.
නබි (සල්) තුමා හිඳ ගත් එක් අවස්ථාවක  “රබ්බිග්ඃ ෆිර්ලි වතුබ් අලෙයික ඉන්නක අන්තත් තව්වාබුර් රහීම්.” යනුවෙන් සිය වතාවක් පවසනු අප ගණන් කළෙමු. යැයි අබ්බාස් (රළි) වාර්තා කළේය. මූලාශ්‍රය අබු දාවුද්.
“අල්ලාහ් මත දිවුරා පවසමි. දිනකට හැත්තෑ වරකට අධිකව පාපෝච්චරණය කර තෞබා පවසමි.” යැයි නබි (සල්) තුමාණන් පැවසු බව අබු හුරෙයිරා (රළි) වාර්තා කරයි. මූලාශ්‍රය බුහාරි.
මුඃමින්වරුන්ගේ මෑණියන් වන උම්මු සලාමා (රළි) තුමියගේ නිවසේ රැඳී සිටින විට, “අල්ලාහුම්ම යා මුකල්ලිබල් කුලූබ්, සබ්බිත් කල්බි අලා දිනික“ යන ප්‍රාර්ථනාව (හදවත් වෙනස් කරන දෙවියණි! මගේ හදවත ඔබගේ දහමේ ස්ථාවර ලෙස තබණු මැනව) අධික ලෙස පැවසු බව එතුමිය පැවසුවාය. මූලාශ්‍රය තිරිමිදි.
අසල් වැසියන්
නබි (සල්) තුමාණන්ගේ අසල් වැසියන් එතුමාණන්හට ගෞරවය දැක්වුහ. එතුමාණන්ද එලෙසම ඔවුන ට සැලකුහ. “මගේ උරුමක්කාරයන් බවට අසල් වැසියන් පත් විය හැකි යැයි මා සිතන තරමට ජිබ්රීල් (අලෛ) ඔවුන් පිළිබඳ ව මට උපදෙස් දුන්නේය.” යනු නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.
අබු දර් (රළි) තුමාට උපදෙස් කළ නබි (සල්) තුමාණන්, “අබුදර්! ඔබ ව්‍යංජනයක් පිසින්නේ නම්, එයට අමතර ජලය ස්වල්පයක් එකතු කර, එය අසල් වැසියන්ටද බෙදා දෙන්න.” යනුවෙන් වදාළහ. මූලාශ්‍රය මුස්ලිම්.
අසල වැසියන්ට හිංසා කිරීම පිළබඳ ව නබි (සල්) තුමාණන් අවවාද කළේ මෙසේය. “කවරෙකුගේ අසල් වැසියන් ඔහුගේ හිංසනය ගැන බියෙන් තොරව නොසිටින්නේද, ඔහු ස්වර්ගයට ඇතුළු නොවන්නේය.” මූලාශ්‍රය මුස්ලම්.
“කවරෙක් අල්ලාහ් සහ අවසාන දිනය කෙරෙහි විශ්වාසය තබන්නේද, ඔහු අසල් වැසියන්ට යහපතක් සිදු කරත්වා!” යනුවෙන් නබි (සල්) තුමාණන් අසල්වැසි ජනතාව ගැන සුබ ආරාංචි වදාළහ. මූලාශ්‍රය මුස්ලිම්.
කරුණාවන්ත සැලකිලි දැක්වීම
කෙනෙකුගේ වැරදි ක්‍රියාවන් පිළිබඳ ව නබි (සල්) තුමාණන්ට දැන ගන්නට ලැබුණහොත්, “ඔහුට කුමක් සිදු වුණා දැ යි” නොවිමසා “එම ජනතාවට කුමක් සිදු වුණා ද? ඔවුන් මෙලෙස ක්‍රියා කරන්නේ කුමක් නිසාද?” යනුවෙන් පවසන බව ආයිෂා (රළි) තුමිය වාර්තා කළාය. මූලාශ්‍රය  තිරිමිදි.
යම් කෙනෙකු වෙත අප්‍රසන්න දැයක් දුටුවේ නම්, ඒ බව නබි (සල්) තුමාණන් ඔහුට සෘජු ව පැවසීම ඉතාමත් ස්වල්ප වශයෙනි. මිනිසෙක් නබි (සල්) තුමාණන් බැහැ දැකීමට පැමිණියේය. ඔහු මත කහ වර්ණය තැවරී තිබුණි. ඒ මිනිසා බැහැර ව ගිය මොහෙතේ, “එම කහ වර්ණය ඉවත් කරන ලෙස කවරෙකු හෝ ඔහුට කීවේ නම්!” (ඔහු එය ඉවත් කර ගනී) යනුවෙන් පැවසුහ. මූලාශ්‍රය අබු දාවුද් සහ අහ්මද්.
ඉබ්නු මස්ඌද් (රළි) මෙලෙස වාර්තා කළහ. “අපාය තහනම් කරනු ලබන්නේ කාහට දැ යි මම දන්වන්නද?” යැයි විමසු නබි (සල්) තුමාණන්, “සියුම්, සුවිනීත, ළාමක, සමීප ව ක්‍රියා කරන කෙනෙකුට (අපාය) තහනම් කරනු ලබන්නේය.” යනුවෙන් පැවසුහ. මූලාශ්‍රය තිර්මිදි)
අයිතිවාසිකම් ඉටු කිරීම
මිනිසාට තිබෙන හිමිකම් බොහෝමයකි. ඒවා අතර, අල්ලාහ්ට තිබෙන හිමිකම්, පවුල කෙරෙහි හිමිකම්, තමාටම අයත් හිමිකම්, අනිකුත් බැතිමතුන්ට තිබෙන හිමිකම් යනුවෙන් බොහෝමයක් ඇත. නබි (සල්) තුමාණන් තම කාලය බෙදා වෙන් කර, එයින් ඵල ලැබුවේ කෙසේදැ යි කෙටියෙන් බලමු.
තිදෙනෙකුගෙන් සමන්විත පිරිසක් නබි (සල්) තුමාණන්ගේ බිරියන් ගේ නිවසට පැමිණ, එතුමාණන්ගේ නැමදුම් සහ වතාවත් පිළිබඳ ව  විමසුවෝය. ඔවුන්ට ඒවා සම්බන්ධ ව පිළිතුරු දෙන ලැබු පසු, එතුමාණන් වතාවත් අඩුවෙන් සිදු කරන බව ඔවුන් සිතුවෝය. එහෙත් පෙර කළ පාපයන් සහ පසු කරන පාපයන් සඳහා අල්ලාහ්ගෙන් එතුමාණන් සමාව ලැබු කෙනෙකි. එතුමාණන් සමඟ අප ව සමාන කළ නොහැක යැයි පවසා සෑහීමට පත් වුහ. ඔවුන්ගෙන් එක් අයෙක්, “මම රාත්‍රි නැමදුමෙහි නොකඩවා යෙදෙන්නෙම්.” යැයි ප්‍රකාශ කළේය. ඔවුන්ගෙන් තවත් අයෙක් “මම ජීවිත කාලය මුළුල්ලේම නොකඩවා උපවායේ යෙදෙන්නෙමි.”  යැයි ප්‍රකාශ කළේය. තුන්වැනි මිනිසා “මම කාන්තාවන් ආශ්‍රය කිරීමෙන් වැළකී සිටින්නෙමි. කිසිදිනක මම විවාහ නොවෙමි.”  යැයි ප්‍රකාශ කළේය. මේ බව ආරංචිය ලැබු නබි (සල්) තුමාණන් “මෙලෙස තීරණය කළේ නුඹලා නේද? දැන ගනු! අල්ලාහ් මත දිවරා පවසමි. නුඹලාට වඩා අල්ලාහ් ගැන මම අධික ව බිය වෙමි. අල්ලාහ් කෙරෙහි අධික බිය බැතිමත්කමින් යුතුව කටයුතු කරමි. මම උපවාසයේ යෙදෙමි. එය අත හරිමි. මම නැමදුම් කරමි. නිදා ගනිමි. මම විවාහ වී සිටිමි. මාගේ මාර්ගයෙන් බැහැර වන කෙනෙක් මගේ කෙනෙක් නොවන්නේය.”  යැයි පැවසු බව අනස් (රළි) වාර්තා කරයි. මූලාශ්‍රය බුහාරි  සහ මුස්ලිම්.
නබි (සල්) තුමාණන්ගේ ඉවසිම සහ වීරත්වය
ඉස්ලාම් දහමට සහය වීම සහ අල්ලාහ්ගේ වදන මුදුන් පත් කරන සියලු කටයුතු වල නබි (සල්) තුමාණන් ඉතාමත් නිර්භීත ව සහභාගි වුහ. අල්ලාහ්ගෙන් දෙන ලැබු සියලු භාග්‍යයන්, සුදුසු අයුරින් උපයෝගි කළහ. අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළ අවස්ථාවන්හි හැර අන් කිසිම අවස්ථාවක එතුමාණන් කිසිවෙකුට පහර දී නැත. එතුමාණන් තම කිසිදු බිරියන්ට පහර දී නැත. තම කිසිදු සේවකයෙකුට පහර දී නැත. මූලාශ්‍රය මුස්ලිම්.
කුරෙයිෂි කාෆිර්වරුන්ට එරෙහි යුද්ධයන්හි තනිවම සිට ගෙන සටන් කළ අවස්ථාවන් එතුමාගේ වීරත්වයට සාක්ෂි දරයි. අල්ලාහ් විසින් දෙන ලැබු උදව් මත ඉස්ලාම්හි ස්ථීර ව රැඳී සිටි අතර, ‘මා සමඟ කිසිවෙක් නොමැත, මගේ සමාජය පවා මට එරෙහි වුණා නේ දැ’  යි කිසිවිටක විලාප දුන්නේ නැත. ඒ වෙනුවට අල්ලාහ් මත සියලු දේ භාර කර, ඔහු වෙත ම රැඳී සිටියහ. ජනතාව ඉදිරියේ සත්‍යය පමණක් ප්‍රකාශ කළහ. ජනයා අතර මහත් වීරයෙකු ලෙසත් ස්ථීර විශ්වාසය සහිත කෙනෙක් ලෙසත් නැගී සිටියහ. කිසිදු මොහොතක සටන් බිමෙන් පසුබට නොවුහ. ඇතැම් සෙබළුන් බියට පත් වී, සටන් බිමෙන් පලා ගිය අවස්ථාවේ දී පවා නබි (සල්) තුමාණන් අල්ලාහ්ගේ මාර්ගයේ ස්ථීර ව රැඳී සිටියහ.
නබි (සල්) තුමාණන් මක්කාවේ, හීරා ගල් ලෙන තුළ වසර කිහිපයක් හුදකලාවේ රැඳී සිට නැමදුම් කළහ. එම අවස්ථාවන් හි කුරෙයිෂිවරු එතුමාට කිසිදු අතවරයක් කළේ නැත. කිසිවෙක් සටන් කිරීමට පැමිණියේ නැත. කිසිදු කාෆිර්වරයෙක් එතුමාට හානියක් සිදු කිරීමට ඉදිරිපත් වුයේ නැත. එහෙත් නබි (සල්) තුමාණන් ඒක දේවත්වය ප්‍රකාශ කොට, නැමදුමට සුදුසු අල්ලාහ් පමණක් වේ යැයි ඇරයුම ඉදිරි පත්  කළ විට දෙවියන්ට සමාන තබන ජනතාව “දෙවි වරුන් ව එකම දෙවියෙකු ලෙස ඔහු පත් කළා දැයි” කුර්ආන් 38:5 විමතියෙන් ප්‍රශ්න කළෝය.
මෙයට හේතුව, ඔවුන් අල්ලාහ් සහ තමන් අතර තැරව් කරුවන් වශයෙන් දේව පිළිමයන් දැනටමත් පත් කර අවසානය. “ඔවුන් අපට අල්ලාහ් වෙත ඉතා සමීපයට ළඟා කිරීම පිණිස මිස අපි ඔවුන්ට නොනමදින්නෙමු.” යැයි පැවසුහ. කුර්ආන39:5
කෙසේ වෙතත්  ඔවුන් තව්හීද් අර් රුබූබියියා නම් සියල්ල මවා පාලනය කරන්නේ එකම අල්ලාහ් යන සංකල්පය ඒ වෙන විටත් පිළි ගෙන අවසානය.
“(නබිවරය!) අහිස්හි ද මිහිතලයේ හි ද නුඹලාට ජීවන සම්පත් දෙන්නේ කවුරුන් දැ? යි විමසා, අල්ලාහ් යැයි ද පවසනු. සැබැවින්ම අප ද නැතහොත් නුඹලා ද යහමඟෙහි පැහැදිලි මුළාවෙහි සිටින්නේ.” යැයි ද පවසව්.” කුර්ආන් 34:24
මාගේ ඉස්ලාමීය සොයුරනි! මළවුන්ට ඇමතීමෙන්, ඔවුන්ගේ මාර්ගයෙන් අල්ලාහ්ට සමීප වීමට අපේක්ෂා කිරිම, ඔවුන් කෙරෙහි බිය බැතිමත්කම දැක්වීම, ඔවුන්ගේ සෙනෙහස පැතීම, ඔවුන් වෙත භාර වීම වැනි ෂිර්ක් හෙවත් ආදේශ කිරීම වැනි අයහපත් ක්‍රියාවන් රාශියක් ඉස්ලාමීය රටවල ජීවත් වන මුස්ලිම් ජනතාව අතර පැතිර පවතින පාපයන් පිළිබඳ ව සුළු මොහොතක් කල්පනා කර බලන්න. ඔවුන් මෙලෙස ආදේශ තැබීමෙන් සහ ජීවමාන අල්ලාහ්ගේ ස්ථානයේ මරණයට ලක් වූවන් උසස් කොට පත් කිරීමෙන් අල්ලාහ් සමඟ ඔවුන්ට තිබු ස්ථානය විසන්ධි වී අවසානය. “සැබැවින්ම කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ.” සූරා 5:72. යනුවෙන් අල්ලාහ් අවවාද කරයි.
නබි (සල්) තුමාණන්ගේ නිවසෙන් උතුරු දෙසට තිබෙන උහුද් කන්ද දෙස අඩි කිහිපයක් පා තබමු. ඉස්ලාමීය ඉතිහාසයේ වැදගත් සටනක් සිදු වුයේ එහිදී ය. එම සටනේ රසූල් (සල්) තුමාණන්ගේ දත් කැඩී, හිසට පහරක් දෙනු ලැබ  මුහුණෙන් ලේ ගැලීම සිදු වුයේ එහිදීය. එහෙත් එවැනි අවස්ථාවේ පවා එතුමාණන් ඉවසීමෙන් කටයුතු කළා පමණක් නොව එතුමාණන්  වීරයෙක් ලෙස, ස්ථීර ව සිටි ආකාරය සටන් බිමේ සිටි සියලු දෙනාටම දැක ගත හැකි විය. එම මොහොතේ පවා එතුමාණන් පසුබට වුයේ නැත.
නබි (සල්)ට සිදු වූ තුවාල පිළිබඳව සහල් ඉබ්නු සඅද් (රළි) මෙලෙස වාර්තා කරයි. නබි (සල්) තුමාණන්ගේ තුවාල ට ජලය වත්කර, එය සෝදා පිරිසිදු කළේ කවුරුන්දැ යි මම දන්නා බව අල්ලාහ් මත දිවුරා පවසමි. එම තුවාල සේදුවේ ෆාතිමා (රළි) තුමියයි. ඒ සඳහා තම පලිහයේ අවශ්‍ය ජලය පුරවා රැගෙනවිත් ජලය වත්කර සහය වුයේ අලි බින් අබි තාලිබ් (රළි) තුමාය. එහෙත් රුධිරය වැඩියෙන් ගලන බව දුටු ෆාතිමා (රළි) තුමාය. පැදුරු කෑල්ලක් පුලුස්සා, එහි අළු තුවාල මත දමා තදින් අල්ලා ගත් විට රුධිරය ගැල්ම නැවතුණි. නබි (සල්) තුමාණන් ඉදිරි පස දත් සිඳුණි. එතුමාණන්ගේ හිස් වැස්මට හිස මත තිබිය දී පහර දෙනු ලැබුණි. මූලාශ්‍රය මුස්ලිම්.
හුනෙයින් යුද්ධයේ දී නබි (සල්) තුමාණන්ට සිදු වූ දේ පිළිබඳ ව අල් අබ්බාස් (රළි) මෙසේ වාර්තා කරයි. “හුනෙයින් යුද්ධයේ මුස්ලිම් සේනාව පසුබට වී දුවන අවස්ථා වේ පවා රසූල් (සල්) තුමාණන් සතුරන් දෙසට තම ඔටුවා ඉදිරියටම දක්වමින් ගියහ. එම අවස්ථාවේ ඔටුවා පාලනය කරනු පිණිස ඔහුගේ නාස් ලණුව මම අල්ලමින්  ගියෙමි. එම අවස්ථාවේ එතුමාණන් “මම නබි වරයෙකි. ඒ බව කිසිදු අසත්‍යයක් නැත. මම අබ්දුල් මුත්තලිබ්ගේ පුත්‍රයා වෙමි.” යනුවෙන් ප්‍රකාශ කරමින් සිටියහ.” මූලාශ්‍රය මුස්ලිම්.
සෑම වැදගත් සිද්ධීන් හි සම්බන්ධ වු, වීරයෙකු හා දක්ෂ අශ්වාරෝහකු වන අලි (රළි) මෙසේ පවසයි. “යුද්ධයක දෙපාර්ශවයම මුහුණට මුහුණ ළඟා වී සටන බරපතළ තත්ත්වයට පත් වන විට අපි නබි (සල්) තුමාණන් ගැන මහත් බියෙන් සිටියෙමු. එයට හේතුව, සතුරු සේනාවට ඉතා සමීප වී  එතුමාණන් සටන් කරන තරමට අපි කිසිවෙක් සතුරාට ළඟා නොවීමු. ” මූලාශ්‍රය මුස්ලිම්.
අරාබි අර්ධ ද්වීපය, සිරියාව සහ මුහුදෙන් එතෙර දේශයන් හි පමණක් නොව, තම දේශයේ අස්සක් මුල්ලක් නොහැර සෑම තැනකම ඉස්ලාමයේ ආලෝකය පැතිරෙන තුරු නබි (සල්) තුමාණන් දැක් වු ඉවසීම අපි සියලු දෙනාම අනුගමනය කළ යුතු ආදර්ශය වේ.
නබි (සල්) තුමාණන් මෙලෙස ප්‍රකාශ කළහ. “අල්ලාහ් සම්බන්ධ ව මම අවවාද කරනු ලැබු ප්‍රමාණයට අන් කිසිවෙක් අවවාද කරනු ලැබ නැත.  අල්ලාහ් සම්බන්ධ ව මම වේදනාවට ලක් වූ ප්‍රමාණයට අන් කිසිවෙක් ලක් වුයේ නැත. බිලාල් (රළි) සහ මට, බිලාල්ගේ (රළි) කිහිල්ලේ තබා ගත් ආහාරය හැර, එක් ජීවියෙකුට පවා ප්‍රමාණවත් වන ආහාර කිසිවක් නොමැති ව රෑ හා දහවල් ලෙස දින තිහක් පසු වී ගියේය.”  මූලාශ්‍ර තිර්මිදි සහ අහ්මද්.
අල්ලාහ් විසින් ලබා දෙන ලද යුද්ධයේ විජයග්‍රහණයෙන් පසු “ගනීමත්” වශයෙන් ලැබු භාණ්ඩ නබි (සල්) තුමාණන්ට හිමි වු නමුත් ඒවායින් දීනාරයක් හෝ දිර්හමයක් හෝ පවා එතුමාණන් තම නිවස තුළ ඉතිරි කළේ නැත. එතුමාණන් ඉතිරි කර දමා ගියේ මේ දැනුමය. නබිත්වයේ උරුමය වශයෙන් අප සමාජයට ලැබුණේ දැනුම නම් ධනයයි.  මෙම ධනයෙන් කවරෙකුට කොටස් අවශ්‍යද ඔහු ඉදිරියට පැමිණ එය ලබා ගනිත්වා!
ආයිෂා (රළි) මෙලෙස ප්‍රකාශ කළාය. “නබි (සල්) තුමාණන් දීනාරය හෝ දිර්හම හෝ ඉතිරි කර ගියේ නැත. එමෙන්ම, එළුවන් හෝ ඔටුවන් හෝ  ඉතිරි කර ගියේ නැත. වෙනත් කිසිදු භාණ්ඩයක් “වසිය්යත්” හෙවත් උරුම වශයෙන් ඉතිරි කර ගියේ නැත.” මූලාශ්‍රය මුස්ලිම්.
නබි (සල්) තුමාණන්ගේ ප්‍රාර්ථනාවන්
ප්‍රාර්ථනා යනු උතුම් නැමදුම් ක්‍රමයකි. එය අල්ලාහ් හැර අන් කිසිවෙකුට ඉදිරිපත් කිරීම තහනම් ය. අල්ලාහ්ට පමණක් තම අසරණකම දන්වා, තමාට කිසිදු බලයක් නොමැති බව ප්‍රකාශ කිරීමෙන් තමා අල්ලාහ්ට පමණක් හිමි ගැත්තෙක් යැයි සනාථ කිරීමේ සලකුණ ප්‍රර්ථනාව වේ. එම අවස්ථාවේ තමාට ලැබු ආශීර්වාද සියල්ල අල්ලාහ්ගෙන් බව අවබෝධ කර ගෙන අල්ලාහ්ට පමණක් ප්‍රශංසා කිරීමද අවශ්‍ය වේ. නබි (සල්) තුමාණන් “ප්‍රාර්ථනාව යනු නැමදුමකි” යනුවෙන් වදාළහ. මූලාශ්‍රය තිර්මිදි.
නබි (සල්) තුමාණන් අල්ලාහ්ට අවනත වී අල්ලාහ් ට අධික ලෙස ප්‍රාර්ථනා කර, තම අසරණ තත්ත්වය අල්ලාහ්ට පමණක් හෙළිදරව් කරන කෙනෙක් වුහ.
එතුමාණන් ප්‍රාර්ථනා කරන අවස්ථාවන්හි, “මාගේ පරමාධි පතියාණනි! මාගේ සියලු කටයුතු වලට ආරක්ෂාව දී මාගේ දහම පවිත්‍ර කරනු මැනව. මාගේ ජීවිතය රඳා පවතින මෙම ලෝකය පවිත්‍ර කරනු මැනව. මා ආපසු හැරී යන මතු ලෝකය මට පවිත්‍ර කර දෙනු මැනව. මාගේ ජීවිතයේ සියලු හොඳ දේ අධික කරනු දෙන මැනව. සියලු නරක දැයින් මිදී සුවපත් ලබන්නට මට මරණය දෙනු මැනව.” යනුවෙන් පැවසුහ. මූලාශ්‍රය මුස්ලිම්.
“මාගේ සියලු අභ්‍යන්තර හා බාහිර දේ ගැන විස්තර දන්නා මාගේ දෙවියනි! මහපොළොව සහ අහස් නිර්මාණය කළ දෙවිඳුනි! නැමදුමට සුදුසු සැබෑ එකම දෙවයන් වහන්සේ ඔබ පමණය. ඔබ හැර නැමදුමට සුදුසු අන් දෙවි කිසිවෙක් නොමැති බව මම සාක්ෂි දරමි. මගේම ආත්මාවෙන් සිදු වන හානියෙන් සහ ෂෙයිතාන් ගෙන් සිදු වන හානියෙන්, නුඹට සමාන තැබීම මගින් සිදු වන පාපයෙන්ද, මෙම පාපය තවත් මුස්ලිම් වරයෙකුට පැවරීමින් සිදු වන පාපයන්ගෙන් ඔබ වෙතම ආරක්ෂා පතමි.” යනුවෙන් ප්‍රර්ථනා කළහ. මූලාශ්‍රය අබු දාවුද්.
තවද, “මාගේ පරමාධිපතියාණනි! ඔබ තහනම් කළ දැයින් මා ඉවත් කොට, නුඹ අනුමත කළ දැයින් සෑහීමට පත් වීමේ හැකියාව මට දෙනු මැනව. ඔබ හැර අන් කිසිවෙකුගෙන් උපකාර පැතීමේ අවශ්‍යතාවෙන් මා මුදවා ගනු මැනව.” යනුවෙන් ද එතුමාණන් ප්‍රාර්ථනා කළහ.”  මූලාශ්‍රය තිර්මිදි.
“මාගේ පරමාධියාණනි! මාගේ පාපයන්ට සමාව දී, ඔබගේ ආශීර්වාදය මා වෙත පහළ කරනු මැන. උසස් මිත්‍රයා සමඟ මා එකතු කරනු මැනව.” මූලාශ්‍ර බුහාරි සහ මුස්ලිම්.
නබි (සල්) තුමාණන් සතුටින් පිරුණු හෝ දුකින් පිරුණු අවස්ථාවන්හි පවා අල්ලාහ් වෙත අධික ලෙස ප්‍රාර්ථනාවේ යෙදුණහ.
බද්ර් යුද පිටියේ ප්‍රතික්ෂේප කළවුන් පරාජයට පත් වී, මුස්ලිම්වරුන්ට විජයග්‍රහණය ලබා දෙන තුරු, තම උරහිස මත තිබුණු සළුව පොළොව මත ලිස්සී වැටෙන තුරු දෑත් ඔසවා ප්‍රාර්ථනා කළහ. නබි (සල්) තුමාණන් තමන්ට පමණක් නොව, තම පවුලේ අයට ද, තම සගයින්ට ද, පොදුවේ සියලු මුස්ලිම්වරුන් සඳහා ද දුආ කළහ.
බැහැ දැක ගැනීමේ අවසානය
නබි (සල්) තුමාණන්ගේ හදීස් සම්බන්ධ ව, එතුමාණන්ගේ උතුම් ජීවන රටාව පිළිබඳ ව සහ දහම සඳහා එතුමාණන්ගේ සටන් බිමේ විස්තර සියල්ල දැන ගත් පසු.......
නබි (සල්) තුමාණන්ටද ඇතැම් හිමිකම් තිබේ. සියලු කුසල් ක්‍රියාවන් සම්පූර්ණ කර, එතුමණන්ගේ හිමිකම් ඉෂ්ට කිරීම අප සතු වගකීමකි.
නබි (සල්) තුමාණන්ගේ සමාජය මත අනිවාර්‍යය කරන ලැබු දේ සම්බන්ධ ව:
නබි (සල්) තුමාණන් කෙරෙහි ස්ථීර විශ්වාසය තබා, එතුමාණන් රැගෙන ආ සියලු දේ වදනින් හා ක්‍රියාවෙන් සැබෑ කිරීම. නබි (සල්) තුමාණන්ට අවනත වී, පාප කාර්යයන් ගෙන් ඉවත් වී, එතුමාණන් අණ කළ සියල්ල පිළිගෙන ඒවා ක්‍රියාවේ යෙදීම අපගේ වගකීමකි. එතුමාණන් ගැන අධික ලෙස හෝ අවම ලෙස හෝ තක්සේරු කිරීමෙන් වැළකී, එතුමාණන්ට හිමි ගෞරවය දැක්වීම තුළින් සියලු  විෂයයන් හී එතුමා ව ආදර්ශයක් ලෙස පත් කර, අනුගමනය කර, එතුමාණන් ව අපගේ නායකයෙකු ලෙස පත් කර ගැනීම.
අනිකුත් ජනතාව, පවුලේ අය, දරුවන් සහ වස්තුන්ට වඩා එතුමාණන් වෙත ආදරය දැක්වීම, එතුමානන්ගේ ආදර්ශය කිසිදු අඩුපාඩුවකින් තොරව අනුගමනය කර, අන් අය අතර ඒවා ඉගැන්වීමෙන් ඔවුන් අතර සුන්නාහ් ව ජීවමාන බවට පත් කිරීම සහ දහමෙහි ඔවුන්ට උපකාර වීමෙන් ඔවුන්ට ගෞරවය දැක්වීමද මෙහි අඩංගුය. නබි (සල්) තුමාණන්ගේ මිතුරන් සියලු දෙනාටම ගෞරවය දැක්වීම සහ ඔවුන් ව නිසියාකාර ව පිළි ගැනීම සිදු කළ යුතුය. නබි (සල්) තුමාණන්ගේ නාමය සඳහන් වන විට සලවාත් පවසා, එතුමාණන් ට ආදරය දැක්විය යුතුය. මේ බව අල්ලාහ් අණ කරන්නේ මෙසේය. ඉන්නල්ලාහ ව මලාඉකතුහූ යුසල්ලූන අලන් නබියියි, යා අය්යුහල්ලදීන ආමනූ සල්ලූ අලෙයිහි ව සල්ලිමූතස්ලීමා. සැබැවින්ම අල්ලාහ් සහ ඔහුගේ මලාඉකාවරුන් නබි (සල්) තුමාණන් වෙත සලාම් පවසති. එහෙයින් විශ්වාස කළවුණි! ඔබද එතුමා වෙත අලංකාරවත් සලාම් පවසනු මැනව.
නබි (සල්) තුමාණන් මෙලෙස වදාළහ. “ඔබගේ දිනයන් අතර ජුම්මා දිනය හෙවත් සිකුරාදා දිනය බොහෝ වැදගත් දිනයකි. ප්‍රථම මිනිසා වන ආදම් නිර්මාණය කරනු ලැබුවේ මේ දිනයේ ය. එවැනි දිනයේ සූර් හෙවත් හොරණෑව නාද කරනු ලබයි. එදින සියලු දෙනාම සිහිමූර්ඡා වී වැටෙනු ඇත. එබැවින් එදින අධික ලෙස සලවාත් පවසනු. එය මට ගෙනැවිත් පෙන්වන ලබයි.”  එවිට කෙනෙක් “නබි (සල්) තුමාණනි! ඔබ තුමාණන්ට අපගේ සලවාතය පෙන්වනු ලබන්නේ කෙසේද? ඔබ (පොළොව යට) දිරා පත් වනු ඇත නොවේ ද?”  යැයි විමසුවේය.  එවිට නබි (සල්) තුමාණන් “නබිවරුන්ගේ සිරුර විනාශ කර දමන්නට මහ පොළොවට අල්ලාහ් අනුමත කර නැත.” යනුවෙන් පිළිතුරු දුන්හ. මූලාශ්‍ර අබු දාවුද්.  ඉබ්නු මාජා, ෂෙය්ක් අල්බානි මෙම හදීසය සනාථ කර ඇත.
මෙවැනි සාධක නිසා නබි (සල්) සම්බන්ධ ව අපි නොමසුරු ව කටයුතු කිරීම අපගේ පරම යුතුකමක් වේ. “කවරෙකු ඉදිරියේ මාගේ නාමය පවසා මා හට ඔහු සලවාත් නොපැවසුවේ ද ඔහු මුසුරු කෙනෙකි.” යැයි නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍රය තිරිමිදි.
සමු ගැනීම
නබි (සල්) තුමාණන් ව අනුගමනය කරන්නන් වශයෙන්, එම නිවස හැර දමා අපි පිටත් වෙමු. කවරෙකු ජයග්‍රහණය පතන්නේ ද ඔහුට ගුරුවරයෙකු වශයෙන් ද, කවරෙකු යහ මාර්ගය සොයන්නේද ඔහුට සෘජු  මාර්ගයක් වශයෙන් ද, නබි (සල්) පෙන් වු ආදර්ශ බොහෝමයක් ඇත. එපමණක් නොව මෙම ආදර්ශය අනුගමනය කළ අපගේ පැරණි විද්වතුන් හා පඬිවරුන් අපට සහය දක්වති. යහ මාර්ගයේ ජිවත් වීමට අති කරුණභරිත අල්ලාහ් අපට සහය දෙත්වා!
ඉමාම්  අහ්මද් ඉබ්නු හම්බල් (රහ්) මෙලෙස ප්‍රකාශ කරයි. “කිසියම් හදීසයක් මම වාර්තා ගත කරන්නේ එම හදීසය මම ප්‍රථමයෙන් අනුගමන කළායින් පසුවය. නබි (සල්) තුමාණන් හිජාමා ක්‍රමයෙන් තම සිරුරෙන් අපිරිසිදු රුධිරය ඉවත් කළ අබු තය්යිබ් (රළි) ට දිනාරයක් ගෙවුහ. එමෙන් ම මමද හිජාමා ක්‍රමයෙන් මගේ සිරුරෙන් රුධිරය ඉවත් කළ තැනැත්තාට දිනාරයක් ගෙව්වෙමි.” මූලාශ්‍රය ඉතිහාසය 11:213.
සුෆ්යාන් (රහි) පවසා තමා සවන් දුන් බව අබ්දුර් රහ්මාන් ඉබ්නු මහ්දි (රහි) මෙසේ වාර්තා කරයි. “නබි (සල්) තුමාණන්ගෙන් කුමණ හදීසයක් හෝ අසන්නට ලැබුණේ නම්, එය සඳහන් කළ ආකාරයෙන්ම ක්‍රියාවේ නොයෙදී මම සිටියේ නැත.”
මුස්ලිම් ඉබ්නු යසාර් (රහි) මෙසේ දන්වයි. “පාවහන් ඉවත් කර නැමදුම් කිරීම මට පහසු වුව ද, පාවහන් පැලඳ ගෙන මම නැමදුම් කළෙමි. මම එලෙස ක්‍රියා කළේ නබි (සල්) තුමාණන් පෙන් වූ ආදර්ශය අනුගමනය කිරිම සඳහාය.” ඉතිහාසය 7:242 සහ අහ්මද් (රහ්) ගේ කිතාබ් අස් සුහ්ත් 355.
අවසාන වශයෙන් වැදගත් හදීසක් මෙහි සඳහන් කරමි. “මගේ සමාජයේ සෑම කෙනෙකුම ස්වර්ගයට යන්නෝය. ප්‍රතික්ෂේප කළවුන් හැර. ” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. එවිට සෙනඟ, “නබි තුමාණනි! ප්‍රතික්ෂේප කළවුන් කවුරුන් දැ?” යි විමසුවෝය. එවිට එතුමාණන් “මාගේ මාර්ගය අනුගමනය කරන්නන් ස්වර්ග ගත වේ. මට එරෙහි ව ක්‍රියා කළවුන් ප්‍රතික්ෂේප කළවුන් බවට පත් වෙති.” යනුවෙන් පිළිතුරු දුන්හ. මූලාශ්‍රය මුස්ලිම්.
යා අල්ලාහ්! ඔබගේ නබි (සල්) තුමාණන් වෙත ආදරය කරන්නට අපට ආශීර්වාද කරනු! නොමඟ ගියවුන් සහ නොමඟ යවන්නන්ගේ මාර්ගයෙන් නොව සෘජු මාර්ගයට එකඟ ව යන්නට අපටද මඟ පෙන්වනු මැනව! යා අල්ලාහ්! නබි (සල්) තුමාණන්ට ඔබේ ආශීර්වාදය පිරිනමනු මැනව! අපගේ පරමාධිපතියාණනි! උසස්තම ස්වර්ගය වන ෆිර්දවුස් ස්වර්ගයේ නබි (සල්) තුමාණන් සමඟ අපවද රැස් කරනු මැනව! එතුමාණන් දැක ගැනීමෙන්, එතුමාණන්ට දෙන ලැබු ජලාශයේ ජලය පානය කර, අපගේ දෑස් සිසිල් වීමට උදව් කරනු මැනව.
නබි (සල්) තුමාණන් සහ එතුමාණන්ගේ පවුලේ අය සහ එතුමාගේ මිතුරන් සහ එතුමාණන් අනුගමනය කරන සියලු දෙනාට  සාමය හා ශාන්තිය පතමු.
නිමි