සාමයික සහජීවනය

මිහිතලය මත ජීවත් වන මිනිස් පරපුර ‘මිනිසා’ යන පදනම මත වූ ඒකීයත්වයක් පිළිබිඹු කළ ද මනුෂ්යව වර්ගයා තුළ අනේක ප්ර කාර විවිධත්වයන් දක්නට ඇත. මෙම විවිධත්වයන් නැවත මිනිසාගේ ඒකීයත්වය සමග අනුකුලතාවකට පත් කොට සාමුහිකත්වය ගොඩ නැඟීම සාමයික සහජීවනයේ මුලික හරය ලෙස අපි දකින්නෙමු

اسم الكتاب: التعايش السلمي


تأليف: محمد منصور دحلان


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


نبذة مختصرة: كتاب باللغة السنهالية يتحدث عن وجود فروق واختلافات بين الناس، وهكذا خلقهم الله، وعلى الناس أن تراعي هذه الفروق؛ فهناك المؤمن والكافر، وهناك المتبع للسنن الصحيحة وهناك المبتدع، وهكذا. كما نبّه على مسألة التعايش السلمي بين المسلمين وغيرهم، وحدوده وكيف يتعامل المسلمون بهذا التعايش.


සාමයික සහජීවනය

 

] සිංහල – Sinhala –[سنهالي  


මුහම්මද් මන්සූර් දහ්ලාන්

 

 

 

 

 

2014 - 1435
 
 

التعايش السلمي
« باللغة السنهالية »

 

 

 

محمد منصور دحلان

 

 

 

2014 - 1435
 

 

සාමයික සහජීවනය
මුහම්මද් දහලාන්

මිහිතලය මත ජීවත් වන මිනිස් පරපුර ‘මිනිසා’ යන පදනම මත වූ ඒකීයත්වයක් පිළිබිඹු කළ ද මනුෂ්‍ය වර්ගයා තුළ අනේකප්‍රකාර විවිධත්වයන් දක්නට ඇත. මෙම විවිධත්වයන් නැවත මිනිසාගේ ඒකීයත්වය සමග අනුකුලතාවකට පත් කොට සාමුහිකත්වය ගොඩ නැඟීම  සාමයික සහජීවනයේ මුලික හරය ලෙස අපි දකින්නෙමු. මිනිසා හැර මුළු මහත් සත්ව ලෝකයම ‘සත්වයා’ යන එකීයත්වයෙන් යුක්ත වුවද ඔවුන් අතරේ ඇති විවිධත්වයන් සත්වයාගේ ඒකීයත්වය සමග අනුකුලතාවකට පත් කොට සාමුහිකත්වය ගොඩ නැඟීම කළ නොහැක්කක් බව අපි දකින්නෙමු. මෙයට හේතු රාශියක් තිබුණ ද එම කරුණු විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණ නොවන අතර ‘මිනිසා’ සහ ‘සත්වයා’ අතර ඇති මෙම ස්වභාවයන් දෙකේ වෙනස පැහැදිලි කිරීම අරමුණු කොට ගෙනයි මෙලෙස කරුණු දැක්වීමකට ප්‍රවේශයක් ලබා ගැනීමකට අදහස් කරන ලද්දේ. අප තුළ ඇති විවිධත්වයන් එකිනෙකා පිළිකුල් කිරීමට මෙන්ම වෛරය ක්‍රෝධය පදනම් කර ගෙන කටයුතු කිරීමට යොදා ගන්නේ නම් මිනිසා හා සත්වයා අතර වෙනසක් දැකිය නොහැකි තත්ත්වයක් උදා වෙයි. එහා වැටේ බල්ලා මායිම පැන එන විට මෙහා වැටේ බල්ලා ඌව සපා කන්නට බුරමින් පනින හැටි අප දැක ඇත්තෙමු. කැලේ ජීවත් වන සතුන් මුත්‍රා කිරීමෙන් තමන්ගේ මායිම සටහන් කර ගනිති. එම මායිම තුළට එන තම වර්ගයාව සපා කෑම උන්ගේ සිරිතයි. සත්වයින් තුළ ඇති මෙවන් ප්‍රදේශ ආධිපත්‍යය උසස් යැයි සම්මත මිනිසා තුළ ද එවැනි ක්‍රියාවන් සිදු වේ නම් එය මිනිස්කමට නොහොබිනා තිරිසන් පිළිවෙතකි.

එක් වර්ගයක සතුන් තවත් වර්ගයක සතුන් සපා කන්නට ඉදිරිපත් වෙයි. පුසෙකු දකින බල්ලා ඌව සපා කන්නට බුරමින් දුව යයි. මාංශ භක්ෂක සත්ව වර්ග අතරේ සමාදානයක් කිසිසේත්ම දක්නට නොමැත. සිංහයා හා ව්‍යාඝ්‍රයන් අතරේ ඇත්තේ කිසි දිනක සමාදානයට පත් කළ නොහැකි වෛරයකි. මෙවැනි වාර්ගික වෛරය හා ක්‍රෝධය ඇතිව කටයුතු කිරීම තිරිසන් ලෝකයේ ලක්ෂණයක් මිස මිනිස් පරපුරට කොහෙත්ම සුදුසු පිළිවෙතක් ලෙස පිළිගැනීමට නොහැක. ඉස්ලාමීය ඉගැන්වීම් මිනිසාගේ ජාතික ගෝත්‍රික භාෂාමය ශාරීරික වර්ණමය විවිධත්වයන් මෙන්ම ආගමික බහුත්වය ද යථාර්ථයක් ලෙස පිළිගනී. මෙම වාර්ගික ආගමික හා සංස්කෘතික අනන්‍යතාවන් ඉස්ලාමය ප්‍රතික්ෂේප නොකරන බව අවධාරණය කළ යුතුව ඇත. නමුත් තම වාර්ගිකත්වය හෝ අනෙකුත් සාධකයක් හෝ ශ්‍රේෂ්ඨය යන මතයේ පිහිටා අන් වාර්ගිකයින් ව මෙන්ම ආගමිකයින් ව හෙළා දකින්නටත් හිරිහැර කරන්නටත් කිසිවෙකුට අයිතියක් නොමැති බව ඉස්ලාමය උගන්වයි.

කුලවාදය, වර්ණවාදය, ජාතිවාදය, ආගම්වාදය වැනි මිනිසා එකිනෙකාගෙන් දුරස්ථ කරවන මත වාදයන් ඉස්ලාමීය ඉගැන්වීම් තුළ කිසිසේත්ම අන්තර්ගත වී නොමැත. මුස්ලිම් යනු වාර්ගික අනන්‍යතාවක් නොවේ. එය ආගමික අනන්‍යතාවක් පමණකි. එනම් ඉස්ලාමය තම ජීවන මග ලෙස තෝරා ගත් අයෙකු බව හඳුනා ගැනීම පමණි එයින් දැක්වෙන්නේ. එහෙයින් යෝනක මුස්ලිම්, මැලේ මුස්ලිම්, සිංහල මුස්ලිම්, ද්‍රවිඩ මුස්ලිම්, බර්ගර් මුස්ලිම් ආදී වශයෙන් ඇතැම් අවස්ථාවන්හි දී අපට අසන්නට ලැබුණ ද සැබැවින්ම ඉස්ලාමිකයෙකු අනිවාර්යයෙන්ම අල් කුර්ආනය හා නබි තුමාණන්ගේ පිළිවෙත (සුන්නා) පිළිගෙන ඒ අනුව ජීවිතය සකස් කර ගත යුතු වෙයි. මේ අනුව යුක්තිය, සාධාරණත්වය, නීති ගරුක බව මිනිසත්කම හා දේව භක්තිය පදනම් කර ගත් ‘උම්මතය’ නමින් හැඳින්වෙන විශ්ව මිනිස් සහෝදරත්වයේ එක් සාමාජිකයෙකු බවට සෑම ඉස්ලාමිකයෙකුම පත් වෙයි. එහෙයින් ඉස්ලාමිකයෙකුට වාර්ගිකත්වය පදනම් කර ගත් බෙදීමක කොටස් කරුවෙකු විය නොහැක. වාර්ගිකත්වය යථාර්ථයක් බව ඉස්ලාමය පිළිගත්තත් ඉස්ලාමිකයින් අතරේ වාර්ගිකත්වය පදනම් කර ගත් බෙදීමක් හෝ භේදයක් තිබිය නොහැක.

ඔබට අයහපත කරන්නාට ඔබ යහපත කළ යුතු බව අල් කුර්ආනය උගන්වයි. අසල්වැසියන් ඉස්ලාමිකයින්ද නැද්ද යන්න පිළිබඳ තැකීමකින් තොරව මනුෂ්‍යත්වයේ සහෝදර පිරිසක් ලෙස සලකා ඔවුන්ගේ ප්‍රශ්න හා අවශ්‍යතාවන් තමන්ගේ ද වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨ නබි වදන් අපට උගන්වයි. මිනිසාට ඇති එකම ජාතිය මනුෂ්‍ය ජාතිය බවත් අනෙකුත් වාර්ගිකත්වයන් එකිනෙකා හඳුනා ගැනීමේ සාධකයන් පමණක් බවත් ඉස්ලාමය උගන්වයි. ජාතිවාදය පිළිකුල් කොට ප්‍රතික්ෂේප කරමු. මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨත්වය රැකෙන පරිදි සියලු මිනිසුන් සමග සහෝදර බැඳීමකින් යුතුව කටයුතු කරමු.   

ජාතිවාදියා මානසික රෝගියෙක් ද?
(පහතින් උපුටා දක්වා ඇත්තේ නීතිඥ ධර්මපාල සේනාරත්න මහතා විසින් සකස් කරන ලද ලිපියකින් උපුටා ගත් කොටසක් වන අතර වාර්ගික අනන්‍යතාව සහමුලින්ම ඉස්ලාමය ප්‍රතික්ෂේප නොකරන බව අවධාරණය කළ යුතුව ඇත. නමුත් තම වාර්ගිකත්වය ශ්‍රේෂ්ඨ යන මතයේ පිහිටා අන් වාර්ගිකයින්ව හෙළා දකින්නටත් හිරිහැර කරන්නටත් කිසිවෙකුට අයිතියක් නොමැති බව ඉස්ලාමය උගන්වයි.)
 
“ඔබ සිංහලයෙක්ද? සිංහලයෙක් නම් ඔබ ඒ බව දැන ගත්තේ කෙසේද? සිංහල යන නමින් පෙනී සිටින බොහෝ දෙනෙකුගෙන් මෙම ප්‍රශ්නය මා විසින් අසා තිබේ. ඒ එක්කෙනෙකුගෙන්වත් සෑහෙන පිළිතුරක් මට කිසි විටෙක ලැබී නොමැත.

දෙමළ, තෙළිඟු ආදී ජාති වලට ඇතුලත් වන අයගෙන් ද ඔබ දෙමළ බව දන්නේ කෙසේද? ඔබ තෙළිඟු බව දන්නේ කෙසේදැ?යි මා විසින් අසන ලද ප්‍රශ්න වලට ඒ කිසිවෙකුගෙන් ද සෑහෙන පිළිතුරක් කිසි විටෙක නොලදිමි.

මෙම ප්‍රශ්නය ගැන සමහරු කිපෙති. පිළිතුර ඉතා පැහැදිලි ව පෙනෙන්නට තිබිය දී ප්‍රශ්නය අසන්නේ කුමට දැයි සමහරු ආපසු අසති. මෙය විනෝදයට අසන ප්‍රශ්නයක් වශයෙන් සමහරු සලකති. මෙම ප්‍රශ්නය ගැන මීට පෙර කිසි විටෙක තමන් සිතුයේ නැතැයි තවත් සමහරු පිළිතුරු දෙති. කෙසේ හෝ වේවා, ඒ කිසිවෙකුගෙන් ප්‍රශ්නයට සෑහෙන, තර්කානුකුල, ඒත්තු ගත හැකි පිළිතුරක් නොලැබෙයි.

මගේ දෙමව්පියන් සිංහලයින් නිසා මම ද සිංහලයෙක්මි යනු බොහෝ දෙනෙකු ඉදිරිපත් කරන තර්කයයි. මෙය ප්‍රශ්නයට පිළිතුරක් දීම නොව ප්‍රශ්නය තව ටිකක් දුරට තල්ලු කර දැමීම පමණකි. දෙමව්පියන් සිංහලයින් බව දැන ගත්තේ කෙසේදැයි ඊළඟට ප්‍රශ්න කළ යුතු වන බැවින්ය. ප්‍රශ්නය මෙසේ දිගින් දිගට තල්ලු  කර දැමීමට පුළුවන. එහෙත් ප්‍රශ්නයේ විසඳීමක් සිදු නොවෙයි.

කෙනෙකු සිංහල වන්නේ සිංහල භාෂාව කථා කරන නිසාය යනු තවත් තර්කයකි. ළදරු කාලයේ සිට සිංහල ගෙදරක ඇති දැඩි වීම නිසා සිංහල පමණක් කථා කරන වෙනත් ජාති වල අය සිටිති. සිංහල කථා කළ පමණින් ඔවුන් සිංහල ජාතියට අයත් වුවන් වශයෙන් සලකනු නොලැබේ. ළදරු කාලයේ සිට වෙනත් ජාතිකයෙකු ළඟ ඇති දැඩි වීම නිසා අන්‍ය භාෂාවක් කතා කරන සිංහලයෝ සිටිති. සිංහල භාෂාව කථා නොකළ පමණින් ඔවුහු සිංහල නොවෙති යන සැලකීමක් ද නැත. එහෙයින් සිංහල භාෂාව කථා කිරීම නිසා කෙනෙකු සිංහල වන්නේ හෝ ඉංග්‍රීසි භාෂාව කථා කිරීම නිසා කෙනෙකු ඉංග්‍රීසි ජාතිකයෙකු වන්නේ හෝ නොවෙයි.

එසේ නම් සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ජර්මන්, ජපන් ආදී යම්කිසි ජාතියකට කෙනෙකු අයත් බැව් නිශ්චය වශයෙන් දැන ගන්නේ කෙසේද? මෙම ප්‍රශ්නයට දිය හැකි පිළිතුරක් නොමැතියි. නිවැරදි පිළිතුරක් දිය හැකි වන්නේ නිවැරදි ප්‍රශ්නයකට පමණි. මේ ප්‍රශ්නය වැරදිය. නිවැරදි පිළිතුරක් මීට දිය හැකි නොවන්නේ එහෙයින් ය. ඇත්ත වශයෙන් ජාතිය යැයි ගත හැකි දෙයක් නොමැති ව තිබිය දී අසවලා කිනම් ජාතියට අයත් දැයි ඇසු විට ඊට පිළිතුරක් කෙසේ නම් දත හැකි වෙයිද?

ඔබට කුඩා දරුවෙක් සිටියි නම් ඔහුගේ ශරීරය හොඳින් පරීක්ෂා කර බලන්න. ඔහුගේ සිංහල බව දැක්වෙන විශේෂ අවයවයක් හෝ සලකුණක් හෝ ඒ දරුවාගේ ශරීරයේ පිහිටා තිබේද? කෙතරම් සෙව්වත් එවැන්නක් ඔබට දකින්නට නොලැබෙනවා ඇත. දීර්ඝ කාලයක් මුතුන් මිත්තන් ජීවත් වූ භූගෝල කලාපයේ දේශගුණය අනුව ඇති වූ සුදු, කළු, දුඹුරු, කහ ආදී හමේ පාටක් මිස සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ජර්මන් ආදී ජාතියක් දැක්වෙන කිසිම අවයවයක් හෝ ස්වභාවික සලකුණක් හෝ ලෝකයේ  කිසිම රටක මනුෂ්‍ය දරුවෙකුගේ ශරීරයේ නොමැත.

එහෙත් මුළු මනුෂ්‍ය වර්ගයටම සාධාරණ වූ ඒ දරුවා වැඩෙත් ම දෙමව්පියන් විසින්, පරිසරය විසින්, සමාජය විසින්, ජාති නාමයක් එම දරුවා මතයෙ හි ආරෝපණය කරනු ලැබෙයි. තර්ක කිරීමේ, හේතු යුක්ති සොයා බැලීමේ, සංසන්දනය කර බැලීමේ, ශක්තියක් නොමැති ඒ දරුවා නො සිතාම, නොදැනුවත්ව ම, එම ජාති නාමය පිළිගනියි. එය පිළිගෙන මම අසවල් ජාතියට අයත් කෙනෙක් මි යන හැඟීමට ක්‍රමයෙන් පත් වෙයි. ඔබ සිංහල වුයේ සිංහල වූ යම් කිසිවක් ඔබ උත්පත්තියේ සිට ස්වභාවික ලෙස ඔබට තිබුණු නිසා නොව දෙමව්පියන්  ඇතුළු සමාජය විසින් ඔබේ සිතේ ඇති කර වූ දෘෂ්ටිය නිසා නොවේ දැයි සිතා බලන්න.

කුරුල්ලෝ ජාති වශයෙන් එකිනෙකාට වෙනස් වෙති. උකුස්සා සහ පරෙවියා අතරත්, වටුවා සහ මොනරා අතරත් ස්වභාවික වෙනසක් තිබේ. සිංහලයා සහ දෙමළා අතරත් ඉංග්‍රීසිකාරයා සහ ජර්මන්කාරයා අතරත් එවැනි වෙනසක් තිබේද?
කුරුල්ලන් සහ සිවුපාවුන් මෙන් නොව ලෝකයේ සෑම තැන ම සිටින මනුෂ්‍යයෝ එකම ජාතියකට අයත් වෙති. ඒ ජාතිය වනාහි මනුෂ්‍ය ජාතියයි. සත්‍ය වශයෙන් පවත්නේ ඒ එකම ජාතිය ය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි ආදී දහස් ගණනක් නම් වලින් හැඳින්වෙන්නේ සත්‍ය වශයෙන් නොමැති, එහෙත් දෘෂ්ටිය නිසා ඇති කර ගත් සංඥා මාත්‍ර පමණය. අර්ථයක් නැති නම් සමුහයක් පමණය.

නැති දෙයක් ඇතැයි සිතා ගෙන ඒ අනුව හැසිරෙන තැනැත්තා මානසික රෝගියෙකි. අසනීපයෙන් සිටින මගේ මිත්‍රයෙකු බැලීමට අංගොඩ මානසික ආරෝග්‍ය ශාලාවට මා ගිය අවස්ථාවක දී ශ්‍රී දියසේන සිංහලේ රජ්ජුරුවන් වහන්සේ නැමැත්තෙක් මා සමග කථාවට වැටුණේය. තමා දියසේන රජු බැව් ඔහු තරයේම විශ්වාස කරනවා පමණක් නොව ඔහු හැසිරෙන්නේද රාජ ලීලාවෙන්ය. ඔහු දියසේන රජු නොවන බැව් කෙනෙකු කිව්වොත් එසේ කිව් තැනැත්තා පිස්සෙකු වශයෙන් ඔහු සලකනවා ඇත.

දියසේන නොවන තැනැත්තා දියසේන යැයි සිතා ගෙන දියසේන වශයෙන් හැසිරෙන විට ඔහු මානසික රෝගියෙක් වෙයි නම් ඇත්ත වශයෙන් නැති සිංහල ජාතියක්, නැති දෙමළ ජාතියක්, නැති ඉංග්‍රීසි ජාතියක්, ඇතැයි සිතා ගෙන මම සිංහලයෙක්මි, මම දෙමළෙක්මි, මම ඉංග්‍රීසි කාරයෙක්මි යි හැසිරෙන තැනැත්තා මානසික රෝගියෙක් නොවන්නේ කෙසේද?

ඇත්තේ එකම මනුෂ්‍ය ජාතියයි. අපි සිංහලයින්, දෙමළුන් හෝ ඉංග්‍රීසින් නොව මනුෂ්‍යයෝ වෙමු. සත්ව ජාතීන්ගේ ස්වභාවික බෙදීම අනුව මනුෂ්‍ය වර්ගයා සම්බන්ධයෙන් පවත්නා සත්‍ය මෙයයි. එහෙත් නැති ජාති විශේෂයක් ඇතැයි සිතා ගෙන එම දෘෂ්ටියෙන් බැඳුනු අය මෙම සත්‍ය දැකීමට අපොහොසත් වෙති.

නැත්තක් ඇතැයි සිතීමෙන් හට ගත් දෙයක් බැවින් ජාතිවාදය මානසික රෝග විශේෂයක් වශයෙන් සැලකිය යුතුය. මෙරට පමණක් නොව ලෝකයේම සිටින ඉතාම වැඩි දෙනා එම දෘෂ්ටියෙන්, එම මුළාවෙන්, බැඳුනාහු අය වෙති. එහෙයින් ඔවුහු එම සත්‍ය දැකීමට  අසමර්ථ වන්නාහුය. අතීතයෙහි ලෝකයේ ඇති වූ සියලුම යුද්ධ කෝලාහල වලට මුලික හේතුව වුයේ ජාතිවාදය නම් වූ මෙම මානසික රෝගයයි.

විද්‍යාත්මක දියුණුව නිසා සැපවත් ව ජීවත්වන්ට සියලුම ඉඩ ප්‍රස්තා සැලසී තිබෙන වර්තමාන ලෝකයෙ හි පවා නොයෙකුත් දුක් හිරිහැර වලට මනුෂ්‍යයාට මුහුණපාන්ට සිදු වී තිබෙන්නේ දේශපාලන දෘෂ්ටි වලින් වෙළී ගිය ජාතිවාදය හේතු කොටගෙනය.

බලවත් රටවල මෙකී මානසික රෝගයෙන් පෙළෙන්නෝ මිනිසුන් ලක්‍ෂ ගණන් මැරීම සඳහා පරමාණු ආයුධ තැනීම ආදී ලොකු උමතු ක්‍රියා වල යෙදෙති. ලංකාව වැනි කුඩා රටවල මෙම මානසික රෝගයෙන් පෙළෙන්නෝ මිනීමැරීම, කැති පොලු වලින් ඇන කොටා ගැනීම, තමන්ගේ නොවන භාෂාවකින් ලියන ලද නාම පුවරු වල තාර ගෑම තමන්ගේ ආගමිකත්වයෙන් බැහැර ආගමික ස්ථාන කඩා බිඳ දැමීම තම වාර්ගිකත්වයෙන් බැහැර අයගේ ව්‍යාපාර ස්ථාන හා නිවෙස් ගිනි තැබීම ආදී කුඩා උමතු ක්‍රියා වල යෙදෙති.

මනුෂ්‍යයා අද සිටින්නේ ඉතාම අවදානම් සහිත යුගයකය. වර්තමාන තත්ත්වය කෙතරම් භයානක දැයි බොහෝ දෙනා නොදනිති. අද ලෝකයෙ හි ක්‍රියා කරන්නේ මීට පෙර කිසි කලෙක ඇති නොවූ විධියේ බලවේගයක් බැව් සැලකිය යුතුය. ස්වල්පයක් වැරදී ගියහොත් අවුරුදු කිහිපයක්  ඇතුළතදී මුළු මනුෂ්‍ය වර්ගයාම පෘථිවියෙන් වැනසී යාමට මාර්ගය සැලසෙන්ට බැරි නැත. එවැනි අනතුරකට භාජන නොවී මෙම තීරණාත්මක අවස්ථාව පසු කර ගත හැකි වන්නේ අපේ ජාතිය, අපේ රට යනාදී වශයෙන් සිතමින් ඔවුනොවුන් ඇන කොටා ගැනීමෙන් නොව අපේ ලෝකය යැයි සිතමින් මනුෂ්‍ය වර්ගයම සිහියෙන් යුක්ත ව වැඩ කිරීමෙනි. එහෙයින් අපේ ජාතිය අපේ රට යැයි අද සිතන තැනැත්තා අසිහියෙන් ක්‍රියා කරන තැනැත්තෙක් නොවේද? මුළු මනුෂ්‍ය වර්ගයේම සතුරෙක් නොවේද?”             

නීතිඥ ධර්මපාල සේනාරත්න මහතාගේ මතයන් ඉහතින් උපුටා දැක්වීමෙන් පසු මේ පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍ය හා මනෝ චිකිත්සක අදහස්  දෙසට අවධානය යොමු කරන්නට අදහස් කරන්නෙමු.  ජාත්‍යන්තර පිළිගැනීමක් හා කීර්තියක් ඇති ‘TIME’ සඟරාවට අයත් පහත සඳහන් වෙබ් සම්බන්ධකයෙන් ලබා ගත් තොරතුරු පහතින් සංක්ෂිප්තව උපුටා දක්වා ඇත්තෙමු.

http://ideas.time.com/2012/05/04/is-racism-an-illness/
“ජාතිවාදය රෝගයක් ද? මනෝ චිකිත්සකයින් හා මනෝ විද්‍යාඥයින් මෙම වැදගත් කරුණ සංවාදයකට බඳුන් කොට ඇත. අගතිගාමිත්වය රෝගකාරක තත්ත්වයක් ද යන්න පිළිබඳ ව පරිච්ඡේදයක් ‘Oxford Handbook of Personality Disorders’ නමැති ග්‍රන්ථයට ඇතුළත් කිරීමට කටයුතු කොට ඇත. මෙම අගතිකාමිත්වයෙන් අදහස් වන්නේ සර්ව ශ්‍රේෂ්ඨ  මානසිකත්වයක් ඇති එක් වාර්ගික කොටසක් විසින් තවත් සුළු හෝ පහත් යැයි එම සමාජයේ සම්මත වාර්ගික කොටසක් සම්බන්ධයෙන් සාහසිකත්වය හා භීෂණය මුදා හරිමින් කටයුතු කිරීමයි.”
 මෙම ලිපියේ අඩංගු විස්තර සියල්ල මෙහි ඇතුළත් කරන්නට අප අදහස් නොකළ අතර මෙහි ප්‍රධාන කරුණ නම් ‘ජාතිවාදය’ අස්වභාවික මානසික තත්ත්වයක් ලෙස විග්‍රහ කොට තිබීමයි. පහතින් සාමයික සහජීවනය පිළිබඳ ව ඇති ඉස්ලාමීය ඉගැන්වීම් දෙසට අවධානය යොමු කරමු.      
ඉස්ලාමය හා සාමයික සහජීවනය
අප ජීවත් වන්නේ බහු සංස්කෘතික හා බහු ජනවාර්ගික සමාජයකය. මුහම්මද් තුමාණන් (අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය එතුමා කෙරෙහි අත්වේවා)  හා අල් කුර්ආනය අපට උගන්වන්නේ සෑම දෙනා සමග සමගියෙන් හා සාමයෙන් ජීවත් වන්නටය. ශ්‍රී ලාංකිකයින් ලෙසට අප පොදු කටයුතු වලදී සෑම ජන කොට්ඨාසයක් සමගම සහයෝගයෙන් කටයුතු කළ යුතු වන්නෙමු. විශේෂයෙන්ම මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන් සමග අප ජීවත් වන පරිසරය තුළ ඇති වන සෑම පොදු කටයුත්තකදීම උපකාර කරමින් හා ක්‍රියාකාරී ලෙස සහභාගී වීම අප විසින් අනිවාර්යයෙන් ම කළ යුත්තක් බවට පත් වී ඇත. හදිසි ආපදාවක්, අසනීපයක්‌ ව්‍යසනයක් හෝ වෙනත් කරදරයක් ඇති වූ විට උපරිමයෙන් උපකාරී වීම අපගේ වගකීමක් වෙයි.

මුහම්මද් තුමාණන් (අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය එතුමා කෙරෙහි අත්වේවා) අපට දේශනා කර ඇත්තේ තම අසල්වැසියා කුසගින්නේ සිටිය දී අප කුස පිරෙන්නට අනුභව නොකළ යුතු බවය. අසල්වැසියා මුස්ලිම් ද මුස්ලිම් නොවන්නෙක් ද යන්න වැදගත් කරුණක් නොවේ. මෙයින් අප අවබෝධ කර ගත යුත්තේ අසල්වැසියාගේ අවශ්‍යතාව පිළිබඳ ව අප ශක්ති ප්‍රමාණයෙන් උපකාරී විය යුතු බවය.

තවත් වරෙක මෘත දේහයක් රැගෙන යන පිරිසක් දුටු විට මුහම්මද් තුමාණන් (අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය එතුමා කෙරෙහි අත්වේවා) වහාම එයට ගෞරව පිණිස නැගී සිටි විට අසල සිටි සහාබි වරයෙකු (මිතුරෙකු) පවසා සිටියේ එය යුදෙව්වෙකුගේ මෘත දේහයක් බවයි. මෙයින් එම සහාබි වරයා අදහස් කළේ එය යුදෙව්වෙකුගේ මෘත දේහයක් නිසා නැගී සිටීමට අවශ්‍ය නොවන බවයි. නමුත් මුහම්මද් තුමාණන් වහාම පවසා සිටියේ ඔහුත් මනුෂ්‍යයෙකු බවයි. ඉස්ලාමයේ ඉගැන්වීම් පදනම් වී ඇත්තේ මනුෂ්‍යත්වයට ගෞරව කිරීම මුල් කරගෙනය. එම නිසා අප ජීවත් වන පරිසරයේ සුහදත්වය ගොඩ නැගීම සෑම මුස්ලිම් වරයෙකුගේම වගකීම බවට පත් වී ඇත. අන්‍යෝන්‍ය අවබෝධය ගොඩ නැගීමට මුල් පියවර අප විසින් ගත යුතු ව ඇත.   

සාමයික සහජීවනය ස්ථාපිත කිරීම උදෙසා මග පෙන්වන මුලික ප්‍රතිපත්ති හතරක්  ඉස්ලාමීය ඉගැන්වීම් තුළ ඇති බව අපි දකින්නෙමු. එම වැදගත් කරුණු කෙරෙහි අපගේ අවධානය පළමු ව යොමු කරමු.

දහම පිළිබඳව බලපෑමක් නොමැත
ආගමික බැඳියාවක් ඇති සමාජයක ආගමික විශ්වාසය ඉතා සංවේදී සාධකයකි. ඉස්ලාමය ආගමික ප්‍රචාරණය අනුමත කරන අතර තමන් දේශනා කරන හෝ පහදා දෙන කරුණු අන් අය විසින් පිළි ගත යුතු යැයි බලපෑම් කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. මෙ මගින් චින්තන නිදහස සහතික කිරීමක් ඉස්ලාමීය ඉගැන්වීම් මගින් ඉදිරිපත් කරයි. ඉස්ලාමය පිළිබඳ කරුණු පහදා දීමේදී ඉතා ගෞරවනීය අයුරින් අන් අයගේ සිත් නොරිදවා  සුහදත්වය පදනම් වූ සංවාදයන් හි නියැළෙන ලෙස අල් කුර් ආනය උපදෙස් ලබා දෙයි.

“ප්‍රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස් මඟින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඇරයුම් කරවූ.” (අල් කුර්ආන් 16 – 125)

ඉස්ලාමය අසිපතින් පතුරුවා හරින ලද දහමක් යන මිත්‍යා මතවාදය මෙම වැකිය මෙන්ම  පහතින් උපුටා දක්වා ඇති අනෙකුත් අල් කුර්ආන් වැකි සහමුලින්ම ප්‍රතික්ෂේප කරයි. කරුණු මෙසේ තිබිය දී ආසියාතික බොහෝ බෞද්ධ රටවල් බලෙන් ඉස්ලාමීයකරණයට පත් කරන ලද බව චෝදනාවක් ඇත. ඇෆ්ගනිස්තානය මාලදිවයින ඉන්දුනීසියාව වැනි රටවල් මේ සඳහා උදාහරණ ලෙස ගෙන හැර දක්වති. මෙම චෝදනාවන් හි සත්‍යතාව පිළිබඳව කරුණු විමසීමක යෙදීම වැදගත් කරුණක් ලෙස අපි සලකන්නෙමු. මෙම පරිවර්තනයන් සිදු වුවායයි පවසන කාල වකවානුව ප්‍රජාතන්ත්‍රවාදී හා මානව අයිතිවාසිකම් පදනම් කර ගත් චින්තන නිදහස සහතික කරන පාලන ක්‍රමයන් තිබු යුගයන් නොවේ. බොහෝ විට පැවතියේ රාජාණ්ඩු ක්‍රමයකි. මෙම පාලන ක්‍රමයන් තුළ බොහෝ විට සිදු වුයේ රජතුමාගේ පිළිවෙත රටවැසියා විසින් අනුගමනය කිරීමය. පළමුව බෞද්ධ රටක් ව පැවති මාලදිවයින ඉස්ලාමය වැලඳ ගත්තේ කෙසේද යන්න ඓතිහාසික තොරතුරු පදනම් කර ගෙන විමසා බලමු. පහත සඳහන් වෙබ් සම්බන්ධකයෙන් මෙම තොරතුරු උපුටා ගත්තෙමු.  

http://ambeblog.wordpress.com/2010/01/26/conversion-of-the-maldives-to-islam/     
http://www.vermillionmaldives.com/maldives-history.htm

මොරොක්කෝ ජාතික අබු බරකාත් යුසුෆ් අල් බර්බරි නම් ඉස්ලාමීය විද්වතාගේ මැදිහත් වීමෙන් ක්‍රි. ව. 1153 දී එනම් දැනට ශත වර්ෂ 9 කට පමණ පෙර මාලදිවයින රජු හා වැසියන් ඉස්ලාමය වැලඳ ගත් බව ඓතිහාසික තොරතුරු හෙළිදරවු කරයි. එවකට එහි රජකම් කළේ  ශ්‍රී ත්‍රිබුවන අදිත්යා රජුය. ‘තීමුගේ’ රාජ පරම්පරාවේ පළමු රජු වූ ශ්‍රී මහාබරණ රජතුමා මෙම රජුගේ මව් පාර්ශවයෙන් ඔහුට මාමණ්ඩිය විය.    

මාලදිවයින් රජු හා වැසියන් ඉස්ලාමය වැලඳ ගත් තොරතුරු දෙස අපගේ අවධානය යොමු කරමු. ‘රන්නමාරි’ නම් වූ මුහුදු රාක්ෂසයෙකුට  මසකට වරක් කන්‍යාවක් බිලි දෙන සම්ප්‍රදායක් එම රටේ තිබී ඇත. කුසපත් ඇදීම මගින් කන්‍යාවන් තෝරා ගැනීම සිරිත විය. වෙරළාසන්නව පිහිටා ඇති විහාරයක් අසල මෙලෙස තෝරා ගත් කන්‍යාවන් සැන්දෑ වරුවේ නවතා යනු ලැබේ. මෙලෙස නවතා ගිය තරුණියගේ තත්ත්වය බලන්නට එන පිරිසට පසු දින උදෑසන දකින්නට ලැබෙන්නේ ලිංගික දුෂණයට ලක් කොට මරා දමනු ලැබූ ඇගේ මළ සිරුරයි.  

අබු බරකාත් යුසුෆ් අල් බර්බරි තුමා නැවතී සිටි නිවසේ කන්‍යාව මෙලෙස කුසපත් ඇදීමෙන් තෝරා ගනු ලැබූ විට එම දැරිවිය බේරා ගැනීමට තීන්දු කළ එතුමා කාන්තා ඇඳුමින් සැරසී කන්‍යාවක් ලෙස වෙස් වළා ගෙන එම දිනයේ විහාරය අසල සිටින්නට කටයුතු කළේය. එතුමා එම ස්ථානයේ සවස් කාලයේ සිට අල් කුර්ආනය පාරායනය කරන්නට ආරම්භ කොට සිදුවන්නට යන තත්ත්වය පිළිබඳව තැකීමකින් තොරව ඉතා තැන්පත්ව සිට ඇත. පසු දින උදෑසන එතැනට පැමිණි ජනයාට දැක ගන්නට ලැබී තිබුණේ එම අවස්ථාවේදීත් අල් කුර්ආනය පාරායනය කරමින් සිටි අල් බර්බරි විද්වතා ය. මෙම ආශ්චර්යමත් දර්ශනය දුටු රජතුමා හා රජ පවුලේ සියල්ලන් පළමු ව ඉස්ලාමය වැලඳ ගත් අතර ඉන් පසු ව රජතුමා අනුගමනය කරමින් රටවැසියන් ද ඉස්ලාමය වැලඳ ගත්හ. ඉස්ලාමය වැලඳ ගැනීමෙන් පසු මුහම්මද් බින් අබ්දුල්ලාහ් නමින් රජතුමා තම නම වෙනස් කර ගත්තේය. ගවේෂකයෙකු වූ ඉබ්නු බතූතා විසින් ද මෙම ඓතිහාසික සිද්ධිය පිළිබඳ තොරතුරු සටහන් කර ඇත.      
මෙයයි මාලදිවයින ඉස්ලාමය වැලඳ ගැනීමේ ඓතිහාසික තොරතුරු. ඉස්ලාමයට එරෙහි ව චෝදනා ගොනු කරමින් සිටින පිරිස පවසන අයුරු මෙහි ඉස්ලාමය පැතිර වීමට ඉදිරිපත් වූන හමුදාවක මැදිහත් වීමක්, අසිපතක බලය පෙන්වීමක් ආදී ඉස්ලාමයට පටහැණි ක්‍රියා මාර්ග කිසිවක් උපයෝගී කර ගෙන නොමැති බව ඉතාම පැහැදිලි ව සනාථ වන සත්‍යයකි. මෙම තොරතුරු සමග ශ්‍රී ලංකාද්වීපය බුදු දහම වැලඳ ගැනීමේ පුරාවෘතය සසඳා බලමු.

‘අශෝක සිරිත’ට අනුව කාලිංග යුද ජයග්‍රහණයෙන් ලත් අත්දැකීම් ඔස්සේ බුදු දහම වැලඳගත් ධර්මාශෝක රජු විසින් බෞද්ධ ධර්ම දූතයන් වහන්සේලා විදේශීය රටවල් රාශියකට බුදු දහම ප්‍රචාරය කිරීම සඳහා පිටත් කර හැරීම සිදු කරන ලදී. එසේ යැවූ රටවල් අතර ශ්‍රී ලංකාව ද එකකි.

ලංකාවට වැඩම කළ බෞද්ධ ධර්ම දූත පිරිස සත්දෙනෙකුගෙන් සමන්විත වූ අතර එහි ප්‍රධානත්වය දැරුයේ ධර්මාශෝක රජතුමාගේ පුතණු කෙනෙකු වූ මිහිඳු මහ රහතන් වහන්සේ ය. මේ ධර්ම දූත පිරිස ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදීය. ‘මහින්දාගමනය’ යනුවෙන් අප කථා කරන්නේ මේ බෞද්ධ ධර්ම දූත කණ්ඩායමේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තියයි.

මහින්දාගමනයේ අරමුණු මොනවාදැයි අප තේරුම් ගත යුතුය. මිහින්තලයේ දී දෙවන පෑතිස් රජුට මුණගැසුණු මිහිඳු මාහිමියන් තම ගමනේ අරමුණු පැහැදිලි කරන්නේ මෙසේය.

‘සමණාමයං මහාරාජ- ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය –ජම්බුදීපා ඉධාගතා’

මහරජතුමනි, අපි ධර්මරාජයාණන් වහන්සේගේ (බුදුන් වහන්සේගේ) ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පාවෙන්ම දඹදිව සිට මෙහි පැමිණියෙමු. මෙය එහි සරල අර්ථයයි.

මිහිඳු මාහිමියන් වදාළ පරිදි උන්වහන්සේ මෙහි වැඩම කරන්නේ ධර්මාශෝක අධිරාජයාගේ රාජකීය නියෝජිතයකු ලෙස නොව ධර්මරාජයන් වහන්සේගේ (බුදුන් වහන්සේගේ) ශ්‍රාවකයකු ලෙසය. ඒ රාජ්‍ය තාන්ත්‍රික කාර්යයක් උදෙසා නොව ශ්‍රී ලංකාවේ රජතුමා ඇතුළු රටවැසියන් වෙනුවෙන් ධර්ම ප්‍රචාරක කටයුතු කිරීම සඳහාය. මෙලෙස දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්ම දේශනා පිළිගෙන බුදු දහම වැලඳ ගත් බව බෞද්ධ ඉතිහාසය අපට දන්වා සිටී. දේවානම්පියතිස්ස රජතුමා බුදු දහම වැලඳ ගැනීමත් සමග රටවැසියන් ද එම මග අනුගමනය කරමින් බෞද්ධ ශ්‍රාවකයින් බවට පත් වුහ.

මාලදිවයින ඉස්ලාමය වැලඳ ගැනීමත් ශ්‍රී ලංකාද්වීපය බුදු දහම වැලඳ ගැනීමත් අතර අනුබද්ධිත කාරණා පිළිබඳ වෙනස්කම් තිබුණත් සිද්ධීන් දෙකේ හරය දෙස අවධානය යොමු කිරීමේදී අපට දක්නට ඇත්තේ කුමන වෙනස්කම් ද කියා විමසන්නට කැමැත්තෙමු. මෙම දෙරටේ ආගමික පරිවර්තනය අතර හරයේ සමානතාවක් ඇතත් මාලදිවයින් වෙනස වැරදි ලෙසත් ශ්‍රී ලාංකේය වෙනස නිවැරදි ලෙසත් දැකීම තමන්ගේ චින්තනයේ පටු කම විදහා දැක්වීමක් මිස අන් කිසිවක් නොවේ. අනෙකුත් ආසියාතික රටවල් ඉස්ලාමය තෝරා ගැනීම බොහෝ දුරට මෙම තත්ත්වයන්ට සමාන සිදු වීමකි.

අතීතයේ එසේ පාලකයාගේ දහම අනුගමනය කිරීමට රටවැසියා පෙලඹුන ද වර්තමානයේ එවැන්නක් සිදු වීමට ඇති ඉඩකඩ කිසිසේත්ම නොමැති තරම්ය. අතීතයට පමණක් සීමා වූ මෙවන් සංසිද්ධීන් ඉදිරිපත් කොට ඉස්ලාමයට පමණක් චෝදනා කරමින් කටයුතු කිරීම පටු සහ ද්වේෂ සහගත අරමුණු හෙළිදරවු කිරීමක් නොවේද? මෙවන් අස්ථාන හා අනිසි බියක් බෞද්ධ ජනයාගේ සිත්සතන් තුළ ඇති කිරීමට කටයුතු කිරීම වංචනික ක්‍රියාවක් ලෙස අපි දකින්නෙමු.
    
ආගමික බහුත්වය යථාර්ථයක් ලෙස පිළිගන්නා ඉස්ලාමීය ඉගැන්වීම් සනාථ කරන අල් කුර්ආන වැකි පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි ව ඇත.” (අල්-කුර්ආන් 2 :   256)

“නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරය,) ඔවුන්ට බල කරන්නෙහි ද?”  (අල්-කුර්ආන් 10 : 99)

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා!” (අල්-කුර්ආන් 18 : 29)

“ඔවුන් පවසන දෑ පිළිබඳ ව අපි මැනවින් දනිමු. නුඹ (නබිවරය) ඔවුන් කෙරෙහි බලපරාක්‍රමය යොදවන්නෙකු නොවේ. එබැවින් මාගේ අනතුරු ඇඟවීමට බියවන්නා වෙත අල් කුර්ආනය මගින් අනුශාසනා කරවූ.” (අල්-කුර්ආන් 50 : 45)
 
“එබැවින් (නබිවරය) නුඹ උපදෙස් දෙවු. සැබැවින්ම නුඹ උපදෙස් දෙන්නෙකුමය. ඔවුන් පිළිබඳව නුඹ වගකීම් දරන්නෙකු නොවේ.” (අල්-කුර්ආන් 88 : 21-22)    

“නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සාධක නුඹලා වෙත පැමිණ ඇත. කවරෙකු එය නිරීක්ෂණය කර බැලුවේ ද එය තමන්ටමය. කවරෙකු (එම සාධක පිළිබඳව) අන්ධ භාවයෙන් සිටින්නේ ද එය තමන්ට එරෙහිවන්නකි. නුඹලා කෙරෙහි ආරක්ෂකයෙකු වශයෙන් මා නැත (යැයි නබිවරය පවසවූ). (අල්-කුර්ආන් 6 : 104)  

“(නබිවරය) ඔවුහු නුඹව අසත්‍ය කළේ නම් ‘මාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) මටය, නුඹලාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) නුඹලාට ය. මා කරන දැයින් නුඹලා නිදොස් වුවන්හුය. නුඹලා කරන දැයින් මම නිදොස් වෙමි’ යැයි පවසවූ”. (අල්-කුර්ආන් 10 : 41)    

“(දේව පණිවිඩය) දන්වා සිටීමේ වගකීම හැර අන් දෙයක් රසුල්වරයාට නොවීය. තවද අල්ලාහ් නුඹලා හෙළිකරන දෑ ද නුඹලා වසන් කරන දෑ ද දන්නේය”. (අල්-කුර්ආන් 5 : 99)      

“(නබිවරය) ඔබත් සමග ඔවුහු තර්ක කළ විට ‘මාගේ මුහුණ අල්ලාහ්ට අවනත කළෙමි. තවද මා අනුගමනය කළවුන් ද (මෙලෙසම කළෝය)’ යැයි පවසවූ. තවද ‘නුඹලා අවනත වූ වෙහිද?’ යැයි පුස්තකය දෙනු ලැබුවන්ගෙන් ද උම්මිවරුන්ගෙන් ද (පුස්තකය නොදෙනු ලැබුවන් ගෙන් ද) විමසවූ. එසේ ඔවුන් අවනත වුයේ නම් ඔවුහු යහමඟ ලබා ගත්තෝය. තවද ඔවුහු පිටුපෑවේ නම් එවිට සැබැවින්ම ඔබේ වගකීම වන්නේ ප්‍රචාරය කිරීම පමණය. තවද අල්ලාහ් ගැත්තන් පිළිබඳව සර්ව සුපරික්ෂාකාරය.”  (අල්-කුර්ආන් 3 : 20)

“අල්ලාහ්ට අවනත වවු. රසුල්වරයාට ද අවනත වවු. නුඹලා පිටුපෑවෙහු නම් අපගේ රසුල්වරයාගේ වගකීම වන්නේ (අල්ලාහ්ගේ පණිවිඩය) පැහැදිලිව දන්වා සිටීම යැයි නුඹලා අවබෝධ කර  ගනිවු.” (අල්-කුර්ආන් 5 : 92)

ඉහතින් උපුටා දක්වන ලද අල් කුර්ආන් වැකි ඉතාමත් ම පැහැදිලි ව අපට දන්වා සිටින්නේ දහම පිළිබඳ ව බලය හෝ අන් කිසිම ආකාරයක පීඩනයක් කිසිවෙකු වෙත නොයොදවන ලෙසය. දහම පිළිබඳ ව ප්‍රචාරණ කටයුතු වල නියැළීම අල් කුර්ආනය අනුමත කරන අතර එය අන් අය ව පෙළීමකට ලක් නොකොට කළ යුතු කාර්යයක් වෙයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  III වැනි පරිච්ඡේදයේ    
මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටසේ 10 හා 14 (1)  වැනි වගන්තීන් පහත සඳහන් අයුරු සටහන් කොට ඇත.

3 – 10 “සෑම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැලඳ ගැනීමේ  නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය”.      
3 - 14. (1) “සෑම පුරවැසියකුට ම -  
 ( අ)  භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට;  ( ආ)  සාමකාමීව රැසවීමේ නිදහසට;  ( ඇ)  සමාගමෙයේ නිදහසට;  ( ඈ)  වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහසට;  ( ඉ)  එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට;  ( ඊ)  එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට;  ( උ)  එකලාව හෝ අන් අය හා සමග යම් නීත්‍යනුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට;  (ඌ)  ශ්‍රී ලංකාව තුළ යාම් ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට; සහ  ( ඒ)  ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහසට හිමිකම ඇත්තේ ය”.               

අල් කුර්ආනය වර්ෂ 1400 කට පෙර තහවුරු කර ඇත්තේ ද දහම පිළිබඳව මිනිසාට ඇති මෙම මුලික මිනිස් අයිතිවාසිකම් ය. ඉස්ලාමීය ඉගැන්වීම් හි යථාර්ථය පිළිබඳ අවබෝධයකින් තොරව නගන්නා වූ චෝදනා පදනම් විරහිත බව මෙම සත්‍යය තොරතුරු විමර්ශනය කිරීමෙන් ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. අනවබෝධය තුරන් කරමු. අන්‍යෝන්‍ය අවබෝධය තුළින් එකිනෙකාගේ වත්පිළිවෙත් වලට ගරු කරමින් සුහදත්වය හා සහෝදරත්වය මත පදනම් වූ සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට සාමුහික ව කටයුතු කරමු.

අන් දහම් පිළිබඳව කටයුතු කිරීමේ පිළිවෙත
සාමයික සහජීවනය ස්ථාපිත කිරීමේ ඉස්ලාමීය දෙවන ප්‍රතිපත්තිය සකස් වී ඇත්තේ අන් දහම් පිළිබඳව කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත පදනම් කරගෙනය. අප ජීවත් වන්නේ බහු ආගමික පරිසරයකය. මෙම දහම් අතුරින් ඉස්ලාම් කිතුනු හා යුදෙව් දහම් අතරේ යම් සමානකම් දක්නට ඇතත් ඒවා අතරේ ද මුලික විශ්වාසයන් හි හා  ප්‍රතිපත්ති අතරේ වෙනස්කම් දක්නට ඇත. එමෙන් ම බෞද්ධ හින්දු හා ජෛන දහම් අතරේ ද යම් සමානකම් තිබුණ ද මුලික ප්‍රතිපත්ති අතරේ වෙනස්කම් බොහෝමයක් දක්නට ඇත. මිනිසා තම දහම සත්‍යයක් ලෙස විශ්වාස කරන අතර මෙම සත්‍යය අන් අයටත් පහදා දීමට නිරතුරු ව කටයුතු කරන්නට ඉදිරිපත් වෙයි. ඉහතින් උපුටා දැක් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රතිපාදන අනුව මෙය අනුමත ක්‍රියාවකි. නමුත් මෙසේ කිරීමේ ක්‍රමවේදය තුළ බොහෝ විට සාමයික සහජීවනය බිඳ වැටෙන තත්ත්වයන් ඇති වීමට ඇති ඉඩකඩ එමටය. මෙවන් අන්තර් ආගමික සම්බන්ධතාවන් හි දී දහම් අපහාසයට ලක් වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම හා හැසිරීම බරපතළ කරුණක් බවට පත් ව ඇත. මෙවන් තත්ත්වයන් තුළින් අන්‍යෝන්‍ය සුහදත්වයට වඩා වෛරය හා ක්‍රෝධය වර්ධනය වීමේ ප්‍රවණතාවක් ඇති වීම නොවැළැක්විය විය හැකි කරුණකි. මෙලෙස අන් දහම් වලට අපහාස කිරීමේ තත්ත්වයක් කිසිසේත්ම ඉස්ලාමිකයෙකුගෙන් සිදු නොවිය යුතු බව අල් කුර් ආනය පැහැදිලි උපදෙස් ලබා දෙයි.

“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (6:108)

මෙය කිසිම ඉස්ලාමිකයෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ඉතාම පැහැදිලි මෙන්ම දැඩි උපදේශයකි. යම් ඉස්ලාමිකයෙකු මෙයට පටහැණිව කටයුතු කරන්නේ නම් එහි පුර්ණ වගකීම එම පුද්ගලයා සතු වන අතර මේ පිළිබඳව ඉස්ලාමය විවේචනය කිරීම නොකළ යුත්තකි. පහැදිලි ඉස්ලාමීය උපදේශයන්ට පරිබාහිරව කිසියම් හුදෙකලා පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සිදු කරණු ලබන එකී අශිෂ්ට ක්‍රියාවට පරිශුද්ධ ඉස්ලාම් දහමට හෝ සමස්ත මුස්ලිම් ප්‍රජාවට හෝ දොස් කීම හෝ දෝෂාරෝපණය කිරීම සදාචාර සම්පන්න හෝ බුද්ධි ගෝචර ක්‍රියාවක් නොවේ.   

අන්තර් ආගමික සම්බන්ධතාවන් පවත්වා ගෙන යාමේදී අනුගමනය කළ යුතු යහ උපදෙස් අල් කුර්ආනය ලබා දෙයි.   

 “ප්‍රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස් මඟින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඇරයුම් කරවූ. තවද (ගෞරවාන්චිත හා) අලංකාර ආකාරයෙන් ඔවුන් සමග තර්ක කරවූ.” (අල් කුර්ආන් 16 – 125)

ඉහත අල් කුර්ආන් වැකිය මුළු මහත් මනුෂ්‍ය වර්ගයා සමග දහම පිළිබඳ ව කටයුතු කළ යුතු ආකාරය ගැන යහ උපදෙස් ලබා දෙයි.  
 
“දහම් ලද්දවුන් වන ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර සෙසු අය සමඟ යහපත ඇති දැයින් මිස තර්ක නොකරවූ. ‘අප වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද අපි විශ්වාස කරන්නෙමු. තවද අපගේ දෙවිඳුන් ද නුඹලාගේ දෙවිදුන් ද එකය. තවද අපි ඔහුට (අවනත වන්නන් වන) මුස්ලිම්වරුන් වන්නෙමු’ යැයි නුඹලා පවසවූ”.  (අල් කුර්ආන් 29 – 46)

ඉහත වැකියෙන් විශේෂයෙන්ම කිතුනු හා යුදෙව් දහම් අනුගමනය කරන්නන් සමග කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි උපදෙස් අන්තර්ගත කොට ඇත. ඔවුන් අතුරින් වූ යහ මිනිසුන් සමග යහපත් අයුරින් සංවාදයක යෙදෙන ලෙස උපදෙස් ලබා දී ඇත. ඊසා (ජේසුස්) (අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය එතුමා කෙරෙහි අත්වේවා) නබිවරයා වෙත පහළ කරන ලද ‘ඉන්ජීල්’ නම් වූ සත්‍යය දහම ද මුසා (මෝසෙස්) (අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය එතුමා කෙරෙහි අත්වේවා) නබිවරයා වෙත පහළ කරන ලද ‘තෞරාත්’ නම් වූ සත්‍යය දහම ද ඉස්ලාමිකයින් වන අපි විශ්වාස කරන බවට සඳහන් කිරීමෙන් ඔවුන් හා අප අතර ඇති සමීපතාව පළමුව අවධාරණය කොට ඇත. ඔවුන් හා අප විශ්වාස කරන්නේ සත්‍ය වූ එකම දෙවිඳුන් බව පැවසීමෙන් ඔවුන් හා අප අතර ඇති සමානතාවන් තවදුරටත් තහවුරු කර ඇත. කිතුනු හා යුදෙව් දහම් අනුගමනය කරන්නන් සමග සංවාදයක යෙදීමේ දී අනුගමනය කළ යුතු මුලික පිළිවෙත මෙමගින් පැහැදිලි කොට ඇත. පළමුව සමානතාවන් පිළිබඳව කරුණු පහදා දී ඔවුන් සමග සමීපතාවක් ගොඩ නගා ගැනීමෙන් පසු අනෙකුත් කරුණු සාකච්ඡා කිරීම වඩාත් උචිත පිළිවෙතයි. බෞද්ධ හින්දු හා ජෛන ආගමිකයින් සමග ද අනුගමනය කිරීමට වඩාත් උචිත පිළිවෙත මෙය බව අපි දකින්නෙමු.

“(නබිවරය) නුඹ මෙසේ පවසවු. ‘මනුෂ්‍යයිනි, සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය (අල්-කුර්ආනය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු (එය අනුගමනය කර) යහමඟ (තෝරා) ගන්නේ ද එහි යහ ඔහුටමය. යමෙක් නොමඟ (තෝරා) ගන්නේ ද එහි අයහ ඔහුටමය. තවද මම ඔබව (බලකර) පාලනය කිරීමට බලයක් ඇත්තෙකු නොවන්නෙමි’.” (අල්-කුර්ආන් 10:108)

එහෙයින් අන් දහම් අනුගමනය කරන්නන් සමග කටයුතු කිරීමේදී ඔවුන්ගේ දහමට හෝ ශාස්තෘන්ට කිසිම ආකාරයක අපහාසයක් නොවන පරිදි මෙන්ම ඔවුන් අපහසුතාවකට පත් වන අයුරින් ක්‍රියා නොකොට ශ්‍රේෂ්ඨ චර්යාවන් අනුගමනය කරමින් කටයුතු කරන්නට ඉස්ලාමය උපදෙස් දෙයි. මෙම දෙවැනි ඉස්ලාමීය ප්‍රතිපත්තිය සාමයික සහජීවනය සහතික කරන වැදගත් පියවරකි.

විවිධත්වය යථාර්ථයක්  බව පිළිගැනීම              
සාමයික සහජීවනය පිළිබඳව වූ තුන්වැනි ඉස්ලාමිය ප්‍රතිපත්තිය කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. එය විවිධත්වය යථාර්ථයක් ලෙස පිළිගෙන එතුළින් සාමුහිකත්වයේ අලංකාරය ස්ථාපිත කිරීමයි.

“මනුෂ්‍යයිනි, ඇත්තෙන්ම අපි ඔබව එක් පිරිමියෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. කෙනෙකු අනිකා හඳුනාගනු පිණිස ඔබ ජාතීන් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු. ඔබගෙන් කවුරුන් ඉතාමත් බිය භක්තිකයින් ව සිටින්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අබියස ඉතා ගෞරවනීය තැනැත්තෙකි. සැබැවින්ම අල්ලාහ් හොඳින් දන්නා අතර හොඳින් දැනුවත්ව සිටින්නේය.”  (අල් කුර්ආන් 49:13)   

මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම එක පවුලක් බව ඉස්ලාමය උගන්වයි. මිනිස් පරපුරේ වාර්ගිකත්වය යථාර්ථයක් ලෙස පිළිගන්නා ඉස්ලාමය වාර්ගිකත්වය එකිනෙකා පිළිකුල් කරගැනීමට හෝ එකිනෙකාගෙන් දුරස්ථ වීමට සාධකයක් කර නොගත යුතු බවද උගන්වයි. මිනිසාගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ නිර්ණායකය ලෙස දක්වා ඇත්තේ අල්ලාහ් පිළිබඳව ඇති බිය බැතිමත්භාවය හැර අන් කිසිවක් නොවන බව ද මෙම අල් කුර්ආන් වැකිය අපට පැහැදිලි කර දෙයි.   

අල් කුර්ආනයේ ඉගැන්වීම් අනුව මුළු මහත් මනුෂ්‍ය පරපුරම එක් මවකගෙන් හා එක් පියෙකුගෙන් බිහි වූ එකම පවුලක සාමාජිකයින්ය. එහෙයින් ඉස්ලාමිකයෙකුට ජාතිවාදී වීමට කිසිසේත්ම ඉඩක් නොමැත.

“සියලු මනුෂ්‍යයින් ආදම් හා හව්වා ගෙනි. බිය භක්තිමත් භාවය හා යහකම් හැරෙන්නට අරාබි වරයෙකුට අරාබි නොවන කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම අරාබි නොවන කෙනෙකුට අරාබි වරයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම කළු ජාතිකයෙකු සුදු ජාතිකයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත.” (බුහාරී හදීස් ග්‍රන්ථය හදීස් අංක 1623, 1626 හා 6361)   

ඉහතින් උපුටා දැක්වුයේ මුහම්මද් නබි තුමාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා) තම අවසාන හජ් නැමදුම ඉටු කරමින් සියලු මුස්ලිම් වරුන් අමතා කළ ඓතිහාසික දේශනයෙන් කොටසකි.

“තවද අපි ආදම්ගේ දරුවන් ව ගෞරවනීයත්වයට පත් කළෙමු.” (17:70)

ජාති ආගම් කුල හෝ අන් කිසිදු සාධකයක් පිළිබඳ තැකීමකින් තොරව මුළුමහත් මනුෂ්‍ය වර්ගයාම ගෞරවනීයත්වයට පත් කර ඇතැයි ඉස්ලාමය උගන්වයි. මිනිසා ස්වභාවයෙන්ම විවිධත්වයන්ගෙන් යුක්ත වූවෙකි. එම විවිධත්වයේ කිසිදු සාධකයක් මිනිසාව එකිනෙකාගෙන් දුරස්ථ කිරීමට හෝ එකිනෙකා කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කිරීමට හෝ උපයෝගී කර ගැනීමට ඉස්ලාමිකයෙකුට කිසිසේත්ම අනුමැතියක් නොමැත.

“අහස් ද මිහිතලය ද නිර්මාණය කර ඇත්තේද, නුඹගේ භාෂාවන්හි ද වර්ණයන්හි ද විවිධත්වය ඔහුගේ (අල්ලාහ්ගේ) සාධකයන්ගෙන්ය.” (30:22)  

භාෂාව හා වර්ණය පිළිබඳ ව ඇති විවිධත්වය දෙවිඳුන්ගේ සාධක ලෙස අල් කුර්ආනය අපට උගන්වන අතර විවිධත්වයේ අලංකාරය අප සියලු දෙනාම පරිසරයෙන් දකින වැදගත් ම සාධකයයි. නිදහස දිනා ගැනීමෙන් පසු බහු සංස්කෘතික හා බහු වාර්ගිකත්යකින් යුත් අපගේ මාතෘ භුමියේ ‘ශ්‍රී ලාංකේය’ පොදු අනන්‍යතාව තහවුරු කිරීමේ වගකීම පැවරුණු දේශපාලන නායකත්වය භාෂාව මුල් කරගෙන ආරම්භ කළ පටු දේශපාලනික ක්‍රියාවලියේ අවසාන මෙන්ම අවාසනාවන්ත ප්‍රතිඵලය වුයේ ලක් මවට තම දරුවන් දස දහස් ගණනින් අහිමි කළ දශක තුනක් තිස්සේ පැවති කෲර යුද්ධයයි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුගමනය කරන්නෙකුට භාෂාව පදනම් කරගෙන විරසකයක් ඇති කර ගන්නට කිසිසේත්ම අනුමැතියක් නොමැත. යමෙක් එසේ කරන්නේ නම් දෙවිඳුන් විසින් නිර්මිත විවිධත්වයේ සාධකයක් ප්‍රතික්ෂේප කිරීමක් බවට පත් වෙයි. විවිධත්වය යථාර්ථයක් ලෙස පිළිගන්නා තැනැත්තෙකුට එම විවිධත්වයේ කිසිදු සාධකයක් සාමයික සහජීවනයට බාධාවක් ලෙස සැලකීමට හැකියාවක් නොමැත.

දකුණු අප්‍රිකාවේ හා ඇමෙරිකානු එක්සත් ජනපදයේ මෙයට පෙර පැවති වර්ණ භේද ගැටුම් හේතුවෙන් අහිමි වූ ජීවිත අප්‍රමාණය. එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් විවිධ ආකාරයේ පීඩාවන්ට පත් වූ ජන සංඛ්‍යාව ද අති විශාලය. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මෙය කිසිසේත්ම අනුමත ක්‍රියාවක් නොවන අතර කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. ලෝවැසි ජනයාට සාමයෙන් සහෝදරත්වයෙන් හා සහජීවනයෙන් කටයුතු කිරීමට ඉස්ලාමීය අලංකාර ඉගැන්වීම් මගින් කර ඇති මග පෙන්වීම් කොතෙක් ඉවහල් වන්නේ ද යන්න මෙමගින් පැහැදිලි වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.            

නීතිය යුක්තිය හා සාධාරණය
සාමයික සහජීවනය පිළිබඳ ව ඇති හතර වන ඉස්ලාමීය ප්‍රතිපත්තිය වන්නේ නීතිය යුක්තිය හා සාධාරණය සැමට සමසේ ඉටු වන සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීමය. විවිධ මාධ්‍යයන් වාර්තා කිරීම් මගින් අප දුටුවේ නීතියේ හස්තය අබිබවා කටයුතු කිරීමට එක්තරා පිරිසක් කටයුතු කරන බවය. නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇති පොලිස් නිලධාරීන් නිහඬ නිරීක්ෂකයින් බවට පත් කරමින් නීතියේ ආධිපත්‍යය බිඳ දමන්නට කරන්නා වූ මෙම හැසිරීම් රටාව ක්‍රමයෙන් රටේ වර්ධනය වෙමින් පවතින බව දක්නට ඇත. මෙය සාමයික සහජීවනයට කිසිසේත්ම උචිත ක්‍රියා පිළිවෙතක් නොවේ. නීතියේ ආධිපත්‍යය වෙනුවට ආගමික නියෝජිතයින්ගේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම දශක තුනක අමිහිරි හා භයානක අත්දැකීම් අමතක කරමින් කරන්නා වූ ක්‍රියාවකි.  

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ උත්තරීතර නීතිය වූ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ පිළිබඳ ව දක්වා ඇති ප්‍රතිපාදන කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ  III වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටසේ 12  වැනි වගන්තිය පහත සඳහන් අයුරු සඳහන් කොට ඇත.

12. -     (1) නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.  

(2) කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ  හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය:  

එසේ වුව ද, රජෙය් සේවයේ, අධිකරණ සේවයේ, පළාත් පාලන සේවයේ නැතහොත් යම් රාජ්‍ය සංස්ථාවක සේවයේ යම් සේවා නියුක්තියක හෝ ධුරයක කාර්ය ඉටු කිරීම සඳහා යම් තැනැත්තකු යම් භාෂාවක්  පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් ඇතිව සිටීම සාධාරණව අවශ්‍ය වන අවස්ථාවක ඒ සේවා නියුක්තිය හෝ ධුරය සඳහා සුදුසුකමක් වශයෙන් ඒ භාෂාව පිළිබඳ එසේ ප්‍රමාණවත් දැනීමක් සාධාරණ කාලයක් තුළ දී ලබා ගත යුතු යයි එවැනි තැනැත්තෙකුට නියම කිරීම නීත්‍යානුකූල  වන්නේය.
 
එසේම තව දුරටත්, එවැනි යම් සේවා නියුක්තියක හෝ ධුරයක හෝ කිසිදු කර්තව්‍යයක් යම් භාෂාවක් පිළිබඳ දැනීම ඇත්තේ නම් මිස ඉටු කළ නොහැකි වන අවසථාවල දී, ඒ සේවා නියුක්තියට හෝ ධුරයට හෝ ඇතුළත් කර ගැනීමේ සුදුසුකමක් වශයෙන් යම් තැනැත්තෙකුට ඒ භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් තිබිය යුතු යයි නියම කිරීම නීත්‍යානුකූල  වන්නේය.
 
(3) වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රී පුරුෂ භේදය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ  වෙළඳසල්වලට, පොදු භෝජනාගාරවලට, ආපනශාලාවලට, පොදු විනෝද ස්ථානවලට  හෝ තම තමාගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුළුවීම සම්බන්ධෙයන් යම් අශක්නුතාවකට, බැඳීමකට, සීමා කිරීමකට නැතෙහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේය.  

රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙසේ පවසා තිබියදී නීතිය අබිබවා යෑමට එක්තරා අන්තවාදී පිරිසකට ඉඩ හැර නීතිය නිහඬ නිෂ්ක්‍රිය තත්ත්වයකට පත් වන විට මුළු මහත් ලාංකේය ජනතාවම පත් වන්නේ දැඩි අපේක්ෂා භංගත්වයකට ය. නීතියේ ආධිපත්‍යය නිසි ලෙස ස්ථාපිත නොකොට සාමයික සහජීවනය ස්ථාපිත කළ නොහැක. වර්ෂ 1400 කට පෙර අල් කුර්ආනය නීතිය යුක්තිය හා සාධාරණය පිළිබඳව මනුෂ්‍යය වර්ගයාට ඉදිරිපත් කළ ඉගැන්වීම් කුමක් ද කියා විමසා බලමු.

“(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු (අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල් කුර්ආන් 16 : 90)

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙ හි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේෂය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබ ව පොලඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බිය බැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල් කුර්ආන් 5 : 8)

“යමෙක් තව අයෙකු ව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරා ගත්තා හා සමානය.” (අල් කුර්ආනය 5 : 32)

“ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ දෙසට නැඹුරු වවු. අල්ලාහ් කෙරෙහි ම විශ්වාසය තබවු. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ‍්‍රාවකය, සර්ව ඥානීය.” (අල් කුර්ආනය 8 : 61)

“මා ඝාතනය කිරීමට ඔබේ දෑත මා වෙත දිගු කළ ද මම ඔබව ඝාතනය කිරීමට මාගේ දෑත දිගු කරන්නෙකු නොවෙමි. විශ්වයේ පරමාධිපති වන අල්ලාහ් ට සැබැවින්ම මම බිය වෙමි.” (අල් කුර්ආනය 5 : 28)

“දහම හේතුවෙන් නුඹලා සමග සටන් නොකළවුන් හට ද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් පලවානොහරියවුන් හට ද යහපත කිරීම හා යුක්ති ගරුක ව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලා ව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුක ව කටයුතු කරන්නන් ව ප්‍රිය කරන්නේය.” (අල් කුර්ආනය 60 : 8)   

“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 33)   

මුහම්මද් ධර්ම දුතයාණන් ගේ ප්‍රකාශන කිහිපයකට ද අවධානය යොමු කරමු.

 “සියලු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.” (මිෂ්කාත් අල් මසාබිහ් - 3:1392)

“(තමන්ට කරනු ලබන උපකාරයන් වෙනුවෙන්) මිනිසුන්ට ස්තුති කිරීමට පසුබට වන්නා අල්ලාහ්ට ද ස්තුති වන්ත වීමට පසුබට වන්නෙකි” (අහමද් සහ අත්තිර්මිදී)    

“යහ ක්‍රියාවන් අවංකව, නිසි ලෙස හා මධ්‍යස්ථභාවයකින් යුක්ත ව ඉටු කරන්න. ඔබගේ අපේක්ෂිත ඉලක්කය (ස්වර්ගය) කරා ළඟා වීම පිණිස සෑම ක්‍රියාවක් පිළිබඳ ව ම (අන්තවාදී නොවී) මධ්‍යස්තවාදීව මැදුම් පිළිවෙතක් නිරතුරුවම අනුගමනය කරන්න” (සහීහ් බුහාරී 8 : 470)  

නීතිය අබිබවා කටයුතු කරන්නන් රඟ පාන්නේ අප කුඩා කළ කියැවූ ‘වෘකයා හා බැටළු පැටියා’ නම් වෘතාන්තයේ වෘකයාගේ චරිතය යැයි අපට සිතේ. දිනක් දිය කඩක ජලය බොමින් සිටි බැටළු පැටියෙකු දුටු වෘකයෙකුට මෙම බැටළු පැටියාව තම භෝජනය බවට පත්කර ගන්නට සිත් විය. මෙසේ සිතු වෘකයා බැටළු පැටියා සමග ගැටුමක් ඇති කර ගැනීමේ අදහසින් කටයුතු කරන්නට විය. එම දෙබස පහතින් දක්වා ඇත්තෙමු.
 
වෘකයා: මා පානය කරන්නා වූ ජලය ඔබ කෙසේ නම් බොර කරන්නේද?
බැටළු පැටියා: ස්වාමීනි, ඔබ පානය කරන්නා වූ ජලය බොර වන්නේ නම් එයට හේතුව මා විය නොහැක. මා ජලය පානය කරන්නේ ඔබ වහන්සේ ට පහළින් ය, ස්වාමීනි.
වෘකයා: එසේ නම් වසරකට පෙර ඔබ ඇයි මට නරක නාමයන්ගෙන් ආමන්ත්‍රණය කළේ?
බැටළු පැටියා: එය එසේ විය නොහැක ස්වාමීනි. මාගේ වයස මාස හයක් පමණි, ස්වාමීනි.  
වෘකයා: මට ඒ කිසිවක් පිළිබඳ තැකීමක් කිරීමට අවශ්‍ය නැත. එසේ කළේ  ඔබ නොවුයේ නම් එය ඔබගේ පියා විය හැක.
යනුවෙන් පවසා අහිංසක බැටළු පැටියා ව තමාගේ භෝජනය බවට පත් කර ගත්තේය.
“සාහසිකයෙකුට ඕනෑම කරුණක් තමන්ගේ සාහසිකත්වය සාධාරණීය කර ගන්නට යොදා ගත හැක” යැයි අහිංසක බැටළු පැටියා  උගේ අවසන් හුස්ම හෙළන්නට පෙර පවසා සිටියේය.  

වර්තමාන සමාජයේත් සාමයික සහජීවනය බිඳ දමන්නට කටයුතු කරන්නන් රඟ පාන්නේ මෙම වෘතාන්තයේ වෘකයාගේ භූමිකාව බව අමුතුවෙන් විග්‍රහ කිරීමට අවශ්‍ය නොවන්නේයැයි සිතන්නෙමු. එහෙයින් සාමයික සහජීවනයට හානිකර අයුරින් කටයුතු කරන සියලු චරිත තරාතිරම නොබලා නීතියේ ආධිපත්‍යය යටතට ගෙන ඒමේ අවශ්‍යතාව වර්තමානයේ ඉතා දැඩි ලෙස මතු වී ඇත. මෙම ප්‍රයත්නය සාර්ථක කර ගැනීම පිණිස නීතිය යුක්තිය සාධාරණය අගයන සැමගේ හඬ ප්‍රබල ලෙස ඉස්මතු කිරීම ඉතා වැදගත් වෙයි.     

එහෙයින් වෛරය ක්‍රෝධය ඉවත ලා සැමට සතුටින් සාමයෙන් ජීවත් විය හැකි සමාජයක් ස්ථාපිත කරන්නට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවත ලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුළ සියලු කරුණු සාමකාමී ව විසඳා ගැනීමට අධිෂ්ඨානශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියලු දරුවන් එකට අත්වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් සපිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.    

සාමයික සහජීවනය සඳහා වූ අලංකාර පුර්වාදර්ශයන්
වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් මක්කා වැසියන්ගේ දැඩි තාඩන පීඩනයන්ට මුහුණ දෙමින් කටයුතු කිරීමෙන් අනතුරුව මුහම්මද් තුමාණන්ට හා මුස්ලිම් වරුන්ට මදීනා නගරයට  දෙශාන්තරණය කිරීමට දෙවිඳුන්ගේ අනුමැතිය ලැබිණ. මදීනා නගරය මක්කාවේ සිට කි.මී. 450 ක් පමණ දුරකින් පිහිටි අතර පරම්පරා ගණනාවක් තිස්සේ ගෝත්‍ර අතර පැවති ගැටුම් හේතුවෙන් විසිරී හා භේද වී ගිය ජන කොටස් ජීවත් වූ ප්‍රදේශයකි. මුහම්මද් නබි තුමාණන් (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) මදීනා නගරයට ප්‍රවිෂ්ට වීමෙන් පසු වහාම කළ ක්‍රියාවන් කිහිපය අතුරින් වැදගත් ක්‍රියාවක් වුයේ දශක කිහිපයක් තිස්සේ විනාශකාරී ගෝත්‍රික ගැටුමකට මැදිහත් වී සිටි ‘අව්ස්’ හා ‘කස්රජ්’ නම් වූ ප්‍රධාන ගෝත්‍රික දෙපිරිසක් අතර සමගිය ස්ථාපිත කොට ඒ තුළින් සමාජ සහෝදරත්වය ගොඩ නැගීමය.

මදීනා නගරය මුල්කර ගනිමින් බිහි වූ ඉස්ලාමීය ජන රජයේ ජනාධිපතිත්වය දැරුවේ ද මුහම්මද් තුමාණන් ය. මිනිස් ඉතිහාසයේ ලේඛන ගත පළමු ලිඛිත රාජ්‍ය ව්‍යවස්ථාව හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ව වූ ලේඛනය, එනම් “මදීනා ප්‍රඥාප්තිය” සකස් කොට එ මගින් එම නගරයේ ජීවත් වූ යුදෙව්, කිතුනු, ඉස්ලාමීය, හා අනෙකුත් ජනකොටස් වල ආගමික, සංස්කෘතික, ආර්ථික, දේශපාලනික, හා සමාජ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට එතුමාණන් වගකීම භාර ගත්තේය. එම ජනයා එතුමාගේ සෘජු මැදිහත්වීම හා නායකත්වය යටතේ මෙම වටිනා නීති රීති ක්‍රියාවට නැංවුහ.

පැරණි ගෝත්‍රිය උස් පහත්කම් ප්‍රබල දුබල වෙනස්කම් කුල වාදය වර්ණ වාදය ප්‍රදේශ වාදය යනාදී මිනිසා දුරස්ථ කළ සියලු සාධක සහමුලින්ම පාහේ ඉවත් කොට මිනිස්කම බිය බැතිමත්භාවය හා සහෝදරත්වය පදනම් කර ගත් ‘උම්මතය’ නමින් වූ මෙම සදාචාර සම්පන්න එක්සත් මිනිස් පරපුර බිහි වීම ඉස්ලාමීය ඉගැන්වීම් පිළිගැනීමත් සමගම නබි තුමාණන්ගේ නායකත්වයෙන් සිදු වූ තවත් අති වැදගත්  සමාජ පෙරැළියකි. සාමයික සහජීවනය වෙනුවෙන් මුහම්මද් තුමාණන්ගේ කැපවීම හා දායකත්වය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්නට ලිපියක අනු මාතෘකාවක් කෙලෙසවත් ප්‍රමාණවත් නොවන අතර මෙම තොරතුරු සටහන් කරන්නට සැබැවින්ම පිටු තුන් හාරසීයක ග්‍රන්ථයක් අනිවාර්යයෙන්ම අවශ්‍යය වනු ඇත. මෙහි දී ඉන් බිඳක් පමණක් ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නෙමු.    

අබ්දුල්ලාහ් බින් උබයි ඉස්ලාමයට සතුරු කම් කරමින් ඉස්ලාමිකයෙකු ලෙස වංචනික අයුරින් රඟ පාමින් කටයුතු කළ අයෙකි. ‘උහ්ද්’ නම් ස්ථානයේ දී ඉස්ලාමයට විරුද්ධ මක්කාවාසී ජනයා සන්නද්ධ ගැටුමකට මදීනා නගරයට පැමිණි විට අබ්දුල්ලාහ් බින් උබයි යටතේ සිටි 300 ක් පමණ වූ පිරිස ආරම්භයේ මුස්ලිම් පාර්ශවයට උපකාර කිරීමට පොරොන්දු වී සටන් බිමට පිවිස ගැටුමේ අතරමගදී සටන් බිමින් ඉවත් ව යමින් මුස්ලිම් වරුන්ව මහත් දුෂ්කරතාවකට පත් කිරීමට කටයුතු කළ පුද්ගලයෙකි. එයට අමතරව මුහම්මද් තුමාණන්ගේ බිරියක් වූ ආයිෂා තුමිය (එතුමිය කෙරෙහි අති උතුම් අල්ලාහ්ගේ තෘප්තිය අත්වේවා) පිළිබඳව අසත්‍ය කරුණු පදනම් කරගෙන චරිත ඝාතන කටකතා පතුරුවමින් ඉතා විශාල හානියක් කිරීමට ඉදිරිපත් වූවෙකි. මෙලෙස නබිතුමාණන්ට ඉස්ලාමයට හා මුස්ලිම් වරුන්ට විශාල හානියක් සිදු කළ ඔහු මියගිය විට ඔහුගේ මෘතදේහය සඳහා වූ සලාතය ඉටු කිරීමට තරම් මෘදු හා කාරුණික හදවතක් මුහම්මද් නබිතුමාණන් හට තිබිණි. තමන්ට කළ හැකි පහත් ම හානිය සිදු කළ වංචනික පුද්ගලයාට පවා කාරුණික ලෙස කටයුතු කරන්නට තරම් කාරුණිකත්වයේ ශ්‍රේෂ්ඨතම සංකේතය ලෙස මුහම්මද් තුමාණන් සිටි බව මෙම සිද්ධියෙන් මනාව පැහැදිලි වෙයි. මේ පිළිබඳව අල් කුර්ආනයේ 9 : 84 වැනි වැකිය පහළ කරමින් අති උතුම් අල්ලාහ් මුහම්මද් තුමාණන් හට අවවාදාත්මක උපදෙස් ලබා දෙන ලදී.

මුහම්මද් නබි තුමාණන් (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) ගමන් ගන්නා මාර්ගයේ රැක සිට එතුමා වෙත කසළ වීසි කළ යුදෙව් කාන්තාවක් සිටියාය. මුහම්මද් තුමාණන් මෙම නොමනා ක්‍රියාව පිළිබඳව ඇය වෙත තම නොසතුට හෝ කෝපය දැක්වීමට කිසි දිනක කටයතු නොකළහ. දිනක් තමා වෙත කසළ වීසි කිරීම සිදු නොවූ හෙයින් මුහම්මද් තුමාණන් තම මිතුරන්ගෙන් කරුණු විමසු විට දැනගන්නට ලැබුණේ ඇය රෝගාතුරව සිටින බවය. මෙම තොරතුරු දැන ගත් විගස මුහම්මද් තුමාණන් තම මිතුරන් සමග සුවදුක් විමසීම පිණිස ඇගේ නිවසට ගිය අවස්ථාවේ දී මුහම්මද් තුමාණන් දුටු විගස මෙම කාන්තාව දැඩි ලෙස පශ්චාත්තාප වී තමා විසින් මෙතෙක් හිරිහැර කර ඇත්තේ මෙවන් උත්තමයෙකුටදැයි සිතා කඳුළු සලන්නට පටන් ගෙන ඇත. මුහම්මද් තුමාණන්ගේ ශ්‍රේෂ්ඨ ගතිගුණ කෙරෙහි පැහැදුණු මෙම යුදෙව් කාන්තාව එම ස්ථානයේදී ම ඉස්ලාමය වැලඳගෙන ඇත. මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ මුහම්මද් තුමාණන්හට පුද්ගලික ව කරන ලද හිරිහැර හා එදිරිවාදිකම් පිළිබඳව කිසි දිනක පළිගැනීමට එතුමාණන් කටයුතු කර නොමැති බවයි. වර්තමානයේ යහ සමාජ සම්බන්ධතාවන් ආරක්ෂා කර ගෙන කටයතු කිරීමට මෙය අප සැමට කෙතරම් අලංකාර පුර්වාදර්ශයක් දැයි අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නොවන බව සිතන්නෙමු.    

ආගමික ස්ථානයක් තුළ එම ස්ථානයට අපහාස වන අයුරින් යමෙක් කටයුතු කළේ නම් අති මහත් නොසන්සුන්තාවක් ඇති වීම වැළක්වීම අති මහත් දුෂ්කර කටයුත්තක් බවට පත් වනු ඇත. එම ආගමික ස්ථානයේ දහමට පිටස්තර අයෙකුගෙන් එවැන්නක් සිදු වුවහොත් තත්ත්වය තවත් වඩාත් බරපතළ විය හැක. ආගමික ස්ථානයේ ශ්‍රේෂ්ඨත්වය කෙලෙසන පරිදි පිටස්තර ආගමිකයෙකු එම ස්ථානය මුත්‍රා කිරීම මලපහ කිරීම වැනි කටයුත්තකට යොදා ගත් විට සිදු විය හැකි අති භයානක තත්ත්වය අමුතුවෙන් විග්‍රහ කරන්නට අවශ්‍ය නොවන තරමට ඉතාම පැහැදිලිය. දිනක් මුහම්මද් තුමාණන් හා මිත්‍රයින් මස්ජිදයේ සිටින අවස්ථාවක ඉස්ලාමිකයෙකු නොවන අයෙකු මස්ජිදයට ඇතුළු වී මුත්‍රා කරන්නට පටන් ගෙන ඇත. මෙය දුටු නබිතුමාණන්ගේ මිත්‍රයින් දැඩි කෝපයට පත් වී මෙම පුද්ගලයාට පහර දී පලවා හැරීමට ඉදිරිපත් වූ අවස්ථාවේ මහා කාරුණික නබි තුමාණන් ඔවුන් ව වළක්වා මෙම පුද්ගලයාට නිදහසේ මුත්‍රා කිරීමට ඉඩ හරින ලෙස දන්වා සිටියහ. එම පුද්ගලයා මුත්‍රා කොට පිට ව ගියාට පසු එම ස්ථානය ජලය යොදා පිරිසිදු කරන ලෙස උපදෙස් දුන් නබි තුමාණන් මුස්ලිම් නොවන සමාජයෙන් ඇති වූ මෙවන් නොමනා ක්‍රියාවන් ඉවසීමෙන් හා බුද්ධිමත් අයුරින් පාලනය කර ගන්නට කටයුතු කළහ.             

නබි තුමාණන්ගේ උපන් බිම මෙන්ම එතුමාණන් වඩාත් ප්‍රිය කළ මක්කාහ් නගරයේ වැසියන් එතුමාණන්ට හා අනුගාමිකයින්ට විවිධ ආකාරයේ හිංසනයන් සිදු කළ අතර අවසානයේ එතුමාණන් ව ඝාතනය කරන්නට ද කුමන්ත්‍රණය කළහ. මෙවන් හිංසනය හා භීෂණය හේතුවෙන් එතුමාණන්ට හා අනුගාමිකයින්ට මක්කාහ් නගරය අත හැර මදීනා නගරයට දෙශාන්තරණය කරන්නට සිදු විය. මෙම සිදු වීමෙන් වසර අටකට පසු කිසිම ගැටුමකින් තොරව ඉතා සාමකාමී අයුරින් මක්කාහ් නගරය මුස්ලිම් වරුන්ගේ පාලනය යටතට පත් විය. මෙසේ මක්කාහ් නගරය නිදහස් කර ගත් දින එහි සිටි වැසියන් තමන් විසින් මුස්ලිම් වරුන්ට පෙර කළ අපරාධයන් හේතුවෙන් බරපතළ දඬුවම් වලට මුහුණ දෙන්නට සිදු වේ යැයි මර බියෙන් පසු වුහ. නමුත් මහා කාරුණික මුහම්මද් තුමාණන් ඔවුන් වෙත ප්‍රසිද්ධියේ පවසා සිටියේ “නුඹලා සැවොම අද දින නිදහස්” යනුවෙනි. මෙය මක්කාහ් වාසීන්හට කිසිසේත්ම අදහා ගත නොහැකි තත්ත්වයක් විය. මෙයයි තමන්ට ශක්තිය හා බලය ඇති විට පළි ගැනීමේ චේතනාවන්ගෙන් මිදී කාරුණිකත්වය පෙරදැරි ව කටයුතු කිරීමේ අවශ්‍යතා ව පෙන්වමින් මහා කාරුණික නබි තුමාණන් මුස්ලිම් වරුන්ට ලබා දුන් අලංකාර පුර්වාදර්ශය වන්නේ.   

නබිතුමාණන්ට හා මුස්ලිම්වරුන්ට සතුරුකම් කළ මක්කාහ්වාසී කුරෛෂ් නායකයින්ගේ ප්‍රධානියෙකු වූ අබු සුෆ්යාන්ගේ බිරිය හින්දා නම් වුවාය. නබි තුමාණන්හට විශාල ශක්තියක් ව සිටි එතුමාණන්ගේ බාප්පා කෙනෙකු වූ හම්සා තුමාව (අති උතුම් අල්ලාහ්ගේ තෘප්තිය එතුමා කෙරෙහි ඇතිවේවා) උහ්ද් ප්‍රදේශයේ ඇති වූ සටනේ දී ඝාතනය කරන්නට සියලු සැලසුම් සකස් කොට එය ක්‍රියාත්මක කරන ලද්දේ හින්දා විසිනි. එතුමා ව ඝාතනය කළා පමණක් නොව මුස්ලිම්වරුන් කෙරෙහි ඇති වෛරය හා ක්‍රෝධය ප්‍රදර්ශනය කරමින් හින්දා විසින් හම්සා තුමාගේ ළය පෙදෙස පළා අක්මාව සපා කන්නට වුවාය. මිනිසත්කමට නිගාදෙන කිසිසේත්ම නොහොබිනා අයුරින් මුස්ලිම්වරුන්ගෙන් පළි ගැනීමට ඉදිරිපත් වූ හින්දාට ද මක්කාහ් නගරය සාමකාමී අයුරින් අත්පත් කර ගැනීමෙන් පසු නබිතුමාණන් විසින් සමාව ලබා දෙන ලදී. මිනිසත්කමේ ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වමින් සාමයික සහජීවනය සඳහා කළ මෙවන් ක්‍රියාවන් ට වඩා ආගමික නායකයෙකුගෙන් අපේක්ෂා කළ හැක්කේ කුමක් ද කියා අසන්නට කැමැත්තෙමු.      

 “(නබිවරය) සමාව දීම නුඹ ගනිවු. යහපත විධානය කරවූ. අඥානයින් ව පිටුපා දමවූ.”  (අල් කුර්ආනය 7 : 199)

මහා කාරුණික නබි තුමාණන්ගේ සාමයික සහජීවනය විදහා දක්වන තවත් අලංකාර උදාහරණයක් වන්නේ නජ්රාන් ප්‍රදේශයෙන් එතුමාණන් හමුවීමට පැමිණි කිතුනු පුජකවරුන්ගේ නියෝජිත පිරිස සමග එතුමා කටයුතු කළ ආකාරයයි. හැට දෙනෙකුගෙන් පමණ සමන්චිත වූ මෙම නියෝජිත පිරිස නවාතැන් ගත්තේ නබි තුමාණන්ගේ මස්ජිදයෙහි ය. දින කිහිපයක සාකච්ඡාවකින් පසු මුහම්මද් තුමාණන් හා නජ්රාන් ප්‍රදේශයෙන් පැමිණ කිතුනු නියෝජිත පිරිස අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ගිවිසුම අනුව නජ්රාන් ප්‍රදේශයේ කිතුනුවන් හට පුර්ණ ආගමික ආර්ථික හා අනෙකුත් සියලු සමාජයීය නිදහස හා අයිතිවාසිකම් සහතික කර දෙන ලදී. මුහම්මද් තුමාණන්ගේ ජීවිත කාලය තුළ එතුමා සාමයික සහජීවනය උදෙසා කළ ක්‍රියාවන් මෙලෙස දිගටම ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කළ හැක. නමුත් වැදගත් වන්නේ මුහම්මද් නබිතුමාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා) මෙන්ම අල් කුර්ආනය ද සමාජයේ යහ පැවැත්ම උදෙසා මනුෂ්‍ය වර්ගයා අතරේ සාමය සහෝදරත්වය මෙන්ම සහජීවනය සහතික කරන මග පෙන්වීමක් ඉදිරිපත් කොට ඇති බව ඉහත කරුණු මගින් පැහැදිලි කර දීමය.

යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතළ ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදීයන්නේ යුද්ධයකට විය හැක. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්නට වෙර දරන සතුරන් හඳුනා ගනිමු. පශ්චාත් යුද සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතු ව ඇත.  වෛරය ක්‍රෝධය ඉවත ලා සැමට සතුටින් සාමයෙන් ජීවත් විය හැකි සමාජයක් ස්ථාපිත කරන්න ට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවත ලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුළ සියලු කරුණු සාමකාමී ව විසඳා ගැනීමට අධිෂ්ඨානශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියලු දරුවන් එකට අත්වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් පිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්න ට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.